Skip to content

පටුනට යන්න

පිටින් බලලා විනිශ්චය කරන්න එපා

පිටින් බලලා විනිශ්චය කරන්න එපා

“පිටතින් දේවල් දෙස බලා තවදුරටත් විනිශ්චය කරන්න එපා. ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන්න.”—යොහ. 7:24.

ගීතිකා: 142, 123

1. යෙසායා යේසුස් ගැන කිව්ව අනාවැකිය මොකක්ද? ඒක අපිට සහනයක් වෙන්නේ කොහොමද?

යෙසායා යේසුස් ගැන මේ අනාවැකිය කිව්වා. “ඔහු මතුපිටින් දකින දේ අනුව විනිශ්චය නොකරයි. ඔහුට යමක් ඇසුණු පමණින්ද ඔහු දඬුවම් නොකරයි. ඔහු දිලිඳු අයව ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරයි.” (යෙසා. 11:3, 4) ඒ අනාවැකිය අපේ හිත්වලට බලාපොරොත්තුවක් වගේම සහනයක් ලබා දෙනවා. එහෙම කියන්නේ ඇයි? අපි ජීවත් වෙන්නේ පේන දේට අනුව අනිත් අයව විනිශ්චය කරන, උස් පහත් භේද පිරුණු සමාජයක. ඒ නිසයි මතුපිටින් දකින දේට අනුව අපිව විනිශ්චය කරන්නේ නැති යේසුස්ගේ පාලනය එන කල් අපි ආසාවෙන් බලාගෙන ඉන්නේ!

2. යේසුස් අපිට කරන්න එපා කිව්වේ මොකක්ද? අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

2 හැම දවසකම අපි අනිත් අය ගැන විවිධ නිගමනවලට එනවා. ඒ නිගමන හැම වෙලේම හරියි කියන්න බැහැ. මොකද අපේ පව්කාර ස්වභාවය නිසා හුඟක් වෙලාවට අපි ඒ නිගමනවලට එන්නේ පිටින් පේන දේට අනුවයි. ඒත් යේසුස් කිව්වේ “පිටතින් දේවල් දෙස බලා තවදුරටත් විනිශ්චය කරන්න එපා. ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන්න” කියලයි. (යොහ. 7:24) යේසුස්ට ඕනෙ අපිත් ඔහු වගේ පිටින් පේන දේට අනුව අනිත් අයව විනිශ්චය නොකර ඉන්නවා දකින්නයි. අනිත් අය ගැන නිගමනවලට එන්න හේතු වෙන කරුණු 3ක් ගැන අපි මේ ලිපියෙන් බලනවා. (1) කෙනෙකුගේ ජාතිය. (2) කෙනෙක්ට කොච්චර සල්ලි තියෙනවාද කියන දේ. (3) කෙනෙක්ගේ වයස. ඒ එක් එක් කරුණ බලද්දී යේසුස් කියපු දේට කීකරු වෙන්න අපිට පුළුවන් කොහොමද කියලත් බලමු.

ජාතිය බලලා විනිශ්චය කරන්න එපා

3, 4. (අ) වෙනත් ජාතීන් ගැන තමන්ට හැඟුණ විදිහ වෙනස් කරගන්න පේතෘස් පෙලඹුණේ මොන සිදුවීම් නිසාද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) යෙහෝවා දෙවි පේතෘස්ට උගන්වපු අලුත් දේ මොකක්ද?

