Skip to content

පටුනට යන්න

සතුරාව හඳුනගන්න

සතුරාව හඳුනගන්න

“[සාතන්] කොතරම් කපටි අන්දමින් ක්‍රියා කරනවාද කියා අපි හොඳින් දැන සිටිමු.”—2 කොරි. 2:11.

ගීතිකා: 150, 32

1. ඒදන් උයනේදී යෙහෝවා දෙවි අපේ සතුරා ගැන එළිදරව් කළේ මොනවාද?

ආදම් හොඳටම දැනගෙන හිටියා සර්පයන්ට කතා කරන්න බැහැ කියලා. ඒ නිසා සර්පයෙක් ඒවට කතා කළා කියලා දැනගත්තාම ඒ නම් කතා කරන්න ඇත්තේ දේවදූතයෙක් කියලා ආදම් තේරුම්ගන්න ඇති. (උත්. 3:1-6) ඒ දේවදූතයා ගැන කිසිම දෙයක් ආදම්වත් ඒවවත් දැනගෙන හිටියේ නැහැ. ඒත් ආදම් අඳුරන්නේ නැති ඒ කෙනාගේ පැත්ත අරන් තමන්ගේ ආදරණීය තාත්තාට විරුද්ධ වෙන්න තීරණය කළා. (1 තිමෝ. 2:14) ඒ අවස්ථාවෙම යෙහෝවා දෙවි නාඳුනන ඒ සතුරා ගැන යම් තොරතුරු එළිදරව් කළා. අවසානයේදී ඒ සතුරාව විනාශ කරනවා කියලත් ඒ වෙන කල් එයා දෙවිට ආදරේ කරන අයට විරුද්ධව වැඩ කරනවා කියලත් දෙවි කිව්වා.—උත්. 3:15.

2, 3. දෙවි ගැලවුම්කරු එන කල් සාතන් ගැන වැඩිය තොරතුරු එළිදරව් කළේ නැත්තේ ඇයි?

2 දෙවිට විරුද්ධව වැඩ කරපු දේවදූතයාගේ නම දෙවි අපිට එළිදරව් කරලා නැහැ. * එයාව විස්තර කරන්න පාවිච්චි කරන “සාතන්” කියන නම වුණත් දෙවි සඳහන් කළේ ආදම් සහ ඒව දෙවිට අකීකරු වෙලා අවුරුදු 2,500කට පස්සෙයි. (යෝබ් 1:6) “සාතන්” කියන වචනේ තේරුම “විරුද්ධකාරයා” කියන එකයි. හෙබ්‍රෙව් ලියවිලිවල ඒ වචනේ සඳහන් වෙන්නේ 1 ලේකම්, යෝබ් සහ සෙකරියා කියන පොත් තුනේ විතරයි. ගැලවුම්කරු එන්න කලින් අපේ සතුරා ගැන අඩුවෙන් කතා කරලා තියෙන්නේ ඇයි?

3 සාතන් ගැනවත් එයා කරන දේවල් ගැනවත් ගොඩක් විස්තර හෙබ්‍රෙව් ලියවිල්ලේ නැහැ. මොකද හෙබ්‍රෙව් ලියවිල්ලේ අරමුණ වුණේ ගැලවුම්කරුව හඳුනගෙන ඔහු වෙතට යන්න මිනිසුන්ට උදව් කරන එකයි. (ලූක් 24:44; ගලා. 3:24) ඒත් ගැලවුම්කරු ආවාට පස්සේ දෙවි ඔහු මාර්ගයෙනුත් ඔහුගේ අනුගාමිකයන් මාර්ගයෙනුත් සාතන් සහ ඔහුගේ පැත්ත ගත්ත දේවදූතයන් ගැන දැනගන්න අවශ්‍ය තොරතුරු අපිට එළිදරව් කළා. * ඒ තොරතුරු එළිදරව් කරන්න සුදුසුම අය එයාලයි. මොකද දෙවි සාතන්වත් භූතයන්වත් විනාශ කරන්නේ යේසුස් සහ අභිෂේක ලත් අය මාර්ගයෙන්.—රෝම 16:20; එළි. 17:14; 20:10.

