Skip to content

පටුනට යන්න

ඉවසිලිවන්තකම - විඳදරාගන්නේ හොඳ හේතුවක් ඇතුවයි

ඉවසිලිවන්තකම - විඳදරාගන්නේ හොඳ හේතුවක් ඇතුවයි

මේ “අවසාන කාලයේ” ප්‍රශ්න ගැටලු, අභියෝග එන්න එන්නම වැඩි වෙන නිසා වෙන කවරදාකටත් වඩා අපි ඉවසීමෙන් වැඩ කරන්න ඕනේ. (2 තිමෝ. 3:1-5) අපි වට වෙලා ඉන්නේ තමන් ගැනම හිතන, කිසිම දෙයක් ගැන එකඟ වෙන්නේ නැති, තමන්වම පාලනය කරගන්න බැරි මිනිසුන්ගෙන්. ගොඩක් වෙලාවට ඒ වගේ අයට ඉවසීම කියන දේ නැහැ. අපි මේ ප්‍රශ්න ගැන හිතමු. ‘හුඟක් අය වගේ මමත් වැඩ කරන්නේ කිසිම ඉවසීමක් නැතුවද? ඉවසිලිවන්ත කෙනෙක් මොන වගේද? මේ ගුණාංගය මගේ පෞද්ගලිකත්වයේ කොටසක් කරගන්නේ කොහොමද?’

ඉවසිලිවන්ත කෙනෙක් කොයි වගේද?

බයිබලේ කතා කරලා තියෙන ඉවසිලිවන්ත කෙනෙක් කොයි වගේද? අමාරු අවස්ථාවලදී එයා වෙන කරන්න දෙයක් නැති නිසා දත්මිටි කාගෙන බලාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. එයා ඉවසන්නේ අරමුණක් ඇතුවයි. කෙනෙක් එක්ක ප්‍රශ්නයක් ඇති වුණාම එයා තමන් ගැන හිතනවා වෙනුවට ප්‍රශ්නේ ඇති කරපු කෙනාගේ යහපත ගැන හිතනවා. බිඳුණු බැඳීම ආයේ කලින් තිබුණ තත්වයට ගන්න පුළුවන් කියන බලාපොරොත්තුවෙන් තමයි එයා වැඩ කරන්නේ. එහෙමනම් ප්‍රේමයෙන් ක්‍රියා කරන කෙනෙක්ව විස්තර කරද්දී ඉවසීම මුලින්ම සඳහන් කරලා තියෙන එක ගැන අපි පුදුම වෙන්න ඕනෙද? * (1 කොරි. 13:4) ඉවසීම කෙනෙක් තුළ ‘දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී’ ඇති වෙන ගුණාංගයක් කියලත් බයිබලේ සඳහන් වෙනවා. (ගලා. 5:22, 23) ඒ ගුණාංගය වර්ධනය කරගන්න අපි කරන්න ඕනෙ මොනවාද?

ඉවසිලිවන්තකම වර්ධනය කරගන්නේ කොහොමද?

ඉවසීම කියන ගුණාංගය ඇති කරගන්න නම් අපි දෙවිගේ බලය ඉල්ලලා යච්ඤා කරන්න ඕනේ. දෙවිව විශ්වාස කරලා දේවල් කරන අයට දෙවි ඔහුගේ බලය දෙනවා. (ලූක් 11:13) ඒ කියන්නේ අපේ පැත්තෙන් අපි කිසිම දෙයක් කරන්න ඕනෙ නැහැ කියන එකද? එහෙම නෙමෙයි. අපි අපේ යාච්ඤාවලට එකඟව වැඩ කරන්න ඕනේ. (ගීතා. 86:10, 11) ඒ කියන්නේ හැම දවසකම ඉවසීමෙන් වැඩ කරන්න අපි අපේ පැත්තෙන් ලොකු උත්සාහයක් ගන්න ඕනෙ කියන එකයි. ඒත් ඒ ගුණාංගය අපේ පෞද්ගලිකත්වයේම කොටසක් කරගන්න නම් ඊට වඩා දෙයක් කරන්න අපිට වෙයි.