3 සිසේරියේ ජීවත් වුණ කොර්නේලියස්ගේ නිවසට යන්න කියලා පේතෘස්ට මඟ පෙන්වීමක් ලැබුණාම එයාට පුදුම හිතෙන්න ඇති. මොකද කොර්නේලියස් වෙනත් ජාතියකට අයිති කෙනෙක්. (ක්‍රියා 10:17-29) අනිත් යුදෙව්වන් වගේ පොඩි කාලේ ඉඳලා පේතෘස් හිතුවෙත් වෙනත් ජාතීන්ට අයිති අය අපවිත්‍රයි කියලා. ඒත් සිදු වුණ සමහර දේවල් නිසා එයාට වුණා එයා හිතපු විදිහ වෙනස් කරගන්න. උදාහරණෙකට දවසක් පේතෘස් දර්ශනයක් දැක්කා. (ක්‍රියා 10:9-16) ඒ දර්ශනයේ එයා දැක්කා අපවිත්‍ර සතුන් ඉන්න ඇතිරිල්ලක් අහසෙන් පොළොවට පහත් කරනවා. ඊටපස්සේ “පේතෘස්, නැඟිටින්න! උන්ව මරා කන්න” කියලා කියන හඬක් එයාට ඇහුණා. ඒ සතුන්ව කන්න බැහැ කියලා පේතෘස් එකහෙළාම කිව්වා. එතකොට “දෙවි පවිත්‍ර කර ඇති දේ අපවිත්‍රයි කියා තවදුරටත් කියන්න එපා” කියලා ඒ හඬ පේතෘස්ට කිව්වා. ඒකෙන් අදහස් කළේ මොකක්ද කියලා පේතෘස්ට හරියටම තේරුණේ නැහැ. ඒ ගැන හිතහිත ඉද්දී කොර්නේලියස් එවපු මිනිසුන් කීපදෙනෙක් පේතෘස් ඉන්න තැනට ආවා. ඒ මිනිසුන් එක්ක කොර්නේලියස්ගේ නිවසට යන්න කියලා දෙවි ඔහුගේ බලය මාර්ගයෙන් පේතෘස්ට මඟ පෙන්නුවාම එයා ගියා.

4 පිටතින් දේවල් දිහා බලලා තීරණය කළා නම් පේතෘස් කීයටවත් එදා ඒ ගමන යන්නේ නැහැ. මොකද යුදෙව්වන් වෙනත් ජාතියකට අයිති කෙනෙක්ගේ නිවසකට අඩියක්වත් තිබ්බේ නැහැ. එහෙම වටපිටාවකින් ආපු පේතෘස් වෙනස් වුණේ කොහොමද? එයා දැක්ක දර්ශනය සහ දෙවිගේ බලය මාර්ගයෙන් එයාට ලැබුණ මඟ පෙන්වීම නිසා වෙනත් ජාතීන් ගැන එයා හිතපු විදිහ එයා වෙනස් කරගත්තා. කොර්නේලියස් කියපු දේවලට සවන් දුන්නාට පස්සේ පේතෘස් මෙහෙම කිව්වා. “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට දැන් හොඳට තේරෙනවා. මන්ද කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.” (ක්‍රියා 10:34, 35) මිනිසුන් දිහා දෙවි බලන විදිහ ගැන එයාට තිබුණ අවබෝධය තවත් පැහැදිලි වුණාම පේතෘස්ට ලොකු සතුටක් දැනුණා. ඒ අවබෝධය මුළු ක්‍රිස්තියානි සභාවටම බලපෑවා.

5. (අ) යෙහෝවා දෙවි කැමති අපි මොන වැදගත් කාරණය තේරුම්ගන්නවාටද? (ආ) ඒක අපි තේරුම් අරන් හිටියත් අපේ හිතේ තවමත් තියෙන්න පුළුවන් මොන වගේ හැඟීම්ද?

5 තමන් හැමෝටම එක හා සමානව සලකනවා කියන වැදගත් කාරණය යෙහෝවා දෙවි උගන්වන්න හැදුවේ පේතෘස්ට විතරක් නෙමෙයි. ඒක හැම ක්‍රිස්තියානියෙක්ම තේරුම්ගන්නවා දකින්නයි දෙවිට ඕනෙ වුණේ. දෙවි කෙනෙක්ව පිළිගන්නේ එයාගේ රට, ජාතිය, ගෝත්‍රය, භාෂාව දිහා බලලා නෙමෙයි. කෙනෙක්ට දෙවි ගැන ගරුබියක් තියෙනවා නම්, දෙවි හරියි කියන දේවල් එයා කරනවා නම් දෙවි එයාව පිළිගන්නවා. (ගලා. 3:26-28; එළි. 7:9, 10) ඔයා මේ වෙද්දීත් ඒ ගැන දන්නවා ඇති. ඔයාත් හැමෝටම එක හා සමානව සලකනවා කියලා ඔයාට හිතෙනවා ඇති. ඒත් ඔයා ඇතිදැඩි වුණ රටේ උස් පහත් භේදය නිතරම දකින්න තිබුණා නම් නැත්නම් ඔයාගේ පවුලේ අයට ඒ වගේ හැඟීම් තිබුණා නම් ඒවා ඔයාටත් බලපාලා වෙන්න බැරිද? දෙවි හැමෝටම එක හා සමානව සලකනවා කියන දේ තේරුම්ගන්න අනිත් අයට උදව් කරපු පේතෘස්ටත් උස් පහත් හැඟීම් සම්පූර්ණයෙන්ම නැති කරගන්න බැරි වුණා. (ගලා. 2:11-14) එහෙමනම් යේසුස් කියපු දේට කීකරු වෙන්න අපිට පුළුවන් කොහොමද?

