යෙහෝවා දෙවිගේ පැත්තේ ඉන්නේ කවුද?
“ඔබ යෙහෝවා දෙවිට ගරුබිය දැක්විය යුතුයි. ඔබ නමස්කාර කළ යුත්තේ ඔහුට පමණයි. ඔහු මතම රඳා සිටින්න.”—ද්වි. 10:20.
1, 2. (අ) අපි යෙහෝවා දෙවිගේ පැත්ත තෝරගන්න එක වැදගත් ඇයි? (ආ) මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?
වෙන කාටවත් වඩා අපි ළං වෙන්න ඕනෙ යෙහෝවා දෙවිට. ඔහු තමයි විශ්වයේ ඉන්න බලවත්ම, ප්‍රඥාවන්තම කෙනා. ඔහු තරම් අපිට ආදරේ කරන වෙන කිසිම කෙනෙක් නැහැ. මොන දේ වුණත් අපිට ඕනෙ දෙවිට විශ්වාසවන්තව ඉන්නයි. දිගටම ඔහුගේ පැත්තේ ඉන්නයි. (ගීතා. 96:4-6) ඒත් දෙවිට නමස්කාර කරපු සමහරදෙනෙක් ඒ දේ කරන්න අපොහොසත් වුණා.
2 තමන් ඉන්නේ දෙවිගේ පැත්තේ කියලා කිව්වත් දෙවි පිළිකුල් කරන දේවල් කරපු කීපදෙනෙක් ගැන අපි මේ ලිපියෙන් බලමු. ඒ අයගෙන් ඉගෙනගන්න පාඩම් අපිට උදව් වෙයි දිගටම දෙවිට ළැදිව ඉන්න.
හිතේ තියෙන දේ දෙවි දකිනවා
3. යෙහෝවා දෙවි කායින්ට උදව් කරන්න හැදුවේ ඇයි? දෙවි එයාට කිව්වේ මොකක්ද?
3 කායින් ගැන හිතන්න. එයා වෙන දෙවිවරුන්ට නමස්කාර කළේ නැහැ. එයා නමස්කාර කළේ යෙහෝවා දෙවිට කියලයි පෙන්නුවේ. ඒත් දෙවි එයාගේ නමස්කාරය පිළිගත්තේ නැහැ. ඒ ඇයි? කායින්ගේ හිතේ දුෂ්ට සිතුවිලි තියෙනවා කියලා දෙවි දැක්කා. (1 යොහ. 3:12) ඒ නිසා දෙවි කායින්ට මෙහෙම අනතුරු ඇඟෙව්වා. “ඔබ යහමඟට හැරුණොත් මම ඔබව පිළිගන්නේ නැද්ද? නමුත් ඔබ යහමඟට හැරුණේ නැත්නම් පාපය ඔබව හසු කරගැනීමට දොරකඩ ළඟ මාන බලමින් සිටින්නේය. ඔබ එයින් ජය ගන්නෙහිද?” (උත්. 4:6, 7) දෙවි කායින්ට කියන්න හැදුවේ එයා පසුතැවිලි වෙලා දෙවිගේ පැත්තේ ඉන්න තෝරගත්තොත් දෙවිත් එයා එක්ක ඉන්නවා කියලයි.
4. යෙහෝවා දෙවිගේ පැත්ත තෝරගන්න අවස්ථාව ලැබුණාම කායින් මොකද කළේ?
4 කායින් එයාගේ හිතින් දුෂ්ට සිතුවිලි අයින් කරගත්තා නම් දෙවි එයාගේ නමස්කාරය ආයෙත් පිළිගන්නවා. ඒත් කායින් දෙවි කියපු දේ කනකටවත් ගත්තේ නැහැ. එයා එයාව පාලනය කරන්න ඒ දුෂ්ට සිතුවිලිවලට ඉඩ දුන්නා. (යාකො. 1:14, 15) යෞවන වයසේ ඉද්දී කායින් කවදාවත් හිතන්න නැතුව ඇති එයා දෙවිට විරුද්ධව වැඩ කරයි කියලා. ඒත් අන්තිමේදී එයා කළේ ඒ දේමයි. එයා දෙවිට අකීකරු වෙලා එයාගෙම සහෝදරයාව මැරුවා.
