Skip to content

පටුනට යන්න

දෙවිගෙන් ලැබිලා තියෙන දේවල් වස්තුවක් වගේ රැකගන්න

දෙවිගෙන් ලැබිලා තියෙන දේවල් වස්තුවක් වගේ රැකගන්න

“ඔබේ වස්තුව කොතැනද ඔබේ සිතත් එතැනමයි.”—ලූක් 12:34.

ගීතිකා: 76, 59

1, 2. (අ) යෙහෝවා දෙවිගෙන් අපිට ලැබිලා තියෙන වටිනා වස්තු 3ක් මොනවද? (ආ) මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

විශ්වයේ තියෙන හැම දෙයක්ම අයිති යෙහෝවා දෙවිට නිසා විශ්වයේ ඉන්න ධනවත්ම කෙනා ඔහුයි. (1 ලේක. 29:11, 12) ඔහු ත්‍යාගශීලී දෙවි කෙනෙක්. ඔහු වටිනා වස්තු හුඟක් අපිත් එක්ක බෙදාගෙන තියෙනවා. දෙවි අපිට දීලා තියෙන වස්තුවලට (1) දේවරාජ්‍යය (2) දේවසේවය (3) දේවවචනයේ සඳහන් වටිනා සත්‍යයන් ඇතුළත්. ඒත් අපි පරෙස්සම් වුණේ නැත්නම් ඒ දේවල් කොච්චර වටිනවද කියලා කාලයත් එක්කම අපිට අමතක වෙයි. දෙවිගෙන් ලැබිලා තියෙන වටිනා වස්තු රැකගන්න නම් ඒවා ගැන අපිට තියෙන අගය, ආදරේ දවසින් දවස වැඩි කරගන්න ඕනේ. යේසුස් කිව්වේ “ඔබේ වස්තුව කොතැනද ඔබේ සිතත් එතැනමයි” කියලා.—ලූක් 12:34.

2 ඒ වටිනා වස්තු 3 ගැන අපිට තියෙන අගය, ආදරේ වැඩි කරගන්න පුළුවන් කොහොමද කියලා අපි බලමු. ඒ දේවල් ගැන ඔයාගේ හිතේ තියෙන අගය වැඩි කරගන්න පෞද්ගලිකව ඔයාට කරන්න පුළුවන් මොනවද කියලා හිතන්න.

දේවරාජ්‍යය වටිනා මුතු ඇටයක් වගේ

3. උපමාවේ ඉන්න වෙළෙන්දා එක මුතු ඇටයක් ලබාගන්න පරිත්‍යාග කරන්න කැමති වුණේ මොනවද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

3 මතෙව් 13:45, 46 කියවන්න. වටිනා මුතු හොයාගෙන ගිය වෙළෙන්දෙක් ගැන යේසුස් උපමාවක් කිව්වා. මීට කලින් කවදාවත් දැකලා තිබුණේ නැති, හුඟක් වටින මුතු ඇටයක් දවසක් එයාට හම්බ වුණා. ඒක ලබාගන්න තිබුණ කැමැත්ත නිසා එයා තමන්ට තිබුණ හැම දේම විකුණලා ඒ මුතු ඇටය මිල දී ගත්තා. ඒ මුතු ඇටය එයාට කොච්චර වටින එකක් වෙන්න ඇද්ද කියලා හිතාගන්න පුළුවන්ද?

4. දේවරාජ්‍යය වෙනුවෙන් අපි පරිත්‍යාග කරන්න කැමති මොනවද?

4 ඒ උපමාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? දේවරාජ්‍යය ගැන බයිබලේ සඳහන් වෙන සත්‍ය තොරතුරු වටිනා මුතු ඇටයට සමානයි. ඒ වෙළෙන්දාට මුතු ඇටය හුඟක් වටින දෙයක් වුණා. ඒ වගේ අපිටත් දේවරාජ්‍යය ගැන ලොකු අගයක් තියෙනවා නම් ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කරලා ඒකේ යටත්වැසියෙක් වෙන්න අපිට කරන්න පුළුවන් හැම දේම අපි කරනවා. (මාක් 10:28-30 කියවන්න.) එහෙම කරපු දෙන්නෙක් ගැන දැන් බලමු.

