Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

මගේ තීරණයට යෙහෝවා දෙවි ආශීර්වාද කළා

මගේ තීරණයට යෙහෝවා දෙවි ආශීර්වාද කළා

ඒක වුණේ 1939දී. අපි එදා රෑ 12ට විතර නැඟිටලා ඇමරිකාවේ මිසූරි කියන ප්‍රාන්තයේ තිබුණු පුංචි නගරයක් වන ජොප්ලින්වලට ගියා. ගිය ගමන්ම අපි හිමින් සැරේ එහේ තිබුණු ගෙවල්වල දොරවල් යටින් පත්‍රිකා දාන්න පටන්ගත්තා. වැඩේ ඉවර වුණු ගමන්ම අපි කාර් එකට නැඟලා අනිත් කණ්ඩායම්වල අයව මුණගැහෙන්න ගියා. ඒ වෙද්දී එළිය වැටෙන්න පටන් අරගෙනයි තිබුණේ. ඒ වගේ වැඩක් අපි කළේ ඇයි කියලා මං පස්සේ කියන්නම්.

මං ඉපදුණේ 1934දි. මගේ තාත්තා ෆ්‍රෙඩ් මොලහැන්. අම්මා එඩ්නා. මං ඉපදෙනකොටත් එයාලා අවුරුදු 20ක් තිස්සෙම බයිබල් ශිෂ්‍යයන් (යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්) වෙලා හිටියා. එයාලා යෙහෝවා දෙවි ගැන මගේ හිතේ ලොකු ආදරයක් ඇති කළා. ඒ ගැන මං අදටත් එයාලට ස්තුති කරනවා. අපි ජීවත් වුණේ කැන්සාස් ප්‍රාන්තයේ තිබුණු පුංචි නගරයක් වන පාසන්ස්වල. අපේ සභාවේ හිටිය හැම කෙනෙක්ම වගේ අභිෂේක ලත් අය. රැස්වීම්වලට යන එකත් සේවේ යන එකත් අපේ පවුලේ අය කවදාවත් අතපසු කළේ නැහැ. සාමාන්‍යයෙන් සෙනසුරාදා දවල්ට අපි පාරේ යන එන අයට සාක්ෂි දැරුවා. ඒක හරියට මේ කාලේ කරන පොදු සේවය වගේ. සමහර දවස්වලට අපිට ලොකු මහන්සියක් දැනුණත් ඒ වගේ වෙලාවට තාත්තා අපිට අයිස් ක්‍රීම් අරන් දුන්නා.

අපේ සභාව පුංචි එකක් වුණත් සේවේ කරන්න අපිට ලොකු ප්‍රදේශයක් තිබුණා. ඒ ප්‍රදේශයේ මිනිසුන්ට සාක්ෂි දරන්න තාත්තා ප්‍රකාශන ගත්තේ සල්ලි දීලා. හැබැයි හුඟක් අය තාත්තාගෙන් ඒවා ගද්දී සල්ලි වෙනුවට දුන්නේ එයාලගේ ගොවිපොළවල්වල වවපු එළවළු නැත්නම් බිත්තර වගේ දේවල්. සමහර අය කුකුල්ලුන්වත් දුන්නා. ඒ ලැබුණු දේවල් ගෙදර අවශ්‍යතා පිරිමහගන්න ලොකු උදව්වක් වුණා.

සාක්ෂි දැරීමේ වැඩසටහනක්

සේවෙදි පාව්චිචි කරන්න අපේ අම්මායි, තාත්තායි තැටි වාදන යන්ත්‍රයක් ගත්තා. ඒ වෙද්දී මං පොඩි නිසා ඒක පාවිච්චි කරන්න දැනන් හිටියේ නැහැ. හැබැයි නැවත බැලීම්වලදීත් බයිබල් පාඩම්වලදීත් සහෝදර රදෆර්ඩ්ගේ දේශන දාන්න මං එයාලට උදව් කළේ හරිම සතුටින්.

ශබ්ද විකාශනයක් සවි කරපු අපේ කාර් එක ඉස්සරහා අම්මායි, තාත්තායි එක්ක

තාත්තා අපේ කාර් එක උඩින් ලොකු ශබ්ද විකාශන යන්ත්‍රයක් හයි කළා. හුඟදෙනෙක්ට සාක්ෂි දරන්න ඒක උදව් වුණා. මිනිසුන්ගේ අවධානය ගන්න ඕන නිසා අපි මුලින්ම සංගීත තැටියක් ඇහෙන්න දැම්මා. ඊටපස්සේ තමයි බයිබල් දේශන දැම්මේ. දේශනය ඉවර වුණාට පස්සේ උනන්දු අයට අපි අපේ ප්‍රකාශන දුන්නා.