6. (අ) ජන පිරිසක්ව පහත් කරන හැඟීම් අපේ හිතෙන් සම්පූර්ණයෙන්ම අයින් කරන්න පුළුවන් කොහොමද? (ආ) සහෝදරයෙක් දීපු වාර්තාවකින් එයාගේ හැඟීම් ගැන හෙළි වුණේ මොකක්ද?

6 පොඩි හරි විදිහකින් අපේ හිතෙත් තව ජන පිරිසක්ව පහත් කරන හැඟීම් තියෙනවාද කියලා දැනගන්න නම් අපි බයිබලෙන් ඉගෙනගන්න දේවල් එක්ක අපේ සිතුවිලි සෝදිසි කරලා බලන්න ඕනේ. (ගීතා. 119:105) අපි තව ජන පිරිසක්ව පහත් කරලා සලකනවා කියලා සමහරවිට අපිට පේන එකක් නැහැ. ඒත් ඒක අනිත් අයට පේනවා. ඒ නිසා ඒ අඩුපාඩුව අපිට තියෙනවාද කියලා විශ්වාසවන්ත යාළුවෙක්ගෙන් අහන්න. (ගලා. 2:11, 14) තව ජාතියක්ව පහත් කරන හැඟීම් අපේ හිතේ කොච්චර ගැඹුරට මුල් ඇදලාද කියනවා නම් සමහර වෙලාවට ඒවා වැරදියි කියලා අපිට තේරෙන්නෙත් නැහැ. මේ උදාහරණේ බලන්න. වැඩිමහල්ලෙක් පූර්ණකාලීන සේවයේ හවුල් වෙන යුවළක් ගැන වාර්තාවක් එව්වා. වාර්තාව ලියපු වැඩිමහල්ලා ඒ සැමියා ගැන හුඟක් හොඳ දේවල් ලියලා අන්තිමට ලිව්වා ඒ සහෝදරයා සාමාන්‍යයෙන් වැඩිදෙනෙක් පහත් කරලා සලකන ජාතියකට අයිති කෙනෙක් කියලා. ඊටපස්සේ එයා මෙහෙම ලිව්වා. “ඒ ජාතියේ අය අපිරිසිදුයි. එයාලා ගත කරන්නේ හරිම ජරා ජීවිත. මේ සහෝදරයා ඒ ජාතිකයෙක් වුණත් එයාගේ හොඳ පුරුදු, එයා ජීවත් වෙන විදිහ නිසා ඒ ජාතියේ හැම කෙනෙක්ම අපිරිසිදු, ජරා ජීවිත ගත කරන අය නෙමෙයි කියලා අනිත් අයට තේරුම්ගන්න පුළුවන් වෙලා තියෙනවා.” ඒ වැඩිමහල්ලාට තිබුණ ප්‍රශ්නේ ඔයා දැක්කාද? සංවිධානයේ අපිට වගකීම් තියෙන නිසා උස් පහත් හැඟීම් අපි තුළ නැහැ කියලා හිතන්න එපා. අපි හැම කෙනෙක්ම අපිවම සෝදිසි කරලා බලන්න ඕනේ. තව කෙනෙක් ඒ අඩුව පෙන්නලා දුන්නොත් ඒක පිළිගන්න.

7. අපේ හිතේ තියෙන ආදරේ තව වැඩි කරගන්න පුළුවන් කොහොමද?

