Skip to content

පටුනට යන්න

දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න කෙනෙක් කොයි වගේද?

දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න කෙනෙක් කොයි වගේද?

“ක්‍රිස්තුස් යේසුස්ට තිබූ ආකල්පයම ඔබ තුළත් ඇති කරගැනීමට දෙවි ඔබට උපකාර කරයි.”—රෝම 15:5.

ගීතිකා: 17, 13

1, 2. (අ) දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න එක ගැන සහෝදර සහෝදරියන්ට හැඟෙන්නේ කොහොමද? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

“දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න නිසා කලින්ට වඩා සතුටින් ඉන්නත් ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන්නත් මට පුළුවන් වෙලා තියෙනවා” කියලා කැනඩාවේ සහෝදරියක් කියනවා. අවුරුදු 23ක විවාහ ජීවිතයක් ගත කරන බ්‍රසීලයේ ඉන්න සහෝදරයෙක් කියන්නේ “දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න උත්සාහ කරන නිසා මටයි, මගේ බිරිඳටයි සතුටින් පවුල් ජීවිතේ ගත කරන්න පුළුවන් වෙලා තියෙනවා” කියලා. පිලිපීනයේ සහෝදරයෙක් මෙහෙම කියනවා. “දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගද්දී හිතට ලොකු සාමයක් දැනෙනවා. විවිධ පසුබිම්වලින් ආපු සහෝදරයන් එක්ක පෑහිලා වැඩ කරන්නත් පුළුවන්.”

2 ඒ දේවලින් පේන්නේ දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගද්දී අපිට ප්‍රයෝජන ලැබෙනවා කියන එකයි. දෙවිගේ මඟ පෙන්වීම් තවත් හොඳින් අදාළ කරගෙන ඒ ප්‍රයෝජන වැඩියෙන් අද්දකින්න අපිට පුළුවන් කොහොමද? ඒ ගැන දැනගන්න කලින් දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න කෙනෙක්ව බයිබලේ විස්තර කරලා තියෙන්නේ කොහොමද කියලා අපි තේරුම්ගන්න ඕනේ. ඒකට අපිට උදව් වෙන ප්‍රශ්න 3ක් අපි බලමු. (1) දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න කෙනෙක් කොයි වගේද? (2) දෙවිගේ මඟ පෙන්වීම් තව හොඳින් අදාළ කරගන්න අපිට උදව් වෙන ආදර්ශ මොනවාද? (3) “ක්‍රිස්තුස්ගේ මනස ගැන අවබෝධයක්” ලබාගන්න එක අපිට උදව් වෙන්නේ කොහොමද?

දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න කෙනෙක්

3. ‘දෙවිගේ මඟ පෙන්වීමට යටත් වන කෙනෙක්’ සහ ‘තම ආශාවන්ට හසු වී සිටින කෙනෙක්’ අතරේ තියෙන වෙනස බයිබලේ විස්තර කරන්නේ කොහොමද?

3 ‘දෙවිගේ මඟ පෙන්වීමට යටත් වන කෙනෙක්’ සහ ‘තම ආශාවන්ට හසු වී සිටින කෙනෙක්’ අතරේ තියෙන වෙනස පාවුල් විස්තර කළා. (1 කොරින්ති 2:14-16 කියවන්න.) තමන්ගේ ආශාවන්ට හසු වී සිටින කෙනෙක්ට ‘දෙවිගේ බලයේ උපකාරය ඇතුව අවබෝධ කරගත හැකි දේවල් තේරුම්ගන්න බැහැ. ඔහු ඒ දේවල් දකින්නේ මෝඩ දේවල් විදිහට. ඒ දේවල වටිනාකම අවබෝධ කරගන්න ඔහුට බැහැ.’ ඒත් දෙවිගේ මඟ පෙන්වීම්වලට යටත් වන කෙනෙක් ‘ගැඹුරු දේවල් තේරුම්ගන්නවා.’ ඒ වගේම එයාට “ක්‍රිස්තුස්ගේ මනස ගැන අවබෝධයක්” තියෙනවා. ඒ කියන්නේ එයා යේසුස් හිතන විදිහට හිතන්න උත්සාහ කරනවා කියන එකයි. පාවුල් අපිට දිරිගන්වන්නේ ඒ වගේ කෙනෙක් වෙන්න කියලයි. ඒ දෙගොල්ලෝ අතරේ තියෙන තවත් වෙනස්කම් මොනවාද?