5. දේවරාජ්‍යය වෙනුවෙන් සකෙවුස් කැප කරන්න කැමති වුණේ මොනවද?

5 සකෙවුස් බදු එකතු කරන්නෙක්. එයා පොහොසත් වුණේ මිනිසුන්ගෙන් අසාධාරණ විදිහට සල්ලි අරගෙනයි. (ලූක් 19:1-9) ඒත් දවසක් දේවරාජ්‍යය ගැන යේසුස් කතා කරනවා එයා අහගෙන හිටියා. අහන්න ලැබුණ ඒ දේවල් කොච්චර වටිනවද කියලා තේරුම්ගත්ත සකෙවුස් දේවරාජ්‍යය වෙනුවෙන් තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න කැමති වුණා. එයා යේසුස්ට මෙහෙම කිව්වා. “ස්වාමීනි, බලන්න! මා සතු දෙයින් භාගයක් මම දිලිඳුන්ට දෙනවා. මා කවුරු හරි කෙනෙකුට විරුද්ධව බොරු චෝදනා ඉදිරිපත් කර ඔහුගෙන් අයුතු ලෙස යමක් අරගෙන තිබෙනවා නම් මම කැමතියි ඔහුට අහිමි වූ ඒ දේ මෙන් හතර ගුණයක් නැවත ගෙවන්න.”

6. කාන්තාවක් තමන්ගේ ජීවිතේ වෙනස් කරගත්තේ කොයි වගේ විදිවලින්ද? එහෙම කළේ ඇයි?

6 එක කාන්තාවකට දේවරාජ්‍යය ගැන දැනගන්න ලැබෙද්දී එයා සමලිංගික ජීවිතයක් ගත කරමිනුයි හිටියේ. එයා සමලිංගික අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරපු සංවිධානයක සභාපති හැටියටත් හිටියා. ඒත් බයිබලේ පාඩම් කරද්දී දේවරාජ්‍යයේ තියෙන වටිනාකම එයා තේරුම්ගත්තා. ඒ රාජ්‍යයේ යටත්වැසියෙක් වෙන්න නම් ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න ඕනෙ කියලා එයාට තේරුණා. (1 කොරි. 6:9, 10) ඒ නිසා එයා හිටපු සංවිධානයෙන් අයින් වුණා. සමලිංගික ජීවිතය අත්හැරියා. 2009දී බව්තීස්ම වුණ එයා, ඊළඟ අවුරුද්දෙම ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගත්තා. වැරදි ආසාවන් පාලනය කරගෙන දේවරාජ්‍යයට මුල් තැන දෙන්න එයා පෙලඹුණේ වෙන කිසිම දේකට වඩා යෙහෝවා දෙවිට ආදරේ කරපු නිසයි.—මාක් 12:29, 30.

7. දේවරාජ්‍යය ගැන අපේ හිතේ තියෙන අගය දිගටම රැකගන්න පුළුවන් කොහොමද?

7 දේවරාජ්‍යයේ යටත්වැසියන් වෙන්න අපි හුඟදෙනෙක්ට ජීවිතේ ලොකු වෙනස්කම් කරගන්න සිද්ධ වුණා. (රෝම 12:2) ඒත් ජීවිතේ වෙනස්කම් කරගන්න එක අපි දිගටම කරන්න ඕනෙ දෙයක්. දේවරාජ්‍යය ගැන අපේ හිතේ තියෙන අගය අඩු වෙන්න හේතු වෙන දේවල් එක්ක අපි අත් නෑර සටන් කරන්න ඕනේ. උදාහරණෙකට ධන සම්පත් රැස් කරන්න තියෙන ආසාව, වැරදි ලිංගික ආසාවන් වගේ දේවල් අපි පාලනය කරගත්තේ නැත්නම් දේවරාජ්‍යය ගැන තියෙන අගය ටිකෙන් ටික නැති වෙලා යයි. එහෙම වෙන්න ඉඩ දෙන්න එපා. (හිතෝ. 4:23; මතෙ. 5:27-29) දේවරාජ්‍යය ගැන අපිට තියෙන අගය දිගටම රැකගන්න උදව් වෙන තවත් වටිනා වස්තුවක් දෙවි දීලා තියෙනවා.

