Skip to content

පටුනට යන්න

ත්‍යාගශීලී අය සන්තෝෂවත්

ත්‍යාගශීලී අය සන්තෝෂවත්

‘දීමෙන් සන්තෝෂයක් ලැබෙනවා.’—ක්‍රියා 20:35.

ගීතිකා: 76, 110

1. යෙහෝවා ත්‍යාගශීලී දෙවි කෙනෙක් කියලා පැහැදිලිව පේන්නේ කොහොමද?

එක්තරා කලෙක මේ මුළු විශ්වයේම හිටියේ යෙහෝවා දෙවි විතරයි. ඒත් දෙවි ඔහු ගැන විතරක් හිතන්නේ නැතුව තවත් අයට ජීවිතය දෙන්න තීරණය කළා. ස්වර්ගයෙත් පොළොවෙත් ඉන්න හැම කෙනෙක්ටම ජීවිතය ලැබුණේ දෙවිගේ ත්‍යාගශීලීකම නිසයි. “ප්‍රීතිමත් දෙවි” වන යෙහෝවා අනිත් අයට දේවල් දීලා ලබන්නේ ලොකු සතුටක්. (1 තිමෝ. 1:11; යාකො. 1:17) ඔහු කැමති අපිත් සතුටින් ඉන්නවාට. පරිත්‍යාගශීලී වෙන්නත් අනිත් අයත් එක්ක දේවල් බෙදාගන්නත් ඔහු අපිට උගන්වන්නේ ඒ නිසයි.—රෝම 1:20.

2, 3. (අ) ත්‍යාගශීලී වෙද්දී අපිට සතුටක් දැනෙන්නේ ඇයි? (ආ) මේ ලිපියෙන් අපි ඉගෙනගන්නේ මොනවාද?

2 දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ ඔහුගේ ගතිලක්ෂණ ඇතුව නිසා දෙවිට තියෙන ගුණාංග අපේ ජීවිතවලින් පෙන්නන්න අපිට පුළුවන්. (උත්. 1:27) සැබෑ සතුට, තෘප්තිය අද්දකින්න අපිට පුළුවන් වෙන්නේ දෙවි වගේ අපිත් අනිත් අය ගැන සැලකිලිමත් වෙලා අපිට තියෙන දේවල් එයාලත් එක්ක ත්‍යාගශීලීව බෙදාගන්නවා නම් විතරයි. (ෆිලි. 2:3, 4; යාකො. 1:5) එහෙම කියන්නේ ඇයි? දෙවි අපිව නිර්මාණය කරලා තියෙන්නේ ඒ විදිහටයි. අපිට පව්කාර ස්වභාවය උරුම වෙලා තිබුණත් දෙවිව ආදර්ශයට අරන් ඔහු වගේ ත්‍යාගශීලී වෙන්න අපිට පුළුවන්.

3 ත්‍යාගශීලීකම ගැන වටිනා තොරතුරු අපිට බයිබලෙන් ඉගෙනගන්න පුළුවන්. ඒවායින් සමහරක් අපි මේ ලිපියෙන් බලමු. (1) අපි ත්‍යාගශීලී වෙද්දි යෙහෝවා දෙවි සතුටු වෙන්නේ ඇයි? (2) දෙවි අපිට භාර දීලා තියෙන කාර්යය හොඳින් කරන්න ඒ ගුණාංගය අපිට උදව් වෙන්නේ කොහොමද? (3) ත්‍යාගශීලී වෙද්දී අපිට සතුටක් දැනෙන්නේ ඇයි? (4) ත්‍යාගශීලීකම අපි දිගටම පෙන්නන්න ඕනෙ ගුණාංගයක් කියන්නේ ඇයි?

අපි ත්‍යාගශීලී වෙද්දී දෙවි අපි ගැන සතුටු වෙනවා

4, 5. යෙහෝවා දෙවි සහ යේසුස් ත්‍යාගශීලීකම පෙන්නලා තියෙන්නේ කොහොමද? අපි ඒ දෙන්නාව ආදර්ශයට ගන්න ඕනෙ ඇයි?

