Skip to content

පටුනට යන්න

මනසේ සාමය නැති කරගන්න එපා

මනසේ සාමය නැති කරගන්න එපා

“මාගේ සිත මම සන්සුන් කර නිහඬ කරගත්තෙමි.”—ගීතා. 131:2.

ගීතිකා: 128, 129

1, 2. (අ) බලාපොරොත්තු නොවුණු විදිහට දේවල් වෙනස් වෙද්දී ඒක අපිට කොහොම බලපාන්න පුළුවන්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) ගීතාවලිය 131 කියන විදිහට මනසේ සාමය අද්දකින්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

අවුරුදු 25කටත් වැඩි කාලයක් බෙතෙල් එකේ සේවය කරපු ලොයිඩ් සහ ඇලෙක්සැන්ඩ්‍රාට පුරෝගාමි සේවය කරන්න පැවරුමක් ලැබුණා. ඒ වෙනස්කම ගැන එයාලට මුලින් දැනුණේ දුකක්. ලොයිඩ් මෙහෙම කියනවා. “බෙතෙල් එකයි, මගේ පැවරුමයි තිබුණේ නැත්නම් මගෙන් කිසි වැඩක් නැහැ කියලයි මට හිතුණේ. සංවිධානය ඒ වෙනස්කම් කළේ හොඳ හේතු ඇතුවයි කියලා මං දැනන් හිටියා. ඒත් සති මාස ගෙවෙද්දී මට දැනුණේ මාව අයින් කරලා දැම්මා කියලයි.”

2 අපේ ජීවිතවලත් කාලෙන් කාලෙට අපි බලාපොරොත්තු නොවුණු විදිහේ වෙනස්කම්වලට මුහුණ දෙන්න වෙනවා. ඒ වෙනස්කම් නිසා අපිට ලොකු කනස්සල්ලක්, පීඩනයක් දැනෙන්න පුළුවන්. (හිතෝ. 12:25) වෙච්ච වෙනස පිළිගන්න නැත්නම් ඒකට හැඩගැහෙන්න අමාරු වෙද්දී අපේ හිත සන්සුන් කරගන්න අපිට පුළුවන් කොහොමද? (ගීතාවලිය 131:1-3 කියවන්න.) අතීතයේ හිටපු සහ අද කාලේ ඉන්න දෙවිගේ සේවකයන්ගේ ජීවිතවල හදිසි වෙනස්කම් වුණාම එයාලා දිගටම මනසේ සාමය තියාගත්තේ කොහොමද කියලා අපි බලමු.

“දෙවි ලබා දෙන සමාදානය” අද්දකින්න

3. යෝසෙප්ගේ ජීවිතේ එකපාරටම වෙනස් වුණේ කොහොමද?

3 යෝසෙප් ගැන හිතන්න. යාකොබ් වැඩියෙන්ම ආදරේ කළේ යෝසෙප්ට. ඒ නිසා අයියලා එයාට ඊර්ෂ්‍යා කරලා වයස 17දී යෝසෙප්ව වහලෙක් විදිහට වික්කා. (උත්. 37:2-4, 23-28) මුලින් වහලෙක් විදිහටත් පස්සේ හිරකරුවෙක් විදිහටත් එයා අවුරුදු 13ක් විතර ඊජිප්තුවේ දුක් වින්දා. එයා ආදරේ කරපු එයාගේ තාත්තාගෙන් අවුරුදු ගාණක්ම වෙන් වෙලා ඉන්න එයාට සිද්ධ වුණා. එයා අද්දැක්ක ප්‍රශ්න නිසා බලාපොරොත්තු අත්හැරලා කේන්තියෙන් වැඩ කරන්න එයාට තිබුණත් එයා එහෙම කළේ නැහැ. ඒකට එයාට උදව් වුණේ මොනවාද?

4. (අ) හිරේ ඉද්දී යෝසෙප් මොකද කළේ? (ආ) යෝසෙප්ගේ යාච්ඤාවට යෙහෝවා දෙවි උත්තර දුන්නේ කොහොමද?

