Skip to content

පටුනට යන්න

“මා ආවේ කඩුවක් දීමට මිස සාමය දීමට නොවෙයි”

“මා ආවේ කඩුවක් දීමට මිස සාමය දීමට නොවෙයි”

“මා මෙලොවට සාමය දෙන්න පැමිණියා කියා නොසිතන්න. මා ආවේ කඩුවක් දීමට මිස සාමය දීමට නොවෙයි.”—මතෙ. 10:34.

ගීතිකා: 123, 128

1, 2. (අ) දැන් අපි අද්දකින්නේ මොන වගේ සමාදානයක්ද? (ආ) සාමය 100%ක් අද්දකින්න දැන් අපිට බැරි ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

අපි කවුරුත් කැමති නැහැ හිතේ කරදරෙන් ජීවත් වෙන්න. අපිට ඕනෙ හිතේ සාමය. ඒකයි “දෙවි ලබා දෙන සමාදානය” අද්දකින්න ලැබිලා තියෙන එක ලොකු ආශීර්වාදයක් කියන්නේ. ඒ සමාදානය අපේ හිත සන්සුන් කරනවා. කනස්සල්ලක් ඇති කරන හැඟීම් පාලනය කරගන්න උදව් කරනවා. (ෆිලි. 4:6, 7) අපි යෙහෝවා දෙවිට කැප වුණ සේවකයන් නිසා ‘දෙවි සමඟත් සමාදානය භුක්ති විඳිනවා.’ ඒ කියන්නේ අපිට දෙවි එක්ක හොඳ බැඳීමක් තියෙනවා කියන එකයි.—රෝම 5:1.

2 ඒත් දැන් අපිට 100%ක් සමාදානය අද්දකින්න බැහැ. ඒක අනාගතයේදී ලැබෙන ආශීර්වාදයක්. මේ කාලේ කනස්සල්ලට හේතු වෙන හුඟක් දේවලට අපි මුහුණ දෙනවා. අපි වට වෙලා ඉන්නේ දරුණු මිනිසුන්ගෙන්. (2 තිමෝ. 3:1-4) සාතන්ට, සාතන්ගේ බොරු ප්‍රචාරයන්ට විරුද්ධව සටන් කරන්නත් අපිට සිද්ධ වෙනවා. (2 කොරි. 10:4, 5) ඒත් පවුලේ අය සත්‍යයට විරුද්ධ වෙද්දී අපේ හිතට දැනෙන කනස්සල්ල ඒ හැම දේටම වඩා වැඩියි. එයාලා අපේ විශ්වාසයන් විහිළුවට ගනියි. පවුලේ එකමුතුකම නැති කරනවා කියලා චෝදනා කරයි. අපිව පවුලෙන් අයින් කරනවා කියලා තර්ජනය කරයි. ඒ වගේ අභියෝග දිහා අපි බලන්න ඕනෙ කොහොමද? මනසේ සාමය රැකගන්න පුළුවන් කොහොමද?

අභියෝග දිහා බලන්න ඕනෙ කොහොමද?

3, 4. (අ) යේසුස්ගේ ඉගැන්වීම් නිසා මොනවා වෙන්න පුළුවන්ද? (ආ) යේසුස්ව අනුගමනය කරන එක විශේෂයෙන් අමාරු මොන වගේ අවස්ථාවලදීද?

3 හැමෝම යේසුස්ගේ ඉගැන්වීම් පිළිගන්නේ නැහැ කියලා ඔහු දැනගෙන හිටියා. ඒ නිසා ඔහුගේ ගෝලයන් වෙන අයට විරුද්ධවාදිකම් එනවා කියලත් ඒවාට මුහුණ දෙන්න එයාලට ධෛර්යය ඕනෙ කියලත් යේසුස් තේරුම්ගත්තා. ඒ විරුද්ධවාදිකම් එන්නේ පවුලෙන්ම නම් ඒක සමඟියට බලපානවා. ඒකයි යේසුස් මෙහෙම කිව්වේ. “මා මෙලොවට සාමය දෙන්න පැමිණියා කියා නොසිතන්න. මා ආවේ කඩුවක් දීමට මිස සාමය දීමට නොවෙයි. මා ආවේ මිනිසෙකු තම පියා සමඟද දුව ඇගේ මව සමඟද අලුතෙන් විවාහ වූ ස්ත්‍රිය ඇගේ නැන්දම්මා සමඟද භේද කරවීමටයි. මිනිසෙකුගේ සතුරන් වන්නේ ඔහුගේම පවුලේ සාමාජිකයන්.”—මතෙ. 10:34-36.