5. දෙවිගේ අනුමැතිය අපිට නැති වෙන්න පුළුවන් මොන වගේ සිතුවිලි නිසාද?
5 එදා කායින් වගේ අදත් කෙනෙක් තමන් දෙවිට නමස්කාර කරනවා කියලා කිව්වත් දෙවි පිළිකුල් කරන දේවල් කරනවා වෙන්න පුළුවන්. (යූද් 11) සමහරවිට එයා නිතිපතා සේවයේ යනවා ඇති. වරද්දන්නේ නැතුව රැස්වීම් යනවත් ඇති. ඒත් එයා නිතරම හිතන්නේ කාමුක දේවල් ගැන වෙන්න පුළුවන්. නැත්නම් තමන්ටම දේවල් රැස් කරගන්න එක ගැන හිතනවා ඇති. එහෙමත් නැත්නම් එයාගේ හිතේ තියෙන්නේ කේන්තිය, වෛරය පිරුණු සිතුවිලි වෙන්න පුළුවන්. (1 යොහ. 2:15-17; 3:15) ඒ වගේ සිතුවිලිවලට දිගටම වැඩෙන්න ඉඩ දුන්නොත් අන්තිමට එයා අතින් බරපතළ වරදක් වෙයි. අපේ හිතේ තියෙන දේ, අපි කරන දේවල් අනිත් අය දැනගන්න එකක් නැහැ. ඒත් ඒවා දෙවි දකිනවා. අපි මුළු හිතින්ම ඔහුගේ පැත්තේ ඉන්නවාද නැද්ද කියලා ඔහු දන්නවා.—යෙරෙමියා 17:9, 10 කියවන්න.
6. වැරදි ආශාවන් පරාජය කරන්න දෙවි අපිට උදව් කරන්නේ කොහොමද?
6 අපි අතින් වරදක් අඩුපාඩුවක් වුණාම යෙහෝවා දෙවි ඉක්මනින්ම අපිව අත්හැරලා දාන්නේ නැහැ. අපි දෙවිගෙන් ඈත් වෙනවා කියලා දෙවි දකිද්දී ඔහු අපිට කියන්නේ “ඔබේ වැරදි නිවැරදි කරගෙන මා ළඟට එන්න. එවිට මමත් ඔබට ළං වන්නෙමි” කියලයි. (මලා. 3:7) අපේ හිතට වැරදි ආශාවන් ආවත් දිගටම ඒවාට විරුද්ධව සටන් කරන්න කියලයි දෙවි අපිට කියන්නේ. (යෙසා. 55:7) අපි එහෙම කරනවා නම් ඒ සටන ජය ගන්න අවශ්‍ය ශක්තිය අපිට දෙනවා කියලා දෙවි පොරොන්දු වෙනවා.—උත්. 4:7.
“මුළා නොවන්න”
7. යෙහෝවා දෙවි එක්ක තිබුණ බැඳීම සලමොන් නැති කරගත්තේ කොහොමද?
7 තරුණ කාලේදී සලමොන්ට යෙහෝවා දෙවි එක්ක කිට්ටු බැඳීමක් තිබුණා. දෙවි එයාට ප්‍රඥාව දුන්නා වගේම යෙරුසලමේ අලංකාර දේවමාලිගාවක් හදන වැදගත් කාර්යයත් එයාට භාර දුන්නා. ඒත් දෙවි එක්ක තිබුණ බැඳීම සලමොන් නැති කරගත්තා. (1 රාජා. 3:12; 11:1, 2) දෙවිගේ නීතියේ පැහැදිලිවම සඳහන් වෙලා තිබුණා රජ “බොහෝ ස්ත්‍රීන්ව විවාහ කර නොගත යුතුයි” කියලා. මොකද ‘එහෙම කළොත් රජුගේ හිත දෙවිගෙන් දුරස් වී එයා මුළා වෙන්න ඉඩ තියෙනවා.’ (ද්වි. 17:17) ඒත් සලමොන් ඒකට අකීකරු වුණා. එයාට භාර්යාවන් 700කුත් උපභාර්යාවන් 300කුත් හිටියා. (1 රාජා. 11:3) ඒ අයගෙන් වැඩිදෙනෙක් බොරු දෙවිවරුන්ට නමස්කාර කරපු වෙනත් ජාතීන්වල අය. ඒ කියන්නේ වෙනත් ජාතීන්ට අයත් අයව විවාහ කරගන්න එපා කියලා නීතියේ සඳහන් වුණ දේටත් සලමොන් අකීකරු වුණා.—ද්වි. 7:3, 4.
