Skip to content

පටුනට යන්න

ඔයා ඉවසීමෙන් බලාගෙන ඉන්න කෙනෙක්ද?

ඔයා ඉවසීමෙන් බලාගෙන ඉන්න කෙනෙක්ද?

“ඔබත් ඉවසිල්ලෙන් බලා සිටින්න.”—යාකො. 5:8.

ගීතිකා: 114, 79

1, 2. (අ) “තව කොපමණ කාලයක්” බලාගෙන ඉන්න වෙයිද කියන සිතුවිල්ල අපිට ඇති වෙන්න පුළුවන් ඇයි? (ආ) අතීතයේ හිටපු අයගේ ආදර්ශ අපිට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද?

“තව කොපමණ කාලයක්” ඉවසන්නද? ඒ දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් දෙන්නෙක් වුණ යෙසායා සහ හබක්කුක් දෙවිගෙන් අහපු ප්‍රශ්නයක්. (යෙසා. 6:11; හබ. 1:2) 13වෙනි ගීතිකාව රචනා කරද්දී දාවිත් 5 වතාවක්ම ඒ හා සමාන ප්‍රශ්නයක් ඇහුවා. (ගීතා. 13:1, 2) මිනිසුන් වැඩිදෙනෙක්ට කිසිම විශ්වාසයක් නැහැ කියලා දැක්කාම යේසුත් ඇහුවා “තව කොපමණ කල් ඉවසන්නද” කියලා. (මතෙ. 17:17) ඔයාටත් එහෙම හිතිලා තියෙනවාද?

2 සමහරවිට අසනීපයක් නිසා, මහලු විය නිසා ඔයා දුෂ්කරතා අද්දකිනවා ඇති. අසාධාරණයකට මුහුණ දෙනවා ඇති. මිනිසුන්ගේ දුෂ්ටකම් නිසා ඉන්නේ කලකිරීමෙන් වෙන්න ඇති. නැත්නම් මේ “අසීරු, අනතුරු සහිත කාලේ” ඔයාට ලොකු පීඩනයක් දැනෙනවා ඇති. (2 තිමෝ. 3:1) එහෙමනම් “තව කොපමණ කල් ඉවසන්නද” කියලා ඔයාට හිතෙන එක පුදුමයක් නෙමෙයි. එහෙම හැඟුණා කියලා බය වෙන්න එපා. මොකද ඔයාගේ හැඟීම් දෙවි තේරුම්ගන්නවා. අතීතයේදීත් දෙවිගෙන් ඒ ප්‍රශ්නේ අහපු අය එක්ක දෙවි කේන්ති ගත්තේ නැහැ.

3. දුෂ්කරතා අද්දකිද්දී අපි කරන්න ඕනෙ මොකක්ද?

3 ජීවිතේ දුෂ්කරතා අද්දකිද්දී නොසැලී ඉන්න නම් අපි කරන්න ඕනෙ මොකක්ද? යාකොබ් මෙහෙම කියනවා. “සහෝදරයෙනි, ස්වාමීන් පැමිණ සිටින කාලය එන තුරු ඉවසිල්ලෙන් බලා සිටින්න.” (යාකො. 5:7) ඉවසීමෙන් බලාගෙන ඉන්න කෙනෙක් කොයි වගේද? ඔයාත් ඉවසීමෙන් බලාගෙන ඉන්න කෙනෙක්ද?