4 ‘මා සාමය දෙන්න පැමිණියා කියා නොසිතන්න’ කියලා යේසුස් කිව්වේ ඇයි? යේසුස් ආවේ මිනිසුන්ට යෙහෝවා දෙවි ගැන සත්‍යය කියලා දෙන්න මිසක් පවුල්වල භේද ඇති කරන්න නෙමෙයි කියලා අපි දන්නවා. (යොහ. 18:37) ඒත් ඔහු එහෙම කිව්වේ තමන්ගේ අනුගාමිකයන්ට ඔහුගේ අඩි පාරේ යන එක ලේසි දෙයක් නෙමෙයි කියලා තේරුම් කරන්නයි. විශේෂයෙන්ම පවුලේ අය, කිට්ටු යාළුවෝ සත්‍යයට විරුද්ධ වෙද්දී ඒක අභියෝගයක් කියලා පැහැදිලි කරන්නයි.

5. යේසුස්ගේ අනුගාමිකයන් අද්දැකලා තියෙන්නේ මොන වගේ දේවල්ද?

5 යේසුස්ගේ අනුගාමිකයන්ට විඳදරාගන්න සිද්ධ වෙන දේවලින් එකක් තමයි පවුලේ අයගෙන් එන විරුද්ධවාදිකම් කියලා යේසුස් කිව්වා. (මතෙ. 10:38) පවුලේ අයගේ විහිළුවට ලක් වුණත් පවුලෙන් අයින් කළත් යේසුස්ගේ අනුගාමිකයන් දිගටම විඳදරාගෙන ඔහුගේ හිත සතුටු කරලා තියෙනවා. ඒ නිසා අත්හැරපු දේවලට වඩා වැඩි ආශීර්වාද එයාලා අද්දකිනවා.—මාක් 10:29, 30 කියවන්න.

6. පවුලේ අය විරුද්ධ වෙද්දී අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?

6 සාක්ෂිකරුවෙක් වෙන්න අපි ගත්ත තීරණයට පවුලේ අය විරුද්ධ වුණත් එයාලා ගැන අපිට තියෙන ආදරේ නැති වෙන්නේ නැහැ. ඒත් වෙන කිසිම කෙනෙක්ට වඩා අපි ආදරේ කරන්න ඕනෙ යෙහෝවා දෙවිටයි, යේසුස්ටයි කියලා මතක තියාගමු. (මතෙ. 10:37) අපිව දෙවිගෙන් ඈත් කරන්න පවුලේ අයට තියෙන ආදරේ සාතන් ආයුධයක් කරගන්න පුළුවන්. අභියෝගයක් වෙන අවස්ථා කීපයක් ගැනත් ඒවාට හොඳින් මුහුණ දෙන්න කරන්න පුළුවන් මොනවාද කියලත් දැන් බලමු.

සැමියා, බිරිඳ සත්‍යයේ නැත්නම්

7. සත්‍යයේ නැති සැමියා, බිරිඳ ගැන ඔයාට තියෙන්න ඕනෙ ආකල්පය මොකක්ද?

7 විවාහ වෙන අයට “දුෂ්කරතාවලට” මුහුණ දෙන්න වෙනවා කියලා බයිබලේ කියනවා. (1 කොරි. 7:28) ඔයාගේ සැමියා, බිරිඳ සත්‍යයේ නැත්නම් ඒක ඔයාගේ විවාහ ජීවිතේට තවත් අභියෝග එකතු කරයි. ඒත් දික්කසාද වෙන්න, වෙන් වෙන්න ඒක හේතුවක් කරගන්නවාට දෙවි කොහොමටවත් කැමති නැහැ. ඒ නිසා යෙහෝවා දෙවි ඔයාගේ විවාහය ගැන හිතන විදිහටම හිතන්න උත්සාහ කරන්න. (1 කොරි. 7:12-16) ඔයාගේ සැමියා දෙවිට සේවය කරන්නේ නැති නිසා නමස්කාර වැඩවලදී එයා පෙරමුණ ගන්නේ නැති වෙයි. ඒත් ඔයා එයාට ගෞරවයෙන් සලකන්න ඕනේ. මොකද එයා තමයි පවුලේ මූලිකයා. ඔයාගේ බිරිඳ දෙවිට සේවය කරන කෙනෙක් නොවුණත් ඔයා එයාව ආදරෙන් රැකබලා ගන්න ඕනේ.—එෆී. 5:22, 23, 28, 29.