4, 5. ‘තම ආශාවන්ට හසු වී සිටින කෙනෙක්’ කොයි වගේද?

4 ‘තම ආශාවන්ට හසු වී සිටින කෙනෙක්’ හිතන්නේ කොයි විදිහටද? අද ලෝකේ වැඩිදෙනෙක් වගේ එයාත් නිතරම හිතන්නේ තමන්ගේ ආශාවන් ඉටු කරගන්න එක ගැනයි. පාවුල් කිව්වේ ඒ වගේ අය ‘දෙවිට අකීකරුයි’ කියලා. (එෆී. 2:2) ඒ වගේ කෙනෙක් හිතන්නේ බලන්නේ නැහැ. අවට ඉන්න අය කරන දේම කරනවා. එයාට හරියි කියලා හිතන දේ ගැන මිසක් දෙවිගේ ප්‍රතිපත්ති ගැන එයා කිසිම තැකීමක් කරන්නේ නැහැ. එයා නිතරම වධ වෙන්නේ සමාජයේ තමන්ට තියෙන තත්වය, මිල මුදල්, තමන්ගේ අයිතීන් රැකගන්නයි.

5 ‘තම ආශාවන්ට හසු වී සිටින කෙනෙක්’ ක්‍රියා කරන්නේ ‘පව්කාර ආශාවන්වලට අනුව’ කියලා බයිබලේ කියනවා. (ගලා. 5:19-21) ‘තම ආශාවන්ට හසු වී සිටින කෙනෙක්’ කරන තවත් දේවල් ගැන පාවුල් කොරින්තිවරුන්ට ලියපු පළවෙනි ලිපියේ සඳහන් කළා. එහෙම කෙනෙක් මතභේදයකදී පැති ගන්නවා. බෙදීම් ඇති කරනවා. කැරලිගහන්න අනිත් අයව පොලඹවනවා. අනිත් අයට විරුද්ධව නඩු දානවා. මූලිකත්වය ගන්න අයට කිසි ගෞරවයක් දක්වන්නේ නැහැ. එයා ජීවිතේ වැදගත් තැනක් දෙන්නේ කන බොන එකට. වැරදි දෙයක් කරන්න පෙලඹීමක් එද්දී එයා ඒකට විරුද්ධව සටන් කරන්නෙත් නැහැ. (හිතෝ. 7:21, 22) ඒ වගේ කෙනෙක් තමන්ගේ ආශාවන්ට කොච්චර වහල් වෙනවාද කියනවා නම් දෙවිගේ බලය එයා තුළ ක්‍රියා කරන්නේ නැහැ කියලා යූද් කිව්වා.—යූද් 18, 19.

6. ‘දෙවිගේ මඟ පෙන්වීමට යටත් වන කෙනෙක්’ කොයි වගේද?

6 ‘තම ආශාවන්ට හසු වී සිටින කෙනෙක්ට’ වඩා වෙනස්ව ‘දෙවිගේ මඟ පෙන්වීමට යටත් වන කෙනෙක්’ නිතරම හිතන්නේ දෙවි එක්ක තියෙන බැඳීම රැකගන්න එක ගැනයි. එයාට මඟ පෙන්නන්න එයා දෙවිගේ බලයට ඉඩ දෙනවා. එයා යෙහෝවා දෙවිව අනුකරණය කරන්න ලොකු වෑයමක් දරනවා. (එෆී. 5:1) එයා නිතරම උත්සාහ කරන්නේ දෙවි හිතන විදිහ, දෙවි දේවල් දිහා බලන විදිහ තේරුම්ගන්නයි. එයාට දෙවි සැබෑ කෙනෙක්. ජීවිතේ හැම කාරණයකදීම එයා දෙවිගේ ප්‍රමිති අදාළ කරගන්නවා. (ගීතා. 119:33; 143:10) ‘පව්කාර ආශාවන්වලට අනුව’ ක්‍රියා කරනවා වෙනුවට “දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී” ඇති වෙන ගුණාංග වර්ධනය කරගන්න එයා උත්සාහ කරනවා.—ගලා. 5:22, 23.

