Skip to content

පටුනට යන්න

පරණ පෞද්ගලිකත්වය අයින් කරලාම දාන්න

පරණ පෞද්ගලිකත්වය අයින් කරලාම දාන්න

“පරණ පෞද්ගලිකත්වයත් ඊට ආවේණික වූ ක්‍රියාත් ඉවත් කරන්න.”—කොලො. 3:9.

ගීතිකා: 121, 142

1, 2. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අනිත් අයගේ අවධානයට ලක් වෙලා තියෙන්නේ ඇයි?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අනිත් අයට වඩා වෙනස් කියලා හුඟදෙනෙක්ගේ අවධානයට ලක් වෙලා තියෙනවා. උදාහරණෙකට නාට්සි පාලන කාලේ හිටපු සාක්ෂිකරුවන් ගැන ලේඛකයෙක් වුණ ඇන්ටන් ගිල් ලියලා තියෙන දේ බලන්න. ‘1939 වෙද්දී සාක්ෂිකරුවන් 6,000ක් ගාල් කඳවුරුවල හිටියා. ඒ අය නාට්සි හමුදාවේ දැඩි වෛරයට ලක් වුණා.’ කොයි තරම් දරුණු පීඩා අද්දැක්කත් සාක්ෂිකරුවන් සැලුණේ නැහැ. සන්සුන්ව ඒවාට මුහුණ දුන්නා. එයාලා එකිනෙකාව අත්හැරියේ නැහැ කියලත් දිගටම එයාලගේ දෙවිට ළැදිව හිටියා කියලත් එයා සඳහන් කරලා තියෙනවා.

2 මෑතකදී දකුණු අප්‍රිකාවේ වුණ සිද්ධියකිනුත් සාක්ෂිකරුවන් කැපීපේන සෙනඟක් කියලා ඔප්පු වුණා. මීට කාලෙකට කලින් කලු ජාතිකයන්ටයි සුදු ජාතිකයන්ටයි ඒ රටේ එකට රැස් වෙන්න අවසර තිබුණේ නැහැ. ඒක සාක්ෂිකරුවන්ටත් බලපෑවා. ඒත් 2011 දෙසැම්බර් 18වෙනිදා විශේෂ දෙයක් සිද්ධ වුණා. සාක්ෂිකරුවන් 78,000දෙනෙක් ජොහැන්නස්බර්ග් නගරයේ ක්‍රීඩා පිටියක රැස් වුණා. එයාලා අතරේ කලු සුදු භේදයක් තිබුණේ නැහැ. ඒ ස්ථානය භාරව හිටපු නිලධාරියෙක් මෙහෙම කිව්වා. “මෙහෙට ආපු අනිත් අය එක්ක බලද්දී ඔයාලා හරිම වෙනස්. ඇඳලා පැළඳලා ඉන්න විදිහත් විනීතයි. ඒත් මං දැක්ක විශේෂම දේ තමයි ඔයාලා මොන ජාතියට අයිති වුණත් ඔයාලා එක පවුලක් වගේ.”

3. දෙවිගේ සෙනඟ කැපීපේන්නේ ඇයි?

3 සාක්ෂිකරුවන් අතරේ පුදුමාකාර බැඳීමක් තියෙනවා කියලා සාක්ෂිකරුවන් නොවන අයත් තේරුම් අරන් තියෙනවා. (1 පේතෘ. 5:9) ඒත් අනිත් හැම සංවිධානයකටම වඩා අපි වෙනස් වෙන්නේ මොන හේතුව නිසාද? ඒ අපි බයිබලයෙන්, දෙවිගේ බලයෙන් ලැබෙන උදව් පිළි අරන් දෙවි අකමැති ගතිපැවතුම් අපේ ජීවිතවලින් අයින් කරගන්න ලොකු වෑයමක් දරන නිසයි. ඒ කියන්නේ අපි අපේ ‘පරණ පෞද්ගලිකත්වය ඉවත් කර අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න’ උත්සාහ කරනවා කියන එකයි.—කොලො. 3:9, 10.