8. සැමියා, බිරිඳ ඔයාගේ සේවය සීමා කරන්න හදනවා නම් ඔයා හිතන්න ඕනෙ මොනවා ගැනද?

8 ඔයාගේ සැමියා, බිරිඳ ඔයා කරන සේවය සීමා කරන්න හදනවා නම් මොනවාද කරන්න පුළුවන්? හිතන්න, සහෝදරියකට සැමියා කියනවා සතියේ සමහර දවස්වල විතරක් සේවයේ යන්න කියලා. එතකොට එයාට පුළුවන් මේ ප්‍රශ්න ගැන හිතන්න. ‘සැමියා කියන්නේ යෙහෝවා දෙවිට සේවය කරන එක නවත්තලාම දාන්න කියලද? නැත්නම් එයා කියන දේට මට එකඟ වෙන්න බැරිද?’ ඔයා සාධාරණ කෙනෙක් නම් පවුලේ ප්‍රශ්න ඇති වෙන එක අඩු කරගන්න පුළුවන්.—ෆිලි. 4:5.

9. දෙවිට සේවය නොකරන දෙමාපියෙක්ට ගරු කරන්න දරුවන්ව පුහුණු කරන්නේ කොහොමද?

9 සැමියා, බිරිඳ දෙවිට සේවය කරන්නේ නැත්නම් දෙවි බලාපොරොත්තු වෙන විදිහට දරුවන්ව පුහුණු කරන එක අභියෝගයක්. උදාහරණෙකට ඔයාට වෙනවා “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න” කියන අණට කීකරු වෙන්න දරුවන්ට උගන්වන්න. (එෆී. 6:1-3) ඒත් ඔයාගේ සැමියා, බිරිඳ බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන්නේ නැත්නම් ඒක කරන්නේ කොහොමද? එයාගේ හොඳ ගතිගුණ දකින්න උත්සාහ කරන්න. එයාව අගය කරන්න. දරුවෝ ඉස්සරහා කවදාවත් එයාගේ වැරදි කියන්න එපා. ඒ විදිහට එයාට ගෞරවයෙන් සලකලා දරුවන්ට හොඳ ආදර්ශයක් වෙන්න. දෙවිට සේවය කරනවාද නැද්ද කියන දේ පෞද්ගලිකව ගන්න ඕනෙ තීරණයක් කියලත් දරුවන්ට පැහැදිලි කරන්න. දෙවිට සේවය නොකරන දෙමාපියෙක්ට ගරු කරන්න දරුවන්ට උගන්වනවා නම් එයාලගේ ආදර්ශය දැකලා දෙවි ගැන ඉගෙනගන්න එයාට ආසාවක් ඇති වෙයි.

ලැබෙන හැම අවස්ථාවකදීම දරුවන්ට දෙවි ගැන කියලා දෙන්න (10 ඡේදය බලන්න)

10. දෙවි ගැන ආදරයක් ඇති කරගන්න දරුවන්ට උගන්වන්න ඔයාට පුළුවන් කොහොමද?

10 ආගමික උත්සවවලට හවුල් වෙන්න, තමන්ගේ ආගම ගැන ඉගෙනගන්න කියලා සත්‍යයේ නැති දෙමාපියෙක් දරුවන්ට බල කරන්න පුළුවන්. සමහරවිට තාත්තා කෙනෙක් දරුවන්ට බයිබලයෙන් දේවල් උගන්වන්න එපා කියලා අම්මාට තහනම් කරන්න පුළුවන්. එහෙම වුණොත් අම්මාට පුළුවන් වෙනත් විදිවලින් දරුවන්ට දෙවි ගැන කියලා දෙන්න. (ක්‍රියා 16:1; 2 තිමෝ. 3:14, 15) උදාහරණෙකට දරුවන් එක්ක බයිබල් පාඩමක් කරන්න එපා කියලා නැත්නම් දරුවන්ව රැස්වීම් එක්කගෙන යන්න එපා කියලා සැමියා බිරිඳට කියයි. බිරිඳ ඒ තීරණයට ගරු කරන්න ඕනේ. ඒත් එයාට පුළුවන් ලැබෙන හැම අවස්ථාවකදීම එයාගේ විශ්වාසයන් ගැන දරුවන් එක්ක කතා කරන්න. එතකොට දෙවි ගැන, දෙවිගේ ප්‍රතිපත්ති ගැන දරුවන් ඉගෙනගනියි. (ක්‍රියා 4:19, 20) ඒත් දෙවිට සේවය කරනවාද නැද්ද කියන තීරණය ගන්න ඕනෙ දරුවන්මයි. *ද්වි. 30:19, 20.

