Skip to content

පටුනට යන්න

අලුත් පෞද්ගලිකත්වය පැළඳගෙන දිගටම ඒක රැකගන්න

අලුත් පෞද්ගලිකත්වය පැළඳගෙන දිගටම ඒක රැකගන්න

“අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න.”—කොලො. 3:10.

ගීතිකා: 126, 28

1, 2. (අ) අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න අපිට පුළුවන් කියන්නේ ඇයි? (ආ) අලුත් පෞද්ගලිකත්වයට අයිති මොන ගුණාංග ගැනද කොලොස්සි 3:10-14 කතා කරන්නේ?

“අලුත් පෞද්ගලිකත්වය” කියන්නේ මොකක්ද? ඒ යෙදුම ‘නව ලොව පරිවර්තනයේ’ තැන් 2ක පාවිච්චි කරලා තියෙනවා. (එෆී. 4:24; කොලො. 3:10) ඒකෙන් අදහස් කරන්නේ “දෙවිගේ කැමැත්තට එකඟව” හැඩගසා ඇති පෞද්ගලිකත්වයක්. අපේ පෞද්ගලිකත්වයත් ඒ විදිහට හැඩගස්වා ගන්න අපිට පුළුවන්ද? ඔව්, යෙහෝවා දෙවි අපිව නිර්මාණය කරලා තියෙන්නේ ඔහුගේ ගතිලක්ෂණ ඇතුව නිසා ඔහුගේ ගුණාංග අපේ ජීවිතවලින් පෙන්නන්න අපිට පුළුවන්.—උත්. 1:26, 27; එෆී. 5:1.

2 ඇත්ත, අපිට පාපය උරුම වෙලා තියෙන නිසා සමහර වෙලාවට වැරදි ආශාවන් අපේ හිතට එනවා. අපි හැදුණ වැඩුණ පරිසරය නිසාත් දෙවි කැමති දේ කරන එක අභියෝගයක් වෙන්න පුළුවන්. ඒත් දෙවිගේ උදව්වෙන් අපිට පුළුවන් ඔහු කැමති ගතිපැවතුම් අපේ පෞද්ගලිකත්වයට එකතු කරගන්න. දෙවි කැමති ගතිපැවතුම් කීපයක් ගැන දැන් අපි බලමු. ඒක අපිට උදව් වෙයි අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න. (කොලොස්සි 3:10-14 කියවන්න.) සේවයේදී ඒ ගුණාංග අපිට පෙන්නන්න පුළුවන් කොහොමද කියලත් බලමු.

‘ඔබ සියලුදෙනාම එක සමානයි’

3. අලුත් පෞද්ගලිකත්වයට අයිති ගුණාංගයක් මොකක්ද?

3 හැමෝටම එක හා සමානව සලකන එක අලුත් පෞද්ගලිකත්වයට අයිති ගුණාංගයක්. පාවුල් මෙහෙම කිව්වා. “වැදගත් වන්නේ කෙනෙකු ග්‍රීකයෙක්ද යුදෙව්වෙක්ද කියාවත් චර්මච්ඡේදිතද අචර්මච්ඡේදිතද කියාවත් විදේශිකයෙක්ද ස්කිතිය ජාතිකයෙක්ද කියාවත් දාසයෙක්ද නිදහස් පුද්ගලයෙක්ද කියාවත් නොවේ.” * තමන්ගේ ජාතිය, කුලය, සමාජයේ තියෙන පිළිගැනීම නිසා තමන් අනිත් අයට වඩා උසස් කියලා කිසිම කෙනෙක් හිතන්න හොඳ නැහැ. මොකද යේසුස්ගේ අනුගාමිකයන් හැටියට අපි හැමෝම “එක පුද්ගලයෙකු හා සමානයි.”—කොලො. 3:11; ගලා. 3:28.

4. (අ) දෙවිගේ සේවකයන් අනිත් අයට සලකන්න ඕනෙ කොහොමද? (ආ) එක්සත්කම නැති වෙන්න පුළුවන් මොකක් නිසාද?