7 අනිත් අය ගැන අපේ හිතේ තියෙන ආදරේ තව වැඩි කරගත්තොත් ජාති භේද ඇති කරන හැඟීම් පරාජය කරන්න අපිට පුළුවන්. (2 කොරි. 6:11-13) ඔයා කැමති ඔයාගේ රටේ, ජාතියේ අය එක්ක නැත්නම් ඔයාගෙම භාෂාව කතා කරන අය එක්ක විතරක් කාලේ ගත කරන්නද? එහෙමනම් වෙනත් අය එක්කත් කාලේ ගත කරන්න උත්සාහ කරන්න. වෙනස් පසුබිම්වලින් එන අය එක්ක එකට සේවයේ යන්න. කෑම වේලකට, සුහද ඇසුරකට ඔයාගේ ගෙදරට එයාලට ආරාධනා කරන්න. (ක්‍රියා 16:14, 15) කාලයත් එක්ක ඔයාගේ හිතේ එයාලා ගැන තියෙන ආදරේ වැඩි වෙද්දී වෙනත් ජාතීන්වල අයව පහත් කරන හැඟීම්වලට හිතේ ඉඩක් නැති වෙයි.

දුප්පත්කම, පොහොසත්කම දිහා බලලා විනිශ්චය කරන්න එපා

8. අනිත් අය ගැන එන නිගමනවලට දුප්පත්කම, පොහොසත්කම බලපාන විදිහ ගැන ලෙවී කතාව 19:15 කියන්නේ මොනවාද?

8 පිටතින් බලලා නිගමනවලට එන්න බලපාන තවත් දෙයක් තමයි කෙනෙක් කොච්චර පොහොසත්ද දුප්පත්ද කියන කාරණය. ලෙවී කතාව 19:15 කියන්නේ මෙහෙමයි. “දුප්පතාට අනවශ්‍ය සැලකිල්ලක් දැක්වීමෙන් හෝ ධනවතාට අනිසි අනුග්‍රහයක් දැක්වීමෙන් හෝ වළකින්න. ඔබ විනිශ්චය කරද්දී එකිනෙකාට යුක්තිය ඉටු කළ යුතුයි.” කෙනෙක් පොහොසත්ද දුප්පත්ද කියන කාරණය අපි එයාට සලකන විදිහට බලපාන්න පුළුවන් කොහොමද?

9. සලමොන් කිව්වේ මොකක්ද? ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

9 සලමොන් මෙහෙම ලිව්වා. “දිලින්දාගේ අසල්වැසියෝ පවා ඔහුව හෙළාදකින්නෝය. නමුත් පොහොසතා මිතුරන්ගෙන් වට වී සිටින්නේය.” (හිතෝ. 14:20) ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? අපි පරෙස්සම් වුණේ නැත්නම් පොහොසත් සහෝදරයන්ව විතරක් අපේ යාළුවන් කරගන්න අපි පෙලඹෙන්න පුළුවන්. ඒක භයානක දෙයක් කියන්නේ ඇයි?

10. යාකොබ් අවවාද කළේ මොකක් ගැනද?

10 සහෝදරයන්ට තියෙන දේවල් දිහා බලලා ඒ අනුව අපි එයාලට සලකන්න ගියොත් ඒකෙන් සභාවේ බෙදීම් ඇති වෙයි. ඒ වගේ දෙයක් මුල් සියවසේ සභා කීපයකම වුණා. ඒ නිසා යාකොබ් ඒ ගැන එයාලට තදින් අවවාද කළා. (යාකොබ් 2:1-4 කියවන්න.) සභාවේ බෙදීම් ඇති කරන ඒ වගේ හැඟීම්වලට අපි කිසිම ඉඩක් දෙන්න හොඳ නැහැ. කෙනෙක්ට තියෙන දේවල් දිහා බලලා එයා ගැන නිගමනවලට එන එකෙන් වළකින්න පුළුවන් කොහොමද?

11. කෙනෙක්ගේ වත්පොහොසත්කම් දෙවි එක්ක එයාට තියෙන බැඳීමට බලපානවාද? පැහැදිලි කරන්න.