පවුලේ අය සත්‍යයට විරුද්ධ වෙද්දී

11. සත්‍යයේ නැති පවුලේ අය එක්ක ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මොන අවස්ථාවේදීද?

11 ඔයා බයිබලේ පාඩම් කරන්න පටන්ගත්ත අලුත ඒ ගැන පවුලේ අයට කියන්න නැතුව ඇති. ඒත් දෙවි ගැන තියෙන විශ්වාසය වැඩි වෙද්දී දෙවිට සේවය කරන්න ඔයා තීරණයක් ගත්තා කියලා එයාලට කියන්න ඇති. (මාක් 8:38) ඒක දැනගත්තාම එයාලා ඔයාත් එක්ක අමනාප වෙන්න ඇති. දෙවිට ළැදිව ඉන්න ගමන් පවුලේ අය එක්ක සාමයෙන් ඉන්න පුළුවන් කොහොමද කියලා බලමු.

12. මොන හේතු නිසාද පවුලේ අය විරුද්ධ වෙන්නේ? එයාලව තේරුම්ගන්න පුළුවන් කොහොමද?

12 පවුලේ අයව තේරුම්ගන්න. බයිබල් සත්‍යයන් ඉගෙනගන්න ලැබුණ එක ගැන අපිට දැනෙන්නේ ලොකු සතුටක්. ඒත් පවුලේ අයට හිතෙයි අපි රැවටිලා කියලා. අපි අමුතුම ආගමකට ගිහිල්ලා කියලා. එයාලා සමරන සමහර උත්සවවලට හවුල් වෙන්නේ නැති නිසා දැන් අපි එයාලට ආදරේ නැහැ කියලත් හැඟෙයි. මැරුණාට පස්සේ අපිට දඬුවම් විඳින්න වෙයි කියලා එයාලට හිතෙයි. ඒ නිසා එයාලා දේවල් කියද්දී එහෙම කියන්නේ ඇයි කියලා තේරුම්ගන්න උත්සාහ කරන්න. (හිතෝ. 20:5) හැම කෙනෙක්ටම ශුභාරංචිය දේශනා කරන්න ඕනෙ නිසා පාවුලුත් ‘සෑම තරාතිරමකම ඉන්න පුද්ගලයන්ව’ තේරුම්ගන්න උත්සාහ කළා. අපිත් එයාව ආදර්ශයට ගන්නවා නම් පවුලේ අයට දෙවි ගැන කියලා දෙන්න පුළුවන් හොඳම විදිහ තේරුම්ගන්න අපිට ලේසියි.—1 කොරි. 9:19-23.

13. පවුලේ අයත් එක්ක කතා කරද්දී අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?

13 කාරුණිකව කතා කරන්න. බයිබලේ අපිට කියන්නේ “නිතරම කාරුණිකව කතා කිරීමට පුරුදු වන්න” කියලයි. (කොලො. 4:6) ඒ නිසා අපේ පවුලේ අයත් එක්ක මුදු මොළොක්, කාරුණික විදිහට කතා කරන්න දෙවිගෙන් උදව් ඉල්ලන්න. එයාලගේ විශ්වාසයන් ගැන වාද කරන්න යන්න එපා. එයාලා කරන කියන දෙයක් නිසා ඔයාගේ හිත රිදුණොත් නියෝජිතයන්ව ආදර්ශයට ගන්න. පාවුල් කිව්වේ මෙහෙමයි. ‘අපට නින්දා කරන විට එසේ කරන අයට ආශීර්වාද කරන්නෙමු. පීඩාවලට මුහුණ දෙන විට ඒවා දරාගන්නෙමු. අපකීර්තියට ලක් කරන විට කාරුණිකව කතා කරන්නෙමු.’—1 කොරි. 4:12, 13.

14. හොඳ හැසිරීම නිසා ලැබෙන ප්‍රයෝජන මොනවාද?

