Skip to content

පටුනට යන්න

සෙකරියා දැකපු දර්ශන අපිට වැදගත් ඇයි?

සෙකරියා දැකපු දර්ශන අපිට වැදගත් ඇයි?

“මා වෙතට හැරී එන්න. එවිට මමද ඔබ වෙතට හැරී එන්නෙමි.”—සෙක. 1:3.

ගීතිකා: 89, 86

1-3. (අ) සෙකරියා අනාවැකි කියපු කාලේ යෙරුසලමේ තිබුණේ මොන වගේ තත්වයක්ද? (ආ) යෙහෝවා දෙවි වෙතට හැරී එන්න කියලා දෙවි ඔහුගේ සෙනඟට කිව්වේ ඇයි?

අනාගතවක්තෘ සෙකරියා කුතුහලය ඇති කරවන දර්ශන කීපයක් දැක්කා. සුළඟේ පාවෙන ලියවිල්ලක්, භාජනයක් තුළ ඉන්න ස්ත්‍රියක්, සුළඟ හමන දිශාවට පියාඹන මානකොකෙකුගේ මෙන් පියාපත් තිබුණ ස්ත්‍රීන් දෙන්නෙක් ඒවායෙන් සමහරක්. (සෙක. 5:1, 7-9) යෙහෝවා දෙවි සෙකරියාට ඒ දර්ශන දකින්න සැලැස්සුවේ ඇයි? ඒ කාලේ යෙරුසලමේ තිබුණේ මොන වගේ තත්වයක්ද? ඒ දර්ශන අපිට වැදගත් ඇයි?

2 ඒ ක්‍රි.පූ. 537වෙනි අවුරුද්දයි. දෙවිගේ සෙනඟ හිටියේ හුඟක් සතුටින්. ඒ ඇයි? අවුරුදු 70ක් පුරා බැබිලෝනියේ වහලුන් වෙලා හිටපු එයාලා දැන් නිදහස්. ආපහු යෙරුසලමට ගිහින් දේවමාලිගාව ගොඩනඟලා යෙහෝවා දෙවිට නමස්කාර කරන්න එයාලා හිටියේ පුදුම ආසාවකින්. කොච්චරද කියනවා නම් ඊළඟ අවුරුද්ද වෙද්දී එයාලා දේවමාලිගාවේ අත්තිවාරම දැම්මා. එදා එයාලා හුඟක් සතුටු වුණා. එයාලගේ ප්‍රීති “ඝෝෂාව දසත පැතිර ගියා.” (එස්රා 3:10-13) ඒත් දේවමාලිගාවේ ඉදි කිරීම් වැඩවලට එන්න එන්නම විරුද්ධවාදිකම් ආවා. ඒ නිසා අධෛර්යය වුණ ඊශ්‍රායෙල්වරු ඉදි කිරීම් කටයුතු අත්හැරලා දාලා තමන්ටම ගෙවල් ගොඩනඟාගන්න පටන්ගත්තා. වගා කටයුතුවලට යොමු වුණා. අවුරුදු 16ක් ගෙවුණත් දේවමාලිගාවේ වැඩකටයුතු තාමත් එහෙම්මමයි. තමන් ගැන හිතන එක නතර කරලා ආයෙත් දෙවි වෙතට හැරිලා එන්න ඊශ්‍රායෙල්වරුන්ට සිහිගැන්වීමක් අවශ්‍ය වෙලයි තිබුණේ. එයාලා උද්‍යෝගයෙන්, ධෛර්යවත්ව දෙවිට නමස්කාර කරයි කියලා යෙහෝවා දෙවි බලාපොරොත්තු වුණා.