යෙහෝවා දෙවි අපිට කියන්නේ ඔහුව ආදර්ශයට ගන්න කියලයි. ඔහු වගේ අපිත් ත්‍යාගශීලී වෙද්දී දෙවි සතුටු වෙන්නේ ඒ නිසයි. (එෆී. 5:1) අපිව මේ තරම් පුදුමාකාර විදිහට දෙවි නිර්මාණය කරලා තියෙන්නෙත් අපිට ඕනෙ කරන හැම දේම ඇතුළත් මේ ලස්සන පොළොව අපිට දීලා තියෙන්නෙත් අපිව සතුටින් තියන්න දෙවි කැමති නිසයි. (ගීතා. 104:24; 139:13-16) දෙවිව ආදර්ශයට අරන් තව කෙනෙක්ට සතුටක් ගේන දෙයක් අපි කරද්දී අපි යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරනවා.

5 මිනිසුන් අතරින් පරිත්‍යාගශීලීකම ගැන හොඳම ආදර්ශය තිබ්බේ යේසුස්. අපිට ඔහුවත් ආදර්ශයට ගන්න පුළුවන්. යේසුස් මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ සේවය ලබන්න නොවෙයි. ඔහු පැමිණියේ සේවය කරන්න හා බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්නයි.” (මතෙ. 20:28) පාවුල් ක්‍රිස්තියානීන්ට මෙහෙම උනන්දු කළා. ‘ක්‍රිස්තුස් යේසුස් තුළ තිබුණු ආකල්පයම ඔබ තුළත් තිබිය යුතුයි. ඔහු තමා සතු සියල්ල අත්හැර දාසයෙකු හා සමාන විය.’ (ෆිලි. 2:5, 7) අපි හැම කෙනෙක්ම හිතලා බලන්න ඕනෙ ‘යේසුස් පෙන්නපු ත්‍යාගශීලීකම තව වැඩියෙන් ආදර්ශයට ගන්න මට පුළුවන්ද’ කියලා.—1 පේතෘස් 2:21 කියවන්න.

6. යහපත් සමරිතානුවරයා ගැන කියපු කතාවෙන් යේසුස් අපිට ඉගැන්නුවේ මොකක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

යෙහෝවා දෙවිවත් යේසුස්වත් ආදර්ශයට අරන් අපි ත්‍යාගශීලී වෙද්දී දෙවි අපි ගැන හුඟක් සතුටු වෙනවා. ඒ දෙන්නාව අපි ආදර්ශයට ගන්නේ කොහොමද? අපි අනිත් අයගේ යහපත ගැන හිතලා එයාලා වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හැම දේම කරන්න ඕනේ. මතකද, “ඇත්තටම මගේ අසල්වැසියා කවුද” කියලා යුදෙව්වෙක් අහපු ප්‍රශ්නෙට යේසුස් දීපු උත්තරේ? ඔහු යහපත් සමරිතානුවරයා ගැන කතාව කිව්වේ ඒ වෙලාවේ. (ලූක් 10:29-37 කියවන්න.) ඒ කතාවෙන් යේසුස් උගන්වන්න හැදුවේ අපිට මුහුණ දෙන්න වෙන අපහසුතා ගැන හිතන්නේ නැතුව ඕනෙම ජාතියක, පසුබිමක කෙනෙක්ට උදව් කරන්න අපි ඉදිරිපත් වෙන්න ඕනෙ කියලයි. යෙහෝවා දෙවිගේ අනුමැතිය දිනාගන්න නම් අපිත් ඒ සමරිතානුවරයා වගේ ත්‍යාගශීලී වෙන්න ඕනේ.

7. යෙහෝවා දෙවි දේවල් කරන විදිහ තමයි හොඳම විදිහ කියලා අපිට විශ්වාසයි කියලා පෙන්නන්නේ කොහොමද? පැහැදිලි කරන්න.

7 අපි ත්‍යාගශීලී වෙද්දී යෙහෝවා දෙවි අපි ගැන සතුටු වෙනවා කියන්න තවත් හේතුවක් තියෙනවා. ඒක ඒදන් උයනේ සිද්ධියට සම්බන්ධයි. සාතන් ආදම් සහ ඒවට කිව්වේ දෙවිට කීකරු වෙන්නේ නැතුව ඒ දෙන්නාට ඕනෙ විදිහට දේවල් කළොත් එයාලට තව වැඩියෙන් සතුටු වෙන්න පුළුවන් කියලයි. දෙවි වගේ වෙන්න තිබුණ ආසාව නිසා ඒව සාතන් කියපු දේ විශ්වාස කළා. ආදම් වැඩ කළෙත් ආත්මාර්ථකාමී විදිහට. දෙවිව සතුටු කරනවා වෙනුවට තමන්ගේ බිරිඳව සතුටු කරන්න එයා තීරණය කළා. (උත්. 3:4-6) ඒකෙන් එයාලා වැඩි සතුටක් අද්දැක්කාද? නැහැ. එයාලා අද්දැක්කේ දරුණු ප්‍රතිඵල. තමන් ගැන විතරක් හිතලා වැඩ කරන අයට කවදාවත් සතුටක් ලැබෙන්නේ නැහැ. අපි අනිත් අය ගැන හිතලා එයාලගේ යහපත වෙනුවෙන් දේවල් කරද්දී සාතන් කියපු දේ බොරුවක් කියලත් යෙහෝවා දෙවි දේවල් කරන විදිහ තමයි හොඳම විදිහ කියලත් අපිට විශ්වාසයි කියලා පෙන්නන්න පුළුවන්.