4 අලුත් පෞද්ගලිකත්වය පැළඳගත්ත කෙනෙක් අනිත් අයගේ ජාතිය, පසුබිම මොකක් වුණත් හැමෝටම ගෞරවයෙන් සලකනවා. (රෝම 2:11) ඒත් සමහර රටවල ඉන්න අයට ඒක අභියෝගයක්. උදාහරණෙකට යම් කාලෙකට කලින් දකුණු අප්‍රිකාවේ රජය විවිධ ජන පිරිස්වලට අනුව ජීවත් වෙන්න ඕන ප්‍රදේශ වෙන් කරලා දුන්නා. ඒ විදිහට වෙන් කරපු ප්‍රදේශවලයි තාමත් හුඟක් අය ඉන්නේ. සාක්ෂිකරුවනුත් ඒ අතරේ ඉන්නවා. ඒත් පාලක මණ්ඩලයට ඕනෙ වුණා ඒ සහෝදරයන්ට එයාලගේ ‘හදවත්වල ඇති ප්‍රේමය තව වැඩි කරගන්න’ උදව් කරන්න. (2 කොරි. 6:13) ඒ නිසා විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කරන්න 2013දී එයාලා අනුමැතිය දුන්නා.

5, 6. (අ) විශේෂ සැලැස්ම මොකක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) ප්‍රතිඵල මොනවාද?

5 ඒ විශේෂ සැලැස්ම වුණේ සමහර සති අන්තවල වෙන වෙන භාෂාවන් කතා කරන සභා 2ක් නැත්නම් කලු ජාතිකයන් ඉන්න සභාවක් සහ සුදු ජාතිකයන් ඉන්න සභාවක් එකට කාලය ගත කරන එකයි. එයාලා එකට සේවයේ ගියා. රැස්වීම්වලට ගියා. එකිනෙකාගේ ගෙවල්වලට ගිහින් ආශ්‍රය කළා. ඒ සැලැස්මට සභා සිය ගාණක් හවුල් වුණා. ඒක සාර්ථක වුණා කියලා ශාඛා කාර්යාලයට ලැබුණ වාර්තාවලින් පැහැදිලියි. සාක්ෂිකරුවන් නොවන අයත් ඒ ගැන හොඳ කිව්වා. දේවගැතියෙක් කියපු දේ බලන්න. “මං මේ දේ නම් පිළිගන්නවා. ඔයාලගේ දේශනා සේවය හොඳට සංවිධානය කරලා තියෙනවා. ඔයාලා අතරේ ජාති භේද නෑ.” අපේ සහෝදර සහෝදරියන් ඒ සැලැස්ම ගැන කිව්වේ මොනවාද?

6 මේ අද්දැකීම බලන්න. සහෝදරි නෝමා ක්සෝසා භාෂාව කතා කරන සභාවේ. ඉංග්‍රීසි භාෂාව කතා කරන සභාවේ අයට එයාගේ පුංචි ගෙදරට ආරාධනා කරන්න මුලදී එයා ටිකක් අදිමදි කළා. ඒත් ඒ අය එක්ක සේවයේ ගියාට පස්සේ, එයාලගේ ගෙවල්වලට ගිහින් ආශ්‍රය කළාට පස්සේ නෝමා එයාලා එක්ක හිතවත් වුණා. එයා කිව්වේ මෙහෙමයි. “එයාලත් අපි වගේ සාමාන්‍ය අය.” ඉංග්‍රීසි භාෂාව කතා කරන අය සේවය කරන්න නෝමාගේ සභාවට ආපු වෙලාවක නෝමා කීපදෙනෙක්ට කෑමකට ආරාධනා කළා. ඒ අය අතරේ වැඩිමහල්ලෙක් හිටියා. එයා සුදු ජාතිකයෙක්. එයා නෝමාගේ ගෙදර තිබුණ පුංචි පෙට්ටියක් උඩ ඉඳගෙන ඉන්නවා නෝමා දැක්කා. ඒක එයාගේ හිතට තදින්ම වැදුණා. ඒ සැලැස්ම නිසා විවිධ ජන පිරිස්වලට අයිති සහෝදර සහෝදරියන්ට අලුත් මිතුදම් ඇති කරගන්න පුළුවන් වුණා. අදටත් ක්‍රියාත්මක වෙන මේ සැලැස්මෙන් දකුණු අප්‍රිකාවේ සහෝදරයන් ප්‍රයෝජන ලබනවා.

