Skip to content

පටුනට යන්න

ඔයා බලාගෙන ඉන්නේ කවුරු දිහාද?

ඔයා බලාගෙන ඉන්නේ කවුරු දිහාද?

“ස්වර්ගයේ වාසය කරන තැනැත්තාණෙනි, මාගේ දෙනෙත් මම ඔබ වෙතට යොමු කළෙමි.”—ගීතා. 123:1.

ගීතිකා: 143, 124

1, 2. අපේ දෑස් යෙහෝවා දෙවි වෙතට යොමු කරන්න කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

අපි ජීවත් වෙන්නේ “ඉතා අසීරු, අනතුරු සහිත කාලයක.” (2 තිමෝ. 3:1) මේ දුෂ්ට සමාජයේ විනාශය ළං වෙන්න වෙන්න අපි මුහුණ දෙන දුෂ්කරතාත් තව වැඩි වෙයි. ඒ නිසා අපි අපෙන්ම මෙහෙම අහගමු. ‘මට ඕනෙ කරන උදව්, මඟ පෙන්වීම් බලාපොරොත්තුවෙන් මං බලන්නේ කවුරු දිහාද?’ අපි හැමෝම කියයි ‘මං දෑස් යොමු කරන්නේ යෙහෝවා දෙවි වෙතට’ කියලා.

2 ඒත් දෑස් යෙහෝවා දෙවි වෙතට යොමු කරනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? ප්‍රශ්න අද්දකිද්දීත් දෙවි දිහාම බලාගෙන ඉන්න අපිට පුළුවන් කොහොමද? දෙවි දිහා කොච්චර ලොකු වුවමනාවකින් බලාගෙන ඉන්න ඕනෙද කියලා කාලෙකට කලින් ගීතිකාකරු කිව්වා. (ගීතාවලිය 123:1-4 කියවන්න.) එයා කිව්වේ අපි දෙවි දිහා බලාගෙන ඉන්න ඕනෙ හරියට තමන්ගේ ස්වාමියා දිහා බලාගෙන ඉන්න සේවකයෙක් වගේ කියලයි. සාමාන්‍යයෙන් සේවකයෙක් තමන්ට ඕනෙ කරන කෑම, ආරක්ෂාව ලබාගන්න ස්වාමියා දිහා බලනවා. ඒ කියන්නේ එයා යැපෙන්නේ ස්වාමියා මත. ඒ විතරක් නෙමෙයි ස්වාමියා එයාගෙන් බලාපොරොත්තු වෙන දේ තේරුම්ගන්නත් සේවකයෙක් ස්වාමියා දිහාම බලාගෙන ඉන්නවා. ඊටපස්සේ ස්වාමියා බලාපොරොත්තු වෙන දේ කරනවා. ඒ වගේ අපිත් හැමදාම බයිබලේ හොඳින් අධ්‍යයනය කරලා යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා තේරුම්ගන්න ඕනේ. ඊටපස්සේ ඒ විදිහටම ජීවත් වෙන්න ඕනේ. උදව් ඕනෙ කරන වෙලාවේදී දෙවි අපිට උදව් කරන්නේ අපි එහෙම කළොත් විතරයි.—එෆී. 5:17.

3. දෙවි වෙතින් අපේ ඇස් වෙන පැත්තකට යොමු වෙන්න පුළුවන් මොකක් නිසාද?

3 අපේ ඇස් හැම වෙලේම දෙවි වෙතට යොමු කරලා තියාගන්න ඕනෙ කියලා දැනගෙන හිටියත් සමහර වෙලාවට අපේ ඇස් වෙන පැත්තකට යොමු වෙන්න පුළුවන්. යේසුස්ගේ කිට්ටු යාළුවෙක් වුණ මාර්තාට වුණෙත් ඒ වගේ දෙයක්. ‘ගෙදරදොරේ බොහෝ වැඩකටයුතුවල නිරත වුණ’ නිසා එයාගේ අවධානය වෙන පැත්තකට ගියා. (ලූක් 10:40-42) යේසුස් එයාලා එක්ක ඉද්දිම මර්තා වගේ විශ්වාසවන්ත කෙනෙක්ගේ අවධානය වෙන දේකට යොමු වුණා නම් අපිටත් ඒ දේම වෙන්න බැරිද? දෙවි වෙතින් අපේ ඇස් වෙන පැත්තකට යොමු වෙන්න පුළුවන් මොකක් නිසාද? මේ ලිපියේ අපි බලන්නේ වෙන අය කරන කියන දේවල් නිසා ඒක වෙන්න පුළුවන් කොහොමද කියලා. අපිට දෙවි දිහාම බලාගෙන ඉන්න පුළුවන් කොහොමද කියලත් බලමු.

