Skip to content

පටුනට යන්න

තීරණයකට එන්න කලින් නිවැරදි තොරතුරු ලබාගන්න

තීරණයකට එන්න කලින් නිවැරදි තොරතුරු ලබාගන්න

“කාරණයකට හොඳින් සවන් දීමට කලින් කතා කිරීම මෝඩකමකි. එයින් අත් වන්නේ ලැජ්ජාවකි.”—හිතෝ. 18:13.

ගීතිකා: 126, 95

1, 2. (අ) අපි හැමෝම තව වැඩි කරගන්න ඕනෙ මොන හැකියාවද? ඒ ඇයි? (ආ) මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

අපිට ලැබෙන තොරතුරු හොඳින් කිරලා මැනලා බලන්නත් ඒවා පාවිච්චි කරලා හරි නිගමනවලට එන්නත් අපි හැමෝම ඉගෙනගන්න ඕනේ. (හිතෝ. 3:21-23; 8:4, 5) ඒ හැකියාව අපිට නැත්නම් සාතන්ටත් මේ දුෂ්ට සමාජයටත් පුළුවන් අපිව ලේසියෙන්ම රවට්ටන්න. (එෆී. 5:6; කොලො. 2:8) අපි ළඟ නිවැරදි තොරතුරු නැත්නම් අපිට හරි නිගමනවලට එන්න බැහැ කියන දේත් අපි මතක තියාගන්න ඕනේ. “කාරණයකට හොඳින් සවන් දීමට කලින් කතා කිරීම මෝඩකමකි. එයින් අත් වන්නේ ලැජ්ජාවකි” කියලා හිතෝපදේශ 18:13 කියන්නේ ඒ නිසයි.

2 හරි නිගමනවලට එන්න උදව් වෙන නිවැරදි තොරතුරු ලබාගන්න එක අමාරු ඇයි කියලා අපි මේ ලිපියෙන් බලමු. ඒ වගේම ලැබෙන තොරතුරු හොඳින් කිරලා මැනලා බලන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති සහ උදාහරණ කීපයකුත් බලමු.

“අනුන් පවසන සෑම දෙයක්ම” විශ්වාස කරන්න එපා

3. හිතෝපදේශ 14:15 තියෙන ප්‍රතිපත්තිය අපි අදාළ කරගන්න ඕනෙ ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

3 හැම දෙයක් ගැනම අද හුඟක් තොරතුරු තියෙනවා. සමහර වෙලාවට තොරතුරුවල කෙළවරක් නැහැ. ඉන්ටර්නෙට් එකෙන්, TV එකෙන් සහ වෙනත් මාධ්‍යයන්වලින් හුඟක් තොරතුරු එළියට දානවා. ඊ-මේල්, මෙසේජස් හරහා වගේම දන්න කියන අයගෙනුත් අපිට තොරතුරු ලැබෙනවා. ඒත් ඒ හැම තොරතුරක්ම විශ්වාස කරන්න පුළුවන්ද? අපේ යාළුවෝ සමහරවිට තොරතුරු අපිට එවන්නේ හොඳ චේතනාවෙන් වෙන්න පුළුවන්. ඒත් ඕනෑකමින්ම බොරු තොරතුරු ප්‍රචාරය කරන අයත් මේ සමාජයේ ඉන්නවා. ඒ නිසා හිතෝපදේශ 14:15 තියෙන ප්‍රතිපත්තිය අපි අදාළ කරගන්න එක වැදගත්. එතන මෙහෙම කියනවා. “අද්දැකීම් අඩු තැනැත්තා අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස කරයි. නමුත් සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.”

4. අපි කියවන්න තෝරගන්න ඕනෙ මොන වගේ තොරතුරුද කියලා තීරණය කරන්න ෆිලිප්පි 4:8, 9 කියන දේ උදව් වෙන්නේ කොහොමද? නිවැරදි තොරතුරු ලබාගන්න එක වැදගත් ඇයි? (“ නිවැරදි තොරතුරු ලබාගන්න උදව් වෙන සැපයුම්” කියන කොටුවත් බලන්න.)

