Skip to content

පටුනට යන්න

“දිගටම බොහෝ පල දරන්න” ඕනෙ ඇයි?

“දිගටම බොහෝ පල දරන්න” ඕනෙ ඇයි?

“දිගටම බොහෝ පල දරන්න. ඔබ මගේ ගෝලයන් බවත් ඔප්පු කරන්න. ඔබ එසේ කළොත් මගේ පියාණන්ට මහත් ගෞරවයක් ලැබෙයි.”—යොහ. 15:8.

ගීතිකා: 53, 60

1, 2. (අ) යේසුස් මිය යන්න කලින් රාත්‍රියේදී ඔහුගේ නියෝජිතයන් එක්ක කතා කළේ මොනවාද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) අපි දේශනා කරන්නේ මොන හේතු නිසාද කියලා නිතරම මනසේ තියාගන්න ඕනෙ ඇයි? (ඇ) අපි සාකච්ඡා කරන්නේ මොනවා ගැනද?

යේසුස් මිය යන්න කලින් රාත්‍රියේදී ඔහුගේ නියෝජිතයන් එක්ක හුඟක් වෙලා කතා කරකර හිටියා. ඔහුගේ හිතේ එයාලා ගැන ලොකු ආදරයක් තියෙනවා කියලා ඔහු කිව්වා. අපි කලින් ලිපියේ කතා කරපු මිදිවැලේ උපමාව ඔහු කිව්වෙත් ඒ වෙලාවේ. යේසුස්ට ඕනෙ වුණේ “දිගටම බොහෝ පල දරන්න” ඒ කියන්නේ අත් නෑර ශුභාරංචිය දේශනා කරන්න එයාලව දිරිගන්වන්න.—යොහ. 15:8.

2 ශුභාරංචිය දේශනා කරන්න කියලා කිව්වා විතරක් නෙමෙයි එයාලා ඒක කරන්න ඕනෙ මොන හේතු නිසාද කියලත් යේසුස් කිව්වා. ඒ හේතු අපිත් මතක තියාගන්න ඕනේ. එතකොට “සියලු ජාතීන්ට සාක්ෂි” දරන කාර්යය අත් නෑර කරන්න අපි තුළ ලොකු පෙලඹීමක් ඇති වෙයි. (මතෙ. 24:13, 14) දේශනා කරන්න අපිට තියෙන හේතු 4ක් ගැනත් දිගටම පල දරන්න උදව්වක් විදිහට යෙහෝවා දෙවි දීලා තියෙන තෑගි 4ක් ගැනත් දැන් අපි බලමු.

යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරනවා

3. (අ) යොහන් 15:8 කියන විදිහට අපි දේශනා කරන ප්‍රධානම හේතුව මොකක්ද? (ආ) යේසුස්ගේ උපමාවේ මිදිවලින් නියෝජනය වුණේ මොනවාද? ඒක හොඳින්ම ගැළපෙන්නේ ඇයි?

3 දේශනා කරන්න අපිට තියෙන වැදගත්ම හේතුව තමයි ඒකෙන් යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන්නත් ඔහුගේ නමට ඇති වෙලා තියෙන කැළැල අයින් කරන්න දායක වෙන්නත් අපිට අවස්ථාව ලැබෙන එක. (යොහන් 15:1, 8 කියවන්න.) මිදිවැල ගැන උපමාවේදී යේසුස් යෙහෝවා දෙවිව සමාන කළේ මිදිවත්තේ වැවිලිකරුට. මිදිවැල තමන් කියලත් ඒකේ අතු තමන්ගේ අනුගාමිකයන් කියලත් යේසුස් කිව්වා. (යොහ. 15:5) එහෙමනම් මිදිවලින් නියෝජනය වුණේ යේසුස්ගේ අනුගාමිකයන් දරන පල නැත්නම් එයාලා කරන දේශනා සේවය. පල දරන එකේ වැදගත්කම ගැන යේසුස් ඔහුගේ නියෝජිතයන්ට මෙහෙම කිව්වා. “ඔබ එසේ කළොත් මගේ පියාණන්ට මහත් ගෞරවයක් ලැබෙයි.” අතු මිදි පොකුරුවලින් බර වෙද්දී ඒකේ ගෞරවය යන්නේ වැවිලිකරුට. ඒ වගේ ශුභාරංචිය දේශනා කරන්න අපි උපරිමයෙන් හවුල් වෙද්දී අපි කරන්නේ දෙවිව ගෞරවයට පත් කරන එක.—මතෙ. 25:20-23.

