Skip to content

පටුනට යන්න

ප්‍රශ්න විසඳගෙන සාමයෙන් ඉමු

ප්‍රශ්න විසඳගෙන සාමයෙන් ඉමු

යෙහෝවා දෙවි අපිට උනන්දු කරන්නේ සාමයෙන් ඉන්න කියලයි. ඒක අපි වැදගත් දෙයක් විදිහට සලකනවා දකින්නයි දෙවිට ඕනේ. වෙන කොතැනකවත් නැති සාමයක් දෙවිගේ සෙනඟ අතරේ තියෙන්නේ එයාලා නිතරම සමඟියෙන් ඉන්න වෑයම් කරන නිසයි. ඒ නිසා සාමයෙන් ඉන්න කැමති අනිත් අයත් දෙවිගේ සංවිධානයට ඇදිලා එනවා.

සාක්ෂිකරුවන් කොච්චර සාමයෙන් ඉන්නවද කියලා මැඩගස්කරයේ හිටපු ප්‍රසිද්ධ කට්ටඩියෙක් දැක්කා. එයා හිතුවා ‘කවදා හරි මං අදහනවා නම් අදහන්නේ අන්න ඒ ආගම’ කියලා. කාලයක් යද්දී එයා භූතයන්ගේ බලයෙන් කරපු හැම දේම අත්හැරියා. එයා ගත කළේ බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි විවාහ ජීවිතයක්. ඒත් එයා වෙනස් වෙන්න පටන්ගත්තා. අන්තිමේදී එයා සමාදානයේ දෙවි යෙහෝවාගේ සේවකයෙක් වුණා.

ඒ වගේ සාමයට කැමති දහස් ගාණක් හැම අවුරුද්දකම දෙවිගේ සංවිධානයට එකතු වෙනවා. ඒත් අපි අතරේ තියෙන ඒ සාමය නැති වෙන්න පුළුවන්ද? ඔව්. ‘ඊර්ෂ්‍යාව, විවාදශීලී’ වගේ ගති නිසා ආරවුල් ඇති වෙන්න පුළුවන් කියලා බයිබලේ කියනවා. (යාකො. 3:14-16) ඒත් මතභේද විසඳගෙන සාමයෙන් ඉන්න උදව් වෙන හුඟක් ප්‍රතිපත්ති බයිබලේ තියෙනවා. ඒ ප්‍රතිපත්ති අදාළ කරගෙන මතභේද විසඳගත්ත සහෝදර සහෝදරියන් කීපදෙනෙක්ගේ අද්දැකීම් ගැන දැන් බලමු.

ප්‍රශ්නෙට විසඳුම

“මාත් එක්ක වැඩ කරපු සහෝදරයාව මට දිරවන්නෙම නෑ. දවසක් අපි දෙන්නා බැණගද්දී තව දෙන්නෙක් ඒක බලාගෙන හිටියා.”—ක්‍රිස්.

“මම නිතරම සේවයේ, පාඩම් ගියේ එක සහෝදරියක් එක්ක. ඒත් එකපාරටම එයා ඒ හැම දේම නැවැත්තුවා. මාත් එක්ක කතා කළෙත් නෑ. ඒ ඇයි කියලා මං දන්නේ නෑ.”—ජැනට්.

“අපි 3දෙනෙක් එකම කෝල් එකකට සම්බන්ධ වෙලා හිටියේ. කතා කරකර ඉද්දී එක් කෙනෙක් බායි කිව්වා. මං හිතුවේ එයා ලයින් එක කට් කළා කියලා. මං අනිත් කෙනා එක්ක එයා ගැන දොස් කිව්වා. බලද්දී එයා කට් කරලා නෑ.”—මයිකල්.

“අපේ සභාවේ පුරෝගාමි සහෝදරියන් දෙන්නෙක් අතරේ ප්‍රශ්නයක් ඇති වුණා. එක් කෙනෙක් අනිත් කෙනාට හොඳටම බැන්නා. ඒ ප්‍රශ්නේ නිසා අනිත් අය අධෛර්යය වුණා.”—ගැරී.