4 විශ්වාසවන්ත තොරතුරු තියෙනවා නම් විතරයි අපිට හරි තීරණ ගන්න පුළුවන් වෙන්නේ. අපි කියවන තොරතුරු ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ ඒ නිසයි. (ෆිලිප්පි 4:8, 9 කියවන්න.) කිසිම පදනමක් නැතුව ප්‍රවෘත්ති පළ කරන වෙබ් අඩවිවල සැරිසරන්න, කටකතා පතුරුවන ඊ-මේල් කියවන්න අපි කාලේ නාස්ති කරන්න හොඳ නැහැ. විශේෂයෙන්ම සත්‍ය ඉගැන්වීම් අත්හැරලා ගිය අය පළ කරන තොරතුරු ඇතුළත් වෙබ් අඩවිවලට යන එකෙන් අපි වළකින්න ඕනේ. ඒ අයට ඕනෙ සත්‍ය ඉගැන්වීම් විකෘති කරලා අපිව නොමඟ යවන්න. විශ්වාසය තියන්න බැරි ඒ වගේ තොරතුරු කියෙව්වාට හානියක් වෙන්නේ නැහැ කියලා හිතන්න එපා. වැරදි තොරතුරු නිසා වැරදි තීරණ ගන්න අපි පෙලඹෙන්න ඉඩ තියෙනවා.—1 තිමෝ. 6:20, 21.

5. ඊශ්‍රායෙල්වරුන්ට ලැබුණ බොරු ආරංචිය මොකක්ද? ඒක එයාලට බලපෑවේ කොහොමද?

5 බොරු තොරතුරු විශ්වාස කරන එකෙන් භයානක ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. මතකද, මෝසෙස් පොරොන්දු දේශයේ තොරතුරු හොයලා බලන්න මිනිසුන් 12දෙනෙක්ව යැව්ව අවස්ථාව? ඒ අයගෙන් 10දෙනෙක්ම කිව්වේ බොරු තොරතුරු. (ගණන්. 13:25-33) එයාලා එක දෙක කරලා දේවල් විස්තර කළා. ඒවා අහලා ඊශ්‍රායෙල්වරු බය වෙලා අධෛර්යය වුණා. (ගණන්. 14:1-4) තොරතුරු හොයලා බලන්න ගිය අයගෙන් වැඩිදෙනෙක් එකම දේ කිව්ව නිසා ඒක තමයි ඇත්ත කියලා සමහරවිට එයාලා හිතන්න ඇති. ඒකෙන් වුණේ යොෂුවා සහ කාලෙබ් කියපු හොඳ දේවල් පිළිගන්න එයාලා අකමැති වුණ එකයි. (ගණන්. 14:6-10) ලැබුණ තොරතුරු නිවැරදිද කියලා හොයලා බලලා දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරනවා වෙනුවට එයාලා වැරදි තොරතුරු විශ්වාස කරන්න තීරණය කළා. ඒක මොන තරම් මෝඩ දෙයක්ද!

6. සාක්ෂිකරුවන් ගැන අදහාගන්න බැරි වාර්තා අහන්න ලැබෙද්දී අපි ඒවා විශ්වාස කරන්න ඉක්මන් වෙන්න හොඳ නැත්තේ ඇයි?

සාක්ෂිකරුවන් ගැන විවිධ ආරංචි අහන්න ලැබෙද්දී ඒවා විශ්වාස කරන්න අපි ඉක්මන් වෙන්න හොඳ නැහැ. අපි දන්නවා සාතන් බලන් ඉන්නේ දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ට ‘විරුද්ධව චෝදනා එල්ල කරන්න’ කියලා. (එළි. 12:10) විරුද්ධවාදීන් අපිට විරුද්ධව ‘බොරු චෝදනා නඟලා, අපි ගැන සියලු ආකාර දුෂ්ට දේ පවසනවා’ කියලා යේසුත් කිව්වා. (මතෙ. 5:11) අපි ඒ දේ මතක තියාගන්නවා නම් සාක්ෂිකරුවන් ගැන අහන්න ලැබෙන හැම වාර්තාවක්ම අපි විශ්වාස කරන්නේ නැහැ.