දෙවි භාර දීලා තියෙන කාර්යය කරන්න

8. ආදම් සහ ඒවට අනිත් අය ගැන හිතන්න තිබුණා කියන්නේ ඇයි?

8 ඒදන් උයනේ ආදම්, ඒව ඇරෙන්න වෙන මනුෂ්‍යයන් හිටියේ නැතත් අනිත් අය ගැන හිතලා වැඩ කරන්න එයාලට අවස්ථාව තිබුණා. එහෙම කියන්නේ ඇයි? එයාලගෙන් බිහි වෙන දරුවන්ගෙන් පොළොව පුරවලා මුළු පොළොවම පාරාදීසයක් කරන වගකීම යෙහෝවා දෙවි ඒ වෙද්දී එයාලට භාර දීලයි තිබුණේ. (උත්. 1:28) ඒ දෙන්නායි, එයාලගෙන් පැවතෙන හැමෝමයි එකට එකතු වෙලා ඒ කාර්යය කරයි කියලා දෙවි බලාපොරොත්තු වුණා. දෙවිට ඕනෙ වුණේ පොළොවේ ඉන්න හැමෝම සතුටින් ඉන්නවා දකින්න. හරි නම් ආදම්, ඒවත් හිතන්න තිබුණේ එයාලගෙන් පැවතෙන අයගේ සතුට ගැන.

9. මුළු පොළොවම පාරාදීසයක් කරන කාර්යයට හවුල් වෙන එකෙන් මිනිසුන්ට සතුට අද්දකින්න තිබුණා කියන්නේ ඇයි?

9 පරිපූර්ණ මිනිස් පවුල මුළු පොළොවම පාරාදීසයක් කරන කාර්යයට හවුල් වුණා නම් දෙවි එක්ක කිට්ටුවෙන් වැඩ කරලා දෙවිගේ අරමුණ ඉටු කරන්න දායක වෙන්න එයාලට තිබුණා. ඒකෙන් දෙවි වගේ විවේක ගන්න එයාලට අවස්ථාව ලැබෙනවා. (හෙබ්‍රෙ. 4:11) ඒ විතරක් නෙමෙයි අනිත් අය ගැන හිතලා වැඩ කරද්දී දෙවිගේ ආශීර්වාද අද්දකින්නත් එයාලට තිබුණා.

10, 11. දේශනා කරන, උගන්වන කාර්යය කරන්න අපිට පුළුවන් කොහොමද?

10 යෙහෝවා දෙවි අද අපිටත් කාර්යයක් භාර දිලා තියෙනවා. ඒ තමයි දේශනා කරන සහ මිනිසුන්ට යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න උදව් කරන කාර්යය. ඒ කාර්යය කරන්න නම් අනිත් අයගේ යහපත වෙනුවෙන් දෙයක් කරන්න අපිට ආසාවක් තියෙන්න ඕනේ. දෙවි ගැනත් මිනිසුන් ගැනත් ඇත්තටම අපේ හිතේ ආදරයක් තියෙනවා නම් විතරයි අපි ඒ කාර්යය අත් නෑර කරන්නේ.

11 පාවුල් තමන් ඇතුළුව අනිත් හැම ක්‍රිස්තියානියෙක්වම හැඳින්නුවේ “දෙවිගේ හවුල් වැඩකරුවන්” විදිහට. ඒ එයාලා දේවරාජ්‍යය ගැන දේශනා කරන, උගන්වන කාර්යයට හවුල් වුණ නිසයි. (1 කොරි. 3:6, 9) අද ඉන්න අපිත් අපේ කාලය, ශ්‍රමය සහ මුදල් ඒ කාර්යය වෙනුවෙන් දෙනවා නම් අපිටත් පුළුවන් “දෙවිගේ හවුල් වැඩකරුවන්” වෙන්න. ඒක මොන තරම් උතුම් කාර්යයක්ද!

