Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 2

සභාවේදී යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න

සභාවේදී යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න

“සභාව මැදදී ඔබට ප්‍රශංසා කරන්නෙමි.”—ගීතා. 22:22.

ගීතිකාව 59 මා හා එක්ව දෙවිට ප්‍රශංසා කරන්න

මේ ලිපියෙන් *

1. දාවිත්ට යෙහෝවා දෙවියන් ගැන හැඟුණේ කොහොමද? ඒක එයාව පෙලඹුවේ මොකක් කරන්නද?

“යෙහෝවා දෙවි වන ඔබ ඉතා ශ්‍රේෂ්ඨය. ඔබ බොහෝ සෙයින් ප්‍රශංසාව ලැබීමට වටින්නෙහිය” කියලා දාවිත් රජ කිව්වා. (ගීතා. 145:3) එයාට දෙවියන් ගැන තිබුණේ ලොකු ආදරයක්. ඒ ආදරේ එයාව පෙලඹුවා “සභාව මැදදී” දෙවියන්ට ප්‍රශංසා කරන්න. (ගීතා. 22:22; 40:5) ඔයාගේ හිතෙත් දෙවියන් ගැන ඒ වගේම ආදරයක් ඇති. ඒ නිසා දාවිත්ගේ මේ වචනවලට ඔයාත් එකඟ වෙයි. ‘අපගේ පියාණන් වන යෙහෝවා දෙවියනි, ඔබට ප්‍රශංසා වේවා! සදාකාලයෙන් සදාකාලයටම ඔබට ප්‍රශංසාව ලැබේවා!’—1 ලේක. 29:10-13.

2. (අ) යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න අපිට පුළුවන් කොහොමද? (ආ) සමහරු මුහුණ දෙන අභියෝග මොනවාද? අපි බලන්න යන්නේ මොනවා ගැනද?

2 අද අපිට දෙවියන්ට ප්‍රශංසා කරන්න පුළුවන් එක විදිහක් තමයි රැස්වීම්වලදී අදහස් දක්වන එක. ඒත් අපේ සහෝදර සහෝදරියන් සමහරදෙනෙක්ට ඒක ලොකු අභියෝගයක්. අදහස් දක්වලා රැස්වීමට හවුල් වෙන්න එයාලා ආස වුණත් බය නිසා එයාලා ඒකෙන් වැළකෙනවා. බයෙන් ගොඩ එන්න පුළුවන් කොහොමද? දිරිගන්වන අදහස් දෙන්න අපි හැමෝටම උදව් වෙන දේවල් මොනවාද? ඒ ප්‍රශ්නවලට උත්තර දැනගන්න කලින් රැස්වීම්වලදී අදහස් දක්වන්න අපිට තියෙන හේතු 4ක් ගැන බලමු.

රැස්වීම්වලදී අපි අදහස් දක්වන්නේ ඇයි?

3-5. (අ) හෙබ්‍රෙව් 13:15 පෙන්නලා තියෙන විදිහට රැස්වීම්වලදී අපි අදහස් දක්වන්නේ ඇයි? (ආ) අපි හැමෝම එකම විදිහේ අදහස් දෙන්න ඕනෙද? පැහැදිලි කරන්න.

3 යෙහෝවා දෙවියන් ඔහුට ප්‍රශංසා කරන්න අපි හැමෝටම අවස්ථාව දීලා තියෙනවා. (ගීතා. 119:108) රැස්වීම්වලදී අදහස් දක්වන එක දෙවියන්ට කරන “පූජාවක්” වගේ. ඒ පූජාව අපි වෙනුවෙන් වෙන කෙනෙක්ට දෙන්න බැහැ. (හෙබ්‍රෙව් 13:15 කියවන්න.) ඒත් යෙහෝවා දෙවියන් අපි හැමෝගෙන්ම එකම විදිහේ පූජාවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.

