Skip to content

පටුනට යන්න

“සිහිනුවණින් ක්‍රියා කළ නිසා ඔබට ආශීර්වාද ලැබේවා!”

“සිහිනුවණින් ක්‍රියා කළ නිසා ඔබට ආශීර්වාද ලැබේවා!”

ඒ දාවිත් අබිගායිල්ව අගය කරපු විදිහයි. දාවිත් එයාව අගය කළේ ඇයි? අපිට එයාගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද?

අබිගායිල් විවාහ වෙලා හිටියේ නාබල් එක්ක. එයා සත්ව රැළවල් හුඟක් හිටිය ධනවතෙක්. එයාලා පදිංචි වෙලා හිටියේ යූදා දේශයේ දකුණින් තිබුණ කඳුකර පළාතක. දාවිත්ට අබිගායිල්ව මුණගැහුණේ සාවුල් රජුගේ තර්ජන නිසා පලා ගිහින් ඉද්දී. දාවිත් සහ එයාගේ මිනිසුන් නිසා නාබල්ගේ සතුන්ටයි, එඬේරුන්ටයි ‘පවුරකින් වට වෙලා’ ඉන්නවා වගේ ආරක්ෂාවක් ලැබුණා. කෑමට මොනවා හරි එවයි කියලා හිතලා දවසක් දාවිත් නාබල්ට මේ වගේ පණිවිඩයක් යැව්වා. ‘ඔබ කැමති දෙයක් අපිට දෙන්න.’ (1 සාමු. 25:8, 15, 16) දාවිත් නාබල්ට කරපු උදව් එක්ක බලද්දී ඒක අසාධාරණ ඉල්ලීමක් නෙමෙයි.

ඒත් නාබල් වැඩ කළේ “මෝඩ” විදිහට. එයාගේ නමේ තේරුමත් ඒකයි. එයා දාවිත්ගේ ඉල්ලීම තුට්ටුවකටවත් මායිම් නොකර දාවිත්ට අපහාස කළා. ඒක දැනගත්තම දාවිත්ට හොඳටම කේන්ති ගිහින් නාබල්වයි, එයාගේ ගෙදර හිටපු හැම පිරිමියෙක්වමයි මරලා දාන්න තීරණය කළා.—1 සාමු. 25:2-13, 21, 22.

දාවිත් ගත්ත තීරණය නිසා වෙන්න යන විපත තේරුම්ගත්ත අබිගායිල් ධෛර්යවන්තව ඒ කාරණයට මැදිහත් වුණා. අබිගායිල් දාවිත්ගෙන් ගෞරවනීයව ඉල්ලුවේ එයා කරන්න යන දේ දෙවිත් එක්ක එයාට තියෙන බැඳීමට කොහොම බලපායිද කියන එක ගැන හිතලා බලන්න කියලයි. අනාගත රජ හැටියට අභිෂේක ලබලා හිටපු දාවිත්ට සහ එයාගේ මිනිසුන්ට ඇති තරම් කෑම බීමත් අබිගායිල් ලබා දුන්නා. අනිත් අතට දාවිත් තේරුම්ගත්තා තමන් අතින් වෙන්න ගිය බරපතළ පාපය වළක්වගන්න දෙවි අබිගායිල් මාර්ගයෙන් තමන්ට උදව් කළා කියලා. ‘ඔබ සිහිනුවණින් ක්‍රියා කළ නිසා ඔබට ආශීර්වාද ලැබේවා! ලේ වැගිරවීමෙන් මාව වැළැක්වූ නිසාත් ඔබට ආශීර්වාද ලැබේවා’ කියලා දාවිත් අබිගායිල්ට කිව්වේ ඒ නිසයි.—1 සාමු. 25:18, 19, 23-35.

නාබල් අනිත් අය කරපු යහපත් දේවල් අගය කළේ නැහැ. එයා වගේ වෙන්න අපි කවුරුත් ආස නැහැ. ‘මහ විනාසයක්’ වෙන්නයි යන්නේ කියලා තේරුම්ගත්ත අබිගායිල්, ඒක වළක්වගන්න සුදුසු පියවර ගත්තා. අපිත් අබිගායිල් වගේ වෙමු. ගීතිකාකරු වගේ “යහපත්කම් කිරීමට මට උගන්වන්න. සිහිබුද්ධිය හා දැනුම මට ලබා දෙන්න” කියලා අපිත් දෙවිගෙන් ඉල්ලමු.—ගීතා. 119:66.

අපි කරන කියන දේවලින් අපි සිහිබුද්ධියෙන් වැඩ කරන අය කියලා අනිත් අය තේරුම්ගනියි. ඒ ගැන එයාලා අපිට කිව්වත් නැතත් දාවිත්ට වගේ එයාලටත් මෙහෙම හිතෙයි. “සිහිනුවණින් ක්‍රියා කළ නිසා ඔබට ආශීර්වාද ලැබේවා!”