4. අපි සාතන්ට බය වෙන්න ඕනෙ නැත්තේ ඇයි?

4 පේතෘස් සාතන්ව “ගොරවන සිංහයෙකුට” සමාන කරලා තියෙනවා. (1 පේතෘ. 5:8) යොහන් සාතන්ව “සර්පයා” කියලත් “මකරා” කියලත් හඳුන්වනවා. (එළි. 12:9) ඒත් අපි සාතන්ට බය වෙන්න ඕනෙ නැහැ. මොකද එයාට කරන්න පුළුවන් දේවලට සීමාවක් තියෙනවා. (යාකොබ් 4:7 කියවන්න.) අනික අපිට යෙහෝවා දෙවිගේ, යේසුස්ගේ සහ විශ්වාසවන්ත දේවදූතයන්ගේ රැකවරණය තියෙනවා. එයාලගේ උදව්වෙන් සාතන්ට විරුද්ධ වෙන්න අපිට පුළුවන්. ඒත් අපි වැදගත් ප්‍රශ්න 3කට උත්තර දැනගන්න ඕනේ. (1) සාතන්ට කොයි තරම් බලයක් තියෙනවාද? (2) සාතන් අනිත් අයව අල්ලගන්නේ කොහොමද? (3) සාතන්ට කරන්න බැරි දේවල් මොනවාද? ඒ ප්‍රශ්නවලට උත්තර බලද්දී අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් ගැනත් බලමු.

සාතන්ට කොයි තරම් බලයක් තියෙනවාද?

5, 6. මිනිසුන්ට විසඳුම් ඕනෙම කරලා තියෙන ප්‍රශ්න විසඳන්න මනුෂ්‍ය ආණ්ඩුවලට බැරි ඇයි?

5 දේවදූතයන් සෑහෙන පිරිසක් සාතන්ගේ පැත්ත ගත්තා. ජලගැල්මට කලින් පොළොවේ හිටපු ස්ත්‍රීන් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන්න සාතන් ඒ සමහර දේවදූතයන්ව පෙලඹුවා. සාතන් දේවදූතයන්ව එයාගේ පැත්තට ගත්ත සිද්ධිය බයිබලේ සංකේතාත්මකව විස්තර කරලා තියෙනවා. එතන කියන්නේ මකරා ස්වර්ගයේ පිහිටි තාරකාවලින් තුනෙන් කොටසක් ඇදලා ගත්තා කියලයි. (උත්. 6:1-4; යූද් 6; එළි. 12:3, 4) ස්වර්ගයේ හිටපු දෙවිගේ පවුල අත්හැරිය ඒ දේවදූතයන් කළේ දෙවිව ප්‍රතික්ෂේප කරලා සාතන්ගේ පාලනයට යටත් වුණ එකයි. සාතන් සහ එයා යටතේ ඉන්න භූත සේනාව කිසි සැලැස්මක් නැතුව, ආවාට ගියාට දේවල් කරන කට්ටියක් කියලා හිතන්න එපා. මොකද සාතන් දේවරාජ්‍යයට සමානව එයාටම කියලා රාජ්‍යයක් පිහිටුවලා භූතයන්ව සංවිධානය කරලා තියෙනවා. ඒ රාජ්‍යයේ රජ සාතන්. එයා භූතයන්ට බලතල දීලා, එයාලව මේ ලෝකේ පාලකයන් කරලා තියෙනවා.—එෆී. 6:12.