ඉමහත් දයානුකම්පාවද කරුණාවන්තකමද පැළඳගන්න

7. නිතරම අනිත් අය ගැන අනුකම්පාවක් තියෙන්න ඕනෙ ඇයි?

7 මේ දුෂ්ට සමාජය තියෙන තාක් කල් අපිට දුෂ්කරතා අද්දකින්න වෙයි. රස්සාවල් හිඟකම, අසනීප, විරුද්ධවාදිකම්, ස්වාභාවික විපත්, සොර සතුරු උවදුරු සහ වෙනත් ආපදා අපි හැමෝටම බලපානවා. දුෂ්කරතා අද්දකිද්දී එකිනෙකාට උදව් කරන්න නම් අපිට සහෝදරයන් ගැන සැබෑ අනුකම්පාවක් තියෙන්න ඕනේ. දයානුකම්පාව අපිව පොලඹවනවා අනිත් අයට කරුණාවන්තව සලකන්න. (එෆී. 4:32) අලුත් පෞද්ගලිකත්වයට අයිති ඒ ගුණාංග අපේ ජීවිතෙන් පෙන්නද්දී අපි කරන්නේ යෙහෝවා දෙවිව ආදර්ශයට අරන් අනිත් අයට සහනයක් වෙන එකයි.—2 කොරි. 1:3, 4.

8. සභාවේ හැමෝටම දයානුකම්පාව, කරුණාව පෙන්නද්දී හොඳ ප්‍රතිඵල ලැබෙනවා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?

8 සභාවේ ඉන්න නැති බැරි අයට, විදේශිකයන්ට තව වැඩියෙන් කරුණාවන්තව සලකන්න ඔයාට පුළුවන් කොහොමද? එයාලව ආදරෙන් පිළිගන්න. එයාලගේ හොඳ යාළුවන් වෙන්න. එයාලත් සභාවේ වටිනා සාමාජිකයන් කියලා තේරුම්ගන්න උදව් කරන්න. (1 කොරි. 12:22, 25) ඩැනිකාල්ගේ අද්දැකීම බලන්න. එයා පිලිපීනයේ ඉඳලා ජපානයට ගිය කෙනෙක්. විදේශිකයෙක් නිසා වැඩපොළේ අය එයාව එච්චර ගණන් ගත්තේ නැහැ. දවසක් එයා සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට ගියා. එදා වෙච්ච දේ ගැන ඩැනිකාල් මෙහෙම කිව්වා. “එතන හිටපු හැමෝම වගේ ජපන් ජාතිකයන්. ඒත් එයාලා මාව ආදරෙන් පිළිගත්තා. එයාලා මට සැලකුවේ සෑහෙන කාලයක් තිස්සේ මාව අඳුරනවා වගේ.” දෙවිට තවත් ළං වෙන්න සහෝදරයන් පෙන්නපු කරුණාව ඩැනිකාල්ට උදව් වුණා. දැන් එයා වැඩිමහල්ලෙක්. එයායි, එයාගේ බිරිඳයි සභාවේ ඉන්න එක ගැන වැඩිමහල්ලන් හුඟක් සතුටු වෙනවා. “ඒ දෙන්නාම පුරෝගාමි සේවය කරනවා. එයාලා ගත කරන්නේ හරිම සරල ජීවිතයක්. ඒ දෙන්නා අපිට හොඳ ආදර්ශයක්” කියලා වැඩිමහල්ලන් කිව්වා.—ලූක් 12:31.

9, 10. සේවයේ හම්බ වෙන අය ගැන අපිට අනුකම්පාවක් ඇති වෙන එකෙන් හොඳ ප්‍රතිඵල ලැබෙනවා කියන්නේ ඇයි?

