Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 7

නිහතමානී අය ගැන යෙහෝවා දෙවියන් සතුටු වෙනවා

නිහතමානී අය ගැන යෙහෝවා දෙවියන් සතුටු වෙනවා

‘දේශයේ වසන නිහතමානී සියල්ලෙනි, යෙහෝවා දෙවි වෙතට හැරෙන්න. නිහතමානීව කටයුතු කිරීමට වෙර දරන්න.’—ශෙප. 2:3.

ගීතිකාව 80 “යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න”

මේ ලිපියෙන් *

1-2. (අ) මෝසෙස් කොයි වගේ කෙනෙක්ද? එයා කළේ මොන වගේ දේවල්ද? (ආ) නිහතමානී අය වෙන්න අපි උත්සාහ කරන්න ඕනෙ ඇයි?

බයිබලේ මෝසෙස්ව විස්තර කරන්නේ ‘පොළොවේ ජීවත් වූ අන් සියලු මනුෂ්‍යයන්ට වඩා මෘදු ගුණැති’ කෙනෙක් විදිහට. (ගණන්. 12:3) ඒ කියන්නේ එයා කෙළින් තීරණයක් ගන්න බැරි, අනිත් අයට බය වෙලා දේවල් කරපු කෙනෙක්ද? සමහරු මෘදු, නිහතමානී අය ගැන හිතන්නේ එහෙමයි. ඒත් ඒක එහෙම නෙමෙයි. මෝසෙස් කියන්නේ විරුද්ධවාදිකම් මැද නොසැලී හිටපු, හොඳ තීරණ ගත්ත, ධෛර්යවත් කෙනෙක්. ඒ කාලේ බලවත්ම අධිරාජ්‍යය වුණ ඊජිප්තුවේ පාලකයා ඉස්සරහට ගිහින් එයා බය නැතුව කතා කළා. ලක්ෂ 30ක විතර සෙනඟකට නායකත්වය දුන්නා.

2 මෝසෙස් මුහුණ දුන්නා වගේ අභියෝගවලට අපි මුහුණ දෙන්නේ නැහැ. ඒත් හැම දවසකම වගේ අපි මුහුණ දෙන විවිධ තත්වයන් නිසා, අපිට ආශ්‍රය කරන්න වෙන විවිධ පුද්ගලයන් නිසා නිහතමානීව වැඩ කරන එක අමාරු වෙන්න පුළුවන්. අමාරු වුණත් ඒ ගුණාංගය වර්ධනය කරගන්න අපි වෑයමක් ගන්න ඕනේ. මොකද යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා “නිහතමානී අය පොළොව උරුම කරගන්නවා” කියලා. (ගීතා. 37:11) ඔයා නිහතමානී කෙනෙක් කියලා ඔයාට හිතෙනවාද? අනිත් අය ඔයාව දකින්නේ ඒ වගේ කෙනෙක් විදිහටද? ඒ ප්‍රශ්නවලට උත්තර දැනගන්න කලින් නිහතමානී කෙනෙක් මොන වගේද කියලා අපි දැනගන්න ඕනේ.

නිහතමානී කෙනෙක් කොයි වගේද?

3-4. (අ) නිහතමානිකම සමාන කරන්න පුළුවන් මොකකටද? (ආ) නිහතමානී කෙනෙක් වෙන්න නම් අපිට තියෙන්න ඕනෙ තවත් ගුණාංග මොනවාද? ඒ ඇයි?

3 නිහතමානිකම * ලස්සන චිත්‍රයකට සමාන කරන්න පුළුවන්. චිත්‍රයක් නිර්මාණය කරන්න නම් චිත්‍ර ශිල්පියෙක් විවිධ වර්ණ යොදාගන්න ඕනේ. ඒ වගේ තමයි නිහතමානිකම වර්ධනය කරගන්න නම් කෙනෙක් තුළ තවත් ගුණාංග කීපයක්ම තියෙන්න ඕනේ. කීකරුකම, මෘදුකම සහ ධෛර්යය ඒවාවලින් කීපයක්. යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න ඒ ගුණාංග අපිට තියෙන්න ඕනෙ කියන්නේ ඇයි?