6 සාතන් එයාගේ ඒ සංවිධානය මාර්ගයෙන් හැම මනුෂ්‍ය ආණ්ඩුවකටම බලපෑම් කරනවා. ඒ ගැන අපිට කිසිම සැකයක් නැහැ. මොකද “ලොව පුරා පිහිටුවා ඇති සියලු රාජ්‍යයන්” යේසුස්ට පෙන්නලා සාතන් කිව්වේ මෙහෙමයි. “මේ සෑම දෙයක්ම තිබෙන්නේ මගේ බලය යටතේයි. එහි ගෞරවයත් තේජසත් හිමි වී තිබෙන්නේ මටයි. මා කැමති කෙනෙකුට ඒවා දෙන්න මට පුළුවන්.” (ලූක් 4:5, 6) සාතන්ගේ බලපෑම යටතේ තිබුණත් හුඟක් ආණ්ඩු මිනිසුන් වෙනුවෙන් යහපත් දේවල් කරනවා. ඒත් මිනිසුන්ට විසඳුම් ඕනෙම කරලා තියෙන ප්‍රශ්න විසඳන්න කිසිම මනුෂ්‍ය පාලකයෙක්ට බැහැ.—ගීතා. 146:3, 4; එළි. 12:12.

7. දෙවි ගැන අසත්‍ය උගන්වන ආගම් සහ ව්‍යාපාර ලෝකය සාතන් එයාගේ වාසියට යොදාගන්නේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

7 සාතන් සහ භූතයන් “මුළු පොළොවම නොමඟ යවන්න” යොදාගන්න තවත් දේවල් තමයි දෙවි ගැන අසත්‍ය උගන්වන ආගම් සහ ව්‍යාපාර ලෝකය. (එළි. 12:9) යෙහෝවා දෙවි ගැන බොරු පතුරුවන්නත් දෙවිගේ නම මිනිසුන්ගෙන් වසං කරන්නත් සාතන් ආගම් පාවිච්චි කරනවා. (යෙරෙ. 23:26, 27) ඒ බොරුවලට අහු වුණ හුඟදෙනෙක් හිතන් ඉන්නේ තමන් දෙවිට නමස්කාර කරනවා කියලයි. ඒත් එයාලා ඇත්තටම නමස්කාර කරන්නේ භූතයන්ට. (1 කොරි. 10:20; 2 කොරි. 11:13-15) සාතන් බොරු අදහස් පතුරුවන්න ව්‍යාපාර ලෝකෙත් යොදාගන්නවා. සැබෑ සතුට ලැබෙන්නේ හුඟක් සල්ලි, බඩු මුට්ටු තිබුණොත් විතරයි කියන අදහසට රැවටුණ කීදෙනෙක් නම් අද ඉන්නවාද! (හිතෝ. 18:11) ඒ අය ජීවිත කැප කරන්නේ දෙවිට නෙමෙයි සල්ලිවලට. (මතෙ. 6:24) දෙවි ගැන පොඩි හරි ආදරයක් කෙනෙක්ගේ හිතේ තිබුණත් සල්ලිවලට තියෙන ආසාවට පුළුවන් ඒ ආදරේ යටපත් කරලා දාන්න.—මතෙ. 13:22; 1 යොහ. 2:15, 16.

8, 9. (අ) ආදම් සහ ඒවගෙන්, කැරලිගහපු දේවදූතයන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් 2 මොනවාද? (ආ) ලෝකේ පාලනය කරන්නේ සාතන් කියලා දැනගෙන ඉන්න එක අපිට උදව් වෙන්නේ කොහොමද?

8 ආදම් සහ ඒවගෙන්, කැරලිගහපු දේවදූතයන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් දෙකක් තියෙනවා. (1) අපිට තියෙන්නේ තේරීම් දෙකයි. එක්කෝ අපි යෙහෝවා දෙවිගේ පැත්තේ නැත්නම් සාතන්ගේ පැත්තේ. (මතෙ. 7:13) (2) සාතන්ගේ පැත්ත ගන්න අයට ලැබෙන වාසි තාවකාලිකයි. ආදම් සහ ඒවට එයාලට ඕන කරපු විදිහට හරි මොකක්ද වැරදි මොකක්ද කියලා තීරණය කරන්න අවස්ථාව ලැබුණා. භූතයන්ට මනුෂ්‍ය ආණ්ඩු පාලනය කරන්න යම් බලතල ලැබුණා. (උත්. 3:22) ඒත් සාතන්ගේ පැත්ත ගන්න අයට අන්තිමේදී ලැබෙන දෙයක් නැහැ.—යෝබ් 21:7-17; ගලා. 6:7, 8.