තෑග්ගක් අහිමි කරගත්ත කෙනෙක්

4. පොරොන්දු දේශයට යන්න මෝසෙස්ට අවස්ථාව නොලැබුණ එක ගැන අපි පුදුම වෙන්න පුළුවන් ඇයි?

4 මෝසෙස් කියන්නේ අවශ්‍ය මඟ පෙන්වීම් ලබාගන්න දෙවි දිහාම බලාගෙන හිටපු කෙනෙක්. එයා “නොපෙනෙන තැනැත්තාණන්ව දකිනවා හා සමාන විශ්වාසයකින් දිගටම ස්ථිරව සිටියා.” (හෙබ්‍රෙව් 11:24-27 කියවන්න.) ඒ වගේම “මෝසෙස් හා සමාන අනාගතවක්තෘවරයෙක් මෙතෙක් ඊශ්‍රායෙල් දේශයේ ජීවත් වී නැත. ඔහු යෙහෝවා දෙවිව ඉතා හොඳින් හඳුනාගත් කෙනෙක්” කියලත් බයිබලේ කියනවා. (ද්වි. 34:10) මෝසෙස්ට දෙවි එක්ක එච්චර කිට්ටු බැඳීමක් තිබුණත් දෙවි පොරොන්දු වුණ දේශයට යන්න එයාට බැරි වුණා. (ගණන්. 20:12) එහෙම වුණේ ඇයි?

5-7. ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිට වෙලා වැඩි දවසක් යන්න කලින් මොකද වුණේ? ඒ වෙලාවේ මෝසෙස් මොකද කළේ?

5 ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් පිට වෙලා මාස 2ක් යන්නත් කලින් ඒ කියන්නේ එයාලා සීනයි කන්ද ළඟට එන්නත් කලින් වෙච්ච දේ බලන්න. වතුර තිබුණේ නැති නිසා සෙනඟ මැසිවිලි නඟන්න පටන්ගත්තා. එයාලා මෝසෙස්ටත් දොස් කිව්වා. තත්වය කොච්චර දරුණු වුණාද කියනවා නම් මෝසෙස් දෙවිට මෙහෙම කිව්වා. “මම දැන් මොනවාද කරන්නේ? තව සුළු මොහොතකින් මේ සෙනඟ මට ගල් ගසයි.” (නික්. 17:4) කරන්න ඕනෙ දේ ගැන යෙහෝවා දෙවි මෝසෙස්ට පැහැදිලි මඟ පෙන්වීම් දුන්නා. දෙවි එයාට කිව්වා එයාගේ සැරයටිය අරන් හොරෙබ්වල තියෙන කන්දට ගහන්න කියලා. ‘මෝසෙස්ද ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලන් බලා සිටියදී දෙවි කී ලෙස කළා.’ එතකොට එතනින් වතුර ගලාගෙන ආවා.—නික්. 17:5, 6.

6 බයිබල් වාර්තාවේ කියන්නේ මෝසෙස් එම ස්ථානයට “පරීක්ෂා කිරීම” කියන තේරුම තියෙන මස්සාහ් කියන නමත් “රණ්ඩු කිරීම” කියන තේරුම තියෙන මෙරිබා කියන නමත් දැම්මා කියලයි. ‘“යෙහෝවා දෙවි ඇත්තටම අප අතරේ සිටිනවාද” කියමින් දෙවි ඔවුන් වෙනුවෙන් මැදිහත් වෙයිද නැද්ද කියලා සෙනඟ දෙවිව පරීක්ෂා කරපු නිසයි’ මෝසෙස් ඒ නම් දැම්මේ.—නික්. 17:7.