4. (අ) දෙවිගේ නමට ඇති වෙලා තියෙන කැළැල අයින් කරන්න අපි දායක වෙන්නේ කොහොමද? (ආ) ඒක කරන්න ලැබිලා තියෙන අවස්ථාව ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?

4 අපි කරන දේශනා සේවය දෙවිගේ නමට ඇති වෙලා තියෙන කැළැල අයින් කරන්න දායක වෙන්නේ කොහොමද? දෙවිගේ නම දැනටමත් ශුද්ධයි. ඒක තව ශුද්ධ තත්වයකට ගේන්න අවශ්‍ය නැහැ. ඒත් යෙසායා මාර්ගයෙන් දෙවි අපිට කියනවා “ශුද්ධ දෙවි කෙනෙකුට සිටින්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන මා පමණක් බව අමතක නොකරන්න” කියලා. (යෙසා. 8:13) ඒක අපිට අමතක වෙලා නැහැ කියලා පෙන්නන්න නම් අනිත් හැම නමකටම වඩා දෙවිගේ නම විශේෂ එකක් විදිහට අපි සලකන්න ඕනේ. ඒකේ වැදගත්කම තේරුම්ගන්න අනිත් අයටත් උදව් කරන්න ඕනේ. දේශනා සේවයේදී අපි කරන්නේ ඒ දේයි. (මතෙ. 6:9, පාදසටහන) උදාහරණෙකට යෙහෝවා දෙවිගේ ගුණාංග ගැන, මිනිසුන් සඳහා දෙවිට තියෙන අරමුණ ගැන මිනිසුන්ට කියද්දී අපි කරන්නේ සාතන් දෙවි ගැන කියලා තියෙන්නේ බොරු කියලා තේරුම්ගන්න එයාලට උදව් කරන එකයි. (උත්. 3:1-5) යෙහෝවා දෙවි “සියලු ප්‍රශංසාවත් ගෞරවයත් ලැබීමට වටිනා තැනැත්තාණන්ය” කියන දේ තේරුම්ගන්න අපි මිනිසුන්ට උදව් කරද්දීත් දෙවිගේ නමට ඇති වෙලා තියෙන කැළැල අයින් කරන්න දායක වෙන්න පුළුවන්. (එළි. 4:11) අවුරුදු 16ක් පුරා පුරෝගාමි සේවය කරන රූන මෙහෙම කියනවා. “මුළු විශ්වයේම නිර්මාතෘ ගැන සාක්ෂි දරන්න මටත් අවස්ථාවක් දීලා තියෙන එක ගැන මට දැනෙන්නේ ලොකු අගයක්. ඒක මාව පොලඹවනවා අත්හරින්නේ නැතුව දේශනා කරන්න.”

යෙහෝවා දෙවිටයි, යේසුස්ටයි ආදරෙයි

5. (අ) යොහන් 15:9, 10 කියන විදිහට දේශනා කරන්න අපිට තියෙන තවත් හේතුවක් මොකක්ද? (ආ) විඳදරාගන්න එකේ අවශ්‍යතාව ගැන යේසුස් කාවැද්දුවේ කොහොමද?

5 යොහන් 15:9, 10 කියවන්න. දේශනා කරන්න අපිට තියෙන දෙවෙනි හේතුව තමයි යෙහෝවා දෙවිට සහ යේසුස්ට අපේ හිතේ තියෙන ආදරේ. (මාක් 12:30; යොහ. 14:15) යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා “මගේ ප්‍රේමය ලබන්න වටිනා අය හැටියට නිරතුරුවම ක්‍රියා කරන්න” කියලා. ඔහු එහෙම කිව්වේ ඇයි? මොකද යේසුස් දැනන් හිටියා ඔහු බලාපොරොත්තු වුණ විදිහට නිරතුරුවම ජීවත් වෙන එක ඔහුගේ සැබෑ අනුගාමිකයන්ට ලේසි නැහැ කියලා. එයාලට හුඟක් දේවල් විඳදරාගන්න වෙනවා. ඒකයි යේසුස් ‘ඔහුත් එක්ක එකට බැඳී සිටින්න’ කියලා ගෝලයන්ට ආයේ ආයේ කිව්වේ.—යොහ. 15:4-10.

