Skip to content

පටුනට යන්න

අපිට රැකවරණය දෙන අශ්ව රථ සහ ඔටුන්න

අපිට රැකවරණය දෙන අශ්ව රථ සහ ඔටුන්න

“ඔබ ඔබේ දෙවි වන යෙහෝවාගේ හඬට ඇහුම්කන් දෙන්න.”—සෙක. 6:15.

ගීතිකා: 61, 22

1, 2. සෙකරියා 7වෙනි දර්ශනය දැකලා අවසන් වෙද්දීත් යෙරුසලමේ හිටපු යුදෙව්වන් ගත කළේ මොන වගේ ජීවිතද?

හත්වෙනි දර්ශනයෙන් පස්සේ සෙකරියාට කල්පනා කරන්න හුඟක් දේවල් තිබුණා. වංක අයට දඬුවම් කරනවා කියලා දර්ශනය මාර්ගයෙන් යෙහෝවා දෙවි වුණ පොරොන්දුව සෙකරියාට ලොකු හයියක් වෙන්න ඇති. ඒත් ඒ වෙද්දී යුදෙව්වන්ගේ වැඩි වෙනසක් දකින්න තිබුණේ නැහැ. එයාලා කරපු වංක, දුෂ්ට වැඩ නවත්තලා තිබුණෙත් නැහැ. දේවමාලිගාවේ ඉදි කිරීම් වැඩත් තාම එහෙම්මමයි. යෙහෝවා දෙවි භාර දුන්න කාර්යය ඇයි යුදෙව්වන් අත්හැරලා දැම්මේ? එයාලා යෙරුසලමට ආවේ සැප පහසු ජීවිතයක් ගත කරන්න හිතාගෙනද?

2 ආපහු යෙරුසලමට ආපු යුදෙව්වන්ට දෙවි ගැන ලොකු ආදරයක් තිබුණා කියලා සෙකරියා දැනගෙන හිටියා. ‘සැබෑ දෙවි එයාලගේ සිත් තුළ මහත් ආශාවක් ඇති කරපු’ නිසයි බැබිලෝනියේ තිබුණ ව්‍යාපාර, ගෙවල් අත්හැරලා එයාලා යෙරුසලමට ආවේ. (එස්රා 1:2, 3, 5) හුරු පුරුදු පරිසරය දාලා ආපු එයාලගෙන් වැඩිදෙනෙක් යෙරුසලම දැකලවත් තිබුණේ නැහැ. දේවමාලිගාව නැවත ගොඩනඟන එක ඒ යුදෙව්වන්ට කොච්චර වැදගත් වුණාද කියනවා නම් කි.මී. 1,600ක විතර දුෂ්කර ගමනක් යන්න එයාලා කැමති වුණා.

3, 4. ආපහු ආපු යුදෙව්වන්ට තිබුණ අභියෝග මොනවාද?

3 යෙරුසලමට යන ගමන දිගු ගමනක් නිසා ඉස්සරහට කරන්න යන දේවල් ගැන හිතන්න, අනිත් අය එක්ක ඒ ගැන කතා කරන්න යුදෙව්වන්ට ඕන තරම් වෙලාව තිබුණා. යෙරුසලම, දේවමාලිගාව ඉස්සර කොයි තරම් ලස්සනද කියලා වයසක අය එයාලට කියලා තිබුණා. (එස්රා 3:12) හිතන්න, ඔයාත් ඒ සෙනඟ අතරේ ඉන්නවා කියලා. යෙරුසලම ඈතින් දකිද්දී ඔයාට මොනවා හිතෙයිද? ගරාවැටුණ ගොඩනැඟිලි දැකලා ඔයාට දුක හිතෙයිද? කලින් විශාල දොරටුවලින්, බලකොටුවලින් සවිමත් වෙලා තිබුණ පවුර කැඩිලා බිඳිලා ගිහින් තියෙන විදිහ දකිද්දී බැබිලෝනියේ පවුරු කොච්චර ශක්තිමත්ද කියලා ඔයාට හිතෙයිද? ඒවා දැකලා යුදෙව්වන් අධෛර්යය වුණේ නැහැ. මොකද යෙරුසලමට එන ගමනේදී යෙහෝවා දෙවිගේ රැකවරණය එයාලා අද්දැක්කා. යෙරුසලමට ආපු ගමන්ම එයාලා දේවමාලිගාව තිබුණ තැන පූජාසනයක් හදලා හැම දවසකම පූජා ඔප්පු කරන්න පටන්ගත්තා. (එස්රා 3:1, 2) එයාලට තිබුණේ පුදුම උනන්දුවක්. දෙවි භාර දීපු වැඩේ කරන්න එයාලා හිටියේ ලෑස්ති පිට. අධෛර්යය වෙන පාටක් නම් පේන්නවත් තිබුණේ නැහැ.

