Skip to content

පටුනට යන්න

අතීතයෙන් බිඳක්

බයිබල් දේශන නිසා අයර්ලන්තය පුරා ශුභාරංචිය පැතිරෙයි

බයිබල් දේශන නිසා අයර්ලන්තය පුරා ශුභාරංචිය පැතිරෙයි

ඒ 1910 මැයි මාසේ දවසක්. උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් ලාක් මුහුදු බොක්ක තුළට බෝට්ටුවක් ඇදෙමින් තිබුණා. ගස් වැල්වලින් වැහුණ කඳුවැටි උදෑසන හිරු රැස්වලින් නැහැවී යන විදිහ ඒ බෝට්ටුවේ ඉන්න අයට ටිකෙන් ටික පේන්න පටන්ගන්නවා. ඒ පිරිස අතර සහෝදර චාල්ස් ටී. රසලුත් හිටියා. මේ එයා අයර්ලන්තයට යන පස්වෙනි සංචාරයයි. වරායට ළං වෙද්දී “ටයිටැනික්” සහ “ඔලිම්පික්” කියන දැවැන්ත නැව් දෙක ලහිලහියේ ඉදි කරන විදිහ රසල්ගේ නෙත ගැටෙනවා. * බයිබල් ශිෂ්‍යයන් පිරිසක් නැව් තොටේ ඈතට වෙන්න බලාගෙන ඉන්නේ එයාව පිළිගන්නයි.

ඊට අවුරුදු 20කට විතර කලින් ශුභාරංචිය ලෝකේ පුරා ව්‍යාප්ත කරන්න පුළුවන් විදි ගැන හිතහිත ඉද්දී තමයි වෙනත් රටවලට සංචාරය කරන අදහස රසල්ගේ හිතට ආවේ. එයා පළවෙනි සංචාරය පටන්ගත්තේ අයර්ලන්තයෙන්. ඒ 1891 ජූලි මාසේ. රසල්ගේ දෙමාපියොත් අයර්ලන්ත ජාතිකයන්. එයා ගිය “සිටි ඔෆ් චිකාගෝ” කියන නැව අයර්ලන්තයේ ක්වීන්ස්ටවුන් වෙරළ තීරට ළං වෙද්දී ඉර බැහැගෙන යන දර්ශනය දැක්කාම ඒ රටේ ලස්සන ගැන අම්මලා කියපු කතා එයාට මතක් වෙන්න ඇති. අයර්ලන්තය පුරා සංචාරය කරද්දී රසල්ටත් එයාත් එක්ක හිටපු අනිත් අයටත් තේරුණා “මේක අස්වැන්න හොඳින් පැසුණු කෙතක්” කියලා.

සහෝදර රසල් 7 වතාවක් අයර්ලන්තයේ සංචාරය කළා. පළවෙනි සංචාරයේදීම එයාගේ දේශනවලට මිනිසුන්ගේ හිත් ඇදිලා ගිය නිසා එයා එහෙට ගිය අනිත් අවස්ථාවලදී දේශන අහන්න මිනිසුන් සිය ගාණක් සමහර වෙලාවට දහස් ගාණක් රැස් වුණා. එයා දෙවෙනි සැරේට එහෙට ගියේ 1903 මැයි මාසේ. බෙල්ෆාස්ට්වල සහ ඩබ්ලින්වල බයිබල් දේශන පැවැත්වෙනවා කියලා කලින්ම පත්තරවල දැන්වීම් පළ කළා. එයා දුන්න දේශනයට ඇවිත් හිටපු හැමෝම හොඳින් ඇහුම්කන් දුන්නා.

