Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 8

අනිත් අයව අගය කරන්න ඕනෙ ඇයි?

අනිත් අයව අගය කරන්න ඕනෙ ඇයි?

“ඔබ තුළ ස්තුතිවන්තකම දක්නට ලැබිය යුතුයි.”—කොලො. 3:15.

ගීතිකාව 46 යෙහෝවා දෙවිට ස්තුති වෙමු

මේ ලිපියෙන් *

1. යේසුස්ගෙන් සුවය ලබපු සමරිතානු ජාතිකයෙක් අගය පෙන්නුවේ කොහොමද?

ලාදුරු රෝගයෙන් පෙළුණු මිනිසුන් දහදෙනා හිටියේ හුඟක් අසරණ වෙලා. එයාලට දැනුණේ එයාලගේ මුළු අනාගතයම අඳුරු වෙලා කියලා. එක දවසක් එයාලා ඈත තියා යේසුස්ව දකිනවා. ඕනෙම විදිහේ අසනීපයක් සුව කරන්න යේසුස්ට පුළුවන් කියලා අහලා තිබුණ නිසා එයාලව සුව කරන්නත් යේසුස්ට පුළුවන් කියලා එයාලා විශ්වාස කළා. ඒ නිසා එයාලා කෑගහලා මෙහෙම කිව්වා. “ගුරුතුමනි, අපට අනුකම්පා කරන්න.” යේසුස් ඒ දහදෙනාවම සුව කළා. යේසුස්ගේ කරුණාවන්ත ක්‍රියාව ගැන ඒ දහදෙනාගෙම හිතේ ලොකු අගයක් ඇති වෙන්න ඇති. ඒ වුණත් එයාලගෙන් එක් කෙනෙක් ඒ අගය * හිතේ තියාගෙන විතරක් ඉන්නේ නැතුව ස්තුති කරන්න යේසුස් ළඟට ආවා. සමරිතානුවෙක් වුණ ඒ කෙනා “මහත් හඬින් දෙවිට ප්‍රශංසා කරන්න” පෙලඹුණා.—ලූක් 17:12-19.

2-3. (අ) සමහර වෙලාවට අපිට අගය පෙන්නන්න බැරි වෙන්නේ ඇයි? (ආ) මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

2 ඒ සමරිතානුවරයා වගේ අපිටත් ඕනෙ අපිට කාරුණිකව සලකන අයට අපේ අගය පෙන්නන්නයි. ඒත් සමහර වෙලාවට හිතේ තියෙන අගය වචනයෙන් කියන්න නැත්නම් ඒ වෙනුවෙන් යමක් කරන්න අපිට අමතක වෙන්න පුළුවන්.

3 අපේ හිතේ තියෙන අගය අපි කියන කරන දේවලින් පෙන්නන්න ඕනෙ ඇයි කියලා මේ ලිපියෙන් බලමු. අනිත් අයව අගය කරපු සහ අගයක් තිබුණේ නැති බයිබල් චරිත කීපයක් ගැනත් බලනවා. ඊටපස්සේ අපි බලමු අනිත් අයව අගය කරන්න පුළුවන් විදි කීපයක් ගැන.

අගය පෙන්නන්න ඕනෙ ඇයි?

4-5. අපි අගය පෙන්නන්න ඕනෙ ඇයි?

4 අගය පෙන්නන එක ගැන හොඳම ආදර්ශය තියන්නේ යෙහෝවා දෙවියන්. ඔහු අගය පෙන්නන එක විදිහක් තමයි ඔහුගේ සේවකයන්ට ආශීර්වාද කරන එක. (2 සාමු. 22:21; ගීතා. 13:6; මතෙ. 10:40, 41) බයිබලේ අපිට උනන්දු කරන්නේ “ඔබ දෙවිගේ ප්‍රේමණීය දරුවන් වන නිසා දෙවිව අනුකරණය කරන්නන් වන්න” කියලයි. (එෆී. 5:1) එහෙමනම් අපි අනිත් අයව අගය කරන්න ඕනෙ ප්‍රධානම හේතුව තමයි ඒකෙන් අපිට යෙහෝවා දෙවියන්ව ආදර්ශයට ගන්න පුළුවන් වෙන එක.

