Skip to content

පටුනට යන්න

සත්‍යය උගන්වන්න

සත්‍යය උගන්වන්න

‘යෙහෝවා දෙවියනි, ඔබේ වදන් සත්‍යය.’—ගීතා. 119:159, 160.

ගීතිකා: 29, 53

1, 2. (අ) යේසුස් ජීවිතේ මුල් තැන දුන්නේ මොන කාර්යයටද? ඒ ඇයි? (ආ) “දෙවිගේ හවුල් වැඩකරුවන්” විදිහට සාර්ථක වෙන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?

යේසුස් මුලින් වඩුවෙක් විදිහටත් පස්සේ දේවසේවකයෙක් විදිහටත් වැඩ කළා. (මාක් 6:3; රෝම 15:8) ඔහු ඒ කාර්යයන් දෙකම සාර්ථකව කළා. වඩු වැඩ කරද්දී ආයුධ හොඳින් පාවිච්චි කරලා ලීවලින් ප්‍රයෝජනවත් භාණ්ඩ හදන්න ඔහු ඉගෙනගත්තා. දේවසේවකයෙක් විදිහට වැඩ කරද්දී ශුද්ධ ලියවිලි ගැන ඔහුට තිබුණ දැනුම පාවිච්චි කරලා සාමාන්‍ය මිනිසුන්ටත් දේවවචනයේ තියෙන සත්‍යයන් තේරුම්ගන්න ඔහු උදව් කළා. (මතෙ. 7:28; ලූක් 24:32, 45) වයස 30දී වඩුවෙක් විදිහට ගත කරපු ජීවිතේට ඔහු සමු දුන්නේ දේශනා සේවය තමයි වැදගත්ම කාර්යය කියලා ඔහු දැනන් හිටපු නිසයි. දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන එක දෙවි ඔහුව පොළොවට එව්ව එක හේතුවක් කියලා ඔහු කිව්වා. (මතෙ. 20:28; ලූක් 3:23; 4:43) යේසුස් වගේ අනිත් අයත් දේවසේවයට ජීවිතේ මුල් තැන දෙනවා දකින්නයි ඔහුට ඕනෙ වුණේ.—මතෙ. 9:35-38.

2 අපෙන් වැඩිදෙනෙක් වඩුවන් නෙමෙයි. ඒත් අපි හැමෝම දේවසේවකයන්. අපි ඒ කාර්යය කරන්නේ දෙවි එක්ක එකතු වෙලා නිසා ඒක අනිත් හැම කාර්යයකටම වඩා අපිට වැදගත්. (1 කොරි. 3:9; 2 කොරි. 6:4) “[යෙහෝවා දෙවිගේ] වදන් සත්‍යය” කියලා අපිට නිසැකයි. (ගීතා. 119:159, 160) ඒ නිසා අපි දේශනා සේවයේදී “සත්‍යය අඩංගු දේවවචනය නිසි ලෙස භාවිත කරන්න” ඉගෙනගන්න ඕනේ. (2 තිමෝති 2:15 කියවන්න.) අපිට තියෙන ප්‍රධානම මෙවලම වන බයිබලය හොඳින් පාවිච්චි කරලා මිනිසුන්ට යෙහෝවා දෙවි ගැන, යේසුස් ගැන, දේවරාජ්‍යය ගැන සත්‍යය උගන්වන්න අපිට තියෙන හැකියාව අපි තව දියුණු කරගන්න ඕනේ. ඒක කරන්න අපිට උදව්වක් විදිහට දෙවිගේ සංවිධානය තවත් වටිනා මෙවලම් කීපයක් අපිට දීලා තියෙනවා. ඒ මෙවලම් හඳුන්වන්නේ අපේ ඉගැන්වීම් කට්ටලය කියලා.

3. අපි දේශනා සේවයේ හවුල් වෙන්නේ මොන අරමුණින්ද? ඒක කරන්න ක්‍රියා 13:48 අපිට උදව් වෙන්නේ කොහොමද?

