Skip to content

පටුනට යන්න

දෙවි අපිව හික්මවන්නේ ආදරේ නිසයි

දෙවි අපිව හික්මවන්නේ ආදරේ නිසයි

“යෙහෝවා දෙවි තමා ප්‍රේම කරන අයට හික්මවීම් ලබා දෙන්නේය.”—හෙබ්‍රෙ. 12:6.

ගීතිකා: 123, 86

1. හික්මවීම ගැන බයිබලේ කියන්නේ මොනවාද?

“හික්මවීම” කියද්දී හුඟක් අයට මතක් වෙන්නේ දඬුවමක්. ඒත් ඒකට ඊට වඩා දෙයක් ඇතුළත්. බයිබලේ කියන්නේ හික්මවීමකින් අපිට හොඳක් වෙනවා කියලයි. දැනුම, ප්‍රඥාව, ආදරේ, ජීවනය ලබාගන්න හික්මවීම් අත්‍යවශ්‍යයි කියලත් බයිබලේ පෙන්නනවා. (හිතෝ. 1:2-7; 4:11-13) දෙවි අපිව හික්මවන එකෙන් පේන්නේ ඔහු අපිට කොච්චර ආදරේද කියලයි. අපි සදහටම ජීවත් වෙනවා දකින්න ඔහු කැමතියි කියලයි. (හෙබ්‍රෙ. 12:6) දෙවි හික්මවද්දී ඒකට දඬුවමක් ඇතුළත් වෙන්නත් පුළුවන්. ඒත් ඔහු කෲර විදිහට ඒක කරන්නේ නැහැ. හික්මවීමක් කියද්දී මූලිකවම අදහස් වෙන්නේ දැනුවත් කිරීම. හරියට දෙමාපියෙක් දරුවෙක්ව ඇතිදැඩි කරද්දී දේවල් ගැන එයාව දැනුවත් කරනවා වගේ.

2, 3. හික්මවීමකට උගන්වන එක වගේම දඬුවමක් ඇතුළත් වෙන්නේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

2 ඒක අපි උදාහරණෙකින් තේරුම්ගමු. පුංචි පුතෙක් ගේ ඇතුලේ බෝලයකින් සෙල්ලම් කරකර ඉන්නවා. අම්මා එයාට මෙහෙම කියනවා. “පුතේ, ඔයා දන්නවා නේ ගේ ඇතුලේ බෝල ගහන්න හොඳ නෑ කියලා. මොනවා හරි කැඩෙයි.” ඒත් පුතා කියන දේ අහන්නේ නැතුව බෝලෙන් සෙල්ලම් කරකර ඉද්දී බෝලේ මල් වාස් එකක වැදිලා ඒක බිඳෙනවා. ඒ අම්මා පුතාව හික්මවන්නේ කොහොමද? පුතා කරපු දේ වැරදි ඇයි කියලා අම්මා කියලා දෙනවා. දෙමාපියන්ට කීකරු වෙන එකෙන් තමන්ට හොඳක් වෙනවා කියන දේ පුතා තේරුම්ගන්නවා දකින්නයි අම්මාට ඕනේ. ඒ නිසා අම්මා පැහැදිලි කරලා දෙයි එයාලා දාලා තියෙන නීති පුතාට ආරක්ෂාවක් වගේම ඒ නීති අසාධාරණ ඒවා නෙමෙයි කියලා. අම්මා පුතාට දඬුවමක් විදිහට ටික වෙලාවකට බෝලේ එයාගෙන් ගන්නවා. ඒක පුතාගේ හිතට දුකක් වුණත් දෙමාපියන්ට අකීකරු වුණොත් ඒකේ ප්‍රතිඵල විඳින්න වෙනවා කියලා ඒ දඬුවම නිසා පුතාට මතක හිටිනවා.