සමහරවිට ඔයාට හිතෙයි ‘ඕවත් ප්‍රශ්නද’ කියලා. ඒත් ඒ ප්‍රශ්න විසඳගත්තේ නැත්නම් ඒකට සම්බන්ධ අයගේ හිත්වලට ඒක බරක් වෙන්න තිබුණා. ඒක සභාවේ එකමුතුකමටත් බලපාන්න ඉඩ තිබුණා. ඒ සහෝදර සහෝදරියන් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගෙන මතභේද විසඳගත්ත එක කොච්චර දෙයක්ද! ඔයා හිතන විදිහට එයාලට උදව් වෙන්න ඇත්තේ මොන බයිබල් ප්‍රතිපත්තිද?

“ගමන යන අතරතුරේදී රණ්ඩු වෙන්න එපා.” (උත්. 45:24) යෝසෙප් ඒක කිව්වේ ඊජිප්තුවේ ඉඳලා ආපහු යන්න පිටත් වුණ එයාගේ අයියලාට. ඒක වටින උපදෙසක්. කෙනෙක් තමන්ගේ හැඟීම් පාලනය කරගන්නේ නැත්නම්, පුංචි දේටත් හිත රිද්දගන්නවා නම් අනිත් අය එක්ක ආරවුල් ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ක්‍රිස් තේරුම්ගත්තා එයාගේ හිතේ තියෙන උඩඟුකම, මඟ පෙන්වීම් පිළිගන්න තියෙන අකමැත්ත ප්‍රශ්න ඇති වෙන්න හේතුවක් කියලා. ඒ අඩුපාඩුකම් හදාගන්නත් කේන්තිය පාලනය කරගන්නත් එයා උත්සාහ කළා. පස්සේ එයා අනිත් සහෝදරයාගෙන් සමාව ඉල්ලුවා. ක්‍රිස්ගේ උත්සාහය දැක්කම තමන්ගේ දුර්වලකම් හදාගන්න අනිත් සහෝදරයාත් පෙලඹුණා. දැන් එයාලා සතුටින් සේවය කරනවා.

“සිතේ තිබෙන දේ හෙළි නොකරන විට සැලසුම් අසාර්ථක වෙයි.” (හිතෝ. 15:22) ඒ ප්‍රතිපත්තිය වචනෙට විතරක් සීමා නොකර ජීවිතේට අදාළ කරගන්න ජැනට් හිතුවා. එයා තීරණය කළා එයාත් එක්ක සේවය කරපු සහෝදරිය එක්ක ටිකක් කතා කරන්න. කතාබහ අතරතුරේදී ජැනට් ඥානවන්ත විදිහට ඒ සහෝදරියගේ හිතේ තිබුණ අමනාපයට හේතුව එළියට ගත්තා. මුලදී ලේසි වුණේ නැතත් සන්සුන්ව හිතේ තියෙන දේවල් කතා කරපු නිසා ප්‍රශ්නේ විසඳගන්න එයාලට පුළුවන් වුණා. අනිත් සහෝදරියත් තේරුම්ගත්තා එයා ජැනට් ගැන හිතාගෙන හිටපු විදිහ වැරදියි කියලා. ඒ ගැන එයා සමාව ඉල්ලුවා. දැන් දෙන්නා ආයෙත් සතුටින් සේවය කරන්න පටන්ගත්තා.

“ඔබ යමක් පරිත්‍යාග කිරීමට පූජාසනය ළඟට යන විට ඔබේ සහෝදරයාට ඔබ සමඟ යම් ගැටලුවක් තිබෙන බව එහිදී ඔබට මතක් වෙයි නම්, පරිත්‍යාග කිරීමට රැගෙන ආ දේ පූජාසනය ඉදිරිපිට තබන්න. මුලින්ම ගොස් ඔබේ සහෝදරයා සමඟ සමාදාන වන්න.” (මතෙ. 5:23, 24) යේසුස් දුන්න ඒ උපදෙස ඔයාට මතක ඇති. තමන් කතා කරපු විදිහ කොච්චර අකාරුණිකද කියලා තේරුම්ගත්තම මයිකල්ට තමන් ගැනම කලකිරීමක් ඇති වුණා. තමන් දොස් කිව්ව සහෝදරයා එක්ක සමාදාන වෙන්න ඕනෙ කියලා එයා හිතාගත්තා. එයා ඒ සහෝදරයාව මුණගැහිලා සමාව ඉල්ලුවා. මොකක්ද ප්‍රතිඵලය? මයිකල් මෙහෙම කිව්වා. “මගේ සහෝදරයා හදවතින්ම මට සමාව දුන්නා.”