7. ‘දෙවිගේ මඟ පෙන්වීමට යටත් වන අය’ ගැන බයිබලේ කියන්නේ මොනවාද?

7 ‘දෙවිගේ මඟ පෙන්වීමට යටත් වන අය’ ඉන්නේ සතුටින්. ඒ ගැන යේසුස් මෙහෙම කිව්වා. “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්. මන්ද ස්වර්ග රාජ්‍යය හිමි වන්නේ ඔවුන්ටයි.” (මතෙ. 5:3) දෙවිගේ මඟ පෙන්වීමට යටත් වන එකේ තියෙන ප්‍රයෝජන ගැන රෝම 8:6 කියන්නේ මෙහෙමයි. “කෙනෙක් තම මනස වැරදි ආශාවන්ට යොමු කළොත් එය ඔහුගේ මරණයට මඟ පාදයි. නමුත් කෙනෙක් තම මනස දෙවි ප්‍රිය කරන දේවලට යොමු කළොත් එයින් ඔහුට ජීවනය හා සමාදානය හිමි වෙයි.” දෙවිගේ මඟ පෙන්වීමට යටත් වෙන කෙනෙක්ට දෙවි එක්ක සමාදාන වෙන්න අවස්ථාව ලැබෙනවා වගේම එයා හිතේ සාමයත් අද්දකිනවා. සදාකාල ජීවිතය ගැන බලාපොරොත්තුවෙන් ඉන්නත් එයාට පුළුවන්.

8. අපිට තියෙන අභියෝගය මොකක්ද?

8 අපි ජීවත් වෙන්නේ දෙවි හිතන විදිහට හිතන්නේ නැති මිනිසුන්ගෙන් පිරුණු සමාජයක. ඒ නිසා දෙවිගේ මඟ පෙන්වීම් ගැන ලොකු අගයක් අපේ හිතේ ඇති කරගන්නත් ඒක දිගටම රැකගන්නත් අපි ලොකු වෑයමක් දරන්න ඕනේ. නැත්නම් මේ සමාජයේ ඉන්න මිනිසුන්ගේ බලපෑමට අපිත් ලේසියෙන්ම අහු වෙයි. ඒ බලපෑමට අහු නොවී ඉන්න අපිට පුළුවන් කොහොමද? දෙවිගේ මඟ පෙන්වීම් තව හොඳින් අදාළ කරගන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

ආදර්ශයට ගන්න පුළුවන් අය

9. (අ) ‘දෙවිගේ මඟ පෙන්වීමට යටත් වන අය’ වෙන්න අපිට පුළුවන් කොහොමද? (ආ) අපි බලන්නේ කාගේ ආදර්ශ ගැනද?

9 දරුවෝ දෙමාපියන් දිහා බලලා දේවල් ඉගෙනගන්නවා. ඊටපස්සේ එයාලව ආදර්ශට ගන්නවා. ඒ වගේ අපිත් දෙවි එක්ක කිට්ටු බැඳීමක් තිබුණ අයගේ ආදර්ශවලින් ඉගෙනගන්න ඕනේ. එයාලව අනුකරණය කරන්න ඕනේ. එතකොට දෙවිගේ මඟ පෙන්වීම් තවත් හොඳින් අදාළ කරගන්න අපිට පුළුවන්. අනිත් අතට තමන්ගේ ආශාවන්ට හසු වුණ අයගේ අවාදර්ශවලින් පාඩම් ඉගෙනගන්නත් අපිට පුළුවන්. (1 කොරි. 3:1-4) ඒ වගේ ආදර්ශ ගැනත් අවාදර්ශ ගැනත් බයිබලේ තියෙනවා. අපිට ආදර්ශයට ගන්න පුළුවන් යාකොබ්, මරියා සහ යේසුස් ගැන දැන් බලමු.