4 කැමැත්තෙන්ම කීකරු වෙන කෙනෙක් දෙවියන් බලාපොරොත්තු වෙන දේ කරනවා. දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන එක දෙයක් තමයි අපි අනිත් අය එක්ක වැඩ කරද්දී මෘදු විදිහට දේවල් කරයි කියන එක. (මතෙ. 5:5; ගලා. 5:23) දෙවියන් කැමති දේ අපි කරද්දී සාතන්ට දැනෙන්නේ ලොකු කේන්තියක්. ඒ නිසයි අපි නිහතමානී අය වුණත්, මෘදු විදිහට වැඩ කළත් මේ දුෂ්ට සමාජයේ ඉන්න වැඩිදෙනෙක් අපිට වෛර කරන්නේ. (යොහ. 15:18, 19) එහෙමනම් අනිත් අයගේ වෛරයට ලක් වෙද්දී දිගටම දෙවියන් කැමති දේ කරන්න අපිට අනිවාර්යයෙන්ම ධෛර්යය ඕනේ.

5-6. (අ) නිහතමානී අයට සාතන් වෛර කරන්නේ ඇයි? (ආ) අපි බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

5 නිහතමානී නැති කෙනෙක් උඩඟුයි. එයාට කේන්තිය පාලනය කරගන්න බැහැ. එයා දෙවියන්ට අකීකරුයි. හරියට සාතන් වගේ. සාතන්ට නිහතමානී අයව පේන්න බැහැ. මොකද නිහතමානී අය වැඩ කරන විදිහෙන් එයාට නැති හොඳ ගතිලක්ෂණ එයාලට තියෙනවා කියලත් සාතන් කොච්චර දුෂ්ටයිද කියලත් පේනවා. සාතන් ඒ අයට වෛර කරන ප්‍රධානම හේතුව එයාලා සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු කරන නිසයි. ඒ කොහොමද? සාතන් මොනවා කිව්වත් කළත් නිහතමානී අයව දෙවියන්ගෙන් ඈත් කරන්න එයාට බැහැ.—යෝබ් 2:3-5.

6 නිහතමානී වෙන එක අමාරු මොන වගේ අවස්ථාවලදීද? අපි දිගටම නිහතමානීව වැඩ කරන්න ඕනෙ ඇයි? මෝසෙස්, හෙබ්‍රෙව් තරුණයන් 3දෙනා සහ යේසුස්ගේ ආදර්ශ අධ්‍යයනය කළොත් ඒ ප්‍රශ්නවලට උත්තර දැනගන්න පුළුවන්.

අභියෝගයක් වෙන අවස්ථා

7-8. අනිත් අය මෝසෙස්ට ගෞරවය පෙන්නපු නැති අවස්ථාවලදී එයා මොකද කළේ?

7 අධිකාරියක් ලැබුණාම. යම් අධිකාරියක් තියෙන අයට දිගටම නිහතමානීව වැඩ කරන එක අමාරු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම එයා යටතේ ඉන්න කෙනෙක් එයාට ගරු නොකරද්දී, එයා ගත්ත තීරණයක් ගැන ප්‍රශ්න කරද්දී නිහතමානීව වැඩ කරන එක අමාරුයි. ඒකට ඔයාත් මුහුණ දීලා තියෙනවාද? එහෙම කළේ ඔයාගේ පවුලේ කෙනෙක් නම් ඔයා මොකද කරන්නේ? මෝසෙස් ඒ වගේ දේකට මුහුණ දුන්නා.