“අලුත් පෞද්ගලිකත්වය” පැළඳගන්න උනන්දු කරද්දී පාවුල් කිව්වා “ඔබේ සිත් පාලනය කිරීමට ක්‍රිස්තුස් ලබා දෙන සමාදානයට ඉඩ දෙන්න” කියලා. ඒ පෞද්ගලිකත්වයට “බොහෝ ඉවසිලිවන්තකමත්” ඇතුළත්. යේසුස් ඉවසපු විදිහ බයිබලෙන් අධ්‍යයනය කරලා ඔහුව ආදර්ශයට ගන්න උත්සාහ කරද්දී අපි කරන්නේ අපේ සිත් පාලනය කරන්න ක්‍රිස්තුස් ලබා දෙන සමාදානයට ඉඩ දෙන එකයි. (කොලො. 3:10, 12, 15) දෙවි නියමිත කාලේදී දේවල් නිවැරදි කරයි කියන විශ්වාසය යේසුස්ට තිබුණා. ඒ නිසා ඔහු සමාදානය නැති කරගත්තේ නැහැ. අපිත් ඔහුව ආදර්ශයට ගන්නවා නම් මොන අසාධාරණයට මුහුණ දෙන්න වුණත් ඉවසීම නැති කරගන්නේ නැතුව හිතේ සමාදානය රැකගන්න අපිට පුළුවන් වෙනවා.—යොහ. 14:27; 16:33.

පාරාදීසයේ ජීවත් වෙන්න අපි හැමෝම ඉන්නේ නොඉවසිල්ලෙන්. ඒත් දෙවි අපි ගැන කොච්චර නම් ඉවසනවාද කියලා හිතද්දී ඉවසීමෙන් බලන් ඉන්න අපිත් ඉගෙනගන්නවා. බයිබලේ මෙහෙම කියනවා. “සමහරුන් සිතන්නේ යෙහෝවා දෙවි තම පොරොන්දු ඉටු කිරීමට ප්‍රමාද වන බවය. නමුත් ඔහු එසේ ප්‍රමාද වන්නේ නැත. කිසි කෙනෙකු විනාශ වෙනවාට ඔහු කැමති නොවන අතර ඔහුගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්‍රස්තාව සියලුදෙනාටම ලබා දීමය. එහෙයින් ඔහු ඔබ ගැන ඉවසන්නේය.” (2 පේතෘ. 3:9) දෙවි පෙන්නන ඉවසීම ගැන හිතද්දී අනිත් අය එක්ක ඉවසීමෙන් වැඩ කරන්න අපි තුළත් පෙලඹීමක් ඇති වෙන්න ඕනේ. (රෝම 2:4) ඉවසීම අවශ්‍ය වෙන අවස්ථා කීපයක් ගැන දැන් බලමු.

ඉවසීම ඕනෙමයි

හැම දවසකම වගේ අපේ ඉවසීම සෝදිසියට ලක් වෙනවා. උදාහරණෙකට හිතන්න, ඔයා කට්ටියක් එක්ක ඉද්දී එයාලට කියන්න වැදගත් දෙයක් තියෙනවා කියලා ඔයාට මතක් වුණා කියලා. ඒත් අනිත් අය කතා කරකර ඉද්දී මැද්දෙන් පැනලා කතා නොකර ඉන්න නම් ඔයාට ඉවසීම ඕනේ. (යාකො. 1:19) ඔයාට රුස්සන්නේ නැති පුරුදු තියෙන සහෝදර සහෝදරියන් එක්ක ආශ්‍රය කරද්දීත් ඔයාට ඉවසීම ඕනේ. එයාලා කරන දේවලට කේන්ති ගන්න ඉක්මන් වෙනවා වෙනුවට අපි අතින් අඩුපාඩුකම් වෙද්දී යෙහෝවා දෙවි සහ යේසුස් අපිත් එක්ක ඉවසීමෙන් වැඩ කරන විදිහ ගැන හිතන්න. දෙවි සහ යේසුස් අවධානය දෙන්නේ අපි කරන හොඳ දේවලට. ඒ දෙන්නා ඉවසීමෙන් බලන් ඉන්නේ වැරදි හදාගන්න අපි දරන උත්සාහය දිහායි.—1 තිමෝ. 1:16; 1 පේතෘ. 3:12.

කවුරු හරි කෙනෙක් කිව්වොත් ඔයා වැරදි දෙයක් කිව්වා, කළා කියලා එතකොටත් ඔයාගේ ඉවසීම සෝදිසියට ලක් වෙනවා. සාමාන්‍යයෙන් අපි ඉක්මනින්ම කරන්නේ කේන්ති අරන් අපි කරපු කියපු දේ ගැන නිදහසට කරුණු කියන එකයි. ඒත් බයිබලේ කියන්නේ මෙහෙමයි. “උඩඟු ලෙස හැසිරෙන කෙනෙකුට වඩා ඉවසිලිවන්ත කෙනෙකු හොඳය. අමනාප වීමට ඉක්මන් නොවන්න. මන්ද සිත තුළ අමනාපයක් ඇති කරගන්නේ මෝඩයන්ය.” (දේශ. 7:8, 9) එයා කරපු චෝදනාව බොරු එකක් වුණත් ඔයා එයාට දෙයක් කියන්න කරන්න කලින් ඒ ගැන හොඳට හිතන්න. අනිත් අය අසාධාරණ විදිහට චෝදනා කරද්දී යේසුස් කළෙත් ඒ දේමයි.—මතෙ. 11:19.

