Skip to content

පටුනට යන්න

සතුටින් පිරි අනාගතයකට මඟ

සතුටින් පිරි අනාගතයකට මඟ

හිතන්න අඳුර වැටුණු වෙලාවක ඔයා ගමනක් යනවා කියලා. හැබැයි ඔයාට කිසිම බයක් දැනෙන්නේ නැහැ. මොකද ඔයාගේ අතේ ලොකු ටෝච් එකක් තියෙනවා. ඒ නිසා ළඟ තියෙන දේවල් විතරක් නෙවෙයි දුර ඈතින් තියෙන දේවලුත් ඔයාට බලන්න පුළුවන්.

බයිබලයත් හරියට ඒ ටෝච් එක වගෙයි. මොකද කලින් ලිපිවලින් අපි බලපු විදිහට දැන් අපි අද්දකින ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දෙන්න ඕන කරන මඟ පෙන්වීම් අපිට ඒකෙන් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි අනාගතයේදී සතුටින් පිරුණු ජීවිතයක් ගත කරන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද කියලා දැනගන්නත් බයිබලය අපිට උදව් වෙනවා.—ගීතාවලිය 119:105.

1 අර්ථවත් ජීවිතයක් ගත කරන්නත් 2 අපිව නිර්මාණය කරපු දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් හැමදාටම පවත්වාගන්නත් බයිබලයේ සඳහන් තොරතුරු අපිට උදව් වෙනවා. ඒ නිසා අනාගතය සතුටින් පිරුණු එකක් කරගන්න අපිට පුළුවන් වෙනවා. ඒ ගැන දැන් බලමු.

1 අර්ථවත් ජීවිතයක් ගත කරන්න

අපිට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න විසඳගන්න උදව් වෙන උපදෙස් බයිබලයේ තියෙනවා. හැබැයි ඒක නිකම්ම උපදෙස් ඇතුළත් පොතක් නෙවෙයි. අපි ගැනම හිතනවාට වඩා අපි සැලකිලිමත් වෙන්න ඕන වැදගත් දේවල් තියෙනවා කියලා තේරුම්ගන්නත් බයිබලය අපිට උදව් වෙනවා. අපි ඒ දේවල් තේරුම් අරන් ජීවත් වෙද්දී තමයි අපේ ජීවිතේට නියම අර්ථයක් ලැබෙන්නේ.

උදාහරණෙකට බයිබලයේ කියනවා “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” කියලා. (ක්‍රියා 20:35) සමහරවිට ඔයා අගහිඟකම්වලින් පෙළෙන කෙනෙක්ට උදව් කරලා ඇති. එහෙමත් නැත්නම් යාළුවෙක් හිතේ තියෙන දුක ඔයාට කියද්දී ඉවසීමෙන් අහගෙන ඉඳලා ඇති. එහෙම උදව් කරන්න ලැබුණු එකෙන් ඔයාටත් ලොකු සතුටක් දැනුණා නේද?

කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව කෙනෙක්ට දෙයක් දෙද්දී තමයි නියම සතුට ලැබෙන්නේ. ලේඛකයෙක් ඒ ගැන මෙහෙම කිව්වා. “අපි කෙනෙක්ට මොනවා හරි දෙයක් දුන්නාම ඊටත් වඩා වැඩියෙන් අපිට ලැබෙනවා. හැබැයි එහෙම වෙන්නේ වාසි ප්‍රයෝජන බලාපොරොත්තු වෙන්නේ නැතුව දෙයක් දුන්නොත් විතරයි.” විශේෂයෙන්ම අපි වෙනුවෙන් කිසිම දෙයක් කරන්න බැරි අයට දෙයක් දෙද්දී ඒකෙන් අපිට ලොකු සතුටක් ලැබෙනවා. අපි අනිත් අය වෙනුවෙන් දේවල් කරද්දී ඒක හරියට අපි අපේ නිර්මාතෘ එක්ක සහයෝගෙන් වැඩ කරනවා වගෙයි. අපි එහෙම කරද්දී දෙවියන් ඒක සලකන්නේ අපි ඔහුට දෙන ණයක් විදිහට. (හිතෝපදේශ 19:17) අසරණ අය වෙනුවෙන් අපි දේවල් කරනවා නම් අනාගතයේදී පාරාදීස පොළොවක සදාකාලෙටම ජීවත් වෙන්න අවස්ථාව දෙන්න ඔහු පොරොන්දු වෙලා තියෙනවා. ඒක මොන තරම් ලස්සන බලාපොරොත්තුවක්ද!—ගීතාවලිය 37:29; ලූක් 14:12-14. *