3 තමන් ඊශ්‍රායෙල්වරුන්ව බැබිලෝනියෙන් නිදහස් කරපු හේතුව සෙනඟට සිහිගන්වන්න දෙවි ක්‍රි.පූ. 520දී අනාගතවක්තෘ සෙකරියාව යැව්වා. ඒ වැඩේට එයාව යවපු එක හොඳට ගැළපෙනවා. මොකද එයාගේ නමේ තේරුමත් “යෙහෝවා දෙවි සිහි කර ඇත” කියන එකයි. දෙවි ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් කරපු දේ එයාලට අමතක වුණත් දෙවිට එයාලව අමතක වෙලා තිබුණේ නැහැ. (සෙකරියා 1:3, 4 කියවන්න.) සැබෑ නමස්කාරය ආයෙත් පිහිටුවන්න එයාලට උදව් කරනවා කියලා දෙවි පොරොන්දු වුණා. ඒත් එයාලගේ නමස්කාරය දෙවි පිළිගන්නේ එයාලා මුළු හදින්ම ඒක කරනවා නම් විතරයි කියලා දෙවි මතක් කළා. සෙකරියා දැකපු දර්ශනවලින් 6වෙනි සහ 7වෙනි දර්ශන ගැන දැන් අපි බලමු. ආයෙත් උද්‍යෝගයක් ඇති කරගන්න ඊශ්‍රායෙල්වරුන්ට දෙවි උදව් කළේ කොහොමද කියලත් ඒ දර්ශන 2 අපිට වැදගත් ඇයි කියලත් බලමු.

හොරකම් කරන අයට ලැබෙන විනිශ්චය

4. 6වෙනි දර්ශනයෙන් සෙකරියා දැක්කේ මොකද්ද? ලියවිල්ලේ දෙපැත්තෙම ලියලා තිබුණේ ඇයි? (අංක 1 පින්තූරය බලන්න.)

4 සෙකරියා පොතේ 5වෙනි පරිච්ඡේදය පටන්ගන්නේ ටිකක් අමුතු දර්ශනයකින්. (සෙකරියා 5:1, 2 කියවන්න.) සුළඟේ පාවෙන ලියවිල්ලක් සෙකරියා දකිනවා. ඒක අඩි 30ක් විතර දිගයි. අඩි 15ක් පළලයි. දිගහැරලා තිබුණ ඒ ලියවිල්ලේ පණිවිඩයක් සඳහන් වෙලා තිබුණා. (සෙක. 5:3) ඒක විනිශ්චය පණිවිඩයක්. ඒ කාලේ ලියවිලිවල සාමාන්‍යයෙන් ලියන්නේ එක පැත්තක විතරයි. ඒත් මේ ලියවිල්ලේ දෙපැත්තෙම ලියලා තිබුණ නිසා ඒක බැරෑරුම් පණිවිඩයක් කියලා පැහැදිලියි.

දෙවිගේ සේවකයන් හොරකම් කරන එක වැරදියි (5-7 ඡේද බලන්න)

5, 6. ඕනෑම විදිහක හොරකමක් ගැන දෙවිට හැඟෙන්නේ කොහොමද?

5 සෙකරියා 5:3, 4 කියවන්න. තමන් කරන දේවල් ගැන හැම කෙනෙක්ම යෙහෝවා දෙවිට ගණන් දෙන්න ඕනේ. දෙවිගේ සෙනඟගෙන් දෙවි ඒ දේ ඊටත් වඩා බලාපොරොත්තු වෙනවා. මොකද එයාලා දෙවිගේ නාමය දරනවා. දෙවිට ආදරේ කරන අය තේරුම් අරන් ඉන්නවා හොරකම් කරන එකෙන් දෙවිගේ නමට මොන තරම් නින්දාවක් ගේනවාද කියලා. (හිතෝ. 30:8, 9) සාධාරණ හේතුවක් තියෙනවා නම් හොරකමක් කරන එකේ වරදක් නැහැ කියලා කෙනෙක්ට හිතෙයි. ඒත් හේතුව මොකක් වුණත් හොරකම් කරන කෙනෙක් දෙවිගේ නීතිය සැහැල්ලුවට ගන්නවා. දෙවිවත් දෙවිගේ නාමයත් තමන්ට වැදගත් නැහැ කියලා පෙන්නනවා.