ඉවසීමෙන් බලාගෙන ඉන්න කෙනෙක්

4, 5. (අ) ඉවසීමෙන් වැඩ කරන කෙනෙක් කොයි වගේද? (ආ) යාකොබ් ඒ ගුණාංගය පැහැදිලි කළේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

4 ඉවසීම කියන්නේ කෙනෙක් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංගයක් කියලයි බයිබලේ කියන්නේ. ඒ නිසා ඉවසීමෙන් වැඩ කරන කෙනෙක් දේවල් දරාගන්නේ දත්මිටි කාගෙන නෙමෙයි සතුටින්. (කොලො. 1:11; යාකො. 1:3, 4) එහෙම කෙනෙක් මොන ප්‍රශ්න ආවත් දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්නවා. කාරණා තමන්ගේ අතට අරන් අනිත් අයගෙන් පළිගන්න හදන්නේ නැහැ. ඉවසීමෙන් දේවල් කරද්දී අපි පෙන්නන්නේ අපි යෙහෝවා දෙවිටත් අනිත් අයටත් ආදරේ කියලයි. ඒත් අපි හදිස්සි වෙලා දේවල් කරද්දී අපේ බැඳීම් පලුදු වෙනවා. (1 කොරි. 13:4; ගලා. 5:22) ඉවසීමෙන් වැඩ කරන්න නම් අපිට දෙවිගේ උදව් නැතුවම බැහැ. බයිබලේ අපිට කියන්නේ අපි ඉවසීමෙන් බලාගෙන ඉන්න ඕනෙ කැමැත්තෙන්ම කියලයි. එහෙම නැතුව වෙන කරන්න දෙයක් නැති නිසා නෙමෙයි. යාකොබ් 5:7, 8 (කියවන්න.) සඳහන් වැදගත් පාඩම ඒකයි.

5 යාකොබ් අපිව ගොවියෙකුට සමාන කළා. ගොවියෙක් බීජ වගා කරන්න හුඟක් මහන්සි වෙනවා. ඒත් එයාට අවශ්‍ය විදිහට කාලගුණය වෙනස් කරන්නවත් පැළ වේගයෙන් වැඩෙන්න සලස්වන්නවත් බැහැ. ඉක්මනින් දවස් ගෙවෙන්න සලස්වන්නත් එයාට බැහැ. “භූමියෙන් අනගි පලදාවක් ලැබෙන තුරු” එයා ඉවසීමෙන් බලාගෙන ඉන්න ඕනේ. දෙවිගේ පොරොන්දු ඉටු වෙන කල් අපි බලාගෙන ඉන්න අතරේ අපිට වෙනස් කරන්න බැරි, පාලනය කරන්න බැරි හුඟක් දේවල් තියෙනවා. (මාක් 13:32, 33; ක්‍රියා 1:7) ඒ නිසා අස්වැන්න නෙළන කාලේ එන කල් ගොවියා ආසාවෙන් බලාගෙන ඉන්නවා වගේ අපිත් දෙවිගේ පොරොන්දු ඉටු වෙන කල් ආසාවෙන් බලාගෙන ඉන්න ඕනේ.

6. මීකාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

6 අනාගතවක්තෘ මීකා ජීවත් වුණේ අද අපි ජීවත් වෙනවා වගේ සමාජයක. ඒ කාලේ පාලනය කළේ හරිම දුෂ්ට රජ කෙනෙක් වුණ ආහස්. ඒ නිසා දේශය දෙවි පිළිකුල් කරපු දේවලින් පිරිලා තිබුණා. බයිබලේ කියන්නේ එදා හිටපු අය “නපුරු දේ කිරීමට දක්ෂයෝ” කියලයි. (මීකා 7:1-3 කියවන්න.) එදා සමාජයේ තිබුණ තත්වය තමන්ට වෙනස් කරන්න බැහැ කියලා තේරුම්ගත්ත මීකා, මෙහෙම කිව්වා. “මා බලාපොරොත්තු තබන්නේ යෙහෝවා දෙවි කෙරෙහිය. මට ගැලවීම දෙන දෙවි ක්‍රියා කරන තුරු මම ඉවසිල්ලෙන් බලා සිටින්නෙමි. මාගේ දෙවි මට සවන් දෙන බව මට විශ්වාසය.” (මීකා 7:7) මීකා වගේ අපිත් දෙවි ක්‍රියා කරන තුරු ඉවසිල්ලෙන් බලගෙන ඉන්න ඕනේ.