9 දේවරාජ්‍යය ගැන දේශනා කරද්දී ‘සියලුදෙනාටම යහපත් දේවල් කරන්න’ අපිට අවස්ථාව ලැබෙනවා. (ගලා. 6:10) වෙනත් රටවලින් ඇවිත් ඉන්න අයට දෙවි ගැන කියලා දෙන්න ඕනෙ නිසා හුඟක් සහෝදරයන් ඒ භාෂා ඉගෙනගෙන තියෙනවා. එහෙම කරන්න එයාලා පෙලඹුණේ අනිත් අය ගැන දැනුණ අනුකම්පාව නිසයි. (1 කොරි. 9:23) ඕස්ට්‍රේලියාවේ ඉන්න ටිෆනි ඒ වගේ කෙනෙක්. එයාට ඕනෙ වුණා බ්‍රිස්බේන්වල තියෙන ස්වහීලී භාෂාව කතා කරන සභාවට උදව් කරන්න. ඒ භාෂාව ඉගෙනගන්න අමාරු වුණත් එයාගේ කැප කිරීම්වලට හොඳ ප්‍රතිඵල ලැබුණා. එයා මෙහෙම කිව්වා. “වෙනත් භාෂාවක් කතා කරන සභාවක සේවය කරන එක රසවත් අද්දැකීමක්. ඒක හරියට අපේම රටේ ඉඳලා වෙන රටක සේවය කරනවා වගේ. ලෝකේ කොහේ හිටියත් අපි එක පවුලක් කියලා අද්දැකලාම බලන්න පුළුවන්.”

වෙනත් රටවලින් ඇවිත් ඉන්න අයට උදව් කරන්න දෙවිගේ සෙනඟ පෙලඹෙන්නේ ඇයි? (10 ඡේදය බලන්න)

10 ජපානයේ ඉන්න පවුලක් කරපු දේ බලන්න. ඒ පවුලේ දුව සකිකෝ මෙහෙම කියනවා. “සේවයේදී අපිට නිතරම බ්‍රසීලයෙන් ආපු අය හම්බ වුණා. අපි එයාලට එයාලගේම භාෂාවෙන් එළිදරව් 21:3, 4 හරි ගීතාවලිය 37:10, 11, 29 හරි පෙන්නද්දී එයාලා උනන්දුවෙන් අහගෙන ඉන්නවා. සමහරුන්ගේ ඇස්වලට කඳුළුත් එනවා.” ඒ පවුලේ අයට බ්‍රසීලයෙන් ආපු අය ගැන කොයි තරම් අනුකම්පාවක් දැනුණාද කියනවා නම් එයාලා පෘතුගීසි භාෂාව ඉගෙනගත්තා. දෙවිගේ සේවකයන් වෙන්න හුඟදෙනෙක්ට උදව් කරන්නත් එයාලට පුළුවන් වුණා. පෘතුගීසි භාෂාව කතා කරන සභාවක් පිහිටුවන්නත් එයාලා උදව් කළා. “මේ භාෂාව ඉගෙනගන්න අපි මහන්සි වුණා. ඒත් ලැබුණ ආශීර්වාද එක්ක බලද්දී ඒක ලොකු කැප කිරීමක් නෙමෙයි. ඒ ගැන අපි යෙහෝවා දෙවිට හුඟක් ස්තුති කරනවා” කියලා සකිකෝ කියනවා.—ක්‍රියා 10:34, 35 කියවන්න.