3 ඒකට දේශනා කිරීමේ කට්ටලය කියන්නේ නැතුව ඉගැන්වීම් කට්ටලය කියන්නේ ඇයි? දේශනා කරනවා කියන්නේ පණිවිඩයක් කියන එකට. ඒත් උගන්වනවා කියන්නේ ඒ පණිවිඩය කෙනෙක්ගේ හිතට කාවදින විදිහට පැහැදිලි කරලා දෙන එකට. එතකොට ඒ කෙනා එයා ඉගෙනගත්ත දේට අනුව දේවල් කරන්න පෙලඹෙනවා. දේශනා කරන්න අපිට ඉතුරු වෙලා තියෙන මේ ටික කාලේ අපේ ප්‍රධාන අරමුණ වෙන්න ඕනෙ බයිබල් පාඩම් පටන් අරන් මිනිසුන්ට සත්‍යය ගැන උගන්වන එක. ඒ කියන්නේ “සදාකාල ජීවනයට මඟ පාදන සත්‍යය පිළිගැනීමට කැමති වූ සියලුදෙනාවම” හොයන්නත් ඒ අයට යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න උදව් කරන්නත් අපි වෑයමක් දරන්න ඕනේ.—ක්‍රියා 13:44-48 කියවන්න.

4. “සත්‍යය පිළිගැනීමට කැමති අයව” හොයාගන්න පුළුවන් කොහොමද?

4 “සදාකාල ජීවනයට මඟ පාදන සත්‍යය පිළිගැනීමට කැමති අයව” හොයාගන්න අපිට පුළුවන් කොහොමද? ඒක කරන්න පුළුවන් එකම විදිහ මිනිසුන්ට දේශනා කරන එක. යේසුස් මෙහෙම කිව්වා. “ඔබ යම් නුවරකට හෝ ගමකට හෝ ඇතුල් වූ විට එහි සුදුස්සන්ව සොයන්න.” (මතෙ. 10:11) වංක, උඩඟු, දෙවි ගැන දැනගන්න කැමැත්තක් නැති අය ශුභාරංචිය පිළිගනියි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි හොයන්නේ අවංක, නිහතමානී, දෙවි ගැන සත්‍යය දැනගන්න කැමැත්තෙන් ඉන්න අයව. ඒ වගේ අයව හොයන කාර්යය යේසුස් වඩුවෙක් විදිහට කරපු කාර්යයට සමාන කරන්න පුළුවන්. ගෘහ භාණ්ඩ, දොරවල්, වියගස් වගේ භාණ්ඩ හදන්න කලින් යේසුස් ඒවාට හරියන ලී වර්ගය හොයාගත්තා. ඊටපස්සේ ඔහු ආයුධ කට්ටලේ තිබුණ ආයුධ, ඔහුගේ හැකියාවන් පාවිච්චි කරලා අවශ්‍ය භාණ්ඩය හැදුවා. ඒ වගේ අපිත් මුලින්ම අවංක හදවත් තියෙන අයව හොයාගන්න ඕනේ. ඊටපස්සේ අපේ ඉගැන්වීම් කට්ටලය, අපේ හැකියාවන් පාවිච්චි කරලා ඒ අයට යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න උදව් කරන්න ඕනේ.—මතෙ. 28:19, 20.

5. ඉගැන්වීම් කට්ටලයේ තියෙන මෙවලම් ගැන අපි දැනගන්න ඕනෙ මොනවාද? පැහැදිලි කරන්න. (ලිපියේ මුල් පින්තූර බලන්න.)

5 වඩුවෙක් තමන්ගේ ආයුධ කට්ටලයේ තියෙන එක් එක් ආයුධය පාවිච්චි කරන්නේ ඒ ඒ ආයුධයටම විශේෂ වුණ කාර්යයක් කරන්නයි. උදාහරණෙකට යේසුස් ලී මනින්න, සලකුණු කරන්න, කපන්න, විදින්න, මට්ටම් කරන්න, විවිධ හැඩතල ගන්න, ඒවා එකකට එකක් සම්බන්ධ කරන්න ඒවාටම හරියන ආයුධ පාවිච්චි කරන්න ඇති. * ඒ වගේ අපේ ඉගැන්වීම් කට්ටලයේ තියෙන මෙවලම් හැම එකක්ම විශේෂ කාර්යයක් ඉටු කරනවා. ඒවා පාවිච්චි කරන විදිහ ගැන දැන් බලමු.