7. දෙවි පොරොන්දු ඉටු කරන කල් ඔහේ බලාගෙන ඉන්නවාට වඩා දෙයක් අපි කරන්න ඕනෙ ඇයි?

7 මීකාට තිබුණා වගේ විශ්වාසයක් අපිටත් තියෙනවා නම් දෙවි පොරොන්දු ඉටු කරන කල් අපි බලාගෙන ඉන්නේ ආසාවෙන්. මරණ දඬුවම නියම වුණ හිරකරුවෙක් ගැන හිතන්න. දඬුවම ලැබෙන දවස එන කල් එයා බලාගෙන ඉන්නේ ආසාවෙන්ද? නැහැ, වෙන කරන්න දෙයක් නැති නිසයි. ඒත් අපේ තත්වය ඊට වඩා වෙනස්. දෙවි පොරොන්දු ඉටු කරන කල් අපි බලාගෙන ඉන්නේ කැමැත්තෙන්මයි. මොකද සදාකාල ජීවිතය ලබා දෙනවා කියලා දෙවි දීලා තියෙන පොරොන්දුව නියමිත වෙලාවේදී ඔහු ඉටු කරනවා කියලා අපිට නිසැකයි. ඒ නිසා ‘ඕනෑම දෙයක් සාර්ථකව විඳදරාගැනීමටත් ප්‍රීතිය රැකගෙන බොහෝ ඉවසිලිවන්තව කටයුතු කිරීමටත්’ අපිට පුළුවන්. (කොලො. 1:11, 12) ඒත් බලාගෙන ඉන්න අතරේ ‘ඇයි දෙවි ඉක්මනින් පියවර ගන්නේ නැත්තේ’ කියලා ඔහුට දොස් නොකියා ඉන්න වගබලා ගමු. මොකද එහෙම අය ගැන දෙවි සතුටු වෙන්නේ නැහැ.—කොලො. 3:12.

එයාලා ඉවසිලිවන්තව බලාගෙන හිටියා

8. අතීතයේ හිටපු විශ්වාසවන්ත අයගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

8 අතීතයේ ජීවත් වුණ සමහරු දෙවිගේ පොරොන්දු ඉටු වෙන කල් ඉවසීමෙන් බලාගෙන හිටියා. එයාලගේ ආදර්ශ ගැන හිතන එක ඒ දේ කරන්න අපිටත් උදව්වක්. (රෝම 15:4) ඒ ආදර්ශ ගැන බලද්දී කොච්චර කාලයක් පුරා එයාලා ඉවසීමෙන් බලාගෙන හිටියාද කියලත් කැමැත්තෙන්ම ඒ දේ කළේ ඇයි කියලත් හිතන්න. දෙවි එයාලට ආශීර්වාද කරපු විදිහ ගැනත් හිතන්න.

ආබ්‍රහම්ට සිද්ධ වුණා මුනුපුරන් දෙන්නා වුණ ඒසව් සහ යාකොබ් ඉපදෙන කල් අවුරුදු ගාණක් බලාගෙන ඉන්න (9 සහ 10 ඡේද බලන්න)

9, 10. ආබ්‍රහම්ටයි, සාරාටයි කොච්චර කාලයක් බලාගෙන ඉන්න වුණාද?