6 ඒ ලියවිල්ල ‘සොරාගේ ගෙදරට ඇතුල් වෙනවා’ කියලත් ඒක ඇතුල් වුණාම ‘නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී යනවා’ කියලත් සෙකරියා 5:3, 4 සඳහන් වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ තමන්ගේ සෙනඟ අතරේ වෙන ඕනෑම වැරදි දෙයක් හෙළි කරන්නත් ඒක විනිශ්චය කරන්නත් දෙවිට පුළුවන් කියන එකයි. කෙනෙක් තමන් කරන හොරකම පොලීසියෙන්, වැඩපොළේ ස්වාමියාගෙන්, වැඩිමහල්ලන්ගෙන්, දෙමාපියන්ගෙන් හංගයි. ඒත් යෙහෝවා දෙවිගෙන් හංගන්න බැහැ. මොන විදිහේ හොරකමක් කළත් දෙවි ඒක හෙළි කරනවාමයි. (හෙබ්‍රෙ. 4:13) ‘සෑම දෙයකදීම’ අවංකව වැඩ කරන්න ලොකු වෑයමක් දරන සෙනඟ අතරේ ඉන්න ලැබිලා තියෙන එක ඇත්තටම අපිට ආශීර්වාදයක්.—හෙබ්‍රෙ. 13:18.

7. ලියවිල්ලේ සඳහන් වෙන ශාපයට අහු නොවී ඉන්න අපිට පුළුවන් කොහොමද?

7 ඕනෑම විදිහක හොරකමක් යෙහෝවා දෙවිට පිළිකුලක්. දෙවිගේ උසස් ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න ලැබිලා තියෙන එක අපි සලකන්නේ ගෞරවයක් විදිහට. මොකද එතකොට අපිට පුළුවන් දෙවිගේ නමට නින්දාවක් ගේන දේවලින් වළකින්න. ඒ විදිහට ජීවත් වෙද්දී දෙවිට අකීකරු වෙන අයට විරුද්ධව දෙවි ගේන විනිශ්චයට අහු නොවී ඉන්න අපිට පුළුවන්.

කැපවීමට එකඟව හැම දවසක්ම ගත කරන්න

8-10. (අ) දිවුරුමක් කියන්නේ මොකක්ද? (ආ) ශෙදකියා රජ කඩ කළේ මොන දිවුරුමද?

8 දෙවිගේ නාමයෙන් “බොරුවට දිවුරන” අයට අනතුරු ඇඟවීමකුත් සෙකරියා දැක්ක ලියවිල්ලේ සඳහන් වුණා. (සෙක. 5:4) දිවුරුමක් කියන්නේ යම් දෙයක් ඇත්ත කියලා සහතික වෙන එකට. එහෙම නැත්නම් යම් දෙයක් කරනවා හෝ නොකරනවා කියලා පොරොන්දු වෙන එකට.

9 යෙහෝවා දෙවිගේ නාමයෙන් දිවුරන එක කොහොමටවත් සැහැල්ලුවට ගන්න බැහැ. ඒක යූදා රාජ්‍යයේ අවසන් රජ වුණ ශෙදකියා හා සම්බන්ධ සිද්ධියකින් පැහැදිලියි. බැබිලෝනියේ රජුට යටත් වෙලා ඉන්නවා කියලා එයා දෙවිගේ නමින් දිවුරලා පොරොන්දු වුණා. ඒත් එයා ඒ පොරොන්දුව කඩ කළා. ඒ නිසා යෙහෝවා දෙවි මෙහෙම කිව්වා. ශෙදකියා “තමා දුන් පොරොන්දුව සුළු කොට තකමින් ගිවිසුම කඩ කළ බැවින් තමාව රජු ලෙස පත් කළ තැනැත්තාගේ දේශයෙහිම මිය යනු ඇත. ඔහු බැබිලෝනියෙහි මිය යන්නේය.”—එස. 17:16.

10 ශෙදකියා රජ යෙහෝවා දෙවිගේ නමින් දිවුරලා වුණ පොරොන්දුව එයා රකියි කියලා දෙවි බලාපොරොත්තු වුණා. (2 ලේක. 36:13) ඒත් එයා බැබිලෝනිවරුන්ට යටත්ව ඉන්නවා වෙනුවට එයාලගෙන් ගැලවෙන්න හිතාගෙන ඊජිප්තුවේ උපකාරය පැතුවා. ඒක වැඩක් නැති උත්සාහයක්.—එස. 17:11-15, 17, 18.

11, 12. (අ) අපි දෙන වැදගත්ම පොරොන්දුව මොකක්ද? (ආ) අපේ කැපවීම එදිනෙදා ජීවිතේට බලපාන්න ඕනෙ කොහොමද?