8. සලමොන් යෙහෝවා දෙවිව දුකට පත් කළේ කොහොමද?
8 දෙවිගේ නීති ගැන සලමොන්ගේ හිතේ තිබුණ ආදරේ ටිකෙන් ටික අඩු වුණ නිසා හුඟක් නරක දේවල් කරන්නත් එයා පෙලඹුණා. බොරු දේවතාවියක් වුණ අෂ්ටොරෙත් සහ බොරු දෙවියෙක් වුණ කෙමොෂ් වෙනුවෙන් පූජාසන හදලා එයාගේ භාර්යාවන් එක්ක එකතු වෙලා ඒ දෙවිවරුන්ට එයා නමස්කාර කළා. ඒ විතරක් නෙමෙයි දේවමාලිගාව ඉදි කරලා තිබුණ යෙරුසලමට ඉදිරියෙන් පිහිටි කන්දේ බොරු දෙවිවරුන් වෙනුවෙන් 1 රාජා. 11:5-8; 2 රාජා. 23:13) සමහරවිට එයා හිතන්න ඇති දේවමාලිගාවේ එයා පූජා ඔප්පු කරන නිසා එයා කරන නරක වැඩ දෙවි ගණන් ගන්න එකක් නැහැ කියලා.
එයා පූජාසන හැදුවා. (9. දෙවි දීපු අනතුරු ඇඟවීම සලමොන් නොසලකා හැරපු නිසා මොකද වුණේ?
9 ඒත් යෙහෝවා දෙවි වැරදි දේවල් ගණන් නොගෙන ඉන්නේ නැහැ. බයිබලේ කියන්නේ ‘සලමොන් රජුගේ සිත දෙවි වෙතින් ඈත් වී තිබුණ නිසා යෙහෝවා දෙවි සලමොන් සමඟ බොහෝ සේ උදහස් විය’ කියලයි. දෙවි සලමොන්ට උදව් කරන්න හැදුවා. ‘දෙවරක්ම ඔහු සලමොන් ඉදිරියේ පෙනී ඉඳලා වෙනත් දෙවිවරුන්ට නමස්කාර නොකරන ලෙස එයාට අණ කළා.’ ඒත් සලමොන් ඒක නොසලකාහැරියා. ප්‍රතිඵලයක් විදිහට එයාට දෙවිගේ අනුමැතිය, සහයෝගය නැති වුණා. මුළු ඊශ්‍රායෙල් ජාතියම පාලනය කරන්න තිබුණ අවස්ථාව එයාගෙන් පැවතෙන අයට අහිමි වුණා. අවුරුදු සිය ගාණක් පුරා හුඟක් ප්‍රශ්නවලට මුහුණ දෙන්නත් එයාලට සිද්ධ වුණා.—1 රාජා. 11:9-13.
10. යෙහෝවා දෙවිත් එක්ක අපිට තියෙන බැඳීම කැඩෙන්න පුළුවන් මොනවා නිසාද?
10 අපිත් දෙවිගේ ප්‍රමිති තේරුම්ගන්නේ නැති, ඒවාට ගෞරව කරන්නේ නැති අයව අපේ යාළුවෝ කරගත්තොත් එයාලගේ අදහස් අපිට බලපාන්න ඉඩ තියෙනවා. ඒ අයට පුළුවන් දෙවි එක්ක අපිට තියෙන බැඳීම දුර්වල කරන්න. ඒ වගේ අය සභාවෙත් ඉන්නවා. මොකද සභාවේ ඉන්න සමහරුන්ට දෙවි එක්ක කිට්ටු බැඳීමක් නැහැ. දෙවිට නමස්කාර කරන්නේ නැති නෑදෑයන්, අසල්වැසියන්, රැකියාව කරන ස්ථානයේ ඉන්න අය, ඉස්කෝලේ ළමයි එක්ක අපි කරන ආශ්‍රය ගැනත් අපි පරෙස්සම් වෙන්න ඕනේ. අපි වැඩි හරියක් කාලේ ගත කරන්නේ දෙවිගේ ප්‍රමිති ගණන් ගන්නේ නැති අය එක්ක නම් දෙවිත් එක්ක අපිට තියෙන බැඳීම කැඩෙන්න පුළුවන්.