බයිබලයේ පැහැදිලිවම කියනවා හැම දේටම වඩා වටින්නේ සැබෑ දෙවියන් වන යෙහෝවාට නමස්කාර කරන එකයි කියලා. මොකද එහෙම කළොත් විතරයි අපිට අර්ථවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ. සැබෑ දෙවියන්ට කීකරු වෙන්න කියලත් ඔහුට ප්‍රශංසාව, ගෞරවය ලබා දෙන්න කියලත් බයිබලයේ අපිව දිරිගන්වනවා. (දේශනාකාරයා 12:13; එළිදරව් 4:11) එහෙම කරද්දී අපේ නිර්මාතෘව සතුටු කරන්න අපිට පුළුවන්. දෙවියනුත් බලාපොරොත්තු වෙනවා අපි ප්‍රඥාවන්තව ක්‍රියා කරලා ඔහුගේ සිත සතුටු කරයි කියලා. ඒක මොන තරම් ලොකු වරප්‍රසාදයක්ද! (හිතෝපදේශ 27:11) ඔහු අපි ගැන සැලකිලිමත් නිසයි ඔහුට කීකරු වෙන්න කියලා අපිට කියන්නේ. මොකද ඔහු දන්නවා ඒකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ අපිටමයි කියලා. (යෙසායා 48:17, 18) බයිබලය මාර්ගයෙන් දෙවියන් දීලා තියෙන මඟ පෙන්වීම්වලට එකඟව තීරණ ගන්නවා නම් ඔහුව සතුටු කරන්න අපිට පුළුවන්. මුළු විශ්වයේම නිර්මාතෘ වන දෙවියන්ට නමස්කාර කරන්නත් ඔහුගේ හිත සතුටු කරන්නත් ලැබෙන එකෙන් තමයි අපේ ජීවිතේට නියම අර්ථයක් ලැබෙන්නේ.

2 අපිව නිර්මාණය කරපු දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් හැමදාටම පවත්වාගන්න

දෙවියන් කැමතියි අපි ඔහුව අපේ යාළුවෙක් කරගන්නවාට. “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි” කියලා බයිබලයේ තියෙන දෙයින් ඒක පැහැදිලියි. (යාකොබ් 4:8) මුළු විශ්වයේම නිර්මාතෘව අපේ යාළුවෙක් කරගන්න පුළුවන් වෙයිද කියලා ඔයාට හිතෙයි. හැබැයි දෙවියන් වෙතට හැරී ඔහුගේ මඟ පෙන්වීම් පතන්න මහත් උත්සාහයක් දැරුවොත් “ඔහුට ළං වෙන්න” පුළුවන් කියලා බයිබලයේම කියනවා. මොකද ‘ඔහු අපෙන් දුරස්ව සිටින කෙනෙක් නෙවෙයි.’ (ක්‍රියා 17:27) දෙවියන්ව අපේ යාළුවෙක් කරගත්තොත් අනාගතයේදී සතුටින් පිරුණු ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ කොහොමද?

අපි කොච්චර උත්සාහ කළත් මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න අපිට බැහැ. (1 කොරින්ති 15:26) හැබැයි යෙහෝවා දෙවියන් නම් කවදාවත් මැරෙන්නේ නැහැ. ඔහු සදාකාලයටම ජීවත් වෙනවා. දෙවියන් කැමති ඔහුගේ යාළුවනුත් හැමදාටම ජීවත් වෙනවාටයි. ඔහුට කීකරු වෙන අය “සදහටම” සතුටින් ජීවත් වෙනවාට ඔහු කැමතියි කියලා බයිබලයෙත් පැහැදිලිවම කියනවා.—ගීතාවලිය 22:26.

දෙවියන් එක්ක හැමදාටම කිට්ටු යාළුකමක් පවත්වාගන්න ඔයා කැමතියි නම් ඔයා කරන්න ඕනෙ මොනවාද? දෙවියන් ගැන බයිබලයේ සඳහන් වෙලා තියෙන දේවල් ගැන දිගටම ඉගෙනගන්න. (යොහන් 17:3; 2 තිමෝති 3:16) බයිබලයේ තියෙන දේවල් තේරුම්ගන්න උදව් කරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන්න. ප්‍රඥාව දෙන්න කියලා අපි ‘නොකඩවා දෙවිගෙන් ඉල්ලනවා නම්’ ඔහු අනිවාර්යයෙන්ම අපිට ප්‍රඥාව දෙනවා කියලා බයිබලයේ සහතික කරලා තියෙනවා. * (යාකොබ් 1:5) ඔයා ඉගෙනගන්න දේවල් ජීවිතේට අදාළ කරගන්න උපරිමයෙන් වෑයම් කරන්න. එතකොට දැනුත් හැමදාටමත් දෙවිගේ වචනය ඔයාගේ “පාදවලට පහනක්” කරගන්නත් “මාවතට එළියක්” කරගන්නත් ඔයාට පුළුවන් වෙයි.—ගීතාවලිය 119:105.

^ 8 ඡේ. පාරාදීස පොළොවක සදහටම ජීවත් වෙන්න අපිට ලැබෙන අවස්ථාව ගැන වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු’ පොතේ 3වෙනි පරිච්ඡේදය බලන්න. ඒක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

^ 13 ඡේ. බයිබලයේ තියෙන දේවල් ගැන ඉගෙනගන්න කැමති අයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒ ගැන කියලා දෙනවා. ඒකට කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඒ ගැන තව විස්තර දැනගන්න jw.org වෙබ් අඩවියේ තියෙන ‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ කියන වීඩියෝ එක බලන්න.

දෙවියන් කැමති ඔහු වගේ ඔහුගේ යාළුවනුත් හැමදාටම ජීවත් වෙනවාටයි