7. ඊ-මේල් එකක් නැත්නම් මෙසේජ් එකක් යවන්න කලින් අපි හිතන්න ඕනෙ මොනවා ගැනද?

7 ඔයාත් යාළුවන්ට ඊ-මේල්, මෙසේජ් යවන්න කැමති කෙනෙක්ද? හිත ඇදිලා යන ප්‍රවෘත්තියක් දැක්කාම, වැඩිය අහන්න ලැබෙන්නේ නැති විදිහේ අද්දැකීමක් අහන්න ලැබුණාම ඔයාත් මාධ්‍යවේදියෙක් වගේ ඒක ඉක්මනටම අනිත් අය එක්ක බෙදාගන්න ආසද? ඒවා අනිත් අයට යවන්න කලින් මෙහෙම හිතන්න. ‘මේ කතාව ඇත්තක් කියලා මට විශ්වාසද? ඒක ඇත්ත කියලා පිළිගන්න තරම් තොරතුරු මං ළඟ තියෙනවාද?’ ඒක එහෙම නෙමෙයි නම් සමහරවිට ඔයා බෙදාගන්නේ බොරු තොරතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ කතාව ඇත්ත කියලා ඔයාට 100%ක්ම විශ්වාස නැත්නම් ඒක අනිත් අයට යවන්න එපා. ඒක ඩිලීට් කරන්න.

8. සමහර රටවල ඉන්න විරුද්ධවාදීන් කරලා තියෙන්නේ මොනවාද? හිතන්නේ නැතුව අපි එයාලට සහය දෙනවා වෙන්න පුළුවන් කොහොමද?

8 ලැබෙන ඊ-මේල්, මෙසේජ් හිතන්නේ බලන්නේ නැතුව අනිත් අයට යවන එක තවත් හේතුවක් නිසා අනතුරුදායකයි. සමහර රටවල අපේ වැඩකටයුතුවලට සීමා දාලා තියෙනවා. නැත්නම් සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙනවා. ඒ රටවල ඉන්න අපේ විරුද්ධවාදීන් සහෝදරයන්ව බයගන්වන අරමුණින් නැත්නම් අනිත් සහෝදරයන් දිහා සැකෙන් බලන්න පොලඹවන අරමුණින් විවිධ කතා පතුරුවන්න පුළුවන්. සෝවියට් දේශයෙත් ඒ වගේ දෙයක් වුණා. රහස් පොලීසියෙන් බොරු ප්‍රචාරයක් යැව්වා සංවිධානයේ පෙරමුණ අරන් වැඩ කරපු සහෝදරයන් කීපදෙනෙක් දෙවිගේ සෙනඟව පාවා දීලා කියලා. * හුඟක් සහෝදරයන් ඒ බොරු කතාව විශ්වාස කරලා දෙවිගේ සංවිධානයෙන් අයින් වුණා. පස්සේ කාලෙක ඒ අයගෙන් වැඩිදෙනෙක් ආයෙත් දෙවිට සේවය කරන්න පටන්ගත්තත් කීපදෙනෙක්ම ආයෙත් ආවේ නැහැ. ඒ බොරු කතා නිසා එයාලගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. (1 තිමෝ. 1:19) ඒ වගේ දෙයක් අපිට නොවෙන්න නම් අපි මොනවාද කරන්න ඕනේ? අපිව අධෛර්යය කරවන, ඇත්ත කියලා තහවුරු කරලා නැති තොරතුරු අනිත් අය එක්ක බෙදාගන්න එපා. අහන හැම දේම විශ්වාස කරන්නත් එපා. ලැබෙන තොරතුරු පිළිගන්න පුළුවන්ද කියලා හොයලා බලන්න.

සීයට සීයක්ම නිවැරදි නැහැ

9. නිවැරදි තොරතුරු ලබාගන්න එක අමාරු වෙන්න පුළුවන් තව මොකක් නිසාද?