4 අපේ හැකියාවන්, අපි ඉන්න තත්වයන් එක් කෙනාගෙන් එක් කෙනාට වෙනස් කියලා දෙවියන් දන්නවා. ඒ නිසා අපිට ඔප්පු කරන්න පුළුවන් පූජාව මොකක් වුණත් දෙවියන් ඒක හුඟක් අගය කරනවා. දෙවියන් ඊශ්‍රායෙල්වරුගෙන් පූජා හැටියට පිළිගත්ත දේවල් ගැන හිතන්න. සමහරුන්ට පුළුවන් වුණා බැටළුවන්ව නැත්නම් එළුවන්ව පූජා කරන්න. දුප්පත් අයට “කොබෙයියන් දෙදෙනෙකුව හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකුව” පූජා කරන්න අවස්ථාව තිබුණා. එහෙම කරන්නවත් වත්කමක් නැති අයට දෙවියන් අවස්ථාව දුන්නා “සිහින් පිටි ඒපාවකින් දහයෙන් කොටසක්” පූජා කරන්න. (ලෙවී. 5:7, 11) පිටි කියන්නේ ලාභ දෙයක්. ඒත් එයාලා ගෙනාවේ හොඳම පිටි නම් යෙහෝවා දෙවියන් ඒක වටින දෙයක් විදිහට සැලකුවා.

5 යෙහෝවා දෙවියන් වෙනස් වෙලා නැහැ. අපි හැමෝම අපොලොස් වගේ දක්ෂ විදිහට අදහස් දක්වයි කියලවත් පාවුල් වගේ තර්කානුකූලව කරුණු ගොඩනඟයි කියලවත් දෙවියන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. (ක්‍රියා 18:24; 19:8) ඔහු කැමති අපේ හැකියාවට අනුව අපිට දෙන්න පුළුවන් හොඳම පූජාව ඔහුට දෙනවාටයි. පුංචි කාසි දෙකක් සම්මාදම් කරපු වැන්දඹුව මතකද? එයාට දෙන්න පුළුවන් හොඳම දේ දෙවියන්ට දුන්න නිසයි ඔහු එයාව වටින කෙනෙක් විදිහට සැලකුවේ.—ලූක් 21:1-4.

අදහස් දෙද්දී අපිටත් සවන් දෙන අයටත් ප්‍රයෝජන ලැබෙනවා (6 සහ 7 ඡේද බලන්න) *

6. (අ) හෙබ්‍රෙව් 10:24, 25 කියන විදිහට අනිත් අය දෙන අදහස් අපිට උදව් වෙන්නේ කොහොමද? (ආ) ඔයාට දිරිගැන්වීමක් වුණ අදහස් ඔයා අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

6 අපේ අදහස්වලින් අනිත් අය දිරිගැන්වෙනවා. (හෙබ්‍රෙව් 10:24, 25 කියවන්න.) රැස්වීම්වලදී විවිධත්වයකින් යුතු අදහස්වලට සවන් දීලා අපි හැමෝම සතුටු වෙනවා. පුංචි දරුවෙක් එයාගෙම වචනවලින්, අවංකව දෙන උත්තරයකින් අපි කොච්චර සතුටු වෙනවාද! කෙනෙක් තොරතුරු හොයලා බයිබලෙන් ඉගෙනගත්ත කරුණක් ගැන උද්‍යෝගයෙන් කියද්දී අපි කොයි තරම් දිරිගැන්වෙනවාද! ලැජ්ජාශීලී එහෙම නැත්නම් අපේ භාෂාව අලුතෙන් ඉගෙනගන්න කෙනෙක් අදහසක් දැක්වුවාම අපිට එයා ගැන කොයි තරම් අගයක් දැනෙනවාද! (1 තෙස. 2:2) අනිත් අය ගැන අපිට දැනෙන අගය පෙන්නන්නේ කොහොමද? රැස්වීමෙන් පස්සේ එයාලට ස්තුති කරන්න අපිට පුළුවන්. රැස්වීම්වලදී අපි අදහස් දක්වන එකෙනුත් ඒ අගය පෙන්නන්න අපිට පුළුවන්. එතකොට රැස්වීම්වලින් අපි දිරිගැන්වීමක් ලබනවා විතරක් නෙමෙයි අනිත් අයව දිරිගන්වන්නත් අපිට පුළුවන් වෙනවා.—රෝම 1:11, 12.

7. අදහස් දක්වද්දී අපි ප්‍රයෝජන ලබන්නේ කොහොමද?