නිහතමානී වෙන්න

11, 12. (අ) අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න ඕනෙ මොන චේතනාවෙන්ද? ඒ ඇයි? (ආ) දිගටම යටහත්පහත්ව ඉන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

11 අපි අපේ පෞද්ගලිකත්වය අලුත් කරගන්නේ දෙවිට ගෞරවයක් ගේන්න මිසක් අනිත් අයගේ ගෞරවය අපිට දිනාගන්න නෙමෙයි. ඒත් ඒ උගුලට අපි අහු වෙන්න පුළුවන්. පරිපූර්ණ දේවදූතයෙකුත් තමන් ගැන ඕනෑවට වඩා හිතපු නිසා දෙවිට විරුද්ධව වැඩ කරන්න පෙලඹුණා. (එසකියෙල් 28:17 බලන්න.) එහෙමනම් පාපය උරුම වෙලා තියෙන අපි, උඩඟු සිතුවිලි පාලනය කරගන්න කොයි තරම් වෑයමක් දරන්න ඕනෙද? අපි ඒ වෑයම දරනවා නම් නිහතමානීව ඉන්න අපිට පුළුවන්.

12 ඒක කරන්න අපිට උදව් වෙන්නේ මොනවාද? හැමදාම බයිබලේ කියවලා කියවන දේ ගැන වෙලාව අරන් කල්පනා කරන එක. (ද්වි. 17:18-20) විශේෂයෙන්ම යේසුස්ගේ ඉගැන්වීම් ගැන, ඔහුගේ ආදර්ශය ගැන අපි කල්පනා කරන්න ඕනේ. (මතෙ. 20:28) යේසුස් කොච්චර නිහතමානීද කියනවා නම් ඔහු ගෝලයන්ගේ පාද පවා හේදුවා. (යොහ. 13:12-17) අපිට උදව් වෙන තවත් දෙයක් යාච්ඤාව. උඩඟු හැඟීම් නැති කරලා දාන්න අපිට උදව් කරන්න දෙවිගේ බලයට පුළුවන්.—ගලා. 6:3, 4; ෆිලි. 2:3.

13. නිහතමානී අයට ලැබෙන ආශීර්වාද මොනවාද?

13 හිතෝපදේශ 22:4 කියවන්න. අපි දිගටම නිහතමානීව ඉඳියි කියලා දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒකෙන් අපිට ආශීර්වාදත් ලැබෙනවා. පේතෘස් කිව්වේ “ඔබ සියලුදෙනා එකිනෙකා සමඟ කටයුතු කරන විටදී නිහතමානීව හැසිරීමට පුරුදු වන්න. මන්ද දෙවි උඩඟු අයට විරුද්ධව සිටියි. නමුත් යටහත්පහත් අයට ඔහු තම මහත් කරුණාව පෙන්වයි” කියලා. (1 පේතෘ. 5:5) දෙවිගේ මහත් කරුණාව අද්දකින්න අපිට පුළුවන් වෙන්නේ අපි නිහතමානී නම් විතරයි. අපි යටහත්පහත්ව වැඩ කරද්දී ඒක සභාවේ එකමුතුකමටත් දායක වෙනවා.

ඉවසිලිවන්ත, මුදු මොළොක් කෙනෙක් වෙන්න

14. ඉවසිලිවන්තව, මෘදු විදිහට වැඩ කරලා හොඳම ආදර්ශය තියන්නේ කවුද?

14 අද කාලේ ඉවසිලිවන්ත, මුදු මොළොක් අයව සලකන්නේ දුර්වල අය විදිහට. ඒත් ඇත්තටම එහෙම අය දුර්වල නැහැ. මොකද විශ්වයේ බලවත්ම තැනැත්තා වන යෙහෝවා දෙවිට ඒ ගුණාංග තියෙනවා. ඉවසිලිවන්තව, මෘදු විදිහට වැඩ කරලා අපිට හොඳම ආදර්ශය තියන්නේ ඔහුයි. (2 පේතෘ. 3:9) ආබ්‍රහම් සහ ලොත් දෙවිගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී දෙවි කොයි තරම් ඉවසීමෙන් වැඩ කළාද! (උත්. 18:22-33; 19:18-21) අකීකරු වුණ ඊශ්‍රායෙල් ජාතිය එක්ක අවුරුදු 1,500කට වැඩි කාලයක් පුරා දෙවි කොච්චර ඉවසීමකින් වැඩ කළාද!—එස. 33:11.

15. යේසුස් අපිට තිබ්බේ මොන වගේ ආදර්ශයක්ද?