4. මේ ලිපියෙන් බලන්නේ මොනවාද? ඒ ඇයි?

4 අපි පරණ පෞද්ගලිකත්වය අයින් කරලා විතරක් මදි. ආයෙමත් ඒක පැළඳ නොගන්නත් වගබලා ගන්න ඕනේ. මුලින්ම අපි බලමු අපේ පරණ පෞද්ගලිකත්වය අයින් කරන්න පුළුවන් කොහොමද සහ ඒක කරන්න ඕනෙ ඇයි කියලා. කෙනෙක් දෙවි අකමැති දේවලට ඇබ්බැහි වෙලා හිටියත් වෙනස්කම් කරගන්න පුළුවන් කියලා පැහැදිලි වෙන අද්දැකීම් කීපයකුත් බලමු. අයින් කරලා දාපු පරණ පෞද්ගලිකත්ව ආයෙත් පැළඳ නොගන්න නම් මොනවාද කරන්න ඕනෙ කියලා ඊළඟට බලමු. මොකද සමහරුන්ට පරණ පෞද්ගලිකත්වය අයින්ම කරලා දාන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අපි හැමෝම මේ අනතුරු ඇඟවීම හිතට ගමු. “කෙනෙක් තමා ස්ථිරව සිටිනවා කියා සිතුවත් ඔහු වැටී යෑමට ඉඩ තිබේ.”—1 කොරි. 10:12.

වැරදි ලිංගික ආශාවන් නැති කර දමන්න

5. (අ) පරණ පෞද්ගලිකත්වය අයින් කරන එක ඉක්මනින්ම කරන්න ඕනෙ ඇයි කියලා පැහැදිලි කරන්න. (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) කොලොස්සි 3:5-9 සඳහන් පරණ පෞද්ගලිකත්වයට අයිති සමහර ගති මොනවාද?

5 ඔයාගේ ඇඳුම කිලුටුයි නම්, ගඳ ගහනවා නම් පුළුවන් ඉක්මනින් ඔයා ඒ ඇඳුම ගලවලා දානවා නේද? දෙවි පිළිකුල් කරන දෙයක් අපි අතින් වෙනවා කියලා දැනගත්තාම අපි කරන්න ඕනෙත් ඒ වගේම දෙයක්. ඉක්මනින්ම ඒක අයින් කරන්න අපි පියවර ගන්න ඕනේ. දෙවි පිළිකුල් කරන දේවල් “ඔබෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමිය යුතුයි” කියලා පාවුල් කිව්වා. ඒ දේවලට “වේශ්‍යාකම” සහ “අපවිත්‍ර ක්‍රියා” ඇතුළත්. දැන් අපි ඒ ගැන බලමු.—කොලොස්සි 3:5-9 කියවන්න.

6, 7. (අ) පරණ පෞද්ගලිකත්වය ඉවත් කරන්න වෑයමක් දරන්න ඕනෙ කියලා පාවුල් කියපු දේවලින් පැහැදිලි වෙන්නේ කොහොමද? (ආ) සකුරා ගත කළේ මොන වගේ ජීවිතයක්ද? වෙනස්කම් කරගන්න එයාට උදව් වුණේ මොකක්ද?

6 වේශ්‍යාකම. නීත්‍යනුකූලව විවාහ වෙලා ඉන්න සැමියෙක් සහ බිරිඳක් අතර සිද්ධ වෙන ලිංගික සම්බන්ධකම් විතරයි බයිබලේ අනුමත කරන්නේ. ඒ හැර අනිත් සියලුම ආකාරයේ ලිංගික සම්බන්ධකම් විස්තර කරන්න බයිබලේ “වේශ්‍යාකම” කියන වචනය පාවිච්චි කරලා තියෙනවා. පාවුල් කිව්වේ වැරදි ලිංගික ආශාවන් “සහමුලින්ම ඔබේ ශරීරයේ අවයවවලින් නැති කර දැමිය යුතුයි” කියලා. වැරදි ආශාවන් සහමුලින්ම අයින් කරන්න කියපු එකෙන් තේරෙනවා අපි අපේ පැත්තෙන් ලොකු සටනක් කරන්න ඕනෙ කියලා. ඒක ලේසි නැති වෙයි. ඒත් ඒ සටන ජයගන්න පුළුවන්.