හඳුන්වා දෙන්න

6, 7. (අ) ඔයා කන්ටැක්ට් කාඩ් පාවිච්චි කරලා තියෙන්නේ කොහොමද? (ආ) ‘අපේ රැස්වීම්වලට කරන ආරාධනාවයි!’ කියන පත්‍රිකාව අපි පාවිච්චි කරන්නේ ඇයි?

6 කන්ටැක්ට් කාඩ්වලින් අපි කවුද කියලා මිනිසුන්ට හඳුන්වලා දෙනවා වගේම jw.org වෙබ් අඩවියට මිනිසුන්ව යොමු කරනවා. ඒකෙන් එයාලට අපි ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. බයිබල් පාඩමකට ඉල්ලුම් කරන්නත් පුළුවන්. මේ වෙද්දී jw.org වෙබ් අඩවිය හරහා ලක්ෂ 4කට වැඩිදෙනෙක් බයිබල් පාඩම් ඉල්ලුම් කරලා තියෙනවා. දැනටත් දවසකට සිය ගාණක් ඉල්ලුම් කරනවා. ඔයාට පුළුවන් කන්ටැක්ට් කාඩ් කීපයක් නිතරම ළඟ තියාගෙන එදිනෙදා හම්බ වෙන අයට සාක්ෂි දරද්දී ඒවා දෙන්න.

7 ආරාධනා පත්‍ර. රැස්වීම්වලට කරන ආරාධනා පත්‍රිකාවේ “ඔබට ඇරයුමක්! යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය සාකච්ඡා කරන්න” කියලා සඳහන් වෙනවා. “අපේ පොදු රැස්වීම්වලදී” නැත්නම් “හමු වෙලා කරන සාකච්ඡාවකදී” ඒක කරන්න පුළුවන් කියලා ඊළඟට කියනවා. ආරාධනා පත්‍රිකාවෙන් අපිව හඳුන්වලා දෙනවා වගේම “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අයට” අපිත් එක්ක බයිබලේ පාඩම් කරන්න කියන ආරාධනයත් කරනවා. (මතෙ. 5:3) බයිබලේ පාඩම් කරන්න කැමති වුණත් නැතත් ඕනෙ කෙනෙක්ට අපේ රැස්වීම්වලට එන්න පුළුවන්. එහෙම ආවාම එයාලට තේරෙයි බයිබලේ ගැන කොච්චර දේවල් ඉගෙනගන්න තියෙනවාද කියලා.

8. කෙනෙක් අපේ එක රැස්වීමකට හරි එන එක වැදගත් ඇයි? අද්දැකීමක් කියන්න.