11 අපි දෙන පොරොන්දුත් යෙහෝවා දෙවි අහගෙනයි ඉන්නේ. අපි ඒ පොරොන්දු රකිනවා නම් විතරයි ඔහු සතුටු වෙන්නේ. (ගීතා. 76:11) අපේ ජීවිතේ අපිට දෙන්න පුළුවන් වැදගත්ම පොරොන්දුව යෙහෝවා දෙවිට අපි කැප වෙද්දී දෙන පොරොන්දුවයි. අපි ඔහුට පොරොන්දු වෙන්නේ මොන දේට මුහුණ දෙන්න සිද්ධ වුණත් දිගටම ඔහුට සේවය කරනවා කියලයි.

12 ඒ පොරොන්දුව රකින්න පුළුවන් කොහොමද? විශ්වාසය පුංචි විදිහකින් හරි සෝදිසියට ලක් වෙන අවස්ථාවලට හැමදාම අපි මුහුණ දෙනවා. ඒ වගේ අවස්ථාවලදී අපි වැඩ කරන විදිහෙන් පැහැදිලි වෙනවා යෙහෝවා දෙවිත් එක්ක අපිට කොයි වගේ බැඳීමක්ද තියෙන්නේ කියලා. (ගීතා. 61:8) වැඩපොළේ නැත්නම් ඉස්කෝලේ කෙනෙක් ඔයාගේ අවධානය ඇදගන්න විදිහට හැසිරෙනවා නම් ඔයා මොකද කරන්නේ? ඒවාට අහු නොවී ඉඳලා ඔයා පෙන්නනවාද ඔයාට ඕනෙ දෙවිට කීකරු වෙන්න කියලා? (හිතෝ. 23:26) ඔයාගේ පවුලේ සත්‍යයේ ඉන්නේ ඔයා විතරද? අනිත් අය හරි දේ කළේ නැතත් දිගටම දෙවිට කීකරු වෙන්න ඔයා දෙවිගෙන් උදව් ඉල්ලනවාද? දෙවි පෙන්නන ආදරේට, ඔහු දෙන මඟ පෙන්වීම්වලට ඔයා හැම දවසකම දෙවිට ස්තුති කරනවාද? බයිබලේ කියවන්න හැමදාම වෙලාව හොයාගන්නවාද? දෙවිට කැප වෙද්දී අපි පොරොන්දු වුණේ ඔහුට මුල් තැන දෙනවා කියලයි. එහෙමනම් ඒ දේවල් කරන එක ඒ පොරොන්දුවට ඇතුළත් නැද්ද? අපි දෙවිට කීකරු වෙද්දී, පුළුවන් උපරිමයෙන් සේවය කරද්දී අපි ඔහුට ආදරෙයි කියලත් අපි අයිති ඔහුට කියලත් ඔප්පු වෙනවා. අපේ නමස්කාරය වත්පිළිවෙත්වලට සීමා වුණ එකක් නෙමෙයි. ඒක අපේ මුළු ජීවිතේමයි. දෙවිට ළැදි අයට ඔහු ලස්සන අනාගතයක් පොරොන්දු වෙලා තියෙනවා.—ද්වි. 10:12, 13.

13. සෙකරියා දැක්ක 6වෙනි දර්ශනයෙන් අපි ඉගෙනගන්නේ මොනවාද?

13 යෙහෝවා දෙවිට ආදරේ අය හොරකම් කරන්නේවත් පොරොන්දු කඩන්නේවත් නැහැ කියලා සෙකරියා දැකපු 6වෙනි දර්ශනයෙන් අපි තේරුම්ගත්තා. ඊශ්‍රායෙල්වරුන් අතින් අඩුපාඩුකම් වුණත් දෙවි එයාලව අත්හැරියේ නැහැ කියලා අපි දැක්කා. එයාලා හිටියේ සතුරන්ගෙන් වට වෙලා නිසා එයාලා අද්දැක්ක දුෂ්කරතා දෙවි තේරුම්ගත්තා. පොරොන්දු ඉටු කරන එක මොන තරම් වැදගත්ද කියලා යෙහෝවා දෙවි ඔහුගේ ආදර්ශයෙන් අපිට උගන්වනවා විතරක් නෙමෙයි ඒ දේ කරන්න අපිට උදව් කරනවා. ඔහු අපිට උදව් කරන එක විදිහක් තමයි අනාගතය ගැන අපිට දීලා තියෙන බලාපොරොත්තුව. ළඟදීම දෙවි හැම දුෂ්ටකමක්ම නැති කරනවා. ඒ ගැන සෙකරියා ඊළඟට දැක්ක දර්ශනයෙන් අපිට දැනගන්න පුළුවන්.

