Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි සහ යේසුස් වගේ අපිත් එකට බැඳී ඉමු

යෙහෝවා දෙවි සහ යේසුස් වගේ අපිත් එකට බැඳී ඉමු

‘පියාණෙනි, මම ඔබට කන්නලව් කරන්නේ ඔබ මා සමඟ එකට බැඳී සිටින්නා සේ ඔවුන් සියලුදෙනා අතරත් එකඟතාවක් ඇති කරන්න කියලයි.’—යොහ. 17:20, 21.

ගීතිකා: 24, 99

1, 2. (අ) නියෝජිතයන් එක්ක කරපු අන්තිම යාච්ඤාවේදී යේසුස් දෙවිගෙන් ඉල්ලුව එක දෙයක් මොකක්ද? (ආ) එක්සත්කම ගැන යේසුස් විශේෂයෙන් සඳහන් කරන්න ඇත්තේ ඇයි?

යේසුස් නියෝජිතයන් එක්ක අන්තිම වතාවට කෑම ගත්ත වෙලාවේ අනුගාමිකයන් අතරේ තියෙන එක්සත්කම ගැන ඔහු හිතුවා. ඔහු ඒ වෙලාවේ කරපු යාච්ඤාවෙනුත් ඒක තේරෙනවා. ඔහු සහ පියාණන් අතරේ තියෙන එක්සත්කම අනුගාමිකයන් අතරෙත් ඇති කරන්න කියලා යේසුස් ඉල්ලුවා. (යොහන් 17:20, 21 කියවන්න.) එයාලා අතරේ එක්සත්කම තියෙනවා නම් යේසුස්ව එව්වේ යෙහෝවා දෙවි කියන්න ඒක ප්‍රබල සාක්ෂියක්. යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ව හඳුනගන්න ලකුණ එයාලා අතරේ තියෙන ප්‍රේමය කියලා යේසුස් කියලා තිබුණා. එක්සත්කම වැඩි කරන්නේ ඒ ප්‍රේමයයි.—යොහ. 13:34, 35.

2 නියෝජිතයන් එක්ක එක්සත්කම ගැන එදා රෑ යේසුස් කතා කළේ එයාලා අතරේ තිබුණ එක්සත්කම මදි කියලා ඔහුට තේරුණ නිසයි. කලින් වතාවලදී වගේ ඒ වෙලාවේදීත් එයාලා ‘තමන් අතරේ උතුම් තැනැත්තා කවුද’ කියලා වාද කළා. (ලූක් 22:24-27; මාක් 9:33, 34) දේවරාජ්‍යයේ වැදගත් තනතුරු තමන්ට දෙන්න කියලා යාකොබ් සහ යොහන් යේසුස්ගෙන් ඉල්ලලා තිබුණා.—මාක් 10:35-40.

3. නියෝජිතයන් අතරේ බෙදීම් ඇති වෙන්න හේතු වෙන්න ඇත්තේ මොනවාද? අපි බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

3 නියෝජිතයන්ට එක්සත්ව ඉන්න බාධාවක් වුණේ බලතල ලබාගන්න තිබුණ ආසාව විතරක් නෙමෙයි. එදා සමාජයේ තිබුණ අදහසුත් එයාලට බලපෑවා. උස් පහත් භේද නිසා, අනිත් ජාතීන් ගැන තිබුණ වෛරය නිසා සමාජය බෙදිලයි තිබුණේ. ඒත් යේසුස්ගේ අනුගාමිකයන් ඒ වගේ අදහස්, හැඟීම් සම්පූර්ණයෙන්ම අයින් කරගන්න ඕනේ. අපි මේ ප්‍රශ්නවලට උත්තර බලමු. උස් පහත් භේදය වැරදියි කියලා යේසුස් පෙන්නුවේ කොහොමද? හැමෝටම එක හා සමානව සලකන්න යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ඉගැන්නුවේ කොහොමද? එක්සත්කම රැකගන්න යේසුස්ගේ ආදර්ශය, ඉගැන්වීම් අපිට උදව් වෙන්නේ කොහොමද?

උස් පහත් භේදය එදාත් තිබුණා

4. සමහරු යේසුස්ව පහත් කරලා සැලකුවා කියන්නේ ඇයි?