යාකොබ්ගේ ආදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (10 ඡේදය බලන්න)

10. යාකොබ් ‘දෙවිගේ මඟ පෙන්වීමට යටත් වුණ කෙනෙක්’ කියන්නේ ඇයි?

10 අපෙන් වැඩිදෙනෙක් වගේ යාකොබ් ගත කළෙත් දුෂ්කර ජීවිතයක්. එයාගෙම අයියා එයාව මරන්න හැදුවා. එයාගේ මාමණ්ඩි දිගින් දිගටම එයාට වංචා කළා. ඒ වගේ තමන්ගේ ආශාවන්ට හසු වුණ අයගෙන් එයා වට වෙලා හිටියත් එයා කවදාවත් ඒගොල්ලන් වගේ වැඩ කළේ නැහැ. එයාගේ මනසේ නිතරම තිබුණේ යෙහෝවා දෙවි ආබ්‍රහම්ට දුන්න පොරොන්දුවයි. ඒ පොරොන්දුව ඉටු වෙන්න එයාගේ පවුලේ අය සම්බන්ධ වෙනවා කියලා එයා දැනගෙන හිටපු නිසා එයාලව ආරක්ෂා කරන්න යාකොබ් ලොකු වෑයමක් දැරුවා. (උත්. 28:10-15) ඒසව් ලොකු පිරිසක් එක්ක එයාව හම්බ වෙන්න එනවා කියලා දැනගත්තාම එයා යෙහෝවා දෙවිට මෙහෙම යාච්ඤා කළා. ‘අනේ, මාව ගලවාගන්න. “මම ස්ථිරවම ඔබට ආශීර්වාද කර ඔබෙන් පැවතෙන්නන්ව මුහුදේ වැලි මෙන් . . . වැඩි කරන්නෙමි” කියා ඔබ මට පොරොන්දු වූ බව සිහි කරන මෙන් මම ඔබෙන් ඉල්ලනවා.’ (උත්. 32:6-12) යාකොබ්ට දෙවිගේ පොරොන්දු ගැන ලොකු විශ්වාසයක් තිබුණා කියලා එයා ජීවිතේ ගත කරපු විදිහෙන් පැහැදිලිව දකින්න පුළුවන් වුණා.

මරියාගේ ආදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (11 ඡේදය බලන්න)

11. මරියා ‘දෙවිගේ මඟ පෙන්වීමට යටත් වුණ කෙනෙක්’ කියලා අපි දන්නේ කොහොමද?