දේශනා සේවය නිසා ජීවිත බේරෙයි

8. (අ) පාවුල් දේවසේවය ‘මැටි භාජනවල දරන වස්තුවක්’ හැටියට විස්තර කළේ ඇයි? (ආ) දේවසේවයට තියෙන ඇල්ම පාවුල් පෙන්නුවේ කොහොමද?

8 යේසුස් අපිට දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන, ඒ ගැන උගන්වන පැවරුම භාර දුන්නා. (මතෙ. 28:19, 20) ඒ පැවරුම කොච්චර වටින දෙයක්ද කියලා පාවුල් තේරුම්ගත්තා. එයා ඒ සේවය විස්තර කළේ ‘මැටි භාජනවල දරන වස්තුවක්’ හැටියට. (2 කොරි. 4:7; 1 තිමෝ. 1:12) පාපය උරුම වෙලා තියෙන අපි හරියට මැටි භාජන වගේ. ඒත් අපි දේශනා කරන පණිවිඩය වටිනා වස්තුවක් වගේ. මොකද අපිටත් අපිට ඇහුම්කන් දෙන අයටත් සදාකාල ජීවනය ලබාගන්න මඟ පාදන්නේ ඒ පණිවිඩයයි. “මා මේ සියල්ල කරන්නේ ශුභාරංචිය වෙනුවෙන්ය. එසේ කිරීමෙන් මේ ශුභාරංචිය සියලුදෙනාටම ප්‍රකාශ කරන්න මට හැකියාව ලැබී තිබේ” කියලා පාවුල් කිව්වා. (1 කොරි. 9:23) එයා වෙහෙස නොබලා අනිත් අයට දේවරාජ්‍යය ගැන ඉගැන්නුවා. (රෝම 1:14, 15; 2 තිමෝති 4:2 කියවන්න.) දරුණු පීඩා මැද වුණත් පාවුල් අත් නෑර ශුභාරංචිය දේශනා කළේ ඒ ගැන එයාට ලොකු අගයක් තිබුණ නිසයි. (1 තෙස. 2:2) එයාව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

9. දේශනා සේවය අපිට හුඟක් වටිනවා කියලා පෙන්නන්න පුළුවන් කොයි විදිවලින්ද?

9 පාවුල් මිනිසුන් ගැන නිතරම හොඳ අවධානයකින් හිටියා. දේශනා කරන්න ලැබුණ හැම අවස්ථාවක්ම එයා ප්‍රයෝජනයට ගත්තා. ඒකෙන් එයා පෙන්නුවා දේවසේවය ගැන එයාට කොයි තරම් ඇල්මක් තියෙනවද කියලා. පාවුල් සහ මුල් සියවසේ හිටපු දෙවිගේ අනිත් සේවකයන් වගේ අපිත් ගෙයින් ගෙට, පොදු තැන්වලට වගේම මිනිසුන්ව මුණගැහෙන්න පුළුවන් ඕනෑම තැනකට ගිහින් ශුභාරංචිය දේශනා කරනවා. (ක්‍රියා 5:42; 20:20) පුළුවන් තරම් දෙනෙක්ට ශුභාරංචිය දේශනා කරන්න අපි විවිධ ක්‍රම පාව්ච්චි කරනවා. ඔයාට පුළුවන්කම තියෙනවා නම් සහායක නැත්නම් ස්ථාවර පුරෝගාමි සේවය කරන එක ගැන හිතලා බලන්න. වෙනත් භාෂාවක් ඉගෙනගන්න. එහෙම නැත්නම් ඔයාගෙම රටේ හරි වෙනත් රටක හරි ප්‍රචාරකයන් අඩු පැත්තකට ගිහින් සේවය කරන්න.—ක්‍රියා 16:9, 10.

10. වෙහෙස නොබලා ශුභාරංචිය දේශනා කරපු නිසා අයිරින් අද්දැක්ක ආශීර්වාද මොනවද?