9 ලෝකේ පාලනය කරන්නේ සාතන් කියලා අපි දන්න නිසා ආණ්ඩු ගැන අපි කලකිරෙන්නේවත් ඒවා ගැන ඕනෑවට වඩා විශ්වාසය තියලා වැඩ කරන්නේවත් නැහැ. ඒ වෙනුවට අපි අපේ ප්‍රශ්නවලට විසඳුමක් ගේන්න පුළුවන් දේවරාජ්‍යය ගැන ශුභාරංචිය මිනිසුන්ට කියනවා. අපි දන්නවා ආණ්ඩුවල නිලධාරීන්ට අපි ගෞරවයෙන් සලකයි කියලා දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා කියලා. (1 පේතෘ. 2:17) දෙවිගේ නීති එක්ක ගැටෙන්නේ නැති තාක් කල් ආණ්ඩුවලින් දාලා තියෙන නීතිවලට අපි කීකරු වෙයි කියලත් දෙවි බලාපොරොත්තු වෙනවා. (රෝම 13:1-4) දේශපාලන කාරණාවලදී අපි පැති නොගෙන ඉන්න ඕනෙ කියලත් අපි දන්නවා. එක පක්ෂයකට, එක නායකයෙක්ට අදින එක වැරදියි. (යොහ. 17:15, 16; 18:36) සාතන්ට ඕනෙ දෙවිගේ නමට මඩ ගහන්නයි. ඒක දන්න නිසා අපි පුළුවන් උපරිමයෙන් මිනිසුන්ට දෙවි ගැන සත්‍යය කියලා දෙනවා. දෙවිගේ නම දරන්න ලැබිලා තියෙන එක, ඒ ගැන අනිත් අයට කියන්න ලැබිලා තියෙන එක අපිට ලොකු ආඩම්බරයක්. සල්ලිවලටවත් සල්ලිවලින් ගන්න පුළුවන් දේවලටවත් වඩා අපිට වටින්නේ දෙවිට ආදරේ කරන්න ලැබිලා තියෙන අවස්ථාවයි.—යෙසා. 43:10; 1 තිමෝ. 6:6-10.

සාතන් අනිත් අයව අල්ලගන්නේ කොහොමද?

10-12. (අ) සාතන් දේවදූතයන්ව අල්ලගත්තේ කොහොමද? (ආ) සාතන්ගේ ඇමට අහු වුණ දේවදූතයන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද?

10 අනිත් අයව එයාගේ පාලනය යටතට ගන්න සාතන් ක්‍රම 2ක් පාවිච්චි කරනවා. එකක් තමයි විවිධ ඇම පාවිච්චි කරලා වැරදි දෙයක් කරන්න කෙනෙක්ව පොලඹවන එක. අනිත් එක තමයි බය ගන්වලා එයාට ඕනෙ දේ කරගන්න හදන එක.

11 දේවදූතයන්ව රවට්ටගන්න සාතන් පාවිච්චි කරන්න ඇත්තේ මොන වගේ ඇමද? එයාලව අල්ලගන්න පුළුවන් හොඳම විදිහ මොකක්ද කියලා තේරුම්ගන්න සාතන් සෑහෙන කාලයක් එයාලව හොඳට නිරීක්ෂණය කරන්න ඇති. ඊටපස්සේ එයා අනාචාරය කියන ඇම පාවිච්චි කළා. සමහර දේවදූතයන් සාතන්ගේ ඒ ඇමට අහු වෙලා ස්ත්‍රීන් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. එයාලගෙන් බිහි වුණ යෝධ දරුවන් මිනිසුන්ට සැලකුවේ හරිම කෲර විදිහට. (උත්. 6:1-4) ඒ ඇමට අමතරව මිනිසුන්ව පාලනය කරන්න එයාලට අවස්ථාව දෙන්නම් කියලත් සාතන් භූතයන්ට පොරොන්දු වෙන්න ඇති. සාතන්ට ඕනෙ වුණේ ඒ දේවල් කරලා ‘ස්ත්‍රියගෙන් පැවත එන තැනැත්තා’ එන එක වළක්වන්නයි. (උත්. 3:15) ඒත් යෙහෝවා දෙවි ඒකට ඉඩ දුන්නේ නැහැ. දෙවි ජලගැල්මක් ගෙනල්ලා ඒ සැලසුම නැති කරලා දැම්මා.