4 දේවමාලිගාව ගොඩනඟනවාට අමතරව ගෙවල්, ගරාවැටුණ නගර ආපහු ඉදි කරන්නත් වගා කටයුතු කරන්නත් යුදෙව්වන්ට සිද්ධ වුණා. (එස්රා 2:70) ඇත්තටම එයාලට කරන්න වැඩ කන්දරාවක් තිබුණා. දේවමාලිගාවේ වැඩ පටන් අරන් වැඩි කල් යන්න කලින් සතුරන් ඇවිත් වැඩවලට බාධා කරන්න පටන්ගත්තා. අවුරුදු 15ක් පුරා හුඟක් විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වුණා. ඒකෙන් වුණේ එයාලා ටිකෙන් ටික අධෛර්යය වුණ එකයි. (එස්රා 4:1-4) ක්‍රි.පූ. 522දී පර්සියාවේ රජ යෙරුසලමේ කරපු ඉදි කිරීම් කටයුතු නවත්තලාම දාන්න කියලා නියෝග කළා. යෙරුසලම ආයේ කවදාවත් ගොඩනඟන්න බැහැ කියලයි පේන්න තිබුණේ.—එස්රා 4:21-24.

5. යෙහෝවා දෙවි යුදෙව්වන්ට උදව් කළේ කොහොමද?

5 තමන්ගේ සෙනඟට දිරිගැන්වීම් අවශ්‍යයි කියලා යෙහෝවා දෙවි දැක්කා. දෙවි ඒක කළේ කොහොමද? දෙවි සෙකරියාට තවත් දර්ශනයක් දකින්න සැලැස්සුවා. ඒ තමයි එයා දැක්ක අවසාන දර්ශනය. ඒ දර්ශනය මාර්ගයෙන් දෙවි සෙනඟට ආදරෙයි කියලත් දෙවිට සේවය කරන්න එයාලා ගත්ත උත්සාහය ඔහු අගය කරනවා කියලත් මතක් කළා. එයාලාට භාර දුන්න කාර්යය ආයෙත් පටන්ගත්තොත් දෙවි එයාලට රැකවරණය දෙනවා කියලත් පොරොන්දු වුණා. දෙවි කිව්වේ ‘ඔබ මාගේ හඬට ඇහුම්කන් දුන්නොත්’ දේවමාලිගාව අනිවාර්යයෙන්ම ගොඩනඟනවා කියලයි.—සෙක. 6:15.

දේවදූත හමුදාවක්

6. (අ) සෙකරියා දැක්ක 8වෙනි දර්ශනය පටන්ගත්තේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) අශ්වයන්ට විවිධ පාට තිබුණේ ඇයි?

6 සෙකරියා දැකපු දර්ශන අතරින් 8වෙනි දර්ශනය තමයි විශ්වාසය වැඩියෙන්ම ශක්තිමත් කරන දර්ශනය. (සෙකරියා 6:1-3 කියවන්න.) තඹවලින් හැදිලා තිබුණ “කඳු දෙකක් අතරින්” අශ්ව රථ 4ක් ඉදිරියට එනවා සෙකරියා දකිනවා. ඒ රථ ඇදගෙන ආවේ විවිධ පාට අශ්වයන් නිසා අශ්ව රථ වෙන වෙනම හඳුනගන්න ලේසි වුණා. ඒවා දකිද්දී සෙකරියා ඇහුවා “මේ අශ්ව රථ පැමිණීමේ අරමුණ කුමක්ද” කියලා. ඒ ගැන දැනගන්න එක අපිටත් වැදගත්.—සෙක. 6:4.

