Skip to content

පටුනට යන්න

නෝවා, දානියෙල්, යෝබ් වගේ ඔයාත් යෙහෝවා දෙවිව හඳුනනවාද?

නෝවා, දානියෙල්, යෝබ් වගේ ඔයාත් යෙහෝවා දෙවිව හඳුනනවාද?

“නපුර කිරීමට ආශා කරන අයට යුක්තිය කුමක්දැයි වටහාගත නොහැක. එහෙත් යෙහෝවා දෙවිව සොයන අයට සියල්ල වටහාගත හැක.”—හිතෝ. 28:5.

ගීතිකා: 126, 150

1-3. (අ) අවසාන කාලේ දෙවිට විශ්වාසවන්තව ඉන්න අපිට උදව් වෙන්නේ මොකක්ද? (ආ) මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

අවසානය ළං වෙද්දී “දුෂ්ටයෝ තණකොළ මෙන් වැඩෙන” නිසා වැඩිදෙනෙක් දෙවිගේ ප්‍රමිති සැහැල්ලුවට ගන්නවා. (ගීතා. 92:7) ඒත් අපි ඒ අයට වඩා වෙනස් වෙන්න ඕනේ. පාවුල් අපිට කියන්නේ “නපුරු දේවල් ගැන අවබෝධයක් නැති පුංචි දරුවන් හා සමාන වන” අතරේ “වැඩිහිටියෙකු මෙන් තේරුම්ගැනීමේ හැකියාව ඇතුව කටයුතු කරන්න” කියලයි. (1 කොරි. 14:20) ඒක කරන්නේ කොහොමද?

2 ඒකට උත්තරේ මේ ලිපියේ ප්‍රධාන බයිබල් පදයේ තියෙනවා. එතන කියන්නේ “යෙහෝවා දෙවිව සොයන අයට සියල්ල වටහාගත හැක” කියලයි. (හිතෝ. 28:5) ඒ කියන්නේ දෙවිව සොයන අයට ඔහුව සතුටු කරන්න පුළුවන් විදිහ තේරුම්ගන්න පුළුවන් කියන එකයි. හිතෝපදේශ 2:7 සහ 9ත් කියනවා දෙවිගේ ප්‍රමිති රකින අයට දෙවි ප්‍රඥාව දෙනවා කියලා. ප්‍රතිඵලයක් විදිහට “යහපත් ජීවිතයක් ගත කිරීමට ඇතුළත් වන සියල්ල එනම්, ධර්මිෂ්ඨකම, යුක්තිය සහ අවංකකම ගැන ඒ අයට හොඳ අවබෝධයක් ලැබෙනවා.”

3 දෙවි දෙන ප්‍රඥාව නෝවා, දානියෙල් සහ යෝබ් ළඟ තිබුණා. (එස. 14:14) ඔයාටත් ඒ ප්‍රඥාව තියෙනවාද? දෙවිව සතුටු කරන්න ඕනෙ කරන ‘සියල්ල වටහාගන්න’ නම් ඔයා දෙවිව හොඳින් හඳුනගන්න ඕනේ. ඒ නිසා මේ ප්‍රශ්න 3 ගැන අපි බලමු. (1) නෝවා, දානියෙල්, යෝබ් දෙවිව හඳුනගත්තේ කොහොමද? (2) ඒක එයාලට උදව් වුණේ කොහොමද? (3) එයාලට තිබුණා වගේ විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් කොහොමද?

නෝවා දෙවිත් එක්ක ගමන් කළා

4. නෝවා යෙහෝවා දෙවිව හඳුනගත්තේ කොහොමද? ඒක එයාට උදව් වුණේ කොහොමද?

4 නෝවා දෙවිව හඳුනගත්තේ කොහොමද? මිනිස් ඉතිහාසයේ මුල ඉඳන්ම මිනිසුන් දෙවි ගැන දැනගත්තේ ප්‍රධාන විදි 3කින්. ඒ ඔහුගේ නිර්මාණවලින්, ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ගෙන් සහ දෙවිට කීකරු වෙද්දී ඔහු ආශීර්වාද කරන විදිහ ගැන ලබපු අද්දැකීම්වලින්. (යෙසා. 48:18) නෝවාටත් ඒ දේවල් උදව් වුණා. එයා දෙවිගේ නිර්මාණ දිහා බලලා දෙවි සැබෑ කෙනෙක් කියලත් ඔහුගේ ගුණාංග ගැනත් තේරුම්ගන්න ඇති. (රෝම 1:20) ඒ නිසා දෙවි ඉන්නවා කියලා නිකම්ම විශ්වාස කරනවා වෙනුවට දෙවි ගැන ලොකු විශ්වාසයක් එයාට ඇති වුණා.