5 අපි අනිත් අයව අගය කරන්න ඕනෙ තවත් හේතුවක් බලන්න. අගය කරන එක හරියට හොඳ කෑම වේලක් වගේ. ඒක අනිත් අය එක්ක බෙදාගත්තොත් ලැබෙන සතුට වැඩියි. අපි කරපු දෙයක් ගැන තව කෙනෙක් අගය කරද්දී අපිට සතුටක් දැනෙනවා. අනිත් අය කරපු දෙයක් ගැන අපි අගය පෙන්නද්දී ඒකෙන් එයාලා සතුටු වෙනවා. අපි කෙනෙක්ව අගය කරද්දී එයාට දැනෙනවා එයා අපි වෙනුවෙන් කරපු දේ නැත්නම් එයා අපිට දුන්න දේ අපිට ගොඩක් වටිනවා කියලා. එතකොට ඒ කෙනායි අපියි අතරේ තියෙන බැඳීම තව ශක්තිමත් වෙනවා.

6. අගය වචනයෙන් කියද්දී ඒක රන් ඇපල්වලට සමාන වෙන්නේ කොහොමද?

6 අනිත් අයව අගය කරලා අපි කියන වචන හුඟක් වටිනවා. බයිබලේ මෙහෙම කියනවා. “නිසි කලට කියන වදන් කැටයම් කළ රිදී බඳුන්වල තැබූ රන් ඇපල් මෙනි.” (හිතෝ. 25:11) හිතන්න, රන්වලින් හදපු ඇපල් ගෙඩි කීපයක් රිදී බඳුනක තිබ්බාම ඒක කොච්චර ලස්සනද, කොච්චර වටිනවාද කියලා. ඒ වගේ තෑග්ගක් ඔයාට ලැබුණොත් ඔයාට කොහොම හැඟෙයිද? ඔයාගේ හිතේ අනිත් අය ගැන තියෙන අගය එයාලට කියද්දී එයාලට දැනෙන්නෙත් ඒ වගේ තමයි. ඒක එයාලට හුඟක් වටිනවා. මේ ගැනත් හිතන්න. රන්වලින් හදපු ඇපල් හැමදාටම වුණත් තියාගන්න පුළුවන්. ඒ වගේ ඔයා කෙනෙක්ව අගය කළොත් ඔයා කියපු දේ එයාගේ ජීවිත කාලෙටම වුණත් එයාට මතක තියෙයි.

එයාලා අගය වචනයෙන්, ක්‍රියාවෙන් පෙන්නුවා

7. ගීතාවලිය 27:4 පෙන්නන විදිහට දාවිත් හිතේ තිබුණ අගය පෙන්නුවේ කොහොමද? අනිත් ගීතිකාකරුවන් එයාලගේ අගය පෙන්නුවේ කොහොමද?

7 අතීතයේ හිටපු දෙවියන්ගේ සේවකයන් හුඟදෙනෙක් එයාලගේ හිතේ තිබුණ අගය ක්‍රියාවෙන් පෙන්නුවා. දාවිත් ඒ අයගෙන් කෙනෙක්. (ගීතාවලිය 27:4 කියවන්න.) සැබෑ දෙවියන්ට කරපු නමස්කාරය එයා හුඟක් වටින දෙයක් විදිහටයි සැලකුවේ. දේවමාලිගාව හදන්න එයාට තිබුණ ධනයෙන් විශාල ප්‍රමාණයක් පරිත්‍යාග කරලා ඒ අගය එයා පෙන්නුවා. ආසාෆ්ගෙන් පැවත ආපු අයත් එයාලගේ හිතේ තිබුණ අගය වචනවලට පෙරළලා දෙවියන්ට ප්‍රශංසා ගීත ගැයුවා. ඒ වගේ එක ගීතිකාවක දෙවියන් කරපු “පුදුම ක්‍රියා” ගැන එයාලා කොයි තරම් දෙවියන්ට ස්තුතිවන්ත වෙනවාද කියලා කිව්වා. (ගීතා. 75:1) දාවිත්ටත් ආසාෆ්ගෙන් පැවත ආපු අයටත් ඕනෙ වුණේ දෙවියන්ගෙන් එයාලට ලැබුණ හැම දෙයක්ම එයාලා කොච්චර අගය කරනවාද කියලා පෙන්නන්නයි. ඔයාට එයාලව ආදර්ශයට ගන්න පුළුවන් විදි තියෙනවාද?