3 ක්‍රිස්තියානීන් විදිහට අපි හැමෝම දෙවිගේ පවුලේ සාමාජිකයන්. (1 තිමෝ. 3:15) ඒ නිසා අපේ ආදරණීය තාත්තා විදිහට හරි දේ, වැරදි දේ මොකක්ද කියලා තීරණය කරන්නත් අපි ඔහුට අකීකරු වෙද්දී අපිව හික්මවන්නත් ඔහුට අයිතියක් තියෙනවා. ඒ වගේම අපි කරන කියන දේවල් නිසා අපි අමිහිරි ප්‍රතිඵලවලට මුහුණ දෙද්දී දෙවි දෙන හික්මවීම් අපිට උදව් වෙයි දෙවිට කීකරු වෙන එක කොයි තරම් වැදගත්ද කියලා මතක තියාගන්න. (ගලා. 6:7) යෙහෝවා දෙවි අපිට හුඟක් ආදරෙයි. අපි දුක් විඳිනවාට ඔහු කැමති නැහැ.—1 පේතෘ. 5:6, 7.

4. (අ) මොන වගේ පුහුණුවක් දෙනවාටද දෙවි කැමති? (ආ) මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

4 අපේ ඉලක්කය දරුවන්ට, බයිබලේ පාඩම් කරන අයට යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න උදව් කරන එක. බයිබල් ප්‍රතිපත්ති යොදාගෙන හික්මවීම් ලබා දෙන එක ඒ ඉලක්කයට ළං වෙන්න උදව්වක්. බයිබලේ පාවිච්චි කරලා හික්මවීම් දෙද්දී එයාලා ඉගෙනගන්නවා හරි වැරැද්ද අතර වෙනස හඳුනගන්න වගේම ‘යේසුස් අණ කරපු හැම දෙයක්ම පිළිපදින්න.’ (මතෙ. 28:19, 20; 2 තිමෝ. 3:16) ඒ විදිහට කෙනෙක්ට හික්මවීම් දීලා එයාව පුහුණු කරද්දී එයාටත් පුළුවන් වෙනවා තවත් අයට යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න උදව් කරන්න. (තීතස් 2:11-14 කියවන්න.) දැන් අපි ප්‍රශ්න 3කට උත්තර බලමු. (1) දෙවි හික්මවන එකෙන් ඔහුගේ ආදරේ පැහැදිලි වෙන්නේ කොහොමද? (2) දෙවිගෙන් හික්මවීම් ලබපු අයගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (3) යෙහෝවා දෙවි සහ යේසුස් හික්මවීම් දෙන විදිහ අපිට ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

දෙවි හික්මවීම් ලබා දෙන්නේ ආදරෙන්

5. දෙවි දෙන හික්මවීම්වලින් ඔහුගේ ආදරේ පැහැදිලි වෙන්නේ කොහොමද?

5 යෙහෝවා දෙවි අපිව නිවැරදි කරන්නේ, දැනුවත් කරන්නේ, පුහුණු කරන්නේ අපිට ආදරේ නිසයි. අපි ඔහුට ළං වෙලා සදාකාලෙටම ජීවත් වෙනවාටයි ඔහු කැමති. (1 යොහ. 4:16) දෙවි හික්මවීමක් දෙද්දී අපිව පහත් කරන්නේවත් අපි වටින්නේ නැහැ කියන හැඟීම ඇති වෙන විදිහට ඒක කරන්නේවත් නැහැ. (හිතෝ. 12:18) ඔහු හික්මවීමක් දෙද්දී දේවල් කරන්න අපිට බල කරන්නේ නැහැ. හරි තීරණය ගන්න අපිට නිදහස දෙනවා. මොකද ඔහු වැඩි අවධානයක් දෙන්නේ අපේ හොඳ ගුණාංගවලට නිසා අපි හරි දේ කරයි කියලා ඔහුට විශ්වාසයි. දෙවි බයිබලේ, අපේ ප්‍රකාශන, දෙමාපියන්, වැඩිමහල්ලන් යොදාගෙන දෙන හික්මවීම්වලින් ඔහුගේ ආදරේ ඔයාට දැනිලා නැද්ද? අපි අතින් වරදක් වෙලා තියෙනවා කියලා අපි තේරුම්ගන්නත් කලින් වැඩිමහල්ලන් ආදරෙන් අපිව නිවැරදි කරන්න උත්සාහ කරද්දී එයාලා ආදර්ශයට ගන්නේ යෙහෝවා දෙවිගේ ආදරෙයි.—ගලා. 6:1.

6. හික්මවීමක් නිසා කරපු පැවරුමක් අහිමි වුණත් දෙවිගේ ආදරේ ඒකෙන් පේන්නේ කොහොමද?