11 දැන් අපි මරියාගේ ආදර්ශය ගැන බලමු. යේසුස්ගේ මව විදිහට දෙවි මරියාව තෝරගත්තේ එයා ‘දෙවිගේ මඟ පෙන්වීමට යටත් වුණ කෙනෙක්’ නිසයි. එහෙම කියන්නේ ඇයි? එලිසබෙත්වයි, සෙකරියාවයි හම්බ වෙන්න ගිය වෙලාවේ මරියා කිව්ව දේවල් ගැන ටිකක් හිතන්න. (ලූක් 1:46-55 කියවන්න.) දෙවිගේ වචනයට එයා ගොඩක් ඇලුම් කළා කියලත් හෙබ්‍රෙව් ලියවිලි ගැන එයාට හොඳ දැනුමක් තිබුණා කියලත් එයා කියපු දේවලින් තේරෙනවා. (උත්. 30:13; 1 සාමු. 2:1-10; මලා. 3:12) මරියා සහ යෝසෙප් විවාහ වෙලා හිටියත් එයාලා යේසුස් ඉපදෙන කල් ලිංගික සම්බන්ධකම් පවත්වන එකෙන් වැළකුණා. මොකද එයාලට වැදගත් වුණේ ලිංගික ආශාවන් ඉටු කරගන්නවාට වඩා දෙවිගෙන් ලැබුණ පැවරුමයි. (මතෙ. 1:25) ඒ වගේම යේසුස් උස් මහත් වෙද්දී සිද්ධ වුණ හැම දෙයක් ගැනම මරියා හොඳ අවධානයකින් හිටියා වගේම යේසුස් කියපු දේවල්වලට හොඳින් ඇහුම්කන් දුන්නා. ඒ දේවල් එයා “සිතේ තබාගත්තා.” (ලූක් 2:51) ගැලවුම්කරු ගැන දෙවි දීපු පොරොන්දු ඉටු වෙන විදිහ දැනගන්න එයා හිටියේ ලොකු ආසාවකින් කියලා ඒකෙන් තේරෙනවා. මරියාව ආදර්ශයට අරන් දෙවි අපෙන් බලාපොරොත්තු වෙන දේට ජීවිතේ මුල් තැන දෙන්න අපිටත් පුළුවන්ද?

12. (අ) යේසුස් ඔහුගේ පියාව අනුකරණය කළේ කොහොමද? (ආ) අපිට යේසුස්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

12 දෙවිගේ මඟ පෙන්වීමට යටත් වුණ අය අතරින් හොඳම ආදර්ශය යේසුස්. ඔහුට ඕන වුණේ දෙවිව ආදර්ශයට ගන්නයි කියලා ජීවිතේ ගත කරපු විදිහෙන්, දේවසේවයෙන් ඔහු ඔප්පු කරලා පෙන්නුවා. ඔහු හිතුවේ, ක්‍රියා කළේ යෙහෝවා දෙවි වගේමයි. ඔහුට හැඟුණෙත් දෙවිට හැඟුණ විදිහටමයි. යේසුස් ජීවිතේ මුල් තැන දුන්නේ දෙවිගේ කැමැත්තට. හැම වෙලේම දෙවිගේ ප්‍රමිති රැක්කා. (යොහ. 8:29; 14:9; 15:10) යෙහෝවා දෙවිගේ දයාව ගැන යෙසායා කරන විස්තරයත් යේසුස්ගේ හැඟීම් ගැන මාක් කරන විස්තරයත් සසඳලා බලන්න. (යෙසායා 63:9; මාක් 6:34 කියවන්න.) යේසුස් වගේ අපිත් අනිත් අයට දයානුකම්පාවෙන් සලකන්න ඕනෙම වෙලාවක සූදානමින් ඉන්නවාද? අපිත් මුල් තැන දෙන්නේ ශුභාරංචිය දේශනා කරන්න සහ උගන්වන්නද? (ලූක් 4:43) අපි දෙවිගේ මඟ පෙන්වීම්වලට යටත් වෙන අය නම් හැම වෙලේම අනිත් අයට දයානුකම්පාවෙන් සලකන්නත් උදව් කරන්නත් ආසාවෙන් ඉන්නවා.

13, 14. (අ) මේ කාලේ ඉන්න දෙවිගේ මඟ පෙන්වීමට යටත් වෙන අයගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (ආ) අද්දැකීමක් කියන්න.