4 සමහරු යේසුස්වත් පහත් කරලා සැලකුවා. තමන්ට ගැලවුම්කරුව හම්බ වුණා කියලා ෆිලිප් කිව්වාම නතානියෙල් එයාගෙන් ඇහුවා “නාසරෙත් නුවරින් කොහොමද යහපත් කෙනෙක් එන්නේ” කියලා. (යොහ. 1:46) නතානියෙල් මීකා 5:2 තිබුණ අනාවැකිය දැනන් ඉන්න ඇති. ඒ නිසා එයා හිතුවා ගැලවුම්කරුට හැදී වැඩෙන්න තරම් නාසරෙත් නුවර වැදගත් තැනක් නෙමෙයි කියලා. යේසුස් ගලීලයෙන් ආපු කෙනෙක් නිසාත් සමාජයේ පිළිගැනීමක් තිබුණ යුදෙව්වන් ඔහුව පහත් කළා. (යොහ. 7:52) තවත් යුදෙව්වන් පිරිසක් යේසුස්ට නින්දා කරන්න හිතාගෙන ඔහු සමරිතානුවෙක් කියලා කිව්වා. (යොහ. 8:48) සමරිතානුවන් වෙනත් ජාතියකට, ආගමකට අයිති අය. යුදෙව්වන් වගේම ගලීලයේ වැසියනුත් සමරිතානුවන්ව ගණන් ගත්තේ නැහැ.—යොහ. 4:9.

5. යේසුස්ගේ අනුගාමිකයන්ව අනිත් අය පහත් කරලා සැලකුවේ ඇයි?

5 යුදෙව් ආගමික නායකයන් යේසුස්ගේ අනුගාමිකයන්ව සැලකුවෙත් පහත් අය විදිහට. එයාලා “දේවශාපයට ලක් විය යුතුයි” කියලා පරිසිවරු කිව්වා. (යොහ. 7:47-49) යුදෙව් ආගමික පාසැල්වල ඉගෙනගත්තේ නැති, යුදෙව් සම්ප්‍රදායන් අනුගමනය කළේ නැති අයව පරිසිවරු සැලකුවේ නූගත් අය විදිහට. (ක්‍රියා 4:13) ඒ කාලේ හිටපු අය යේසුස්වත් ඔහුගේ අනුගාමිකයන්වත් පහත් කරලා සැලකුවේ ආගම, ජාතිය, සමාජයේ තමන්ට තිබුණ තත්වය ගැන ආඩම්බර වුණ නිසයි. සමාජයේ තිබුණ ඒ මත අනුගාමිකයන්ටත් බලපාලා තිබුණා. ඒත් එක්සත්ව ඉන්න නම් එයාලා හිතන්න පුරුදු වෙලා හිටපු විදිහ වෙනස් කරගන්න ඕනේ.

6. උස් පහත් භේදය අපිට බලපාන්න පුළුවන් කොහොමද?

6 අදත් ලෝකේ හැම තැනම වගේ උස් පහත් භේදය දකින්න තියෙනවා. සමහරු අපිව පහත් කරලා සලකනවා. නැත්නම් දන්නෙම නැතුව අපි අනිත් අයව පහත් කරලා සලකනවා. දැන් පුරෝගාමි සේවය කරන ඕස්ට්‍රේලියාවේ ඉන්න සහෝදරියක් මෙහෙම කියනවා. “ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන්ට සලකලා තියෙන විදිහ ගැන හිතන්න හිතන්න සුදු ජාතිකයන් ගැන මගේ හිතේ වෛරයක් ඇති වුණා. ඒ නපුරුකම්වලට මමත් මූණ දීලා තියෙනවා. ඒකෙන් මගේ වෛරය වැඩි වුණා.” කැනඩාවේ ඉන්න සහෝදරයෙක් කියන්නේ මෙහෙමයි. “මං හිතුවේ ප්‍රංශ භාෂාව කතා කරන අය අනිත් අයට වඩා උසස් කියලා. ඒ නිසා ඉංග්‍රීසි කතා කරන අයට මං එච්චර කැමති වුණේ නෑ.”

7. උස් පහත් භේදය වැරදියි කියලා යේසුස් පෙන්නුවේ කොහොමද?