9 අපිට අහන්න ලැබෙන සමහර තොරතුරුවල යම් දුරකට ඇත්තක් තිබුණත් ඒකට ඇතුළත් හැම එකක්ම ඇත්ත නෙමෙයි. තවත් ඒවා කියන්නේ තොරතුරු හළලා. එහෙම වුණාමත් හරි නිගමනයකට එන්න අමාරුයි. කතාව භාගෙට ඇත්තයි නම් ඒක විශ්වාස කරන්න බැහැ. ඒ වගේ කතාවලට රැවටෙන්නේ නැතුව ඉන්න පුළුවන් කොහොමද?—එෆී. 4:14.

10. ඊශ්‍රායෙල්වරුන් එයාලගෙම සහෝදරයන් එක්ක යුද්ධ කරන්න ලෑස්ති වුණේ ඇයි? ඒක වළක්වගන්න පුළුවන් වුණේ කොහොමද?

10 යොෂුවාගේ කාලේ යොර්දාන් ගඟට බටහිර පැත්තේ ජීවත් වුණ ඊශ්‍රායෙල්වරුන්ට වුණ දේකින් අපිට පාඩමක් ඉගෙනගන්න පුළුවන්. (යොෂු. 22:9-34) එයාලට ආරංචි වුණා යොර්දාන් ගඟට නැඟෙනහිර පැත්තේ හිටපු ඊශ්‍රායෙල්වරු ගඟ ළඟ විශාල පූජාසනයක් හදලා කියලා. ආරංචි වුණ ඒ දේ ඇත්ත. ඒත් ඒකට හැම තොරතුරක්ම ඇතුළත් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා එයාලා හිතුවා නැඟෙනහිර පැත්තේ හිටපු එයාලගේ සහෝදරයෝ යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගහන්න පටන් අරන් කියලා. එහෙම හිතලා එයාලට විරුද්ධව යුද්ධ කරන්න බටහිර පැත්තේ හිටපු ඊශ්‍රායෙල්වරු තීරණය කළා. (යොෂුවා 22:9-12 කියවන්න.) ඒත් යුද්දෙට යන්න කලින් එයාලා කීපදෙනෙක්ව යැව්වා ඒ සිද්ධිය ගැන තව තොරතුරු හොයලා බලන්න. එතකොට එයාලට දැනගන්න ලැබුණා නැඟෙනහිර පැත්තේ හිටපු ඊශ්‍රායෙල්වරු පූජාසනය ගොඩනැඟුවේ බොරු දෙවිවරුන්ට පූජා ඔප්පු කරන්න නෙමෙයි එයාලත් යෙහෝවා දෙවිට නමස්කාර කරනවා කියලා සිහිගන්වන්නයි කියලා. තමන්ගෙම සහෝදරයන්ට විරුද්ධව යුද්ධ කරන්න හදිසි වෙනවා වෙනුවට තොරතුරු හොයලා බලන්න කාලේ ගත්ත එක ගැන බටහිර පැත්තේ හිටපු ඊශ්‍රායෙල්වරු කොච්චර සතුටු වෙන්න ඇද්ද!

11. (අ) මෙෆිබොෂෙත් අසාධාරණයකට මුහුණ දුන්නේ මොකක් නිසාද? (ආ) දාවිත් මොනා කලා නම්ද ඒක වළක්වගන්න තිබුණේ?

11 සමහරු අපි ගැන භාගෙට භාගයක් බොරු ඇතුළත් කතා පතුරුවන නිසා අපිත් අසාධාරණ දේකට මුහුණ දෙන්න පුළුවන්. මෙෆිබොෂෙත් ඒ වගේ දේකට මුහුණ දුන්නා. එයාගේ සීයා වුණ සාවුල් රජුට අයිති හැම ඉඩමක්ම දාවිත් එයාට දුන්නා. (2 සාමු. 9:6, 7) ඒත් පස්සේ එයා ගැන දාවිත්ට බොරු තොරතුරක් ආරංචි වුණාම දාවිත් ඒක ඇත්තද කියලා හොයලා බලන්නේ නැතුව එයාගේ ඉඩම් ආයෙත් ගත්තා. (2 සාමු. 16:1-4) පස්සේ මෙෆිබොෂෙත් එක්ක කතා කරද්දී දාවිත්ට තේරුණා තමන් අතින් වුණේ වරදක් කියලා. ඉඩම්වලින් භාගයක් ආයෙත් එයාට දෙන්න දාවිත් තීරණය කළා. (2 සාමු. 19:24-29) ලැබුණ තොරතුරු එකපාරටම විශ්වාස කරන්නේ නැතුව හරියටම වුණේ මොකක්ද කියලා හොයලා බැලුවා නම් දාවිත් අතින් මෙෆිබොෂෙත්ට ඒ වගේ අසාධාරණයක් වෙන්නේ නැහැ.