පුංචි නගරයක් වුණු චෙරිවේල්වල තිබුණු උද්‍යානයකට තාත්තා කාර් එක අරන් ගියා. ඉරිදා දවස්වලට විවේක ගන්න මිනිසුන් හුඟදෙනෙක් එතනට ආවා. ඒත් දවසක් පොලීසියෙන් ඇවිත් කිව්වා අපේ කාර් එක උද්‍යානයෙන් එළියේ නවත්වන්න කියලා. ඒ නිසා තාත්තා ඒ උද්‍යානයට එහා පැත්තෙන් තිබුණු පාරේ කාර් එක නවත්වලා තැටි වාදන යන්ත්‍රය උද්‍යානය ඇතුළේ හිටිය අයට ඇහෙන්න දැම්මා. ඒ වගේ දේවල් වෙද්දී තාත්තා එක්කයි, මගේ අයියා ජෙරී එක්කයි ඉද්දී මට දැනුණේ පුදුම සතුටක්.

අපිට තදින්ම විරුද්ධ වුණු අය හිටිය ප්‍රදේශවල සේවේ යන්න විශේෂ වැඩසටහන් ඒ කාලේ සැලසුම් කරලා තිබුණා. මුලින්ම මං ඔයාලට කිව්වේ ඒ වගේ අවස්ථාවක් ගැන. දොරවල් යටින් පත්‍රිකා දාලා ඉවර වුණු ගමන්ම අපි අනිත් කණ්ඩායම්වල අයව මුණගැහෙන්න ගියේ එයාලව පොලීසියෙන් අල්ලගෙනද කියලා දැනගන්න.

ඒ කාලේ සාක්ෂි දරන්න පාවිච්චි කරපු තවත් ක්‍රමයක් තමයි පුවරු එල්ලගෙන පෝළිමේ ඇවිදන් පාර දිගේ යන එක. ඒ විදිහට අපි නගරය වටේම ඇවිද්දා. මට මතකයි දවසක් “ආගම මලපතකි. ප්‍රයෝගයකි” කියලා ගහලා තිබුණු පුවරු එල්ලන් සහෝදරයන් අපේ නගරයේ ඇවිදන් ගියා. එයාලා එහෙම යන්න පටන්ගත්තේ අපේ ගෙදර ළඟින්. කිලෝමීටර් එකහමාරක් විතර නගරයේ ඇවිදලා ආපහු අපේ ගේ ළඟට ආවා. එදා කවුරුත් එයාලට බාධා කළේ නැහැ. සිද්ධ වෙන දේ ගැන දැනගන්න හුඟක් අයට තිබුණේ ලොකු කුතුහලයක්.

මං පොඩි කාලේ ගිය සමුළු

අපේ පවුලේ අය නිතරම වගේ සමුළුවලට සහභාගි වෙන්න ටෙක්සාස්වලට ගියා. තාත්තා වැඩ කළේ දුම්රිය සමාගමක. ඒ නිසා කෝච්චියෙන් සමුළුවලට යද්දිත් නෑදෑයන්ව බලන්න යද්දිත් අපිට සල්ලි ගෙවන්න ඕන වුණේ නැහැ. අම්මාගේ අයියා ෆ්‍රෙඩ් විස්මර් සහ එයාගේ බිරිඳ යුලාලි ජීවත් වුණේ ටෙක්සාස්වල. මාමා සත්‍යය ගැන ඉගෙනගන්න පටන් අරන් බව්තීස්ම වෙලා තියෙන්නේ තරුණ කාලෙදිමයි. ඒ කියන්නේ 1900 ගණන්වල මුල් කාලෙදි. එයා ඒ ගැන එයාගේ නංගිලාටත් කියලා තියෙනවා. ඒ විදිහට තමයි මගේ අම්මා සත්‍යය ගැන දැනගෙන තියෙන්නේ. ඒ කාලේ මාමා චාරිකා සේවේ කරපු නිසා ටෙක්සාස්වල ඉන්න සහෝදරයන් මාමාව හොඳට දන්නවා. එයා උද්‍යෝගයෙන් දෙවිට සේවය කරපු, හරිම කාරුණික ඒ වගේම හැම වෙලේම සතුටින් හිටිය කෙනෙක්. එයා මට හොඳ ආදර්ශයක් වුණා.