15 යේසුස් “මෘදු ගුණැති” කෙනෙක්. (මතෙ. 11:29) ගෝලයන් අතින් අඩුපාඩුකම් වුණත් ඔහු වැඩ කළේ හරිම ඉවසීමෙන්. දේවසේවය කරපු කාලේ පුරාම මිනිසුන් ඔහුට නින්දා කළා. බොරු චෝදනා එල්ල කළා. ඒත් ඒ වගේ වෙලාවලදී ඔහු කේන්ති ගත්තේ නැහැ. වධකණුවේ දරාගන්න බැරි තරම් වේදනාවකින් ඉද්දීත් ඔහු දෙවිට කිව්වේ ‘ඔවුන් කරන දේ ගැන ඔවුන්ට අවබෝධයක් නැහැ. ඒ නිසා ඔවුන්ට සමාව දෙන්න’ කියලයි. (ලූක් 23:34) මොන තරම් ලොකු පීඩනයක්, වේදනාවක් දැනුණත් යේසුස් දිගටම ඉවසීමෙන්, මුදු මොළොක් විදිහට වැඩ කළා.—1 පේතෘස් 2:21-23 කියවන්න.

16. ඉවසීමෙන්, මුදු මොළොක් විදිහට වැඩ කරන්න අපිට පුළුවන් කොහොමද?

16 අපි අතරේ ප්‍රශ්න ගැටලු ඇති වෙද්දී එකිනෙකාට සමාව දෙන්න නම් අපි තුළ ඉවසීම, මෘදුකම තියෙන්නම ඕනේ. පාවුල් කියපු මේ දේ බලන්න. “අන් අය කරන දේ ගැන අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත් ඔවුන් ගැන ඉවසන්න. නිතරම ඔවුන්ට මුළු හදවතින්ම සමාව දෙන්න. යෙහෝවා දෙවි ඔබට මුළු හදවතින්ම සමාව දී තිබෙන ආකාරයටම ඔබත් සමාව දෙන්න.” (කොලො. 3:13) අපි ඒ උපදෙසට කීකරු වෙනවා නම් සභාවේ සාමය රැකගන්න අපිට පුළුවන්.

17. ඉවසීම, මෘදුකම අපිට තියෙන්නම ඕනෙ ඇයි?

17 අපි අනිත් අයත් එක්ක ඉවසීමෙන්, මුදු මොළොක් විදිහට වැඩ කරයි කියලා දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒ ගුණාංග අපිට නැත්නම් පාරාදීසයට ඇතුල් වෙන්න අපිට බැහැ. (මතෙ. 5:5; යාකො. 1:21) ඒ නිසා ඉවසීමෙන්, මුදු මොළොක් විදිහට වැඩ කරන්න ඕනෙ අපිට පහසු වෙලාවලදී විතරක් නෙමෙයි. අපි එහෙම වැඩ කරද්දී යෙහෝවා දෙවිව ගෞරවයට පත් වෙනවා. ඒ දේම කරන්න අනිත් අයට උදව් කරන්නත් අපිට පුළුවන්.—ගලා. 6:1; 2 තිමෝ. 2:24, 25.

ප්‍රේමය පැළඳගන්න

18. ආදරේ තියෙන කෙනෙක් හැමෝටම එක වගේ සලකනවා කියන්නේ ඇයි?

18 අපි බලපු ඒ හැම ගුණාංගයක්ම අපේ ජීවිතවලින් පෙන්නන්න නම් ආදරේ කියන ගුණාංගය අපිට තියෙන්නම ඕනේ. මුල් සියවසේ වුණ දෙයක් බලන්න. එදා සමහරු පොහොසත් අයට වැඩි සැලකිල්ලක් පෙන්නුවා. එයාලා කරන දේ ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න’ කියන ආඥාවට විරුද්ධයි කියලා යාකොබ් කිව්වා. “ඔබ දිගටම ඇතැම් අයට විශේෂ සැලකිල්ලක් දක්වනවා නම් ඔබ කරන්නේ පාපයකි” කියලත් එයා කිව්වා. (යාකො. 2:8, 9) අපි අනිත් අයට ඇත්තටම ආදරේ නම් අපි එයාලට සලකන්නේ එයාලගේ අධ්‍යාපන මට්ටම, ජාතිය, සමාජයේ එයාලට තියෙන තැන බලලා නෙමෙයි. හැමෝටම එක වගේ සලකනවා. ඒක මවාපාන්න බැහැ. හදවතින්ම එන්න ඕනෙ දෙයක්.