මිනිසුන් දක්වපු උනන්දුව නිසාම යුරෝපයට ගිය 3වෙනි සංචාරයේදීත් එයා අයර්ලන්තයට ගියා. ඒ 1908 අප්‍රියෙල් මාසේ. පත්තරවල දැන්වීම් පළ වුණ ‘සාතන්ගේ අධිරාජ්‍යයේ බිඳ වැටීම’ කියන බයිබල් දේශනය අහන්න 300ක් විතර ඇවිත් හිටියා. ඒ දේශනය දුන්නේ බෙල්ෆාස්ට්වල. ඇවිත් හිටපු අය අතරේ දේශනයේ තොරතුරු ගැන හරස් ප්‍රශ්න අහපු කෙනෙකුත් හිටියා. ඒ ප්‍රශ්නවලට රසල් බයිබලෙන් උත්තර දුන්නේ දක්ෂ විදිහට. ඩබ්ලින්වල හිටපු ඕකොන ඊට වඩා දරුණු විරුද්ධවාදියෙක්. එයාට ඕන වුණේ දේශනයට රැස් වෙලා හිටපු 1,000කට වඩා වැඩි පිරිසව බයිබල් ශිෂ්‍යයන්ට විරුද්ධව උසිගන්වන්න.

එදා මොනවා වෙන්න ඇද්ද? බයිබල් සත්‍යයන් ගැන දැනගන්න උනන්දු වුණ කෙනෙක් බයිබල් දේශනයක් ගැන පත්තරේ තිබුණ දැන්වීම දැකලා ඒක අහන්න එනවා. ශාලාව අතුරු සිදුරු නැතුව පිරිලා තිබුණ නිසා එයා ආසනයක් හොයාගන්නේ අමාරුවෙන්. සුදු හිසකෙස් සහ රැවුලක් තිබුණ, කලු කබායක් දාගත්ත කථිකයෙක් දේශනය ඉදිරිපත් කරනවා. එයා බයිබල් පද එකිනෙක සම්බන්ධ කරකර තොරතුරු ඉදිරිපත් කරද්දී උනන්දුව දක්වපු කෙනාට බයිබල් සත්‍යයන් ටිකෙන් ටික අවබෝධ වෙනවා. ශබ්ද විකාශන යන්ත්‍රයක් නැතුව වුණත් කථිකයාගේ හඬ ශාලාවේ කෙළවරටම ඇහෙනවා. දේශනය පැය 1 1/2ක් පුරා දිව ගියත් කාගෙවත් අවධානය වෙනතකට යොමු වෙන්නේ නැහැ. සබයේ අයට ප්‍රශ්න අහන්න අවස්ථාව ලැබුණාම ඕකොන එයාගේ යාළුවොත් එක්ක එකතු වෙලා කථිකයාගෙන් හරස් ප්‍රශ්න අහන්න පටන්ගන්නවා. ඒත් කථිකයා බයිබල් පද යොදාගෙන ඒවාට උත්තර දෙනවා. සභය ඒවා අහලා අත්පුඩි ගහනවා. දේශනය ඉවර වුණාම අර උනන්දුව දක්වපු කෙනා තවත් විස්තර දැනගන්න බයිබල් ශිෂ්‍යයන් ළඟට යනවා. ඒ කාලේ ගොඩක් අය සත්‍යයට ආවේ ඒ විදිහට බයිබල් දේශනවලට ඇහුම්කන් දීලයි.

1909 මැයි මාසේ “මොරිටානියා” නැවෙන් නිව් යෝර්ක්වල ඉඳන් සහෝදර රසල් 4වෙනි වතාවට අයර්ලන්තය බලා පිටත් වුණා. ඒ ගමනට සහෝදර හන්ට්සිංගවත් එකතු කරගත්තේ ගමන යන අතරතුරේ ‘මුරටැඹ’ සඟරාවේ පළ කරන්න ඕන ලිපිවල තොරතුරු රසල් කියද්දී ඒවා එයා ලවා සටහන් කරගන්න. ඒ වතාවේ බෙල්ෆාස්ට්වල දුන්න බයිබල් දේශනය අහන්න 450දෙනෙක් ඇවිත් හිටියා. ශාලාවේ ඉඩ මදි වුණ නිසා 100දෙනෙක් විතර හිටියේ හිටගෙන.