7 අපි අදහස් දක්වද්දී ඒකෙන් අපිටම ප්‍රයෝජන ලැබෙනවා. (යෙසා. 48:17) ඒ කොහොමද? (1) අපි අදහසක් දක්වන්න හිතාගෙන ඉන්නවා නම් රැස්වීමට හොඳින් සූදානම් වෙන්න අපි තව වැඩියෙන් පෙලඹෙනවා. හොඳට සූදානම් වෙද්දී බයිබලේ ගැන අපේ අවබෝධය තව වැඩි වෙනවා. අවබෝධය වැඩි වෙද්දී අපි ඉගෙනගත්ත දේවල් තවත් හොඳින් ජීවිතේට අදාළ කරගන්න අපිට පුළුවන්. (2) අපිත් සාකච්ඡාවට හවුල් වෙන නිසා රැස්වීමෙන් ලොකු සතුටක් ලබන්න අපිට පුළුවන්. (3) අදහස් දක්වන්න කලින් අපි ඒකට හොඳට සූදානම් වෙන නිසා ඒ කරුණු අපේ මතකයේ හිටිනවා.

8-9. (අ) මලාකි 3:16 පෙන්නලා තියෙන විදිහට රැස්වීම්වලදී අපි දෙන අදහස් ගැන යෙහෝවා දෙවියන්ට කොහොම හැඟෙනවා ඇති කියලාද ඔයා හිතන්නේ? (ආ) සමහරු මුහුණ දෙන අභියෝගය මොකක්ද?

8 අපේ විශ්වාසය අපි වචනවලින් ප්‍රකාශ කරද්දී යෙහෝවා දෙවියන් සතුටු වෙනවා. අපි රැස්වීම්වලදී අදහස් දක්වද්දී දෙවියන් ඒවාට සවන් දෙනවා කියලත් අපේ වෑයම ඔහු අගය කරනවා කියලත් අපි දන්නවා. (මලාකි 3:16 කියවන්න.) ඒ අගය ඔහු පෙන්නන්නේ අපිට ආශීර්වාද කරලයි.—මලා. 3:10.

9 රැස්වීම්වලදී අදහස් දක්වන්න අපිට කොච්චර හොඳ හේතු තියෙනවාද! ඒත් රැස්වීම්වලදී අදහසක් දක්වන්න සමහරු බයයි. ඔයාත් ඒ වගේ කෙනෙක්ද? අධෛර්යය වෙන්න එපා. තව වැඩියෙන් අදහස් දක්වන්න අපි හැමෝටම උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති, බයිබල් චරිත සහ තවත් දේවල් කීපයක් දැන් අපි බලමු.

බයෙන් ගොඩ එන්න

10. (අ) අපෙන් හුඟදෙනෙක්ට තියෙන බය මොකක්ද? (ආ) අදහස් දෙන්න ඔයා බයයි නම් ඒකෙන් පේන්නේ ඔයාට මොන හොඳ ගුණාංගය තියෙනවා කියලාද?

10 රැස්වීම්වලදී අදහසක් දක්වන්න අත උස්සන්න හිතන හැම වෙලාවකම පපුව හයියෙන් ගැහෙනවා වගේ ඔයාට දැනෙනවාද? ඔයාට විතරක් නෙමෙයි අපි හැමෝටම අදහස් දක්වද්දී පොඩි බයක් හරි දැනෙනවා. ඒකෙන් ගොඩ එන්න නම් ඒකට හේතුව මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. ඔයාට තියෙන බය ඔයා කියන්න හදන දේ අමතක වෙයි නැත්නම් වරදියි කියලාද? එහෙම නැත්නම් අනිත් අයගේ අදහස් තරම් ඔයාගේ අදහස හොඳ නැහැ කියලා හිතලාද ඔයා බය වෙන්නේ? ඒ වගේ බයක් තියෙන එකෙන් තේරෙනවා ඔයා නිහතමානී, අනිත් අය ඔයාට වඩා උසස් කියලා හිතන කෙනෙක් කියලා. නිහතමානී අයට යෙහෝවා දෙවියන් ආදරෙයි. (ගීතා. 138:6; ෆිලි. 2:3) ඒ එක්කම අපි රැස්වීම්වලදී ඔහුට ප්‍රශංසා කරනවාටත් අනිත් අයව දිරිගන්වනවාටත් ඔහු කැමතයි. (1 තෙස. 5:11) දෙවියන් ඔයාට ආදරේ නිසා අදහස් දක්වන්න ඕනෙ කරන ධෛර්යය ඔහු අනිවාර්යයෙන්ම ඔයාට දෙයි.