4 යෝසෙප් හිරේ ඉද්දී එයාට වෙච්ච දේ ගැනම හිතනවා වෙනුවට යෙහෝවා දෙවි එයාට උදව් කරන විදිහ ගැන එයා හිතන්න ඇති. (උත්. 39:21; ගීතා. 105:17-19) එයා යෞවන කාලේදී දැක්ක හීන ගැන හිතන්න ඇති. දෙවිගේ අනුමැතිය එයාට තියෙනවා කියන විශ්වාසය ඒකෙන් වැඩි වෙන්න ඇති. (උත්. 37:5-11) එයා නිතරම දෙවිට යාච්ඤා කරලා එයාගේ හිතේ තියෙන හැම දේම කියන්නත් ඇති. (ගීතා. 145:18) මොන දේ වුණත් දෙවි එයාත් එක්ක ඉන්නවා කියන සහතිකය දීලා යෙහෝවා දෙවි එයාගේ යාච්ඤාවලට උත්තර දුන්නා.—ක්‍රියා 7:9, 10. *

5. අත්හරින්නේ නැතුව දෙවිට සේවය කරන්න “දෙවි ලබා දෙන සමාදානය” උදව් වෙන්නේ කොහොමද?

5 ඕනෙම අමාරු තත්වයකදී වුණත් “දෙවි ලබා දෙන සමාදානය” අද්දකින්න අපිට පුළුවන්. ඒ සමාදානය අපේ ‘මනසට ආරක්ෂාවක්.’ (ෆිලිප්පි 4:6, 7 කියවන්න.) කනස්සල්ලක්, පීඩනයක් දැනෙද්දී “දෙවි ලබා දෙන සමාදානය” නිසා දිගටම දෙවිට සේවය කරන්න අපිට ශක්තියක් ලැබෙනවා. ඒ වගේම අධෛර්යය කරවන හැඟීම් මනසට එද්දී ඒවා නැති කරගන්නත් ඒ සමාදානය අපිට උදව් කරනවා. ඒ සමාදානය අද්දැක්ක සහෝදර සහෝදරියන් කීපදෙනෙක් ගැන දැන් බලමු.

හිත සන්සුන් කරන්න කියලා දෙවිගෙන් ඉල්ලන්න

6, 7. යාච්ඤා කරද්දී දේවල් නිශ්චිතව කියන එක මනසේ සාමය ඇති කරගන්න උදව් වෙන්නේ කොහොමද? අද්දැකීමක් කියන්න.

6 තවකාලික විශේෂ පුරෝගාමීන් හැටියට එයාලා කරකර හිටපු පැවරුම දැන් ඉවරයි කියලා දැනගත්තාම රයන්ටයි, ජුලියට්ටයි දැනුණේ ලොකු දුකක්. එයාලා ටිකක් අධෛර්යයත් වුණා. රයන් මෙහෙම කියනවා. “අපිට හැඟුණ විදිහ අපි ඉස්සෙල්ලාම කිව්වේ යෙහෝවා දෙවිට. අපිට දෙවි ගැන තියෙන විශ්වාසය පෙන්නන්න මේක හොඳ අවස්ථාවක් කියලා අපි දැනන් හිටියා. අපේ සභාවේ හිටපු හුඟදෙනෙක් අලුතෙන් සත්‍යයට ආපු අය. ඒ නිසා දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරලා එයාලට ආදර්ශයක් වෙන්න අපිට උදව් කරන්න කියලා අපි දෙවිගෙන් ඉල්ලුවා.”

7 දෙවි එයාලගේ යාච්ඤාවට උත්තර දුන්නේ කොහොමද? ඒ ගැන රයන් කියන්නේ මෙහෙමයි. “අපිට දැනුණ අධෛර්යය කරවන හැඟීම්, බය යාච්ඤා කරලා ඉවර වෙනවත් එක්කම වගේ නැති වෙලා ගියා. දෙවි දෙන සමාදානය අපේ හදවත, මනස ආරක්ෂා කරනවා කියලා අපිට දැනුණා. අපි මේ වෙනස්කමට හොඳ විදිහට මුහුණ දුන්නොත් දිගටම අපිව පාවිච්චි කරන්න යෙහෝවා දෙවිට පුළුවන් කියලා අපිට තේරුණා.”

8-10. (අ) මනසට ලොකු පීඩනයක් දැනෙද්දී අපිට උදව් කරන්න දෙවිගේ බලයට පුළුවන් කොහොමද? (ආ) දෙවිට කරන සේවයට අපි මුල් තැන දෙද්දී දෙවි අපිට උදව් කරන්නේ කොහොමද?