“ලුසිටානියා” නැවේදී සහෝදර චාල්ස් ටී. රසල්

රසල් ගිය 5වෙනි සංචාරය ගැන තමයි අපි ලිපිය පටන්ගද්දී සඳහන් කළේ. ඩබ්ලින්වල බයිබල් දේශනය දුන්නාට පස්සේ ඕකොන එක්ක ඇවිත් හිටපු විශාරදයෙක් රසල්ගෙන් ප්‍රශ්න ඇහුවා. සහෝදර රසල් ඒ ප්‍රශ්නවලට බයිබලෙන් දක්ෂ විදිහට උත්තර දුන්න විදිහ දැකලා එතනට ඇවිත් හිටපු හැමෝම අත්පොළසන් දුන්නා. පහුවෙනිදා එයාලා බෝට්ටුවකින් ලිවර්පූල්වලට ගිහින් එතනින් “ලුසිටානියා” නැවෙන් නිව් යෝර්ක්වලට ගියා. *

බයිබල් දේශනයක් ගැන 1910 මැයි 20වෙනිදා අයර්ලන්තයේ පත්තරෙක පළ වෙලා තිබුණ දැන්වීමක්

1911දී සහෝදර රසල් 6වෙනි සහ 7වෙනි වතාවට අයර්ලන්තයට ගියා. එයා දෙන බයිබල් දේශන ගැන පත්තරවල කලින්ම දැන්වීම් පළ කරලා තිබුණා. ඒ අවුරුද්දේ අප්‍රියෙල් මාසේ බෙල්ෆාස්ට්වල දුන්න බයිබල් දේශනය අහන්න 2,000ක් විතර ආවා. ඩබ්ලින්වල දීපු බයිබල් දේශනයට ඕකොන පූජකයෙක්ව එක්කගෙන ආවත් රසල් එයාට බයිබලෙන් දුන්න උත්තරවලට ඇවිත් හිටපු අයගෙන් ලැබුණේ හොඳ ප්‍රතිචාරයක්. සහෝදර රසල් ඒ අවුරුද්දේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී එහේ තවත් නගරවලට ගියා. ඒ නගරවලිනුත් ලැබුණේ හොඳ ප්‍රතිචාර. ඩබ්ලින්වල පවත්වපු දේශනයට ඕකොන 100දෙනෙක් විතර එක්කගෙන ඇවිත් ඒකට බාධා කරන්න හැදුවත් ඇවිත් හිටපු අයගේ සහය ලැබුණේ සහෝදර රසල්ට.

ඒ කාලේ බයිබල් දේශන දෙන්න මූලිකත්වය ගත්තේ සහෝදර රසල් වුණත් ‘මේක දෙවිගේ වැඩක්’ නිසා එයා නැතිව වුණත් මේ වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන් කියලා රසල් තේරුම්ගත්තා. ඒ කාලේ දැන්වීම් පළ කරලා ඉදිරිපත් කරපු බයිබල් දේශනවලින් වුණෙත් අද පොදු රැස්වීමෙන් වෙන කාර්යයමයි. ඒ බයිබල් සත්‍යයන් ගැන අනිත් අයව දැනුවත් කරන එක. අයර්ලන්තය පුරාම ශුභාරංචිය පතුරුවන්නත් අලුත් සභාවන් පිහිටුවන්නත් ඒ බයිබල් දේශනවලින් ලැබුණේ ලොකු සහයක්.—බ්‍රිතාන්‍යයේ අතීතයෙන් බිඳක්.

^ 3 ඡේ. අවුරුදු 2කට පස්සේ “ටයිටැනික්” නැව මුහුදුබත් වුණා.

^ 9 ඡේ. 1915 මැයි මාසේ අයර්ලන්තයේ දකුණු වෙරළබඩ තිරයේදී එල්ල වුණ ප්‍රහරයකින් “ලුසිටානියා” නැව මුහුදුබත් වුණා.