Skip to content

පටුනට යන්න

ජ්‍යෝතිශයෙන් සහ සාස්තර බැලීමෙන් අනාගතය ගැන දැනගන්න පුළුවන්ද?

ජ්‍යෝතිශයෙන් සහ සාස්තර බැලීමෙන් අනාගතය ගැන දැනගන්න පුළුවන්ද?

ජ්‍යෝතිශය

ජ්‍යෝතිශයෙන් උගන්වන්නේ මිනිස් ජීවිතවලට ප්‍රබල බලපෑමක් ඇති කරන්න සඳ, තරු සහ ග්‍රහයන්ට පුළුවන් කියලයි. යම් පුද්ගලයෙක් උපදින වෙලාවේදී ග්‍රහයන්ගේ පිහිටීම අනුව එයාගේ අනාගතය සහ චරිත ලක්ෂණ තීරණය වෙනවා කියලත් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් කියනවා.

ජ්‍යෝතිශයේ ආරම්භය පුරාණ බැබිලෝනිය දක්වා දිව යනවා. ඒ වුණත් ඒක අදටත් ගොඩක් ප්‍රසිද්ධයි. 2012දී ඇමරිකාවේ කරපු සමීක්ෂණයකට හවුල් වුණ අයගෙන් 33%ක් ජ්‍යෝතිශය “යම් දුරකට විද්‍යාවට එකඟයි” කියලා කිව්වා. ඒ වගේම 10%ක් කිව්වා ජ්‍යෝතිශය “විද්‍යාත්මකව නිවැරදියි” කියලා. ඒත් ඒක ඇත්තක්ද? නැහැ. මේ කරුණු සලකා බලන්න.

  • ග්‍රහ වස්තු මිනිස් ජීවිතවලට බලපෑම් කරනවා කියලා ජ්‍යෝතිශයෙන් කිව්වාට ඒ විදිහේ බලපෑමක් කරන්න පුළුවන් අමුතු බලයක් ඒවාට නැහැ.

  • ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් කියන්නේ පොදුවේ ඕනෙම කෙනෙක්ට අදාළ වෙන්න පුළුවන් විදිහේ දේවල්. කෙනෙක් ගැන නිශ්චිත අනාවැකියක් පළ කරන්න එයාලට බැහැ.

  • අතීතයේදී මිනිසුන් විශ්වාස කළේ පෘථීවිය වටා අනිත් ග්‍රහයන් භ්‍රමණය වෙනවා කියලයි. අදටත් කේන්දර හදන්න පදනම් කරගන්නේ ඒ විශ්වාසයයි.

  • එකම පුද්ගලයෙක් ගැන වුණත් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් දෙන්නෙක් කියන අදහස් එකිනෙකට වෙනස්.

  • රාශිවල පිහිටීම අනුව කෙනෙක්ගේ චරිත ලක්ෂණ විස්තර කරන්න පුළුවන් කියලයි ජ්‍යෝතිශයෙන් කියන්නේ. ඒත් ඇත්තටම බැලුවොත් එකම දවසේ, එකම වෙලාවේ ඉපදුණ දෙන්නෙක්ගේ වුණත් චරිත ලක්ෂණ එකිනෙකට වෙනස්. කෙනෙක් ඉපදුණ දවස, වෙලාව මත එයාගේ පෞද්ගලිකත්වය තීරණය කරන්න බැහැ. කෙනෙක් ඉපදෙද්දීම එයා මෙන්න මේ වගේ කෙනෙක් වෙයි කියලා එයාව එක රාමුවකට හිර කරන එක සාධාරණද?

සාස්තර බැලීම

ඈත අතීතයේ ඉඳන්ම සාස්තර බලන එක මිනිසුන් අතර ප්‍රසිද්ධයි. සාස්තර කියන්න අතීතයේදී සමහර අය සතුන්ගේ, මිනිසුන්ගේ ශරීරයේ අභ්‍යන්තර කොටස් යොදාගත්තා. තවත් අය කුකුළෙක් ධාන්‍ය අහුලන රටාව නැත්නම් කොප්පයක තේ මණ්ඩි හෝ කෝපි කුඩු ඉතුරුවෙන රටාව යොදාගත්තා. අද කාලේ ඒ සඳහා ටැරට් කාඩ්, පළිඟු බෝල, දාදු කැට වගේ දේවල් යොදාගන්නවා. ඒත් සාස්තරවලින් අපේ අනාගතය ගැන දැනගන්න පුළුවන්ද? බැහැ. මේ කරුණු සලකා බලන්න.