5. මිනිසුන් සඳහා දෙවිගේ අරමුණ නෝවා දැනගත්තේ කොහොමද?

5 දෙවි ගැන අනිත් අය කියන දේවලට ඇහුම්කන් දෙන එක විශ්වාසයක් ඇති කරගන්න අපිට උදව් වෙනවා. (රෝම 10:17) නෝවාට යෙහෝවා දෙවි ගැන අහන්න ලැබුණේ කාගෙන්ද? එයාගේ තාත්තා ලාමෙක් දෙවි ගැන විශ්වාසයක් තිබුණ කෙනෙක්. ලාමෙක් ඉපදුණේ ආදම් ජීවත් වෙලා ඉද්දීම නිසා එයාට දැනගන්න ලැබුණ තොරතුරු එයා නෝවාට කියලා දෙන්න ඇති. (ලිපියේ මුල් පින්තූරය බලන්න.) නෝවාගේ සීයා මෙතූසලාගෙනුත් නෝවා ඉපදිලා අවුරුදු 366ක් යන කල්ම ජීවත් වුණ යාරද් කියන එයාගේ සීයාගේ සියාගෙනුත් එයා දෙවි ගැන දැනගන්න ඇති. * (ලූක් 3:36, 37) ඒ අයත් සමහරවිට එයාලගේ භාර්යාවනුත් මිනිසුන්ව නිර්මාණය කළේ දෙවි කියලත්, දෙවිගේ අරමුණ ගැනත් ආදම් සහ ඒව දෙවිට අකීකරු වුණා කියලත් නෝවාට කියලා දෙන්න ඇති. ඒ අකීකරුකමේ ප්‍රතිඵල නෝවා දැක්කා. (උත්. 1:28; 3:16-19, 24) දෙවි ගැන ඉගෙනගත්ත හැම දෙයක්ම එයාගේ හිතට ගිය නිසයි දෙවිට සේවය කරන්න එයා පෙලඹුණේ.—උත්. 6:9.

6, 7. මොන බලාපොරොත්තුව නිසාද නෝවාගේ විශ්වාසය ශක්තිමත් වුණේ?

6 අපිට තියෙන බලාපොරොත්තුව නිසාත් විශ්වාසය ශක්තිමත් වෙනවා. ලාමෙක් දෙවිගේ මඟ පෙන්වීමෙන් නෝවා ගැන මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවි භූමියට ශාප කළ නිසා අපි අද වන තුරුත් දුක් මහන්සි වෙලා වැඩ කරනවා. සමහරවිට මේ දරුවාගෙන්වත් අපිට සහනයක් ලැබේවි.” ලාමෙක් එයාගේ පුතාට “විවේකය, සැනසීම” කියන තේරුම තියෙන නෝවා කියන නම දැම්මේ ඒ බලාපොරොත්තුවෙන්. (උත්. 5:29, පාදසටහන) එයාගේ නමෙන්ම නෝවා තේරුම්ගත්තා අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක් තියෙනවා කියලා. ඒකත් එයාගේ විශ්වාසය ශක්තිමත් කළා. ආබෙල්, ඒනොක් වගේ එයාත් විශ්වාස කළා “පැවත එන තැනැත්තා” සර්පයාගේ හිස පොඩි කරලා මිනිසුන්ට සහනයක් දෙනවා කියලා.—උත්. 3:15.

7 උත්පත්ති 3:15 තියෙන අනාවැකිය නෝවා සම්පූර්ණයෙන්ම තේරුම්ගත්තේ නැහැ. ඒත් අනාගතය ගැන බලාපොරොත්තුවකින් ඉන්න ඒ අනාවැකිය එයාට උදව් වෙන්න ඇති. ඒනොක් දේශනා කළෙත් ඒ අනාවැකියේ තියෙන දේවලට සමාන පණිවිඩයක්. එයා කිව්වේ යෙහෝවා දෙවි දුෂ්ටයන්ව විනාශ කරනවා කියලා. (යූද් 14, 15) නෝවාට එයාගේ විශ්වාසය ශක්තිමත් කරගන්න ඒකත් උදව් වෙන්න ඇති.