7 ජපානයේ ඉන්න සකුරාගේ * අද්දැකීම බලන්න. යෞවන වයසට එද්දී එයාට ලොකු පාළුවක් දැනුණා. එයාගෙන් කිසිම වැඩක් නැහැ කියලා හිතුණා. ඒ හැඟීම්වලින් ගොඩ එන්න හිතාගෙන එයා දුරාචාර ජීවිතයක් ගත කරන්න පටන්ගත්තා. අවුරුදු 15 ඉඳලා එයා කීපදෙනෙක් එක්කම ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. එයා 3න් පාරක්ම ගබ්සා කළා. සකුරා මෙහෙම කියනවා. “දුරාචාර ජීවිතේට වැටුණ මුල් කාලේ මට හැඟුණේ එයාලට මාව ඕනේ. එයාලා මට ආදරෙයි කියලා. ඒකෙන් මට ආරක්ෂාවක් දැනුණා. ඒත් කාලයක් යද්දී මට තේරුණා ඒක නියම ආරක්ෂාව නෙමෙයි කියලා.” අවුරුදු 23දී එයා සාක්ෂිකරුවන් එක්ක බයිබල් පාඩමක් පටන්ගත්තා. බයිබලෙන් ඉගෙනගත්ත දේවල් ගැන එයාට කොච්චර අගයක් ඇති වුණාද කියනවා නම් එයා දුරාචාර ජීවිතේ අත්හැරියා. කරපු වැරදි ගැන එයාට දුකක්, කලකිරීමක් දැනුණත් ඒකෙන් යටපත් නොවී ඉන්න දෙවි උදව් කළා. දැන් එයා ස්ථාවර පුරෝගාමියෙක්. ඉස්සර වගේ දැන් සකුරාට තනිකමක් දැනෙන්නේ නැහැ. එයා මෙහෙම කියනවා. “යෙහෝවා දෙවිගේ ආදරේ හැම දවසකම අද්දකින්න ලැබෙන එක තරම් දෙයක් මට තවත් නෑ.”

අපවිත්‍ර ක්‍රියා අත්හරින්න

8. දෙවි අපවිත්‍ර ක්‍රියා හැටියට සලකන්නේ මොනවාද?

8 අපවිත්‍ර ක්‍රියා. බයිබලේ “අපවිත්‍ර ක්‍රියා” කියලා සඳහන් කරද්දී ඒක වැරදි ලිංගික ක්‍රියාවලට විතරක් සීමා වෙන්නේ නැහැ. දුම් පානය, අසභ්‍ය විහිළු වගේ තව හුඟක් දේවලුත් ඒකට ඇතුළත්. (2 කොරි. 7:1; එෆී. 5:3, 4) ලිංගික හැඟීම් අවුස්සන පොත් පත් කියවන එක, අසභ්‍ය දර්ශන බලන එක වගේ කාටත් හොරා කරන දේවලුත් අපවිත්‍ර ක්‍රියාවලට අයිතියි. ඒ වගේ දේවල් කරන කෙනෙක් අපවිත්‍ර පුරුද්දක් වන ස්වයංවින්දනයට ඇබ්බැහි වෙන්න පුළුවන්.—කොලො. 3:5. *

9. කාමාශාව පාලනය කරගත්තේ නැත්නම් මොකක් වෙන්න පුළුවන්ද?