1941දී මිසූරි ප්‍රාන්තයේ ශාන්ත ලූවිස්වල පවත්වපු සමුළුවකට අපි ගියා. ඒ සමුළුවේදී සහෝදර රදෆර්ඩ් “රජුගේ දරුවෝ” කියන මාතෘකාවෙන් ඉදිරිපත් කරන දේශනය අහන්න දරුවන් ඔක්කොටම වේදිකාව ළඟට ඇවිත් ඉඳගන්න කියලා කිව්වා. ඒ දේශනය ඉවර වුණාට පස්සේ හරිම පුදුම හිතෙන දෙයක් සිද්ධ වුණා. එතන හිටිය දරුවන් 15,000දෙනාටම “දරුවෝ” කියන නමින් පළ වුණු පොතේ පිටපත් ලැබුණා.

1943 අප්‍රියෙල් මාසේ කැන්සාස් ප්‍රාන්තයේ කොෆිවිල්වල පවත්වපු සමුළුවකට අපි ගියා. ඒකෙදි තමයි ළඟපාත ගොවිපොළක තිබුණු පොකුණකදී මං බව්තීස්ම වුණේ. සේවා පාසැල ගැන මුලින්ම දැනුම් දුන්නෙත් ඒ සමුළුවෙදියි. සේවා පාසැලෙදි පාවිච්චි කරන්න පාඩම් 52ක් තිබුණු පොතකුත් එදා අපිට ලැබුණා. මං මගේ පළවෙනි ශිෂ්‍ය පැවරුම ඉදිරිපත් කළෙත් ඒ අවුරුද්දෙමයි.

බෙතෙල් එකේ සේවේ කරන්න මට ලොකු ආසාවක් තිබුණා

1951 පාසැල් අධ්‍යාපනය ඉවර කළාට පස්සේ ඉස්සරහට මං කරන්නේ මොනවාද කියලා තීරණය කරන්න සිද්ධ වුණා. මගේ අයියා ජෙරී බෙතෙල් එකේ වැඩ කරලා තිබුණා. බෙතෙල් එකේ වැඩ කරන්න මටත් ලොකු ආසාවක් තිබුණු නිසා මං ඒකට ඉල්ලුම් කළා. එහේ වැඩට එන්න කියලා ආරාධනාවක් ලැබෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. 1952 මාර්තු 10වෙනිදා තමයි මං වැඩ පටන්ගත්තේ. එදා ගත්ත ඒ තීරණය නිසා දෙවිට තවත් වැඩියෙන් සේවය කරන්න ලැබුණු එක ගැන අදටත් මං සතුටු වෙනවා.

බෙතෙල් එකේ මුද්‍රණාලයේ සේවය කරන්න මට පුළුවන් වෙයි කියලයි මං හිතුවේ. ඒත් කවදාවත් මට ඒ පැවරුම ලැබුණේ නැහැ. මුලින්ම මට වැඩ කරන්න වුණේ වේටර් කෙනෙක් විදිහට. ඊටපස්සේ කුස්සියේ වැඩ කරන්න මට පැවරුමක් ලැබුණා. මං ඒ වැඩ කළේ හරිම සතුටින්. හුඟක් දේවල් මං ඉගෙනගත්තා. සමහර දවස්වල උදේ වරුවෙත් තවත් දවස්වල රෑ වරුවෙත් වැඩ කරන්න වුණා. මං හුඟක් වෙලාවට බෙතෙල් එකේ පුස්තකාලෙට ගියා. ඒකේ තිබුණු පොත්වල තොරතුරු මං පෞද්ගලිකව අධ්‍යයනය කළා. ඒක මට හුඟක් උදව් වුණා යෙහෝවා දෙවිත් එක්ක තිබුණු බැඳීමත් දෙවි ගැන තිබුණු විශ්වාසයත් වැඩි කරගන්න. මට පුළුවන් තාක් කල් බෙතෙල් එකේ ඉඳන් යෙහෝවා දෙවිට සේවය කරන්න අරන් තිබුණු අදිටන ඒකෙන් තවත් ශක්තිමත් වුණා. 1949දී ජෙරී බෙතෙල් එකෙන් අයින් වෙලා පැට්‍රිෂියා එක්ක විවාහ වුණා. එයාලා පදිංචි වුණේ බෘක්ලින්වලට කිට්ටුවෙන්. ඒ නිසා බෙතෙල් එකේ රැඳිලා ඉන්න ඕන කරන දිරිගැන්වීම, උදව්ව මට එයාලගෙන් දිගටම ලැබුණා.