8. දෙවිව හඳුනගෙන හිටපු එක නෝවාට ආරක්ෂාවක් වුණේ කොහොමද?

8 දෙවිව හඳුනගෙන හිටපු එක නෝවාට උදව් වුණේ කොහොමද? දෙවි ගැන දැනගත්ත දේවල් නිසා නෝවාගේ විශ්වාසය ශක්තිමත් වුණා වගේම දෙවිව සතුටු කරන්නේ කොහොමද කියලා එයා තේරුම්ගත්තා. ඒක එයාට ආරක්ෂාවක් වුණා. ඒ කොහොමද? දෙවිගේ යාළුවෙක් වෙන්න ඕන නිසා දෙවිට ආදරේ නොකරපු අයව එයා යාළුවෝ කරගත්තේ නැහැ. ඒ කාලේ පොළොවේ හිටපු මිනිස් වෙස් ගත්ත භූතයන් කරපු බලවත් දේවලට මිනිසුන්ගේ හිත් ඇදිලා ගියා. එයාලට නමස්කාර කරන්නත් ඇති. ඒත් නෝවා රැවටුණේ නැහැ. (උත්. 6:1-4, 9) දරුවන්ගෙන් පොළොව පුරවන වගකීම දෙවි දුන්නේ මිනිසුන්ට කියලා නෝවා දැනන් හිටියා. (උත්. 1:27, 28) ඒ නිසා භූතයෝ පොළොවට ඇවිත් ස්ත්‍රීන්ව විවාහ කරගෙන දරුවන් බිහි කරන එක වැරදියි කියලා නෝවා තේරුම්ගත්තා. ඒ දරුවෝ අනිත් දරුවන්ට වඩා උස මහතින්, ශක්තියෙන් වැඩෙද්දී එයා හිතපු විදිහ හරියි කියලා නෝවාට තේරෙන්න ඇති. අන්තිමේදී දෙවි නෝවාට කිව්වා ජලගැල්මක් ගෙනල්ලා නරක මිනිසුන්ව විනාශ කරනවා කියලා. දෙවි කියපු ඒ දේ විශ්වාස කරපු නිසයි නෝවා නැව හැදුවේ. ඒකෙන් එයාත් එයාගේ පවුලේ අයත් බේරුණා.—හෙබ්‍රෙ. 11:7.

9, 10. නෝවාට තිබුණා වගේ විශ්වාසයක් ඇති කරගන්න අපිට පුළුවන් කොහොමද?

9 නෝවාට තිබුණා වගේ විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් කොහොමද? බයිබලේ හොඳින් අධ්‍යයනය කරන එක, ඉගෙනගන්න දේවල් හිතට ගන්න එක, ජීවිතේ වෙනස්කම් කරගන්නත් හරි තීරණ ගන්නත් ඒ දැනුම පාවිච්චි කරන එක වැදගත්. (1 පේතෘ. 1:13-15) එතකොට අපේ විශ්වාසය ශක්තිමත් වෙනවා වගේම දෙවිගෙන් ලැබෙන ප්‍රඥාව නිසා සාතන්ගේ උගුල්වලින් ආරක්ෂා වෙන්නත් දුෂ්ට සමාජයේ බලපෑමට අහු නොවී ඉන්නත් අපිට පුළුවන්. (2 කොරි. 2:11) අද ඉන්න හුඟක් අය සැහැසික දේවලට, අනාචාරයට ඇලුම් කරනවා. එයාලා නිතරම හදන්නේ වැරදි ආශාවන් තෘප්තිමත් කරගන්න. (1 යොහ. 2:15, 16) මේ සමාජයේ අවසානය ළං වෙලා කියලා පැහැදිලිව පේන්න තිබුණත් එයාලා ඒක පිළිගන්නේ නැහැ. ශක්තිමත් විශ්වාසයක් තිබුණේ නැත්නම් අපිත් එයාලා වගේ හිතන්න පෙලඹෙයි. යේසුස් අපේ කාලය නෝවාගේ කාලයට සමාන කරද්දී ඔහු කතා කළේ සැහැසියාව, අනාචාරය ගැන නෙමෙයි. දෙවිට කරන නමස්කාරයෙන් මනස වෙන පැත්තකට යොමු වෙන එකේ තියෙන අනතුර ගැනයි.—මතෙව් 24:36-39 කියවන්න.