19. අපිට ආදරේ තියෙන්නම ඕනෙ ඇයි?

19 ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන කෙනෙක් බොහෝ ඉවසිලිවන්තයි, කරුණාවන්තයි.’ එයා ‘අහංකාර නැහැ.’ (1 කොරි. 13:4) අත් නෑර මිනිසුන්ට ශුභාරංචිය දේශනා කරන්න නම් අපි ඉවසිලිවන්ත, කාරුණික, යටහත්පහත් අය වෙන්න ඕනේ. (මතෙ. 28:19) සභාවේ හැම කෙනෙක් එක්කම පෑහිලා වැඩ කරන්නත් ඒ ගුණාංග උදව් වෙනවා. අපි හැමෝම එකිනෙකාට ආදරෙන් සලකද්දී අපි අතරේ තියෙන බැඳීම තව වැඩි වෙනවා. ඒකෙන් යෙහෝවා දෙවිව ගෞරවයට පත් වෙනවා වගේම අපි අතරේ තියෙන බැඳීම දකින අය දෙවිගේ සංවිධානයට ඇදිලා එනවා. අලුත් පෞද්ගලිකත්වය ගැන කරපු විස්තරය අවසන් වෙන්නේ “ඒ සියල්ලට අමතරව ඔබ තුළ ප්‍රේමය තිබිය යුතුයි. මන්ද එක්සත්කමට දායක වන හොඳම බැඳීම එයයි” කියලා. ඒක කොයි තරම් හොඳින් ගැළපෙනවාද!—කොලො. 3:14.

‘අලුත් පුද්ගලයන් වෙන්න’

20. (අ) අපි හිතලා බලන්න ඕනෙ ප්‍රශ්න මොනවාද? ඒ ඇයි? (ආ) අපි ඉදිරියේ තියෙන්නේ මොන වගේ අනාගතයක්ද?

20 ‘පරණ පෞද්ගලිකත්වය අයින් කරලාම දාන්න මං තව මොන වගේ වෙනස්කම් කරගන්න ඕනෙද’ කියලා අපි හැමෝම හිතන්න ඕනේ. ඒ වෙනස්කම් කරගන්න යෙහෝවා දෙවිගෙන් උදව් ඉල්ලන්න. වැරදි ආශාවන්, නරක පුරුදු අයින් කරන්න අපි අපේ පැත්තෙනුත් ලොකු සටනක් කරන්න ඕනේ. (ගලා. 5:19-21) ඒ විතරක් මදි ‘දිගටම දෙවි හිතන විදිහට හිතන්න මං ලොකු වෑයමක් දරනවාද’ කියලත් හිතන්න ඕනේ. (එෆී. 4:23, 24) අපිට පාපය උරුම වෙලා තියෙන නිසා අලුත් පෞද්ගලිකත්වය පැළඳගෙන ඒක දිගටම රැකගන්න එක ලේසි නැහැ. ඒ නිසා පාරාදීසය එන කල්ම ඒ දේ කරන්න අපිට ලොකු වෑයමක් දරන්න වෙයි. පොළොවේ ඉන්න හැමෝම දෙවිගේ ලස්සන ගුණාංග 100%ක්ම තමන්ගේ ජීවිතවලින් පෙන්නන කාලය වැඩි ඈතක නැහැ. ඒ දවස හිතින් මවාගන්න ඔයාට පුළුවන්ද?

^ 3 ඡේ. අතීතයේ හිටපු අය ස්කිතිය ජාතිකයන්ව සැලකුවේ නොදියුණු ජන පිරිසක් විදිහට.