11. අපිට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

11 අපි කියන දේවල් වරදින්න පුළුවන් කියලත් අපි දේවල් කියන විදිහේ අඩුපාඩු තියෙන්න පුළුවන් කියලත් බයිබලේ කියනවා. (යාකො. 3:2) අපි දෙයක් කියද්දී පොඩ්ඩක්වත් වරදින්නේ නැතුව ඒක කියයි කියලා යෙහෝවා දෙවියන්වත් අපේ සහෝදර සහෝදරියන්වත් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. (ගීතා. 103:12-14) එයාලා අපේම පවුලේ අය. (මාක් 10:29, 30; යොහ. 13:35) අදහස් දක්වද්දී සමහර වෙලාවට අපිට කියන්න ඕනෙ වුණ දේ නෙමෙයි අපේ කටින් පිට වෙන්නේ කියලා එයාලා තේරුම්ගන්නවා.

12-13. නෙහෙමියාගේ සහ යෝනාගේ ආදර්ශවලින් අපි ඉගෙනගන්නේ මොනවාද?

12 ඔයාට දැනෙන බයෙන් ගොඩ එන්න උදව් කරන්න පුළුවන් ආදර්ශ ඔයාට මතකද? නෙහෙමියා ඒ වගේ කෙනෙක්. එයා සේවය කළේ බලවත් රජෙක්ගේ මාලිගාවේ. යෙරුසලමේ පවුරු කඩා දාලා දොරටු පුච්චලා කියලා දැනගත්ත නෙහෙමියා හිටියේ ලොකු දුකකින්. (නෙහෙ. 1:1-4) දුකෙන් ඉන්නේ ඇයි කියලා රජු එයාගෙන් ඇහුවාම එයාගේ පපුවත් තදින් ගැහෙන්න ඇති. ඒත් එයා ඉක්මනින්ම යාච්ඤාවක් කරලා රජු අහපු දේට උත්තර දුන්නා. එයා කියපු දේ අහලා රජ යෙහෝවා දෙවියන්ගේ සෙනඟට උදව් කරන්න පෙලඹුණා. (නෙහෙ. 2:1-8) යෝනා ගැන හිතන්න. නිනිවයට ගිහින් ඒ අයට පණිවිඩයක් කියන්න කිව්වාම යෝනා බය වෙලා වෙන ප්‍රදේශයකට පලා ගියා. (යෝනා 1:1-3) ඒත් පස්සේ දෙවියන්ගේ උදව්වෙන් යෝනාට පුළුවන් වුණා ඒ පැවරුම හොඳින් කරන්න. එයා කියපු දේවල් නිසා නිනිවයේ අයට එයාලගේ ජීවිත බේරගන්න පුළුවන් වුණා. (යෝනා 3:5-10) අදහස් දක්වන්න කලින් යාච්ඤා කරන එකේ වටිනාකම අපි නෙහෙමියාගෙන් දැනගත්තා. අපි යෝනාගෙන් ඉගෙනගත්තේ මොන තරම් බයක් දැනුණත් ඒකෙන් ගොඩ එන්න අපිට උදව් කරන්න දෙවියන්ට පුළුවන් කියන දේ. රැස්වීම්වලදී අදහස් දක්වන එක නිනිවයේ අයට විනිශ්චය පණිවිඩය කියන එකට වඩා අමාරු වෙන්න පුළුවන්ද?

13 රැස්වීම්වලදී දිරිගන්වන අදහස් දෙන්න ඔයාට උදව් වෙන තවත් දේවල් තියෙනවා. ඒ ගැන දැන් අපි බලමු.

14. අපි රැස්වීම්වලට හොඳින් සූදානම් වෙන්න ඕනෙ ඇයි? සූදානම් වෙන්න පුළුවන් කොයි වෙලාවේදීද?