6 කෙනෙක් අතින් බරපතළ වරදක් වුණාම දෙන හික්මවීමට උපදෙස් දෙනවාට වඩා දෙයක් ඇතුළත් වෙනවා. සභාවේ එයා කරපු සමහර පැවරුම් එයාගෙන් අයින් කරයි. එහෙම කරන්නෙත් දෙවි එයාට ආදරේ නිසයි. ඒ වගේ හික්මවීමක් ලැබුණාම එයා තේරුම්ගන්නවා බයිබලේ අධ්‍යයනය කරන්න, ඒ ගැන කල්පනා කරන්න, යාච්ඤා කරන්න එයා දුන්න කාලේ මදි කියලා. ඒ දේවල් වැඩියෙන් කරලා යෙහෝවා දෙවි එක්ක තියෙන බැඳීම තව ශක්තිමත් කරගන්න ඒක එයාව පොලඹවයි. (ගීතා. 19:7) කාලයක් යද්දී එයාට අහිමි වුණ පැවරුම් ආයෙත් ලැබෙයි. කෙනෙක්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරද්දීත් අපිට දෙවිගේ ආදරේ දකින්න පුළුවන්. මොකද එහෙම කරන්නේ එයාගේ නරක බලපෑමෙන් සභාවේ අයව ආරක්ෂා කරන්නයි. (1 කොරි. 5:6, 7, 11) දෙවි කවදාවත් අසාධාරණ විදිහට හික්මවන්නේ නැහැ. සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු කෙනාට ඒක උදව් වෙනවා තමන් කරපු වරදේ බරපතළකම තේරුම් අරන් පසුතැවිලි වෙන්න.—ක්‍රියා 3:19.

දෙවි දෙන හික්මවීම් අපිට ප්‍රයෝජනවත්

7. ෂෙබ්නා කියන්නේ කවුද? එයාට හික්මවීමක් අවශ්‍ය වුණේ ඇයි?

7 හික්මවීම් දෙන එකේ වැදගත්කම තේරුම්ගන්න යෙහෝවා දෙවි හික්මවීම් දුන්න දෙන්නෙක් ගැන දැන් බලමු. එක් කෙනෙක් හෙසකියා රජුගේ කාලේ ජීවත් වුණ ෂෙබ්නා. අනිත් කෙනා අපේ කාලේ ජීවත් වෙන ග්‍රෙයම් කියන සහෝදරයා. ෂෙබ්නා කියන්නේ රජුගේ “මාලිගාව භාරව හිටිය සේවකයා.” ඒ කියන්නේ එයාට සෑහෙන බලතල තිබුණා. (යෙසා. 22:15) ඒත් එයා උඩඟු වුණා. අනිත් අය එයාව උසස් කෙනෙක් විදිහට සලකනවා දකින්නයි එයාට ඕනෙ වුණේ. එයා තමන් වෙනුවෙන්ම ලොකු සොහොන් ගෙයක් හැදුවා. එයා ගමන් කළෙත් “අලංකාර අශ්ව රථවල.”—යෙසා. 22:16-18.

නිහතමානීව අපේ ආකල්ප වෙනස් කරගද්දී යෙහෝවා දෙවි අපිට ආශීර්වාද කරනවා (8-10 ඡේද බලන්න)

8. දෙවි ෂෙබ්නාට දුන්නේ මොන වගේ හික්මවීමක්ද? ඒක එයාට උදව් වුණේ කොහොමද?