දෙවි දුෂ්ටකම ඉවත් කරයි

14, 15. (අ) 7වෙනි දර්ශනයෙන් සෙකරියා දැක්කේ මොකක්ද? (අංක 2 පින්තූරය බලන්න.) (ආ) භාජනය තුළ ඉන්න ස්ත්‍රිය කවුද? දේවදූතයා භාජනයේ පියන වැහුවේ ඇයි?

14 සුළඟේ පාවෙන ලියවිල්ල දැක්කාට පස්සේ දේවදූතයා සෙකරියාට කියනවා “අහසේ දැන් පාවෙන්නේ කුමක්ද කියා බලන්න” කියලා. එතකොට එයා “මිනුම් භාජනයක්” අහසේ පාවෙනවා දකිනවා. (සෙකරියා 5:5-8 කියවන්න.) ඒ භාජනයට රවුම් ඊයම් පියනක් තිබුණා. ඒක විවෘත කළාම “භාජනය තුළ ස්ත්‍රියක් වාඩි වී සිටිනවා” සෙකරියා දකිනවා. ඒ ස්ත්‍රියට “දුෂ්ටකම” කියන නම දීලා තියෙනවා කියලා දේවදූතයා සෙකරියාට කියනවා. ඒ ස්ත්‍රිය භාජනයෙන් එළියට එන්න හදද්දී සෙකරියාට කොයි තරම් භයක් දැනෙන්න ඇද්ද! ඒත් දේවදූතයා ඉක්මනින්ම ඒ ස්ත්‍රියව ඇතුළට තල්ලු කරලා පියන තදින් වහනවා. ඒ දර්ශනයෙන් අදහස් වුණේ මොකක්ද?

15 කිසිම විදිහක දුෂ්ටකමක් දෙවිගේ සෙනඟ අතරේ තියෙන්න දෙවි ඉඩ දෙන්නේ නැහැ කියලා ඒ දර්ශනයෙන් පැහැදිලියි. දුෂ්ටකමක් වෙනවා යෙහෝවා දෙවි දකිද්දී ඉක්මනින්ම ඒක අයින් කරන්න ඔහු පියවර ගන්නවා. (1 කොරි. 5:13) දේවදූතයා ඉක්මනින්ම භාජනයේ පියන වහපු එකෙන් අදහස් වුණේ ඒකයි.

දෙවි සැබෑ නමස්කාරය පවිත්‍රව තියාගන්නවා (16-18 ඡේද බලන්න)

16. (අ) ඒ භාජනයට කළේ මොකක්ද? (අංක 3 පින්තූරය බලන්න.) (ආ) පියාපත් තිබුණ ස්ත්‍රීන් ඒ භාජනය අරගෙන ගියේ කොහෙටද?

16 මානකොකෙකුගේ වගේ පියාපත් තියෙන ස්ත්‍රීන් දෙන්නෙක්ව ඊළඟට සෙකරියා දකිනවා. (සෙකරියා 5:9-11 කියවන්න.) භාජනයේ හිටපු දුෂ්ට ස්ත්‍රියට වඩා එයාලා හාත්පසින්ම වෙනස්. මේ ස්ත්‍රීන් දෙන්නා ඒ භාජනය අහසට ඔසවාගෙන යනවා. එයාලා “දුෂ්ටකම” කියන ස්ත්‍රියව අරගෙන යන්නේ කොහෙටද? ඒ “ෂීනාර් දේශයට.” ඒ කියන්නේ බැබිලෝනියට. ඇයි ඒ දෙන්නා එයාව එහෙට අරගෙන යන්නේ?

17, 18. (අ) දුෂ්ටකම්වලට “නියමිත ස්ථානය” බැබිලෝනිය කියන්නේ ඇයි? (ආ) ඔයාගේ අධිෂ්ඨානය මොකක්ද?