6. යේසුස්ගේ ප්‍රේමය ලබන්න අපි කැමතියි කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

6 යේසුස්ගේ ප්‍රේමය සහ අනුමැතිය ලබන්න අපි කැමතියි කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? ඔහුට කීකරු වෙන එකෙන්. යේසුස් අපෙන් ඉල්ලන්නේ අමාරු දෙයක් නෙමෙයි. ඔහුත් දෙවිට කීකරු වුණා. ඔහු මෙහෙම කිව්වා. “මම මගේ පියාණන් ආඥා කර ඇති දේවල් පිළිපදින නිසා මම නිරතුරුවම ඔහුගේ ප්‍රේමය ලබනවා.” ඔහු අපිට ආදර්ශයක්.—යොහ. 13:15.

7. කීකරුකම සහ ආදරේ අතරේ තියෙන සම්බන්ධය මොකක්ද?

7 කීකරුකම සහ ආදරේ අතරේ කිට්ටු සම්බන්ධයක් තියෙනවා කියලා යේසුස් කියපු මේ දෙයින් පැහැදිලියි. “කෙනෙක් මම ආඥා කරන දේවල් පිළිගෙන ඒවා පිළිපදිනවා නම් මට ප්‍රේම කරන්නේ ඒ තැනැත්තායි.” (යොහ. 14:21) යේසුස් අපිට දුන්න ආඥා දෙවිගෙන් ලැබුණ ඒවා. ඒ නිසා දේශනා කරන්න කියලා යේසුස් දුන්න ආඥාවට අපි කීකරු වෙද්දී අපි දෙවිටත් ආදරෙයි කියලා ඒකෙන් පේනවා. (මතෙ. 17:5; යොහ. 8:28) යෙහෝවා දෙවි ගැනත් යේසුස් ගැනත් අපිට තියෙන ආදරේ පෙන්නද්දී දෙවිගෙත් යේසුස්ගෙත් ආදරේ ලබන්න අපිටත් පුළුවන්.

මිනිසුන්ට අනතුරු ඇඟවීමක්

8, 9. (අ) දේශනා කරන්න අපිට තියෙන තුන්වෙනි හේතුව මොකක්ද? (ආ) එසකියෙල් 3:18, 19 සහ 18:23 සඳහන් දේ අත් නෑර දේශනා කරන්න අපිව පොලඹවන්නේ ඇයි?

8 අපිට ඕනෙ ළඟ එන යෙහෝවා දෙවිගේ මහත් දවස ගැන මිනිසුන්ට අනතුරු අඟවන්න. ඒක තමයි දේශනා කරන්න අපිට තියෙන 3වෙනි හේතුව. බයිබලේ නෝවාව හඳුන්වන්නේ “දේශනා කළ” කෙනෙක් විදිහට. (2 පේතෘස් 2:5 කියවන්න.) නෝවා දේශනා කරපු පණිවිඩයට ළඟ ළඟ එන විනාශය ගැන අනතුරු ඇඟවීමත් ඇතුළත් වෙන්න ඇති. ඒක යේසුස් කිව්ව මේ දෙයින් පැහැදිලියි. “ජලගැල්මට පෙර කාලය පුරාම එනම්, නෝවා නැවට ඇතුල් වූ දවස දක්වාම ඔවුන් කමින් බොමින් විවාහ වෙමින් සහ විවාහ කර දෙමින් සිටියා. ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන යන තුරු ඔවුන් සිදු වන දේ ගැන කිසි තැකීමක් කළේ නැහැ. මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයද ඒ හා සමානයි.” (මතෙ. 24:38, 39) හුඟක් අය නෝවා කියපු දේ ඇහුවේ නැතත් එයා අත් නෑර මිනිසුන්ට අනතුරු ඇඟෙව්වා.

9 අද අපි දේවරාජ්‍යය ගැන දේශනා කරන්නේ දෙවි අනාගතයේදී මිනිසුන් වෙනුවෙන් කරන්න යන දේ ගැන ඉගෙනගන්න එයාලට අවස්ථාව දෙන්නයි. ඒත් එක්කම අපේ පණිවිඩයට අනතුරු ඇඟවීමකුත් ඇතුළත් වෙනවා. යෙහෝවා දෙවිට වගේ අපිටත් ඕනෙ මිනිසුන් අපේ පණිවිඩය අහලා “දිගටම ජීවත් වෙනවා” දකින්න. (එස. 18:23) දේවරාජ්‍යය මේ දුෂ්ට සමාජය විනාශ කරනවා කියලා අපි ගෙයින් ගෙටත් ප්‍රසිද්ධ තැන්වලත් දේශනා කරන්නේ පුළුවන් තරම් දෙනෙක්ට ඒ ගැන අනතුරු අඟවන්නයි.—එස. 3:18, 19; දානි. 2:44; එළි. 14:6, 7.