“අන් අය කරන දේ ගැන අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත් ඔවුන් ගැන ඉවසන්න.” (කොලො. 3:12-14) සේවයේ යද්දී බැණගත්ත සහෝදරියන් දෙන්නට එයාලා අතරේ තිබුණ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් වුණේ කොහොමද? ප්‍රශ්නේ තියෙන්නේ එයාලා අතරේ වුණත් ඒක අනිත් අයටත් බලපානවා කියලා තේරුම්ගන්න වැඩිමහල්ලෙක් එයාලට උදව් කළා. එකිනෙකා එක්ක වැඩ කරද්දී ඉවසීමෙන් දේවල් කරන්න ඕනෙ කියලත් සභාවේ සාමය රැකගන්න එයාලා වෑයමක් දරන්න ඕනෙ කියලත් වැඩිමහල්ලා මතක් කළා. ඒ මඟ පෙන්වීම් අදාළ කරගත්ත ඒ දෙන්නා දැන් ආයෙත් එකට සේවය කරනවා.

කවුරු හරි කියපු දෙයක් නිසා ඔයාගේ හිත රිදිලද තියෙන්නේ? එහෙමනම් කොලොස්සි 3:12-14 තියෙන ප්‍රතිපත්තිය අදාළ කරගන්න. නිහතමානී වුණොත් සමාව දෙන්න ලේසියි කියලා හුඟක් අය තේරුම් අරන් තියෙනවා. එහෙම කරලත් ප්‍රශ්නේ විසඳිලා නැහැ කියලා ඔයාට හිතෙනවා නම් මතෙව් 18:15 තියෙන ප්‍රතිපත්තිය අදාළ කරගන්න. යේසුස් එතන කතා කළේ කෙනෙක් බරපතළ වරදක් කරපු අවස්ථාවක කරන්න ඕනෙ දෙයක් ගැන වුණත් ඒ ප්‍රතිපත්තිය මේ වගේ අවස්ථාවකත් අදාළ කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට පුළුවන් ප්‍රශ්නේ තියෙන කෙනාව මුණගැහිලා කාරුණිකව, නිහතමානීව කතා කරලා ඒක විසඳගන්න.

අපිට අදාළ කරගන්න පුළුවන් තවත් වටිනා මඟ පෙන්වීම් බයිබලේ තියෙනවා. ඒවා අදාළ කරගද්දී අපි දෙවිගේ බලය ඉල්ලන්න ඕනේ. එතකොට “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසය, මෘදුකම, තමාව පාලනය කරගැනීම” කියන දෙවිගේ බලයේ උදව්වෙන් ඇති වන ගුණාංග අපේ ජීවිතෙන් පෙන්නන්න අපිට පුළුවන්. (ගලා. 5:22, 23) මෙහෙම හිතන්න, මැෂින් එකක් හොඳට වැඩ කරන්න නම් ඒකට තෙල් දාන්න ඕනේ. ඒ වගේ දෙවිගේ බලයේ උදව්වෙන් ඇති වෙන ගුණාංග අපේ ජීවිතෙන් පෙන්නද්දී අනිත් අය එක්ක සාමයෙන් ඉන්න පුළුවන්.

සභාව ලස්සන වෙන්නේ විවිධත්වය නිසයි

අපි හැමෝටම අපිටම ආවේණික පෞද්ගලිකත්වයක් තියෙනවා. ඒ කියන්නේ ගතිපැවතුම්, හිතන විදිහ, අදහස් ප්‍රකාශ කරන විදිහ කෙනෙක්ගෙන් තව කෙනෙක්ට වෙනස් කියන එකයි. වෙනස් පෞද්ගලිකත්වයන් නිසා අපේ මිතුදම් තවත් රසවත් වෙනවා. ඒත් සමහර වෙලාවට මතගැටුම් ඇති වෙන්නත් ඒක හේතුවක්. වැඩිමහල්ලෙක් මෙහෙම කිව්වා. “වැඩි කතාබහක් නැති, ලැජ්ජාශීලී කෙනෙක්ට නිතරම විහිළු තහළු කරලා ඉන්න කෙනෙක් එක්ක වැඩ කරන්න අමාරු වෙන්න පුළුවන්. බැලූ බැල්මට ඒක ලොකු දෙයක් නෙමෙයි කියලා හිතෙයි. ඒත් ආරවුලක් ඇති වෙන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්.” වෙනස් පෞද්ගලිකත්වයන් තියෙන දෙන්නෙක්ට කවදාවත් පෑහිලා දේවල් කරන්න බැහැ කියලා ඔයා හිතනවද? යේසුස්ගේ නියෝජිතයන් දෙන්නෙක් වුණ පේතෘස් සහ යොහන් ගැන ටිකක් හිතන්න. පේතෘස් කියන්නේ කටට එන දේ කියලා දාපු, හදිසි වෙලා වැඩ කරපු කෙනෙක්. ඒත් යොහන් ඊට වඩා වෙනස්. එයා දුර දිග බලලා වැඩ කරපු, හොඳට හිතලා බලලා කතා කරපු කෙනෙක්. ඒකෙන් පේනවා ඒ දෙන්නාගේ පෞද්ගලිකත්වයන් හාත්පසින්ම වෙනස් කියලා. ඒත් එයාලා එකමුතුව වැඩ කළා. (ක්‍රියා 8:14; ගලා. 2:9) අනිත් අය අපිට වඩා වෙනස් වුණත් එයාලා එක්ක සමඟියෙන් වැඩ කරන්න පුළුවන් කියන දේ ඒකෙන් පැහැදිලියි.