7 මෙරිබාවලදී වෙච්ච දේ ගැන යෙහෝවා දෙවිට හැඟුණේ කොහොමද? දෙවි ඒක සැලකුවේ සෙනඟ තමන්ට විරුද්ධව කරපු කැරැල්ලක් හැටියටයි. නැතුව මෝසෙස්ට විරුද්ධව කරපු දෙයක් හැටියට නෙමෙයි. (ගීතාවලිය 95:8, 9 කියවන්න.) ඊශ්‍රායෙල්වරුන් වැඩ කරපු විදිහ වැරදියි. ඒත් ඒ වෙලාවේ මෝසෙස් යෙහෝවා දෙවි දිහාම බලාගෙන හිටියා. එයා දෙවි දුන්න මඟ පෙන්වීම් ඒ විදිහටම පිළිපැද්දා.

8. ඊශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයට ඇතුල් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී මොනවාද වුණේ?

8 එදා වුණ සිද්ධිය වගේම එකක් ඊට අවුරුදු 40කට විතර පස්සෙත් වුණා. ඊශ්‍රායෙල්වරු පාළුකරයේ ගිය දුර ගමන අවසන් කරන්න ළං වෙලයි හිටියේ. කාදෙෂ්වලට කිට්ටුවෙන් තිබුණ තැනකට එයාලා ආවා. ඒක තිබුණේ පොරොන්දු දේශයේ මායිමට කිට්ටුවෙන්. ඒ ස්ථානයත් පස්සේ මෙරිබා * කියන නමින්ම හැඳින්නුවා. ඒ ඇයි? එතනදීත් ඊශ්‍රායෙල්වරු එයාලට බොන්න වතුර නැහැ කියලා මැසිවිලි නඟන්න පටන්ගත්තා. (ගණන්. 20:1-5) හැබැයි මේ වතාවේ නම් මෝසෙස් අතින් ලොකු වරදක් වුණා.

9. යෙහෝවා දෙවි මෝසෙස්ට කරන්න කිව්වේ මොකක්ද? මෝසෙස් කළේ මොකක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

9 සෙනඟ කැරලිගහද්දී මෝසෙස් මොකද කළේ? කලින් වතාවේ වගේම මඟ පෙන්වීම් ලබාගන්න එයා මේ වතාවේදීත් දෙවි දිහා බැලුවා. ඒත් මේ අවස්ථාවේදී පර්වතයට ගහන්න කියලා දෙවි එයාට කිව්වේ නැහැ. ඒ වෙනුවට දෙවි මෝසෙස්ට කිව්වේ එයාගේ සැරයටිය අරන්, සෙනඟව පර්වතය ළඟට රැස් කරලා පර්වතයට කතා කරන්න කියලා. (ගණන්. 20:6-8) මෝසෙස් දෙවි කියපු විදිහටම කළාද? නැහැ. සෙනඟගේ මැසිවිලි අහලා එපා වෙලා හිටපු මෝසෙස් කේන්තියෙන් එයාලට මෙහෙම කිව්වා. “කැරලිකාරයෙනි, දැන් ඇහුම්කන් දෙන්න. ඔබ අපට කියන්නේ මේ පර්වතයෙන් වතුර දෙන්න කියාද?” ඊටපස්සේ එයා පර්වතයට සැරයටියෙන් ගැහුවා. එක වතාවක් නෙමෙයි දෙවතාවක්ම ගැහුවා.—ගණන්. 20:10, 11.

10. මෝසෙස් කරපු දේ ගැන යෙහෝවා දෙවිට හැඟුණේ කොහොමද?

10 මෝසෙස් කරපු දේ ගැන යෙහෝවා දෙවි උදහස් වුණා. (ද්වි. 1:37; 3:26) ඒ ඇයි? ඒකට එක හේතුවක් වෙන්න ඇත්තේ යෙහෝවා දෙවි දුන්න අලුත් මඟ පෙන්වීම්වලට මෝසෙස් අකීකරු වුණ එක.