14 යහපත් විදිහට හැසිරෙන්න. ඒක වටින්නේ ඇයි? කාරුණිකව කතා කරන එක පවුලේ සමඟිය රැකගන්න උදව් වෙනවා. ඒත් හැසිරීමෙන් ඊට වඩා ලොකු බලපෑමක් ඇති කරන්න පුළුවන්. (1 පේතෘස් 3:1, 2, 16 කියවන්න.) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ හොඳ පවුල් ජීවිත ගත කරන, දරුවන්ව හොඳින් රැකබලා ගන්න, සදාචාරය අතින් පිරිසිදු ජීවිත ගත කරන අය කියලා ඔයා ජීවත් වෙන විදිහෙන් ඔයාගේ නෑදෑයන් දකින්න ඕනේ. ඔයාගේ පවුලේ අය සත්‍යය පිළිගත්තේ නැතත් ඔයාගේ හොඳ හැසිරීම ගැන යෙහෝවා දෙවි සතුටු වෙනවා.

15. වාදවලට පැටලෙන්නේ නැතුව ඉන්න පුළුවන් කොහොමද?

15 කලින්ම හිතන්න. පවුලේ අය එක්ක වාද ඇති වෙන්න පුළුවන් අවස්ථා ගැන හිතන්න. ඒ අවස්ථාවලදී කරන්න පුළුවන් මොනවාද කියලත් හිතන්න. (හිතෝ. 12:16, 23) ඕස්ට්‍රේලියාවේ ඉන්න සහෝදරියකගේ මාමණ්ඩි සත්‍යයට තදින්ම විරුද්ධයි. වෙලාවකට එයා බණිනවා. ඒ නිසා එයාට කෝල් කරන්න කලින් ඒ සහෝදරියයි, එයාගේ මහත්තයායි කේන්ති ගන්නේ නැතුව ඉන්න දෙවිගෙන් උදව් ඉල්ලනවා. එයාත් එක්ක සුහදව කතා කරන්න පුළුවන් දේවල් ගැනත් කලින්ම හිතනවා. හුඟක් වෙලා කතා කරන්න ගියොත් ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙන නිසා එයාලා කතා කරන වෙලාවත් සීමා කරනවා.

16. පවුලේ අයව සතුටු කරන්න බැරි වෙලාවලදී මතක තියාගන්න ඕනෙ මොකක්ද?

16 සත්‍යයේ නැති පවුලේ අයව හැම වෙලේම සතුටු කරන්න බැහැ කියලා මතක තියාගන්න. ඒත් අපි එයාලට ආදරේ නිසා, හිත රිද්දන්න අකමැති නිසා එහෙම වෙලාවලදී අපේ හිත වද දෙන්න පුළුවන්. ඒත් අපි ළැදි වෙන්න ඕනෙ යෙහෝවා දෙවිටයි. දෙවිට ඔයා කොච්චර ළැදිද කියලා දකිද්දී පවුලේ අය තේරුම්ගනියි දෙවිට සේවය කරන එක මොන තරම් වැදගත්ද කියලා. සත්‍යය පිළිගන්න කියලා එයාලට බල කරන්න බැරි වුණත් දෙවිගේ ප්‍රතිපත්ති කොයි තරම් ප්‍රයෝජනවත්ද කියලා ඔයාගේ ජීවිතෙන් පෙන්නන්න ඔයාට පුළුවන්. දෙවිගේ සේවකයෙක් වෙන්න දෙවි ඔයාට ආරාධනා කළා වගේ එයාලටත් ආරාධනා කරනවා කියලා මතක තියාගන්න.—යෙසා. 48:17, 18.

පවුලේ කෙනෙක් දෙවිව අත්හැරියොත්

17, 18. පවුලේ කෙනෙක් දෙවිව අත්හැරියොත් ඒක දරාගන්න පුළුවන් කොහොමද?

17 පවුලේ කෙනෙක්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළොත් නැත්නම් එයාම ඉවත් වුණොත් ඒක කොච්චර වේදනාවක්ද! ඒක හරියට කඩුවකින් අනිනවා වගේ. ඒ වේදනාව දරාගන්න ඔයාට පුළුවන් කොහොමද?