8 ෂෙබ්නා තමන්ටම ගෞරවය ලබාගන්න උත්සාහ කරපු නිසා යෙහෝවා දෙවි එයාට තිබුණ වගකීම එයාගෙන් අයින් කරලා ඒක එලියාකීම්ට දුන්නා. (යෙසා. 22:19-21) ඒක වුණේ ඇසිරියාවේ සෙනකෙරිබ් රජ යෙරුසලමට පහර දෙන්න සැලසුම් කරපු කාලේ. පස්සේ අවස්ථාවක සෙනකෙරිබ් රජු විශාල හමුදාවක් එක්ක නිලධාරීන් කීපදෙනෙක්ව යෙරුසලම ළඟට යවපු වෙලාවේ ඒ නිලධාරීන්ව හම්බ වෙන්න හෙසකියා රජ එලියාකීම්වයි, තව නිලධාරීන් දෙන්නෙක්වයි යැව්වා. (2 රාජා. 18:17-25) ෂෙබ්නා ඒ දෙන්නාගෙන් එක් කෙනෙක්. ඒ වෙද්දී එයා සේවය කළේ ලේකම් හැටියට. ඒකෙන් තේරෙන්නේ දෙවි දුන්න හික්මවීම ගැන එයා අමනාපයෙන් හිටියේවත් තමන්ට නැති වුණ දේවල් ගැන දුකෙන් හිටියේවත් නැහැ කියලයි. දැන් ලැබුණ පැවරුම කලින් එකට වඩා අඩු බලතල තිබුණ එකක් වුණත් එයා නිහතමානීව, කැමැත්තෙන් ඒක කළා. ඒ සිද්ධියෙන් අපිට පාඩම් 3ක් ඉගෙනගන්න පුළුවන්.

9-11. (අ) අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවාද? (ආ) දෙවි ෂෙබ්නාව හික්මවපු විදිහ ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?

9 අපි ඉගෙනගන්න 1වෙනි පාඩම තමයි “විනාශයට මුල උඩඟුකම” කියන දේ. (හිතෝ. 16:18) සමහරවිට අපිටත් සභාවේ යම් වගකීම් තියෙන්න පුළුවන්. ඒ නිසා අපිට අනිත් අයගේ පිළිගැනීම ලැබෙනවත් ඇති. ඒත් දිගටම නිහතමානීව ඉන්න අපි උත්සාහ කරනවාද? අපිට දේවල් හොඳින් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ දෙවි නිසයි කියලා හැම වෙලාවෙම අපි මතකයේ තියාගන්නවාද? (1 කොරි. 4:7) පාවුල් අපිට මේ වගේ අනතුරු ඇඟවීමක් දුන්නා. “මා, ඔබ සියලුදෙනාටම කියන්නේ තමන් ගැන වුවමනාවට වඩා නොසිතන්න කියාය. ඒ වෙනුවට සාධාරණව සිතීමට පුරුදු වන්න. එලෙසම හොඳ සිහිකල්පනාවෙන් කටයුතු කරන්න.”—රෝම 12:3.

10 දෙවි ෂෙබ්නාට දැඩි හික්මවීමක් දුන්න එකෙන් පෙන්නුවා ෂෙබ්නාගෙන් කිසි වැඩක් නැහැ කියලා එයාව අත්හැරලා දාන්න දෙවි සූදානම් නැහැ කියන දේ. එයා වෙනස් වෙයි කියලා දෙවි විශ්වාස කළා. ඒක තමයි අපි ඉගෙනගන්න 2වෙනි පාඩම. (හිතෝ. 3:11, 12) වගකීම් අහිමි වුණ අයට ඒක දිරිගැන්වීමක්. වගකීම් නැති වුණ එක ගැන කේන්තියෙන්, දුකෙන් ඉන්නවා වෙනුවට දිගටම යෙහෝවා දෙවිට උපරිමයෙන් සේවය කරන්නත් ඒ හික්මවීම ලැබුණේ දෙවි ආදරේ කරන නිසයි කියලා මතක තියාගන්නත් එයාලට පුළුවන්. දෙවි නිහතමානී අයට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා. (1 පේතෘස් 5:6, 7 කියවන්න.) අපි මොළොක් මැටි පිඩක් වගේ වෙනවා නම් දෙවි දෙන හික්මවීම්වලට පුළුවන් අපිව තවත් හොඳින් සකස් කරන්න.

11 අපිට ඉගෙනගන්න පුළුවන් 3වෙනි පාඩම දෙවි ෂෙබ්නාට සලකපු විදිහෙන් තේරුම්ගන්න පුළුවන්. දෙවි පිළිකුල් කරන්නේ කෙනෙක් කරන වරද මිසක් ඒ කෙනාව නෙමෙයි. කෙනෙක් වරදක් කළත් එයා ගැන දෙවිගේ හිතේ තියෙන ආදරේ වෙනස් වෙන්නේ නැහැ. දෙවි එයාගේ හොඳ දකින්න උත්සාහ කරනවා. ඔයාත් දෙමාපියෙක් නම්, වැඩිමහල්ලෙක් නම් හික්මවීමක් දෙද්දී දෙවිව ආදර්ශයට ගන්නවාද?—යූද් 22, 23.