අසල්වැසියන්ට ආදරෙයි

10. (අ) මතෙව් 22:39 කියන විදිහට දේශනා කරන්න අපිට තියෙන 4වෙනි හේතුව මොකක්ද? (ආ) පාවුල් සහ සීලස් ෆිලිප්පියේදී හිරගෙයි භාරකරුට උදව් කළේ කොහොමද?

10 අපි දේශනා කරන 4වෙනි හේතුව අපේ හිතේ මිනිසුන් ගැන තියෙන ආදරේ. (මතෙ. 22:39) ඒ ආදරේ නිසා අපි පෙලඹෙනවා අත් නෑර දේශනා කරන්න. මොකද අපි දන්නවා කාලෙන් කාලෙට මිනිසුන් විවිධ තත්වයන්ට මුහුණ දෙද්දී එයාලා හිතන විදිහ වෙනස් වෙනවා කියලා. මේ සිද්ධිය බලන්න. ෆිලිප්පියේදී පාවුල්ටයි, සීලස්ටයි විරුද්ධ වුණ කට්ටියක් එයාලව හිරගෙදරට දැම්මා. ඒත් රෑ 12ට විතර ඇති වුණ භූමිකම්පාවක් නිසා මුළු හිරගෙදරම හෙල්ලිලා හිරකුටිවල දොරවල් ඇරුණා. හිරකරුවන් පැනලා යන්න ඇති කියලා හිතපු හිරගෙයි භාරකරු කඩුවෙන් එයාටම ඇනගන්න හැදුවා. එතකොටම පාවුල් කිව්වා “ඔය කරන්න යන දේ නවත්වන්න” කියලා. ඊටපස්සේ එයා පාවුල්ගෙන් ඇහුවා “ගැලවීම ලබාගන්න නම් මම මොනවාද කරන්න ඕනෙ” කියලා. ‘ස්වාමීන් වන යේසුස්ව විශ්වාස කරන්න. එවිට ඔබට ගැලවීම ලැබෙයි’ කියලා පාවුල් සහ සීලස් එයාට කිව්වා.—ක්‍රියා 16:25-34.

යෙහෝවා දෙවිට, යේසුස්ට සහ මිනිසුන්ට තියෙන ආදරේ නිසා දේශනා කරන්න අපි පෙලඹෙනවා (5 සහ 10 ඡේද බලන්න)

11, 12. (අ) හිරගෙයි භාරකරුගේ සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (ආ) අපි අත් නෑර දේශනා කරන්න ඕනෙ ඇයි?

11 ඒ සිද්ධියෙන් වටිනා පාඩමක් අපිට ඉගෙනගන්න පුළුවන්. හිරගෙයි භාරකරු ගැලවීම ලබාගන්න මොනවාද කරන්න ඕනෙ කියලා ඇහුවේ භූමිකම්පාව ඇති වුණාට පස්සෙයි කියලා ඔයා දැක්කාද? ඒ වගේ සමහරු දැන් අපේ පණිවිඩය අහන්න අකමැති වුණත් ජීවිතේ වේදනාකාරී දේකට මුහුණ දුන්නාම එයාලා හිතන විදිහ වෙනස් වෙනවා. එයාලා කාගෙන් හරි පිහිටක් බලාපොරොත්තු වෙනවා. උදාහරණෙකට හිටිහැටියේ රස්සාව නැති වුණාම, දික්කසාද වෙන්න වුණාම සමහරුන්ට මොනවාද කරන්නේ කියලා හිතාගන්න බැහැ. තවත් අය තමන්ට දරුණු ලෙඩක් තියෙනවා කියලා දැනගන්න ලැබුණ නිසා නැත්නම් ආදරේ කරන කෙනෙක්ගේ මරණය නිසා ඉන්නේ ලොකු දුකකින්. එහෙම වෙලාවලදී සමහරු ජීවිතේ ගැන මීට කලින් හිතලා තිබුණේ නැති ප්‍රශ්න ගැන හිතන්න පටන්ගන්නවා. “ගැලවීම ලබාගන්න නම් මම මොනවාද කරන්න ඕනෙ” කියන ප්‍රශ්නය ගැන වුණත් හිතන්න ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවක අපි එයාලව හම්බ වෙලා බලාපොරොත්තුවක් දෙන අපේ පණිවිඩය කිව්වාම එයාලා ජීවිතේ පළවෙනි වතාවට ඒකට ඇහුම්කන් දෙන්න ඉඩ තියෙනවා.

