Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන පෞද්ගලික වෙබ් අඩවියක නැත්නම් සමාජ ජාල වෙබ් අඩවියක පළ කරන එක තහනම් ඇයි?

අපේ ප්‍රකාශන කිසිම අය කිරීමක් නැතුව බෙදා දෙන නිසා සමහරු හිතනවා ඒවා සමාජ ජාල වෙබ් අඩවිවලට නැත්නම් වෙනත් වෙබ් අඩවිවලට කොපි කරන එකේ, ඒවාවල පළ කරන එකේ වරදක් නැහැ කියලා. ඒ වුණත් ඒක අපේ වෙබ් අඩවිය භාවිත කිරීමේ නීති * උල්ලංගනය කිරීමක් වගේම ඒකෙන් බරපතළ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. භාවිත කිරීමේ නීතිවල පැහැදිලිවම සඳහන් වෙන්නේ “වෙබ් අඩවියේ ඇති කිසිම දෙයක් අන්තර්ජාලයේ කිසිම තැනක (වෙනත් කිසිම වෙබ් අඩවියක, කිසිම ෆයිල් ෂෙයාරිං වෙබ් අඩවියක හෝ කිසිම මිතුරු සමාජ වෙබ් අඩවියක) පළ කිරීම සපුරා තහනම්” කියලයි. ඒ වගේ තහනමක් දාලා තියෙන්නේ ඇයි?

අපේ සංවිධානයේ ප්‍රකාශන හිමිකමට යටත් කිසිම දෙයක් වෙනත් වෙබ් අඩවිවල පළ කරන්න කාටවත් අයිතියක් නැහැ

අපේ වෙබ් අඩවිවල තියෙන හැම දෙයක්ම ප්‍රකාශන හිමිකමට යටත්. සත්‍ය ඉගැන්වීම් අත්හැරපු අය, වෙනත් විරුද්ධවාදීන් අපේ ප්‍රකාශන එයාලගේ වෙබ් අඩවිවල පළ කරලා සාක්ෂිකරුවන්වත් වෙනත් අයවත් නොමඟ යවන්න උත්සාහ කරනවා. ඒ වෙබ් අඩවිවල අරමුණ ඒක කියවන අයගේ මනස්වල සැකයන් ඇති කරන එක. (ගීතා. 26:4; හිතෝ. 22:5) සමහරු අපේ ප්‍රකාශනවල තොරතුරු නැත්නම් jw.org ලාංඡනය වෙළඳ දැන්වීම්වල, වෙළඳ භාණ්ඩවල, විවිධ ඇප්ස්වල පාවිච්චි කරලා තියෙනවා. ඒත් නීතික අයිතිය තියෙන නිසා කවුරු හරි අපේ වෙබ් අඩවිවල තියෙන තොරතුරු නැත්නම් ලාංඡන අනවසරයෙන් පාවිච්චි කළොත් නීතියෙන් පියවර ගන්න අපිට පුළුවන්. (හිතෝ. 27:12) ඒත් අපි දැන දැනම මිනිසුන්ට, අපේ සහෝදරයන්ට වුණත් අපේ වෙබ් අඩවිවල තොරතුරු වෙනත් වෙබ් අඩවිවල පළ කරන්න, වෙළඳ භාණ්ඩවලට අපේ ලාංඡනය ඇතුළත් කරන්න ඉඩ දුන්නොත් අනවසරෙන් ඒවා පාවිච්චි කරන අයට විරුද්ධව පියවර ගන්න නීතියේ සහය අපිට ලැබෙන්නේ නැහැ.