14 හැම රැස්වීමකටම සූදානම් වෙන්න. ඔයා කලින්ම රැස්වීම්වලට හොඳින් සූදානම් වෙනවා නම් බය අඩු කරගෙන අදහස් දෙන්න ඔයාට පුළුවන්. (හිතෝ. 21:5) රැස්වීම්වලට සූදානම් වෙන්න අපි කාලය වෙන් කරන විදිහ එක් කෙනාගෙන් එක් කෙනාට වෙනස්. වයස 80 ගණන්වල ඉන්න එලොයිස් ‘මුරටැඹ’ පාඩමට සූදානම් වෙන්නේ සතියේ මුල. එයා මෙහෙම කියනවා. “කල් ඇතුව සූදානම් වෙද්දී රැස්වීම්වලින් මං තව වැඩියෙන් ප්‍රයෝජන ගන්නවා.” ජෝයි රැකියාවක් කරන සහෝදරියක්. එයා ‘මුරටැඹ’ පාඩමට සූදානම් වෙන්නේ රැස්වීමට කලින් දවසේ. “තොරතුරු මතකයේ තියාගන්න ඒක මට උදව් වෙනවා” කියලා එයා කියනවා. පුරෝගාමියෙක් සහ වැඩිමහල්ලෙක් වන අයික් මෙහෙම කියනවා. “එක දිගට ලොකු වෙලාවක් අරන් සූදානම් වෙනවාට වඩා සතිය පුරාම ටික ටික සූදානම් වෙන එක මට ලේසියි.”

15. රැස්වීම්වලට හොඳින් සූදානම් වෙන්න පුළුවන් කොහොමද?

15 රැස්වීම්වලට හොඳින් සූදානම් වෙන්න පුළුවන් කොහොමද? රැස්වීමකට සූදානම් වෙන හැම වතාවකටම කලින් දෙවියන්ගේ බලය ඉල්ලලා යාච්ඤා කරන්න. (ලූක් 11:13; 1 යොහ. 5:14) ඊටපස්සේ විනාඩි කීපයක් අරන් පාඩමේ තියෙන තොරතුරු ගැන යම් අදහසක් ගන්න. ඒකට මාතෘකාව, උපමාතෘකා, කොටුවල තියෙන තොරතුරු, පින්තූර ගැන හිතන්න. ඊටපස්සේ ඡේදයෙන් ඡේදය සූදානම් වෙද්දී තියෙන බයිබල් පද හැම එකක්ම වගේ කියවන්න. තොරතුරු ගැන හොඳට හිතන්න. ඔයා අදහස් දක්වන්න බලාපොරොත්තු වෙන කරුණු ගැන විශේෂයෙන් හිතන්න. හොඳින් සූදානම් වෙද්දී ඔයාට ලැබෙන ප්‍රයෝජනත් වැඩියි. අදහස් දක්වන්නත් ලේසි වෙයි.—2 කොරි. 9:6.

16. රැස්වීම්වලට සූදානම් වෙන්න ඔයාට පාවිච්චි කරන්න පුළුවන් මොන වගේ දේවල්ද? ඔයා ඒවා පාවිච්චි කරන්නේ කොහොමද?

16 පුළුවන්කමක් තියෙනවා නම් සංවිධානය දීලා තියෙන ඉලෙක්ට්‍රොනික මාධ්‍යයන් පාවිච්චි කරන්න. යෙහෝවා දෙවියන් ඔහුගේ සංවිධානය මාර්ගයෙන් රැස්වීම්වලට සූදානම් වෙන්න අපිට උදව් කරන්න හුඟක් දේවල් දීලා තියෙනවා. ‘JW ලයිබ්‍රරි’ ඇප් එක ඒවාවලින් එකක්. රැස්වීම්වලදී අධ්‍යයනය කරන ප්‍රකාශන ඒ ඇප් එක හරහා අපේ ෆෝන් එකට, ටැබ් එකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ නිසා ඕනෙම තැනක, ඕනෙම වෙලාවක ඒ ලිපි අධ්‍යයනය කරන්නත් ඒවා කියවන්නත් ඒවාට සවන් දෙන්නත් දැන් අපිට පුළුවන්. සමහරුන්ට දවල් කෑම පැයේදී නැත්නම් බස් එකේ හෝ කෝච්චියේ ගමන් කරන අතරේ අධ්‍යයනය කරන්න ඒ ඇප් එක උදව් වෙනවා. ‘වොච්ටවර් ලයිබ්‍රරි’ එක සහ ‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එක යොදාගෙන අපි අධ්‍යයනය කරන ලිපියේ කරුණු තව හොඳින් ගවේෂණය කරන්නත් අපිට පුළුවන්.