11. මෝසෙස් පර්වතයට පහර දුන්න නිසා දෙවි කරපු ආශ්චර්යය ගැන ඊශ්‍රායෙල්වරුන්ට සැකයක් හිතෙන්න ඇත්තේ ඇයි?

11 යෙහෝවා දෙවිට උදහස් වෙන්න තව හේතුවක් තියෙන්න ඇති. රෙෆිඩිම්වලට කිට්ටුවෙන් තිබුණ මෙරිබාවල කන්ද කලු ගල්වලින් හැදුණු එකක්. කලු ගලකට කොයි තරම් තදින් පහර දුන්නත් ඒකෙන් වතුර එන්න විදිහක් නැහැ කියලා ඕනෙ කෙනෙක් දන්නවා. ඒ නිසා ඒක ආශ්චර්යයක් කියලා සෙනඟට සැකයක් ඇති වුණේ නැහැ. ඒත් මේ ස්ථානයේ තිබුණ පර්වතය හැදිලා තිබුණේ හුණුගල්වලින්. හුණුගල් කලු ගල් තරම් ශක්තිමත් නැහැ. අනික හුණුගල්වලට ලේසියෙන්ම වතුර උරාගන්නවා. ඒ නිසා සාමාන්‍යයෙන් හුණුගල් පර්වත යට වතුර එකතු වෙලා තියෙනවා. කෙනෙකුට පුළුවන් ඒ ගල් සිදුරු කරලා වතුර ගන්න. පර්වතයට කතා කරන්නේ නැතුව මෝසෙස් ඒකට පහර දුන්න නිසා වතුර ආවේ ආශ්චර්යයකින් නෙමෙයි ඇත්තටම ගල යට වතුර තිබුණ නිසයි කියලා සෙනඟ හිතන්න ඇද්ද? * ඒක අපි හරියටම දන්නේ නැහැ.

මෝසෙස් කැරලිගැහුවා කියන්නේ ඇයි?

12. දෙවි මෝසෙස් සහ ආරොන් එක්ක උදහස් වුණේ තව මොන හේතුවක් නිසා වෙන්න පුළුවන්ද?

12 යෙහෝවා දෙවි මෝසෙස් සහ ආරොන් එක්ක උදහස් වෙන්න තවත් හේතුවක් තියෙන්න ඇති. මෝසෙස් සෙනඟට කිව්වේ “ඔබ අපට කියන්නේ මේ පර්වතයෙන් වතුර දෙන්න කියාද” කියලයි. “අපට” කියද්දී මෝසෙස් අදහස් කරන්න ඇත්තේ එයායි, ආරොන් ගැනයි වෙන්න පුළුවන්. එයා කියපු ඒ දේ නිසා යෙහෝවා දෙවිට දෙන්න ඕනෙ ගෞරවය ලබා දෙන්න එයා අපොහොසත් වුණා. ඒ ගැන ගීතාවලිය 106:32, 33 මෙහෙම කියනවා. “මෙරිබාහි දිය පහර අසලදී ඔවුහු මෝසෙස්ව කුපිත කළෝය. ඔවුන් නිසා මෝසෙස්ට අසීරු තත්වයන්වලට මුහුණ දීමට සිදු විය. මෝසෙස්ට සෙනඟ කෙරෙහි කෝපයක් ඇති වූ නිසා ඔහු දුර දිග නොබලා අනුවණ ලෙස කතා කළේය.” (ගණන්. 27:14) දෙවිට ලැබෙන්න ඕනෙ ගෞරවය මෝසෙස් දෙවිට දුන්නේ නැහැ. ඒ නිසා දෙවි මෝසෙස්ට සහ ආරොන්ට මෙහෙම කිව්වා. “ඔබ දෙදෙනා මා දුන් ආඥාවට විරුද්ධව ක්‍රියා කළා.” (ගණන්. 20:24) ඒක බරපතළ වරදක්!

13. දෙවි මෝසෙස්ට දුන්න හික්මවීම සාධාරණයි, නිවැරදියි කියන්නේ ඇයි?