දරුවන් එක්ක වැඩ කරද්දී දෙමාපියන්ට හුඟක් ඉවසීම ඕනේ. විශේෂයෙන්ම දරුවන් හිතන විදිහ, එයාලගේ ආසාවන් වැරදි පැත්තට බර වෙනවා කියලා තේරෙද්දී එයාලව හරි පැත්තට ගන්න ඉවසීම ඕනේ. මාටිඅස්ගේ අද්දැකීම බලන්න. එයා දැන් යුරෝපයේ තියෙන බෙතෙල් එකක සාමාජිකයෙක්. යෞවන වයසේ ඉද්දී ඉස්කෝලේ ළමයි එයාගේ විශ්වාසයන් ගැන එයාට විහිළු කළා. මුලින් එයාගේ දෙමාපියෝ ඒ ගැන දැනන් හිටියේ නැහැ. ඉස්කෝලෙන් ආපු ඒ පීඩනය නිසා එයාට එයාගේ විශ්වාසයන් ගැන සැකයන් ඇති වුණා. ඒක එයා අහපු ප්‍රශ්නවලින් දෙමාපියන්ට තේරුණා. එයාගේ තාත්තා යිලිස් මෙහෙම කියනවා. “පුතාගේ විශ්වාසය ශක්තිමත් කරන්න අපිට ගොඩක් ඉවසීමෙන් වැඩ කරන්න වුණා.” මාටිඅස් දෙමාපියන්ගෙන් මේ වගේ ප්‍රශ්න ඇහුවා. “ඇත්තටම දෙවියන් කවුද? බයිබලේ තියෙන්නේ දෙවිගේ අදහස් නෙමෙයි නම්? මේ දේ කරන්න, මේ දේ කරන්න එපා කියලා අපිට කියන්නේ දෙවිමයි කියලා කොහොමද දන්නේ? ඔයාලා විශ්වාස කරන දේවල් ඇයි මං විශ්වාස කරන්න ඕනේ?”

යිලිස් මෙහෙම කියනවා. “සමහර වෙලාවට පුතා ප්‍රශ්න ඇහුවේ කේන්තියෙන්. එයා කේන්ති ගත්තේ අම්මායි, මායි එක්ක නෙමෙයි සත්‍යය ගැන. මොකද එයා හිතුවේ එයාට ප්‍රශ්න ආවේ සත්‍යය නිසා කියලයි.” යිලිස් පුතාට උදව් කළේ කොහොමද? “මං පුතා එක්ක කතා කරන්න කාලේ ගත්තා. හුඟක් වෙලාවට මං එයා කියන දේවල් අහගෙන හිටියා. එයා හිතන විදිහ තේරුම්ගන්න නිසා සමහර වෙලාවට මං ප්‍රශ්නයක් දෙකකුත් ඇහුවා. මං දෙයක් පැහැදිලි කළාට පස්සේ ඒක ගැන හිතන්න එයාට දවසක් දෙකක් කල් දුන්නා. සමහර වෙලාවට එයා දෙයක් කිව්වාම මං කියනවා ‘ඒක ගැන හිතන්න මට දවස් කීපයක් දෙන්න’ කියලා. ඊටපස්සේ අපි ඒ ගැන කතා කරනවා. ඔය විදිහට ඉවසීමෙන් පුතා එක්ක කතාබහ කරපු නිසා යේසුස්ගේ ජීවිත පූජාව, පාලනය කරන්න දෙවිට තියෙන අයිතිය, දෙවි අපිට කොච්චර ආදරෙයිද වගේ දේවල් ගැන පුතාට තිබුණ අවබෝධය ටිකෙන් ටික වැඩි වුණා. ඒ ඉගැන්වීම් එයා හදවතින්ම පිළිගන්න පටන්ගත්තා. ඒකට කාලයක් ගියා. ලේසි වුණෙත් නැහැ. ඒත් පුතාගේ හිතේ දෙවි ගැන ආදරයක් ඇති වෙන්න පටන් අරන් කියලා අපිට තේරුණා. අපි ඉවසීමෙන් දරපු ඒ උත්සාහය සාර්ථක වුණ එක ගැන අපිට දැනෙන්නේ ලොකු සතුටක්.”

