Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

පීඩා විඳදරාගන්න අයට ආශීර්වාදවලින් අඩුවක් නැහැ

පීඩා විඳදරාගන්න අයට ආශීර්වාදවලින් අඩුවක් නැහැ

“උඹ මහ හිතක් පපුවක් නැති තාත්තෙක්. දරුවෙක් හම්බ වෙන්න ඉන්න ගෑනිවයි, උඹේ දරුවාවයි උඹ අත්හැරියා. එයාලව බලාගන්නේ කවුද? කන්න දෙන්නේ කවුද? දැන්වත් ආගම අත්හරිනවා. එතකොට ගෙදර යන්න පුළුවන්” කියලා රුසියාවේ රහස් පොලිසියේ නිලධාරියෙක් තරහෙන් කිව්වා. “මං එයාලව අත්හැරියේ නෑ. ඔයාලයි මාව අත්අඩංගුවට ගත්තේ. මොකක්ද මං කරපු වරද” කියලා මං එයාගෙන් ඇහුවා. “සාක්ෂිකරුවෙක් වෙන එකට වඩා තවත් ලොකු වරදක් තියෙනවාද” කියලා එයා කෑගහලා කිව්වා.

ඒ සිද්ධිය වුණේ 1959 රුසියාවේ ඉර්කුට්ස්ක් නගරයේ හිරගෙදරකදී. දැන් මං ඔයාලට මගේ කතාව කියන්නම්. එතකොට ඔයාලට තේරෙයි මමයි මගේ බිරිඳ මරියායි දුක් විඳින්න වුණත් ‘ධර්මිෂ්ඨ දේ කරන්න’ සූදානමින් හිටියේ ඇයි කියලා. ඒකෙන් අපි කොච්චර ආශීර්වාද අද්දැක්කාද කියලත් ඔයාලට කියන්නම්.—1 පේතෘ. 3:13, 14.

මං ඉපදුණේ යුක්රේනයේ පුංචි ගමක. ඒ 1933දී. ප්‍රංශයේ හිටපු මගේ පුංචි අම්මායි, බාප්පායි 1937දී අපිව බලන්න ආවා. ඒ වෙද්දීත් එයාලා සාක්ෂිකරුවන්. එයාලා අපිට සාක්ෂිකරුවන්ගේ පොත් 2ක් ගෙනල්ලා තිබුණා. තාත්තා ඒවා කියෙව්වාට පස්සේ දෙවි ගැන එයාට තිබුණ විශ්වාසය ආයෙත් අලුත් වුණා. 1939දී තාත්තා හුඟක් ලෙඩ වුණා. මැරෙන්න කලින් එයා අම්මාට කියලා තිබුණා “මේක තමයි සත්‍යය. ළමයින්ට මේක කියලා දෙන්න” කියලා.

සේවය කරන්න අලුත් ප්‍රදේශයක්

1951 අප්‍රියෙල් මාසෙදී බටහිර සෝවියට් ජනරජයේ හිටපු සාක්ෂිකරුවන්ව සයිබීරියාවට පිටුවහල් කරන්න ආණ්ඩුවෙන් පියවර ගත්තා. අම්මාවයි, මාවයි, මල්ලිවයි යුක්රේනයෙන් පිටුවහල් කරපු නිසා අපි කි.මී. 6,000කට වැඩි දුරක් ගෙවාගෙන කෝච්චියෙන් සයිබීරියාවේ ටුලූන් නගරෙට ආවා. ඊට සති 2කට පස්සේ ඒ ළඟපාත නගරෙක තිබුණ ගාල් කඳවුරකට මගේ අයියාව එවලා තිබුණා. එයාට ලැබිලා තිබුණේ බරපතළ වැඩ සහිත අවුරුදු 25ක හිරදඬුවමක්.