9 පුරුද්දක් විදිහට අසභ්‍ය දර්ශන බලන අය කරන්නේ වැරදි ආශාවලින් තමන්ගේ හිත පුරවගන්න එකයි. ඒ නිසා එයාලා ඉන්නේ කාමාශාවෙන් මත් වෙලා. ඒ වගේ කෙනෙක් ලේසියෙන්ම ලිංගික ක්‍රියාවලට ඇබ්බැහි වෙන්න පුළුවන්. පර්යේෂකයන් හොයාගෙන තියෙනවා අසභ්‍ය දර්ශන බලන්න ඇබ්බැහි වෙන එක මත්පැන්වලට නැත්නම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවා වගේ කියලා. ඒ පුරුද්දට වැටුණ කෙනෙක්ට අනිත් අයට මුහුණ දෙන්න අමාරුයි. රැකියාවට හරියට අවධානය දෙන්න බැහැ. පවුල් ජීවිත අවුල් වෙනවා. සිය දිවි හානි කරගන්න වුණත් ඒක හේතු වෙන්න පුළුවන්. අසභ්‍ය දර්ශන බලන පුරුද්ද අත්හැරලා අවුරුද්දක් ගියාට පස්සේ කෙනෙක් මෙහෙම කිව්වා. “දැන් තමයි මට ආයෙත් මං ගැන හොඳ හැඟීමක් ඇති වෙන්න පටන්ගත්තේ.”

10. රිබෙයිරෝ අසභ්‍ය දර්ශන බලන පුරුද්දෙන් මිදුණේ කොහොමද?

10 අසභ්‍ය දර්ශන බලන පුරුද්දෙන් මිදෙන්න හුඟදෙනෙක්ට ලොකු සටනක් කරන්න වෙනවා. ඒත් ඒක ජය ගන්න පුළුවන්. බ්‍රසීලයේ ඉන්න රිබෙයිරෝ කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කරන තැනක වැඩට ගියේ යෞවන වයසේදීමයි. එහෙදී එයාට අසභ්‍ය පින්තූර තියෙන සඟරා හම්බ වුණා. එයා මෙහෙම කියනවා. “ටිකෙන් ටික මං ඒවාට ඇබ්බැහි වුණා. කොච්චර ඇබ්බැහි වුණාද කියනවා නම් මාත් එක්ක එකට ජීවත් වුණ ගෑනු කෙනා ගෙදරින් යන කල් මට ඉවසිල්ලක් නෑ. මොකද එයා ගිය ගමන් මං කළේ අසභ්‍ය වීඩියෝ බලපු එක.” දවසක් වැඩපොළේදී පොත් ගොඩක් අස්සේ තිබිලා රිබෙයිරෝට ‘පවුලේ සන්තෝෂයට රහස’ කියන පොත හම්බ වුණා. ඒක කියවපු එයා, සාක්ෂිකරුවන් එක්ක බයිබල් පාඩමක් පටන්ගත්තා. ඒත් වැටිලා හිටපු නරක පුරුද්දෙන් ගොඩ එන්න එයාට කාලයක් ගියා. ඒ පුරුද්ද අත්හරින්න එයාට පුළුවන් වුණේ කොහොමද? එයා මෙහෙම කිව්වා. “මං නිතරම යාච්ඤා කළා. බයිබලේ අධ්‍යයනය කරලා ඒ ගැන හොඳට කල්පනා කළා. එහෙම කරද්දී දෙවිගේ ලස්සන ගුණාංග ගැන මට ලොකු අගයක් ඇති වුණා. අන්තිමේදී ඒ නරක පුරුද්ද මුලින්ම උදුරලා දාන්න පුළුවන් වෙන තරමට දෙවි ගැන මට ඇති වුණ ආදරේ වැඩි වුණා.” ජීවිතේ වෙනස් කරගත්ත රිබෙයිරෝ දෙවිට කැප වෙලා බව්තීස්ම වුණා. එයා දැන් වැඩිමහල්ලෙක්.