8 අපේ එක රැස්වීමකට හරි එන්න කියලා අපි මිනිසුන්ට ආරාධනා කරන එක වැදගත්. මොකද එයාලා රැස්වීමකට ආවාම අනිත් ආගම් වගේ නෙමෙයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලේ යොදාගෙන සත්‍යය උගන්වනවා කියලා එයාලා දකිනවා. (යෙසා. 65:13) මේ උදාහරණේ බලන්න. රේ සහ ලින්ඩා එක්සත් ජනපදයේ ජීවත් වෙන යුවළක්. ඒ දෙන්නාට ඕනෙ වුණා දෙවිව තවත් හොඳින් හඳුනගන්න. ඒ නිසා එයාලා හිතුවා එයාලගේ නගරේ තියෙන හැම පල්ලියකටම ගිහින් ඒ එකකට බැඳෙන්න කලින් දේවල් 2ක් ගැන හොයලා බලන්න ඕනෙ කියලා. පළවෙනි දේ තමයි ඒ පල්ලියෙන් එයාලට යමක් ඉගෙනගන්න පුළුවන් වෙන්න ඕනේ. දෙවෙනි දේ තමයි පල්ලියේ සාමාජිකයන් අඳින පළඳින විදිහෙන් පේන්න ඕනෙ එයාලා දෙවිට නමස්කාර කරන අය කියලා. ඒ නගරේ හුඟක් පල්ලි තිබුණ නිසා ඒ හැම එකකටම යන්න එයාලට අවුරුදු කීපයක්ම ගත වුණා. ඒත් ඒ කිසිම එකකින් එයාලට මුකුත්ම ඉගෙනගන්න බැරි වුණා. ඒ වගේම ඒ පල්ලිවල සාමාජිකයන්ගේ ඇඳුම් පැළඳුම් ගැනත් එයාලා සෑහීමට පත් වුණේ නැහැ. දවසක් එයාලා ඒ නගරේ තිබුණ අන්තිම පල්ලියටත් ගියා. ඊටපස්සේ ලින්ඩා එයාගේ රැකියාවටත් රේ ගෙදර යන්නත් පිටත් වුණා. එහෙම යන අතරේ රේ දැක්කා අපේ නමස්කාර මධ්‍යස්ථානයක්. එතනටත් ගිහින් බලන්න ඕනෙ කියලා එයා හිතුවා. එතන හිටපු හැමෝම හරිම මිත්‍රශීලියි. කරුණාවන්තවයි. විනීතව ඇඳ පැළඳගෙනත් හිටියා. එදා ඉගෙනගත්ත දේවල් ගැන එයාට ගොඩක් ආස හිතුණා. එයාගේ අද්දැකීම අහද්දී අපිට මතක් වෙන්නේ මුලින්ම රැස්වීමකට ආපු කෙනෙක් ගැන පාවුල් කියපු දෙයක්. ඒ කෙනා රැස්වීමට ඇවිත් “ඇත්තෙන්ම දෙවි ඔබ අතර සිටිනවා” කියලා කිව්වා. (1 කොරි. 14:23-25) ඊටපස්සේ රේ හැම ඉරිදාම රැස්වීම්වලට ගියා. සති මැද රැස්වීම්වලටත් යන්න පටන්ගත්තා. ලින්ඩාත් එයා එක්ක රැස්වීම්වලට ආවා. එයාලගේ වයස 70කට වඩා වැඩි වුණත් බයිබල් පාඩමක් කරලා බව්තීස්ම වෙන්න එයාලා පියවර ගත්තා.

සාකච්ඡාවක් පටන්ගන්න

9, 10. (අ) පත්‍රිකා පාවිච්චි කරන්න ලේසි ඇයි? (ආ) ‘දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?’ කියන පත්‍රිකාව පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?

9 පත්‍රිකා. අපේ ඉගැන්වීම් කට්ටලයේ තියෙන පත්‍රිකා 8ම සකස් කරලා තියෙන්නේ එකම විදිහට වගේම ලේසියෙන්ම සාකච්ඡාවක් පටන්ගන්න පුළුවන් විදිහට. 2013 ඒ පත්‍රිකා නිකුත් කරපු දවසේ ඉඳන් මේ වෙද්දී පත්‍රිකා බිලියන 5ක් විතර මුද්‍රණය කරලා තියෙනවා. එක පත්‍රිකාවක් පාවිච්චි කරන්න ඉගෙනගත්තොත් ඒ හැම එකක්ම පාවිච්චි කරන්න ඔයාට පුළුවන්.