7 එදා වගේ අදත් උස් පහත් භේදය මිනිසුන්ගේ හිත්වල මුල් බැහැලා. ඒ වගේ අදහස් වැරදියි කියලා යේසුස් පෙන්නුවේ කොහොමද? (1) ඔහු කාවවත් පහත් කරලා සැලකුවේ නැහැ. කෙනෙක් දුප්පත්ද පොහොසත්ද පරිසිවරයෙක්ද සමරිතානුවෙක්ද බදු එකතු කරන්නෙක්ද පව්කාරයෙක්ද කියලා බලන්නේ නැතුව ඔහු හැමෝටම දේශනා කළා. (2) අනිත් අය දිහා වපර ඇහෙන් බලන එක, අනිත් අයව පහත් කරන එක වැරදියි කියලා ඔහුගේ ඉගැන්වීම්වලිනුත් ආදර්ශයෙනුත් යේසුස් පෙන්නුවා.

උස් පහත් හැඟීම් පරාජය කරන්න

8. අපේ එක්සත්කමට හේතු වෙන ප්‍රධානම දේ මොකක්ද? පැහැදිලි කරන්න.

8 අපේ එක්සත්කමට හේතු වෙන ප්‍රධානම දේ මොකක්ද කියලා යේසුස් කිව්වා. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වේ “ඔබ සියලුදෙනාම සහෝදරයෝ” කියලා. (මතෙව් 23:8, 9 කියවන්න.) එක පැත්තකින් අපි හැමෝම සහෝදරයෝ. මොකද අපි පැවතෙන්නේ ආදම්ගෙන්. (ක්‍රියා 17:26) තවත් විදිහකින් අපි සහෝදරයෝ වෙනවා. යේසුස් කිව්වේ ඔහුගේ අනුගාමිකයන් යෙහෝවා දෙවිව එයාලගේ පියා හැටියට පිළිගන්න නිසා එයාලා සහෝදර සහෝදරියන් වෙනවා කියලා. (මතෙ. 12:50) අපි හැමෝම දෙවිගේ පවුලේ සාමාජිකයන්. ආදරේ, විශ්වාසය නිසයි අපි එකට බැඳිලා ඉන්නේ. නියෝජිතයන් ලියපු ලිපිවල සභාවල අයව ඇමතුවේ සහෝදර සහෝදරියන් විදිහට.—රෝම 1:13; 1 පේතෘ. 2:17; 1 යොහ. 3:13. *

9, 10. (අ) යුදෙව්වන්ට එයාලගේ ජාතිය ගැන ආඩම්බර වෙන්න කිසිම හේතුවක් තිබුණේ නැත්තේ ඇයි? (ආ) වෙනත් ජාතිකයන්ව පහත් කරන එක වැරදියි කියලා යේසුස් ඉගැන්නුවේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

9 යේසුස්ගේ අනුගාමිකයන් නිහතමානී වෙන එකේ වටිනාකම ගැනත් යේසුස් කිව්වා. (මතෙව් 23:11, 12 කියවන්න.) සමහර වෙලාවලදී නියෝජිතයන් අතරේ බෙදීම් ඇති වුණේ එයාල තුළ තිබුණ උඩඟුකම නිසයි. යේසුස්ගේ කාලේ හිටපු අය තමන්ගේ ජාතිය ගැන හුඟක් ආඩම්බර වුණා. යුදෙව්වන් හිතුවේ එයාලා ආබ්‍රහම්ගේ දරුවෝ නිසා එයාලා අනිත් අයට වඩා උසස් කියලයි. ඒත් යොහන් බව්තිස්ත එයාලට කිව්වේ “දෙවිට අවශ්‍ය නම් මේ ගල්වලින් වුණත් ආබ්‍රහම්ට දරුවන් ලබා දෙන්න බලය තිබෙනවා” කියලයි.—ලූක් 3:8.

10 තමන්ගේ ජාතිය ගැන ආඩම්බර වෙන එක වැරදියි කියලා යේසුස් ඉගැන්නුවා. දවසක් නීතිය පිටපත් කරන්නෙක් යේසුස්ගෙන් ඇහුවා “ඇත්තටම මගේ අසල්වැසියා කවුද” කියලා. ඒ ප්‍රශ්නයට උත්තර විදිහට යේසුස් කතාවක් කිව්වා. ඒ කතාවේ හැටියට හොරු කට්ටියක් එක යුදෙව්වෙක්ට හොඳටම ගහලා පාරේ දාලා යනවා. යුදෙව් ජාතිකයන් කීපදෙනෙක්ම එයාව පහු කරගෙන ගියත් එයාට උදව් කරන්නේ නැහැ. ඒත් සමරිතානු ජාතිකයෙක් එයාට උදව් කළා. යේසුස් කතාව ඉවර කරන්නේ නීතිය පිටපත් කරන කෙනාටත් ඒ සමරිතානුවා වගේ වෙන්න කියලයි. (ලූක් 10:25-37) හැමෝටම එක වගේ ආදරේ කරන්නේ කොහොමද කියන දේ යුදෙව්වන්ට උගන්වන්න සමරිතානුවෙක්ට පුළුවන් කියලා යේසුස් ඒ කතාවෙන් පෙන්නුවා.