8 අපි තුළ සන්සුන්කමක් ඇති කරන්නත් වඩා වැදගත් දේ තේරුම්ගන්න උදව් වෙන බයිබල් පද අපිට මතක් කරලා දෙන්නත් දෙවිගේ බලයට පුළුවන්. (යොහන් 14:26, 27 කියවන්න.) ෆිලිප් සහ මේරි අවුරුදු 25කට කිට්ටු කාලයක් සේවය කළේ බෙතෙල් එකේ. මාස 4ක් ඇතුළත ඒ දෙන්නාගෙම අම්මලා මිය ගියා. කිට්ටු නෑදෑයෙකුත් මිය ගියා. ඊටපස්සේ ඒ දෙන්නාට වුණා බරපතළ අසනීපයකින් පෙළුණු මේරිගේ තාත්තාව බලාගන්න.

9 ෆිලිප් මෙහෙම කියනවා. “මං දේවල් හොඳින් විඳදරාගන්නවා කියලා හිතුවත් කාලයක් යද්දී මට දැනුණා මොකක් හරි අඩුවක් තියෙනවා කියලා. ‘මුරටැඹ’ ලිපියක මං දැක්කා කොලොස්සි 1:11. එතකොට මට තේරුණා අඩුව මොකක්ද කියලා. මං දේවල් විඳදරාගත්තා. ඒත් සාර්ථකව නෙමෙයි. ඒ බයිබල් පදේ කියන විදිහට මං විඳදරාගන්න ඕනෙ සතුටින්, ඉවසීමෙන්. ඒ පදේ මට මතක් කරලා දුන්නා මොන තත්වයට මුහුණ දුන්නත් දෙවිගේ බලය මං තුළ ක්‍රියාත්මක වෙද්දී මට සතුටින් ඉන්න පුළුවන් කියලා.”

10 ඒ දෙන්නා දිගටම දෙවිගේ සේවයට මුල් තැන දුන්න නිසා දෙවි එයාලට හුඟක් විදිවලින් ආශීර්වාද කළා. බෙතෙල් එකෙන් ගිය ගමන්ම වගේ උනන්දුව දක්වපු කීපදෙනෙක් එක්කම ඒ දෙන්නාට බයිබල් පාඩම් පටන්ගන්න පුළුවන් වුණා. මේරි ඒ ගැන මෙහෙම කියනවා. “එයාලා තමයි අපේ සතුට වුණේ. බය වෙන්න එපා හැම දෙයක්ම හරි යයි කියලා යෙහෝවා දෙවි එයාලා මාර්ගයෙන් අපිට කියනවා වගෙයි අපිට දැනුණේ.”

ඔයා දෙයක් කළොත් දෙවිට ආශීර්වාද කරන්න පුළුවන්

ජීවිතේ මොන වෙනස්කම්වලට මුහුණ දෙන්න වුණත් යෝසෙප්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? (11-13 ඡේද බලන්න)

11, 12. (අ) දෙවිට ආශීර්වාද කරන්න පුළුවන් වුණේ යෝසෙප් මොකක් කරපු නිසාද? (ආ) විඳදරාගත්ත නිසා දෙවි යෝසෙප්ට ආශීර්වාද කළේ කොහොමද?

11 බලාපොරොත්තු නොවුණු තත්වයකට මුහුණ දෙන්න වෙද්දී හිතේ ඇති වෙන කනස්සල්ල නිසා අනිත් හැම දෙයක්ම අමතක කරලා අපේ ප්‍රශ්නේ ගැනම හිතන්න අපි පෙලඹෙන්න පුළුවන්. ඒක යෝසෙප්ටත් වෙන්න තිබුණා. ඒත් එයා වෙච්ච දේ ගැන හිතහිත දුක් වෙනවා වෙනුවට එයා හිටපු ඒ තත්වය යටතේ එයාට කරන්න පුළුවන් දේට අවධානය දුන්නා. පොතිෆර් ළඟ ඉද්දී එයා මහන්සි වෙලා වැඩ කළා වගේම හිරගෙදර ඉද්දීත් ප්‍රධානියා එයාට භාර දුන්න හැම වැඩක්ම එයා හොඳින් කළා.—උත්. 39:21-23.