අම්මායි, මායි, මල්ලියි ටුලූන් නගරේ අවට ජීවත් වුණ අයට දේශනා කළා. අපි ඒක කළේ පරෙස්සමින්. අපි ගෙවල්වලට ගිහින් අහනවා “මේ පැත්තේ කවුරු හරි එළදෙනෙක්ව එහෙම විකුණනවාද” කියලා. එහෙම කෙනෙක්ව හම්බ වුණාම එළදෙනව කොයි තරම් පුදුම විදිහට නිර්මාණය කරලා තියෙනවාද කියලා එයාත් එක්ක කතා කරනවා. ඊටපස්සේ එයාට නිර්මාතෘ ගැන කියනවා. ඒ කාලේ පත්තරේක සාක්ෂිකරුවන් ගැන කියලා තිබුණා එයාලා එන්නේ එළදෙනෙක්ව විකුණනවාද කියලා අහගෙන. ඒත් එයාලා හොයන්නේ බැටළුවන්ව කියලා. ඇත්තටම අපිට බැටළුවන් වගේ මුදු මොළොක් හදවත් තියෙන අයව හම්බ වුණා. ඒ ප්‍රදේශයේ හිටපු නිහතමානී අය එක්ක බයිබලේ තියෙන සත්‍යයන් අපි බෙදාගත්තේ කොයි තරම් සතුටකින්ද! අද එහේ ප්‍රචාරකයන් 100කටත් වඩා ඉන්නවා.

මරියාගේ විශ්වාසයත් සෝදිසියට ලක් වුණා

මරියා පාඩම් කරලා තියෙන්නේ 2වෙනි ලෝක යුද්ධ කාලෙදී. එතකොට එයා හිටියේ යුක්රේනයේ. මරියාට අවුරුදු 18දී රහස් පොලිසියේ නිලධාරියෙක් එයාත් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන්න කියලා මරියාට බල කරලා තියෙනවා. ඒත් මරියා එකහෙළාම ඒක ප්‍රතික්ෂේප කරලා. දවසක් මරියා ගෙදර එද්දී ඒ නිලධාරියා එයාගේ ඇඳේ වැතිරිලා ඉඳලා. ඒක දැකලා මරියා පණ කඩාගෙන දුවලා තියෙනවා. හොඳටම කේන්ති ගිය නිලධාරියා, සාක්ෂිකරුවෙක් නිසා මරියාව හිරේ දානවා කියලා එයාට තර්ජනය කරලා තියෙනවා. 1952දී මරියාව අවුරුදු 10කට හිරේ යැව්වා. එයාට හැඟුණේ එයාත් හරියට යෝසෙප් වගේ කියලයි. (උත්. 39:12, 20) එයාව හිරගෙදරට ගෙනියද්දී වාහනේ රියදුරා මෙහෙම කියලා තියෙනවා. “බය වෙන්න එපා. ගෞරවය රැකගෙන හිරගෙදරින් ආපු හුඟක් අය ඉන්නවා.” ඒ වචන මරියාට ලොකු හයියක් වුණා.

1952 ඉඳන් 1956 වෙන කල් මරියාට සිද්ධ වුණා රුසියාවේ තිබුණ ගාල් කඳවුරක බර වැඩ කරන්න. ගල් ගැහෙන සීතලේ ලොකු ගස් උගුල්ලන්න එයාලට අණ කළා. ඒ නිසා එයා හොඳටම දුර්වල වුණා. 1956දී එයාව නිදහස් කළා. ඊටපස්සේ එයා ටුලූන්වලට ගියා.