8 යෙහෝවා දෙවියන් මෝසෙස්ව ඊශ්‍රායෙල් සෙනඟගේ නායකයා විදිහට පත් කරලා සෙනඟට මඟ පෙන්නපු නීති ලියන වගකීම එයාට දුන්නා. දෙවියන්ගේ අනුමැතිය මෝසෙස්ට තිබුණා කියලා හොඳින්ම පෙනුණා. ඒත් මෝසෙස්ගේ අක්කා මිරියම් සහ අයියා ආරොන් එයාට විරුද්ධව කතා කළා. විවාහය සම්බන්ධයෙන් මෝසෙස් ගත්ත තීරණය එයාලා විවේචනය කළා. මෝසෙස්ට තිබුණා වගේ අධිකාරියක් තිබුණ වෙන කෙනෙකුට ඒ වගේ දෙයක් වුණා නම් එයා කේන්ති අරන් එයාලගෙන් පළිගනියි. ඒත් මෝසෙස් පළිගත්තේ නැහැ. මිරියම්ට සමාව දෙන්න කියලත් එයා දෙවියන්ගෙන් බැගෑපත්ව ඉල්ලුවා.—ගණන්. 12:1-13.

මිරියම්ට සමාව දෙන්න කියලා මෝසෙස් දෙවියන්ගෙන් බැගෑපත්ව ඉල්ලුවා (8 ඡේදය බලන්න)

9-10. (අ) යෙහෝවා දෙවියන් මෝසෙස්ට උදව් කළේ මොකක් තේරුම්ගන්නද? (ආ) පවුල් මූලිකයන්ට සහ වැඩිමහල්ලන්ට මෝසෙස්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

9 ඊට අවුරුදු 40කට විතර කලින් ඊජිප්තුවේ රජ පවුලේ සාමාජිකයෙක් විදිහට ඉද්දී නම් මෝසෙස් නිහතමානීව වැඩ කළේ නැහැ. දවසක් එයාට හොඳටම කේන්ති ගිහින් ඊජිප්තු ජාතිකයෙක්ව මරලා දැම්මා. එයා කරපු දේට දෙවියනුත් කැමති වෙයි කියලා එයා හිතුවා. ඒත් ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා වෙන්න ධෛර්යය විතරක් තිබිලා මදි, එයා නිහතමානී වෙන්නත් ඕනෙ කියන දේ තේරුම්ගන්න යෙහෝවා දෙවියන් අවුරුදු 40ක් පුරා මෝසෙස්ට උදව් කළා. නිහතමානී කෙනෙක් කීකරු වෙන්න කැමති, මෘදු කෙනෙක් කියලා තේරුම්ගන්නත් දෙවියන් එයාට උදව් කළා. ඒ පුහුණුව නිසයි මෝසෙස් හොඳ නායකයෙක් වුණේ.—නික්. 2:11, 12; ක්‍රියා 7:21-30, 36.

10 පවුල් මූලිකයන්, වැඩිමහල්ලන් මෝසෙස්ව ආදර්ශයට ගන්න ඕනේ. අනිත් අය ඔයාට ගෞරවයෙන් සලකන්නේ නැහැ කියලා දැනෙද්දී කේන්ති ගන්න එපා. ඒ වෙනුවට ඔයා අතින් වරදක් වෙලා ඇති කියලා පිළිගන්න. (දේශ. 7:9, 20) ප්‍රශ්න විසඳගන්න ඕනෙ විදිහ ගැන දෙවියන් දීලා තියෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න. කිසිම වෙලාවක කේන්තියෙන් කතා කරන්න එපා. (හිතෝ. 15:1) නිහතමානීව වැඩ කරන පවුල් මූලිකයන් සහ වැඩිමහල්ලන් ගැන යෙහෝවා දෙවියන් හුඟක් සතුටු වෙනවා. සාමය රැකගන්න දායක වෙන්න වගේම හොඳ ආදර්ශයක් වෙන්නත් එයාලට පුළුවන්.

11-13. හෙබ්‍රෙව් තරුණයන් තුන්දෙනා අපිට තිබ්බ ආදර්ශය මොකක්ද?