jw.org වෙබ් අඩවියෙන් ඇරෙන්න වෙනත් වෙබ් අඩවිවලින් අපේ ප්‍රකාශන ඩවුන්ලෝඩ් කරන එක අනතුරුදායකයි. යෙහෝවා දෙවිත් එක්ක අපිට තියෙන බැඳීම ශක්තිමත් කරගන්න උදව් වෙන පෝෂණය අපිට දෙන වගකීම දෙවි භාර දීලා තියෙන්නේ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට” විතරයි. (මතෙ. 24:45) අපිට අවශ්‍ය පෝෂණය දෙන්න ඒ දාසයා පාවිච්චි කරන නිල වෙබ් අඩවි නම් www.pr418.com, tv.pr418.com, wol.pr418.com කියන වෙබ් අඩවි විතරයි. ඒ වගේම අපේ සංවිධානය පාවිච්චි කරන්නේ ඇප්ස් තුනක් විතරයි. ඒවා නම් ‘JW ලැංවේජ්®,’ ‘JW ලයිබ්‍රරි® සහ ‘JW ලයිබ්‍රරි සංඥා භාෂාව® කියන ඇප්ස් තුන. ඒ කිසිම එකක වෙළඳ දැන්වීම් පළ වෙන්නේ නැහැ. ඒ වගේම ඒවා මේ දුෂ්ට සමාජයේ අදහස්වලින් පොඩ්ඩක්වත් දූෂණය වෙලා නැහැ. ඒත් හිතන්න, අපි ඒ පෝෂණය වෙනත් මාධ්‍යයන්වලින් ලබාගන්න හදනවා කියලා. ඒවාවල පළ වෙන තොරතුරු වෙනස් කරලා නැහැ කියලා අපිට කොහොමටවත් ස්ථිර වෙන්න බැහැ.—ගීතා. 18:26; 19:8.

අපේ ප්‍රකාශන කමෙන්ට්ස් දාන්න පුළුවන් වෙබ් අඩවිවල පළ කරන එකෙන් වෙන්නේ සත්‍ය ඉගැන්වීම් අත්හැරපු අයට සහ අපිව විවේචනය කරන වෙනත් අයට සංවිධානය ගැන අවිශ්වාසයක් ඇති කරන අදහස් පළ කරන්න අවස්ථාව ලැබෙන එකයි. සමහර සහෝදරයන් ඒ වගේ වෙබ් අඩවිවල තියෙන සංවාදවලට හවුල් වෙලා තියෙනවා. ඒකෙන් එයාලා යෙහෝවා දෙවිගේ නමට ලොකු අගෞරවයක් ගෙනත් තියෙනවා. ඒ වගේ වෙබ් අඩවි ‘යම් විරෝධතා එල්ල කරන අයට මෘදුකමින් මඟ පෙන්වීම් ලබා දීමට’ සුදුසු තැන් නෙමෙයි. (2 තිමෝ. 2:23-25; 1 තිමෝ. 6:3-5) අපේ සංවිධානය නමින්, පාලක මණ්ඩලය නමින් සහ ඒකේ එක් එක් සාමාජිකයාගේ නමින් සමහරු බොරු වෙබ් අඩවි, සමාජ ජාල ගිණුම් ඇරලා තියෙනවා. ඒත් පාලක මණ්ඩලයේ කිසිම සාමාජිකයෙක්ට පෞද්ගලික වෙබ් පිටු නැහැ. එයාලා කිසිම සමාජ ජාල වෙබ් අඩවියක් හරහා සංවාදවලට සම්බන්ධ වෙන්නෙත් නැහැ.

jw.org වෙබ් අඩවියට මිනිසුන්ව යොමු කරන එකෙන් “ශුභාරංචිය” පතුරුවන්න දායක වෙන්න පුළුවන්. (මතෙ. 24:14) අපිට සේවයේ පාවිච්චි කරන්න ලබා දීලා තියෙන ඉලෙක්ට්‍රොනික මාධ්‍යයන් නිතරම වගේ වැඩි දියුණු කරනවා. අපි කැමති හැමෝම ඒවාවලින් ප්‍රයෝජන ගන්නවාටයි. භාවිත කිරීමේ නීතිවල පෙන්නලා තියෙන විදිහට jw.org වෙබ් අඩවියේ පළ වෙලා තියෙන ප්‍රකාශනයක ඉලෙක්ට්‍රොනික පිටපතක් තවත් කෙනෙක්ට ඊ-මේල් කරන්න නැත්නම් ලින්ක් එකක් යවන්න අපිට පුළුවන්. අපේ නිල වෙබ් අඩවි ගැන අනිත් අයව දැනුවත් කරද්දී එයාලටත් පුළුවන් වෙනවා “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ලබා දෙන නිවැරදි දැනුමෙන් පෝෂණය ලබන්න.

^ 1 ඡේ. භාවිත කිරීමේ නීතිවලට යන්න ලින්ක් එකක් jw.org වෙබ් අඩවියේ මුල් පිටුවේ පහළ තියෙනවා. ඒ නීති අපේ වෙබ් අඩවිවල පළ වෙන හැම දේකටම අදාළයි.