13 ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්නන වගකීම භාර දීලා තිබුණේ මෝසෙස්ට සහ ආරොන්ට නිසා දෙවි එයාලගෙන් වැඩිපුර දෙයක් බලාපොරොත්තු වුණා. (ලූක් 12:48) අතීතයේදී ඊශ්‍රායෙල්වරුන් කැරලිගහපු නිසා ඒ මුළු පරම්පරාවටම පොරොන්දු දේශයට යන්න යෙහෝවා දෙවි අවසර දුන්නේ නැහැ. (ගණන්. 14:26-30, 34) මෝසෙස් කැරලිගහපු වෙලාවේ ඒ දඬුවමම එයාට දෙන එක සාධාරණයි, නිවැරදියි.

කැරලිගහන්න පෙලඹුණේ ඇයි?

14, 15. මෝසෙස් කැරලිගහන්න පෙලඹෙන්න ඇත්තේ මොකක් නිසාද?

14 මෝසෙස් කැරලිගහන්න පෙලඹෙන්න ඇත්තේ මොකක් නිසාද? ගීතාවලිය 106:32, 33 කියන දේ ආයෙත් බලන්න. එතන කියන්නේ “මෙරිබාහි දිය පහර අසලදී ඔවුහු මෝසෙස්ව කුපිත කළෝය. ඔවුන් නිසා මෝසෙස්ට අසීරු තත්වයන්වලට මුහුණ දීමට සිදු විය. මෝසෙස්ට සෙනඟ කෙරෙහි කෝපයක් ඇති වූ නිසා ඔහු දුර දිග නොබලා අනුවණ ලෙස කතා කළා” කියලයි. සෙනඟ කැරලිගැහුවේ යෙහෝවා දෙවිට විරුද්ධව වුණත් කේන්ති ගත්තේ මෝසෙස්. එයාට ඇති වුණ කේන්තිය පාලනය කරගන්න බැරි වුණ නිසා එයා දුර දිග බලන්නේ නැතුව කතා කළා.

15 යෙහෝවා දෙවි දිහාම බලාගෙන හිටපු මෝසෙස්ගේ ඇස් වෙනතකට යොමු වුණේ අනිත් අය කියපු කරපු දේවලට එයා වැඩි අවධානයක් දුන්න නිසයි. බොන්න වතුර නැහැ කියලා සෙනඟ මැසිවිලි නඟපු මුල් අවස්ථාවේදී මෝසෙස් දෙවි කියපු දේ ඒ විදිහටම කළා. (නික්. 7:6) ඒත් මේ වෙද්දී ඊශ්‍රායෙල්වරුන් එක පාරක් දෙපාරක් නෙමෙයි අවුරුදු ගාණක් තිස්සේ කැරලිගහලා, මැසිවිලි නඟලා තිබුණා. ඒ නිසා මෝසෙස්ට එයාලගේ වැඩ ඇති වෙලා තියෙන්න ඇති. එයා ඒ ගැනම හිතහිත හිටියා මිසක් යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන්න පුළුවන් කොහොමද කියන දේ ගැන එයා හිතන්න නැතුව ඇති.

16. මෝසෙස් වැඩ කරපු විදිහ ගැන අපි හිතන්න ඕනෙ ඇයි?

16 දෙවිගේ විශ්වාසවන්ත අනාගතවක්තෘවරයෙක් වුණ මෝසෙස්ගේ ඇස් දෙවි වෙතින් වෙනතකට යොමු වුණා නම් අපිටත් ඒ දේම වෙන්න බැරිද? මෝසෙස්ගේ අවධානය කැඩුණේ පොරොන්දු දේශයට ඇතුල් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දියි. අපි ඉන්නෙත් පාරාදීසය අද්දර. (2 පේතෘ. 3:13) පාරාදීසයේ ජීවත් වෙන්න තියෙන අවස්ථාව නැති කරගන්න අපි කවුරුත් කැමති නැහැ. ඒත් ඒක ලැබෙන්නේ අපි දිගටම දෙවි දිහාම බලාගෙන ඉඳලා දෙවිට කීකරු වුණොත් විතරයි. (1 යොහ. 2:17) මෝසෙස් කරපු දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවාද?