11 පීඩාවලට මුහුණ දෙද්දී. ඉතිහාසය පුරාම පාලකයන් දෙවියන්ගේ සෙනඟට පීඩා කරලා තියෙනවා. එයාලා අපිට විරුද්ධව එක එක චෝදනා කරයි. ඒත් එයාලා අපිට පීඩා කරන ඇත්තම හේතුව අපි ‘එයාලට වඩා දෙවියන්ට කීකරු වෙන නිසයි.’ (ක්‍රියා 5:29) සමහරවිට එයාලා අපිට අපහාස කරයි. අපිව සිරගත කරයි. අපිට පහර දෙයි. ඒත් එකට එක කරන්නේ නැතුව සන්සුන්ව ඉන්න දෙවියන්ගේ උදව්වෙන් අපිට පුළුවන්.

12 වහලුන් විදිහට බැබිලෝනියට අරන් ගිය හනනියා, මිෂායෙල් සහ අෂරියා ගැන හිතන්න. * බැබිලෝනියේ රජ එයාලට අණ කළා රන් රූපයක් ඉස්සරහා වැඳ වැටෙන්න කියලා. එහෙම කරන්න බැහැ කියලත් ඒකට හේතුවත් එයාලා රජුට කාරුණිකව පැහැදිලි කළා. එතකොට රජ තර්ජනය කළා ඇවිළෙන ගින උදුනට එයාලව දානවා කියලා. ඒත් එයාලා රූපය ඉස්සරහා වැඳ වැටුණේ නැහැ. යෙහෝවා දෙවියන් එයාලව බේරගන්න ඕනෙ කියලා එයාලා බලාපොරොත්තු වුණෙත් නැහැ. ඒ වෙනුවට දෙවියන් ඉඩ දෙන ඕනෙම දේකට මුහුණ දෙන්න එයාලා කැමැත්තෙන් හිටියා. අන්තිමේදී දෙවියන් එයාලව බේරගත්තා. (දානි. 3:1, 8-28) නිහතමානී අය ධෛර්යවත් අය කියලා එයාලා ඔප්පු කළා. අපිත් මොන රජු කිව්වත්, මොන තර්ජන කළත් යෙහෝවා දෙවියන්ට විතරක් නමස්කාර කරන්න අරන් තියෙන අධිෂ්ඨානය නැති කරගන්නේ නැහැ.—නික්. 20:4, 5.

13 දෙවියන්ට තියෙන අපේ ළැදිකම සෝදිසියට ලක් වෙද්දී ඒ 3දෙනාව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? අපි නිහතමනීව දෙවියන් ඉඩ දෙන ඕනෙම දේකට මුහුණ දෙනවා. යෙහෝවා දෙවියන් අපිව රැකබලා ගනියි කියන විශ්වාසයෙන් ඉන්නවා. (ගීතා. 118:6, 7) අපිට විරුද්ධව චෝදනා කරන අයට අපි ගෞරවයෙන් කතා කරනවා. (1 පේතෘ. 3:15) ඒ වගේම දෙවියන් එක්ක තියෙන බැඳීමට හානියක් වෙන්න පුළුවන් කිසිම දෙයක් අපි කොහොමටවත් කරන්නේ නැහැ.

අනිත් අය අපිට විරුද්ධව දේවල් කිව්වත්, කළත් අපි එයාලට ගෞරවයෙන් කතා කරනවා (13 ඡේදය බලන්න)

14-15. (අ) අපි පීඩනයකින් ඉද්දී මොකක් වෙන්න පුළුවන්ද? (ආ) යෙසායා 53:7, 10 පෙන්නන විදිහට ලොකු පීඩනයකින් හිටියත් යේසුස් වැඩ කළේ කොහොමද?

14 පීඩනයකින් ඉද්දී. විවිධ හේතු නිසා අපි හැමෝටම පීඩනයක් දැනෙන වෙලාවල් තියෙනවා. ඉස්කෝලේ විභාගයකට කලින්, රස්සාව කරන තැන භාර දුන්න විශේෂ වැඩක් කරන්න කලින්, වෛද්‍ය පරීක්ෂණයක් හෝ සැත්කමකට මුහුණ දෙන්න කලින් ඔයාට පීඩනයක් දැනිලා ඇති. එහෙම වෙලාවකදී සාමාන්‍යයෙන් අපිට කේන්ති යන්නේ නැති දෙයක් ගැන වුණත් කේන්ති යන්න පුළුවන්. අනිත් අයගේ හිත රිදෙන විදිහට කතා කරන්න, වැඩ කරන්න වුණත් ඉඩ තියෙනවා.

