Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 9

ඊශ්‍රායෙල් සෙනඟ දෙවියන්ගේ ආදරේ සහ යුක්තිය අද්දැක්කා

ඊශ්‍රායෙල් සෙනඟ දෙවියන්ගේ ආදරේ සහ යුක්තිය අද්දැක්කා

“ඔහු ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රිය කෙනෙකි. යෙහෝවා දෙවිගේ මහත් ප්‍රේමයෙන් පොළොව පිරී ඇත.”—ගීතා. 33:5.

ගීතිකාව 3 ඔබයි අපේ ශක්තිය හා බලාපොරොත්තුව

මේ ලිපියෙන් *

1-2. (අ) අපි හැමෝටම ඕනෙ මොකක්ද? (ආ) අපිට ස්ථිර වෙන්න පුළුවන් මොකක් ගැනද?

අපි හැමෝම ආසයි ආදරේ ලබන්න. අනිත් අය අපිට සාධාරණව සලකනවාටත් අපි කැමතියි. ආදරේ නොලැබෙද්දී, ආයේ ආයේ අසාධාරණකම්වලට මුහුණ දෙද්දී අපිට හිතෙයි අපෙන් වැඩක් නැහැ කියලා. බලාපොරොත්තු අත්හරින්නත් අපි පෙලඹෙයි.

2 ආදරේ ලබන්න, යුක්තිය ඉටු වෙනවා දකින්න අපි කැමතියි කියලා යෙහෝවා දෙවියන් දන්නවා. (ගීතා. 33:5) ඔහු අපිට හුඟක් ආදරෙයි කියලත් අපිට සාධාරණව සලකනවා දකින්න ඔහු කැමතියි කියලත් අපිට සැකයක් නැහැ. දෙවියන් මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල්වරුන්ට දුන්න නීතිය අධ්‍යයනය කරද්දී අපිට ඒක තවත් තහවුරු වෙනවා. අනිත් අයගේ ආදරේ නොලැබුණු නිසා එහෙම නැත්නම් අයුක්තිසහගත දේකට මුහුණ දුන්න නිසා ඔයා ඉන්නේ කියාගන්න බැරි දුකකින්ද? එහෙමනම් දෙවියන් ඔහුගේ සෙනඟ ගැන කොච්චර සැලකිලිමත්ද කියලා මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතියෙන් * පැහැදිලි වෙන විදිහ බලන්න.

3. (අ) රෝම 13:8-10 පැහැදිලි කරන විදිහට මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතිය අධ්‍යයනය කරද්දී අපි ඉගෙනගන්නේ මොනවාද? (ආ) මේ ලිපියෙන් අපි බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

3 මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතිය අධ්‍යයනය කරද්දී යෙහෝවා දෙවියන්ට අපි ගැන හැඟෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්න අපිට පුළුවන්. (රෝම 13:8-10 කියවන්න.) මේ ලිපියෙන් අපි නීති කීපයක් ගැන බලමු. ඒත් එක්කම මේ ප්‍රශ්නවලට උත්තරත් බලමු. නීතිය පදනම් වෙන්නේ ආදරේ මත කියන්නේ ඇයි? නීතිය නිසා යුක්තිය ඉටු වුණා කියන්නේ ඇයි? අධිකාරියක් තිබුණ අය නීතිය කොහොම ක්‍රියාත්මක කරයි කියලාද දෙවියන් බලාපොරොත්තු වුණේ? නීතියෙන් විශේෂ ආරක්ෂාවක් ලැබුණේ කාටද? ඒ ප්‍රශ්නවලට උත්තර දැනගද්දී අපිට ලොකු සහනයක් දැනෙයි. බලාපොරොත්තුවක් ලැබෙයි. අපේ ආදරණීය තාත්තාට අපි තවත් ළං වෙයි.—ක්‍රියා 17:27; රෝම 15:4.

ආදරේ පෙන්නන්නයි නීතිය දුන්නේ

4. (අ) නීතිය පදනම් වෙන්නේ ආදරේ මත කියලා කියන්නේ ඇයි? (ආ) මතෙව් 22:36-40 සඳහන් වෙන විදිහට යේසුස් කාවද්දපු ආඥා මොනවාද?

4 යෙහෝවා දෙවියන් ඕනෙම දෙයක් කරන්නේ ආදරෙන් පෙලඹිලා නිසා මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතිය පදනම් වෙන්නේ ආදරේ මත කියලා කියන්න පුළුවන්. (1 යොහ. 4:8) දෙවියන් ඒ නීතියට ඇතුළත් හැම නීතියක්ම හැදුවේ ප්‍රධාන ආඥා 2ක් මත. ඒ තමයි දෙවියන්ට ආදරේ කරන්න සහ අසල්වැසියන්ට ආදරේ කරන්න කියන ආඥා 2. (ලෙවී. 19:18; ද්වි. 6:5; මතෙව් 22:36-40 කියවන්න.) නීතියට ඇතුළත් හැම නීතියකින්ම දෙවියන්ගේ ආදරේ යම් පැත්තක් දකින්න පුළුවන්. උදාහරණ කීපයක් බලමු.