12-14. (අ) දෙවිගෙන් ලැබෙන හික්මවීම් ගැන සමහරුන්ට හැඟෙන්නේ කොහොමද? (ආ) සහෝදරයෙක්ට එයාගේ ආකල්ප හදාගන්න දේවවචනය උදව් වුණේ කොහොමද? එයා වෙනස් වුණේ කොහොමද?

12 හික්මවීමක් ලැබුණාම සමහරු ඒ ගැන හිත රිද්දගෙන දෙවිගෙන්, සභාවෙන් ඈත් වෙනවා. (හෙබ්‍රෙ. 3:12, 13) ඒ වගේ කෙනෙකුට උදව් කරන්න බැරිද? අපි ග්‍රෙයම්ගේ අද්දැකීම බලමු. කාලෙකට කලින් එයාව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරලා පස්සේ කාලෙක එයාව ආයෙත් සභාවට පිළිගත්තා. ඒත් ඊටපස්සේ එයා රැස්වීම්, සේවයේ යන එක ටිකෙන් ටික නතර කළා. ඔය අතරේ එයාට හොඳ යාළුවෙක් වෙන්න වැඩිමහල්ලෙක් ලොකු උත්සාහයක් ගත්තා. ග්‍රෙයම් ඒ වැඩිමහල්ලාට කිව්වා එයාත් එක්ක බයිබල් පාඩමක් කරන්න කියලා.

13 ඒ වැඩිමහල්ලා මෙහෙම කියනවා. “ග්‍රෙයම්ගේ ප්‍රශ්නේ තමයි උඩඟුකම. එයාව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු කමිටුවේ හිටපු වැඩිමහල්ලන්ට එයා නිතරම දොස් කිව්වා. ඒ නිසා සති කීපයක්ම අපි උඩඟුකම, ඒකෙන් ලැබෙන ප්‍රතිඵල ගැන සඳහන් වෙන බයිබල් පද සාකච්ඡා කළා. දේවවචනය කියන කැඩපතෙන් බලද්දී ග්‍රෙයම්ට තේරුණා එයාගේ හදාගන්න ඕන පැති තියෙනවා කියලා. එයාගේ ඇහේ තිබුණ උඩඟුකම කියන ‘පරාලය’ නිසා දේවල් හරි විදිහට දකින්න එයාට බැරි වුණා කියලත් සහෝදරයන්ව එයා විවේචනය කළේ උඩඟුකම නිසයි කියලත් තේරුම්ගත්තාම එයා වෙනස්කම් කරගත්තා. එයා නිතිපතා රැස්වීම්වලට සහභාගි වෙන්නත් උනන්දුවෙන් බයිබලේ අධ්‍යයනය කරන්නත් දිනපතා යාච්ඤා කරන්නත් පටන්ගත්තා. පවුලක් විදිහට දෙවිට නමස්කාර කරද්දී මූලිකත්වය අරන් වැඩ කරන්නත් එයා පටන්ගත්තා.”—ලූක් 6:41, 42; යාකො. 1:23-25.

14 ඒ වැඩිමහල්ලා මෙහෙමත් කිව්වා. “දවසක් ග්‍රෙයම් කිව්වා එයා අවුරුදු ගාණක් තිස්සේ සත්‍යයේ හිටියත් පුරෝගාමි සේවය කළත් යෙහෝවා දෙවිට ආදරෙයි කියලා මුළු හිතින්ම කියන්න දැන් තමයි එයාට පුළුවන් කියලා. ඒක මගේ හිතට තදින්ම වැදුණා.” සභාවේ මයික් අල්ලන වගකීම ලැබුණාම ග්‍රෙයම් හුඟක් සතුටු වුණා. “ග්‍රෙයම්ගෙන් මං ඉගෙනගත්ත දේ තමයි කෙනෙක් නිහතමානීව දෙවි දෙන හික්මවීම් පිළිගන්නවා නම් එයාට දෙවි ආශීර්වාද කරනවා කියන දේ.”