15 යේසුස් පොළොවේ ගත කරපු අන්තිම මාස කීපයේ ඔහු හිටියේ ලොකු පීඩනයකින්. තමන්ව මරලා දානවා කියලත් දරුණු විදිහට වේදනා විඳින්න වෙනවා කියලත් ඔහු දැනන් හිටියා. (යොහ. 3:14, 15; ගලා. 3:13) ඔහුගේ මරණයට මාස කීපයකට කලින් යේසුස් කිව්වා ඔහු ඉන්නේ දැඩි පීඩනයකින් කියලා. (ලූක් 12:50) ඔහුගේ මරණයට දවස් කීපයකට කලින් ඔහු කිව්වා “මගේ සිත කැලඹිලා” කියලා. ඒත් ඔහු දිගටම නිහතමානීව වැඩ කළා. දෙවියන්ගේ කැමැත්තට කීකරු වුණා. ඔහු යාච්ඤාවෙන් කියපු මේ දෙයින් ඒක පැහැදිලියි. ‘පියාණෙනි, මට සිදු වෙන්න යන දෙයින් මාව ගලවන්න. ඒත් මා ඒ දෙයට මුහුණ දිය යුතුමයි. පියාණෙනි, ඔබගේ නාමය ගෞරවයට පත් කරන්න.’ (යොහ. 12:27, 28) සතුරන් ඔහුව අල්ලගන්න ආවාම ඔහු බය නැතුව ඒ අය ඉස්සරහට ගියා. මොන තරම් පීඩනයක්, වේදනාවක් දැනුණත් යේසුස් නිහතමානීව දෙවියන්ගේ කැමැත්ත කළා. අමාරු වෙලවලදීත් නිහතමානීව ඉඳලා හොඳම ආදර්ශය තිබ්බේ යේසුස්.—යෙසායා 53:7, 10 කියවන්න.

නිහතමානිකම සම්බන්ධයෙන් හොඳම ආදර්ශය තිබ්බේ යේසුස් (16 සහ 17 ඡේද බලන්න) *

16-17. (අ) නිහතමානීව වැඩ කරන එක ලේසි නොවෙන්න ඇත්තේ යේසුස්ගේ යාළුවන් කරපු මොන දේවල් නිසාද? (ආ) යේසුස්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

16 යේසුස් පොළොවේ ගත කරපු අන්තිම රාත්‍රියේදී නියෝජිතයන් කරපු දේවල් නිසා නිහතමානීව වැඩ කරන එක ඔහුට අමාරු වෙන්න තිබුණා. ඒ රාත්‍රියේදී යේසුස් හිටියේ මොන තරම් පීඩනයකින්ද කියලා හිතන්න. මරණය දක්වාම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න තමන්ට පුළුවන් වෙයිද කියලා ඔහු හිතන්න ඇති. ඒක කරන්න බැරි වුණොත් බිලියන ගාණකට සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව අහිමි වෙනවා. (රෝම 5:18, 19) ඊටත් වඩා වැදගත්ම දේ ඔහු එදා වැඩ කරන විදිහෙන් එක්කෝ තාත්තාගේ නම ගෞරවයට පත් වෙනවා නැත්නම් ඒක අගෞරවයට පත් වෙනවා. (යෝබ් 2:4) එච්චර දේවල් ඔහුගේ මනසේ තිබුණ වෙලාවක තමයි ඔහුගේ කිට්ටුම යාළුවෝ ටිකදෙනා “උතුම් තැනැත්තා කවුද” කියන එක ගැන වාද කරන්න පටන්ගත්තේ. මීට කලින් අවස්ථා කීපයකදීමත් ඊට ටික වෙලාවකට කලිනුත් යේසුස් එයාලා එක්ක ඒ ගැන කතා කරලා තිබුණත් එයාලා ඒ ගැන ආයෙත් වාද කළා. ඒත් කේන්ති ගන්නවා වෙනුවට එයාලා හිතන්න ඕනෙ කොහොමද කියලා යේසුස් කාරුණිකව එයාලට ආයෙත් කියලා දුන්නා. ඊටපස්සේ එයාලා ඔහු එක්කම හිටපු එක ගැන යේසුස් එයාලව අගය කළා.—ලූක් 22:24-28; යොහ. 13:1-5, 12-15.