10 එක්සත් ජනපදයේ ඉන්න තනිකඩ සහෝදරියක් වන අයිරින්ට එහේ ඉන්න රුසියානු භාෂාව කතා කරන අයට ශුභාරංචිය කියන්න ලොකු ආසාවක් තිබුණා. එයා 1993දී නිව් යෝර්ක්වල තිබුණ රුසියානු භාෂාව කතා කරන කණ්ඩායමක සේවය කරන්න ගියා. ඒ වෙද්දී ඒකේ ප්‍රචාරකයෝ 20දෙනෙක් විතර හිටියා. අවුරුදු 20කට පස්සේ අයිරින් මෙහෙම කියනවා. “මට තාම රුසියානු භාෂාව හොඳටම කතා කරන්න බෑ.” ඒත් යෙහෝවා දෙවි එයාගෙයි, එහේ හිටපු අනිත් ප්‍රචාරකයන්ගෙයි උත්සාහයට ආශීර්වාද කළා. මොකක්ද ප්‍රතිඵලය? දැන් නිව් යෝර්ක්වල රුසියානු භාෂාව කතා කරන සභා 6ක් තියෙනවා. අයිරින් බයිබලේ පාඩම් කරපු අයගෙන් 15දෙනෙක්ම බව්තීස්ම වුණා. එයාලගෙන් සමහරු දැන් බෙතෙල් සේවකයන්, පුරෝගාමීන් සහ වැඩිමහල්ලන් විදිහට සේවය කරනවා. අයිරින් මෙහෙම කියනවා. “මට කරන්න පුළුවන්කම තිබුණ වෙනත් දේවල් ගැන හිතද්දී ඒ එකක් හරි මං තෝරගත්තා නම් මේ තරම් සතුටක් ලැබෙයි කියලා මට හිතන්න බෑ.” දේවසේවය අයිරින් සලකන්නේ කොයි තරම් වටින වස්තුවක් විදිහටද!

ඔයා දේවසේවය වටිනා වස්තුවක් විදිහට සලකනවා නම් හැම සතියකම සේවයේ හවුල් වෙන්න සැලසුම් කරනවා (11 සහ 12 ඡේද බලන්න)

11. විරුද්ධවාදිකම් තිබුණත් අත් නෑර දේශනා කරන එකෙන් ලැබෙන්නේ මොන වගේ ප්‍රතිඵලද?

11 පාවුල් වගේ අපිත් දේවසේවය වටිනා දෙයක් විදිහට සලකනවා නම් විරුද්ධවාදිකම් ආවත් අත් නෑර දේශනා කරනවා. (ක්‍රියා 14:19-22) උදාහරණෙකට 1930ත් 1944ත් අතර කාලේ එක්සත් ජනපදයේ හිටපු සහෝදරයන් හුඟක් විරුද්ධවාදිකම්වලට මුහුණ දුන්නා. ඒත් එයාලා දේශනා කරන එක අත්හැරියේ නැහැ. සේවය නවත්තන්න ආණ්ඩුවෙන් උත්සාහ කරපු නිසා සහෝදරයන් නඩු මඟට බැස්සා. ඒ නඩුවලින් විශාල ප්‍රමාණයක් සහෝදරයන් ජය ගත්තා. 1943දී එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග කරපු නඩුවක් ජය ගත්තට පස්සේ සහෝදර නෝර් මෙහෙම කිව්වා. “සහෝදරයන් අත් නෑර සේවයේ ගියේ නැත්නම් අපිට විරුද්ධවාදිකම් එන්නේ නෑ. විරුද්ධවාදිකම් ආපු නිසයි අපේ අයිතීන් තහවුරු කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය වගේ ඉහළ උසාවියක් දක්වා යන්න පුළුවන් වුණේ.” ලබපු ඒ ජයග්‍රහණයන් නිසා වෙනත් රටවල ඉන්න සහෝදරයන්ටත් නිදහසේ ශුභාරංචිය දේශනා කරන්න පුළුවන් වුණා. වෙනත් රටවල ඉන්න සහෝදරයනුත් ඒ වගේ නඩු දිනලා තියෙනවා. විරුද්ධවාදිකම් ආවත් අපි දේවසේවය අත්හරින්නේ නැත්තේ ඒක අපිට වටිනා වස්තුවක් නිසයි.

12. ඔයාගේ අදිටන මොකක්ද?