ටික කාලෙකට පස්සේ සුදුසුකම් තියෙන සහෝදරයන්ට බෙතෙල් කථිකයන් විදිහට පැවරුම් ලැබුණා. බෘක්ලින්වල ඉඳන් කිලෝමීටර් 320ක් විතර දුරින් තියෙන සභාවලට ගිහින් ඒ සහෝදරයන් එක්ක සේවේ යන්නත් බයිබල් දේශනයක් දෙන්නත් පැවරුම් ලැබුණු අයට අවස්ථාව ලැබෙනවා. ඒ පැවරුම ලැබුණු මුල් කාලෙදි මං ඒක කළේ ටිකක් බයෙන්. මොකද ඒ කාලේ පැයක් පුරාම බයිබල් දේශනයක් දෙන්න සිද්ධ වුණා. 1954දී සීතල දවසක වුණු දෙයක් මට තාමත් මතකයි. එදා එක සභාවකට ගිහින් ආපහු නිව් යෝර්ක්වලට එන්න මං කෝච්චියකට නැග්ගා. ඒත් ගමන අතරමඟදී ලොකු කුණාටුවක් ආපු නිසා කෝච්චිය නතර වුණා. ඉරිදා හවස් වෙද්දී බෙතෙල් එකට එන්න පුළුවන් වෙයි කියලා මං හිතන් හිටියත් නිව් යෝක්වලට එද්දිම සඳුදා පාන්දර 5 වුණා. ඊටපස්සේ බෘක්ලින්වලට එන්න මං වෙන කෝච්චියකට නැග්ගා. බෙතෙල් එකට ගිය ගමන්ම ඉක්මනට ලෑස්ති වෙලා කුස්සියට ගිහින් මං වැඩ පටන්ගත්තා. ඒ වෙද්දිත් මං පරක්කුයි. මුළු රෑම නින්දක් ලැබුණේ නැති නිසා එදා මට ලොකු මහන්සියක් දැනුණා. හැබැයි සභාවන්වලට ගිහින් අලුත් සහෝදරයන්ව අඳුනගන්න ලැබුණු එකෙනුත් එයාලා එක්ක සේවේ හවුල් වුණු එකෙනුත් ලබපු සතුට මං කරපු හැම කැප කිරීමකටම වඩා වටිනවා.

WBBR ගුවන්විදුලි නාලිකාවේ පටිගත කිරීමකට සූදානම් වෙමින්

බෙතෙල් එකට ගිහින් මුල් අවුරුදු කිහිපය ඇතුළතදී WBBR විදිහට හඳුන්වපු අපේ ගුවන්විදුලි මධ්‍යස්ථානයේ සතිපතා පවත්වපු වැඩසටහනකට හවුල් වෙන්නත් මට අවස්ථාව ලැබුණා. ස්ටූඩියෝ එක තිබුණේ 124 කොලොම්බියා හයිට්ස්වල දෙවෙනි තට්ටුවේ. බෙතෙල් එකේ අවුරුදු ගාණක්ම සේවය කරපු සහෝදර ඇලෙක්සැන්ඩර් එච්. මැක්මිලන් දිගටම ඒ වැඩසටහන්වලට හවුල් වුණා. අපි එයාට කතා කළේ සහෝදර මැක් කියලා. හුඟක් අභියෝග මැද වුණත් එයා දිගටම විශ්වාසවන්තව හිටිය එක යෞවනයන් වුණු අපිට හොඳ ආදර්ශයක් වුණා.

WBBR ගුවන්විදුලි නාලිකාව ගැන දැනුම් දෙන්න පාවිච්චි කරපු අත්පත්‍රිකා

1958දී මගේ පැවරුම වෙනස් වුණා. මට ලැබුණු අලුත් පැවරුම තමයි ගිලියද් පාසැලට එන ශිෂ්‍යයන්ට ඕන කරන වීසා හදාගන්න උදව් කරන එක. අදාළ රටවල්වලට යන වැඩ ටික සැලසුම් කරලා දුන්නෙත් මමයි. ඒ කාලේ ප්ලේන් එකෙන් යන්න සෑහෙන වියදමක් දරන්න වුණා. ඒ නිසා අප්‍රිකාවට සහ ආසියාවට පැවරුම් ලැබුණු ශිෂ්‍යයන් වෙළඳ නැව්වලින් තමයි ගමන් කළේ. කාලෙකට පස්සේ ගුවන් ගමන්වල වියදම අඩු වුණාම හුඟක් ශිෂ්‍යයන් එයාලගේ පැවරුම්වලට ප්ලේන් එකෙන්ම ගියා.