13 දෙවිගේ මඟ පෙන්වීමට යටත් වන සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් අදත් ඉන්නවා. එයාලා යේසුස්ව ආදර්ශයට ගන්න ලොකු උත්සාහයක් දරනවා. දේශනා සේවයේදී එයාලට තියෙන උද්‍යෝගය, එයාලා අනිත් අයට ආගන්තුක සත්කාරය පෙන්නන විදිහ, දායාවෙන් සලකන විදිහ ඔයා දැකලා ඇති. එයාලා අතින් අඩුපාඩු වුණත් එයාලා හැම වෙලේම උත්සාහ කරන්නේ හොඳ ගුණාංග වර්ධනය කරගෙන දෙවි බලාපොරොත්තු වෙන දේවල් කරන්නයි. බ්‍රසීලයේ ඉන්න රේචල් මෙහෙම කියනවා. “එන එන අලුත්ම විලාසිතා කරන්න මට තිබුණේ ලොකු ආසාවක්. ඒ නිසා මං ඇන්දේ ඒ තරම් විනීත ඇඳුම් නෙමෙයි. ඒත් දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න කෙනෙක් වෙන්න නම් මගේ පැත්තෙන් වෑයමක් දරන්න ඕනෙ කියලා සත්‍යය ඉගෙනගද්දී මට තේරුණා. අමාරු වුණත් මං ඒ වෙනස්කම් කරගත්තා. ඒ නිසා දැන් මං ඉන්නේ සතුටින්. ජීවිතේ නියම අරමුණ දැන් මං දන්නවා.”

14 පිලිපීනයේ ඉන්න රයිලීන්ට තිබුණේ වෙනස්ම ප්‍රශ්නයක්. එයා සත්‍යයේ ඇතිදැඩි වුණ කෙනෙක් වුණත් එයාට ඕන වුණේ ඉහළටම ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන්න. කාලයක් යද්දී දෙවිගේ සේවයේ ඉලක්ක තියලා ඒවා ජය ගන්න එයාට තිබුණ වුවමනාව නැති වෙලා ගියා. එයා මෙහෙම කියනවා. “මට හොඳ රස්සාවක් තිබුණත් ජීවිතේ මොකක්දෝ ලොකු අඩුවක් තියෙනවා කියලා මට දැනුණා.” පස්සේ එයා හිතන විදිහ වෙනස් කරගෙන දෙවිගේ සේවයට එයාගේ ජීවිතේ මුල් තැන දෙන්න පටන්ගත්තා. දැන් එයාට මතෙව් 6:33, 34 දෙවි දීලා තියෙන පොරොන්දුව ගැන කිසිම සැකයක් නැහැ. “යෙහෝවා දෙවි මාව බලාගන්නවා කියලා මට විශ්වාසයි” කියලා එයා කියනවා. ඒ වගේ සහෝදර සහෝදරියෝ ඔයාගේ සභාවෙත් ඇති. එයාලා යේසුස්ව ආදර්ශයට ගන්න විදිහ දකිද්දී එයාලා වගේ වෙන්න අපි තුළත් පෙලඹීමක් ඇති වෙන්නේ නැද්ද?—1 කොරි. 11:1; 2 තෙස. 3:7.

“ක්‍රිස්තුස්ගේ මනස” අවබෝධ කරගන්න

15, 16. (අ) යේසුස් වගේ වෙන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද? (ආ) “ක්‍රිස්තුස්ගේ මනස” අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ අපි මොනවා කළොත්ද?

15 යේසුස්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? 1 කොරින්ති 2:16 කියන්නේ අපිට ‘ක්‍රිස්තුස්ගේ මනස ගැන අවබෝධයක්’ තියෙන්න ඕනෙ කියලයි. රෝම 15:5 කියනවා “ක්‍රිස්තුස් යේසුස්ට තිබූ ආකල්පයම” අපිත් ඇති කරගන්න ඕනෙ කියලා. යේසුස් වගේ වෙන්න නම් ඔහු හිතපු විදිහ, ඔහුට හැඟුණ විදිහ, ඔහු ක්‍රියා කරපු විදිහ ගැන අපි ඉගෙනගන්න ඕනේ. ඊටපස්සේ ඒ දේවල් ඒ විදිහටම අපිත් කරන්න ඕනේ. යේසුස්ගේ මනසේ මුල් තැන හිමි වුණේ දෙවිත් එක්ක ඔහුට තිබුණ බැඳීමටයි. අපි යේසුස් වගේ වැඩ කරනවා කියන්නේ අපි යෙහෝවා දෙවිට තවත් ළං වෙනවා කියන එකයි. යේසුස් වගේ හිතන්න අපි උත්සාහ කරන එක හරිම වැදගත් දෙයක් වෙන්නේ ඒ නිසයි.