පාවුල් රෝමයේ අයට ලියපු ලිපියෙන් අගය කරන එක ගැන අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (8 සහ 9 ඡේද බලන්න) *

8-9. පාවුල් සහෝදර සහෝදරියන්ව අගය කරනවා කියලා පෙන්නුවේ කොහොමද? ඒකෙන් මොන වගේ ප්‍රතිඵල ලැබෙන්න ඇද්ද?

8 පාවුල් සහෝදර සහෝදරියන්ව සැලකුවේ තමන්ට හුඟක් වටින අය විදිහට. එයා එයාලා ගැන කියපු දේවලින් ඒක පැහැදිලි වුණා. පාවුල් එයාගේ යාච්ඤාවලදී සහෝදර සහෝදරියන් ගැන දෙවියන්ට ස්තුති කළා. එයාලා තමන්ට කොච්චර වටිනවාද කියලා එයා ලිපිවල ලියපු දේවලින් පෙන්නුවා. උදාහරණෙකට රෝම 16වෙනි පරිච්ඡේදයේ මුල් ඡේද 15 ඇතුළත එයා සභාවේ 27දෙනෙක් ගැන නම්වලින්ම සඳහන් කරලා තියෙනවා. ප්‍රිස්කා සහ අකිලා “මා වෙනුවෙන් බොහෝ අනතුරුවලට මුහුණ දී ඇත” කියලා එයා සඳහන් කළා. ෆීබි “බොහෝ සහෝදරයන්ටත් මටත් විවිධාකාරවලින් උපකාර සපයා ඇත” කියලත් එයා කිව්වා. දෙවියන්ට මහන්සි වෙලා සේවය කරපු ඒ ආදරණීය සහෝදර සහෝදරියන්ට පාවුල් ප්‍රශංසා කළා.—රෝම 16:1-15.

9 සහෝදර සහෝදරියන් අතින් වැරදි අඩුපාඩුකම් වෙනවා කියලා පාවුල් දැනන් හිටියා. ඒත් එයා රෝම සභාවට ලියපු ලිපිය අවසන් කරන්නේ එයාලගේ හොඳ පැති ගැන කතා කරලයි. පාවුල්ගේ ලිපිය සභාවේ හැමෝටම ඇහෙන්න කියවද්දී ඒ සහෝදර සහෝදරියන් කොයි තරම් දිරිගැන්වෙන්න ඇද්ද! ඒකේ ප්‍රතිඵලයක් විදිහට එයාලට පාවුල් එක්ක තිබුණ බැඳීම තවත් ශක්තිමත් වෙන්න ඇති. ඔයාගේ සභාවේ අය කියන කරන හොඳ දේවල් ගැන ඔයාත් නිතරම එයාලව අගය කරනවාද?

10. තමන්ගේ අනුගාමිකයන්ව අගය කරලා යේසුස් කියපු දේවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

10 කුඩා ආසියාවේ තිබුණ සභාවලට පණිවිඩ යවද්දී යේසුස් ඒ සභාවල අය කරපු හොඳ දේවල් අගය කළා. උදාහරණෙකට තියතීරා සභාවට දුන්න පණිවිඩය ඔහු පටන්ගන්නේ මෙහෙමයි. “ඔබේ ක්‍රියාද ඔබේ ප්‍රේමයද ඔබ තුළ තිබෙන විශ්වාසයද ඔබ කරන සේවයද ඔබ විඳදරාගන්නා ආකාරයද දනිමි. එලෙසම මෑතක සිට ඔබේ ක්‍රියා පෙරට වඩා හොඳ තත්වයක පවතින බවද දනිමි.” (එළි. 2:19) එයාලා වැඩි සේවයක් කරපු එක ගැන විතරක් නෙමෙයි එයාලා තුළ තිබුණ හොඳ ගුණාංගත් යේසුස් අගය කළා. ඒ සභාවේ හිටපු සමහරුන්ට යම් උපදෙස් දෙන්න වුණත් ඔහු එයාලට දුන්න පණිවිඩය පටන්ගත්තෙත් ඒක අවසන් කළෙත් එයාලව දිරිගන්වලා. (එළි. 2:25-28) ක්‍රිස්තියානි සභාවේ නායකයා විදිහට යේසුස්ට කොයි තරම් අධිකාරියක් තියෙනවාද! ඔහු වෙනුවෙන් අපි කරන දේවලට ඇත්තටම ඔහු අපිට ස්තුති කරන්න ඕනෙ නැහැ. ඒ වුණත් යේසුස් ඒක කළා. ඔහු වැඩිමහල්ලන්ට හොඳ ආදර්ශයක්!