9 “පොරොන්දු වූ දේවල ඉටු වීම” අද්දකින අය අතරේ ආබ්‍රහම් සහ සාරා ඉන්නවා. ඒ එයාලා ‘විශ්වාසයකින් හා ඉවසීමකින් කටයුතු කරපු’ නිසයි. බයිබලේ කියන්නේ ‘ආබ්‍රහම් ඉවසීමෙන් කටයුතු කළාට පස්සේ’ එයාට ආශීර්වාද කරනවා කියලත් එයාගෙන් විශාල ජාතියක් බිහි කරනවා කියලත් දෙවි පොරොන්දු වුණා කියලයි. (හෙබ්‍රෙ. 6:12, 15) ඒ පොරොන්දුව ඉටු වෙන කල් යම් කාලයක් ඉවසීමෙන් බලාගෙන ඉන්න ආබ්‍රහම්ට සිද්ධ වුණා. දෙවි එයාට පොරොන්දුව දීලා යම් කාලෙකට පස්සෙයි එයා එක්ක ඇති කරගත්ත ගිවිසුම ස්ථිර කළේ. ඒ ක්‍රි.පූ. 1943 නීසාන් මාසේ 14වෙනිදා. එදා ආබ්‍රහම් සහ එයාගේ ගෙදර අය යුප්‍රටීස් ගඟෙන් එගොඩ වෙලා දෙවි පොරොන්දු වුණ දේශයට ඇතුල් වුණා. ඒත් එයාගේ පුතා ඊසාක් ඉපදුණේ එදා ඉඳලා අවුරුදු 25ක් ගත වුණාට පස්සේ. ආබ්‍රහම්ගේ මුනුපුරන් දෙන්නා වුණ ඒසව් සහ යාකොබ් ඉපදුණේ තවත් අවුරුදු 60කට පස්සේ. ආබ්‍රහම් දිගු කාලයක් තිස්සේ දෙවිගේ පොරොන්දු ඉටු වෙන කල් ආසාවෙන් බලාගෙන හිටියා.—හෙබ්‍රෙ. 11:9.

10 පොරොන්දු දේශයෙන් කොයි තරම් ප්‍රමාණයක් ආබ්‍රහම්ට උරුම වුණාද? බයිබලේ කියන්නේ “දෙවි දේශයේ බිම් අඟලක්වත් ඔහුට දුන්නේ නැහැ” කියලයි. ඒත් “ඒ වන විට දරුවෙකු නොසිටි ඔහුට, දෙවි පොරොන්දු වුණේ ඔහුටත් ඔහුගෙන් පැවතෙන්නන්ටත් මෙම දේශය උරුමයක් ලෙස පසුව දෙන බවයි.” (ක්‍රියා 7:5) ආබ්‍රහම් යුප්‍රටීස් ගඟෙන් එගොඩ වෙලා අවුරුදු 430කට පස්සෙයි එයාගෙන් පැවත ආපු අයට ඒ දේශය දෙන්න දෙවි ජාතියක් විදිහට එයාලව සංවිධානය කළේ.—නික්. 12:40-42; ගලා. 3:17.

11. දෙවිගේ පොරොන්දු ඉටු වෙන කල් ආබ්‍රහම් ආසාවෙන් බලාගෙන හිටියේ ඇයි? ඉවසීමෙන් බලාගෙන හිටපු නිසා එයා ඉදිරියේදී මොන වගේ ආශීර්වාද අද්දකියිද?

11 දෙවිගේ පොරොන්දු ඉටු වෙන කල් ආබ්‍රහම් ආසාවෙන් බලාගෙන හිටියේ දෙවි ගැන එයාට ලොකු විශ්වාසක් තිබුණ නිසයි. (හෙබ්‍රෙව් 11:8-12 කියවන්න.) එයාගේ ජිවිත කාලෙදී ඒ හැම පොරොන්දුවක්ම ඉටු වෙනවා එයා දැක්කේ නැති වුණත් එයා සතුට නැති කරගත්තේ නැහැ. දිගටම ආසාවෙන් බලාගෙන හිටියා. පාරාදීසයේදී ආබ්‍රහම්ට ආපහු ජීවිතේ ලැබෙද්දී එයාට කොයි තරම් සතුටක් දැනෙයිද! බයිබලේ හුඟක් තැන්වල එයා ගැන, එයාගේ පවුලේ අය ගැන සඳහන් තොරතුරු දැක්කාම එයා පුදුම වෙයි. * පොරොන්දු වුණ ගැලවුම්කරු සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ ඉටු කරන්න තමන් හවුල් වුණ විදිහ එයා තේරුම්ගද්දී කොයි තරම් සතුටක් එයාට දැනෙයිද! කාලයක් පුරා ඉවසීමෙන් බලාගෙන හිටපු එක කොයි තරම් වටිනවාද කියලා එදාට එයාට හිතෙයි.