11. අසභ්‍ය දර්ශන බලන පුරුද්දෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න පුළුවන් කොහොමද?

11 නරක පුරුද්දෙන් ගොඩ එන්න රිබෙයිරෝට නිකම්ම බයිබලේ කියවනවාට වඩා දෙයක් කරන්න වුණා. ඉගෙනගත්ත දේවල් ගැන එයා කාලේ අරන් කල්පනා කළා. එහෙම කරද්දී ඒවා එයාගේ හදවතටම කාවැදුණා. යෙහෝවා දෙවිගෙන් උදව් ඉල්ලන එකත් අත්‍යවශ්‍ය දෙයක් වුණා. ඒ හැම දේම එයාට උදව් වුණා දෙවි ගැන තිබුණ ආදරේ තව වැඩි කරගන්න. ඒ ආදරේ තමයි එයාව පෙලඹුවේ ඒ පුරුද්ද සම්පූර්ණයෙන්ම අත්හරින්න. අසභ්‍ය දර්ශන බලන පුරුද්ද අපි අත්හරින්න නම් දෙවි ගැන ලොකු ආදරයක් ඇති කරගෙන දෙවි පිළිකුල් කරන දේවල් පිළිකුල් කරන්න ඕනේ.—ගීතාවලිය 97:10 කියවන්න.

කෝපය, නින්දාසහගත කතා, බොරු කීම අත්හරින්න

12. කෝපය පාලනය කරගෙන පහත් විදිහට කතා නොකර ඉන්න ස්ටීවන්ට පුළුවන් වුණේ කොහොමද?

12 සමහර අයට හොස්ස ළඟින් මැස්සා යන්න බැහැ, කේන්ති යනවා. අනිත් අයගේ ඇඟට කඩන් පනිනවා. ඒක මුළු පවුලේම සතුටට බලපානවා. ඕස්ට්‍රේලියාවේ ඉන්න ස්ටීවන් තාත්තා කෙනෙක්. ඉස්සර එයා පුංචි දේටත් කේන්ති අරන් කුණුහරුප කියලා බණිනවා. “මායි මගේ බිරිඳයි 3න් පාරක්ම වෙන් වුණා. අපි හිටියේ දික්කසාදය ගැන හිතහිත” කියලා ස්ටීවන් කියනවා. ඔය කාලෙදීම වගේ සාක්ෂිකරුවන් එයාලා එක්ක බයිබල් පාඩමක් පටන්ගත්තා. ඉගෙනගන්න දේවල් ජීවිතේට අදාළ කරගන්න ස්ටීවන් ලොකු වෑයමක් දැරුවා. ඉස්සර එයාට කොච්චර කේන්ති ගියාද කියනවා නම් ඒ වෙලාවට එයාට දැනුණේ එයාව පුපුරන්න යනවා වගේ කියලා ස්ටීවන් කිව්වා. “ඒත් යෙහෝවා දෙවිගේ උදව් නිසා දැන් මට පුළුවන් සන්සුන්ව දේවල් දරාගන්න. අපේ පවුලේ බැඳීමත් වැඩි වෙලා.” ස්ටීවන් දැන් සහායක සේවකයෙක්. එයාගේ බිරිඳ අවුරුදු කීපයක්ම ස්ථාවර පුරෝගාමි සේවය කරනවා. ස්ටීවන් ගැන සභාවේ වැඩිමහල්ලන් කියන්නේ මෙහෙමයි. “එයා නිශ්ශබ්ද කෙනෙක්. හරිම යටහත්පහත්. මහන්සි වෙලා වැඩ කරනවා.” ස්ටීවන්ට කේන්ති ගිහින් ඉන්නවා කවදාවත් දැකලා නැහැ කියලත් වැඩිමහල්ලන් කිව්වා. මේ විදිහට ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් වුණේ තමන්ගේ හැකියාවෙන් නෙමෙයි කියලා ස්ටීවන් පිළිගන්නවා. එයා මෙහෙම කියනවා. “ජීවිතේ වෙනස් කරගන්න මට උදව් කළේ යෙහෝවා දෙවි. ඔහුගේ උදව් පිළිගත්තේ නැත්නම් අද මං අද්දකින ආශීර්වාද එකක්වත් මට ලැබෙන්නේ නෑ.”