11. හොඳ යාළුවන්ව තෝරගන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?
11 1 කොරින්ති 15:33 කියවන්න. හුඟක් අයට හොඳ ගතිගුණ තියෙනවා. දෙවිට සේවය කරන්නේ නැති හැම කෙනෙක්ම නරක ජීවිත ගත කරන්නේ නැහැ. ඔයා ඒ වගේ අයව දන්නවත් ඇති. ඒකෙන් අදහස් කරනවාද ඒ වගේ අයව කිට්ටුවෙන් ආශ්‍රය කළාට කමක් නැහැ කියලා? මේ ගැන හිතන්න. එයාලගේ ආශ්‍රය දෙවි එක්ක ඔයාට තියෙන බැඳීමට බලපාන්නේ කොහොමද? දෙවිට ළං වෙන්න එයාලා ඔයාට උදව් කරනවාද? එයාලට වැදගත් මොන වගේ දේවල්ද? එයාලා නිතරම කතා කරන්නේ අලුත්ම විලාසිතා, ගැජට්, සල්ලි හම්බ කරන එක, විනෝද වෙන එක වගේ දේවල් ගැනද? එයාලා කොයි වෙලෙත් දකින්නේ අනිත් අයගේ අඩුපාඩුද? එයාලා අසභ්‍ය විහිළු කරනවාද? යේසුස් කිව්වේ “කෙනෙකුගේ මුවින් පිට වන්නේ ඔහුගේ සිත තුළ පිරී ඇති දෙයයි” කියලා. (මතෙ. 12:34) ඔයා ආශ්‍රය කරන අය නිසා දෙවි එක්ක ඔයාට තියෙන බැඳීමට හානියක් වෙනවා කියලා දැනුණොත් ඉක්මනටම එයාලා එක්ක කරන ආශ්‍රය අඩු කරන්න. සමහරවිට ඒ ආශ්‍රය සම්පූර්ණයෙන්ම නවත්තන්න වුණත් ඔයාට සිද්ධ වෙයි.—හිතෝ. 13:20.
දෙවිට ළැදිව ඉඳියි කියලා දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා
12. (අ) ඊජිප්තුවෙන් පිට වෙලා වැඩි දවසක් යන්න කලින් දෙවි ඊශ්‍රායෙල්වරුන්ට කිව්වේ මොකක්ද? (ආ) ඊශ්‍රායෙල්වරුන් ඒකට ප්‍රතිචාරය දැක්වුවේ කොහොමද?
12 ඊජිප්තුවෙන් නිදහස් වෙලා ආපු ඊශ්රායෙල්වරුන්ගෙනුත් අපිට පාඩමක් ඉගෙනගන්න පුළුවන්. එයාලා සීනයි කන්ද ළඟ රැස් වුණාම එයාලා ඉදිරියට යෙහෝවා දෙවි ඇවිත් ඉන්නවා කියලා පෙන්නන්න දෙවි පුදුම දනවන ක්‍රියාවන් කළා. කඳු මුදුන ගන වලාකුළකින් වැහිලා ගියා. ගිගුරුම් හඬ මැද විදුලි කොටන්න පටන්ගත්තා. කන්දෙන් ලොකු දුමක් නැග්ගා. මහා හයියෙන් හොරණෑවක් පිඹින සද්දයක් ඇහුණා. (නික්. 19:16-19) ඒ අතරේ “ඔබේ දෙවි වන යෙහෝවා මමය. මා හැර වෙන කිසි දෙවි කෙනෙකුට ඔබ නමස්කාර නොකළ යුතුය” කියලා දෙවි කියන හඬ එයාලට ඇහුණා. දෙවිට ආදරේ කරන, ඔහුට කීකරු වෙන අයව කවදාවත් අත්හරින්නේ නැහැ කියලා දෙවිම පොරොන්දු වුණා. (නික්මයාම 20:1-6 කියවන්න.) දෙවි එයාලට කිව්වේ එයාලා දෙවිගේ පැත්තේ ඉන්නවා නම් දෙවිත් එයාලා ළඟින්ම ඉන්නවා කියලයි. හිතන්න, ඔයාත් එදා ඒ ඊශ්‍රායෙල්වරු අතරේ හිටියා කියලා. දෙවිගේ වචන ඇහෙද්දී ඔයාට කොහොම හැඟෙයිද? ඔයාත් මෙහෙම කියයි. “යෙහෝවා දෙවි පැවසූ සියල්ල කිරීමට අප සතුටුයි.” (නික්. 24:3) ඒත් වැඩි දවසක් යන්න කලින් දෙවිට තිබුණ එයාලගේ ළැදිකම සෝදිසියට ලක් වුණා.