12 දේවසේවය අපි වටිනා වස්තුවක් විදිහට සලකනවා නම් අපි සේවයේ යන්නේ මාසේ අන්තිමට වාර්තාවේ පැය ටිකක් ලියන්න ඕනෙ නිසා නෙමෙයි. ඒ වෙනුවට “ශුභාරංචිය ගැන සම්පූර්ණ සාක්ෂියක්” දෙන්න අපිට කරන්න පුළුවන් හැම දේම අපි කරනවා. (ක්‍රියා 20:24; 2 තිමෝ. 4:5) ඒත් සේවයේදී හම්බ වෙන අයට අපි උගන්වන්නේ මොනවද? දෙවිගෙන් ලැබිලා තියෙන තවත් වස්තුවක් ගැන දැන් බලමු.

බයිබලෙන් අපි ඉගෙනගන්න වටිනා සත්‍යයන්

13, 14. මතෙව් 13:52 යේසුස් කිව්ව ‘වස්තු ගබඩාව’ මොකක්ද? ඒ ගබඩාව පුරවගන්න අපිට පුළුවන් කොහොමද?

13 අපි බයිබලෙන් ඉගෙනගන්න සත්‍ය තොරතුරු දෙවි අපිට දීලා තියෙන 3වෙනි වටිනා වස්තුවයි. සත්‍ය ඉගැන්වීම්වල උල්පත යෙහෝවා දෙවි. (2 සාමු. 7:28; ගීතා. 31:5) ඔහු ත්‍යාගශීලී කෙනෙක් නිසා ඔහුට ඕනෙ ඒ වටිනා සත්‍යයන් අපිත් එක්ක බෙදාගන්නයි. බයිබලෙන්, අපේ ප්‍රකාශනවලින්, සමුළුවලින්, රැස්වීම්වලින් මේ වෙද්දී අපි වටිනා සත්‍යයන් හුඟක් ඉගෙනගෙන තියෙනවා. අපි සත්‍ය ඉගැන්වීම් තව තව ඉගෙනගද්දී යේසුස් කියපු විදිහට අපේ ‘වස්තු ගබඩාව’ “අලුත්” සහ “පරණ” දේවලින් පුරවගන්න අපිට පුළුවන්. (මතෙව් 13:52 කියවන්න.) සැඟවුණ නිධානයක් හොයනවා වගේ බයිබලේ තියෙන වටිනා සත්‍යයන් අපි හොයනවා නම් අපේ ‘වස්තු ගබඩාව’ තව තවත් පුරවගන්න යෙහෝවා දෙවි අපිට උදව් කරයි.—හිතෝපදේශ 2:4-7 කියවන්න.

14 අපි බයිබලේ, අපේ ප්‍රකාශන නිතිපතා අධ්‍යයනය කරන්න ඕනේ. කාලේ අරන් හොඳට තොරතුරු හොයන්න ඕනේ. එහෙම කරද්දී අපි කලින් දැනගෙන හිටියේ නැති “අලුත්” සත්‍යයන් හොයාගන්න අපිට පුළුවන්. (යොෂු. 1:8, 9; ගීතා. 1:2, 3) 1879 ජූලි ‘මුරටැඹ’ සඟරාවේ ඒ කියන්නේ මුල්ම සඟරාවේ බයිබල් සත්‍යයන් වල් පැළ අතරේ පිපිලා තියෙන ලස්සන මලකට සමාන කළා. වල් පැළවලින් වැහිලා තිබුණ නිසා බැලූ බැල්මට ඒ මල පේන්නේ නැහැ. පරෙස්සමට, හොඳට හෙව්වොත් විතරයි ඒක හොයාගන්න පුළුවන් වෙන්නේ. කෙනෙක් ඒ වගේ මලක් දැක්කම ඒකෙන් සෑහීමට පත් වෙන්නේ නැතුව තව මල් සැඟවිලා තියෙනවද කියලා හොයනවා. අපිත් බයිබලේ තියෙන සත්‍ය ඉගැන්වීමක් තේරුම්ගත්තම ඒකෙන් සෑහීමට පත් වෙලා එතනින් නතර වෙන්න හොඳ නැහැ. තව තව සත්‍ය ඉගැන්වීම් බයිබලෙන් හොයන්න අපිට ලොකු ආසාවක් තියෙන්න ඕනේ.

15. අපි ඉගෙනගන්න සමහර සත්‍යයන් ‘පරණයි’ කියන්නේ ඇයි? ඒවාවලින් ඔයාට හුඟක් වටින්නේ මොන ඉගැන්වීම්ද?