11 අපි අපේ සහෝදරයන් දිහා බලන්න ඕනෙ යෙහෝවා දෙවි එයාලා දිහා බලන විදිහටයි. කෙනෙක් පොහොසත්ද දුප්පත්ද කියලා බලලා නෙමෙයි දෙවිට එයාව වටිනවාද නැද්ද කියලා දෙවි තීරණය කරන්නේ. දෙවි එක්ක අපිට තියෙන බැඳීම ශක්තිමත්ද නැද්ද කියලා අපේ වත්පොහොසත්කම් මත තීරණය වෙන්නේ නැහැ. ඇත්ත, එක අවස්ථාවක යේසුස් කිව්වා “ධනවතෙකුට ස්වර්ග රාජ්‍යයට ඇතුල් වීම දුෂ්කර දෙයක්” කියලා. (මතෙ. 19:23) ඒත් ඒක කොහොමටවත් කරන්න බැහැ කියලා ඔහු කිව්වේ නැහැ. යේසුස් මෙහෙමත් කිව්වා. “ඔබ දිලිඳු වුණත් ඔබ සන්තෝෂවත්. මන්ද දෙවිගේ රාජ්‍යය හිමි වන්නේ ඔබටයි.” (ලූක් 6:20) ඒත් ඒකෙන් අදහස් වුණේ නැහැ හැම දුප්පත් කෙනෙක්ම යේසුස්ට සවන් දීලා ආශීර්වාද ලබනවා කියලා. එදා හිටපු දුප්පත් අයගෙන් හුඟදෙනෙක් යේසුස්ගේ අනුගාමිකයන් වුණේ නැහැ. ඒකෙන් තේරෙනවා කෙනෙක් පොහොසත්ද දුප්පත්ද කියලා බලලා එයාට දෙවි එක්ක කොයි වගේ බැඳීමක් තියෙනවාද කියලා අපිට නිගමනවලට එන්න බැහැ කියන දේ.

12. දුප්පත්, පොහොසත් හැමෝටම බයිබලේ දීලා තියෙන්නේ මොන උපදෙස්ද?

12 යෙහෝවා දෙවිගේ සෙනඟ අතරේ පොහොසත් අය වගේම දුප්පත් අයත් ඉන්නවා. ඒ හැමෝම දෙවිට ආදරෙයි. එයාලා මුළු හිතින්ම දෙවිට සේවය කරනවා. බයිබලේ පොහොසත් අයට කියන්නේ ‘අවිනිශ්චිත ධන සම්පත් කෙරෙහි නොව දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න’ කියලයි. (1 තිමෝති 6:17-19 කියවන්න.) ඒ වගේම මුදල් පස්සේ යන එක භයානකයි කියලා දුප්පත්, පොහොසත් දෙගොල්ලන්ටම බයිබලේ අනතුරු අඟවලා තියෙනවා. (1 තිමෝ. 6:9, 10) අපිත් අපේ සහෝදරයන් දිහා දෙවි බලන විදිහට බලනවා නම් එයාලගේ වත්පොහොසත්කම් දිහා බලලා එයාලා ගැන නිගමනවලට එන්නේ නැහැ.

වයස බලලා විනිශ්චය කරන්න එපා

13. වැඩිහිටි අයට ගෞරවය පෙන්නන එක ගැන බයිබලේ කියන්නේ මොනවාද?

13 වැඩිහිටි අයට ගෞරව කරන්න කියලා බයිබලේ හුඟක් තැන්වල කියලා තියෙනවා. ලෙවී කතාව 19:32 මෙහෙම කියනවා. “පැසුණු හිසකෙස් ඇති කෙනෙකු ඉදිරියේ නැඟිට සිටින්න. මහලු තැනැත්තෙකුට ඔබ ගෞරවයෙන් සැලකිය යුතුයි.” හිතෝපදේශ 16:31 කියන්නේ “ධර්මිෂ්ඨ මිනිසෙකුගේ පැසුණු හිසකෙස් අලංකාර ඔටුන්නක් මෙනි” කියලා. වැඩිහිටි පුරුෂයන්ට සැරපරුෂ විදිහට කතා කරන්න එපා කියලත් තාත්තා කෙනෙකුට සලකන විදිහට එයාලට සලකන්න කියලත් පාවුල් තිමෝතිට කිව්වා. (1 තිමෝ. 5:1, 2) තිමෝති වැඩිමහල්ලෙක් නිසා වැඩිහිටි අයටත් උපදෙස්, මඟ පෙන්වීම් දෙන්න එයාට අධිකාරියක් තිබුණා. ඒත් එයා අනුකම්පාවෙන්, ගෞරවයෙන් එයාලට සලකයි කියලා පාවුල් බලාපොරොත්තු වුණා.