රැස්වීම්වලට සූදානම් වෙන්න ඔයා වෙන් කරලා තියෙන්නේ කොයි වෙලාවද? (14-16 ඡේද බලන්න) *

17. (අ) අදහස් කීපයක් දෙන්න සූදානම් වෙන්න ඕනෙ ඇයි? (ආ) ‘යෙහෝවා දෙවිගේ යාළුවෝ - උත්තරයක් දෙන්න ලෑස්ති වෙමු’ කියන වීඩියෝ එකෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

17 පුළුවන් නම් අදහස් කීපයක්ම සූදානම් වෙලා යන්න. මොකද ඔයා අත ඉස්සුවාම ඔයාටම අවස්ථාව ලැබෙයි කියලා කියන්න බැහැ. අනිත් අයත් අත උස්සන්න ඉඩ තියෙන නිසා පාඩම මෙහෙයවන සහෝදරයා ඒ කෙනෙක්ගෙන් අහන්න පුළුවන්. ඒ වගේම රැස්වීම නියමිත වෙලාවට අවසන් කරන්න නිසා පාඩම මෙහෙයවන සහෝදරයා හැම ප්‍රශ්නෙකටම ගොඩක් අදහස් ගන්න එකක් නැහැ. ඒ නිසා කොටසේ මුල් හරියේම වගේ ඔයාගේ අදහස ඇහුවේ නැහැ කියලා හිත රිද්දවගන්නවත් අධෛර්යය වෙන්නවත් එපා. ඔයා අදහස් කීපයක්ම ලෑස්ති වෙලා ගියොත් සාකච්ඡාවට වැඩිපුර හවුල් වෙන්න ඔයාට අවස්ථාව ලැබෙයි. කියවන්න කියලා තියෙන බයිබල් පදයක් කියවන්න සූදානම් වෙලා යන්නත් ඔයාට පුළුවන්. ඒත් පුළුවන් නම් ඔයාගෙම වචනවලින් අදහසක් දෙන්න සූදානම් වෙලා යන්න. *

18. කෙටි අදහස් දෙන එක වැදගත් ඇයි?

18 අදහස කෙටියෙන් කියන්න. හුඟක් වෙලාවට කෙටි, සරල අදහස්වලින් තමයි වැඩිදෙනෙක් දිරිගැන්වෙන්නේ. ඒ නිසා ඔයාගේ අදහස තත්පර 30කට සීමා කරන්න උත්සාහ කරන්න. (හිතෝ. 10:19; 15:23) ඔයා අවුරුදු ගාණක් තිස්සේ රැස්වීම්වලදී අදහස් දක්වන කෙනෙක් නම් කෙටියෙන් අදහස් දීලා අනිත් අයට ආදර්ශයක් වෙන්න. විනාඩි කීපයක් අරන් හුඟක් තොරතුරු කියන්න ගියොත් අනිත් අයට හිතෙයි ඔයා වගේ හොඳට අදහස් දක්වන්න එයාලට බැහැ කියලා. කෙටියෙන් අදහස කියද්දී තව වැඩිදෙනෙක්ට අදහස් දක්වන්න අවස්ථාවත් ලැබෙනවා. ප්‍රශ්නයකට මුල්ම අදහස ඔයාගෙන් ඇහුවොත් ඍජු උත්තරේ කෙටියෙන් කියන්න. ඡේදයේ තියෙන හැම කරුණක්ම කියන්න යන්න එපා. ඡේදයේ ප්‍රධාන අදහස සාකච්ඡා කළාට පස්සේ අමතර අදහස් දෙන්න.—“ අදහස්වලට මේවා ඇතුළත් කරගන්න” කියන කොටුව බලන්න.