එයාලට අගයක් තිබුණේ නැහැ

11. පරිශුද්ධ දේවල් ගැන ඒසව්ට හැඟුණ හෙබ්‍රෙව් 12:16 පැහැදිලි වෙන්නේ කොහොමද?

11 අගයක් තිබුණේ නැති අය ගැනත් බයිබලේ සඳහන් වෙනවා. ඒසව් ඒ අයගෙන් කෙනෙක්. ඒසව්ගේ දෙමාපියන් දෙවියන්ට ආදරේ කරපු අය වුණත් පරිශුද්ධ දේවල් ගැන ඒසව්ගේ හිතේ නම් අගයක් තිබුණේ නැහැ. (හෙබ්‍රෙව් 12:16 කියවන්න.) ඒක පැහැදිලි වුණේ කොහොමද? එයා දෙපාරක් හිතන්නේ නැතුව කුලුඳුලා විදිහට එයාට තිබුණ අයිතිය එක කෑම වේලක් වෙනුවෙන් එයාගේ මල්ලි යාකොබ්ට වික්කා. (උත්. 25:30-34) එයා කරපු දේ ගැන පස්සේ එයා දුක් වුණා තමයි. ඒත් ලැබිලා තිබුණ දේ ගැන එයාට කිසිම අගයක් තිබුණේ නැහැ. ඒ නිසා කුලුඳුලාට ලැබෙන්න ඕනෙ ආශීර්වාද එයාට ලැබුණේ නැති එක ගැන වෙන අයට දොස් කියන්න එයාට බැහැ.

12-13. තමන්ට ලැබුණ දේවල් අගය කළේ නැහැ කියලා ඊශ්‍රායෙල්වරු පෙන්නුවේ කොහොමද? ඒකේ ප්‍රතිඵලය මොකක්ද?

12 දෙවියන්ට අගය පෙන්නන්න ඊශ්‍රායෙල්වරුන්ට හුඟක් හේතු තිබුණා. ඊජිප්තුවරුන්ට පීඩා 10ක් ගෙනල්ලා දෙවියන් එයාලව වහල්කමින් නිදහස් කරගත්තා. ඊළඟට රතු මුහුද ළඟදී මුළු ඊජිප්තු හමුදාවම විනාශ කරලා දෙවියන් එයාලව ආරක්ෂා කළා. ලබපු ඒ ජයග්‍රහණය ගැන ගීතිකාවක් ගායනා කරලා එදා එයාලා දෙවියන්ට ප්‍රශංසා කළේ ඔහු කරපු දේ ගැන එයාලගේ හිතේ ලොකු අගයක් ඇති වුණ නිසයි. එයාලා දිගටම ඒ අගය පෙන්නුවාද?

13 එයාලට තිබුණ ඒ අගය නැති වෙලා ගිහින් කියලා අලුත් අභියෝගවලට මුහුණ දෙද්දී එයාලා වැඩ කරපු විදිහෙන් පැහැදිලි වුණා. (ගීතා. 106:7) ඒ කොහොමද? “මුළු ඊශ්‍රායෙල් සෙනඟ පාළුකරයේදී මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධව මැසිවිලි නඟන්න පටන්ගත්තා.” ඇත්තටම එයාලා මැසිවිලි නැඟුවේ යෙහෝවා දෙවියන්ට විරුද්ධවයි. (නික්. 16:2, 8) කිසිම අගයක් නැතුව වැඩ කරපු ඒ සෙනඟ ගැන දෙවියන් පොඩ්ඩක්වත් සතුටු වුණේ නැහැ. යොෂුවා සහ කාලෙබ් ඇරෙන්න අනිත් හැම කෙනෙක්ම පාළුකරයේදී මිය යනවා කියලා දෙවියන් කිව්වා.—ගණන්. 14:22-24; 26:65.