10 හිතන්න, ‘දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?’ කියන පත්‍රිකාව ඔයා පාවිච්චි කරනවා කියලා. ඒකේ උඩින්ම තියෙන ප්‍රශ්නේ කෙනෙක්ට පෙන්නලා මෙහෙම අහන්න. “දේවරාජ්‍යය කියන්නේ මොකක්ද කියලා ඔයා කවදා හරි හිතලා තියෙනවාද? ඔයා හිතන විදිහට ඒක . . .” ඊටපස්සේ අහන්න එයා තෝරගන්නේ එතන තියෙන උත්තර තුනෙන් මොන එකද කියලා. එයා දෙන උත්තරේ හරිද වැරදිද කියලා කියනවා වෙනුවට ඊළඟ පිටුවේ තියෙන “බයිබලයේ කියන්නේ මෙහෙමයි” කියන කොටස පෙන්නලා එතන සඳහන් වෙන දානියෙල් 2:44 සහ යෙසායා 9:6 කියවන්න. සාකච්ඡාව ඉවර කරන්න කලින් පත්‍රිකාවේ අන්තිමට තියෙන “මේ ගැන හිතන්න” කියන කොටසේ සඳහන් වෙන “දේවරාජ්‍යය පොළොව පාලනය කරන කාලෙදී ජීවත් වෙන්න ලැබෙන එක මොන වගේ අද්දැකීමක් වෙයිද?” කියන ප්‍රශ්නය එයාගෙන් අහන්න. ඒ ගැන ඊළඟ වතාවේ සාකච්ඡා කරන්න කැමතියි කියලා කියන්න. ඒ පත්‍රිකාවේ අන්තිමටම ‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’ කියන සඟරාවේ 7වෙනි පාඩම බලන්න කියලා සඳහන් වෙනවා. එයාව ආයෙත් බලන්න යද්දී ඒක පාවිච්චි කරන්න. ඒ සඟරාවත් අපේ ඉගැන්වීම් කට්ටලයේ තියෙන බයිබල් පාඩම් පටන්ගන්න සකස් කරපු මෙවලමක්.

උනන්දුවක් ඇති කරන්න

11. අපේ සඟරා සකස් කරලා තියෙන්නේ කොහොමද? ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ සඟරා ගැන අපි දැනගන්න ඕනෙ මොකක්ද?

11 ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ සඟරා තමයි ලෝකේ වැඩියෙන්ම ප්‍රකාශයට පත් කරන සහ පරිවර්තනය කරන සඟරා දෙක. ලෝකේ පුරාම ඉන්න අය මේ සඟරා කියවන නිසා මුල් පිටුව සඳහා තෝරගන්නේ ඕනෙම රටක ඉන්න කෙනෙක්ගේ හිතේ උනන්දුවක් ඇති වෙන විෂයක්. මේ සඟරා 2ක පාවිච්චි කරලා ජීවිතේ වැදගත්ම දේ මොකක්ද කියලා තේරුම්ගන්න මිනිසුන්ට උදව් කරන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඒත් අපි මුලින්ම දැනගන්න ඕනෙ ‘මුරටැඹ’ සඟරාව සකස් කරලා තියෙන්නේ කාටද සහ ‘පිබිදෙව්!’ සඟරාව සකස් කරලා තියෙන්නේ කාටද කියලා.

12. (අ) ‘පිබිදෙව්!’ සඟරාව සකස් කරලා තියෙන්නේ කාටද? ඒකේ අරමුණ මොකක්ද? (ආ) ඒක හොඳින් පාවිච්චි කරලා මෑතකදී ඔයා ලබපු අද්දැකීමක් කියන්න.

12 ‘පිබිදෙව්!’ සඟරාව සකස් කරලා තියෙන්නේ බයිබලේ ගැන දැනුමක් නැති අය වෙනුවෙන්. යේසුස්ගේ ඉගැන්වීම් ගැන එයාලා මුකුත්ම දන්නේ නැතුව ඇති. ආගම් ගැන එයාලට විශ්වාසයක් නැතුව ඇති. නැත්නම් එයාලට උදව් කරන්න බයිබලේ තියෙන තොරතුරුවලට පුළුවන් කියලා එයාලා දන්නේ නැතුව ඇති. දෙවි කෙනෙක් ඉන්නවා කියන දේ ගැන පාඨකයාගේ හිතේ විශ්වාසයක් ඇති කරන එක ‘පිබිදෙව්!’ සඟරාවේ මූලික අරමුණක්. (රෝම 1:20; හෙබ්‍රෙ. 11:6) බයිබලේ තියෙන්නේ “දෙවිගෙන් ලැබුණ පණිවිඩයක්” කියන දේ ගැන එයාගේ හිතේ විශ්වාසයක් ඇති කරන එක තව අරමුණක්. (1 තෙස. 2:13) 2018 නිකුත් කරපු ‘පිබිදෙව්!’ සඟරා තුනේ මාතෘකා මේවායි. “සැබෑ සතුටට මඟ,” “පවුලේ සතුටට යෝජනා 12ක්,” “වියෝදුකට සහනයක්.”