12 ඒ වගේ අයට උදව් කරන්න අපිට පුළුවන් වෙන්නේ කලින් එයාලා මොන වගේ ප්‍රතිචාරයක් දැක්වුවත් අපි අත් නෑර දේශනා කළොත් විතරයි. (යෙසා. 61:1) අවුරුදු 38ක් පුරා පුරෝගාමි සේවය කරන ෂාලට් මෙහෙම කියනවා. “අද මිනිස්සු ඉන්නේ අතරමං වෙලා. එයාලා ශුභාරංචිය දැනගන්නම ඕනේ.” අවුරුදු 34ක් පුරෝගාමි සේවය කරන එයිවෝ මෙහෙම කියනවා. “අද හුඟදෙනෙක් ඉන්නේ මානසිකව වැටිලා. මට ඕනෙ එයාලට උදව් කරන්න. ඒකයි මං අත් නෑර දේශනා කරන්නේ.” මිනිසුන්ට තියෙන ආදරේ අත් නෑර දේශනා කරන්න හොඳ හේතුවක් නෙමෙයිද!

අත්හරින්නේ නැතුව ඉන්න උදව් වෙන තෑගි

13, 14. (අ) යොහන් 15:11 සඳහන් වෙන්නේ මොන තෑග්ග ගැනද? (ආ) යේසුස් අද්දකින සතුට අද්දකින්න නම් අපි මොනවාද කරන්න ඕනේ? (ඇ) දේශනා සේවයට සතුට උදව් වෙන්නේ කොහොමද?

13 යේසුස් මිය යන්න කලින් රාත්‍රියේදී දිගටම පල දරන්න තමන්ගේ නියෝජිතයන්ට උදව් වෙන තෑගි කීපයක් ගැනත් කතා කළා. ඒ තෑගි මොනවාද? ඒ තෑගි අද අපිට උදව් වෙන්නේ කොහොමද?

14 සතුට. දේශනා සේවය බරක් හැටියට අපිට හැඟෙන්නේ නැහැ. මිදිවැල ගැන උපමාව කිව්වාට පස්සේ යේසුස් කිව්වා ඔහු අද්දකින සතුට දේශනා කරද්දී අපිටත් අද්දකින්න පුළුවන් කියලා. (යොහන් 15:11 කියවන්න.) ඒ කොහොමද? මතකද, යේසුස් මිදිවැල ගැන උපමාව කියද්දී ඔහුව මිදිවැලටත් ඔහුගේ අනුගාමිකයන්ව අතුවලටත් සමාන කළා. අතු මිදිවැලට දිගටම සම්බන්ධ වෙලා තිබුණොත් විතරයි ඒ අතුවලට ඕනෙ කරන වතුර, පෝෂණය ලැබෙන්නේ. ඒ වගේ යේසුස් අද්දකින සතුට අපිට අද්දකින්න පුළුවන් වෙන්නේ අපි යේසුස් එක්ක එකට බැඳී හිටියොත් විතරයි. ඒක කරන්න නම් අපි ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරන්න ඕනේ. එතකොට දෙවිගේ කැමැත්ත කරද්දී අද්දකින සතුට අපිත් අද්දකියි. (යොහ. 4:34; 17:13; 1 පේතෘ. 2:21) අවුරුදු 40කටත් වැඩි කාලයක් පුරෝගාමි සේවය කරන හනෙ මෙහෙම කියනවා. “සේවයේ ගිහින් ගෙදර ගියාම දැනෙන සතුට විස්තර කරන්න වචන නෑ. දිගටම සේවය කරන්න මං ආස ඒ නිසයි.” හුඟක් අය ඇහුම්කන් දුන්නේ නැතත් දිගටම දේශනා කරන්න අපි අද්දකින සතුට අපිට ලොකු ශක්තියක් දෙයි.—මතෙ. 5:10-12.