10 නෝවාට තිබුණා වගේ විශ්වාසයක් ඔයාටත් තියෙනවාද කියලා දැනගන්න ඔයාගෙන්ම මෙහෙම අහන්න. ‘මං යෙහෝවා දෙවිව හොඳින් හඳුනගෙන ඉන්න කෙනෙක් කියලා ජීවත් වෙන විදිහෙන් පේනවාද? දෙවිගේ ප්‍රමිති රකින්නත් ඒවා ගැන අනිත් අයට කියලා දෙන්නත් මං තුළ තියෙන විශ්වාසය මාව පොලඹවනවාද?’

දානියෙල්ට ප්‍රඥාව තිබුණා

11. (අ) දානියෙල්ට දෙවි ගැන තිබුණ ආදරෙන් එයාගේ දෙමාපියන් ගැන අපිට තේරෙන්නේ මොනවාද? (ආ) දානියෙල්ට තිබුණ මොන ගුණාංග ඇති කරගන්නද ඔයා කැමති?

11 දානියෙල් දෙවිව හඳුනගත්තේ කොහොමද? දානියෙල්ගේ දෙමාපියන් යෙහෝවා දෙවිට ආදරේ කරන්නත් ඔහුගේ වචනයට ඇලුම් කරන්නත් දානියෙල්ට උගන්වන්න ඇති. ඒ ආදරේ හැමදාටම එයාගේ හිතේ තිබුණා. මහලු වයසේ ඉද්දීත් එයා දේවවචනය අධ්‍යයනය කළා. (දානි. 9:1, 2) දානියෙල් යෙහෝවා දෙවිව හොඳින් හඳුනගත්තා. දෙවි ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙන් කරපු හැම දේමත් එයා දැනන් හිටියා. දානියෙල් 9:3-19 සඳහන් වෙන එයාගේ යාච්ඤාවෙන් ඒක පැහැදිලියි. ඒ යාච්ඤාව කියවලා ‘මේකෙන් මට දානියෙල් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද’ කියලා හිතන්න.

12-14. (අ) දෙවිගෙන් ලැබුණ ප්‍රඥාව දානියෙල්ට තිබුණා කියලා පැහැදිලි වුණේ කොහොමද? (ආ) දානියෙල්ගේ නිර්භීතකමටත් විශ්වාසවන්තකමටත් දෙවි ආශීර්වාද කළේ කොහොමද?

12 දෙවිව හඳුනගෙන හිටපු එක දානියෙල්ට උදව් වුණේ කොහොමද? බොරු දෙවිවරුන්ගෙන් පිරුණු බැබිලෝනියේ යෙහෝවා දෙවිට විශ්වාසවන්තව ඉන්න එක යුදෙව්වන්ට ලේසි වුණේ නැහැ. උදාහරණෙකට දෙවි කිව්වා “මා ඔබව වහල්භාවයට යැවූ නගරය තුළ සාමය රැකෙන අයුරින් ජීවත් වන්න” කියලා. (යෙරෙ. 29:7) ඒ එක්කම දෙවිට හැර වෙන කිසිම කෙනෙකුට නමස්කාර නොකරන්න කියලත් දෙවි කිව්වා. (නික්. 34:14) ඒ ආඥා 2ටම කීකරු වෙන්නේ කොහොමද? දෙවිගෙන් ලැබුණ ප්‍රඥාව නිසා දානියෙල් තේරුම්ගත්තා මුලින්ම දෙවිට කීකරු වෙලා ඊටපස්සෙයි මිනිස් පාලකයන්ට කීකරු වෙන්න ඕනෙ කියලා. ඒ ප්‍රතිපත්තියම ඊට අවුරුදු සිය ගාණකට පස්සේ යේසුත් කියලා දුන්නා.—ලූක් 20:25.