කෙනෙක්ට බයිබලේ තියෙන සත්‍යයන් තේරුම්ගන්න උදව් කරද්දී අපිට ලොකු සතුටක් දැනෙනවා (12 ඡේදය බලන්න)

12, 13. මිනිසුන්ට යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න උදව් කරන එකෙන් ලැබෙන ආශීර්වාද මොනවාද?

12 දේශනා කරන්න, යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න මිනිසුන්ට උදව් කරන්න අපි කැමැත්තෙන්ම අපේ කාලය, ශක්තිය යොදවද්දී අපිට ලොකු සතුටක් අද්දකින්න පුළුවන්. බයිබල් පාඩම් පවත්වන හුඟක් අය ඒක ඇත්තක් කියලා කියනවා. අපිත් එක්ක පාඩම් කරන අය බයිබලේ තියෙන සත්‍යයන් තේරුම්ගන්නවා දකිද්දී, එයාලගේ විශ්වාසය වැඩි වෙද්දී, එයාලා ජීවිතේ වෙනස්කම් කරගද්දී, ඉගෙනගත්ත දේවල් අනිත් අය එක්ක කතා කරද්දී අපිට මොන තරම් නම් සතුටක් දැනෙනවාද! යේසුස්ගේ ගෝලයෝ 70දෙනා දේශනා කරන්න ගිහින් “ප්‍රීතියෙන් ආපසු ඇවිත්” එයාලා ලබපු අද්දැකීම් ගැන කියද්දී යේසුත් හුඟක් සතුටු වුණා.—ලූක් 10:17-21.

13 තරුණ සහෝදරියක් වන ඇනාගේ අද්දැකීම බලන්න. * එයාට ඕනෙ වුණා එයාගේ සේවය තව වැඩි කරන්න. ඒ නිසා එයා නැඟෙනහිර යුරෝපයේ ප්‍රචාරකයන් අඩු පැත්තකට සේවය කරන්න ගියා. එයා මෙහෙම කියනවා. “බයිබල් පාඩමක් පටන්ගන්න මෙහේ ඉන්න අය හරිම කැමතියි. ඒ නිසා මං මෙහේ සේවේ කරලා ලබන්නේ ලොකු සතුටක්. සේවේ ගිහින් ගෙදර ආවාම මට මං ගැන හිතහිත ඉන්න වෙලාවක් නෑ. මං හිතන්නේ මගේ බයිබල් පාඩම් ගැනයි, එයාලගේ ප්‍රශ්න ගැනයි. එයාලව දිරිගන්වන්න, එයාලට උදව් කරන්න පුළුවන් කොහොමද කියලා මං නිතරම හිතනවා. ඇත්තමයි ‘ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා.’”—ක්‍රියා 20:35.

සේවය කරන ප්‍රදේශයේ තියෙන හැම ගෙදරකටම යන එකෙන් දෙවිගේ පණිවිඩයට සවන් දෙන්න හැමෝටම අවස්ථාව ලැබෙනවා (14 ඡේදය බලන්න)

14. මිනිසුන් හොඳ ප්‍රතිචාරයක් දැක්වුවේ නැතත් දේශනා සේවයෙන් සතුටක් අද්දකින්න පුළුවන් කොහොමද?

14 ඔයා සේවය කරන ප්‍රදේශයේ ඉන්න සමහරදෙනෙක් අපේ පණිවිඩය ප්‍රතික්ෂේප කරයි කියලා ඔයාට හිතෙයි. ඒත් එහෙම හිතන්නේ නැතුව හැම කෙනෙක්ටම පණිවිඩයට සවන් දෙන්න අවස්ථාව දෙන එකෙන් අපිට සතුට අද්දකින්න පුළුවන්. මොකද එසකියෙල්ට කියපු මේ දේ දෙවි අපෙනුත් බලාපොරොත්තු වෙනවා. “ඔවුන් ඔබ කියන දේ අසන්න කැමති වුවත් නැතත් මාගේ පණිවිඩය ඔවුන්ට පැවසිය යුතුයි.” (එස. 2:7; යෙසා. 43:10) අපිට සතුටක් ලැබෙන්නේ දෙවිගේ පණිවිඩය මිනිසුන්ට කියන එකෙන් මිසක් පණිවිඩයට මිනිසුන් දක්වන ප්‍රතිචාරය නිසා නෙමෙයි. යෙහෝවා දෙවි අගය කරන්නේ අපි දරන වෑයමයි. (හෙබ්‍රෙව් 6:10 කියවන්න.) සහෝදරයෙක් මෙහෙම කියනවා. “අපි බීජ පැළ කරනවා. වතුර දානවා. ඒත් වර්ධනය දෙන්නේ යෙහෝවා දෙවි කියලා අපි දන්නවා. ඒ නිසයි යාච්ඤා කරලා ඒ ගැන දෙවිට කිව්වාට පස්සේ අපි ඒ ගැන ඕනෑවට වඩා වධ වෙන්නේ නැත්තේ.”—1 කොරි. 3:6.