ගිලියද් උපාධි පිරිනැමීමේ වැඩසටහනට කලින් අදාළ සහතිකපත් සකස් කරමින්

ජාත්‍යන්තර සමුළු

1961දී පවත්වපු ජාත්‍යන්තර සමුළුවලට එක්සත් ජනපදයේ ඉඳන් යුරෝපයට යන්න මං විශේෂ ගුවන් ගමන් සංවිධානය කළා. මං සහභාගි වුණේ ජර්මනියේ හැම්බර්ග්වල පවත්වපු සමුළුවට. සමුළුවෙන් පස්සේ මායි, බෙතෙල් එකේ හිටිය තවත් සහෝදරයන් තුන්දෙනෙකුයි කාර් එකක් කුලියට අරන් ජර්මනියේ ඉඳන් ඉතාලියට ගිහින් රෝමයේ ශාඛා කාර්යාලය බලන්න ගියා. ඊටපස්සේ අපි ප්‍රංශයට ගිහින් පිරනීස් කඳුවැටිය හරහා ස්පාඤ්ඤයට ගියා. එහේ අපේ සේවය තහනම් කරලයි තිබුණේ. ඒ නිසා අපි අපේ ප්‍රකාශන බාසිලෝනාවල හිටිය සහෝදරයන්ට අරන් ගියේ තෑගි පෙට්ටි වගේ ඔතාගෙන. ඒ සහෝදරයන්ව මුණගැහෙන්න ලැබුණු එක ගැන අපි හුඟක් සතුටු වුණා. ඊටපස්සේ අපි ඇම්ස්ටර්ඩෑම්වලට ඇවිත් ප්ලේන් එකෙන් ආයෙත් නිව් යෝර්ක්වලට ආවා.

ලෝකේ පුරාම පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවලට සහභාගි වෙන්න බලාපොරොත්තුවෙන් හිටිය සහෝදරයන් 583දෙනෙක්ට ප්‍රවාහණ පහසුකම් සැලසුම් කරන්න මට 1962දී පැවරුමක් ලැබුණා. එයාලා සහභාගි වුණේ 1963දී “සදාකාල ශුභාරංචිය” කියන තේමාවෙන් පවත්වපු සමුළුවට. යුරෝපයේ, ආසියාවේ සහ දකුණු පැසිෆික්වල පවත්වපු සමුළුවලට සහභාගි වුණාට පස්සේ එයාලා හවායිවල හොනොලුලුවලට සහ කැලිෆෝර්නියාවේ පැසඩීනාවලට ගියා. ඒ වගේම බයිබලයේ සඳහන් වෙන දේශයන් වන ජොර්දානයේ සහ ලෙබනනයේ විශේෂ ස්ථාන නරඹන්න යන්නත් එයාලට අවස්ථාව ලැබුණා. ඒ ගමනට ඕන කරන ගුවන් ගමන් පහසුකම් වෙන් කරගන්නත් හෝටල්වල නවාතැන් ගන්නත් වීසා හදාගන්නත් ඕන කරන හැම දෙයක්ම මං වැඩ කරපු අංශයෙන් තමයි සැලසුම් කළේ.