15 අපි බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තම වටිනා සත්‍යයන් ඉගෙනගත්තා. ඒ දේවල් “පරණ” ඒවා කියලා කියන්න පුළුවන්. මොකද අපි ඒවා ඉගෙනගත්තේ මුල් කාලේ. ඒවාවලින් සමහරක් මොනවද? යෙහෝවා දෙවි අපේ නිර්මාතෘ කියලත් මිනිසුන් සඳහා ඔහුට අරමුණක් තියෙනවා කියලත් අපි මුලින්ම ඉගෙනගත්තා. මිනිසුන්ව පාපයෙන් සහ මරණයෙන් බේරගන්න අවශ්‍ය වන්දිය ගෙවන්න දෙවි ඔහුගේ එකම පුතාව මේ පොළොවට එව්වා කියලත් අපි ඉගෙනගත්තා. මිනිසුන් අද්දකින හැම දුකක්ම දේවරාජ්‍යය මාර්ගයෙන් අයින් කරනවා කියලත් එයාලට මේ පොළොවේ සදහටම සතුටින්, සාමයෙන් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා කියලත් අපි දැනගත්තා.—යොහ. 3:16; එළි. 4:11; 21:3, 4.

16. බයිබලේ තියෙන සත්‍ය ඉගැන්වීම් ගැන අපිට තියෙන අවබෝධය පැහැදිලි වෙද්දී අපි කරන්න ඕනෙ මොනවද?

16 අනාවැකියක් ගැන, නැත්නම් යම් බයිබල් පද ගැන අපිට තිබුණ අවබෝධය තවත් පැහැදිලි වෙන අවස්ථා තියෙනවා. පැහැදිලි වුණ ඒ කාරණය ගැන අපි හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. කාලය අරන් ඒ ගැන කල්පනා කරන්න ඕනේ. (ක්‍රියා 17:11; 1 තිමෝ. 4:15) ඒ ගැන අපිට කලින් තිබුණ අවබෝධය සහ ඒක තවත් පැහැදිලි වෙලා තියෙන්නේ කොහොමද කියන දේ ගැන විතරක් නෙමෙයි ඒ වෙනස්කමට හේතු වුණ පොඩි පොඩි තොරතුරු ගැනත් අපි හොඳින් තේරුම්ගන්න ඕනේ. ඒ විදිහට අපි බයිබලේ අධ්‍යයනය කරද්දී අපේ ‘වස්තු ගබඩාවට’ තව අලුත් දේවල් එකතු කරගන්න අපිට පුළුවන්. එහෙම කරන්න අපි දරන වෑයම අපතේ යන්නේ නැහැ කියන්නේ ඇයි?

17, 18. දෙවිගේ බලය අපිට උදව් කරන්නේ කොහොමද?

17 අපි ඉගෙනගන්න දේවල් අපිට ආයෙත් මතක් කරලා දෙන්න දෙවිගේ බලයට පුළුවන් කියලා යේසුස් කිව්වා. (යොහ. 14:25, 26) ශුභාරංචිය දේශනා කරද්දී යේසුස් කියපු ඒ දේ අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? බ්‍රිතාන්‍යයේ ශාඛා කාර්යාලයේ සේවය කරපු පීටර්ගේ අද්දැකීම බලන්න. ඒ කාලේ එයාට වයස 19යි. දවසක් එයා සේවයේ යද්දී රැවුල දිගට වවාගෙන හිටපු කෙනෙක්ව හම්බ වුණා. පීටර් එයාගෙන් ඇහුවා ‘බයිබලේ තියෙන දේවල් ගැන දැනගන්න කැමතිද’ කියලා. එයා යුදෙව් පූජකයෙක් නිසා ඒ වගේ ප්‍රශ්නයක් මේ යෞවනයා අහපු එක ගැන එයා පුදුම වුණා. පීටර්ගේ දැනුම පරීක්ෂා කරන්න හිතාගෙන එයා මෙහෙම ඇහුවා. “එහෙනම් කියන්න බලන්න දානියෙල් පොත මුලින්ම ලිව්වේ මොන භාෂාවෙන්ද කියලා?” “ඒකේ කොටසක් ලිව්වේ ඇරමයික භාෂාවෙන්” කියලා පීටර් කිව්වා. “මං එකපාරටම එයාගේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නම එයා පුදුම වුණා. ඒත් මටත් හිතාගන්න බැරුව ගියා ඒ උත්තරේ මං දැනං හිටියේ කොහොමද කියලා. මං ගෙදර ගිහින් කලින් මාසවල සඟරා බලද්දී මට හම්බ වුණා දානියෙල් පොත ලියලා තියෙන්නේ ඇරමයික භාෂාවෙන් කියලා විස්තර කරන ලිපියක්” කියලා පීටර් කිව්වා. (දානි. 2:4, පාදසටහන) අපි අධ්‍යයනය කරලා අපේ ‘වස්තු ගබඩාවට’ දාගෙන ඉන්න තොරතුරු ආයෙත් මතක් කරලා දෙන්න දෙවිගේ බලයට පුළුවන් කියලා ඒකෙන් පැහැදිලියි.—ලූක් 12:11, 12; 21:13-15.