13. කේන්ති ගන්න එක භයානක ඇයි? බයිබලේ දෙන අනතුරු ඇඟවීම මොකක්ද?

13 කෝපය, කෑගැසීම, නින්දාසහගත කතා අපේ ජීවිතවලින් අයින් කරන්න කියලයි බයිබලේ කියන්නේ. (එෆී. 4:31) ඒ වගේ ගතිපැවතුම් තියෙන කෙනෙක් ලේසියෙන්ම දරුණු දේවල් කරන්න පෙලඹෙනවා. දරුණු විදිහට හැසිරෙන එක සාමාන්‍ය දෙයක් කියලා අද සමාජය සැලකුවත් ඇත්තටම ඒකෙන් වෙන්නේ අපේ නිර්මාතෘව අගෞරවයට පත් වෙන එකයි. හුඟක් අය තමන්ගේ ජීවිතවලින් ඒ ගතිපැවතුම් අයින්ම කරලා තියෙන්නේ ඒ නිසයි.—ගීතාවලිය 37:8-11 කියවන්න.

14. දරුණු කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්ද?

14 වැඩිමහල්ලෙක් හැටියට සේවය කරන හාන්ස් ඉන්නේ ඔස්ට්‍රියාවේ. “හාන්ස් හරිම අහිංසකයි” කියලා එයාගේ සභාවේ තවත් වැඩිමහල්ලෙක් කිව්වා. ඒත් ඉස්සර නම් හාන්ස් හරිම දරුණුයි. යෞවන කාලෙදීම එයා මත්පැන්වලට ඇබ්බැහි වුණා. නිතරම රණ්ඩුවලට පැටලුණා. දවසක් එයාට හොඳටම කේන්ති ගිහින් එයාගේ පෙම්වතියව මැරුවා. ඒ නිසා එයාට අවුරුදු 20ක හිරදඬුවමක් ලැබුණා. ඒත් එහෙදීත් එයා රණ්ඩුවලට පැටලුණා. ඔය කාලෙදී එයාගේ අම්මා වැඩිමහල්ලෙක්ට කිව්වා හාන්ස්ව බලන්න යන්න කියලා. ඒ වැඩිමහල්ලා හාන්ස් එක්ක පාඩමක් පටන්ගත්තා. හාන්ස් මෙහෙම කියනවා. “පරණ පෞද්ගලිකත්වය අයින් කරන එක ලේසි වුණේ නෑ. ඒත් ඒක කරන්න මට විශේෂයෙන්ම උදව් වුණ බයිබල් පද 2ක් තියෙනවා. එකක් යෙසායා 55:7. එතන කියන්නේ ‘දුෂ්ටයා තම දුෂ්ටකම් මුළුමනින්ම අත්හරීවා’ කියලයි. අනික 1 කොරින්ති 6:11. එතන කියන්නේ ‘ඔබෙන් සමහරදෙනෙක් කලින් එවැනි දේවල යෙදී සිටියා’ කියලයි. ඒ කියන්නේ නරක පුරුදු අත්හරින්න එයාලට පුළුවන් වුණා. අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න යෙහෝවා දෙවි අවුරුදු ගාණක් තිස්සේ හරිම ඉවසීමෙන් මට උදව් කළා.” හිරේ ඉද්දීම හාන්ස් බව්තීස්ම වුණා. අවුරුදු 171/2කින් එයාව හිරෙන් නිදහස් කළා. “යෙහෝවා දෙවි පෙන්නපු දයාව, ඔහු මට සමාව දුන්න විදිහ මට කවදාවත් අමතක වෙන්නේ නෑ” කියලා හාන්ස් කියනවා.