12, 13. (අ) මිනිසුන් යේසුස් ගැන බොරු දේවල් කිව්වාම ඔහු මොකද කළේ? (ආ) කවුරු හරි අපි ගැන බොරු පැතිරුවොත් අපිට මොනවාද කරන්න පුළුවන්?

12 කෙනෙක් ඔයා ගැන බොරු පතුරුවනවා කියලා දැනගන්න ලැබුණොත් ඔයාට මොනවාද කරන්න පුළුවන්? යේසුස් සහ යොහන් බව්තීස්ත ඒ වගේ දේවලට මුහුණ දුන්නා. (මතෙව් 11:18, 19 කියවන්න.) යේසුස් මොකද කළේ? ඔහු ගැන පැතිරිලා තියෙන බොරු නිවැරදි කරන්න යේසුස් තමන්ගේ සම්පූර්ණ කාලේ, ශ්‍රමය වැය කළේ නැහැ. ඒ වෙනුවට ඔහු සෙනඟට උනන්දු කළේ ඔහු කරපු සහ ඔහු උගන්වපු දේවල් දිහා බලලා ඇත්ත තේරුම්ගන්න කියලයි. “ප්‍රඥාවන්තයෙක් ධර්මිෂ්ඨයි කියා ඔප්පු වන්නේ ඔහු කරන ක්‍රියාවලිනුයි” කියලා ඔහු කිව්වේ ඒ නිසයි.—මතෙ. 11:19.

13 අපිට යේසුස්ගෙන් වටිනා පාඩමක් ඉගෙනගන්න පුළුවන්. සමහර වෙලාවට මිනිසුන් අපි ගැනත් බොරු දේවල් කියන්න පුළුවන්. ඒකෙන් අපේ නම කැත වෙන්නත් පුළුවන්. ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් මොනවාද? කවුරු හරි අපි ගැන බොරු කියනවා නම් අපි ඇත්තටම එහෙම අය නෙමෙයි කියලා අපි ජීවත් වෙන විදිහෙන් පෙන්නන්න අපිට පුළුවන්.

ඔයා ගැන ඔයා ඕනෑවට වඩා විශ්වාස කරනවාද?

14, 15. අපි ගැන අපි ඕනෑවට වඩා විශ්වාසය තියන්න හොඳ නැත්තේ ඇයි?

14 නිවැරදි තොරතුරු ලබාගන්න තියෙන අභියෝගය නිසා විතරක් නෙමෙයි අපේ පව්කාර ස්වභාවය නිසාත් හරි නිගමනවලට එන්න අමාරුයි. හිතන්න, කෙනෙක් කාලයක් තිස්සේ දෙවිට සේවය කරනවා කියලා. දේවල් ගැන හොඳට හිතලා බලලා අවබෝධයෙන් වැඩ කරන්න එයා ඉගෙනගෙන ඇති. ඒත් ඒ හැකියාව එයාට උගුලක් වෙන්න පුළුවන්ද?