12 යෝසෙප්ට හිරකරුවන් දෙන්නෙක්ව බලාගන්න වගකීම ලැබුණා. ඒ දෙන්නා කලින් පාරාවෝ ළඟ වැඩ කරපු අය. යෝසෙප් ඒ දෙන්නාට කාරුණිකව සලකපු නිසා එයාලා දැකපු හීන ගැන යෝසෙප් එක්ක කතා කරන්න එයාලට පහසුවක් දැනුණා. (උත්. 40:5-8) එයාලා එක්ක කරපු සංවාදය නිසා හිරගෙයින් නිදහස් වෙන්න තමන්ට මාර්ගය විවෘත වෙයි කියලා ඒ වෙලාවේ යෝසෙප් දැනන් හිටියේ නැහැ. ඊට අවුරුදු 2කට පස්සේ හිරගෙදරින් නිදහස් වුණ යෝසෙප් ඊජිප්තුවේ බලවත් පාලකයෙක් වුණා.—උත්. 41:1, 14-16, 39-41.

13. මොන තත්වයට මුහුණ දීලා හිටියත් දෙවිගේ ආශීර්වාද අද්දකින්න අපිට පුළුවන් කොහොමද?

13 යෝසෙප්ට එයා හිටපු තත්වය වෙනස් කරන්න එයාගේ පැත්තෙන් කරන්න දෙයක් තිබුණේ නැහැ. සමහරවිට අපේ තත්වයත් ඒ වගේ වෙන්න ඇති. ඒත් අපි ඉවසීමෙන්, අපි ඉන්න තත්වය යටතේ අපිට කරන්න පුළුවන් හොඳම දේ කරනවා නම් යෙහෝවා දෙවි අපිට ආශීර්වාද කරනවා. (ගීතා. 37:5) දැනෙන කනස්සල නිසා අපි “ව්‍යාකූල” තත්වයකට පත් වුණත් “අපේ බලාපොරොත්තු සුන් වන්නේ නැහැ.” (2 කොරි. 4:8) මොකද යෙහෝවා දෙවි අපි ළඟ ඉන්නවා. අපි සේවයට මුල් තැන දෙනවා නම් දෙවි කොහොමටවත් අපිව අත්හරින්නේ නැහැ.

සේවයට මුල් තැන දෙන්න

14-16. ෆිලිප් ජීවිතේ විවිධ වෙනස්කම්වලට මුහුණ දුන්නත් එයා සේවයට මුල් තැන දුන්නේ කොහොමද?

14 මුල් සියවසේ හිටපු ෆිලිප්ටත් ජීවිතේ හුඟක් වෙනස්කම්වලට මුහුණ දෙන්න වුණා. යෙරුසලමේදී එයාට කරන්න ලැබුණ අලුත් පැවරුම එයා සතුටින් කරකරයි හිටියේ. (ක්‍රියා 6:1-6) ඒත් දේවල් එකපාරටම වෙනස් වුණා. ස්තේපන්ව මරලා දැම්මාට පස්සේ ක්‍රිස්තියානීන්ට දරුණු විදිහට විරුද්ධවාදිකම් එන්න පටන්ගත්තා. * ආපු පීඩා නිසා හුඟක් ක්‍රිස්තියානීන් යෙරුසලමෙන් පලා ගියා. දෙවිට කරපු සේවයට මුල් තැන දෙන්න තිබුණ වුවමනාව නිසා ෆිලිප් සමාරියට ගිහින් එහේ දේශනා කළා. ඒ වෙද්දී සමාරියේ වැඩිදෙනෙක් ශුභාරංචිය අහලා තිබුණේ නැහැ.—මතෙ. 10:5; ක්‍රියා 8:1, 5.

15 දෙවි ඔහුගේ බලය මාර්ගයෙන් මඟ පෙන්නන ඕනෙම තැනකට යන්න ෆිලිප් සූදානමින් හිටපු නිසා ශුභාරංචිය අලුත් පළාත්වලට ගෙනියන්න දෙවි එයාව පාවිච්චි කළා. හුඟක් යුදෙව්වන් සමරිතානුවන්ව සැලකුවේ පහත් අය විදිහට. ඒත් ෆිලිප් එහෙම කළේ නැහැ. එයා උද්‍යෝගයෙන් එයාලටත් ශුභාරංචිය දේශනා කළා. සමරිතානුවනුත් ෆිලිප් දේශනා කරපු පණිවිඩයට “ඉතා කිට්ටු අවධානයක් දුන්නා.”—ක්‍රියා 8:6-8.