5-6. විවාහක යුවළකගෙන් දෙවියන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? දෙවියන් දකින්නේ මොකක්ද? උදාහරණයක් දෙන්න.

5 ඔයාගේ සැමියාට, බිරිඳට විශ්වාසවන්තව ඉන්න. දරුවන්ව ආදරෙන් රැකබලා ගන්න. යෙහෝවා දෙවියන්ට ඕනෙ විවාහක යුවළක් හැමදාටම ආදරෙන් ඉන්නවා දකින්නයි. (උත්. 2:24; මතෙ. 19:3-6) අනාචාරය කියන්නේ කෙනෙක් තමන්ගේ සැමියාට, බිරිඳට කරන නපුරුම දේවලින් එකක්. ඒක “දෙවිට විරුද්ධව” කරන පාපයක්. (උත්. 39:7-9) ඒ නිසයි “අනාචාරයේ නොහැසිරෙන්න” කියන ආඥාව ආඥා 10ට දෙවියන් ඇතුළත් කළේ. (ද්වි. 5:18) තමන්ගේ සැමියා හෝ බිරිඳ ද්‍රෝහි වුණාම අවුරුදු ගාණක් යන කල්ම ඒ දුක දැනෙන්න පුළුවන්.

6 විවාහක යුවළක් එකිනෙකාට සලකන විදිහ යෙහෝවා දෙවියන් දකිනවා. ඊශ්‍රායෙල් පුරුෂයන් තමන්ගේ බිරිඳට හොඳින් සලකයි කියලා දෙවියන් බලාපොරොත්තු වුණා. නීතියට ගරු කරපු සැමියෙක් බිරිඳට ආදරෙන් සලකනවා වගේම පොඩි පොඩි හේතු නිසා බිරිඳව දික්කසාද කරන්නේ නැහැ. (ද්වි. 24:1-4; මතෙ. 19:3, 8) ඒත් මොකක් හරි බරපතළ ප්‍රශ්නයක් නිසා බිරිඳව දික්කසාද කරන්න සැමියෙක් තීරණය කළොත් දික්කසාද ලියවිල්ලක් සකස් කරලා ඒක බිරිඳට දෙන්න ඕනේ. ඒ ලියවිල්ල නිසා අනාචාරයේ හැසිරෙනවා කියන බොරු චෝදනාව ඒ බිරිඳට එල්ල කරන්න කාටවත් බැහැ. ඒ වගේම දික්කසාද ලියවිල්ල බිරිඳට දෙන්න කලින් සැමියා නුවරේ වැඩිමහල්ලන් එක්ක ඒ ගැන කතා කරන්න ඕනේ. එතකොට වැඩිමහල්ලන්ට අවස්ථාව ලැබුණා ප්‍රශ්නය විසඳගන්න යුවළට උදව් කරන්න. ඊශ්‍රායෙල් පුරුෂයන් තමන්ගේ වාසිය ගැන හිතලා බිරිඳව දික්කසාද කරපු හැම අවස්ථාවකම දෙවියන් මැදිහත් වුණේ නැහැ. ඒත් ඒකට මුහුණ දීපු බිරිඳ හෙළපු කඳුළු දෙවියන් දැක්කා. ඒ දුක ඔහුටත් දැනුණා.—මලා. 2:13-16.

දරුවන්ට ආදරෙන් දේවල් කියලා දීලා එයාලව ඇතිදැඩි කරද්දී එයාලට සුරක්ෂිත හැඟීමක් ඇති වෙනවා. දෙමාපියන් එහෙම කරයි කියලා දෙවියන් බලාපොරොත්තු වුණා (7-8 ඡේද බලන්න) *

7-8. (අ) යෙහෝවා දෙවියන් දෙමාපියන්ට දුන්න ආඥාව මොකක්ද? (කවරයේ පින්තූරය බලන්න.) (ආ) අපි ඉගෙනගන්න පාඩම් මොනවාද?