14. අපිට වඩා වයසින් වැඩි කෙනෙක්ව නිවැරදි කරන්න වෙන්නේ මොන වගේ අවස්ථාවකදීද?

14 වැඩිහිටි කෙනෙක් හිතාමතාම වරදක් කරනවා නම් නැත්නම් දෙවි අකමැති සමහර දේවල එච්චර වදරක් නැහැ කියලා එයා කරන කියන දේවලින් පෙන්නනවා නම් මොකද කරන්නේ? කෙනෙක් වයසින් වැඩි නිසා නැත්නම් අනිත් අයගේ ගෞරවය දිනාගෙන තියෙන නිසා එයා කරන වැරදි දෙවි ගණන් ගන්නේ නැතුව ඉන්නේ නැහැ. යෙසායා 65:20 කියන මේ දේ බලන්න. “අවුරුදු සියයක් ජීවත් වූ කෙනෙකු පවා පව් කළොත් ඔහු පිටට ශාප පැමිණෙනු ඇත.” ඒ වගේම අදහසක් එසකියෙල් පොතෙත් සඳහන් වෙනවා. (එස. 9:5-7) අනිත් හැම කෙනෙක්ටම කලින් අපි ගෞරවය දෙන්න ඕනෙ “පුරාතන තැනැත්තා” වන යෙහෝවා දෙවිට. (දානි. 7:9, 10, 13, 14) වෙන කාටත් වඩා දෙවි ගැන අපේ හිතේ ගෞරවයක් තියෙනවා නම් වැඩිහිටියෙක් වුණත් වරදක් කරද්දී එයාව නිවැරදි කරලා එයාට අවශ්‍ය උදව් දෙන්න අපි අදිමදි කරන්නේ නැහැ.—ගලා. 6:1.

තරුණ සහෝදරයන්ට ඔයා ගෞරවයෙන් සලකනවාද? (15 ඡේදය බලන්න)

15. තරුණ සහෝදරයන්ට ගෞරව කරන එක ගැන පාවුල්ගෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද?

15 සභාවේ ඉන්න තරුණ සහෝදරයන් ගැන අපිට හැඟෙන්නේ කොහොමද? එයාලා අපේ ගෞරවය ලබන්න වටින්නේ නැද්ද? වටිනවා. පාවුල් තිමෝතිට මෙහෙම කිව්වා. “ඔබ තරුණයෙකු වූ පමණින් කිසි කෙනෙකුට ඔබව සුළු කිරීමට ඉඩ නොදෙන්න. ඔබ කතා කරන ආකාරයෙන්ද ඔබේ හැසිරීමෙන්ද ඔබේ ප්‍රේමයෙන්ද විශ්වාසයෙන්ද නිර්මලකමින්ද දෙවිට විශ්වාසවන්තව සේවය කරන අයට ආදර්ශයක් වන්න.” (1 තිමෝ. 4:12) පාවුල් ඒ දේ ලියද්දී තිමෝතිට වයස 30ක් විතර ඇති. ඒ වයසේ හිටියත් පාවුල් එයාට බැරෑරුම් වගකීම් දීලා තිබුණා. ඒකෙන් මොනවාද ඉගෙනගන්න පුළුවන්? සහෝදරයෙක් තරුණ නිසා එයාට දේවල් හරියට කරන්න බැහැ කියන නිගමනයට එන එක වැරදියි. යේසුස්ට පොළොවේදී කරන්න භාර දීපු කාර්යය ඔහු වයස 33ක් වෙද්දී සම්පූර්ණයෙන්ම කළා කියන දේත් අමතක කරන්න එපා.

16, 17. (අ) වගකීම් දරන්න සහෝදරයෙක්ට සුදුසුකම් තියෙනවාද කියලා වැඩිමහල්ලන් තීරණය කරන්නේ කොහොමද? (ආ) පුද්ගලික අදහස් සහ සමාජයේ පිළිගත් අදහස් බයිබලේ අදහස් එක්ක ගැටෙන්න පුළුවන් කොහොමද?