16 ඊළඟට දෙවිගේ බලය මාර්ගයෙන් ෆිලිප්ට මඟ පෙන්නුවා වෙනත් ජාතීන්ට අයත් අය හිටපු අෂ්දොද් සහ සිසේරිය කියන නගරවල දේශනා කරන්න. (ක්‍රියා 8:39, 40) ඒ පැවරුම කරකර ඉද්දී ෆිලිප් ජීවිතේ තවත් වෙනස්කම්වලට මුහුණ දුන්නා. එයා එහෙදී විවාහ වෙලා දරු පවුලත් එක්ක ඒ පළාතේ පදිංචි වුණා. ජීවිතේ මොන වෙනස්කම්වලට මුහුණ දෙන්න වුණත් දේශනා සේවයට මුල් තැන දෙන එක එයා නැවැත්තුවේ නැහැ. ඒ නිසා දෙවි දිගටම එයාටත් එයාගේ පවුලේ අයටත් ආශීර්වාද කළා.—ක්‍රියා 21:8, 9.

17, 18. ජීවිතේ වෙනස්කම් වෙද්දී සේවයට මුල් තැන දෙන එක අපිට උදව් වෙන්නේ කොහොමද?

17 පූර්ණකාලීන සේවය කරන හුඟදෙනෙක් කියන දෙයක් තමයි දේවසේවයට මුල් තැන දෙනවා නම් මොන වෙනස්කම්වලට මුහුණ දෙන්න වුණත් අධෛර්යය කරවන හැඟීම්වලින් යටපත් නොවී සතුටින් ඉන්න පුළුවන් කියන දේ. දකුණු අප්‍රිකාවේ ඉන්න ඔස්බොන් සහ පෝලයිට් යුවළට හදිසියේම එයාලගේ බෙතෙල් සේවය නවත්තන්න වුණා. එයාලා හිතුවා පොඩි රැකියාවකුත් නවතින්න තැනකුත් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඒත් ඔස්බොන් මෙහෙම කියනවා. “අපි හිතපු ඉක්මනින් අපිට රස්සා හම්බ වුණේ නෑ.” පෝලයිට් කිව්වේ මෙහෙමයි. “මාස 3ක් යන කල්ම අපිට රස්සාවක් හම්බ වුණේ නෑ. අපි ළඟ ඉතුරු කරගත්ත සල්ලි තිබුණෙත් නෑ.”

18 ඒ අමාරු අවස්ථාවට මුහුණ දෙන්න එයාලට උදව් වුණේ මොකක්ද? ඔස්බොන් මෙහෙම කියනවා. “ගෙදරට වෙලා අපේ ප්‍රශ්නේ ගැන හිතහිත දුක් වෙනවා වෙනුවට අපේ අවධානය සේවෙට දෙන්න අපි තීරණය කළා. ඒක අපිට උදව් වුණා ඕනෑවට වඩා කනස්සලු වෙන්නේ නැතුව ඉන්න. සභාවේ අය එක්ක සේවේ කරද්දී අපි ලොකු සතුටකුත් අද්දැක්කා. අපි රස්සාවක් හොයන එක අත්හැරියෙත් නෑ. අන්තිමට අපිට රස්සා හම්බ වුණා.”

යෙහෝවා දෙවි ගැන සම්පූර්ණ විශ්වාසය තියන්න

19-21. (අ) මනසේ සාමය තියාගන්න අපිට උදව් වෙන්නේ මොකක්ද? (ආ) වෙනස්කම්වලට අනුව හැඩගැහෙද්දී අපිට ප්‍රයෝජන ලැබෙන්නේ කොහොමද?

19 අපි බලපු විදිහට අපිට මොන තත්වයකට මුහුණ දෙන්න වුණත් ඒ තත්වය යටතේ අපිට කරන්න පුළුවන් හොඳම දේ කරනවා නම්, යෙහෝවා දෙවිව විශ්වාස කරලා වැඩ කරනවා නම් අපිට දිගටම මනසේ සාමය තියාගන්න පුළුවන්. (මීකා 7:7 කියවන්න.) ජීවිතේ වෙනස්කම්වලට අනුව අපි හැඩගැහෙද්දී අපිට තේරෙයි දෙවි එක්ක අපිට තියෙන බැඳීමත් තව ශක්තිමත් වෙලා කියලා. ඒ ගැන පෝලයිට් මෙහෙම කියනවා. “ඕනෙම තත්වයක් යටතේ යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරනවා කියන්නේ මොකක්ද කියලා මං ඉගෙනගත්තේ මගේ පැවරුමේ වෙනසක් වුණාට පස්සෙයි. දෙවිත් එක්ක තියෙන මගේ බැඳීම දැන් කලින්ට වඩා ශක්තිමත්.”