මරියායි, දරුවෝයි ළඟ නැති ජීවිතේ

සහෝදරයෙක් මට කිව්වා ටුලූන්වලට සහෝදරියක් එනවා ඔයාට පුළුවන්ද ටිකක් උදව් කරන්න කියලා. ඉතින් මං එයාව හම්බ වෙන්න බස් ස්ටෑන්ඩ් එකට ගියා. එදා තමයි මං මරියාව මුලින්ම දැක්කේ. ඒ මුල් දවසේම එයා ගැන මගේ හිතේ කැමැත්තක් ඇති වුණා. ඒත් එයාගේ හිත දිනාගන්න නම් ලේසි වුණේ නැහැ. කොහොමහරි 1957දී අපි විවාහ වුණා. අපේ දුව ඉරීනා ඉපදුණේ ඊට අවුරුද්දකට පස්සේ. ඒත් මට වැඩි කල් දුවගේ හුරතල් බලන්න ලැබුණේ නැහැ. සාක්ෂිකරුවන්ගේ පොත් පත් මුද්‍රණය කළා කියලා මාව 1959දී අත්අඩංගුවට ගත්තා. මාස 6ක් මාව හුදෙකලා හිරකුටියකට දාලා තිබුණා. ඒ අමාරු කාලෙදී මං අත් නෑර දෙවිට යාච්ඤා කළා. ගීතිකා කිව්වා. නිදහස් වුණොත් මං දේශනා කරන විදිහ හිතින් මවාගත්තා. ඒවා මගේ හිත සැනසුවා.

1962 ගාල් කඳවුරක හිටපු කාලේ

මගෙන් ප්‍රශ්න කරද්දී නිලධාරියෙක් මෙහෙම කිව්වා. “අපි උඹලව චප්ප කරලා දානවා.” ඒ වෙලාවේ මං කිව්වා “රාජ්‍යය ගැන ශුභාරංචිය සියලු ජාතීන්ට දේශනා කරනවා කියලයි යේසුස් කිව්වේ. ඒක නවත්තන්න කාටවත් බෑ” කියලා. මං වෙනස් වෙන්නේ නැහැ කියලා තේරුණාම නිලධාරියා වෙන විදිහකින් මාව අල්ලගන්න හැදුවා. මේ කතාව කියන්න පටන්ගද්දී මං කිව්වේ ඒ ගැනයි. තර්ජනය කරලා බැරි වුණාම එයාලා කපටි විදිහට මගේ හිත වෙනස් කරන්න හැදුවත් ඒකත් හරි ගියේ නැහැ. අන්තිමේදී එයාලා මට බරපතළ වැඩ ඇතුව අවුරුදු 7ක හිරදඬුවමක් දුන්නා. හිරගෙදරට යද්දී තමයි මං දැනගත්තේ මගේ දෙවෙනි දුව ඔල්ගා ඉපදුණා කියලා. මරියායි, දුවලයි ළඟ නැති දුක මට දැනුණා. ඒත් මරියාටයි, මටයි දිගටම යෙහෝවා දෙවිට ළැදිව ඉන්න පුළුවන් වුණ එක මට ලොකු සැනසීමක් වුණා.

මරියායි අපේ දුවලා දෙන්නායි 1965දී

අවුරුද්දකට සැරයක් මරියා මාව බලන්න ආවා. ටුලූන්වල ඉඳලා මං හිටපු දිහාවට කෝච්චියෙන් ඇවිත් ආපහු යන්න දවස් 12ක් යනවා. හැම අවුරුද්දකම එයා මට අලුත් සපත්තු 2ක් ගෙනාවා. ළඟදී ආපු ‘මුරටැඹ’ සඟරා ඒ සපත්තුවල අඩියේ හංගලයි තිබුණේ. මරියා ආපු ඒ එක අවුරුද්දක් මට හරිම විශේෂයි. එදා එයා දුවලා දෙන්නාවත් එක්කගෙන ආවා. එයාලව දැකපු වෙලාවේ මට හැඟුණ විදිහ ඔයාලට හිතාගන්න පුළුවන්ද?

අලුත් ප්‍රදේශයක අලුත් අභියෝග

1966 මං හිරෙන් නිදහස් වුණාට පස්සේ අපි 4දෙනා කලු මුහුදට කිට්ටුවෙන් තිබුණ අර්මාවිර් නගරේ පදිංචියට ආවා. අපේ පුතාලා දෙන්නා ඒ කියන්නේ යරොස්ලාව් සහ පාවෙල් ඉපදුණේ එහෙදී.