අනාචාරය, උඩඟුකම සහ අද්භූත දේවල් සාතන් ඇම හැටියට යොදාගන්නවා (12 සහ 13 ඡේද බලන්න)

12 අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? අනාචාරය සහ උඩඟුකම කියන්නේ සාතන් පාවිච්චි කරන ප්‍රබලම ඇම 2ක්. සාතන්ට එකතු වුණ දේවදූතයන් අවුරුදු ගාණක් තිස්සේ දෙවි එක්ක හිටපු අය. ඒ වුණත් ඒ අය වැරදි ආශාවන් එයාලා තුළ වර්ධනය වෙන්න ඉඩ දුන්නා. අන්තිමේදී ඒ ආශාවන් එයාලව පාලනය කරන්න පටන්ගත්තා. අපිත් අවුරුදු ගාණක් තිස්සේ දෙවිට නමස්කාර කරන අය වුණත් අපේ හිතෙත් වැරදි ආශාවන් මුල් අදින්න ඉඩ තියෙනවා. (1 කොරි. 10:12) ඒ නිසා අපේ හිතේ තියෙන්නේ මොනවාද කියලා නිතරම සෝදිසි කරලා අනාචාරයට මඟ පාදන සිතුවිලි, උඩඟු හැඟීම් අපේ හිතේ තියෙනවා කියලා තේරුණොත් අපි ඉක්මනින්ම ඒවා ඉවත් කරගන්න ඕනේ.—ගලා. 5:26; කොලොස්සි 3:5 කියවන්න.

13. සාතන් යොදාගන්න තවත් ඇමක් මොකක්ද? ඒකට අහු වෙන්නේ නැතුව ඉන්න අපිට පුළුවන් කොහොමද?

13 සාතන් පාවිච්චි කරන තවත් ඇමක් තමයි අද්භූත දේවල් ගැන මිනිසුන්ගේ හිතේ කුතුහලයක් ඇති කරන එක. දෙවි ගැන අසත්‍ය උගන්වන ආගම් සහ විනෝදය පාවිච්චි කරලා සාතන් මිනිසුන්ගේ හිත්වල භූතයන් ගැන උනන්දුවක් ඇති කරනවා. චිත්‍රපටි, වීඩියෝ ගේම්ස්, විනෝදයට කරන වෙනත් හුඟක් දේවල් හදලා තියෙන්නේ අද්භූත දේවලට හිත ඇදිලා යන විදිහට. ඒ ඇමට අහු නොවී ඉන්න පුළුවන් කොහොමද? විනෝදයට කරන්න සුදුසු, නුසුදුසු දේවල ලැයිස්තුවක් දෙවිගේ සංවිධානයෙන් අපිට දෙයි කියලා හිතන්න එපා. දෙවිගේ ප්‍රතිපත්ති ගැන හිතලා හරි තීරණ ගන්න පුළුවන් වෙන විදිහට අපි අපේ හෘදය සාක්ෂිය පුහුණු කරගන්න ඕනේ. (හෙබ්‍රෙ. 5:14) දෙවි ගැන “කුහකකමින් තොර” ආදරයක් තියෙන එකත් ඒ ඇමට අහු නොවී ඉන්න උදව්වක්. (රෝම 12:9) කුහක අය එකක් කියලා කරන්නේ වෙනම දෙයක්. ඒ නිසා අපි විනෝදයට දේවල් තෝරගද්දී අපි ගැනම මෙහෙම හිතමු. ‘මං අනිත් අයට බයිබලේ තියෙන ප්‍රතිපත්ති ගැන කියලා දුන්නාට මං ඒවා අදාළ කරගන්නවාද? මගේ බයිබල් පාඩම්, මං නැවත බලන්න යන අය මං විනෝදයට තෝරගන්න දේවල් දැක්කොත් මං ගැන මොනවා හිතයිද?’ අපි අනිත් අයට අදාළ කරගන්න උනන්දු කරන බයිබල් ප්‍රතිපත්ති අපිත් අදාළ කරගන්නවා නම් සාතන්ගේ ඇමට අහු නොවී ඉන්න අපිට පුළුවන්.—1 යොහ. 3:18.