අනිත් අය කරන දේවල් නිසා දෙවි වෙතින් දෑස් ඉවතට ගන්න එපා!

17. දේවල් හරියට වෙන්නේ නැහැ කියලා හැඟෙද්දී කේන්ති ගන්නේ නැතුව ඉන්න පුළුවන් කොහොමද?

17 දේවල් හරියට වෙන්නේ නැහැ කියලා ඔයාට හැඟෙද්දී කේන්තියෙන් වැඩ කරන්න එපා. සමහර වෙලාවට අපිට එකම විදිහේ ප්‍රශ්නවලට ආයේ ආයේ මුහුණ දෙන්න වෙනවා. ඒත් බයිබලේ කියන්නේ මෙහෙමයි. “අපගේ උත්සාහය අත් නොහැර දිගටම යහපත් දේ කරමු. මන්ද අප විඩාවට පත් වී හෙම්බත් වන්නේ නැත්නම් නියමිත කාලයේදී ප්‍රතිඵල නෙළාගන්න අපට හැකි වේ.” (ගලා. 6:9; 2 තෙස. 3:13) දේවල් හරියට වෙන්නේ නැහැ කියලා හැඟෙද්දීත් කවුරු හරි කරපු කියපු දෙයක් නිසාත් අපිට කේන්තියක් දැනෙන්න පුළුවන්. එහෙම වෙලාවලදී අපි කතා කරන්න කලින් හිතනවාද? දැනෙන කේන්තිය පාලනය කරගන්නවාද? (හිතෝ. 10:19; 17:27; මතෙ. 5:22) කේන්තියක් ඇති වෙන දෙයක් වෙද්දී අපි කරන්න ඕනෙ ඒක ‘දෙවිට භාර දීලා උදහස ප්‍රකාශ කරන්න ඔහුට ඉඩ දෙන එකයි.’ (රෝම 12:17-21 කියවන්න.) ඒ කියන්නේ ප්‍රශ්නයක් වුණාම අපි කේන්ති අරන් වැඩ කරනවා වෙනුවට යෙහෝවා දෙවි නියමිත කාලේදී ඒ ප්‍රශ්නය විසඳන කල් අපි ඉවසිල්ලෙන් බලන් ඉන්න ඕනේ. ඒත් දේවල් අපේ අතට අරන් අපි වැඩ කරන්න ගියොත් ඒකෙන් වෙන්නේ දෙවිව අගෞරවයට පත් වෙන එකයි.

18. දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න එක ගැන අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?

18 අලුත්ම මඟ පෙන්වීම් කිට්ටුවෙන් අනුගමනය කරන්න. යෙහෝවා දෙවි අපිට දෙන අලුත්ම මඟ පෙන්වීම් අපි කිට්ටුවෙන් අනුගමනය කරනවාද? අපි පුරුදු වෙලා ඉන්න විදිහටම දේවල් කරනවා වෙනුවට දෙවි ඔහුගේ සංවිධානය මාර්ගයෙන් දෙන අලුත් මඟ පෙන්වීම් අපි ඉක්මනින්ම අනුගමනය කරන්න ඕනේ. (හෙබ්‍රෙ. 13:17) ඒ වගේම “ලියවිලිවල සඳහන් වී ඇති දේ ඉක්මවා යමින් ක්‍රියා නොකරන්නත්” අපි වගබලා ගන්න ඕනේ. (1 කොරි. 4:6) දෙවිගේ මඟ පෙන්වීම් අපි ඒ විදිහටම අනුගමනය කරද්දී අපි කරන්නේ දෙවි දිහාම බලාගෙන ඉන්න එකයි.

අනිත් අය අතින් අඩුපාඩුකම් වෙද්දී මෝසෙස් වැඩ කරපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (19 ඡේදය බලන්න)

19. අනිත් අය අතින් වැරදි වුණත් දෙවිත් එක්ක අපිට තියෙන බැඳීම දුර්වල කරගන්නේ නැතුව ඉන්න පුළුවන් කොහොමද?