අලුත් සහායකයෙක්

1963 ජූනි 29වෙනිදා මං ලයිලා රොජර්ස් එක්ක විවාහ වුණා. එයා බෙතෙල් එකට ආවේ 1960දී. විවාහ වෙලා සතියකට පස්සේ, රටින් රටට ගිය සහෝදරයන්ගේ ගමනට අපිත් එකතු වුණා. ග්‍රීසිය, ඊජිප්තුව සහ ලෙබනොන්වලට ගිහින් එතන ඉඳන් ජොර්දානයට අපි ගියා. හැබැයි එහේ අපේ වැඩකටයුතුවලට තහංචි දාලා තිබුණු නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට සාමාන්‍යයෙන් වීසා ලැබුණේ නැහැ. ඒ නිසා අපි එහේ ගියාට පස්සේ මොනවා වෙයිද කියලා අපි දැනන් හිටියේ නැහැ. සිද්ධ වුණේ අපි හීනෙකින්වත් නොහිතපු දෙයක්. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව අපි ආදරෙන් පිළිගන්නවා” කියලා ලියලා තිබුණු බැනර් එකකුත් තියාගෙන අපේ සහෝදරයන් ගුවන් තොටුපොළට ඇවිත් හරිම සතුටින් අපි එන කල් බලන් හිටියා. බයිබලයේ සඳහන් දේශ දැක බලා ගන්න වගේම ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් ජීවත් වුණු තැනුත් යේසුස් සහ නියෝජිතයන් සේවේ ගිය තැනුත් “පොළොවේ ඈත කෙළවර දක්වාම” විසිරිලා තියෙන ක්‍රිස්තියානි ධර්මය ආරම්භ වුණු නගරයත් දැක බලා ගන්න ලැබුණු එක ගැන අපි දෙන්නාම හුඟක් සතුටු වුණා.—ක්‍රියා 13:47.

ලැබුණු පැවරුම් හොඳින් ඉටු කරන්න අවුරුදු 55ක් තිස්සේ ලයිලා මට ලොකු සහයෝගයක් දීලා තියෙනවා. ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ අපේ සේවය තහනම් කරලා තිබුණු කාලෙදි කිහිප වතාවක්ම එහෙට යන්න අපිට අවස්ථාව ලැබුණා. එහේ ඉන්න සහෝදරයන්ව දිරිගන්වන්නත් අපේ ප්‍රකාශන වගේම එයාලට ඕන කරන තවත් දේවල් දෙන්නත් අපි උපරිමයෙන් උත්සාහ කළා. ස්පාඤ්ඤයේ කැඩිස්වල හිරදඬුවම් විඳින සමහර සහෝදරයන්ව මුණගැහෙන්නත් අපිට පුළුවන් වුණා. එයාලව දිරිගන්වන්න දේශනයක් දෙන්න පුළුවන් වුණු එක ගැන මට හරිම සතුටුයි.

පැට්‍රිෂියා සහ ජෙරී මොලහැන් එක්ක 1969 පවත්වපු සමුළුවකට යන ගමන්

1963 ඉඳන් අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, මධ්‍යම ඇමරිකාව, දකුණු ඇමරිකාව, යුරෝපය, මැදපෙරදිග, හවායි, නවසීලන්තය සහ පෝටෝ රිකෝවල පවත්වපු ජාත්‍යන්තර සමුළුවලට සහභාගි වුණු අයට ප්‍රවාහණ පහසුකම් සැලසුම් කරන්න මට අවස්ථාව ලැබුණා. අපි දෙන්නා සහභාගි වුණු සමහර සමුළු අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. 1989දී පෝලන්තයේ වෝර්සෝවල පවත්වපු සමුළුව ඒ අතරින් එකක්. රුසියාවේ ඉන්න සහෝදරයන් හුඟදෙනෙක් ඒ සමුළුවට ඇවිත් හිටියා. ඒක තමයි එයාලා මුල්ම වතාවට සහභාගි වුණු සමුළුව. දෙවිට විශ්වාසවන්තව හිටිය නිසා සෝවියට් ජනරජය යටතේ අවුරුදු ගාණක්ම හිරදඬුවම් විඳපු සහෝදරයනුත් ඒ සමුළුවට ඇවිත් හිටියා.

එක එක රටවලට ගිහින් මිෂනාරිවරුන්වත් බෙතෙල් සේවකයන්වත් මුණගැහිලා එයාලව දිරිගන්වන්න මට ලැබුණු පැවරුමත් මං ඉටු කළේ හරිම සතුටින්. අපි අන්තිම වතාවට ඒ පැවරුම ඉටු කළේ දකුණු කොරියාවේ. එහේ හිරදඬුවම් විඳින සහෝදරයන් 50දෙනෙක්වත් මුණගැහෙන්න අපිට පුළුවන් වුණා. එයාලා කිසිම දෙයක් ගැන දුක් වෙන්නේ නැහැ. කිසිම බාධාවක් නැතුව යෙහෝවා දෙවිට සතුටින් සේවය කරන්න ලැබෙන කාලය උදා වෙන කල් එයාලා හරිම ආසාවෙන් බලන් ඉන්නවා. එයාලව මුණගැහුණු එක අපිට ලොකු දිරිගැන්වීමක් වුණා.—රෝම 1:11, 12.