13. ඊශ්‍රායෙල්වරුන්ගේ ළැදිකම සෝදිසියට ලක් වුණේ කොහොමද?
13 යෙහෝවා දෙවි කරපු ඒ පුදුම දනවන ක්‍රියාවන් දැකලා ඊශ්‍රායෙල්වරුන්ගේ හිතේ බයක් ඇති වුණා. ඒ නිසා එයාලා වෙනුවෙන් දෙවි එක්ක කතා කරන්න මෝසෙස් සීනයි කන්දට ගියා. (නික්. 20:18-21) කාලේ ගත වෙලා ගියත් මොසෙස් කඳවුරට ආපහු ආවේ නැහැ. ඊශ්‍රායෙල්වරුන්ට හැඟුණේ නායකයෙක් නැතුව එයාලා පාළුකරයේ අතරමං වෙලා කියලයි. එයාලා මොකද කළේ? එයාලා කලබල වෙලා ආරොන්ට මෙහෙම කිව්වා. “ඊජිප්තු දේශයෙන් අපිව පිටතට ගෙනා මෝසෙස්ට මොනවා වුණාද කියලා අපි දන්නේ නැහැ. දැන් අපිට මඟ පෙන්වන්න දෙවි කෙනෙක්ව සාදා දෙන්න.” (නික්. 32:1, 2) පේන විදිහට ඊශ්‍රායෙල්වරුන් එයාලගේ නායකයා වුණ මෝසෙස් මත ඕනෑවට වඩා විශ්වාසය තිබ්බා. එයාලට යෙහෝවා දෙවිව අමතක වුණා.
14. ඊශ්‍රායෙල්වරුන් එයාලවම රවට්ටගත්තේ කොහොමද? එයාලා කරපු දේ ගැන යෙහෝවා දෙවිට හැඟුණේ කොහොමද?
14 රූපවලට නමස්කාර කරන එක වැරදියි කියලා ඊශ්‍රායෙල්වරුන් දැනන් හිටියා. (නික්. 20:3-5) ඒත් රන් වස්සාට නමස්කාර කරන්න එයාලා පෙලඹුණා. දෙවි අකමැති දෙයක් කළත් එයාලා හිතුවේ එයාලා තාමත් ඉන්නේ දෙවිගේ පැත්තේ කියලා. රන් වස්සාට කරපු ඒ නමස්කාරය ‘යෙහෝවා දෙවි වෙනුවෙන් පවත්වන උත්සවයක්’ කියලයි ආරොන් කිව්වේ. ඒත් යෙහෝවා දෙවිට ඒ ගැන හැඟුණේ කොහොමද? දෙවි මෝසෙස්ට මෙහෙම කිව්වා. “සෙනඟ හැසිරෙන්නේ ඉතාමත් දුෂ්ට ලෙසයි! ඔවුන් යා යුතු මාර්ගය මම ඔවුන්ට කියා දුනිමි. නමුත් ඔවුහු ඉක්මනින්ම ඒ මාර්ගයෙන් ඉවත්ව ගියෝය.” එයාලා කරපු දේ ගැන යෙහෝවා දෙවි කොයි තරම් උදහස් වුණාද කියනවා නම් මුළු ඊශ්‍රායෙල් ජාතියම විනාශ කරන්න දෙවි හිතුවා.—නික්. 32:5-10.