සාතන් අපිව බය ගන්වන්න ආණ්ඩු දාන තහංචි, ඉස්කෝලේ ළමයින්ගෙන් එන පීඩනය, පවුලේ අයගෙන් එන පීඩනය පාවිච්චි කරනවා (14 ඡේදය බලන්න)

14. සාතන් අපිව බය ගන්වන්න හදන්නේ කොහොමද? බය නොවී ඉන්න අපිට පුළුවන් කොහොමද?

14 සාතන් අපිව බය ගන්වලත් අල්ලගන්න උත්සාහ කරනවා. උදාහරණෙකට සාතන් ආණ්ඩු මාර්ගයෙන් දේශනා සේවයට තහංචි දායි. අපි බයිබල් ප්‍රමිති රකිද්දී රැකියා ස්ථානයේ, ඉස්කෝලේ ඉන්න අය ලවා අපිට සමච්චල් කරයි. (1 පේතෘ. 4:4) දෙවිට නමස්කාර කරන්නේ නැති පවුලේ අය යොදාගෙන අපි රැස්වීම්වලට යන එක නවත්තන්න හදයි. (මතෙ. 10:36) සාතන්ට බය නොවී ඉන්න අපිට පුළුවන් කොහොමද? සාතන් අපිව බය ගන්වන්න හදන එක ගැන අපි පුදුම වෙන්න හොඳ නැහැ. මොකද සාතන් අපි එක්ක කරන්නේ යුද්ධයක් කියලා අපි දන්නවා. (එළි. 2:10; 12:17) සාතන් කරපු චෝදනාවත් අපි මතක තියාගන්න ඕනේ. එයා දෙවිට කිව්වේ මිනිසුන් දෙවිට නමස්කාර කරන්නේ දේවල් පහසුවෙන් කරන්න පුළුවන්කම තියෙද්දී විතරයි කියලා. ප්‍රශ්න ගැටලු එද්දී අපි දෙවිව අත්හරිනවා කියලත් එයා කිව්වා. (යෝබ් 1:9-11; 2:4, 5) සාතන්ට බය නොවී ඉන්න දෙවිගෙන් ශක්තිය ඉල්ලන්නත් අපිට පුළුවන්. යෙහෝවා දෙවි අපිව කවදාවත් තනි කරන්නේ නැහැ.—හෙබ්‍රෙ. 13:5.

සාතන්ට කරන්න බැරි මොනවාද?

15. අපි අකමැති දෙයක් බලෙන් අපි ලවා කරවන්න සාතන්ට පුළුවන්ද? පැහැදිලි කරන්න.

15 අපි අකමැති දෙයක් අපි ලවා බලෙන් කරවන්න සාතන්ට බැහැ. (යාකො. 1:14) හුඟක් අය දන්නේ නැහැ එයාලා ඉන්නේ සාතන්ගේ පැත්තේ කියලා. ඒත් කෙනෙක් සත්‍යය දැනගත්තාම එයා තීරණයක් ගන්න ඕනෙ එයා තෝරගන්නේ යෙහෝවා දෙවිගේ පැත්තද සාතන්ගේ පැත්තද කියලා. (ක්‍රියා 3:17; 17:30) දෙවිගේ පැත්තේ ඉන්න අපි අදිටන් කරගෙන ඉන්නවා නම් අපේ විශ්වාසවන්තකම බිඳින්න සාතන්ට බැහැ.—යෝබ් 2:3; 27:5.

16, 17. (අ) සාතන්ට සහ භූතයන්ට කරන්න බැරි තවත් දේවල් මොනවාද? (ආ) හඬ නඟා යාච්ඤා කරන්න අපි බය වෙන්න ඕනෙ නැත්තේ ඇයි?