අගය කරන්න

14-15. (අ) තමන්ගේ සැමියාව, බිරිඳව අගය කරන්න පුළුවන් කොහොමද? (ආ) අනිත් අයව අගය කරන්න දරුවන්ව පුහුණු කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

14 පවුලේ සාමාජිකයන්ව. පවුලේ එක් එක් සාමාජිකයා අනිත් අයව අගය කරද්දී ඒකෙන් මුළු පවුලම ප්‍රයෝජන ලබනවා. සැමියා, බිරිඳ එකිනෙකාව අගය කරන තරමට එයාලගේ බැඳීමත් තව වැඩි වෙනවා. එකිනෙකාගේ අඩුපාඩුකම්වලට සමාව දෙන්නත් එතකොට ලේසියි. තමන්ගේ බිරිඳව අගය කරන සැමියෙක් බිරිඳ කියන කරන හොඳ දේවල් දකිනවා විතරක් නෙමෙයි ‘නැඟිට ඇයට ඒ ගැන ප්‍රශංසා කරනවා.’ (හිතෝ. 31:10, 28) ඒ වගේම හොඳ බිරිඳක් තමන් සැමියාගේ අගය කරන හොඳ පැති ගැන සැමියාට කියනවා.

15 දෙමාපියෙනි, අනිත් අයව අගය කරන්න ඔයාලගේ දරුවන්ට උගන්වන්න ඔයාලට පුළුවන් කොහොමද? ඔයාලා කියන කරන දේවල් එයාලා ආදර්ශයට ගන්නවා කියලා මතක තියාගන්න. ඒ නිසා දරුවන් ඔයා වෙනුවෙන් යමක් කළාම එයාලට “තැන්ක් යූ” කියලා කියන්න. වෙන කෙනෙක් දරුවන් වෙනුවෙන් යම් දෙයක් කළොත් එයාට “තැන්ක් යූ” කියන්න දරුවන්ව පුහුණු කරන්න. තව කෙනෙක්ව අපි අගය කරන්න ඕනෙ අවංකවමයි කියලත් එහෙම කරන එකෙන් අනිත් අය සතුටු වෙනවා කියලත් තේරුම්ගන්න දරුවන්ට උදව් කරන්න. ක්ලැරි කියන කාන්තාව මෙහෙම කියනවා. “මාවයි, අයියාවයි, මල්ලිවයි තනියම හදා වඩා ගන්න වෙද්දී අම්මාට වයස 32යි. මට වයස 32ක් වුණාම මට තේරුණා ඒ වයසේදී තනියම අපිව හදා වඩා ගන්න අම්මාට කොච්චර අමාරු වෙන්න ඇද්ද කියලා. දවසක් මං අම්මාට කිව්වා අපි වෙනුවෙන් අම්මා කරපු කැප කිරීම් මං ගොඩක් අගය කරනවා කියලා. ළඟදී අම්මා මාත් එක්ක කිව්වා එදා මං අම්මාට කියපු ඒ වචන අදටත් එයාට ගොඩක් වටිනවා කියලා. මං කියපු දේ ගැන මතක් වෙන හැම වතාවකම එයාට ලොකු සතුටක් දැනෙනවා කියලත් අම්මා කිව්වා.”

අගය පෙන්නන්න දරුවන්ට උගන්වන්න (15 ඡේදය බලන්න) *

16. අගය කරද්දී අනිත් අය දිරිගැන්වෙනවා කියලා පැහැදිලි වෙන අද්දැකීමක් කියන්න.

16 සභාවේ අයව. අපේ සහෝදර සහෝදරියන්ව අගය කරද්දී ඒකෙන් එයාලා දිරිගැන්වෙනවා. මේ අද්දැකීම බලන්න. ජෝර්ජ් වයස 28ක වැඩිමහල්ලෙක්. බරපතළ විදිහට අසනීප වුණ නිසා මාසයක් විතර රැස්වීම් යන්නත් එයාට බැරි වුණා. ආයේ රැස්වීම් යන්න පටන්ගත්තත් කලින් වගේ පැවරුම් කරන්න එයාට අමාරු වුණා. ජෝර්ජ් මෙහෙම කියනවා. “සභාවේ වගකීම් කරන්න බැරි වුණ එක ගැන මට දැනුණේ ලොකු දුකක්. මගෙන් දැන් කිසි වැඩක් නෑ කියලයි මට හිතුණේ. ඒත් දවසක් රැස්වීමට ගිය වෙලාවේ සහෝදරයෙක් ඇවිත් මට මෙහෙම කිව්වා. ‘ඔයා අපේ පවුලේ අයට හොඳ ආදර්ශයක්. පහුගිය අවුරුදුවල ඔයා දුන්න දේශනවලට අපි ගොඩක් කැමතියි. අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න ඒ තොරතුරු අපිට උදව් වුණා. ඒ හැම දේටම තැන්ක් යූ.’ ඒ වචන මගේ හිතට කොච්චර වැදුණාද කියනවා නම් මගේ ඇස්වලට කඳුළු ආවා. ඒ වෙලාවේ මට ඕන කරලා තිබුණේ ඒ වගේ දිරිගැන්වීමක්.”