11. හැමෝටම එක වගේ සලකන්න යේසුස්ගේ අනුගාමිකයන් ඉගෙනගන්න ඕනෙ ඇයි? ඒක තේරුම්ගන්න යේසුස් එයාලට උදව් කළේ කොහොමද?

11 යේසුස් ස්වර්ගයට යන්න කලින් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා “මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ දුර ඈත කෙළවරවලද මා ගැන සාක්ෂි” දරන්න කියලා. (ක්‍රියා 1:8) ඒකට එයාලට සිද්ධ වුණා උඩඟු, අනිත් අයව පහත් කරලා සලකන අදහස් හිත්වලින් අයින් කරගන්න. යේසුස් එයාලා එක්ක හිටපු කාලේ වෙනත් ජාතීන්ට අයිති අය තුළ දකින්න තිබුණ හොඳ ගුණාංග ගැන කතා කළා. ජාතිය දිහා බලන්නේ නැතුව තමන්ගේ පැවරුම කරන්න ඒක එයාලට හොඳ පුහුණුවක් වුණා. උදාහරණෙකට වෙනත් ජාතියකට අයිති හමුදා නිලධාරියෙක් පෙන්නපු විශ්වාසය යේසුස් එක අවස්ථාවකදී අගය කළා. (මතෙ. 8:5-10) සාරෆෙත් නුවරේ හිටපු ෆිනීෂියානු ජාතික වැන්දඹුවටත් සිරියානු ජාතික නාමන්ටත් යෙහෝවා දෙවි උදව් කරපු විදිහ ගැන යේසුස් කතා කළා. (ලූක් 4:25-27) යේසුස් සමරිතානු ජාතික ස්ත්‍රියකට දේශනා කළා විතරක් නෙමෙයි සමරිතානු නගරෙක දවස් 2ක්ම නැවතිලා ඔහුගේ පණිවිඩයට සවන් දෙන්න කැමැත්තෙන් හිටපු අයට ඉගැන්නුවා.—යොහ. 4:21-24, 40.

මුල් අනුගාමිකයන්ට පුළුවන් වුණා

12, 13. (අ) යේසුස් සමරිතානු ජාතික ස්ත්‍රියකට උගන්වනවා දැක්කාම නියෝජිතයන් මොකද කළේ? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) යේසුස් උගන්වන්න හදපු පාඩම යාකොබ් සහ යොහන් තේරුම්ගත්තේ නැහැ කියලා පැහැදිලි වුණේ කොහොමද?

12 අනිත් අයව පහත් කරලා සලකන්න හේතු වුණ අදහස් හිතෙන් අයින් කරගන්න නියෝජිතයන්ට ලේසි වුණේ නැහැ. එක අවස්ථාවක යේසුස් සමරිතානු ජාතික ස්ත්‍රියකට උගන්වනවා දැකලා එයාලා පුදුම වුණා. (යොහ. 4:9, 27) ඒ ඇයි? යුදෙව් ආගමික නායකයන් ප්‍රසිද්ධියේ කාන්තාවන් එක්ක කතා කළේ නැහැ. නරක චරිතයක් තියෙන කෙනෙක් විදිහට ප්‍රසිද්ධ වෙලා හිටපු සමරිතානු ස්ත්‍රියක් එක්ක එයාලා කොහොමටවත් කතා කරන්නේ නැහැ. ඒ නිසා වෙන්න ඇති නියෝජිතයන් ඒ වෙලාවේ යේසුස්ට කෑම කන්න එන්න කියන්න ඇත්තේ. ඒත් ඒ ස්ත්‍රියට දෙවි ගැන උගන්වලා යේසුස් කොයි තරම් සතුටක් ලැබුවාද කියනවා නම් කෑම කන එක ඔහුට එච්චර වැදගත් වුණේ නැහැ. දෙවිගේ කැමැත්ත වුණේ පණිවිඩය අහන්න කැමති ඕනෙම කෙනෙක්ට දේශනා කරන එකයි. ඒ නිසයි අනිත් අය පහත් කරලා සලකපු සමරිතානු ස්ත්‍රියකට වුණත් දේශනා කරලා යේසුස් සතුටක් ලැබුවේ.—යොහ. 4:31-34.