17 ඒ හා සමාන දේකට මුහුණ දෙන්න ඔයාට වුණොත් ඔයා කොහොම වැඩ කරයිද? අපිටත් පුළුවන් යේසුස්ව ආදර්ශයට අරන් සන්සුන්ව වැඩ කරන්න. අනිත් අය “ගැන ඉවසන්න” කියලා දෙවියන් දුන්න ආඥාවට කැමැත්තෙන්ම කීකරු වෙන්නත් අපිට පුළුවන්. (කොලො. 3:13) අපි කියන, කරන දේවලිනුත් අනිත් අය තුළ කෝපයක් ඇති වෙන්න පුළුවන් කියලා මතක තියාගන්න එක ඒ ආඥාවට කීකරු වෙන්න අපිට උදව් වෙනවා. (හිතෝ. 12:18; යාකො. 3:2, 5) ඒ වගේම අනිත් අයගේ හොඳ ගුණාංග අගය කරන්නත් අමතක කරන්න එපා.—එෆී. 4:29.

දිගටම නිහතමානීව වැඩ කරන්න

18. හොඳ තීරණ ගන්න යෙහෝවා දෙවියන් නිහතමානී අයට උදව් කරන්නේ කොහොමද? ඒත් එයාලා කරන්න ඕනෙ මොනවාද?

18 හොඳ තීරණ ගන්න පුළුවන් වෙනවා. සමහර වෙලාවලදී අපි ගන්න ඕනෙ තීරණය මොකක්ද කියලා අපිට එකපාරටම තේරෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවලදී හොඳ තීරණ ගන්න යෙහෝවා දෙවියන් අපිට උදව් කරනවා. ඒත් ඒ අපි නිහතමානී වුණොත් විතරයි. “නිහතමානී අයගේ කන්නලව්වට සවන් දෙනවා” කියලා දෙවියන් පොරොන්දු වෙනවා. (ගීතා. 10:17) ඒ විතරක් නෙමෙයි ‘ඔහු යටහත්පහත් අයට ඔහුගේ නීති පිළිපැදීමට උපකාර කරනවා වගේම එයාලට ඔහුගේ මාර්ගය ගැන උගන්වනවා’ කියලත් බයිබලේ පොරොන්දු වෙනවා. (ගීතා. 25:9) දෙවියන් ඒ විදිහට අපිට උගන්වන්නේ බයිබලය සහ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” මාර්ගයෙන් ලබා දෙන ප්‍රකාශන, * වීඩියෝ, රැස්වීම් මාර්ගයෙන්. (මතෙ. 24:45-47) ඒත් අපේ පැත්තෙනුත් අපි දෙයක් කරන්න ඕනේ. ඒ තමයි දෙවියන්ගේ උදව් ඕනෙ කියලා අපි නිහතමානීව පිළි අරන් ඔහු සපයන තොරතුරු හොඳට අධ්‍යයනය කරලා ඒවා ජීවිතේට අදාළ කරගන්න එක.

19-21. කාදෙෂ්වලදී මෝසෙස් අතින් වුණ වරද මොකක්ද? ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවාද?