එහෙට ඇවිත් වැඩි කල් යන්න කලින් රහස් පොලිසියෙන් අපේ ගෙදරට පැනලා සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන තියෙනවාද කියලා හොයන්න පටන්ගත්තා. හැම තැනක්ම එයාලා සෝදිසි කළා. හරක්ට දෙන්න තිබුණ කෑමත් අවුස්සලා බැලුවා. දවසක් එයාලා ප්‍රකාශන හොයන්න කොච්චර මහන්සි වුණාද කියනවා නම් එයාලා හිටියේ දාඩිය පෙරාගෙන. දූවිලි නාලා. එයාලා ගැන මරියාට දුක හිතුණා. එයාලා කරන්නේ එයාලගේ රාජකාරියනේ. මරියා එයාලට බීමයි, දූවිලි පිහදගන්න බ්‍රෂ් එකකුයි, වතුර භාජනෙකුයි, තුවායකුයි දුන්නා. අපි එයාලට කොච්චර හොඳට සැලකුවාද කියලා එයාලගේ ප්‍රධානියා ආපු වෙලාවේ එයාලා කිව්වා. එයා අපෙන් සමු ගත්තේ සුහද විදිහට. “දිගටම යහපතින් නපුරු දේවල් පරාජය කරද්දී” කොච්චර හොඳ ප්‍රතිඵල ලැබෙනවාද කියලා අපි අද්දැක්කා.—රෝම 12:21.

රහස් පොලිසියෙන් නිතරම වගේ සෝදිසි කළත් අපි දේශනා සේවය නැවැත්තුවේ නැහැ. ළඟ පාත නගරයක් වුණ කූර්ගානින්ස්ක්වල තිබුණ පුංචි කණ්ඩායමකටත් අපි උදව් කළා. අද අර්මාවිර්වල සභා 6ක් තියෙනවා. කූර්ගානින්ස්ක්වල සභා 4ක් තියෙනවා.

දෙවිත් එක්ක අපිට තියෙන බැඳීම දුර්වල වුණ අවස්ථාත් තිබුණා. ඒත් යෙහෝවා දෙවි විශ්වාසවන්ත සහෝදරයන් මාර්ගයෙන් අපිව නිවැරදි කළා. ශක්තිමත් කළා. (ගීතා. 130:3) සහෝදරයන් විදිහට මවාපාපු රහස් පොලිසියේ ඔත්තුකාරයනුත් ඒ කාලේ සභාවේ හිටියා. එයාලා උද්‍යෝගයෙන් සේවය කළා වගේ පෙන්නුවා. සමහරු සංවිධානයේ වගකීමුත් දැරුවා. ඒ වගේ දේවලදීත් අපේ විශ්වාසය සෝදිසියට ලක් වුණා. ඒත් කාලයක් යද්දී එයාලා කවුද කියලා ඔප්පු වුණා.

1978දී මරියාට ආයෙත් දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා අපි දැනගත්තා. එතකොට එයාට වයස 45යි. එයාට හදවත් රෝගයක් තිබුණ නිසා ඉපදෙන්න ඉන්න දරුවා එයාගේ ජීවිතේට තර්ජනයක් කියලයි වෛද්‍යවරු හිතුවේ. ඒ නිසා දරුවාව ගබ්සා කරන්න කියලා එයාලා කිව්වා. ඒත් මරියා ඒකට කැමති වුණේ නැහැ. ඊටපස්සේ එයාලා උත්සාහ කළා දරුවා අඩු මාසෙන් ඉපදෙන්න සලස්වන එන්නතක් මරියාට බලෙන් දෙන්න. දරුවාගේ ජීවිතේ ආරක්ෂා කරගන්න ඕනෙ නිසා මරියා ඉස්පිරිතාලෙන් පැනලා ආවා.

අපි හිටපු නගරේ අත්හැරලා යන්න කියලා රහස් පොලිසියෙන් අපිට නියෝග කළා. ඊටපස්සේ අපි එස්තෝනියාවේ ටැලින් නගරෙට කිට්ටුව තිබුණ ගමකට ආවා. වෛද්‍යවරු මොනවා කිව්වත් එහෙදී මරියා නිරෝගී දරුවෙක් බිහි කළා. ඒ තමයි අපේ පුතා විටාලි.