තම සෙනඟව ආරක්ෂා කරන්න, ශක්තිමත් කරන්න දෙවි අදත් දේවදූතයන්ව යොදාගන්නවා

7, 8. (අ) කඳු දෙකෙන් නියෝජනය වුණේ මොනවාද? (ආ) කඳු 2ක තඹවලින් හැදිලා තිබුණ එකෙන් අදහස් වුණේ මොකක්ද?

7 බයිබලේ කඳු කියන වචනය පාවිච්චි කරන්නේ රාජ්‍යයන් නැත්නම් ආණ්ඩු නියෝජනය කරන්න. සෙකරියා දැක්ක කඳු 2ක දානියෙල් පොතේ කතා කරන කඳු 2කට සමානයි. එක කන්දකින් නියෝජනය කළේ යෙහෝවා දෙවිගේ පාලනය. විශ්වය පාලනය කරන්න දෙවිට තියෙන අයිතිය කවදාවත් නැති වෙන්නේ නැහැ. අනිත් කන්දෙන් නියෝජනය කළේ යේසුස් රජ විදිහට පාලනය කරන දේවරාජ්‍යය. (දානි. 2:35, 45) 1914දී යේසුස් රජ වුණත් එක්කම මේ කඳු 2න් නියෝජනය වෙන පාලනයන් පොළොව සඳහා දෙවිගේ අරමුණ ඉටු කරන්න විශේෂ අවධානයක් දෙන්න පටන්ගත්තා.

8 කඳු 2ක තඹවලින් හැදිලා තිබුණ එකෙන් අදහස් වුණේ මොකක්ද? අතීතයේදී තඹවලට ලොකු වටිනාකමක් තිබුණා. ඒක දිලිසෙන ලෝහයක්. ශුද්ධ කූඩාරම හදද්දීත් දේවමාලිගාව හදද්දීත් තඹ යොදාගන්න කියලා යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා. (නික්. 27:1-3; 1 රාජා. 7:13-16) කඳු 2ක තඹවලින් හැදිලා තිබුණ නිසා ඒ පාලනයන් 2ක කොයි තරම් ශ්‍රේෂ්ඨ, බලවත් පාලනයන්ද කියලා පැහැදිලි වුණා. දේවරාජ්‍යයේ යටත්වැසියන් ලොකු සුරක්ෂිතබවක් අද්දකියි කියලා කිසිම සැකයක් නැහැ. එයාලගේ ජීවිත ආශීර්වාදවලින් පිරිලා තියෙයි.

9. අශ්ව රථ පදවන්නේ කවුද? එයාලගේ පැවරුම මොකක්ද?

9 අශ්ව රථ පදවන අයගෙන් නියෝජනය වෙන්නේ දේවදූතයන්ව. එයාලා විවිධ කණ්ඩායම්වලට අයිති දේවදූතයන් වෙන්න පුළුවන්. (සෙකරියා 6:5-8 කියවන්න.) එයාලා එන්නේ “මුළු පොළොවටම අධිපති වන තැනැත්තාණන් ඉදිරියේ පෙනී ඉඳලා.” දෙවිගේ සෙනඟව ආරක්ෂා කරන්න විශේෂයෙන් “උතුරු දෙසින් පිහිටි දේශය” වන බැබිලෝනියෙන් ආරක්ෂා කරන්න ඒ දේවදූතයන්ව නිශ්චිත ප්‍රදේශවලට පිටත් කරනවා. ආයේ කවදාවත් දෙවිගේ සෙනඟ බැබිලෝනියේ වහලුන් වෙන්නේ නැහැ කියලා මේ දර්ශනය මාර්ගයෙන් දෙවි ඔහුගේ සෙනඟට සහතික වෙනවා. දේවමාලිගාවේ ඉදි කිරීම් වැඩවලට හවුල් වුණ අයට ඒක ලොකු ශක්තියක් වෙන්න ඇති. ඒ වැඩ නවත්තන්න සතුරන්ට කිසිම හැකියාවක් නැහැ කියලා එයාලා තේරුම්ගත්තා.