13 දවස් 30ක් යන කල් රජුට හැර වෙන කෙනෙකුට යාච්ඤා කරන එක තහනම් කියලා නීතියක් දාපු වෙලාවේ දානියෙල් කරපු දේ මතකද? (දානියෙල් 6:7-10 කියවන්න.) ‘දවස් 30නේ, ඒ ටිකේ විතරක් යාච්ඤා නොකර ඉන්නවා’ කියලා එයා හිතුවේ නැහැ. දෙවිට කරන නමස්කාරය දෙවෙනි තැනට දාන්න රජුගේ නීතියට එයා ඉඩ දුන්නේ නැහැ. ඕනෙ නම් එයාට තිබුණා කාටවත් පේන්නේ නැති තැනකට ගිහින් යාච්ඤා කරන්න. ඒත් එයා හැමදාම යාච්ඤා කරනවා හුඟක් අය දැකලා තියෙනවා කියලා එයා දැනන් හිටියා. ඒ නිසා ජීවිතේ අනතුරේ තිබුණත් සුපුරුදු තැනට ගිහින් එයා යාච්ඤා කළා. මොකද එයා යෙහෝවා දෙවිට නමස්කාර කරන එක නවත්තලා කියලා අනිත් අය හිතනවාටවත් එයා කැමති වුණේ නැහැ.

14 නිර්භීතව දෙවිට ළැදිව ඉන්න දානියෙල් ගත්ත තීරණය නිසා දෙවි සිංහයන්ගෙන් එයාව ආරක්ෂා කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේද-පර්සියානු අධිරාජ්‍යය පුරාම හිටපු අය යෙහෝවා දෙවි ගැන දැනගත්තා.—දානි. 6:25-27.

15. දානියෙල්ට තිබුණා වගේ විශ්වාසයක් අපිට ඇති කරගන්න පුළුවන් කොහොමද?

15 දානියෙල්ට තිබුණා වගේ විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් කොහොමද? ඒකට අපි දේවවචනය නිකම්ම කියවලා විතරක් මදි. අපිට ඕනෙ දෙවි හිතන විදිහ, ඔහුට හැඟෙන විදිහ දැනගන්න. ඒක කරන්න නම් බයිබලෙන් කියවන දේ අපි තේරුම්ගන්න ඕනේ. (මතෙ. 13:23) ඒ ගැන හොඳට හිතන්න ඕනේ. නිතිපතා යාච්ඤා කරන එකත් වැදගත්. ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනෙ කරන ප්‍රඥාව, ශක්තිය දෙවි අදිමදි නොකර අපිට දෙනවා.—යාකො. 1:5.

යෝබ් දෙවිගේ ප්‍රමිති අදාළ කරගත්තා

16, 17. යෝබ් දෙවිව හඳුනගත්තේ කොහොමද?

16 යෝබ් දෙවිව හඳුනගත්තේ කොහොමද? යෝබ් ඊශ්‍රායෙල් ජාතිකයෙක් නෙමෙයි. ඒත් ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් එයාට ඈතින් නෑයෝ වුණා. ඒ අයට දෙවි තමන් ගැනත් තමන්ගේ අරමුණ ගැනත් කියලා දීලා තිබුණා. කොහොමහරි විදිහකින් ඒ සත්‍යයන් යෝබ්ටත් දැනගන්න ලැබුණා. (යෝබ් 23:12) මොකද “මම කලින් ඔබ ගැන අසා තිබුණා” කියලා යෝබ් කිව්වා. (යෝබ් 42:5) දෙවි ගැන යෝබ් කිව්වේ සත්‍ය තොරතුරු කියලා දෙවිම එක අවස්ථාවකදී කිව්වා.—යෝබ් 42:7, 8.

දෙවිගේ නිර්මාණ දිහා බලලා දෙවිගේ ගතිලක්ෂණ තේරුම්ගද්දී අපේ විශ්වාසය ශක්තිමත් වෙනවා (17 ඡේදය බලන්න)

17 දෙවිගේ ගතිලක්ෂණ ගැන දැනගන්න යෝබ්ට දෙවිගේ නිර්මාණත් උදව් වුණා. (යෝබ් 12:7-9, 13) මිනිසුන් එක්ක බලද්දී යෙහෝවා දෙවි කොච්චර උසස්ද කියලා යෝබ්ට පෙන්නලා දෙන්න දෙවි වගේම එලිහු යොදාගත්තේ දෙවිගේ නිර්මාණ. (යෝබ් 37:14; 38:1-4) ඒ තොරතුරු කොයි තරම් යෝබ්ගේ හිතට ගියාද කියනවා නම් එයා මෙහෙම කිව්වා. ‘ඔබට කළ නොහැකි දෙයක් නැති බව මම තේරුම්ගතිමි. ඔබ අරමුණු කළ ඕනෑම දෙයක් ඔබට ඉටු කළ හැකි බව මම දනිමි. මම දූවිලි හා අළු මත හිඳ මාගේ වරද ගැන දුක් වෙමි.’—යෝබ් 42:2, 6.