12, 13. යෝසෙප්ට ඉවසීම ඕනෙ වුණේ ඇයි? දුෂ්කර දේවලට මුහුණ දෙද්දී යෝසෙප් වැඩ කළේ කොහොමද?

12 දෙවි ක්‍රියා කරන කල් ඉවසීමෙන් බලාගෙන හිටපු තවත් කෙනෙක් තමයි ආබ්‍රහම්ගේ මුනුපුරෙක් වුණ යෝසෙප්. වයස 17දී එයාගේ අයියලා එයාව වහලෙක් විදිහට විකුණුවා. පස්සේ කාලෙක එයාගේ ස්වාමියාගේ බිරිඳව දූෂණය කරන්න හැදුවා කියලා බොරු චෝදනා එල්ල කරලා එයාව හිරේට දැම්මා. (උත්. 39:11-20; ගීතා. 105:17, 18) යෝසෙප් දිගටම දෙවිට විශ්වාසවන්තව හිටියත් එයා අවුරුදු 13ක් පුරා කටුක දේවල් අද්දැක්කා. බැලූ බැල්මට පේන්න තිබුණේ එයා ආශීර්වාද ලබනවා වගේ නෙමෙයි, දඬුවම් ලබනවා වගේ. ඒත් අන්තිමේදී හිරෙන් නිදහස් වුණ යෝසෙප්ට ඊජිප්තුවේ අගමැති තනතුර ලැබුණා.—උත්. 41:14, 37-43; ක්‍රියා 7:9, 10.

13 සිද්ධ වුණ අසාධාරණකම් නිසා යෝසෙප් කේන්ති ගත්තාද? යෙහෝවා දෙවි එයාව අත්හැරියා කියලා හිතුවාද? නැහැ. එයා ඉවසීමෙන් බලාගෙන හිටියා. එහෙම කරන්න එයාට උදව් වුණේ දෙවි ගැන තිබුණ විශ්වාසයයි. එයා දැනගෙන හිටියා දෙවි යම් දේකට ඉඩහරිනවා නම් ඒකට හොඳ හේතුවක් තියෙනවා කියලා. අයියලාට එයා කිව්ව මේ දෙයින් ඒක පැහැදිලියි. “භය වෙන්න එපා. දෙවිගේ තැන ගන්න මට අයිතියක් නැහැ. ඔබ මට නපුරක් කරන්න හැදුවා. ඒත් දෙවි ඒ දේ සිදු වෙන්න ඉඩහැරියේ හොඳ හේතුවක් ඇතුවයි. බොහෝදෙනෙකුගේ ජීවිත බේරගන්නයි ඔහු එහෙම කළේ.” (උත්. 50:19, 20) ඉවසීමෙන් බලාගෙන හිටපු එක කොච්චර වටිනවාද කියලා යෝසෙප් අද්දැක්කා.

14, 15. (අ) දාවිත් ඉවසපු විදිහ හරිම විශේෂයි කියන්නේ ඇයි? (ආ) ඉවසීමෙන් බලාගෙන ඉන්න එයාට උදව් වුණේ මොකක්ද?

14 දාවිත් රජත් හුඟක් අයුක්තිසහගත දේවලට මුහුණ දුන්නා. යෙහෝවා දෙවි දාවිත්ව යෞවන කාලෙදීම රජ විදිහට අභිෂේක කළා. ඒත් අවුරුදු 15ක් යන කල් එයාට එයාගේ ගෝත්‍රයේවත් රජකම ලැබුණේ නැහැ. (2 සාමු. 2:3, 4) ඒ කාලේ අතරතුරේ එයා ගත කළේ කටුක ජීවිතයක්. සාවුල් රජ එයාව මරන්න හෙව්වා. * ඒ නිසා එයාට ජීවත් වෙන්න වුණේ වෙනත් දේශවල නැත්නම් පාළුකරයේ ගල් ගුහාවල. ඔය විදිහට කාලේ ගෙවිලා යද්දී සාවුල් රජ යුද්දෙකදී මිය ගියා. ඒත් මුළු ඊශ්‍රායෙල් දේශයේම පාලනය භාරගන්න තව අවුරුදු 7ක් දාවිත්ට බලාගෙන ඉන්න සිද්ධ වුණා.—2 සාමු. 5:4, 5.