17. කොලොස්සි 3:15 සඳහන් විදිහට යෙහෝවා දෙවියන් පෙන්නලා තියෙන ත්‍යාගශීලීකමට අපේ අගය පෙන්නන්නේ කොහොමද?

17 අපේ ත්‍යාගශීලී දෙවි යෙහෝවාව. යෙහෝවා දෙවියන් ඔහු එක්ක අපිට තියෙන බැඳීම ශක්තිමත් කරගන්න අවශ්‍ය දේවල් ඇති තරම් අපිට සපයනවා. උදාහරණෙකට අපේ රැස්වීම්වලින්, සඟරාවලින් සහ අපේ වෙබ් අඩවිවලින් ප්‍රයෝජනවත් මඟ පෙන්වීම් අපිට ලැබෙනවා. දේශනයක් අහලා, ලිපියක් කියවලා, බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහනක් බලලා ‘මේක මට ඕනෙම කරපු දෙයක්’ කියලා ඔයාට හිතුණු අවස්ථා නැද්ද? ඒ ගැන අපේ අගය අපි දෙවියන්ට පෙන්නන්නේ කොහොමද? (කොලොස්සි 3:15 කියවන්න.) අපි නිතරම අපේ යාච්ඤාවලදී ඒවාට ස්තුති කියලා කියන එක අපේ අගය පෙන්නන්න පුළුවන් එක විදිහක්.—යාකො. 1:17.

නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදු කරන්න හවුල් වෙන එකෙන් අපේ අගය පෙන්නන්න පුළුවන් (18 ඡේදය බලන්න)

18. අපේ නමස්කාර මධ්‍යස්ථාන අපි අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

18 නමස්කාර මධ්‍යස්ථාන පිරිසිදුව, පිළිවෙළකට තියාගන්න එකත් දෙවියන්ට අපේ අගය පෙන්නන්න පුළුවන් විදිහක්. අපි නිතිපතා අපේ නමස්කාර මධ්‍යස්ථාන පිරිසිදු කරන්න, නඩත්තු කරන්න හවුල් වෙනවා. ඕඩියෝ වීඩියෝ උපකරණ හසුරුවන අය ඒවා පරෙස්සමින් පාවිච්චි කරනවා. අපි අපේ නමස්කාර මධ්‍යස්ථාන හොඳින් නඩත්තු කරද්දී තව හුඟ කාලයක් ඒවා පාවිච්චි කරන්න පුළුවන් වෙනවා වගේම නිතරම ලොකු අලුත්වැඩියා කටයුතු කරන්න වෙන්නෙත් නැහැ. ඒකෙන් මුදල් ඉතුරු වෙන නිසා ඒ මුදල් අලුත් නමස්කාර මධ්‍යස්ථාන හදන්න යොදවන්න පුළුවන්.

19. චාරිකා සේවකයෙක්ගේ සහ එයාගේ බිරිඳගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොකක්ද?