හික්මවීම් දෙද්දී දෙවිවත් යේසුස්වත් ආදර්ශයට ගන්න

15. අපි දෙන හික්මවීම් හිතටම යන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?

15 හොඳ ගුරුවරයෙක් වෙන්න නම් කෙනෙක් මුලින් හොඳ ශිෂ්‍යයෙක් වෙන්න ඕනේ. (1 තිමෝ. 4:15, 16) අනිත් අයව හික්මවන්න යෙහෝවා දෙවි ඔයාවත් යොදාගන්නවා නම් ඔයා නිහතමානීව ඔයාට මඟ පෙන්නන්න දෙවිට ඉඩ දෙන්න ඕනේ. ඔයා නිහතමානී කෙනෙක් කියලා අනිත් අය දකිද්දී ඔයා දෙන උපදෙස්, අවවාද පිළිගන්න ඒ අයට ලේසියි. ඒ ගැන අපිට යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන්.

16. හික්මවීම් දෙන එක ගැනත් උගන්වන එක ගැනත් අපිට යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

16 යේසුස් අමාරුම අවස්ථාවලදීත් ඔහුගේ තාත්තාට කීකරු වුණා. (මතෙ. 26:39) ඔහු උගන්වන්නේ දෙවිගෙන් ඉගෙනගත්ත දේවල් කියලා ඔහු නිතරම කිව්වා. (යොහ. 5:19, 30) දෙවි කියපු විදිහටම දේවල් කරපු නිසයි අනිත් අයව තේරුම් අරන් ඒ අයට උගන්වන්න ඔහුට පුළුවන් වුණේ. අවංක හදවත් තිබුණ අය යේසුස්ට කිට්ටු වුණේ හරිම ආසාවෙන්. (මතෙව් 11:29 කියවන්න.) අධෛර්යය වෙලා හිටපු අයට යේසුස්ගේ කාරුණික වචන නිසා අලුත් පණක් ලැබුණා. (මතෙ. 12:20) යේසුස් ඔහුගේ ගෝලයන්ව නිවැරදි කරද්දී ඒක කළේ ආදරෙන්. එයාලා අතරේ උසස් කෙනා කවුද කියලා නිතර වාද කරගද්දී යේසුස් කේන්ති ගන්නේ නැතුව ඉවසීමෙන් දේවල් එයාලට කියලා දුන්නා.—මාක් 9:33-37; ලූක් 22:24-27.

17. සභාව හොඳින් බලාගන්න වැඩිමහල්ලන්ට උදව් වෙන ගුණාංග මොනවාද?

17 වැඩිමහල්ලන් බයිබලේ යොදාගෙන හික්මවීම් දෙද්දී යේසුස්ව ආදර්ශයට ගන්න ඕනේ. එහෙම කරද්දී එයාලා පෙන්නන්නේ දෙවිගෙත් යේසුස්ගෙත් මඟ පෙන්වීම් ලබාගන්න එයාලා කැමතියි කියලා. පේතෘස් මෙහෙම කිව්වා. “ඔබට භාර දී ඇති දෙවිගේ රැළ රැකබලා ගන්න. කිසිවෙකුගේ බල කිරීම නිසා නොව කැමැත්තෙන්ද අයුතු ලෙස වාසි ප්‍රයෝජන ලබාගැනීමේ ආශාව නිසා නොව අවංක උනන්දුවකින්ද, දෙවිට අයිති අය කෙරෙහි අනිසි ලෙස බලය නොපවත්වා, රැළට ආදර්ශයක් වෙමින් එසේ කරන්න.” (1 පේතෘ. 5:2-4) දෙවිගෙත් යේසුස්ගෙත් මඟ පෙන්වීම්වලට වැඩිමහල්ලන් කැමැත්තෙන්ම කීකරු වෙද්දී එයාලත් එයාලගේ රැකවරණය යටතේ ඉන්න සභාවේ හැමෝමත් ප්‍රයෝජන ලබනවා.—යෙසා. 32:1, 2, 17, 18.

18. (අ) යෙහෝවා දෙවි දෙමාපියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද? (ආ) දෙවි දෙමාපියන්ට උදව් කරන්නේ කොහොමද?