13 හැමෝටම එක විදිහට සලකන්න කියන පාඩම එදා යාකොබ් සහ යොහන් තේරුම්ගත්තේ නැහැ. නියෝජිතයන් යේසුස් එක්ක සමාරිය හරහා යද්දී සමරිතානු ගමක රෑ නතර වෙන්න හිතුවා. ඒත් ඒ ගමේ හිටපු අය ඒකට ඉඩ දුන්නේ නැහැ. යාකොබ්ටයි, යොහන්ටයි කේන්ති ගිහින් කිව්වා ස්වර්ගයෙන් ගින්දර එවලා ඒ මුළු ගමම විනාශ කරන්න කියලා. ඒ වෙලාවේ යේසුස් ඔවුන්ට තදින් උපදෙස් දුන්නා. (ලූක් 9:51-56) සමහරවිට ඒ දේ එයාලගේ ගම් පළාත වුණ ගලීලයේ අය කළා නම් එච්චර කේන්ති යන එකක් නැහැ. ඒක සමරිතානුවන් කරපු නිසා වෙන්න ඇති එයාලට එච්චරම කේන්ති ගියේ. පස්සේ කාලෙක සමරිතානුවන් හුඟදෙනෙක් ශුභාරංචිය පිළිගන්නවා දැක්කාම තමන් කලින් හැසිරුණ විදිහ ගැන යොහන්ට ලැජ්ජා හිතෙන්න ඇති.—ක්‍රියා 8:14, 25.

14. භාෂා දෙකක් කතා කරන අය අතර ඇති වුණ ප්‍රශ්නය විසඳුවේ කොහොමද?

14 ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසට ටික කාලෙකට පස්සේ සභාවේ ප්‍රශ්නයක් ඇති වුණා. සහෝදරයන් අවශ්‍යතාවන් තිබුණ වැන්දඹුවන්ට කෑම බෙදා දෙද්දී ග්‍රීක භාෂාව කතා කරන වැන්දඹුවන්ව නොසලකාහැරියා. (ක්‍රියා 6:1) එයාලා එහෙම කරන්න ඇත්තේ වෙන භාෂාවක් කතා කරන අය ගැන අඩුවෙන් හිතපු නිසා වෙන්න ඇති. ඒත් නියෝජිතයන් ඉක්මනින්ම ඒ ප්‍රශ්නය විසඳුවා. එක හා සමානව හැමෝටම කෑම බෙදා දෙන්න එයාලා සහෝදරයන් 7දෙනෙක්ව පත් කළා. ඒ 7දෙනාටම තිබුණේ ග්‍රීක නම්. ඒ තීරණය නිසා ග්‍රීක භාෂාව කතා කරපු වැන්දඹුවන්ට ලොකු සහනයක් දැනෙන්න ඇති.

15. හැමෝටම එක හා සමානව සලකන්න පේතෘස් ඉගෙනගත්තේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

15 ක්‍රි.ව. 36 ඉඳන් යේසුස්ගේ අනුගාමිකයන් සියලුම ජාතීන්ට දේශනා කරන්න පටන්ගත්තා. ඊට කලින් පේතෘස් ආශ්‍රය කළේ යුදෙව්වන් එක්ක විතරයි. කිසිම ජාතියක් පහත් කරන්න හොඳ නැහැ කියලා දෙවි පෙන්නලා දුන්නාට පස්සේ පේතෘස් කොර්නේලියස්ට දේශනා කළා. (ක්‍රියා 10:28, 34, 35 කියවන්න.) ඊටපස්සේ පේතෘස් යුදෙව් නොවන ක්‍රිස්තියානීන් එක්කත් ආශ්‍රය කළා. ඒත් අවුරුදු කීපයකට පස්සේ අන්තියෝකියේදී පේතෘස් යුදෙව් නොවන ක්‍රිස්තියානීන් එක්ක ආශ්‍රය කරන එක නතර කළා. (ගලා. 2:11-14) ඒ ගැන පාවුල් පේතෘස්ට උපදෙස් දුන්නාම පේතෘස් හිතපු විදිහ වෙනස් කරගත්තා. එහෙම කියන්නේ ඇයි? කුඩා ආසියාවේ හිටපු යුදෙව්වන්ටත් යුදෙව් නොවන අයටත් ලියපු 1වෙනි ලිපියේදී ඔහු කිව්වේ සහෝදරයන් සියලුදෙනාටම ප්‍රේම කරන්න කියලා.—1 පේතෘ. 1:1; 2:17.