16 යේසුස් වගේ හිතන්න පුරුදු වෙන්නේ කොහොමද? යේසුස් ආශ්චර්යයන් කරපු විදිහ, සෙනඟට උගන්නපු විදිහ, විවිධ පසුබිම්වල අයට සලකපු විදිහ, දෙවිගේ ප්‍රතිපත්ති අදාළ කරගත්ත විදිහ ඔහුගේ ගෝලයන් දැක්කා. ‘ඔහු කළ සෑම දෙයක්ම අපි අපේ ඇස්වලින්ම දැක තිබෙනවා’ කියලා එයාලා කිව්වේ ඒ නිසයි. (ක්‍රියා 10:39) අද අපිට යේසුස්ව දකින්න බැහැ. ඒත් ඔහු කරපු කියපු දේවල් වාර්තා කරලා තියෙන මතෙව්, මාක්, ලූක් සහ යොහන් කියන පොත් හතරෙන් ඔහු ගැන හුඟක් දේවල් ඉගෙනගන්න අපිට පුළුවන්. ඒ වාර්තා කියවලා ඒවා ගැන හොඳට හිතනවා නම් යේසුස් හිතපු විදිහ ගැන තවත් හොඳින් තේරුම්ගන්න අපිට පුළුවන්. ඒක අපිට උදව් වෙනවා “ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය” කරලා “ඔහුට තිබූ ආකල්පයම” අපි තුළත් ඇති කරගන්න.—1 පේතෘ. 2:21; 4:1.

17. යේසුස් වගේ හිතන එක අපිට උදව් වෙන්නේ කොහොමද?

17 යේසුස් වගේ හිතන්න පුරුදු වෙන එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද? පෝෂ්‍යදායි ආහාර ගද්දී අපිට ශක්තියක් ලැබෙනවා. ඒ වගේ යේසුස්ගේ මනස අවබෝධ කරගද්දී දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න අපිට තියෙන අධිෂ්ඨානය තව ශක්තිමත් වෙනවා. ජීවිතේ විවිධ අවස්ථාවලට මුහුණ දෙද්දී යේසුස් හිටියා නම් ඔහු මොනවා කරයිද කියලා ටිකෙන් ටික අපිට අවබෝධ වෙයි. දෙවි සතුටු වෙන විදිහේ තීරණ ගන්නත් නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව ඉන්නත් ඒක අපිට උදව් වෙනවා. “මුළු හදවතින්ම යේසුස් ක්‍රිස්තුස්ගේ ගතිලක්ෂණ ආදර්ශයට ගන්න” ඒ හේතු ඔයාව පොලඹවන්නේ නැද්ද?—රෝම 13:14.

18. දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න කෙනෙක් වෙන එක ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

18 දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න කෙනෙක් මොන වගේද කියලා තේරුම්ගන්න මේ ලිපිය අපිට උදව් වුණා. දෙවිගේ මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වුණ අයගේ ආදර්ශ ගැනත් අපි බැලුවා. “ක්‍රිස්තුස්ගේ මනස ගැන අවබෝධයක්” ඇතුව ඉන්න එක දෙවි හිතන විදිහට හිතන්නත් ඔහුත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්නත් උදව් වෙන්නේ කොහොමද කියලා අපි දැක්කා. ඒත් අපි දෙවිගේ මඟ පෙන්වීම් හොඳින් අදාළ කරගන්න අයද කියලා දැනගන්නේ කොහොමද? ඒ වගේ අය වෙන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද? දෙවිගේ මඟ පෙන්වීම් තව හොඳින් අදාළ කරගද්දී ඒක අපේ එදිනෙදා ජීවිතේට බලපාන්නේ කොහොමද? ඒ ප්‍රශ්න ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.