18 දරුවන්ව පුහුණු කරන එක, එයාලව හික්මවන එක ගැන කියන්න පුළුවන් මොනවාද? යෙහෝවා දෙවි දෙමාපියන්ට මෙහෙම කියනවා. “ඔබේ දරුවන් තුළ කෝපයක් ඇති වන අයුරින් කටයුතු නොකරන්න. ඒ වෙනුවට යෙහෝවා දෙවිගෙන් ලැබෙන හික්මවීම් ලබා දීමෙන්ද දෙවි සිතන ආකාරයට සිතීමට ඉගැන්වීමෙන්ද ඔවුන්ව නිරතුරුව ඇතිදැඩි කරන්න” (එෆී. 6:4) දරුවන්ව පුහුණු කරන එක, හික්මවන එක වැදගත් ඇයි? හිතෝපදේශ 19:18 කියන්නේ මෙහෙමයි. “ඔබේ පුත්‍රයාව යහමඟට ගැනීමට හැකියාව තිබෙන තාක් කල් ඔහුව හික්මවන්න. ඔහුට මරණ දඬුවම ලැබෙන තුරු බලා නොසිටින්න.” දරුවන්ව හික්මවන වගකීම යෙහෝවා දෙවි දීලා තියෙන්නේ දෙමාපියන්ට. එයාලා ඒක හරියට කළේ නැත්නම් දෙවිට ඒ අයගේ ජීවිත ගැන ගණන් දෙන්න වෙනවා. (1 සාමු. 3:12-14) ඒත් ඒක කරද්දී දෙමාපියන් තනි වෙලා නැහැ. එයාලා දෙවිට යාච්ඤා කරලා උදව් ඉල්ලනවා නම්, දේවවචනයට සහ ඔහුගේ බලයට මඟ පෙන්නන්න ඉඩ දෙනවා නම් යෙහෝවා දෙවි ඒක කරන්න ඕනෙ කරන ප්‍රඥාව සහ ශක්තිය එයාලට දෙනවා.—යාකොබ් 1:5 කියවන්න.

හැමදාටම සමාදානයෙන් ඉන්න දැන්ම පුහුණුවක්

19, 20. (අ) දෙවි දෙන හික්මවීම් පිළිගන්නවා නම් අපිට ලැබෙන්නේ මොන වගේ ආශීර්වාදද? (ආ) ඊළඟ ලිපියෙන් අපි බලන්නේ මොනවාද?

19 යෙහෝවා දෙවි දෙන හික්මවීම් අපි පිළිගන්නවා නම්, දෙවි සහ යේසුස් හික්මවන විදිහ ආදර්ශයට ගන්නවා නම් අපිට හුඟක් ආශීර්වාද ලැබෙනවා. පවුලේ අයට, සභාවේ අයට ලොකු සාමයක්, ආදරයක්, ආරක්ෂාවක් දැනෙයි. තමන් වටිනවා කියන හැඟීමත් ඒ අය තුළ ඇති වෙයි. පාරාදීසයේදී අපි මීට වඩා කොච්චර වැඩියෙන් සාමය, සතුට අද්දකියිද! (ගීතා. 72:7) අපේ ආදරණීය තාත්තා යෙහෝවා දෙවි යටතේ පාරාදීසයේ එක්සත් පවුලක් විදිහට හැමදාටම සාමයෙන් ඉන්න දෙවි හික්මවීම් දීලා දැන් අපිව පුහුණු කරනවා. (යෙසායා 11:9 කියවන්න.) අපි ඒක මතක තියාගන්නවා නම් දෙවි හික්මවීම් දෙද්දී ඔහු ඒක කරන්නේ අපිට ආදරේ නිසයි කියන දේ අපි තේරුම්ගනියි.

20 පවුල තුළ සහ සභාව තුළ හික්මවීම් දෙන එක ගැන ඊළඟ ලිපියේදී තවත් තොරතුරු බලමු. අපිවම හික්මවාගන්නේ කොහොමද කියලත් හික්මවීමක් නිසා දැනෙන වේදනාවට වඩා වැඩි වේදනාවක් දැනෙන එක වළක්වගන්නේ කොහොමද කියලත් අපි බලමු.