17 “දුෂ්ටකම” නියෝජනය කළ ස්ත්‍රියව අරන් යන්න සුදුසුම තැන බැබිලෝනිය කියලා සෙකරියාගේ කාලේ හිටපු ඊශ්‍රායෙල්වරු තේරුම්ගත්තා. මොකද බැබිලෝනිය කියන්නේ අනාචාරයට, බොරු නමස්කාරයට ප්‍රසිද්ධ නගරයක්. සෙකරියා ඇතුළු අනිත් යුදෙව්වන් එහේ හිටපු කාලේ පුරා අපවිත්‍ර චාරිත්‍රවලින් වැළකිලා ඉන්න හැම දවසකම කොයි තරම් සටනක් කරන්න ඇද්ද! සෙකරියා දැක්ක 7වෙනි දර්ශනයෙන් පැහැදිලියි යෙහෝවා දෙවි සැබෑ නමස්කාරය අපවිත්‍ර වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා.

18 සැබෑ නමස්කාරය පවිත්‍රව තියාගන්න එක යුදෙව්වන්ගෙත් වගකීමක් කියලා ඒ දර්ශනයෙන් මතක් කළා. දෙවිගේ සෙනඟ අතරේ දුෂ්ටකමට කිසිම ඉඩක් නැහැ. දුෂ්ටකමට සෙනඟ අතරට රිංගන්න ඉඩ දෙන්නෙත් නැහැ. යෙහෝවා දෙවි අද අපිව ඔහුගේ පවිත්‍ර සංවිධානයට ගෙනල්ලා තියෙනවා. ඒ නිසා අපි ඔහුගේ ආදරය, රැකවරණය කොයි තරම් අද්දකිනවාද! මේ සංවිධානය දිගටම පවිත්‍රව තියාගන්න අපි එක් එක් කෙනාට වගකීමක් තියෙනවා. කිසිම විදිහක දුෂ්ටකමක් අපි අතරේ සිද්ධ වෙන්න ඉඩ දෙන්න බැහැ.

පවිත්‍ර සෙනඟ දෙවිට ගෞරවයක්

19. සෙකරියා දැකපු දර්ශන අපිට වැදගත් ඇයි?

19 දිගින් දිගටම වංක විදිහට වැඩ කරන අයට සෙකරියා දැක්ක 6වෙනි සහ 7වෙනි දර්ශනවලින් ලබා දෙන්නේ ප්‍රබල අනතුරු ඇඟවීමක්. යෙහෝවා දෙවි හැමදාටම දුෂ්ටකම්වලට ඉඩ දෙන්නේ නැහැ කියලත් ඒ දර්ශන අපිට මතක් කරනවා. දෙවිගේ සේවකයන් වන අපිත් දුෂ්ටකම්වලට වෛර කරන්න ඕනේ. ඒ දර්ශනවලින් අපිට ස්ථිර කරන තවත් දෙයක් තියෙනවා. ඒ දෙවිට ප්‍රිය කෙනෙක් වෙන්න අපි අපේ පැත්තෙන් ලොකු වෑයමක් දරනවා නම් සෙකරියා පොතේ කතා කරපු ශාපයට අපි ලක් වෙන්නේ නැහැ කියන දේ. ඒ වෙනුවට දෙවිගේ රැකවරණය, ආශීර්වාද අද්දකින්න අපිට පුළුවන් වෙනවා. අපවිත්‍ර ලෝකෙක පවිත්‍ර ජීවිතයක් ගත කරන එක ලේසි නැති වුණත් දෙවිගේ උදව්වෙන් ඒක කරන්න අපිට පුළුවන්. මේ දුෂ්ට ලෝකේ බලපෑම්වලට පවිත්‍ර නමස්කාරය අහු නොවී තියෙයි කියලා ස්ථිර වෙන්න අපිට පුළුවන් කොහොමද? ළඟ ළඟම එන මහත් පීඩාවේදී යෙහෝවා දෙවි තමන්ගේ සංවිධානය ආරක්ෂා කරයි කියලා අපි දන්නේ කොහොමද? ඊළඟ ලිපියෙන් ඒ ප්‍රශ්න ගැන බලමු.