19 වැරදි, අඩුපාඩු වෙන එක අඩු කරගන්න පුළුවන්. මෝසෙස් ගැන ආයෙත් හිතන්න. දශක ගාණක්ම එයා නිහතමානීව දෙවියන් සතුටු වෙන විදිහට වැඩ කළා. ඒත් පාළුකරයේ ගත කරපු අවුරුදු 40 අවසන් වෙන්න කිට්ටු වෙලා තියෙද්දී මොකද වුණේ? ඒ වෙද්දී මෝසෙස්ගේ අක්කා මිය ගිහින් වැඩි දවසක් ගිහින් තිබුණේ නැහැ. බොහෝදුරට එයා වෙන්න ඇති ඊජිප්තුවේදී මෝසෙස්ගේ ජීවිතේ ආරක්ෂා කරන්න උදව් කළේ. එහෙම වෙලාවක තමයි ඊශ්‍රායෙල්වරු ආයෙත් මෝසෙස්ට විරුද්ධව කතා කරන්න පටන්ගත්තේ. බොන්න වතුර නැහැ කියලා “සෙනඟ මෝසෙස්ට බැණවැදුණා.” ඒ වෙද්දී දෙවියන් මෝසෙස් මාර්ගයෙන් හුඟක් ආශ්චර්යයන් කරලා තිබුණා. මෝසෙස් තමන් ගැනවත් හිතන්නේ නැතුව අවුරුදු ගාණක්ම සෙනඟට නායකත්වය දීලා තිබුණා. ඒත් ඊශ්‍රායෙල්වරු ඒ හැම දෙයක්ම අමතක කරලා මැසිවිලි නඟන්න පටන්ගත්තා. වතුර නැති එක ගැන විතරක් නෙමෙයි ඒ වගේ දේකට මුහුණ දෙන්න වුණේ මෝසෙස්ගේ වරදින් කියලත් එයාලා කිව්වා.—ගණන්. 20:1-5, 9-11.

20 ඒ වෙලාවේ මෝසෙස්ට හුඟක් කේන්ති ගියා. දෙවියන් කියපු විදිහට පර්වතයට කතා කරනවා වෙනුවට එයා සෙනඟට කේන්තියෙන් කතා කරලා කිව්වා එයා ආශ්චර්යයක් කරලා වතුර දෙනවා කියලා. ඊටපස්සේ එයා දෙපාරක්ම පර්වතයට සැරයටියෙන් ගැහුවා. කේන්ති අරන් උඩඟු විදිහට වැඩ කරපු නිසා එයා අතින් ලොකු වරදක් වුණා. (ගීතා. 106:32, 33) කෙටි වෙලාවකට වුණත් නිහතමානීව වැඩ කරන්න එයාට බැරි වුණ නිසා පොරොන්දු දේශයට යන්න තිබුණ අවස්ථාව මෝසෙස්ට නැති වුණා.—ගණන්. 20:12.

21 ඒ සිද්ධියෙන් අපිට පාඩම් දෙකක් ඉගෙනගන්න පුළුවන්. (1) දිගටම නිහතමානීව වැඩ කරන්න අපි හැම තිස්සේම ලොකු වෑයමක් ගන්න ඕනේ. අපි ගන්න උත්සාහය අපි ටික වෙලාවකට හරි අත්හැරියොත් අපි තුළ තියෙන උඩඟු හැඟීම් මතු වෙන්න පුළුවන්. එතකොට අපි මෝඩ විදිහට කතා කරන්න, වැඩ කරන්න පෙලඹෙයි. (2) පීඩනයකින් ඉද්දී නිහතමානීව වැඩ කරන එක අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා පීඩනයක් දැනෙන අවස්ථාවලදී නිහතමානීව ඉන්න අපි ලොකු උත්සාහයක් ගන්න ඕනේ.

22-23. (අ) දිගටම නිහතමානීව වැඩ කරන්න අපි උත්සාහ කරන්න ඕනෙ ඇයි? (ආ) ශෙපනියා 2:3 සඳහන් දෙයින් අදහස් වෙන්නේ මොකක්ද?