20 කලින් කතා කරපු මේරි තාත්තාව බලාගන්න අතරේ තවමත් පුරෝගාමි සේවය කරනවා. එයා මෙහෙම කියනවා. “හිතට බරක් දැනෙද්දී කරකර ඉන්න වැඩේ ටිකකට නතර කරලා, යාච්ඤා කරලා, ටිකක් සැහැල්ලුවෙන් ඉන්න ඕනෙ කියලා මං තේරුම්ගත්තා. මං ඉගෙනගත්ත වැදගත්ම දේ තමයි හිතට බරක් ගේන දේවල් අපි දෙවිට භාර දෙන්න ඕනෙ කියලා. ඉස්සරහටත් අපිට ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න වෙයි.”

21 ලිපියේ මුලින්ම කතා කරපු යුවළ කියනවා එයාලා ජීවිතේ අද්දැක්ක වෙනස්කම් නිසා එයාලා හිතුවේවත් නැති විදිහට එයාලගේ විශ්වාසය සෝදිසියට ලක් වුණා කියලා. ඒ වුණත් එයාලා මෙහෙම කියනවා. “අපේ විශ්වාසය සෝදිසියට ලක් වෙද්දී තමයි අපිට තේරෙන්නේ ඒක සැබෑ විශ්වාසයක්ද නැද්ද කියලා. පීඩා දරාගන්න අපිට පුළුවන් වෙන්නේ අපිට සැබෑ විශ්වාසයක් තියෙනවා නම් විතරයි. ප්‍රශ්නෙකට සාර්ථකව මුහුණ දෙද්දී අපේ ගුණාංග හදාගන්නත් අපිට පුළුවන්.”

නොහිතපු විදිහේ වෙනස්කම් නිසා නොහිතපු ආශීර්වාද ලැබෙන්න පුළුවන් (19-21 ඡේද බලන්න)

22. අපි ඉන්න තත්වය යටතේ කරන්න පුළුවන් දේ කරනවා නම් අපිට මොකක් ගැන ස්ථිර වෙන්න පුළුවන්ද?

22 මේ දුෂ්ට සමාජයේ ජීවත් වෙද්දී නොහිතන විදිහේ වෙනස්කම්වලට මුහුණ දෙන්න වෙනවා. අපේ පැවරුම වෙනස් වෙයි. අසනීපයක් එක්ක පොරබදින්න වෙයි. පවුලේ කෙනෙක්ව රැකබලා ගන්න වැඩි කාලයක්, ශ්‍රමයක් වැය කරන්න වෙයි. ඒ මොන දේ වුණත් යෙහෝවා දෙවි ඔයා ගැන සැලකිලිමත් කියලත් නියම වෙලාවට ඔහු ඔයාගේ උදව්වට එනවා කියලත් අමතක කරන්න එපා. (හෙබ්‍රෙ. 4:16; 1 පේතෘ. 5:6, 7) ඒ නිසා ඔයා ඉන්න තත්වය මොකක් වුණත් ඒ තත්වය යටතේ ඔයාට කරන්න පුළුවන් හොඳම දේ කරන්න. ඔයාගේ ආදරණීය තාත්තා වන යෙහෝවා දෙවිට යාච්ඤා කරලා ඔහු මත රඳා ඉන්න. එහෙම කරද්දී දෙවි ලබා දෙන සාමය අද්දකින්න ඔයාට පුළුවන්.

^ 4 ඡේ. අවුරුදු ගාණකට පස්සේ යෝසෙප් එයාගේ කුලුඳුල් පුතාට මනස්සේ කියන නම තියලා මෙහෙම කිව්වා. ‘දෙවි මගේ සියලු දුක් කරදර මට අමතක කරන්න සැලැස්සුවා.’ ඒ පුතා තමන්ව සනසන්න දෙවි දුන්න තෑග්ගක් කියලා යෝසෙප් තේරුම්ගත්තා.—උත්. 41:51, පාදසටහන.

^ 14 ඡේ. මේ කලාපයේ පළ වුණ “ඔබ දැන සිටියාද?” කියන ලිපිය බලන්න.