සතුටක් දැනෙයි

15. මිනිසුන් අපිව අගය කරනවා නම් විතරද අපි ත්‍යාගශීලී වෙන්න ඕනේ? පැහැදිලි කරන්න.

15 යෙහෝවා දෙවිට වගේම යේසුස්ට ඕනෙත් අපි ත්‍යාගශීලී වෙලා සතුටක් ලබනවා දකින්නයි. ඒ නිසයි ඔහු මෙහෙම කිව්වේ. “දීමට පුරුදු වන්න. එවිට අන් අයත් ඔබට දෙයි. ඔවුන් ඔබට දෙන විට දෙන දේ සොලවා, තද කර, පිරී ඉතිරී යන විදිහට විශාල ප්‍රමාණයක් ඔබේ ඔඩොක්කුවලට මැන දෙයි. ඔබ මනින මිම්මෙන්ම ඔබටත් මැන දෙනු ලැබෙයි.” (ලූක් 6:38) ඔයාගේ ත්‍යාගශීලීකම හැමෝම අගය කරන එකක් නැහැ. ඒත් කීපදෙනෙක් හරි ඒක අගය කළොත් එයාලත් පෙලඹෙයි ත්‍යාගශීලී වෙන්න. ඒ නිසා ඔයා කරන දේවල් කවුරුත් අගය කරන්නේ නැහැ වගේ පේන්න තිබුණත් ත්‍යාගශීලී වෙන එක නවත්තන්න එපා. කවුද දන්නේ ඔයා අනිත් අය වෙනුවෙන් කරන එක දෙයක් නිසා කොයි තරම් හොඳ ප්‍රතිඵල ලැබෙයිද කියලා!

16. අපි ත්‍යාගශීලී වෙන්න ඕනෙ කාටද? ඒ ඇයි?

16 ත්‍යාගශීලී කෙනෙක් අනිත් අය වෙනුවෙන් දේවල් කරන්නේ ආපහු දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. යේසුස් මෙහෙම කිව්වා. “ඔබ භෝජන සංග්‍රහයක් පිළියෙල කරන විට දිලිඳු, අබ්බගාත, කොර හා අන්ධ මිනිසුන්ට ආරාධනා කරන්න. ඔබ කළ සංග්‍රහය වෙනුවෙන් කිසිවක් දෙන්න ඔවුන්ට හැකියාවක් නැති නිසා ඔබට පුළුවන් සතුටු වන්න.” (ලූක් 14:13, 14) බයිබලේ කියනවා “කරුණාවන්ත තැනැත්තාට ආශීර්වාද කරනු ලැබේ” කියලා. එතන කරුණාවන්ත කියද්දී ත්‍යාගශීලී කියන අදහසත් ඇතුළත් වෙනවා. “අසරණයා ගැන සැලකිලිමත් වන තැනැත්තා සන්තෝෂවත්ය” කියලත් බයිබලේ කියනවා. (හිතෝ. 22:9; ගීතා. 41:1) අනිත් අය වෙනුවෙන් දේවල් කරද්දී ලැබෙන්නේ කියලා නිම කරන්න බැරි සතුටක්.

17. අනිත් අය වෙනුවෙන් අපි කරන මොන දේවල් නිසාද අපිට සතුටක් ලැබෙන්නේ?

17 “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” කියලා යේසුස් කියපු දේ පාවුල් උපුටලා දක්වද්දී එයා අදහස් කළේ නැහැ අපිට අනිත් අය වෙනුවෙන් දෙන්න පුළුවන් තෑගිබෝග, බඩු මුට්ටු විතරයි කියලා. දිරිගැන්වීම්, බයිබලෙන් යම් මඟ පෙන්වීම් වගේම කෙනෙක්ට උදව්වක් අවශ්‍යයි කියලා තේරෙද්දී ඒක ලබා දෙන එකත් ඒකට ඇතුළත්. (ක්‍රියා 20:31-35) අපේ කාලය, ශ්‍රමය අනිත් අය වෙනුවෙන් දෙන එකත් අපේ සැලකිල්ල, ආදරේ එයාලට පෙන්නන එකත් කොච්චර වැදගත්ද කියලා පාවුල් එයාගේ ආදර්ශයෙන් අපිට ඉගැන්නුවා.