15. පරණ පෞද්ගලිකත්වයට අයිති වෙන්නේ තව මොනවාද? ඒ ගැන බයිබලේ කියන්නේ මොකක්ද?

15 අද සමාජයේ බොරුව සාමාන්‍ය දෙයක් වෙලා. හුඟදෙනෙක් බඳු නොගෙවා ඉන්න, දඬුවම්වලින් බේරෙන්න බොරු කියනවා. ඒත් අපේ දෙවි යෙහෝවා “සත්‍යතාවේ දෙවි.” (ගීතා. 31:5) ‘බොරු නොකියා’ ‘සත්‍යය කතා කරන’ එක ඔහු තමන්ගේ හැම සේවකයෙක්ගෙන්ම බලාපොරොත්තු වෙනවා. (එෆී. 4:25; කොලො. 3:9) සමහර වෙලාවලදී ඇත්ත කිව්වොත් අවාසියක් වෙයි, ලැජ්ජාවට පත් වෙන්න වෙයි කියලා හිතෙයි. ඒත් බොරු කියන්න ඒක හේතුවක් නෙමෙයි.—හිතෝ. 6:16-19.

එයාලා සටන ජය ගත්තේ කොහොමද?

16. පරණ පෞද්ගලිකත්වය අයින්ම කරලා දාන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

16 අපිට අපේම ශක්තියෙන් පරණ පෞද්ගලිකත්වය අයින් කරලා දාන්න බැහැ. සකුරා, රිබෙයිරෝ, ස්ටීවන් සහ හාන්ස් ගැන හිතන්න. නරක ගතිපැවතුම් අයින් කරලා දාන එක ලේසි නැති වුණත් ඒක කරන්න එයාලට පුළුවන් වුණේ බයිබලෙන් සහ දෙවිගේ බලයෙන් ලැබුණ උදව් නිසයි. (ලූක් 11:13; හෙබ්‍රෙ. 4:12) ඒ උදව් ලබාගන්න නම් අපි හැම දවසකම බයිබලේ කියවලා ඒ ගැන කාලේ අරන් හිතන්න ඕනේ. ඉගෙනගන්න දේවල් අදාළ කරගන්න අවශ්‍ය ප්‍රඥාව, ශක්තිය ඉල්ලලා දෙවිට කන්නලව් කරන්න ඕනේ. (යොෂු. 1:8; ගීතා. 119:97; 1 තෙස. 5:17) දෙවිගේ බලය සහ බයිබලේ මාර්ගයෙන් උදව් ලබාගන්න පුළුවන් තවත් විදිහක් තමයි රැස්වීම්ලට හොඳින් සූදානම් වෙලා සහභාගි වෙන එක. (හෙබ්‍රෙ. 10:24, 25) ඒ වගේම අපේ සඟරාවලින්, JW බ්‍රෝඩ්කාස්ටිං එකෙන්, ‘JW ලයිබ්‍රරි’ එකෙන් සහ jw.org වෙබ් අඩවියෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ.—ලූක් 12:42.

පරණ පෞද්ගලිකත්වය අයින්ම කරලා දාන්න උදව් වෙන්නේ මොනවාද? (16 ඡේදය බලන්න)

17. ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවාද?

17 යෙහෝවා දෙවිගේ හිත සතුටු කරන්න නම් කෙනෙක් තමන්ගේ ජීවිතෙන් අයින්ම කරලා දාන්න ඕනෙ නරක පුරුදු කීපයක් ගැන අපි මේ ලිපියේ සාකච්ඡා කළා. ඒත් නරක ගතිපැවතුම් අයින් කරලා විතරක් මදි. අපි අලුත් පෞද්ගලිකත්වය පැළඳගෙන ඒක හැමදාටම රැකගන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද කියලා ඊළඟ ලිපියෙන් බලමු.