සමහරවිට ඔයාට එච්චර රුස්සන්නේ නැති කෙනෙක් සභාවේ ඉන්නවා ඇති. ඒත් මතක තියාගන්න යේසුස් ජීවිතේ දුන්නේ එයායි, ඔයායි දෙන්නම වෙනුවෙන්. එයාට ආදරෙන් සලකන එක යේසුස් ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. (යොහ. 13:34, 35; රෝම 5:6-8) එයාව ආශ්‍රය නොකර ඉන්න එක, එයාව මඟහරින එක වැරදියි. මේ ප්‍රශ්න ගැන හිතන්න. ‘එයා කරන දේවලින් බයිබල් ප්‍රතිපත්තියක් කැඩෙනවද? එයා මාව අපහසුතාවට පත් කරන්නේ හිතාමතාමද? නැත්නම් මට ඒ විදිහට හිතෙන්නේ අපේ පෞද්ගලිකත්වයන් වෙනස් නිසාද? මට දෙයක් ඉගෙනගන්න පුළුවන් එයාට තියෙන මොන ගුණාංගවලින්ද?’

ඒ අන්තිම ප්‍රශ්නේ ගැන හිතන එක හුඟක් ප්‍රයෝජනවත්. හිතන්න, ඔයා වැඩි කතාබහක් නැති කෙනෙක් කියලා. ඒත් අනිත් කෙනා හොඳට කතාබහ කරන කෙනෙක්. ඒ නිසා එයාට සේවයේදී ඉක්මනින් මිනිසුන් එක්ක සුහද වෙන්න පුළුවන්. සේවයේ යද්දී එයාගෙන් ඉගෙනගන්න පුළුවන් දේවල් ගැන හිතන්න. නැත්නම් හිතන්න, එයා ලෝභ නැතුව අනිත් අයට දේවල් දෙන කෙනෙක් කියලා. ඒත් ඔයා එහෙම නැහැ. වයසක අයට, අසනීප අයට, අගහිඟකම් තියෙන අයට දේවල් දීලා එයා කොච්චර සතුටු වෙනවද කියලා කල්පනා කරන්න. ඇත්ත, ඔයායි, එයායි අහසට පොළොව වගේ වෙනස් වුණත් එයාගේ හොඳ ගුණාංගවලට අවධානය දුන්නොත් දන්නෙම නැතුව ඔය දෙන්නගේ බැඳීම වැඩි වෙයි. ඒ කියන්නේ ඔයාලා හොඳම යාළුවෝ වෙනවා කියන එකම නෙමෙයි. ඒ වෙනුවට ඔයාලට සාමයෙන් ඉන්න පුළුවන් කියන එකයි. ඒක සභාවේ එකමුතුකමටත් දායක වෙනවා.

මුල් සියවසේ හිටපු යුවෝදියා, සින්ටිකීට වඩා හුඟක් වෙනස් කියලා හිතන්න පුළුවන්. පාවුල් එයාලට කිව්වා “ස්වාමීන් සමඟ එකට බැඳී සිටින අය ලෙස එකඟතාවකින්” ඉන්න කියලා. (ෆිලි. 4:2) ඒ උපදෙස අදාළ කරගන්න ඔයාටත් පුළුවන්.