19. ඔයාට උදව් කරන්න කොටස මෙහෙයවන සහෝදරයාට පුළුවන් කොහොමද? ඒත් ඔයා මොකක්ද කරන්න ඕනේ?

19 යම් ඡේදයකට අදහස් දක්වන්න ඔයා කැමතියි නම් ඒ ගැන පාඩම මෙහෙයවන සහෝදරයාට කලින්ම කියන්න. රැස්වීම පටන්ගන්න කලින් ඒක කරන්න. ඔයා අදහස් දක්වන්න බලාපොරොත්තු වෙන ඡේදය සාකච්ඡා කරද්දී ඉක්මනින්, ඒ සහෝදරයාට හොඳට පේන්න ඔයාගේ අත උස්සන්න.

20. රැස්වීම යාළුවන් එක්ක ගන්න කෑම වේලකට සමාන කරන්න පුළුවන් ඇයි?

20 රැස්වීමට සහභාගි වෙන එක හරියට හොඳ යාළුවෝ එක්ක කෑම වේලක් ගන්නවා වගේ. සභාවේ කීපදෙනෙක් එකතු වෙලා පවත්වන සුහද ඇසුරකට එන්න කියලත් එද්දී මොනවා හරි පොඩි කෑමක් හදාගෙන එන්න කියලත් ඔයාට කිව්වොත් ඔයා මොකද කරන්නේ? ඔයාට පොඩි බයක් දැනෙයි. ඒත් හැමෝම ආස වෙන රස කෑමක් හදාගෙන යන්න ඔයා පුළුවන් උපරිමය කරයි. යෙහෝවා දෙවියනුත් රැස්වීම්වලදී කෑම පිරුණු මේසයක් අපි වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. (ගීතා. 23:5; මතෙ. 24:45) අපිත් අපේ හැකියාවට අනුව පුංචි හරි තෑග්ගක් ගේනවා නම් දෙවියන් ඒ ගැන සතුටු වෙනවා. ඒ නිසා රැස්වීම්වලට හොඳට සූදානම් වෙලා පුළුවන් තරම් අදහස් දෙන්න බලන්න. එතකොට ඔයා දෙවියන් දෙන දේවලින් පෝෂණය වෙනවා විතරක් නෙමෙයි සභාවේ අය එක්ක බෙදාගන්න තෑග්ගකුත් ඔයා ගෙනියනවා.

ගීතිකාව 2 යෙහෝවා, ඒ ඔබේ නාමයයි

^ 5 ඡේ. දාවිත් වගේ අපිත් යෙහෝවා දෙවියන්ට හුඟක් ආදරේ නිසා ඔහුට ප්‍රශංසා කරලා අපි ලොකු සතුටක් ලබනවා. දෙවියන් ගැන අපිට තියෙන ආදරේ රැස්වීම්වලදී පෙන්නන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒ තමයි අදහස් දක්වන එක. ඒත් අපෙන් සමහරුන්ට ඒක ටිකක් අමාරු දෙයක්. ඔයාත් ඒ වගේ කෙනෙක් නම් අදහස් දක්වන්න ඔයා බය ඇයි කියලා තේරුම්ගන්නත් ඒකෙන් ගොඩ එන්නත් මේ ලිපිය ඔයාට උදව් වෙයි.

^ 17 ඡේ. ‘යෙහෝවා දෙවිගේ යාළුවෝ - උත්තරයක් දෙන්න ලෑස්ති වෙමු’ කියන වීඩියෝ එක jw.org වෙබ් අඩවියෙන් බලන්න. බයිබල් ඉගැන්වීම් > දරුවන් යටතේ බලන්න.

^ 63 ඡේ. පින්තූරයේ අදහස: සභාවක සාමාජිකයන් ‘මුරටැඹ’ පාඩමට සතුටින් හවුල් වෙනවා.

^ 65 ඡේ. පින්තූරයේ අදහස: කලින් පින්තූරේ පෙන්නපු ‘මුරටැඹ’ පාඩමට හවුල් වුණ සමහරදෙනෙක්. ඒ හැම කෙනෙක්ගෙම තත්වයන් වෙනස් වුණත් රැස්වීමට සූදානම් වෙන්න එයාලා කාලේ වෙන් කරගන්නවා.