13. (අ) ‘මුරටැඹ’ පොදු කලාපය සකස් කරලා තියෙන්නේ කාටද? (ආ) ඒක හොඳින් පාවිච්චි කරලා මෑතකදී ඔයා ලබපු අද්දැකීමක් කියන්න.

13 ‘මුරටැඹ’ පොදු කලාපයේ ප්‍රධාන අරමුණ දෙවි ගැනත් බයිබලේ ගැනත් යම් ගෞරවයක් තියෙන අයට බයිබලේ සඳහන් ඉගැන්වීම් ගැන පැහැදිලි කරලා දෙන එක. එයාලට බයිබලේ ගැන යම් දැනුමක් ඇති. ඒත් එයාලා ඒ ඉගැන්වීම් නිවැරදිව අවබෝධ කරගෙන නැහැ. (රෝම 10:2; 1 තිමෝ. 2:3, 4) 2018 නිකුත් කරපු ‘මුරටැඹ’ පොදු කලාප තුනේ මේ ප්‍රශ්නවලට උත්තර කතා කරනවා. “බයිබලය අදටත් ගැළපෙන පොතක්ද?,” “අනාගතය ගැන දැනගන්න පුළුවන්ද?,” “දෙවියන් ඇත්තටම ඔයාට ආදරෙයිද?

පියවර ගන්න පොලඹවන්න

14. (අ) ඉගැන්වීම් කට්ටලයේ තියෙන වීඩියෝ 4 සකස් කරලා තියෙන්නේ මොන අරමුණින්ද? (ආ) ඒ වීඩියෝ පෙන්නලා ඔයා ලබපු හොඳ අද්දැකීමක් කියන්න.

14 වීඩියෝ. යේසුස්ගේ කාලේ හිටපු වඩුවන් ළඟ තිබුණේ අතින් ක්‍රියා කරවන ආයුධ විතරයි. ඒත් අද ඉන්න වඩුවන් ළඟ විදුලියෙන් ක්‍රියා කරන ආයුධත් තියෙනවා. අපිටත් මිනිසුන්ට උගන්වන්න දැන් මුද්‍රිත ප්‍රකාශනවලට අමතරව ලස්සන වීඩියෝ තියෙනවා. ඒවාවලින් 4ක් අපේ ඉගැන්වීම් කට්ටලයට ඇතුළත්. ඒ ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?,’ ‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?,’ ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ සහ ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ කවුද?’ කියන වීඩියෝ. ඒවායින් විනාඩි 2කට වඩා අඩු ඒවා මුල් හමු වීමකදී පෙන්නන්න පුළුවන්. ටිකක් දිග වීඩියෝ නැවත බැලීමකදී නැත්නම් කාලේ ටිකක් දෙන්න පුළුවන් නිවැසියන්ට පෙන්නන්න. ඒ වීඩියෝ හරිම වටිනා මෙවලම්. මොකද බයිබල් පාඩමක් කරන්න, රැස්වීම්වලට එන්න කෙනෙක්ගේ හිතේ ආසාවක් ඇති කරන්න ඒවාට පුළුවන්.

15. අපේ වීඩියෝ එකක් තමන්ගෙම භාෂාවෙන් දකිද්දී ඒක මිනිසුන්ට බලපාන්නේ කොහොමද? අද්දැකීම් කියන්න.