15 ඔව්. එයා තමන් ගැනම ඕනෑවට වඩා විශ්වාසය තියලා වැඩ කරන්න ඒකෙන් පෙලඹෙන්න පුළුවන්. එයාට හැඟෙන විදිහ, එයාගේ අදහස් තමයි හරි කියලා එයාට හිතෙන්න පුළුවන්. යම් කාරණයක් ගැන හැම තොරතුරක්ම දන්නේ නැතත් එයාට ඒ කාරණය හොඳින් තේරුම්ගන්න පුළුවන් කියලා හිතෙයි. ඒක හරිම භයානකයි. බයිබලේ පැහැදිලිවම කියන්නේ අපේ නුවණ මත රඳා ඉන්නවත් අපි ගැන ඕනෑවට වඩා විශ්වාසය තියලා වැඩ කරන්නවත් එපා කියලයි.—හිතෝ. 3:5, 6; 28:26.

16. විස්තර කරන මේ සිද්ධියේදී වුණේ මොකක්ද? අශේන් හිතුවේ මොකක්ද?

16 ඒ කාරණය අපි මේ සිද්ධියෙන් තේරුම්ගමු. අශේන් කාලයක් තිස්සේ වැඩිමහල්ලෙක් විදිහට සේවය කරන සහෝදරයෙක්. දවසක් එයා රෙස්ටුරන්ට් එකකට ගියා. එහෙදී එයා දකිනවා තවත් වැඩිමහල්ලෙක් වන ගයාන් කාන්තාවක් එක්ක කතා කරකර ඉන්නවා. ඒත් ඒ ගයාන්ගේ බිරිඳ නෙමෙයි. දෙන්නා හිනා වෙවී කතා කරකර ඉඳලා ඊටපස්සේ වැලඳගන්නවාත් එයා දකිනවා. අශේන් ටිකක් කලබල වෙලා මෙහෙම හිතනවා. ‘ගයාන් එයාගේ බිරිඳගෙන් දික්කසාද වෙයිද? එයාලගේ දරුවන්ට මොනවා වෙයිද?’ මීට කලිනුත් පවුල්වල මේ වගේ ප්‍රශ්න ඇති වෙනවා අශේන් දැකලා තියෙනවා. ඒ වගේ දෙයක් ඔයා දැක්කා නම් ඔයාට මොනවා හිතෙයිද?

17. රෙස්ටුරන්ට් එකෙන් ගියාට පස්සේ අශේන් දැනගත්තේ මොන තොරතුරුද? ඒ සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද?

17 ඒත් ගයාන් එයාගේ බිරිඳට ද්‍රෝහි වෙනවා කියන නිගමනයට අශේන් ආවේ සිද්ධියට සම්බන්ධ හැම තොරතුරක්ම දැනගෙනද? නැහැ. එදා හැන්දෑවේ අශේන් ගයාන්ට කෝල් එකක් දුන්නා. එතකොට එයා දැනගත්තා ඒ කාන්තාව ගයාන්ගේ නංගි කියලා. එයා ඉන්නේ දුර පළාතක. කාලෙකට පස්සෙයි ඒ දෙන්නා හම්බ වෙලා තියෙන්නේ. එයා ඇවිත් තියෙන්නේ පැය දෙක තුනකින් ආපහු යන්න නිසා දෙන්නා කතා වෙලා තියෙනවා රෙස්ටුරන්ට් එකක හම්බ වෙන්න. දාගත්ත වෙන වැඩක් නිසා ගයාන්ගේ බිරිඳට එන්න බැරි වෙලා. තමන් ආපු වැරදි නිගමනය ගැන කාටවත් කිව්වේ නැති එක කොච්චර හොඳද කියලා අශේන්ට හිතුණා. ඒ සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? අපිට ගොඩක් අද්දැකීම් තියෙන නිසා යම් කාරණයකට අදාළ තොරතුරු හොඳින් හොයලා බලන්නේ නැතුව හරි නිගමනයකට එන්න පුළුවන් කියලා කවදාවත් හිතන්න එපා.

18. සහෝදරයෙක් ගැන ආරංචි වෙන නරක දෙයක් එකපාරටම විශ්වාස කරන්න අපි පෙලඹෙන්න පුළුවන් ඇයි?