19 අනිත් අය අතින් වෙන වැරදි නිසා දෙවිත් එක්ක ඔයාට තියෙන බැඳීම දුර්වල කරගන්න එපා. අපි දෙවි දිහාම බලාගෙන ඉන්නවා නම් අනිත් අය කරන කියන දේවල් නිසා කේන්ති ගන්නේවත් දෙවිත් එක්ක අපිට තියෙන බැඳීම දුර්වල කරගන්නේවත් නැතුව ඉන්න අපිට පුළුවන්. මෝසෙස්ට වගේ දෙවිගේ සංවිධානයේ යම් වගකීම් තියෙන අය විශේෂයෙන්ම ඒ දේ කරන්න ඕනේ. ඇත්ත, ගැලවීම ලැබෙන්නේ අපි පෞද්ගලිකව දෙවිට කීකරු වෙනවාද නැද්ද කියන එක මතයි. (ෆිලි. 2:12) ඒත් අපි හැමෝවම දෙවි එකම මිම්මෙන් විනිශ්චය කරන්නේ නැහැ. මොකද වගකීම් වැඩියෙන් භාර දීලා තියෙන අයගෙන් දෙවි වැඩියෙන් බලාපොරොත්තු වෙනවා. (ලූක් 12:48) අපි ඇත්තටම යෙහෝවා දෙවිට ආදරේ නම් කිසිම දෙයක් නිසා අපි බාධාවට පත් වෙන්නේ නැහැ. දෙවිගේ ආදරෙන් අපිව වෙන් කරන්න කිසිම දේකට ඉඩ දෙන්නෙත් නැහැ.—ගීතා. 119:165; රෝම 8:37-39.

20. අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද?

20 අපි ජීවත් වෙන්නේ අභියෝග පිරුණු දුෂ්කර කාලෙක. ඒ නිසා අපි “ස්වර්ගයේ වාසය කරන තැනැත්තාණන්” වන යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වෙන දේ තේරුම්ගන්න ඔහු දිහාම බලාගෙන ඉන්න එක හරිම වැදගත්. දෙවි එක්ක අපිට තියෙන බැඳීමට හානියක් කරන්න අනිත් අය කරන කියන දේවලට අපි කිසිම ඉඩක් නොදී ඉමු. මෝසෙස්ට වුණ දෙයින් අපිට වටිනා පාඩමක් ඉගෙනගන්න පුළුවන්. අනිත් අය අතින් අඩුපාඩු වෙද්දී කේන්ති අරන් වැඩ කරනවා වෙනුවට ‘යෙහෝවා දෙවි අපට කරුණාව පෙන්වන තෙක් ඔහු දෙස බලා සිටින්න’ අපි අදිටන් කරගමු.—ගීතා. 123:1, 2.

^ 8 ඡේ. මෙතන කතා කරන්නේ රෙෆිඩිම්වලට කිට්ටුවෙන් තිබුණ මෙරිබා නැත්නම් මස්සාහ් කියලත් හඳුන්වපු ස්ථානය ගැන නෙමෙයි. මේ ස්ථානය තිබුණේ කාදෙෂ්වලට කිට්ටුවෙන්. ඒත් ඒ ස්ථාන දෙකම මෙරිබා කියලා නම් කළේ ඒ තැන් දෙකේදීම සෙනඟ මැසිවිලි නඟපු නිසයි.—‘දේවවචනය අධ්‍යයනයට’ පොතේ 7වෙනි සිතියම බලන්න.

^ 11 ඡේ. යුදෙව් පොතක සඳහන් වුණ දෙයක් ගැන බයිබල් විශාරදයෙක් මෙහෙම කියනවා. “කැරලිකාර ඊශ්‍රායෙල්වරු කිව්වේ ඒ පර්වතය ඇතුලේ වතුර තියෙනවා කියලා මෝසෙස් දැනන් හිටපු නිසා ඒක ආශ්චර්යයක් නෙමෙයි කියලා. ඒ නිසා වෙන පර්වතයකින් වතුර අරන් පෙන්නන්න කියලා එයාලා මෝසෙස්ට කියලා තියෙනවා.” ඒත් ඒ සිද්ධිය ඇත්තටම වුණ දෙයක් කියලා ස්ථිරවම කියන්න අපිට බැහැ.