16. මුල් ක්‍රිස්තියානීන් ප්‍රසිද්ධ වුණේ මොන වගේ පිරිසක් හැටියටද?

16 යේසුස්ගේ ආදර්ශය නිසා “සියලු ආකාරයේ මිනිසුන්ට” ප්‍රේම කරන්න නියෝජිතයන් ඉගෙනගත්තා. (යොහ. 12:32; 1 තිමෝ. 4:10) ඒකට යම් කාලයක් ගත වුණත් අන්තිමේදී එයාලා වෙනස් වුණා. මුල් ක්‍රිස්තියානීන්ව හැමෝම දැක්කේ අනිත් අයට ආදරේ කරන පිරිසක් විදිහට. ක්‍රි.ව. 2වෙනි සියවසේ හිටපු ලේඛකයෙක් වුණ ටර්ටූලියන් ක්‍රිස්තියානීන් ගැන මිනිසුන් කතා වුණ දෙයක් මෙහෙම සඳහන් කරලා තියෙනවා. “එයාලා අතරේ ආදරේ තියෙනවා. එකිනෙකා වෙනුවෙන් මැරෙන්න වුණත් එයාලා ලෑස්තියි.” මුල් ක්‍රිස්තියානීන් “අලුත් පෞද්ගලිකත්වය” පැළඳගත්ත නිසා දෙවි වගේ හැමෝටම එක විදිහට සලකන්න එයාලා ඉගෙනගත්තා.—කොලො. 3:10, 11.

17. අනිත් අයව පහත් කරලා සලකන හැඟීම් සම්පූර්ණයෙන්ම අයින් කරගන්න අපිට පුළුවන් කොහොමද? අද්දැකීම් කියන්න.

17 අනිත් අයව පහත් කරලා සලකන්න පෙලඹෙන පුංචි හරි අදහසක් අපේ හිත්වලත් ඇති. ඒවා සම්පූර්ණයෙන්ම අයින් කරන්න කාලයක් යයි. ප්‍රංශයේ ඉන්න සහෝදරියක් කියන දේ බලන්න. “ඕනෙම පසුබිමකින් එන අයට ආදරේ කරන විදිහ යෙහෝවා දෙවි මට ඉගැන්නුවා. ඒත් අනිත් අයව පහත් කරලා සලකන්නේ නැතුව ඉන්න මං තාමත් ලොකු සටනක් කරනවා. ඒකයි මට උදව් කරන්න කියලා මං දෙවිගෙන් නිතරම ඉල්ලන්නේ.” ස්පාඤ්ඤයේ ඉන්න සහෝදරියකුත් ඒ හා සමාන සටනක් කරනවා. එයා මෙහෙම කියනවා. “එක ජන පිරිසක් ගැන මගේ හිතේ කේන්තියක් තිබුණා. ඒ හැඟීම් අයින් කරගන්න මං ලොකු සටනක් කරනවා. ගොඩක් වෙලාවට මං ඒ සටන ජය ගත්තාට ඒ හැඟීම් ආයෙත් මතු වෙන්න පුළුවන් කියලා මං දන්නවා. ඒ නිසා මං සටන අත්හරින්නේ නැහැ.” අපිත් අපේ හිතේ තියෙන දේවල් සෝදිසි කරලා බලලා අනිත් අයව පහත් කරලා සලකන අදහස් තියෙනවා නම් ඒවා ඉක්මනින්ම අයින් කරගමු.

තව වැඩියෙන් ආදරේ කරන්න

18, 19. (අ) හැමෝටම එක හා සමානව සලකන්න අපිට තියෙන්නේ මොන හේතුද? (ආ) ඒක කරන්නේ කොහොමද?