16 සාතන්ට සහ භූතයන්ට කරන්න බැරි තවත් දේවල් තියෙනවා. උදාහරණෙකට අපේ හැඟීම්, සිතුවිලි දැනගන්න සාතන්ටවත් භූතයන්ටවත් බැහැ. ඒක කරන්න පුළුවන් යෙහෝවා දෙවිටයි, යේසුස්ටයි විතරයි. (1 සාමු. 16:7; මාක් 2:8) එතකොට අපි කතා කරන, හඬ නඟලා යාච්ඤා කරන දේවල් ගැන මොනවාද කියන්න පුළුවන්? සාතන් සහ භූතයන් ඒවා අහලා ඒවා අපිට විරුද්ධව පාවිච්චි කරයි කියලා අපි බය වෙන්න ඕනෙද? නැහැ. මේ ගැන හිතන්න. ඔයා දෙවි වෙනුවෙන් කරන යහපත් දේවල් සාතන් දකිනවා ඇති කියලා ඔයා දන්නවා. ඒත් ඔයා බය නැතුව ඒ දේවල් දිගටම කරනවා. එහෙමනම් ඔයා කියන දේවල් සාතන්ට ඇහෙයි කියලා හිතලා හඬ නඟලා යාච්ඤා කරන්න බය වෙන්න ඕනෙත් නැහැ. දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් හුඟදෙනෙක් හඬ නඟලා කරපු යාච්ඤා බයිබලේ වාර්තා වෙනවා. එයාලා කියන දේවල් සාතන්ට ඇහෙයි කියලා එයාලා බය වුණා කියලා බයිබලේ සඳහන් වෙන්නේ නැහැ. (1 රාජා. 8:22, 23; යොහ. 11:41, 42; ක්‍රියා 4:23, 24) දෙවි කැමති විදිහට ජීවත් වෙන්න අපි උපරිමය කරනවා නම් සදහටම අපිට හානියක් වෙන විදිහේ දෙයක් කරන්න දෙවි සාතන්ට ඉඩ දෙන්නේ නැහැ කියලා අපිට විශ්වාසයි.—ගීතාවලිය 34:7 කියවන්න.

17 අපි අපේ සතුරාව හඳුනගන්න ඕනේ. ඒත් අපි එයාට බය වෙන්න ඕනෙ නැහැ. යෙහෝවා දෙවිගේ උදව්වෙන් සාතන්ව පරාජය කරන්න අපිට පුළුවන්. (1 යොහ. 2:14) අපි සාතන්ට විරුද්ධව ඉන්නවා නම් ඔහු අපෙන් ඉවත්ව යනවා. (යාකො. 4:7; 1 පේතෘ. 5:9) අද කාලේ සාතන්ගේ විශේෂ ඉලක්කයක් වෙලා තියෙන්නේ යෞවන අය. සාතන්ට විරුද්ධව ඉන්න එයාලට පුළුවන් කොහොමද කියලා අපි ඊළඟ ලිපියෙන් බලමු.

^ 2 ඡේ. දේවදූතයන්ටත් නම් තිබුණා කියලා බයිබලේ සඳහන් වාර්තාවලින් පැහැදිලියි. (විනි. 13:18; දානි. 8:16; ලූක් 1:19; එළි. 12:7) යෙහෝවා දෙවි හැම තරුවකටම නමක් දාලා තියෙනවා කියලත් බයිබලේ කියනවා. (ගීතා. 147:4) එහෙමනම් සාතන් බවට පත් වුණ දේවදූතයා ඇතුළුව අනිත් හැම දේවදූතයෙක්ටම දෙවි නමක් දීලා තියෙන්න ඇති කියලා හිතන්න පුළුවන්.

^ 3 ඡේ. මුල් හෙබ්‍රෙව් ලියවිල්ලේ “සාතන්” කියලා සඳහන් වෙන්නේ 18 වතාවක් විතරයි. ඒත් මුල් ග්‍රීක ලියවිල්ලේ ඒ නම 30 වතාවකට වැඩිය සඳහන් වෙනවා.