15. (අ) යොහන් 14:27 සඳහන් වෙන්නේ මොන තෑග්ග ගැනද? (ආ) දිගටම පල දරන්න සමාදානය උදව් වෙන්නේ කොහොමද?

15 සමාදානය. (යොහන් 14:27 කියවන්න.) යේසුස් ඔහුගේ නියෝජිතයන්ට කිව්වා “මගේ සමාදානය ඔබට දෙනවා” කියලා. අත් නෑර දේශනා කරන්න ඒ සමාදානය අපිට උදව් වෙන්නේ කොහොමද? අපි අත් නෑර දේශනා කරද්දී යෙහෝවා දෙවිත් යේසුත් අපි ගැන සතුටු වෙනවා කියලා දන්න නිසා අපිට දැනෙන්නේ ලොකු සමාදානයක්. (ගීතා. 149:4; රෝම 5:3, 4; කොලො. 3:15) උල්ෆ් අවුරුදු 45ක් පුරා පුරෝගාමි සේවය කරන කෙනෙක්. එයා මෙහෙම කියනවා. “සේවේ යද්දී මට මහන්සියි. ඒත් ලොකු තෘප්තියක්, ජීවිතේට අර්ථයක් ලැබිලා තියෙන්නේ සේවේ නිසයි.” කවදාවත් නැති වෙන්නේ නැති සමාදානය අද්දකින්න ලැබෙන එක කොයි තරම් දෙයක්ද!

16. (අ) යොහන් 15:15 සඳහන් වෙන විදිහට දෙවි දීලා තියෙන තවත් තෑග්ගක් මොකක්ද? (ආ) දිගටම යේසුස්ගේ යාළුවන් හැටියට ඉන්න නියෝජිතයන් කරන්න ඕනෙ වුණේ මොකක්ද?

16 මිත්‍රත්වය. නියෝජිතයන් සතුටින් ඉන්නවා දකින්නයි යේසුස් කැමති කියලා කිව්වාට පස්සේ අනිත් අයට ආදරේ කරන එකේ වැදගත්කම ගැන ඔහු එයාලට පැහැදිලි කළා. (යොහ. 15:11-13) යේසුස් එයාලට කිව්වා “මම ඔබව සලකන්නේ මගේ මිත්‍රයන් ලෙසයි” කියලා. යේසුස්ගේ මිත්‍රයෙක් වෙන්න ලැබෙන එක මොන තරම් වටිනා තෑග්ගක්ද! ඒත් දිගටම යේසුස්ගේ මිත්‍රයන් වෙලා ඉන්න නම් නියෝජිතයන් කරන්න ඕනෙ වුණේ මොකක්ද? එයාලා ‘දිගින් දිගටම පල දරන්න’ ඕනෙ කියලා යේසුස් කිව්වා. ඒ කියන්නේ එයාලා අත් නෑර දේශනා කරන්න ඕනෙ කියලයි. (යොහන් 15:14-16 කියවන්න.) ඊට අවුරුදු දෙකකට කලින් යේසුස් එයාලට මෙහෙමත් කියලා තිබුණා. “‘ස්වර්ග රාජ්‍යය ළං වී ඇත’ කියා දේශනා කරන්න.” (මතෙ. 10:7) ඒ නිසයි යේසුස් මිය යන්න කලින් රාත්‍රියේදී ඔහුගේ අනුගාමිකයන්ව දිරිගන්වලා එයාලට භාර දීපු ඒ කාර්යය අත්හරින්න එපා කියලා කිව්වේ. (මතෙ. 24:13; මාක් 3:14) අභියෝගවලට මුහුණ දෙන්න වුණත් ඒ කාර්යය සාර්ථකව කරලා හැමදාටම යේසුස්ගේ මිතුරන් හැටියට ඉන්න එයාලට පුළුවන් කියලා ඔහු දැනන් හිටියා. ඒකට එයාලට උදව් වුණ තවත් තෑග්ගක් තිබුණා. ඒ මොකක්ද?

17, 18. (අ) යොහන් 15:16 සඳහන් වෙන්නේ මොන තෑග්ග ගැනද? (ආ) යේසුස්ගේ අනුගාමිකයන්ට ඒ තෑග්ග උදව් වුණේ කොහොමද? (ඇ) අද අපිට උදව් වෙන තෑගි මොනවාද?