16 සමහර රටවල තරුණ අයට ගෞරවයෙන් සලකන්නේ නැහැ. ඒ බලපෑමට අහු වෙලා සමහර වැඩිමහල්ලන් තරුණ සහෝදරයන්ට සුදුසුකම් තිබුණත් එයාලව සහායක සේවකයන්, වැඩිමහල්ලන් විදිහට පත් කරන්න නිර්දේශ කරන්නේ නැහැ. සහායක සේවකයෙක් නැත්නම් වැඩිමහල්ලෙක් විදිහට සේවය කරන්න නිශ්චිත වයසක් පහු කරන්න ඕනෙ කියලා බයිබලේ කියලා නැහැ. (1 තිමෝ. 3:1-10, 12, 13; තීත. 1:5-9) වැඩිමහල්ලෙක් ඒ සම්බන්ධයෙන් නීතියක් දානවා නම් එයා අනුගමනය කරන්නේ සමාජයේ තියෙන අදහස්. වැඩිමහල්ලන් සහෝදරයෙක්ට සුදුසුකම් තියෙනවාද නැද්ද කියලා බලන්න ඕනෙ එයාලගේ පුද්ගලික අදහස්වලට, සමාජයේ තියෙන අදහස්වලට අනුව නෙමෙයි බයිබලේ සඳහන් සුදුසුකම්වලට අනුව.—2 තිමෝ. 3:16, 17.

17 එහෙම නොකරද්දී වෙන දේ මේ අද්දැකීමෙන් තේරෙනවා. එක රටක සහායක සේවකයෙක් එයාට දුන්න බැරෑරුම් වගකීම් හොඳින් කළා. වැඩිමහල්ලෙක්ට තියෙන්න ඕනෙ කියලා බයිබලේ සඳහන් වෙන සුදුසුකම් එයාට තියෙනවා කියලත් වැඩිමහල්ලන් පිළිගත්තා. ඒත් වැඩිමහල්ලෙක් වෙන්න තරම් වැඩිහිටි පෙනුමක් එයාට නැහැ කියලා සමහර වැඩිමහල්ලන් කිව්ව නිසා එයාව නිර්දේශ කළේ නැහැ. ඒ විදිහට හිතන වැඩිමහල්ලන් හුඟක් රටවල ඉන්නවා. පුද්ගලික අදහස්, සමාජයේ තියෙන අදහස් මත නෙමෙයි බයිබලේ තියෙන අදහස්වලට එකඟව තීරණ ගන්න එක කොච්චර වැදගත්ද! එහෙම කරනවා නම් අපිට පුළුවන් යේසුස්ට කීකරු වෙලා අනිත් අයගේ පෙනුමට අනුව එයාලා ගැන නිගමනවලට එන්නේ නැතුව ඉන්න.

ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන්න

18, 19. යෙහෝවා දෙවි බලන විදිහට සහෝදරයන් දිහා බලන්න නම් අපි කරන්න ඕනෙ මොකක්ද?

18 අපිට පව්කාර ස්වභාවය උරුම වෙලා තිබුණත් ජාතිය, දුප්පත්කම, පොහොසත්කම, වයස දිහා බලන්නේ නැතුව යෙහෝවා දෙවි වගේ හැමෝටම එක හා සමානව සලකන්න අපිටත් පුළුවන්. (ක්‍රියා 10:34, 35) ඒත් ඒක කරන්න අපේ පැත්තෙන් වෑයමක් දරන්න ඕනේ. බයිබලේ මාර්ගයෙන් දෙවි දෙන සිහිගැන්වීම් ගැන නිතරම හිතන්න ඕනේ. ඒවා අදාළ කරගන්න ඕනේ. එතකොට “පිටතින් දේවල් දෙස බලා තවදුරටත් විනිශ්චය කරන්න එපා” කියලා යේසුස් කියපු දේට කීකරු වෙන්න අපිට පුළුවන්.—යොහ. 7:24.

19 ළඟදීම අපේ රජ වන යේසුස් මිනිසුන් හැම කෙනෙක්වම විනිශ්චය කරනවා. ඔහු ඒ විනිශ්චය කරන්නේ දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව මිසක් දකින, අහන දේට අනුව නෙමෙයි. (යෙසා. 11:3, 4) ඒ දවස එන කල් අපි හැමෝම බලන් ඉන්නේ ආසාවෙන්.