15, 16. තමන් ඉන්නේ යෙහෝවා දෙවිගේ පැත්තේ කියලා මෝසෙස් සහ ආරොන් පෙන්නුවේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
15 ඒත් යෙහෝවා දෙවි දයාන්විත, සමාව දෙන්න කැමති දෙවි කෙනෙක්. ඔහු තීරණය කළා ඊශ්‍රායෙල් ජාතියව විනාශ නොකරන්න. ඒ වෙනුවට දෙවි සෙනඟට අවස්ථාව දුන්නා එයාලට ඕනෙ දෙවිගේ පැත්තේ ඉන්නද නැද්ද කියලා පෙන්නන්න. (නික්. 32:14) සෙනඟ ගී කියමින්, නටමින් ඉන්නවා දැකපු මෝසෙස් රන් වස්සාව කෑලිවලට කඩලා කුඩු කළා. ඊටපස්සේ එයා සෙනඟට කිව්වා “යෙහෝවා දෙවිගේ පැත්ත ගන්න සියලුදෙනාම දැන් මා ළඟට එන්න” කියලා. එතකොට ‘ලෙවී ගෝත්‍රයේ පුරුෂයෝ මෝසෙස් ළඟට ගියා.’—නික්. 32:17-20, 26.
16 රන් වස්සාව හැදුවේ ආරොන් වුණත් තමන් කරපු දේ ගැන එයා පසුතැවිලි වුණා. ඊටපස්සේ එයා අනිත් ලෙවීවරුන් එක්ක දෙවිගේ පැත්තේ ඉන්න තෝරගත්තා. එහෙම කරපු එකෙන් එයාලා තමන් ළැදි යෙහෝවා දෙවිටයි කියලා නික්. 32:27-29.
පෙන්නුවා වගේම පසුතැවිලි වෙන්නේ නැති අයගෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙනවා කියලත් පෙන්නුවා. ඒක ඥානවන්ත තීරණයක්. මොකද රන් වස්සාට නමස්කාර කරපු දහස් ගාණක් එදා මැරුණා. ඒත් දෙවිගේ පැත්ත ගත්ත අය බේරුණා. ඒ වගේම දෙවි පොරොන්දු වුණා එයාලට ආශීර්වාද කරනවා කියලා.—17. රන් වස්සා ගැන පාවුල් ලියපු දෙයින් අපි ඉගෙනගන්නේ මොනවාද?
17 එදා වෙච්ච දේ ගැන පාවුල් මෙහෙම ලිව්වා. ‘එම සිදුවීම්වලින් අපට පාඩමක් ඉගෙනගත හැකියි. ඔවුන්ගෙන් සමහරුන් කළා සේ අප රූපවලට වඳින අය නොවිය යුතුයි. ඒවා ලියනු ලැබුවේ මේ සමාජයේ අවසාන කාලයේ ජීවත් වන අපට අනතුරු ඇඟවීමක් ලෙසය. කෙනෙක් තමා ස්ථිරව සිටිනවා කියා සිතුවත් ඔහු වැටී යෑමට ඉඩ තිබේ. එමනිසා ඔහු සෝදිසියෙන් සිටිය යුතුයි.’ (1 කොරි. 10:6, 7, 11, 12) පාවුල් කිව්වා වගේ දෙවිට නමස්කාර කරන අය වුණත් වැරදි ක්‍රියාවල යෙදෙන්න ඉඩ තියෙනවා. එහෙම කරන ගමන් එයාලා හිතයි තාමත් දෙවිගේ අනුමැතිය එයාලට තියෙනවා කියලා. ඒත් දෙවිගේ යාළුවෙක් වෙන්න තමන් කැමතියි කියලා කිව්ව පළියට නැත්නම් තමන් දෙවිට ළැදිව ඉන්නවා කියලා කිව්ව පළියට කෙනෙක්ට දෙවිගේ අනුමැතිය තියෙනවා කියලා හැම තිස්සේම අදහස් වෙන්නේ නැහැ.—1 කොරි. 10:1-5.
18. යෙහෝවා දෙවිගෙන් අපි ඈත් වෙන්න පුළුවන් මොකක් නිසාද? එහෙම වුණොත් මොන වගේ ප්‍රතිඵල ලැබෙයිද?