17 යාච්ඤාවලට පිළිතුරු ලැබෙනවා. “මගේ නාමයෙන් ඔබ පියාණන්ගෙන් ඉල්ලන ඕනෑම දෙයක් ඔහු ඔබට ලබා දෙයි” කියලා යේසුස් කිව්වා. (යොහ. 15:16) යේසුස් දුන්න ඒ පොරොන්දුව නියෝජිතයන්ට ලොකු ශක්තියක් වුණා. * යේසුස් පොළොවේ ගත කරපු ජීවිතේ අවසන් වෙන්න ළං වෙලයි තිබුණේ. ඒත් ඔහු මිය ගියාම කාගෙන්වත් උදව් නැතුව නියෝජිතයන් අසරණ තත්වයකට පත් වෙන්නේ නැහැ. එයාලගේ යාච්ඤාවලට සවන් දීලා දේශනා සේවය දිගටම කරගෙන යන්න දෙවි එයාලට උදව් කරන්න සූදානමින් හිටියා. යේසුස් මිය ගිහින් වැඩි දවසක් යන්න කලින් නියෝජිතයන් දෙවිගෙන් ඉල්ලුවා එයාලට ධෛර්යය දෙන්න කියලා. දෙවි එයාලගේ යාච්ඤාවලට පිළිතුරු දුන්නා.—ක්‍රියා 4:29, 31.

අපි කරන යාච්ඤාවලට දෙවි පිළිතුරු දෙනවා (18 ඡේදය බලන්න)

18 අදත් අපි ඒ දේම අද්දකිනවා. අපි අත් නෑර දේශනා කරද්දී දිගටම යේසුස්ගේ මිත්‍රයන් හැටියට ඉන්න අපිටත් පුළුවන්. දේශනා සේවයේ එන අභියෝග ජය ගන්න දෙවිගෙන් උදව් ඉල්ලද්දී දෙවි අපිට උදව් කරනවා කියලා විශ්වාසයෙන් ඉන්නත් අපිට පුළුවන්. (ෆිලි. 4:13) අපේ යාච්ඤාවලට යෙහෝවා දෙවි උත්තර දෙන එක ගැනත් අපේ මිත්‍රයා හැටියට යේසුස් ඉන්න එක ගැනත් අපිට තියෙන්නේ ලොකු අගයක්. දෙවිගෙන් ලැබෙන ඒ තෑගි නිසා දිගටම පල දරන්න අපිට පුළුවන්.—යාකො. 1:17.

19. (අ) අපි අත් නෑර දේශනා කරන්නේ ඇයි? (ආ) දෙවි භාර දීපු කාර්යය සම්පූර්ණ කරන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

19 අත් නෑර දේශනා කරන්න අපිට තියෙන හේතු 4ක් ගැන අපි මේ ලිපියෙන් බැලුවා. ඒවා නම් (1) යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන්නත් ඔහුගේ නමට ඇති වෙලා තියෙන කැළැල අයින් කරන්න දායක වෙන්නත් අපිට ලැබිලා තියෙන අවස්ථාව. (2) යෙහෝවා දෙවිට සහ යේසුස්ට අපේ හිතේ තියෙන ආදරේ. (3) මිනිසුන්ට අනතුරු අඟවන්න. (4) මිනිසුන් ගැන අපේ හිතේ තියෙන ආදරේ. ඒ වගේම අපිට ලැබිලා තියෙන තෑගි 4ක් ගැනත් අපි බැලුවා. ඒවා තමයි සතුට, සමාදානය, මිත්‍රත්වය සහ අපේ යාච්ඤාවලට පිළිතුරු ලැබෙන එක. දෙවි අපිට භාර දීලා තියෙන දේශනා කිරීමේ කාර්යය සම්පූර්ණ කරන්න ඒ තෑගි අපිට ලොකු දිරියක්. “දිගටම බොහෝ පල දරන්න” අපි අපේ උපරිමය කරනවා නම් යෙහෝවා දෙවි අපි ගැන හුඟක් සතුටු වෙනවා.

^ 17 ඡේ. නියෝජිතයන් එක්ක කතා කරපු අවස්ථාවේදී යේසුස් කීප වතාවක්ම කිව්වා යෙහෝවා දෙවි එයාලගේ යාච්ඤාවලට උත්තර දෙනවා කියලා.—යොහ. 14:13; 15:7, 16; 16:23.