විශ්වාසය ශක්තිමත් කරගන්න පුතාට ඉවසීමෙන් උදව් කරද්දී යෙහෝවා දෙවිගේ උදව්වත් ලැබෙනවා කියලා එයාලා දැනන් හිටියා. යිලිස් මෙහෙම කියනවා. “මං නිතරම පුතාට කිව්වා අපි එයාට ගොඩක් ආදරේ නිසා මමයි, අම්මායි දෙවිට හැමදාම යාච්ඤා කරලා විශ්වාසය ශක්තිමත් කරගන්න පුතාට උදව් කරන්න කියලා දෙවිගෙන් ඉල්ලුවා කියලා.”

පවුලේ කෙනෙක් හරි යාළුවෙක් හරි බරපතළ අසනීපයකින් පෙළෙනවා නම් එයාට උදව් කරද්දීත් අපිට ඉවසීම ඕනේ. ස්කැන්ඩිනේවියාවේ ඉන්න එලන්ගේ * අද්දැකීම බලන්න.

අවුරුදු 8කට විතර කලින් එලන්ගේ මහත්තයාට දෙවතාවක්ම ආඝාත රෝගී තත්වයට මුහුණ දෙන්න වුණා. ඒකෙන් එයාගේ මොළේ ක්‍රියාකාරිත්වයටත් හානි වුණා. ඒ නිසා දැන් එයාට සතුට, අනුකම්පාව, දුක වගේ හැඟීම් දැනෙන්නේ නැහැ. ඒ වගේ කෙනෙක්ව බලාගන්න එක ලොකු අභියෝගයක්. එලන් මෙහෙම කියනවා. “මට හුඟක් ඉවසීමෙන් වැඩ කරන්න වුණා. මං උදව් ඉල්ලලා නිතරම දෙවිට යාච්ඤා කළා. මගේ ආසම බයිබල් පදේ ෆිලිප්පි 4:13. ඒකෙන් මට ලොකු සහනයක් ලැබෙනවා. එතන කියන්නේ ‘මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ’ කියලයි.” දිගටම ඉවසීමෙන් ඒ තත්වයට මුහුණ දෙන්න එලන්ට පුළුවන් වෙලා තියෙන්නේ දෙවිගේ බලය එයාට ලැබෙන නිසයි.—ගීතා. 62:5, 6.

දෙවි වගේ ඉවසීමෙන් වැඩ කරන්න

ඉවසීම සම්බන්ධයෙන් අපිට ආදර්ශයට ගන්න පුළුවන් හොඳම කෙනා යෙහෝවා දෙවි. (2 පේතෘ. 3:15) දෙවි ඉවසීමෙන් වැඩ කරපු අවස්ථාවන් ගැන බයිබලේ තියෙනවා. (නෙහෙ. 9:30; යෙසා. 30:18) උදාහරණෙකට සොදොම් නුවර විනාශ කරන්න දෙවි ගත්ත තීරණය ගැන ආබ්‍රහම් ප්‍රශ්න කරපු අවස්ථාව ගැන හිතන්න. ආබ්‍රහම් කතා කරද්දී දෙවි එයාට බාධා කළේ නැහැ. එයා අහපු හැම ප්‍රශ්නෙකටම ඉවසීමෙන් ඇහුම්කන් දුන්නා. එයා ප්‍රශ්නේදී අහපු දේ දෙවි එයාට උත්තර දෙද්දී ආයෙත් සඳහන් කරපු එකෙන් තේරෙනවා දෙවි එයාට හොඳින් සවන් දුන්නා කියලා. ධර්මිෂ්ඨ දහදෙනෙක් හරි නගරේ ඉන්නවා නම් ඒක විනාශ කරන්නේ නැහැ කියලා දෙවි පොරොන්දු වුණා.—උත්. 18:22-33.

අපි හැම කෙනෙක්ම පැළඳගන්න ඕනෙ අලුත් පෞද්ගලිකත්වයට අයිති වටිනා ගුණාංගයක් තමයි ඉවසිලිවන්තකම. ඒ ගුණාංගය වර්ධනය කරගන්න ලොකු වෑයමක් දරද්දී අපිට පුළුවන් වෙනවා අපි ගැන හුඟක් සැලකිලිමත්, අපි ගැන ඉවසන අපේ ආදරණීය දෙවිව ගෞරවයට පත් කරන්න. “විශ්වාසයකින් හා ඉවසීමකින් කටයුතු කර පොරොන්දු වූ දේවල ඉටු වීම අද්දකින අය” අතරේ ඉන්නත් අපිට අවස්ථාව ලැබෙයි.—හෙබ්‍රෙ. 6:10-12.

^ 4 ඡේ. දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංග 9 ගැන කතා කරන ලිපි මාලාවේ 1වෙනි ලිපියේ ප්‍රේමය ගැන කතා කළා.

^ 15 ඡේ. නම වෙනස් කර ඇත.