18 සීනයි කන්දට ගිය මෝසෙස් ආපහු එන්න පරක්කු වෙද්දී ඊශ්‍රායෙල්වරුන් කලබල වුණා. මේ දුෂ්ට සමාජයේ විනාශයත් අපි හිතන තරම් ඉක්මනට ආවේ නැති වුණාම අපිටත් කනස්සල්ලක් දැනෙන්න පුළුවන්. දෙවිගේ පොරොන්දු ඉටු වෙන්න තව හුඟක් කල් යයි කියලා නැත්නම් ඒවා ඇත්තටම වෙන එකක් නැහැ කියලා වුණත් අපිට හිතෙන්න ඉඩ තියෙනවා. එතකොට වෙන්නේ දෙවි අපෙන් බලාපොරොත්තු වෙන දේවලට අවධානය දෙනවා වෙනුවට අපිට ඕනෙ දේවලට අවධානය දෙන්න අපි පෙලඹෙන එකයි. පරෙස්සම් වුණේ නැත්නම් අපි ටිකෙන් ටික දෙවිගෙන් ඈත් වෙලා අපි කවදාවත් කරන්නේ නැහැ කියලා හිතපු දේවල් වුණත් කරන්න පෙලඹෙයි.
19. අපි හැම තිස්සේම මතක තියාගන්න ඕනෙ මොකක්ද? ඒ ඇයි?
19 අපි හැම කාරණයකදීම දෙවිට කීකරු වෙයි කියලත් ඔහුට විතරක් නමස්කාර කරයි කියලත් දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. (නික්. 20:5) ඒ ඔහු අපිට ආදරේ නිසයි. අපි දෙවි කැමති දේ කරන්නේ නැහැ කියන්නේ අපි කරන්නේ සාතන්ට ඕනෙ දේ. ඒකෙන් අපිට වෙන්නේ හානියක්. ඒ ගැන පාවුල් මෙහෙම කිව්වා. “ඔබට යෙහෝවා දෙවිගේ කුසලානයෙනුත් භූතයන්ගේ කුසලානයෙනුත් බීමට නුපුළුවන. යෙහෝවා දෙවිගේ මේසයට සහ භූතයන්ගේ මේසයට යන දෙකටම හවුල් වෙන්න ඔබට නුපුළුවන.”—1 කොරි. 10:21.
යෙහෝවා දෙවිත් එක්කම ඉන්න
20. අපි අතින් වරදක් වෙලා තිබුණත් දෙවි අපිට උදව් කරන්නේ කොහොමද?
20 කායින්ට, සලමොන්ට සහ ඊශ්‍රායෙල්වරුන්ට අවස්ථාව ලැබුණා පසුතැවිලි වෙලා එයාලා හැසිරුණ විදිහ වෙනස් කරගන්න. (ක්‍රියා 3:19) තමන්ගේ සෙනඟ අතින් වරදක් වුණාම එයාලව අත්හැරලා දාන්න දෙවි ඉක්මන් වෙන්නේ නැහැ. මතකද, දෙවි ආරොන්ට සමාව දුන්න විදිහ? දෙවි අද අපිට බයිබලය, අපේ ප්‍රකාශන, සහෝදර සහෝදරියන් මාර්ගයෙන් ආදරෙන් දේවල් ගැන සිහිගන්වනවා. දෙවි දෙන ඒ සිහිගැන්වීම් හිතට අරන් වෙනස්කම් කරගන්නවා නම් දෙවිගේ දයාව අද්දකින්න අපිටත් පුළුවන්.
21. දෙවිට තියෙන අපේ ළැදිකම සෝදිසියට ලක් වෙද්දී අපි මොනවාද කරන්න ඕනේ?
21 යෙහෝවා දෙවි ඔහුගේ මහත් කරුණාව අපිට පෙන්නුවේ යම් හේතුවකට. (2 කොරි. 6:1) ඒ “දෙවිට අගෞරවයක් ගෙන දෙන ක්‍රියා හා පව්කාර ආශාවන් ප්‍රතික්ෂේප” කරන්න අපිට අවස්ථාව දෙන්න. (තීතස් 2:11-14 කියවන්න.) මේ දුෂ්ට සමාජයේ ජීවත් වෙද්දී දෙවිට තියෙන අපේ ළැදිකම සෝදිසියට ලක් වෙන අවස්ථාවලට අපිට මුහුණ දෙන්න වෙනවා. ඒත් කොයිම විදිහකින්වත් අපි දෙවිගේ පැත්ත අත්හරින්නේ නැහැ කියලා එහෙම අවස්ථාවලදීත් පෙන්නමු. ඒ වගේම ‘යෙහෝවා දෙවිට ගරුබිය දක්වන්නත් ඔහුට විතරක් නමස්කාර කරන්නත් ඔහු මතම රඳා සිටින්නත්’ අපි අදිටන් කරගමු.—ද්වි. 10:20.