15 ඉවසීමෙන් බලාගෙන ඉන්න දාවිත්ට පුළුවන් වුණේ කොහොමද? එයා මෙහෙම කිව්වා. “ඔබේ මහත් ප්‍රේමය ගැන මම විශ්වාස කළෙමි. ඔබ දෙන ගැලවීම ගැන මාගේ සිත ප්‍රීති වෙයි. යෙහෝවා දෙවියනි, ඔබ මට බොහෝ සෙයින් ආශීර්වාද කර තිබෙන නිසා මම ඔබට ප්‍රශංසා ගී ගයන්නෙමි.” (ගීතා. 13:5, 6) දාවිත්ට ලොකු විශ්වාසයක් තිබුණා යෙහෝවා දෙවි එයාට හුඟක් ආදරෙයි කියලා. දෙවි එයාත් එක්කම ඉන්නවා කියලා. අතීතයේ දෙවි එයාට උදව් කරපු විදි ගැනත් එයාගේ ප්‍රශ්නවලට දෙවි විසඳුමක් ගේන දවස ගැනත් එයා කල්පනා කළා. ඉවසීමෙන් බලාගෙන ඉන්න එක වටිනවා කියලා දාවිත් දැනගෙන හිටියා.

ඉවසීමෙන් බලාගෙන ඉන්න කියලා දෙවි අපිට කියනවා විතරක් නෙමෙයි ඔහුත් ඒ දේම කරනවා

16, 17. ඉවසීම සම්බන්ධයෙන් හොඳම ආදර්ශ යෙහෝවා දෙවි සහ යේසුස් කියන්නේ ඇයි?

16 ඉවසීමෙන් බලාගෙන ඉන්න කියලා යෙහෝවා දෙවි අපිට කියනවා විතරක් නෙමෙයි ඔහුත් ඒ දේම කරනවා. ඇත්තමට, ඉවසීම සම්බන්ධයෙන් හොඳම ආදර්ශය තියන්නේ ඔහුයි. (2 පේතෘස් 3:9 කියවන්න.) දෙවි අසාධාරණ පාලකයෙක් කියලා සාතන් ඒදන් උයනේදී චෝදනා කළේ මීට අවුරුදු දහස් ගාණකට කලින්. තමන්ගේ නමට ඇති වුණ ඒ කැළැල සම්පූර්ණයෙන්ම ඉවත් කරන දවස එන කල් දෙවි “මහත් ආශාවකින් බලාගෙන” ඉන්නවා. “ඔහු කෙරෙහි බලාපොරොත්තු තියලා” ඉවසීමෙන් බලාගෙන ඉන්න අය එදාට පුදුමාකාර ආශීර්වාද අද්දකියි.—යෙසා. 30:18.

17 ඉවසීමෙන් බලාගෙන ඉන්න එක සම්බන්ධයෙන් යේසුත් හොඳ ආදර්ශයක්. ඔහු මිය යන කල්ම දෙවිට විශ්වාසවන්තව හිටියා. ක්‍රි.ව. 33දී දෙවි ඔහුව නැවත නැගිට්ටෙව්වාට පස්සේ ඔහු දෙවි ඉදිරියේ පෙනී හිටියා. ඔහුගේ ජීවිත පූජාව යෙහෝවා දෙවි පිළිගත්තා කියලා ඒකෙන් අදහස් වුණා. ඒත් 1914 ඔහුව රජ විදිහට පත් කරන කල් ඔහු ඉවසීමෙන් බලාගෙන හිටියා. (ක්‍රියා 2:33-35; හෙබ්‍රෙ. 10:12, 13) රජ විදිහට පත් වුණත් ඔහුගේ හැම සතුරෙක්වම සම්පූර්ණයෙන්ම විනාශ කරන්න දහස් අවුරුදු පාලනය අවසන් වෙන කල් ඔහුට බලාගෙන ඉන්න වෙනවා. (1 කොරි. 15:25) ඒක සෑහෙන දිග කාලයක්. ඒත් ඉවසීමෙන් බලාගෙන ඉන්න එකෙන් මොන තරම් ආශීර්වාද ලැබෙනවාද!