පස්සේ අපි දකුණු රුසියාවේ නෙස්ලොබ්නෙයා ගමේ පදිංචියට ආවා. සංචාරකයන් නිතරම වගේ ගැවසුණ ඒ අවට තිබුණ නගරවල අපි දේශනා කළා. අපි ඒක කළේ හරිම පරෙස්සමින්. ඒ නගරවලට රටේ විවිධ පැතිවලින් මිනිසුන් ආවා. ඒ අයගෙන් සමහරු ආපහු ගියේ සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුවයි.

දෙවිට ආදරේ කරන්න දරුවන්ටත් ඉගැන්නුවා

යෙහෝවා දෙවි ගැන ආදරයක්, ඔහුට සේවය කරන්න ආසාවක් අපේ දරුවන්ගේ හිත්වල ඇති කරන්න අපි ලොකු වෑයමක් ගත්තා. එයාලට ආදර්ශයට ගන්න පුළුවන් සහෝදර සහෝදරියන්ට අපි නිතරම වගේ අපේ ගෙදරට ආරාධනා කළා. ඒ එක් කෙනෙක් තමයි චාරිකා සේවය කරපු මගේ මල්ලි. එයා එනවාට පවුලේ හැමෝම ආසයි. ඒ විදිහට කට්ටිය එකතු වුණාම අපි බයිබල් ගේම්ස් කරනවා. ඒකෙන් බයිබලේ තියෙන ඉතිහාස වාර්තා ගැන ආසාවක් දරුවන්ගේ හිත්වල ඇති වුණා.

මගේ පුතාලයි ලේලිලා තුන්දෙනායි

පිටුපස පේළියේ වමේ සිට දකුණට: යාරොස්ලාව්, පාවෙල්, විටාලි

ඉදිරිපස පේළියේ: අල්යෝනා, රයා, ස්වෙට්ලානා

1987දී අපේ ලොකු පුතා යරොස්ලාව් දේශනා කරන්න නිදහස තිබුණ ලැට්වියාවේ රිගා නගරෙට ගියා. එහෙදී එයා හමුදාවට බැඳෙන එක ප්‍රතික්ෂේප කරපු නිසා එයාට අවුරුදු 1 1/2ක හිරදඬුවමක් ලැබුණා. ඒ කාලේ ඇතුළත එයාව හිරගෙවල් 9කට මාරු කළා. මගේ අද්දැකීම් ගැන මං කියලා තිබුණ දේවල් විඳදරාගන්න එයාට උදව් වෙලා තියෙනවා. පස්සේ කාලෙක එයා පුරෝගාමි සේවය පටන්ගත්තා. 1990දී අපේ දෙවෙනි පුතා පාවෙල්ට ඕනෙ වුණා සකාලින් දූපතට ගිහින් පුරෝගාමි සේවය කරන්න. එතකොට එයාට වයස 19යි. මුලදී නම් අපි ඒකට එච්චර කැමති වුණේ නැහැ. මොකද ඒ දූපත තිබුණේ අපි හිටපු තැන ඉඳලා කි.මී. 9,000කට වඩා ඈතින්. අනික එහේ හිටියේ ප්‍රචාරකයන් 20ක් විතරයි. ඒත් අන්තිමේදී අපි කැමති වුණා. ඒක හොඳ තීරණයක්. එහේ හිටපු අය ශුභාරංචිය කොච්චර හොඳින් පිළිගත්තාද කියනවා නම් අවුරුදු කීපයක් ඇතුළත සභා 8ක් බිහි වුණා. 1995 වෙන කල් පාවෙල් එහේ සේවය කළා. ඒ වෙද්දී අපිත් එක්ක හිටියේ පොඩි පුතා විටාලි විතරයි. පුංචි කාලේ ඉඳලාම එයා බයිබලේ කියෙව්වේ හරිම ආසාවෙන්. අවුරුදු 14දී එයා පුරෝගාමි සේවය පටන්ගත්තා. මාත් අවුරුදු 2ක් එයාත් එක්ක පුරෝගාමි සේවය කළා. ඒ කාලේ නම් නියමයි. අවුරුදු 19දී එයා විශේෂ පුරෝගාමි සේවය කරන්න වෙන පැත්තකට ගියා.