18. ත්‍යාගශීලී වෙන එක ගැන පර්යේෂකයන් කියන්නේ මොනවාද?

18 මිනිසුන්ගේ හැසිරීම ගැන අධ්‍යයනය කරන පර්යේෂකයන් හොයාගෙන තියෙනවා ත්‍යාගශීලී වෙන එකෙන් මිනිසුන් සතුටක් අද්දකිනවා කියලා. එක ලිපියක සඳහන් වෙනවා අනිත් අය වෙනුවෙන් යහපත් දෙයක් කළාම තමන්ට ලොකු සතුටක් දැනෙනවා කියලා හුඟදෙනෙක් කිව්වා කියලා. අපි අනිත් අයට උදව් කරද්දී අපේ ජීවිතේට අර්ථයක් තියෙනවා කියලා අපිට දැනෙනවා කියලයි පර්යේෂකයන් කියන්නේ. ඒ නිසා සෞඛ්‍ය තත්වය තව දියුණු කරගන්න නම්, සතුට අද්දකින්න නම් අනිත් අය වෙනුවෙන් දේවල් කරන්න ඉදිරිපත් වෙන්න කියලා එයාලා දිරිගන්වනවා. පර්යේෂකයන් හොයාගෙන තියෙන ඒ තොරතුරු ගැන අපි පුදුම වෙන්නේ නැහැ. මොකද අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි ඒ ගැන බයිබලේ සඳහන් කරලා තියෙනවා.—2 තිමෝ. 3:16, 17.

දිගටම අනිත් අය වෙනුවෙන් දේවල් කරන්න

19, 20. ත්‍යාගශීලී වෙන්න ඔයා කැමති ඇයි?

19 ආත්මාර්ථකාමී මිනිසුන් පිරුණු සමාජයක ජීවත් වෙද්දී ත්‍යාගශීලී වෙන එක ලේසි නැහැ. මුළු හදවතින්ම යෙහෝවා දෙවිට ආදරේ කරන එකත් අපිට වගේ අපේ අසල්වැසියන්ට ආදරේ කරන එකත් උතුම්ම ආඥා දෙක කියලා යේසුස් කිව්වා. (මාක් 12:28-31) අපි මේ ලිපියෙන් ඉගෙනගත්තේ යෙහෝවා දෙවිට ආදරේ කරන අය ඔහුව ආදර්ශයට ගන්නවා කියලයි. දෙවි සහ යේසුස් හරිම ත්‍යාගශීලියි. ත්‍යාගශීලී අය වෙන්න කියලා ඒ දෙන්නා අපිටත් උනන්දු කරනවා. මොකද එතකොට අපිට සැබෑ සතුට අද්දකින්න පුළුවන්. යෙහෝවා දෙවි වෙනුවෙනුත් අනිත් අය වෙනුවෙනුත් අපි කැප කිරීම් කරද්දී දෙවිව ගෞරවයට පත් වෙනවා. ඒ වගේම අපේ ත්‍යාගශීලීකම නිසා අපිටත් අනිත් අයටත් ප්‍රයෝජන ලැබෙයි.

20 අනිත් අය වෙනුවෙන් විශේෂයෙන්ම ඔයාගේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් ඔයා දැනටමත් දේවල් කරනවා ඇති. (ගලා. 6:10) ඔයා දිගටම ත්‍යාගශීලී වෙද්දී අනිත් අය ඔයාව අගය කරයි. ඔයාට ආදරේ කරයි. ඒක ඔයාට සතුටක් වෙයි. බයිබලේ කියන්නේ “ත්‍යාගශීලී තැනැත්තා තෘප්තියට පත් වෙයි. අන්‍යයන්ව නොමසුරුව පෝෂණය කරන තැනැත්තාවද නොඅඩුව පෝෂණය කරනු ලැබේ” කියලයි. (හිතෝ. 11:25) අනිත් අය වෙනුවෙන් දේවල් කරන්න අපිට තව ගොඩක් අවස්ථා තියෙනවා. ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.

^ 13 ඡේ. නම වෙනස් කර ඇත.