ඉවසීමෙන් බලාගෙන ඉන්න නම් . . .

18, 19. ආසාවෙන් බලාගෙන ඉන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

18 යෙහෝවා දෙවි කැමති අපි ඉවසීමෙන් බලාගෙන ඉන්නවාටයි. ඒක අපි කැමැත්තෙන්ම කරනවාටයි. ඒත් ඒක කරන්න අපිට උදව් වෙන්නේ මොනවාද? ඉවසීම කියන්නේ දෙවිගේ බලය අපි තුළ ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංගයක් කියලා අමතක කරන්න එපා. ඒ නිසා දෙවිගේ බලය ඉල්ලලා දෙවිට කන්නලව් කරන්න.—එෆී. 3:16; 6:18; 1 තෙස. 5:17-19.

19 ආබ්‍රහම්ට, යෝසෙප්ට, දාවිත්ට යෙහෝවා දෙවිගේ පොරොන්දු ඉටු වෙන කල් ආසාවෙන් බලාගෙන ඉන්න පුළුවන් වුණේ කොහොමද කියලා හිතන්න. දෙවි ගැන එයාලට තිබුණ විශ්වාසය නිසයි එයාලා තමන් ගැන, තමන්ගේ පහසුව ගැන හිතන එක පැත්තකට දාලා දෙවි පියවර ගන්න කල් බලාගෙන හිටියේ. එයාලට ලැබුණ ආශීර්වාද ගැන හිතද්දී ඉවසීමෙන් බලාගෙන ඉන්න අපි තුළත් ලොකු පෙලඹීමක් ඇති වෙයි.

20. අපේ අදිටන වෙන්න ඕනෙ මොකක්ද?

20 ජීවිතේ විවිධ දුෂ්කර දේවලට මුහුණ දුන්නත් දෙවි ගැන විශ්වාසය තියලා ‘ඉවසිලිවන්තව බලාගෙන ඉන්න’ අපි අදිටන් කරගමු. ‘තව කොච්චර කාලයක් ඉවසන්නද’ කියලා සමහර වෙලාවලදී අපිට හිතෙයි. (යෙසා. 6:11) ඒත් දෙවිගේ බලයේ උදව්වෙන් අපිටත් පුළුවන් යෙරෙමියා වගේ මෙහෙම කියන්න. “මාගේ එකම උරුමය යෙහෝවා දෙවිය. එහෙයින් මම ඔහු කෙරෙහි ඉවසිලිවන්තව බලා සිටිමි.”—විලා. 3:21, 24.

^ 11 ඡේ. උත්පත්ති පොතේ පරිච්ඡේද 15ක විතර ආබ්‍රහම් ගැන සඳහන් වෙනවා. ග්‍රීක ලියවිල්ලෙත් 70 වතාවකට වඩා ඔහු ගැන කතා කරලා තියෙනවා.

^ 14 ඡේ. යෙහෝවා දෙවි සාවුල්ව ප්‍රතික්ෂේප කරද්දී එයා රජ වෙලා අවුරුදු 2කට ටිකක් වැඩියි. ඊටපස්සේ තව අවුරුදු 38ක් ඒ කියන්නේ මැරෙන කල්ම එයා රජකම් කළා.—1 සාමු. 13:1; ක්‍රියා 13:21.