1952දී පොලිසියේ නිලධාරියෙක් මරියාට මෙහෙම කියලා තිබුණා. “එක්කෝ ඔය ආගම අත්හරිනවා. නැත්නම් අවුරුදු 10කට හිරේ යනවා. නිදහස් වෙලා එද්දී නාකි වෙලා ඉඳියි. කාත් කවුරුත් නැති වෙයි.” ඒත් දේවල් ඒ විදිහට වුණේ නැහැ. අපි යෙහෝවා දෙවිගේ ආදරේ හැමදාම අද්දැක්කා. අපේ දරුවන්ගේ, සත්‍යයට එන්න අපි උදව් කරපු අයගේ ආදරෙත් අපිට ලැබුණා. දරුවන් සේවය කරපු විවිධ පැතිවලට යන්නත් අපිට අවස්ථාව ලැබුණා. එයාලා කරපු සේවය ඒ පැතිවල හිටපු අය කොයි තරම් අගය කළාද කියලා අපි දැක්කා. ඒක මොන තරම් සතුටක්ද!

දෙවිගේ යහපත්කමට ස්තුතියි!

1991දී සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතුවලට නීතිමය අවසරය ලැබුණා. ඒකෙන් වුණේ දේශනා සේවයට අලුත් පණක් ලැබුණ එකයි. හැම සති අන්තයකම ළඟපාත ගම්වලට, නගරවලට ගිහින් සේවය කරන්න ඕනෙ නිසා අපේ සභාවෙන් බස් එකකුත් ගත්තා.

මරියා එක්ක 2011දී

2014දී මගේ ආදරණීය බිරිඳ මරියා මිය ගියා. ආයෙත් එයාව දකින්න ලැබෙන දවස එන කල් මං බලන් ඉන්නේ ආසාවෙන්. අපේ ලොකු දුව ඉන්නේ ජර්මනියේ. එයාගේ මහත්තයායි, පුතාලා 3දෙනායි වැඩිමහල්ලන් හැටියට සේවය කරනවා. පොඩි දුව ඉන්නේ එස්තෝනියාවේ. යාරොස්ලාව් සහ එයාගේ බිරිඳයි පාවෙල් සහ එයාගේ බිරිඳයි සේවය කරන්නේ බෙතෙල් එකේ. විටාලි එයාගේ බිරිඳ එක්ක චාරිකා සේවය කරනවා. මං දැන් ඉන්නේ බෙල්ගොරොඩ් නගරේ. මෙහේ සහෝදරයෝ මාව ආදරෙන් බලාගන්නවා.

යෙහෝවා දෙවිට විශ්වාසවන්තව ඉද්දී පීඩා අද්දකින්න වෙනවා. කැප කිරීම් කරන්නත් වෙනවා. ඒත් ඒ වගේ අවස්ථාවලදී දෙවි අපේ හිතට ලබා දෙන සමාදානය මොන තරම්ද! ඒක වෙන කිසිම දේකට සම කරන්න බැහැ. දෙවිට ළැදිව හිටපු නිසා මායි, මරියායි හිතාගන්නවත් බැරි තරම් ආශීර්වාද අද්දැක්කා. 1991 සෝවියට් ජනරජය බිඳ වැටෙන්න කලින් එහේ හිටියේ ප්‍රචාරකයන් 40,000කට ටිකක් වැඩියෙන්. ඒත් කලින් සෝවියට් සංගමයට අයිති වෙලා තිබුණ රටවල දැන් ප්‍රචාරකයන් 4,00,000කට වඩා ඉන්නවා. දැන් මට වයස 83යි. තාමත් මං වැඩිමහල්ලෙක් විදිහට සේවය කරනවා. දේවල් විඳදරාගන්න යෙහෝවා දෙවි මට කොච්චර නම් උදව් කරලා තියෙනවාද! ඇත්තටම හිතාගන්නවත් බැරි තරමට ඔහු මට ආශීර්වාද කරලා තියෙනවා.—ගීතා. 13:5, 6.