18 කාලයක් අපි හැමෝම හිටියේ යෙහෝවා දෙවිගෙන් ගොඩක් ඈත් වෙලා. (එෆී. 2:12) ඒත් දෙවි ආදරෙන් අපිව ඔහු ළඟට ගත්තා. (හොෂෙ. 11:4; යොහ. 6:44) යේසුත් අපිව ආදරෙන් පිළිගත්තා. අපිට දෙවිගේ පවුලේ සාමාජිකයන් වෙන්න තිබුණ බාධාව ඔහු අයින් කෙරුවා. (රෝම 15:7 කියවන්න.) වැරදි අඩුපාඩුකම් තියෙන අපිව යේසුස් ආදරෙන් පිළිගත්තා නම් අනිත් අයව පහත් කරලා සලකන්න අපිට කිසිම හේතුවක් නැහැ.

දෙවි ලබා දෙන ප්‍රඥාවට අනුව වැඩ කරන නිසා අපි අතරේ එක්සත්කම, ආදරේ තියෙනවා (19 ඡේදය බලන්න)

19 අවසානය ළං වෙද්දී මිනිසුන් අතරේ තියෙන බෙදීම්, වෛරය, උස් පහත් භේද තවත් වැඩි වෙයි. (ගලා. 5:19-21; 2 තිමෝ. 3:13) ඒත් අපිට ඕනෙ දෙවි දෙන ප්‍රඥාවට අනුව වැඩ කරන්න. එතකොට හැමෝටම එක වගේ සලකන්නත් හැමෝම එක්ක සාමයෙන් ඉන්නත් අපිට පුළුවන්. (යාකො. 3:17, 18) අපි යාළුවන් ඇති කරගද්දී එයාලගේ රට, භාෂාව දිහා බලන්නේ නැහැ. එයාලා දේවල් කරන විදිහ වෙනස් වුණත් අපි ඒක පහත් කරන්නේ නැහැ. එයාලගේ භාෂාව ඉගෙනගන්න වුණත් අපි කැමතියි. එහෙම කරද්දී අපි අතරේ තියෙන සමාදානය, ධර්මිෂ්ඨකම කවදාවත් නැති වෙන්නේ නැහැ.—යෙසා. 48:17, 18.

20. ආදරේ නිසා අපි හිතන විදිහ, අපිට හැඟෙන විදිහ වෙනස් වෙද්දී ලැබෙන ප්‍රතිඵලය මොකක්ද?

20 කලින් සඳහන් කරපු ඕස්ට්‍රේලියාවේ සහෝදරිය බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තාට පස්සේ සුදු ජාතිකයන් ගැන තිබුණ වෛරය ටිකෙන් ටික නැති වෙලා ගියා. එයා හිතපු විදිහ, එයාට හැඟුණ විදිහ වෙනස් කරගන්න එයාට පුළුවන් වුණේ ආදරේ නිසයි. කැනඩාවේ ඉන්න ප්‍රංශ භාෂාව කතා කරන සහෝදරයා කියනවා හුඟක් වෙලාවට එක කට්ටියක් තව කට්ටියක්ව පහත් කරලා සලකන්නේ එයාලව හරියට අඳුරන්නේ නැති නිසා කියලා. කෙනෙක් හොඳයිද නැද්ද කියලා තීරණය වෙන්නේ එයා ඉපදෙන තැන අනුව නෙමෙයි කියලා එයා කියනවා. එයා විවාහ වුණෙත් ඉංග්‍රීසි භාෂාව කතා කරන සහෝදරියක් එක්ක. අපි අතරේ ආදරේ තියෙනවා නම් උස් පහත් භේද නැති කරන්න පුළුවන් කියලා ඒ අද්දැකීම්වලින් පේනවා. ආදරේට පුළුවන් කවදාවත් බිඳෙන්නේ නැති එක්සත්කමක් ඇති කරන්න.—කොලො. 3:14.

^ 8 ඡේ. “සහෝදරයන්” කියද්දී ඒකට සහෝදරියනුත් ඇතුළත්. පාවුල් රෝමවරුන්ට ලියපු ලිපියේ “සහෝදරයෙනි” කියලා සඳහන් කළත් ඒකට සහෝදරියනුත් ඇතුළත් වුණා. මොකද ඒ ලිපියේ සහෝදරියන් කීපදෙනෙකුගේ නම් සඳහන් කරලා තියෙනවා. (රෝම 16:3, 6, 12) අවුරුදු ගාණක් තිස්සේ ‘මුරටැඹ’ සඟරාවේ සභාවේ අයව හඳුන්වන්නේ සහෝදර සහෝදරියන් විදිහට.