15 මේ අද්දැකීම බලන්න. සහෝදරියකට මයික්‍රොනීසියාවෙන් ආව යැප් භාෂාව කතා කරන කාන්තාවක්ව හම්බ වුණා. සහෝදරිය එයාට ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ කියන වීඩියෝ එක එයාගෙම භාෂාවෙන් පෙන්නුවා. වීඩියෝ එක පටන්ගත්තා විතරයි ඒ කාන්තාව මෙහෙම කිව්වා. “මේ මගේ භාෂාවනේ. මට විශ්වාස කරන්නත් බෑ. මෙයා කතා කරන විදිහෙන්ම මට කියන්න පුළුවන් මෙයා මගේ දූපතේ කෙනෙක් කියලා.” ඊටපස්සේ ඒ කාන්තාව jw.org වෙබ් අඩවියේ එයාගේ භාෂාවෙන් තියෙන හැම දෙයක්ම බලන්නම් කියලා කිව්වා. (ක්‍රියා 2:8, 11 බලන්න.) එක්සත් ජනපදයේ ඉන්න අපේ සහෝදරියකගේ අද්දැකීම බලන්න. එයාගේ අයියාගේ පුතා හිටියේ වෙන රටක. පුතාගේ භාෂාවෙන් තියෙන ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ කියන වීඩියෝ එකේ ලින්ක් එක ඒ සහෝදරිය එයාට යැව්වා. පුතා ඒක බලලා මෙහෙම ලියලා එව්වා. “මේ ලෝකේ තියෙන ප්‍රශ්න පිටිපස්සේ අපිට නොපෙනෙන දුෂ්ට කෙනෙක් ඉන්නවා කියලා ඒ වීඩියෝ එකේ කියපු දේ ගැන හොයලා බලන්න මට හිතුණා. ඒ නිසා මං බයිබල් පාඩමක් ඉල්ලුවා.” එයා ඉන්නේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු තහනම් කරපු රටක.

සත්‍යය උගන්වන්න

16. මේ එක් එක් සඟරාව සකස් කරලා තියෙන්නේ ඇයි කියලා පැහැදිලි කරන්න. (අ) ‘දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න.’ (ආ) ‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’ (ඇ) ‘දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!’

16 සඟරා. එච්චර හොඳට ලියන්න කියවන්න බැරි කෙනෙක්ට නැත්නම් අපේ ප්‍රකාශන නැති භාෂාවක් කතා කරන කෙනෙක්ට උගන්වන්න ‘දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න’ කියන සඟරාව පාවිච්චි කරන්න ඔයාට පුළුවන්. * බයිබල් පාඩමක් පටන්ගන්න ‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’ සඟරාව කදිම මෙවලමක්. ඔයාට පුළුවන් ඒ සඟරාවේ අන්තිම පිටුවේ තියෙන මාතෘකා 14 කෙනෙක්ට පෙන්නලා එයා වැඩියෙන් කැමති මොන මාතෘකාවටද කියලා අහන්න. ඊටපස්සේ ඒ පාඩමෙන් සාකච්ඡාව පටන්ගන්න. ඔයා නැවත බැලීම් කරද්දී ඒ ක්‍රමය පාවිච්චි කරලා තියෙනවාද? ‘දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!’ කියන සඟරාව තමයි අපේ ඉගැන්වීම් කට්ටලයේ තියෙන 3වෙනි සඟරාව. ඒක සකස් කරලා තියෙන්නේ බයිබල් ශිෂ්‍යයන්ට අපේ සංවිධානය ගැන කියලා දෙන්නයි. බයිබල් පාඩමේදී ඒ සඟරාවෙන් කොටසක් සාකච්ඡා කරන්න පුළුවන් විදිහ දැනගන්න 2017 මාර්තු ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ බලන්න.

17. (අ) බයිබල් පාඩම් කරන්න සකස් කරලා තියෙන එක් එක් පොතේ අරමුණ මොකක්ද? (ආ) අලුතෙන් බව්තීස්ම වෙන හැමෝම කරන්න ඕනෙ මොකක්ද? ඒ ඇයි?