10. සෙකරියාගේ අනාවැකිය අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

10 යෙහෝවා දෙවි අදටත් දේවදූතයන් මාර්ගයෙන් ඔහුගේ සෙනඟට රැකවරණය, ශක්තිය ලබා දෙනවා. (මලා. 3:6; හෙබ්‍රෙ. 1:7, 14) 1919දී දෙවිගේ සෙනඟ මහ බැබිලෝනියේ වහල්කමින් නිදහස් වුණ දවසේ ඉඳලා දෙවිගේ සතුරන් සැබෑ නමස්කාරය ලෝකේ පුරා පැතිරෙන එක නවත්තන්න හුඟක් උත්සාහ කරලා තියෙනවා. (එළි. 18:4) ඒත් එයාලා සාර්ථක වෙලා නැහැ. දෙවිගේ සෙනඟට දේවදූතයන්ගේ රැකවරණය ලැබෙන නිසා එයාලා ආයේ කවදාවත් මහ බැබිලෝනියේ වහලුන් වෙන්නේ නැහැ. (ගීතා. 34:7) ඒ වෙනුවට සැබෑ නමස්කාරය තව තවත් ව්‍යාප්ත වෙනවා. සෙකරියා දැකපු කඳු දෙකේ රැකවරණය අපිටත් ලැබෙනවා කියලා ඒ අනාවැකිය අධ්‍යයනය කරද්දී පැහැදිලි වෙනවා.

11. දෙවිගේ සෙනඟට ළඟදීම එල්ල වෙන ප්‍රහාරය ගැන අපි බය වෙන්න ඕනෙ නැත්තේ ඇයි?

11 ළඟදීම සාතන්ගේ පාලනය යටතේ තියෙන, දේශපාලනය අතින් බලවත් ජාතීන් එකතු වෙලා දෙවිගේ සෙනඟට විරුද්ධව ප්‍රහාරයක් එල්ල කරනවා. එයාලගේ එකම අරමුණ දෙවිගේ සෙනඟව නැත්තටම නැති කරලා දාන එකයි. (එස. 38:2, 10-12; දානි. 11:40, 44, 45; එළි. 19:19) එසකියෙල්ගේ අනාවැකියේ ඒ දේශපාලන බලයන් මුළු පොළොවම වසාගන්න ගන වලාවකට සමාන කරනවා. දෙවිගේ සෙනඟට පහර දෙන්න එයාලා අශ්වයන් පිටේ නැගලා වේගයෙන් එනවා. (එස. 38:15, 16) * අපි එයාලට බය වෙන්න ඕනෙද? කොහෙත්ම නැහැ. මොකද යෙහෝවා දෙවිගේ හමුදාව ඉන්නේ අපේ පැත්තේ. ඒ දේවදූත හමුදාව මහත් පීඩාව අතරතුරේදී දෙවිගේ සෙනඟව ආරක්ෂා කරනවා විතරක් නෙමෙයි දෙවිගේ පාලනයට විරුද්ධ වෙන හැම කෙනෙක්වම විනාශ කරලා දානවා. (2 තෙස. 1:7, 8) ඒ දවස මොන වගේ එකක් වෙයිද! එදාට දෙවිගේ හමුදාවේ පෙරමුණ ගන්නේ කවුද?

පූජකයාව රජු හැටියට පත් කරයි

12, 13. (අ) යෙහෝවා දෙවි සෙකරියාට කරන්න කිව්වේ මොකක්ද? (ආ) අංකුරය හැටියට හඳුන්වන්නේ යේසුස්ව කියලා අපි දන්නේ කොහොමද?