18, 19. යෝබ් යෙහෝවා දෙවිව හඳුනගෙන හිටියා කියලා කියන්නේ ඇයි?

18 දෙවිව හඳුනගෙන හිටපු එක යෝබ්ට උදව් වුණේ කොහොමද? දෙවිගේ ප්‍රමිති ගැන යෝබ්ට හොඳ අවබෝධයක් තිබුණා. ඒවා ජීවිතේට අදාළ කරගන්න එයා පෙලඹුණේ යෙහෝවා දෙවිව හොඳින් හඳුනගෙන හිටපු නිසයි. උදාහරණෙකට අනිත් අයට කාරුණිකව සැලකුවේ නැත්නම් දෙවිට ආදරෙයි කියලා එයාට කියන්න බැහැ කියලා එයා දැනන් හිටියා. (යෝබ් 6:14) අනිත් අයට වඩා තමන් උසස් කියලා එයා හිතුවේ නැහැ. දුප්පත් පොහොසත් හැමෝටම එයා සැලකුවේ එයාගෙම පවුලේ අය විදිහට. “ඔවුන්ව නිර්මාණය කළෙත් මාව මව්කුසේ නිර්මාණය කළ තැනැත්තාම නොවේද” කියලා එයා කිව්වා. (යෝබ් 31:13-22) පොහොසත්ව හිටපු කාලේදීත් යෝබ් උඩඟු වුණේ නැහැ. අනිත් අයව පහත් කළේ නැහැ. අද ඉන්න අයට වඩා යෝබ් කොච්චර වෙනස්ද!

19 යෝබ් ජීවිතේ මුල් තැන දුන්නේ යෙහෝවා දෙවිට. දෙවිව දෙවෙනි තැනට දාන්න එයා ධන සම්පත්වලටවත් වෙන කිසිම දේකටවත් ඉඩ දුන්නේ නැහැ. එහෙම කළා නම් ඒක ‘සැබෑ දෙවිට කරන ද්‍රෝහිකමක්’ විදිහටයි එයා සැලකුවේ. (යෝබ් 31:24-28 කියවන්න.) එයා විවාහය සැලකුවෙත් සැමියෙක් සහ බිරිඳක් දෙවි ඉදිරියේ ඇති කරගන්න ගිවිසුමක් විදිහට. වෙන ස්ත්‍රියක් දිහා වැරදි විදිහට නොබලා ඉන්නත් එයා අදිටන් කරගත්තා. (යෝබ් 31:1) එයා ජීවත් වුණේ පුරුෂයෙක්ට කාන්තාවන් කීපදෙනෙක්වම විවාහ කරගන්න දෙවි ඉඩහැරලා තිබුණ කාලෙක. ඒ නිසා ඕනෙ නම් එයාට තව කෙනෙක්ව විවාහ කරගන්න තිබුණා. * ඒත් දෙවි මුල්ම විවාහය සිද්ධ කළේ එක පුරුෂයෙක් සහ එක ස්ත්‍රියක් අතරේ කියලා එයා දැනන් ඉන්න ඇති. ඒ නිසා ඒ විදිහට ජීවත් වෙන්න එයාත් තීරණය කළා. (උත්. 2:18, 24) ඊට අවුරුදු 1,600කට විතර පස්සේ යේසුත් ඒ ප්‍රතිපත්තිය ඉගැන්නුවා.—මතෙ. 5:28; 19:4, 5.

20. යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ ප්‍රමිති ගැනත් හොඳින් දැනගෙන ඉන්න එක අපිට උදව් වෙන්නේ කොහොමද?