22 අපිට ආරක්ෂාව ලැබෙනවා. ළඟදීම යෙහෝවා දෙවියන් දුෂ්ට මිනිසුන් හැමෝවම මේ පොළොවෙන් අයින් කරනවා. ඉතුරු වෙන්නේ නිහතමානී අය විතරයි. එතකොට මුළු පොළොවම සාමකාමී තැනක් වෙයි. (ගීතා. 37:10, 11) ඒ අය අතරේ ඔයාත් ඉඳියිද? ශෙපනියා මාර්ගයෙන් දෙවියන් කියන දේ කළොත් ඔයාත් එදාට ඉඳියි.—ශෙපනියා 2:3 කියවන්න.

23 ශෙපනියා 2:3 “සමහරවිට ඔබට රැකවරණය ලැබෙයි” කියලා කියන්නේ ඇයි? දෙවියන්ව සතුටු කරන්න කැමති, දෙවියන් ආදරේ කරන අයව ආරක්ෂා කරන්න ඔහුට බැහැ කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒකෙන් අදහස් කරන්නේ ආරක්ෂාව ලබන්න නම් අපේ පැත්තෙන් අපි යමක් කරන්න ඕනෙ කියන එකයි. මේ කාලේදී නිහතමානීව වැඩ කරලා යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න අපි වෑයම් කරනවා නම් “යෙහෝවා දෙවිගේ උදහස ප්‍රකාශ කරන දවසේදී” අපේ ජීවිතේ ආරක්ෂා කරගෙන සාදාකාලෙටම ජීවත් වෙන්න අපිට අවස්ථාව ලැබෙයි.

ගීතිකාව 120 යේසුස් මෙන් නිහතමානී වෙමු

^ 5 ඡේ. අපි කාටවත් උපතින්ම නිහතමානිකම උරුම වෙන්නේ නැහැ. ඒක අපි වර්ධනය කරගන්න ඕනෙ ගුණාංගයක්. සාමකාමී අය එක්ක ඉද්දී නිහතමානීව වැඩ කරන එක ලේසි වුණත් උඩඟු අය එක්ක ඉද්දී නිහතමානීව දේවල් කරන්න අපිට අමාරු වෙන්න පුළුවන්. නිහතමානිකම කියන ලස්සන ගුණාංගය වර්ධනය කරගන්න අපි ජය ගන්න ඕනෙ අභියෝග කීපයක් ගැන මේ ලිපියේ කතා කරනවා.

^ 3 ඡේ. පැහැදිලි කිරීමක්: නිහතමානී කෙනෙක් අනිත් අය එක්ක වැඩ කරද්දී එයාලට කරුණාවන්තව සලකනවා. කේන්ති යන දෙයක් අනිත් අය අතින් වුණත් එයා කේන්ති ගන්නේ නැතුව දිගටම එයාලට කරුණාවන්තව සලකනවා. නිහතමානී කෙනෙක්ගේ දකින්න තියෙන තවත් දෙයක් තමයි එයා ආඩම්බර නැහැ. අනිත් අය තමන්ට වඩා උසස් කියලා එයා නිතරම හිතනවා. යෙහෝවා දෙවියනුත් ඒ ගුණාංගය පෙන්නනවා. ඒ පාපය උරුම කරගත්ත අපිත් එක්ක ආදරෙන්, දයාවෙන් කටයුතු කරලයි.

^ 12 ඡේ. බැබිලෝනිවරු එයාලට ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝ කියන නම් දුන්නා.—දානි. 1:7.

^ 18 ඡේ. උදාහරණෙකට 2011 අප්‍රියෙල් 15 ‘මුරටැඹ’ කලාපයේ පළ වුණ “දෙවිට ගෞරවය ගෙන දෙන තීරණ ගනිමු” කියන ලිපිය බලන්න.

^ 59 ඡේ. පින්තූරේ අදහස: තමන් අතරේ උතුම්ම තැනැත්තා කවුද කියලා නියෝජිතයන් වාද කරද්දී යේසුස් කේන්ති ගන්නේ නැතුව ඉවසීමෙන් එයාලව නිවැරදි කළා.