12 ඒ දර්ශන 8 දැක්කේ සෙකරියා විතරයි. ඒත් ඊළඟට එයා කරපු දේ අනිත් අයටත් දකින්න පුළුවන් වුණා. දේවමාලිගාව නැවත ගොඩනඟන්න හවුල් වුණ යුදෙව්වන්ට එයා කරපු දේ ලොකු දිරිගැන්වීමක් වෙන්න ඇති. (සෙකරියා 6:9-12 කියවන්න.) හෙල්දයි, ටොබීයා සහ යෙදායා කියන 3දෙනා බැබිලෝනියේ ඉඳලා යෙරුසලමට ආවා. එයාලා ළඟ තිබුණ රන් සහ රීදී අරගෙන “අලංකාර ඔටුන්නක්” හදන්න කියලා යෙහෝවා දෙවි සෙකරියාට කිව්වා. (සෙක. 6:11) ඒ ඔටුන්න පළඳවන්න කිව්වේ යූදා ගෝත්‍රයේ දාවිත්ගේ පෙළපතින් ආපු ආණ්ඩුකාරයා වුණ සෙරුබාබෙල්ටද? නැහැ. යෙහෝවා දෙවි කිව්වේ ඒක උත්තම පූජකයා වුණ යොෂුවාට පළඳවන්න කියලා. සෙකරියා ඒ දේ කරද්දී බලාගෙන හිටපු අය පුදුම වෙන්න ඇති.

13 යොෂුවාට ඔටුන්න පළඳවපු එකෙන් අදහස් කළේ එයාව රජ විදිහට පත් කළා කියන එකද? නැහැ. එයා දාවිත්ගේ පෙළපතින් ආපු කෙනෙක් නෙමෙයි. ඒ නිසා එයා රජකම ලබන්න සුදුසු නැහැ. යොෂුවාට ඔටුන්න පැළඳෙව්වේ අනාගතයේ වෙන්න තිබුණ දෙයක් පෙන්නන්න. ඒ අංකුරය විදිහට හඳුන්වන කෙනා අනාගතයේදී රජු සහ පූජකයා හැටියට පත් වෙනවා කියන දේ. බයිබලයේ අංකුරය විදිහට හඳුන්වන්නේ යේසුස් ක්‍රිස්තුස්ව.—යෙසා. 11:1; මතෙ. 2:23. *

14. රජු සහ උත්තම පූජකයා විදිහට යේසුස්ගේ කාර්යය මොකක්ද?

14 රජු සහ උත්තම පූජකයා වන යේසුස් ක්‍රිස්තුස් දෙවිගේ හමුදාවේ පෙරමුණ ගන්නවා. කුරිරු ලෝකෙක ජීවත් වෙන දෙවිගේ සෙනඟට රැකවරණය ලබා දෙන්න ඔහු ඇපකැප වෙලා වැඩ කරනවා. (යෙරෙ. 23:5, 6) ළඟදීම යෙහෝවා දෙවිට විරුද්ධව බලවත් ජාතීන් එක් රැස් වෙද්දී යේසුස් දෙවිගේ පාලනයට සම්පූර්ණ සහය දෙමින් දෙවිගේ සෙනඟ වෙනුවෙන් සටන් කරනවා. (එළි. 17:12-14; 19:11, 14, 15) ඒත් ඒ දවසට කලින් අංකුරය හැටියට හඳුන්වන යේසුස්ට කරන්න තව වැදගත් වැඩ කොටසක් තියෙනවා.

ඔහු දේවමාලිගාව ගොඩනඟයි

15, 16. (අ) දෙවි සැබෑ නමස්කාරය ආයෙත් පිහිටුවලා ඔහුගේ සෙනඟව පවිත්‍ර කළේ කොහොමද? කවුරු මාර්ගයෙන්ද? (ආ) දහස් අවුරුදු පාලනය අවසානයේදී මොන වගේ තත්වයක් තියෙයිද?