ප්‍රශ්න දුර දිග ගෙනියන්න එපා

මල් පාත්තියක වැවෙන වල් පැළ ඉක්මනින්ම උදුරලා දැම්මේ නැත්නම් ඒවාවලින් මුළු පාත්තියම වැහිලා යනවා. අනිත් අය ගැන අපේ හිතේ ඇති වෙන තරහාත් ඒ වල් පැළ වගේ. තරහා ඉක්මනින්ම අයින් කරගත්තේ නැත්නම් අනිත් අයගේ හොඳ දකින්නම අපිට බැරි වෙයි. එහෙම වුණොත් ඒක මුළු සභාවේම සාමයට බලපායි. ඒත් අපි යෙහෝවා දෙවිටයි, සහෝදරයන්ටයි ආදරෙයි නම් සභාවේ සාමයට තර්ජනයක් වෙන්න අපි අතරේ තියෙන වෙනස්කම්වලට ඉඩ දෙන්නේ නැහැ.

නිහතමානීව මතභේද විසඳගන්න වෑයම් කරනවා නම් හිතාගන්න බැරි ප්‍රතිඵල ලැබෙනවා

මතභේද විසඳගන්න අපි ලොකු වෑයමක් දරනවා නම් හිතාගන්න බැරි තරම් හොඳ ප්‍රතිඵල ලැබෙයි. සහෝදරියක් මෙහෙම කිව්වා. “එක සහෝදරියක් මට සැලකුවේ පොඩි ළමයෙක්ට වගේ. මං ඒකට පොඩ්ඩක්වත් ආස නෑ. එයා ගැන මගේ හිතේ තිබුණ තරහා එන්න එන්නම වැඩි වුණා. ඒ නිසා එයා මොනවා හරි කිව්වම මං උත්තර දුන්නේ වචනෙන් දෙකෙන්. ‘එයා මට කිසි ගෞරවයක් පෙන්නන්නේ නැත්නම් මං මොකටද එයාට ගෞරවයක් පෙන්නන්නේ’ කියලා මං හිතුවා.”

පස්සේ ඒ සහෝදරිය තමන් කරපු කියපු දේවල් ගැන හිතලා බැලුවා. එයා මෙහෙම කියනවා. “මගේ අඩුපාඩු ගැන හිතුවම මට මං ගැනම කලකිරුණා. මං හිතන විදිහ වෙනස් කරගන්න ඕනෙ කියලා මට තේරුණා. මං දෙවිගෙන් උදව් ඉල්ලුවා. ඊටපස්සේ සමාව ඉල්ලලා කාඩ් එකකුත් ලියලා, තෑග්ගකුත් අරගෙන මං එයාව බලන්න ගියා. අපි දෙන්නා එකිනෙකාව වැලඳගත්තා. ආයේ අපි අතරේ ප්‍රශ්නයක් ඇති වුණේ නෑ.”

හැමෝටම ඕනෙ සාමයෙන් ඉන්න. ඒත් උඩඟුකම, තත්වය රැකගන්න තියෙන ආසාව නිසා මිනිසුන් සාමය නැති වෙන විදිහට වැඩ කරනවා. ඒක අද කාලේ සාමාන්‍ය දෙයක් වුණත් දෙවිගේ නම දරන අය හැටියට අපෙන් දෙවි ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා. පාවුල් මෙහෙම කිව්වා. “මා ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබේ කැඳවීමට ඔබින ආකාරයකින් ඔබේ ගමන යන ලෙසය. ඔබ නිතරම නිහතමානිකමින්, මෘදුකමින්, බොහෝ ඉවසිලිවන්තකමින් සහ එකිනෙකාගේ දුර්වලකම් ප්‍රේමණීය ලෙස දරාගනිමින් සිටිය යුතුයි. එලෙසම දෙවිගේ බලය ඔබ අතරෙහි ක්‍රියාත්මක වීම මගින් ඔබ අද්දකින එක්සත්කම රැකගැනීමටත් සමාදානයෙන් ජීවත් වීමටත් මහත් වෑයමක් දැරිය යුතුයි.” (එෆී. 4:1-3) දෙවිගේ සෙනඟ අතරේ තියෙන සමාදානය මිල කරන්න බැරි තරම් වටිනවා. ඒ නිසා අපි අතරේ මතභේද ඇති වුණොත් ඒවා ඉක්මනින්ම විසඳගෙන ඒ බැඳීම තව ශක්තිමත් කරන්න දායක වෙමු.