18 අපිට සහෝදරයෙක් එක්ක යම් ප්‍රශ්නයක් තියෙනවා නම් එයා ගැන දැනගන්න ලැබෙන තොරතුරු හොඳින් කිරලා මැනලා බලන්නේ නැතුව නිගමනයකට එන්න අපි පෙලඹෙන්න පුළුවන්. අපි නිතරම හිතන්නේ ඒ කෙනාගේ අපි අකමැති දේවල් ගැන නම් එයා දිහා සැකෙන් බලන්න අපි පෙලඹෙයි. එයා ගැන නරක ආරංචියක් අහන්න ලැබුණාම ඉක්මනින්ම අපි ඒක විශ්වාස කරනවා. ඒක ඇත්ත කියලා කියන්න සාක්ෂි නැතත් ඒක ඇත්ත කියලා හිතන්නයි අපිට ඕනේ. ඒ කාරණයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? අපේ සහෝදරයන් ගැන අමනාපයක් හිතේ තියෙනවා නම් නිවැරදි තොරතුරු නැතත් එයාලා ගැන වැරදි නිගමනවලට එන්න තියෙන ඉඩකඩ වැඩියි කියන පාඩම. (1 තිමෝ. 6:4, 5) තව කෙනෙක් ගැන පොඩි හරි අකමැත්තක් අපේ හිතේ තියාගන්න හොඳ නැහැ. යෙහෝවා දෙවි කැමති අපි අපේ සහෝදර සහෝදරියන්ට ආදරෙන් සලකලා එයාලට මුළු හිතින්ම සමාව දෙනවාටයි.—කොලොස්සි 3:12-14 කියවන්න.

බයිබල් ප්‍රතිපත්ති අපිට ආරක්ෂාවක්

19, 20. (අ) තොරතුරු හොඳින් කිරලා මැනලා බලන්න අපිට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවාද? (ආ) ඊළඟ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

19 නිවැරදි තොරතුරු ලබාගන්න එකත් ඒවා හොඳින් කිරලා මැනලා බලන එකත් ලොකු අභියෝගයක්. ඒ ඇයි? ගොඩක් තොරතුරු තිබුණාට ඒවායින් වැඩි හරියකටම කිසිම පදනමක් නැහැ. තව ඒවා 100%ක්ම ඇත්ත නෙමෙයි. අපිට තියෙන තවත් අභියෝගයක් තමයි අපේ පව්කාර ස්වභාවය. ඒ අභියෝග ජය ගන්න දේවවචනයේ තියෙන ප්‍රතිපත්ති අපිට උදව් වෙනවා. ඒ වගේ එක ප්‍රතිපත්තියක් තමයි හැම තොරතුරක්ම දැනගන්න කලින් නිගමනයකට එන එක මෝඩකමක් කියන දේ. (හිතෝ. 18:13) තව එකක් තමයි ඇත්තටම වුණේ මොකක්ද කියලා හොයලා බලන්නේ නැතුව අහන්න ලැබෙන හැම දේම විශ්වාස කරන්න එපා කියන ප්‍රතිපත්තිය. (හිතෝ. 14:15) අපි කොයි තරම් කාලයක් තිස්සේ දෙවිට සේවය කළත් අපේ නුවණ මත රඳා ඉඳලා වැඩ කරන්න හොඳ නැහැ කියන එක තවත් ප්‍රතිපත්තියක්. (හිතෝ. 3:5, 6) අපි විශ්වාසවන්ත තොරතුරු ලබාගෙන ඒවා කිරලා මැනලා හරි නිගමනවලට එනවා නම් අපිට හොඳ තීරණ ගන්න පුළුවන්.

20 හරි නිගමනවලට එන්න අපිට අමාරු වෙන තවත් හේතුවක් තියෙනවා. ඒ තමයි පේන්න තියෙන දේට අනුව ඉක්මනින්ම නිගමනවලට එන එක. ඒකට හේතු වෙන්න පුළුවන් දේවල් ගැනත් ඒකෙන් වැළකෙන්න පුළුවන් කොහොමද කියලත් අපි ඊළඟ ලිපියෙන් බලමු.

^ 8 ඡේ. ‘2004 වාර්ෂික පොතේ’ 111-112 පිටු සහ ‘2008 වාර්ෂික පොතේ’ 133-135 පිටු බලන්න. (සිංහලෙන් නැහැ.)