15 රජු සහ උත්තම පූජකයා විදිහට වැඩ කරන ගමන්ම ‘යෙහෝවා දෙවිගේ ගෘහය නැවත ගොඩනඟන’ කාර්යයත් යේසුස්ට පැවරිලා තියෙනවා. (සෙකරියා 6:13 කියවන්න.) මෑත කාලයේදී යේසුස් ඒක කළේ කොහොමද? ඔහු 1919දී මහ බැබිලෝනියෙන් දෙවිගේ සෙනඟව නිදහස් කරලා ක්‍රිස්තියානි සභාව ආයෙත් පිහිටෙව්වා. ඊටපස්සේ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව” පත් කළා. සංකේතවත් දේවමාලිගාව ගොඩනැඟීමේ වැඩේට එයාලත් හවුල් වෙනවා. අභිෂේක ලත් ඒ සහෝදරයන් පොළොවේ සිදු කෙරෙන සැබෑ නමස්කාරයේ වැඩකටයුතුවල පෙරමුණ අරන් වැඩ කරලා ඒ කාර්යයට දායක වෙනවා. (මතෙ. 24:45) ගත වුණ කාලේ පුරාම යේසුස් දෙවිගේ සෙනඟව පවිත්‍ර කරලා දෙවි පිළිගන්න විදිහට නමස්කාර කරන්න එයාලට උදව් කරලා තියෙනවා.—මලා. 3:1-3.

16 යේසුස් එක්ක 1,44,000දෙනා පූජකයන්, රජවරුන් විදිහට අවුරුදු දාහක් පොළොව පාලනය කරනවා. දෙවිට ආදරේ කරන හැමෝටම ආයෙත් පරිපූර්ණ අය වෙන්න ඒ කාලෙදී එයාලා උදව් කරනවා. පූජකයන් සහ රජවරුන් විදිහට එයාලට පැවරිලා තියෙන කාර්යය අවසන් කළාට පස්සේ පොළොවේ ඉතුරු වෙන්නේ යෙහෝවා දෙවිට නමස්කාර කරන අය විතරයි. එදාට දෙවිගේ ගෘහය ගොඩනැඟීමේ කාර්යය සම්පූර්ණයි!

ගොඩනැඟීමේ කාර්යයට හවුල් වෙන්න

17. ඊළඟට යෙහෝවා දෙවි යුදෙව්වන්ට සහතික වුණේ මොකක් ගැනද? ඒක එයාලට බලපෑවේ කොහොමද?

17 සෙකරියා කියපු දේවල් යුදෙව්වන්ට උදව් වුණේ කොහොමද? දේවමාලිගාවේ වැඩකටයුතු සම්පූර්ණ කරන්න අවශ්‍ය උදව්, රැකවරණය දෙනවා කියලා දෙවි පොරොන්දු වුණා. ඒ පොරොන්දුව එයාලට ලොකු හයියක් වෙන්න ඇති. ඒත් ඉන්න ටිකදෙනා මෙච්චර ලොකු වැඩක් කරන්නේ කොහොමද? යෙහෝවා දෙවි සෙකරියා මාර්ගයෙන් ඊළඟට කියපු දෙයින් එයාලගේ බිය සැක නැති වුණා. හෙල්දයි, ටොබීයා සහ යෙදායා ඇතුළු තව විශාල පිරිසක් “දෙවිගේ ගෘහය ගොඩනැඟීම සඳහා දුර ඈත සිට පැමිණෙනවා” කියලා දෙවි කිව්වා. (සෙකරියා 6:15 කියවන්න.) යෙහෝවා දෙවිගේ උදව් අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා ඒකෙන් යුදෙව්වන්ට ස්ථිර වුණා. පර්සියාවේ රජ ඉදි කිරීම් වැඩකටයුතු නවත්තන්න කියලා නියෝග කරලා තිබුණත් දෙවිගේ සෙනඟ බය නැතුව ආයෙත් වැඩ පටන්ගත්තා. ඒ නියෝගය කන්දක් වගේ විශාල බාධකයක් කියලා පේන්න තිබුණත් දෙවි ඒක සමතලා කරලා දැම්මා. යුදෙව්වන් ක්‍රි.පූ. 515 වෙද්දී දේවමාලිගාවේ වැඩකටයුතු සාර්ථකව අවසන් කළා. (එස්රා 6:22; සෙක. 4:6, 7) එදා දෙවි යුදෙව්වන්ට කියපු දේවල් ඊට වඩා විශේෂ අර්ථයකින් අපේ කාලෙදී ඉටු වෙනවා.