18 යෙහෝවා දෙවි අපිට උගන්වන වටිනා සත්‍යයන් ගැන අපිට ලොකු අගයක් තියෙනවා නම් අපි දිගටම ඒ ඉගැන්වීම්වලින් අපේ ‘වස්තු ගබඩාව’ පුරවගන්න වෑයමක් දරනවා. ඒ දේ අපි වැඩි වැඩියෙන් කරද්දී ඒවා අනිත් අය එක්ක බෙදාගන්න අපි ඉන්නේ සූදානමින්.

ඔයාට ලැබිලා තියෙන වටිනා වස්තු රැකගන්න

19. අපිට ලැබිලා තියෙන වටිනා වස්තු රැකගන්න ඕනෙ ඇයි?

19 දෙවි අපිට දීලා තියෙන වටිනා වස්තු ගැන අපේ හිතේ ලොකු ආදරයක්, අගයක් ඇති කරගන්න එක කොච්චර වැදගත්ද කියලා මේ ලිපියෙන් බැලුවා. ඒවා ගැන අපිට තියෙන අගය අඩු කරන්න අපි සාතන්ටවත් මේ සමාජයටවත් ඉඩ දෙන්න හොඳ නැහැ. ලොකු පඩියක් ලැබෙන රස්සාවකට, සැප පහසු ජීවිතයකට නැත්නම් ධන සම්පත් ප්‍රදර්ශනය කරන්න තියෙන ආසාව වගේ දේවල් නිසා අපේ අවධානය බිඳෙන්න පුළුවන්. එහෙම වුණොත් දෙවි දීලා තියෙන දේවල් වස්තුවක් වගේ රැකගන්න අපිට බැරි වෙයි. මේ ලෝකයත් ලෝකයේ තියෙන හැම දෙයක්මත් ළඟදීම නැති වෙනවා. (1 යොහ. 2:15-17) අපිට ලැබිලා තියෙන වස්තු ගැන ලොකු අගයක් ඇති කරගෙන ඒවා රැකගන්න ඕනෙ ඒ නිසයි.

20. දෙවිගෙන් ලැබිලා තියෙන වටිනා වස්තු රැකගන්න ඔයා අරන් තියෙන අදිටන මොකක්ද?

20 දේවරාජ්‍යය ගැන ඔයාට තියෙන අගය අඩු වෙන්න හේතු වෙන ඕනෑම දෙයක් අත්හරින්න සූදානමින් ඉන්න. දිගටම උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කරන්න අදිටන් කරගන්න. දේවසේවයට තියෙන ඇල්ම කවදාවත් නැති කරගන්න එපා. අත් නෑර බයිබලේ තියෙන වටිනා සත්‍යයන් හොයන්න. ඔයා එහෙම කරද්දී ‘සොරුන්ට සොරාගන්න බැරි, කාවන්ට නාස්ති කරන්න බැරි ස්වර්ගයේ වස්තු රැස් කරගන්න ඔයාට පුළුවන් වෙයි.’ ඒ වස්තු කිසිදා නැති වෙන්නේ නැහැ. මේ දේ මතක තියාගන්න. “ඔබේ වස්තුව කොතැනද ඔබේ සිතත් එතැනමයි.”—ලූක් 12:33, 34.