සාස්තරකරුවන් ඉදිරිපත් කරන්නේ පරස්පර විරෝධී අදහස්. වෙනස් ක්‍රම 2ක් පාවිච්චි කරලා එකම පුද්ගලයාගේ අනාගතය ගැන ඇහුවොත් ඒ ක්‍රම 2න් කියන්නේ වෙනස් අදහස් දෙකක්. අනිත් අතට එකම ක්‍රමය පාවිච්චි කරලා සාස්තර කියන දෙන්නෙක්ගෙන් එකම කාරණය ගැන ඇහුවොත් එයාලා කියන දේවලුත් එකිනෙකට වෙනස්. හරි නම් ලැබෙන උත්තරේ සමාන වෙන්න ඕනේ. හැබැයි එහෙම වෙන්නේ නැහැ.

සාස්තරකරුවන් යොදාගන්න ක්‍රම සහ එයාලගේ චේතනා ගැන සැක මතු වෙලා තියෙනවා. සාස්තර කියන්න පාවිච්චි කරන දේවල්වල කිසිම බලයක් නැහැ කියලයි විචාරකයන් කියන්නේ. ඒවා යොදාගන්නේ මිනිසුන්ව නොමඟ යවන්න. ඇත්තටම එයාලා කරන්නේ කෙනෙක්ගේ ඉරියව් දිහා බලලා විස්තර කියන එකයි. උදාහරණෙකට සාස්තරකරුවෙක් එයා ළඟට ආපු කෙනෙක්ගෙන් මුලින්ම සාමාන්‍ය ප්‍රශ්නයක් අහනවා. ඊටපස්සේ ඒ කෙනා කියන දේවල්වලින් වගේම වචනයෙන් නොකියපු දේවල්වලින් ඒ කෙනා ගැන හොඳ අවබෝධයක් ලබාගන්නවා. සාස්තරකරුවෙක් කරන්නේ එයා ළඟට ආපු කෙනාගෙන්ම එයා ගැන තොරතුරු ලබාගෙන ඒ තොරතුරු එයාටම කියන එකයි. මේ විදිහට සාස්තරකරුවන් මිනිසුන්ගේ විශ්වාසය දිනාගෙන එයාලගෙන් මුදල් ගරාගන්නවා.

ඒ ගැන බයිබලයේ කියන දේ

ජ්‍යෝතිශය සහ සාස්තර බැලීම කියන ක්‍රම දෙකෙන්ම නොකියා කියන්නේ කෙනෙක්ගේ අනාගතය කලින්ම නියම කරලා තියෙනවා කියලයි. හැබැයි බයිබලයේ කියන්නේ අපි කරන කියන දේවල් ගැන තීරණ ගන්න අපි හැමෝටම නිදහස තියෙනවා කියලයි. අනාගතය සාර්ථක වෙනවාද නැද්ද කියන දේ රඳා පවතින්නේ අපි ගන්න ඒ තීරණ මතයි.—යොෂුවා 24:15.

සැබෑ දෙවියන්ට නමස්කාර කරන අය ජ්‍යෝතිශය සහ සාස්තර බැලීම ප්‍රතික්ෂේප කරන්න හේතු වෙන තවත් වැදගත් කරුණක් තියෙනවා. ඒ තමයි දෙවියන් ඒ දේවල් පිළිකුල් කරන එක. සාස්තර බැලීම සහ පේන කීමට සම්බන්ධ දෙයක් වන ජ්‍යෝතිශය ගැන බයිබලයේ කියන දේ බලන්න. ‘පේන කියන්නවත් මන්තර ගුරුකම් කරන්නවත් නැකත් බලන්නවත් මායා බලයෙන් දේවල් කරන්නවත් ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි. කොඩිවින සහ හදිහූනියම් කරන්නවත් කට්ටඩියෙකුගේ හෝ ශාස්ත්‍ර බලන කෙනෙකුගේ උපකාර ලබන්නවත් මළවුන්ගෙන් තොරතුරු විචාරන්නවත් කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි. එවැනි දේවල් කරන කිසිවෙක් ඔබ අතරේ නොසිටිය යුතුයි. මන්ද එවැනි දේවලට හවුල් වන සෑම කෙනෙක්ම යෙහෝවා දෙවිට පිළිකුලක්.’ aද්විතීය කතාව 18:10-12.

a යෙහෝවා කියන්නේ ‘මුළු පොළොවටම මහෝත්තම දෙවියන්ගේ’ නම.—ගීතාවලිය 83:18.