17 පොත්. සඟරාවක් යොදාගෙන බයිබල් පාඩමක් පටන්ගත්තාට පස්සේ ඕනෙම අවස්ථාවක ඔයාට පුළුවන් ඒකෙන් ‘බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු’ කියන පොතට මාරු වෙන්න. ඒ පොතෙන් පාඩම කරන්න සඟරාව ඉවර වෙන කල්ම ඉන්න ඕනෙ නැහැ. ඒ පොත සකස් කරලා තියෙන්නේ බයිබලේ තියෙන මූලික ඉගැන්වීම් ගැන ශිෂ්‍යයාව දැනුවත් කරන්නයි. ශිෂ්‍යයා එයාගේ ජීවිතේ වෙනස්කම් කරගන්නවා නම් ඒ පොත ඉවර වුණාට පස්සේ එයාත් එක්ක ‘දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු’ කියන පොතෙන් පාඩම දිගටම කරගෙන යන්න. එදිනෙදා ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න විදිහ ශිෂ්‍යයා ඒ පොතෙන් ඉගෙනගනියි. හිතන්න, ඒ පොත් 2ක ඉවර වෙන්න කලින් ශිෂ්‍යයා බව්තීස්ම වුණා කියලා. ඒත් ඒ පොත් 2කම ඉවර වෙන කල් එයාත් එක්ක පාඩම කරන්න ඕනේ. දෙවි ගැන ලොකු විශ්වාසයක් ඇති කරගෙන දිගටම දෙවිට ළැදිව ඉන්න ඒක එයාට උදව් වෙයි.—කොලොස්සි 2:6, 7 කියවන්න.

18. (අ) 1 තිමෝති 4:16 අපිට දිරිගන්වලා තියෙන්නේ මොකක් කරන්න කියලාද? ඒකේ ප්‍රතිඵලය මොකක්ද? (ආ) අපි අපේ ඉගැන්වීම් කට්ටලය පාවිච්චි කරන්නේ මොන ඉලක්කය ඇතුවද?

18 සදාකාල ජීවනයට මඟ පෙන්නන ‘සත්‍යය ගැන ශුභාරංචිය’ මිනිසුන්ට උගන්වන එක සාක්ෂිකරුවන් විදිහට අපි හැමෝගෙම වගකීමයි. (කොලො. 1:5; 1 තිමෝති 4:16 කියවන්න.) ඒක හොඳින් කරන්න අවශ්‍ය හැම මෙවලමක්ම ඇතුළත් ඉගැන්වීම් කට්ටලයක් අපිට තියෙනවා. (“ ඉගැන්වීම් කට්ටලය” කියන කොටුව බලන්න.) ඒකේ තියෙන මොන මෙවලම මොන වෙලාවේ පාවිච්චි කරනවාද කියලා තීරණය කරන්න අපි එක් එක් කෙනාට පුළුවන්. ඒත් අපි මතක තියාගන්න ඕනෙ අපේ අරමුණ නිකම්ම ප්‍රකාශන දෙන එක නෙමෙයි කියන දේ. උනන්දුවක් දක්වන්නේ නැති අයට අපි කොහොමත් අපේ ප්‍රකාශන ලබා දෙන්නේ නැහැ. ඒ වෙනුවට අපේ අරමුණ වෙන්න ඕනෙ අවංක, නිහතමානී, දෙවි ගැන ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අයව හොයාගෙන ඒ අයට යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න උදව් කරන එකයි.—ක්‍රියා 13:48; මතෙ. 28:19, 20.

^ 5 ඡේ. 2010 අගෝස්තු 1 ‘මුරටැඹ’ කලාපයේ පළ වුණ “වඩු කාර්මිකයෙක් වූ යේසුස්” කියන ලිපියත් “වඩුවෙකුගේ ආයුධ පෙට්ටිය” කියන කොටුවත් බලන්න.

^ 16 ඡේ. කොහොමටවත් කියවන්න බැරි කෙනෙක්ට ‘දෙවිට සවන් දෙන්න’ කියන සඟරාව පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ හුඟක් තියෙන්නේ පින්තූර.