20 යෝබ්ට තිබුණා වගේ විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් කොහොමද? අපිත් දෙවිව හොඳින් හඳුනගෙන දෙවි හිතන විදිහ තේරුම්ගන්න ඕනේ. ඒ දැනුම ජීවිතේට අදාළ කරගන්න ඕනේ. උදාහරණෙකට ‘සැහැසියාවට කැමැත්තක් දක්වන අයට දෙවි ද්වේෂ කරනවා’ කියලත් තමන් කවුද කියලා සඟවන අයව ඇසුරු කරන්න එපා කියලත් බයිබලේ කියනවා. (ගීතාවලිය 11:5; 26:4 කියවන්න.) මෙහෙම හිතන්න. ‘දෙවි හිතන විදිහ ගැන ඒ පද දෙකෙන් තේරුම්ගන්න පුළුවන් මොනවාද? මුල් තැන දෙන්න ඕනෙ දේවල් තීරණය කරද්දී, ඉන්ටර්නෙට් එක පාවිච්චි කරද්දී, යාළුවෝ තෝරගද්දී, විනෝද වෙන්න දේවල් තෝරගද්දී ඒ තොරතුරු මට බලපාන්න ඕනෙ කොහොමද?’ ඒවාට ඔයා දෙන උත්තරවලින් ඔයා දෙවිව කොයි තරම් හඳුනගෙන ඉන්නවාද කියලා තේරෙයි. දුෂ්ට සමාජයේ බලපෑමට අහු නොවී ඉන්න නම් “වටහාගැනීමේ හැකියාව” අපි තව පුහුණු කරගන්න ඕනේ. එතකොට හරි වැරැද්ද අතර වෙනස විතරක් නෙමෙයි ඥානවන්ත දේ සහ මෝඩ දේ අතර වෙනසත් හඳුනගන්න අපිට පුළුවන්.—හෙබ්‍රෙ. 5:14; එෆී. 5:15.

21. දෙවිව සතුටු කරන්න ඕනෙ කරන ‘සියල්ල වටහාගන්න’ අපිට පුළුවන් කොහොමද?

21 දෙවිව හොඳින් හඳුනගන්න නෝවා, දානියෙල්, යෝබ් කරන්න පුළුවන් හැම දේම කළා. ඒ නිසා දෙවිත් තමන්ව සතුටු කරන්න ඕනෙ කරන ‘සියල්ල වටහාගන්න’ එයාලට උදව් කළා. දෙවි කියන විදිහට ජීවත් වුණොත් සාර්ථක වෙන්න පුළුවන් කියලා එයාලගේ ආදර්ශවලින් අපිට පැහැදිලියි. (ගීතා. 1:1-3) ‘මමත් නෝවා, දානියෙල්, යෝබ් වගේ දෙවිව හොඳින් හඳුනනවාද’ කියලා හිතන්න. දෙවි ගැන ඒ 3දෙනාට වඩා දේවල් දැනගන්න අපිට පුළුවන්. මොකද දෙවි තමන් ගැන හුඟක් තොරතුරු අපිට කියලා දීලා තියෙනවා. (හිතෝ. 4:18) ඒ නිසා බයිබලේ අධ්‍යයනය කරන්න. ඒවා ගැන හොඳට හිතන්න. දෙවිගෙන් බලය ඉල්ලන්න. එතකොට දුෂ්ට සමාජයේ බලපෑමට අහු නොවී ඉන්න විතරක් නෙමෙයි දෙවිගෙන් ලැබෙන ප්‍රඥාවට අනුව ජීවත් වෙන්නත් දෙවිට තව ළං වෙන්නත් ඔයාට පුළුවන්.—හිතෝ. 2:4-7.

^ 5 ඡේ. නෝවාගේ සීයාගේ තාත්තා තමයි ඒනොක්. එයාත් “සැබෑ දෙවි සමඟ දිගටම ගමන් කළ” කෙනෙක්. ඒත් නෝවා ඉපදෙන්න අවුරුදු 69කට විතර කලින් එයා මැරුණා.—උත්. 5:23, 24.

^ 19 ඡේ. ඒදන් උයනේ ඇති වුණ කැරැල්ලෙන් ටික කාලෙකට පස්සේ පුරුෂයන් විවාහයන් කීපයක්ම කරගන්න එක සාමාන්‍ය දෙයක් වුණා. ඒත් නෝවාට හිටියෙත් එක බිරිඳක් විතරයි.—උත්. 4:19.