සතුටක් ගෙන දෙන වර්ධනයක්

යෙහෝවා දෙවි තමන්ගේ සෙනඟට ආශීර්වාද කරන විදිහ මං අවුරුදු ගාණක් තිස්සෙම දැකලා තියෙනවා. 1943 මං බව්තීස්ම වෙද්දී ප්‍රචාරකයන් හිටියේ 1,00,000ක් විතරයි. ඒත් දැන් රටවල් 240ක ප්‍රචාරකයන් 80,00,000 වඩා ඉන්නවා. වෙහෙස නොබලා වැඩ කරන ගිලියද් ශිෂ්‍යයන් ඒ වර්ධනයට හුඟක් දායක වෙලා තියෙනවා. ඒ ශිෂ්‍යයන් හුඟදෙනෙක් එක්කම කිට්ටුවෙන් වැඩ කරන්නත් එයාලගේ අලුත් පැවරුම්වලට යන්න එයාලට උදව් කරන්නත් ලැබුණු එක මට ලොකු සතුටක්.

යෞවන කාලෙදිම යෙහෝවා දෙවිට සේවය කරන්න තීරණය කරලා බෙතෙල් එකට අයදුම් කරපු එක ගැන මං සතුටු වෙනවා. එදා ඉඳන් අද වෙන කල් යෙහෝවා දෙවි මට හුඟක් ආශීර්වාද කරලා තියෙනවා. අවුරුදු 50කට වැඩි කාලයක් තිස්සේ බෙතෙල් එකේ සේවය කරන්න ලැබුණු එක ගැනත් බෘක්ලින්වල තියෙන සභා කිහිපයකම සහෝදරයන් එක්ක සේවේ හවුල් වෙන්න ලැබුණු එක ගැනත් සැබෑ මිතුරන් රැසක්වම හොයාගන්න පුළුවන් වුණු එක ගැනත් මායි, ලයිලායි හුඟක් සතුටු වෙනවා.

ලයිලාගේ උදව්වත් ලැබෙන නිසා මං දැනටත් බෙතෙල් එකේ සේවය කරනවා. දැන් මට අවුරුදු 84කටත් වඩා වැඩියි. ඒත් තවමත් බෙතෙල් එකේ ලිපි ලේඛන අංශයේ සේවය කරන්න පුළුවන් වෙලා තියෙන එක ගැන මං ඇත්තටම සතුටු වෙනවා.

මායි, බිරිඳයි

මලාකි 3:18 මෙහෙම කියනවා. “ඒ කාලයේදී ධර්මිෂ්ඨයා කවුද කියාත් දුෂ්ටයා කවුද කියාත් දෙවිට සේවය කරන්නේ කවුද කියාත් නොකරන්නේ කවුද කියාත් පැහැදිලිව දැකගැනීමට හැකි වනු ඇත.” ඒ අනාවැකිය ඉටු වෙලා තියෙන විදිහ දැකගන්න පුළුවන් වුණු එක ගැනත් යෙහෝවා දෙවිගේ සංවිධානයට ඇතුල් වෙන්න ලැබුණු එක ගැනත් මට දැනෙන්නේ පුදුම සතුටක්. දවසින් දවස සාතන්ගේ ලෝකය පිරිහිලා යන විදිහත් කිසි බලාපොරොත්තුවක් නැතුව මිනිසුන් දුක් වෙන විදිහත් අපි දකිනවා. හැබැයි මේ වගේ අමාරු කාලෙකදි වුණත් යෙහෝවා දෙවිගේ සෙනඟ අනාගතය ගැන ප්‍රීතිමත් බලාපොරොත්තුවක් ඇතුව සතුටින් ජීවත් වෙනවා. (මතෙ. 24:14) දේවරාජ්‍යයේ පාලනය යටතේ ළඟදීම මේ පොළොව පාරාදීසයක් වෙනවා. ඒ දවස උදා වෙන කල් අපි ඉන්නේ මොන තරම් ආසාවකින්ද! ඒ කාලෙදි කිසි කෙනෙක් ලෙඩ වෙන්නේ නැහැ. නියම සතුට අද්දකිමින් හැමදාටම ජීවත් වෙන්න එදාට අවස්ථාව ලැබෙයි.