දෙවිට අපි පෙන්නන ආදරේ ඔහු කවදාවත් අමතක කරන්නේ නැහැ (18 සහ 19 ඡේද බලන්න)

18. සෙකරියා 6:15 අද ඉටු වෙන්නේ කොහොමද?

18 අද මිලියන ගාණක් යෙහෝවා දෙවිට නමස්කාර කරනවා. එයාලා කාලය, ශක්තිය, ධන සම්පත් වගේ තමන්ට තියෙන “වටිනා දේවල්” කැමැත්තෙන්ම දීලා සැබෑ නමස්කාරයේ වැඩකටයුතුවලට සහය වෙනවා. (හිතෝ. 3:9) අපි දෙන සහය දෙවි හුඟක් අගය කරනවා කියලා අපිට කිසිම සැකයක් නැහැ. හෙල්දයි, ටොබීයා සහ යෙදායා ගෙනාපු රන්, රීදී අරගෙන සෙකරියා ඔටුන්නක් හැදුවා මතකද? සැබෑ නමස්කාරය වෙනුවෙන් එයාලා කරපු දේ “සිහි කරන පිණිස” ඒ ඔටුන්න දේවමාලිගාවේ තිබ්බා. (සෙක. 6:14) දෙවිට අපි පෙන්නන ආදරේ, ඔහු වෙනුවෙන් කරන සේවය ඔහු කවදාවත් අමතක කරන්නේ නැහැ.—හෙබ්‍රෙ. 6:10.

19. සෙකරියා දැකපු දර්ශන අපිව පොලඹවන්න ඕනෙ මොනවා කරන්නද?

19 අන්තිම කාලේ දෙවිගේ සෙනඟ සැබෑ නමස්කාරය වෙනුවෙන් කොයි තරම් නම් දේවල් කරලා තියෙනවාද! ඒ හැම දේම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ දෙවිගේ ආශීර්වාදය නිසයි. යේසුස්ගේ නායකත්වය නිසයි. කාටවත් හොල්ලන්න බැරි, හැමදාටම තියෙන සංවිධානයක සාමාජිකයන් වෙන්න ලැබුණ එක කොයි තරම් ආශීර්වාදයක්ද! ඒ සංවිධානයේ ඔයාට හිමි වැඩ කොටස අගය කරන්න. ‘යෙහෝවා දෙවිගේ හඬට ඇහුම්කන් දෙන්න.’ එතකොට අපේ රජ සහ උත්තම පුජකයා වන යේසුස්ගෙත් දේවදූතයන්ගෙත් රැකවරණය ඔයාට ලැබෙයි. සැබෑ නමස්කාරය වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් හැම දේම කරන්න. මේ දුෂ්ට සමාජය විනාශ වෙන කල් විතරක් නෙමෙයි සදහටම යෙහෝවා දෙවිගේ රැකවරණය අද්දකින්න ඔයාට පුළුවන්.

^ 11 ඡේ. වැඩි විස්තර දැනගන්න 2015 මැයි 15 ‘මුරටැඹ’ කලාපයේ 29-30 පිටුවල පළ වුණ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” යන ලිපිය බලන්න.

^ 13 ඡේ. නාසරෙත් කියන වචනය හැදිලා තියෙන්නේ හෙබ්‍රෙව් භාෂාවේ “අංකුරය” කියන වචනයෙන්.