18 දිගටම දෙවිට කරන සේවයට අවධානය දෙන්න. ඔයාගේ විශ්වාසය දුර්වල වුණොත් දුක දරාගන්න තවත් අමාරු වෙයි. ඒ නිසා හැමදාම බයිබලේ කියවන්න. රැස්වීම්වලට සූදානම් වෙලා සහභාගි වෙන්න. සේවය අතපසු කරන්න එපා. ශක්තිය ඉල්ලලා දෙවිට කන්නලව් කරන්න. (යූද් 20, 21) ඒ හැම දේම කරලත් දුක අඩු වුණේ නැත්නම් මොනවාද කරන්න පුළුවන්? අධෛර්යය වෙන්න එපා! දිගටම ඔයාගේ සේවයට මුල් තැන දෙන්න. කාලයත් එක්ක දුක දරාගන්න ඔයාට පුළුවන් වෙයි. 73වෙනි ගීතිකාවේ ලේඛකයාත් යම් දේවල් ගැන හිතින් වද වුණා. ඒත් දිගටම දෙවිගේ සේවයට මුල් තැන දුන්න නිසා ඒකෙන් ගොඩ එන්න එයාට පුළුවන් වුණා.—ගීතා. 73:16, 17.

19. දෙවි දෙන හික්මවීම් සුළු නොකර ඉන්න අපිට පුළුවන් කොහොමද?

19 දෙවි දෙන හික්මවීම් සුළු කරන්න එපා. සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන සැලැස්ම ප්‍රේමණීය එකක්. ඒකෙන් වරද කරපු කෙනාට වගේම පවුලේ අයට, සභාවේ අයට ප්‍රයෝජන ලැබෙනවා. පවුලේ කෙනෙක්ට එහෙම වෙද්දී ඒක දරාගන්න අමාරු වුණත් වරද හදාගෙන ආයෙත් දෙවි ළඟට එන්න ඒක එයාට උදව්වක්. (හෙබ්‍රෙව් 12:11 කියවන්න.) ඒ වෙන කල් “ඔහු සමඟ ආශ්‍රය නොකළ යුතුයි” කියලා දෙවි අපිට කියනවා. ඒ ආඥාව සුළු නොකරමු. (1 කොරි. 5:11-13) එයාට කෝල් කරන්නවත්, මෙසේජ් යවන්නවත්, ඊ-මේල් යවන්නවත්, ලියුම් යවන්නවත්, මිතුරු සමාජ වෙබ් අඩවි හරහා එයාව ඇසුරු කරන්නවත් එපා.

20. අපි බලාපොරොත්තු අත්හරින්නේ නැත්තේ ඇයි?

20 බලාපොරොත්තු අත්හරින්න එපා. අනිත් අයට ආදරේ කෙනෙක් ‘සියල්ල ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා.’ ඒ නිසා දෙවිව අත්හැරපු කෙනා ආයෙත් දෙවි ළඟට එයි කියන බලාපොරොත්තුවෙන් ඉන්න. (1 කොරි. 13:7) එයා වෙනස් වෙන්න පටන් අරන් කියලා ඔයාට තේරුණොත් එයා වෙනුවෙන් යාච්ඤා කරන්න. බයිබලේ කියවලා ධෛර්යය අරගෙන “මා වෙතට හැරී එන්න” කියන දෙවිගේ ආරාධනය පිළිගන්න එයාට උදව් කරන්න කියලා දෙවිගෙන් ඉල්ලන්න.—යෙසා. 44:22.

21. ඔයා යේසුස්ගේ අනුගාමිකයෙක් නිසා පවුලේ අය ඔයාට විරුද්ධ වෙද්දී කරන්න පුළුවන් මොනවාද?

21 යේසුස් කිව්වා කිසිම මිනිසෙක්ට වඩා අපි ආදරේ කරන්න ඕනෙ ඔහුට කියලා. පවුලෙන් විරුද්ධවාදිකම් ආවත් යේසුස්ට ළැදිව ඉන්න අවශ්‍යය ධෛර්යය ඔහුගේ අනුගාමිකයන්ට තියෙනවා කියලා ඔහු දැනගෙන හිටියා. පවුලේ අයගෙන් විරුද්ධවාදිකම් එද්දී දිගටම දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරන්න. දෙවිගෙන් ශක්තිය ඉල්ලන්න. (යෙසා. 41:10, 13) යෙහෝවා දෙවි සහ යේසුස් ඔයා ගැන සතුටු වෙනවා කියලත් ඔයා පෙන්නන විශ්වාසවන්තකමට ආශීර්වාද කරනවා කියලත් අමතක කරන්න එපා.

^ 10 ඡේ. දෙවිට සේවය කරන සැමියාට, බිරිඳට දරුවන්ව පුහුණු කරන්න පුළුවන් විදි ගැන තව විස්තර දැනගන්න 2002 අගෝස්තු 15 ‘මුරටැඹ’ කලාපයේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” බලන්න.