19 අපි වෙනුවෙන් වෙහෙසිලා සේවය කරන අයව. අපි කෙනෙක්ව අගය කරලා දෙයක් කිව්වාම සමහරවිට එයා මුහුණ දෙන අභියෝග ගැන එයාට හැඟෙන විදිහ ඒකෙන් වෙනස් වෙන්න පුළුවන්. චාරිකා සේවකයෙක්ගේ සහ එයාගේ බිරිඳගේ අද්දැකීම බලන්න. සීත ඍතුවේ එක සීතල දවසක මුළු දවසම සේවයේ ගිහින් නවාතැන් ගත්ත තැනට ඒ දෙන්නා ආවේ හොඳටම හෙම්බත් වෙලා. එදා කොච්චර සීතලද කියනවා නම් ඒ බිරිඳ එයා ඇඳන් හිටපු සීත කබාය පිටින්ම නිදාගත්තා. පහුවෙනිදා උදේ එයා සැමියාට කිව්වා තවත් නම් චාරිකා සේවය කරන්න එයාට බැහැ කියලා. ඊට ටික වෙලාවකට පස්සේ ඒ බිරිඳගේ නමට ශාඛා කාර්යාලයෙන් ලියුමක් ආවා. එයා කරන සේවය සහ ඒ වෙනුවෙන් එයා කරන කැප කිරීම් හුඟක් අගය කරනවා කියලත් හැම සතියකම අලුත් තැනක නවාතැන් ගන්න වෙන එක කොච්චර අමාරුද කියලා එයාලට තේරෙනවා කියලත් ඒ ලිපියේ තිබුණා. එයාගේ සැමියා මෙහෙම කියනවා. “ඒ ලියුම කියවලා එයා කොච්චර දිරිගැන්වුණාද කියනවා නම් චාරිකා සේවේ නවත්තන එක ගැන ආයේ කවදාවත් එයා කතා කළේ නෑ. චාරිකා සේවේ නවත්තන්න ඕනෙ කියලා මට හිතුණු වෙලාවලදීත් එයා මාව දිරිගැන්නුවා.” ඒ යුවළ අවුරුදු 40ක් චාරිකා සේවය කළා.

20. හැම දවසකම අපි කරන්න ඕනෙ මොකක්ද? ඒ ඇයි?

20 හැම දවසකම අපි කියන කරන දේවලින් අපේ අගය පෙන්නන්න උත්සාහ කරමු. කිසි දෙයක් අගය නොකරන මේ ලෝකේ හුඟදෙනෙක් ඉන්නේ ප්‍රශ්නවලින් මිරිකිලා, ලොකු පීඩනයකින්. අපි මුළු හදවතින්ම පෙලඹිලා කියන වචනයකින්, කරන දේකින් එහෙම කෙනෙක්ට ඒවා දරාගන්න ශක්තියක් ලැබෙයි. අනිත් අයව අගය කරද්දී අපි එකිනෙකා අතරේ තියෙන බැඳීම් තව ශක්තිමත් වෙනවා. වැදගත් දේ අපි අනිත් අයව අගය කරද්දී අපිට අපේ ආදරණීය දෙවියන්ව ආදර්ශයට ගන්න පුළුවන් වෙන එක.

ගීතිකාව 20 දෙව්නි, ඔබ දුන්නේ ඔබට ළැදි වූ පුත්‍රයාවයි!

^ 5 ඡේ. අනිත් අයව වචනයෙන්, ක්‍රියාවෙන් අගය කරන එක ගැන යෙහෝවා දෙවියන්, යේසුස් සහ ලාදුරු රෝගයෙන් පෙළුණු සමරිතානු ජාතිකයාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? ඒ අය සහ තවත් අය ගැන මේ ලිපියේ කතා කරනවා. අගය පෙන්නන එක වැදගත් ඇයි කියලත් ඒක කරන්න පුළුවන් විදි කීපයක් ගැනත් මේ ලිපියෙන් බලනවා.

^ 1 ඡේ. පැහැදිලි කිරීමක්: කෙනෙක්ව එහෙම නැත්නම් යම් දෙයක් අගය කරනවා කියන්නේ ඒ කෙනාගේ හෝ ඒ දේ වටිනාකම තේරුම්ගන්න එකටයි. හදවතට දැනෙන අගය වචනයෙන් කියන්නත් ක්‍රියාවෙන් පෙන්නන්නත් පුළුවන්.

^ 55 ඡේ. පින්තූරයේ අදහස: රෝම සභාවට ඇහෙන්න පාවුල් එවපු ලියුම කියවනවා; තමන්ගේ නම් ඒකේ සඳහන් වෙනවා අහලා ප්‍රිස්කා, අකිලා, ෆීබි සහ තවත් අය සතුටු වෙනවා.

^ 57 ඡේ. පින්තූරයේ අදහස: මහලු වයසේ ඉන්න සහෝදරියකගේ ආදර්ශය අගය කරන්න අම්මා කෙනෙක් එයාගේ දුවට උදව් කරනවා.