7 නීතියෙන් පැහැදිලි වුණ තව දෙයක් තමයි දරුවන් සතුටින්, සුරක්ෂිතව ඉන්න එක දෙවියන් බලාපොරොත්තු වුණා කියන දේ. දරුවන්ට ඕනෙ කරන කෑම බීම, ඇඳුම් පැළදුම් සපයන එක වගේම දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න දරුවන්ට උදව් කරන එක දෙමාපියන්ගේ වගකීමක් කියලා දෙවියන් කියලා තිබුණා. ලැබෙන හැම අවස්ථාවකදීම නීතිය ගැන අගයක් ඇති කරගන්නත් දෙවියන් ගැන ආදරයක් ඇති කරගන්නත් දරුවන්ට උදව් කරන එක දෙමාපියන් කළ යුතු දෙයක් වුණා. (ද්වි. 6:6-9; 7:13) දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට දඬුවම් කරන්න එක හේතුවක් වුණේ එයාලා එයාලගේ දරුවන්ට කෲර විදිහට සලකපු එක. (යෙරෙ. 7:31, 33) දරුවන්ව රැකබලා ගන්න එක සැහැල්ලුවට ගන්නවත් එයාලට කෲර විදිහට සලකන්නවත් දෙමාපියන්ට කිසිම ඉඩක් තිබුණේ නැහැ. එයාලා දරුවන්ව සලකන්න ඕනෙ යෙහෝවා දෙවියන්ගෙන් ලැබුණ උරුමයක් විදිහටයි.—ගීතා. 127:3.

8 පාඩම්: විවාහක යුවළක් එකිනෙකාට සලකන විදිහ යෙහෝවා දෙවියන් දකිනවා. දෙමාපියන් දරුවන්ට ආදරේ කරයි කියලා දෙවියන් බලාපොරොත්තු වෙනවා. දරුවන්ට නපුරු විදිහට සැලකුවොත් දෙමාපියන් ඒ ගැන දෙවියන්ට වග කියන්න ඕනේ.

9-11. තව කෙනෙකුගේ දේකට ආශා නොකරන්න කියන නීතිය දෙවියන් දුන්නේ ඇයි?

9 වෙන කෙනෙකුගේ දේකට ආශා කරන්න එපා. ඒක ආඥා දහයෙන් අන්තිම ආඥාව. (ද්වි. 5:21; රෝම 7:7) දෙවියන් ඒ නීතිය දුන්නේ ඔහුගේ සෙනඟ එයාලගේ සිත ආරක්ෂා කරගන්න ඕනෙ කියන පාඩම කියලා දෙන්නයි. ඒ කියන්නේ එයාලා එයාලගේ සිතුවිලි, හැඟීම් ගැන සැලකිලිමත්ව ඉන්න ඕනේ. නපුරු ක්‍රියාවකට හේතු වෙන්නේ නපුරු සිතුවිලි කියලා දෙවියන් දන්නවා. (හිතෝ. 4:23) ඊශ්‍රායෙල්වරයෙක් එයාගේ හිතේ වැරදි ආශාවන්ට වැඩෙන්න ඉඩ දුන්නොත් එයා දේවල් කරන්නේ එයා ගැන හිතලා විතරයි. දාවිත්ට ඒ දේ වුණා. එක අවස්ථාවක එයා වෙන කෙනෙකුගේ බිරිඳ ගැන ආශාවක් ඇති කරගත්තා. ඒ ආශාව නිසා එයා අතින් ලොකු වරදක් වුණා. (යාකො. 1:14, 15) එයා අනාචාරයේ යෙදුණා විතරක් නෙමෙයි ඒ ස්ත්‍රියගේ සැමියාව රවට්ටන්න හැදුවා. අන්තිමේදී එයාව මරන්න කුමන්ත්‍රණය කළා.—2 සාමු. 11:2-4; 12:7-11.

10 ඊශ්‍රායෙල්වරයෙක් තමන්ට අයිති නැති දේකට ආශාවක් ඇති කරගද්දී දෙවියන් ඒක දැක්කා. මොකද මිනිසුන්ගේ හිතේ තියෙන දේ පවා දෙවියන් දකිනවා. (1 ලේක. 28:9) අනිත් අයගේ දේවලට ආශා කරන්න එපා කියන නීතියෙන් සෙනඟට මතක් කළා නරක ක්‍රියාවකට මඟ පාදන සිතුවිලි එයාලා හිතෙන් අයින් කරගන්න ඕනෙ කියන දේ. යෙහෝවා දෙවියන් මොන තරම් ප්‍රඥාවන්ත, ආදරණීය පියෙක්ද!

11 පාඩම්: යෙහෝවා දෙවියන් අපි ඇතුළාන්තයෙන්ම මොන වගේ අයද කියලා දකිනවා. (1 සාමු. 16:7) කිසිම සිතුවිල්ලක්, හැඟීමක්, ක්‍රියාවක් ඔහුගෙන් සඟවන්න අපිට බැහැ. දෙවියන් අපි දිහා බලන්නේ අපේ නරක අල්ලන අරමුණෙන් නෙමෙයි. ඔහු බලන්නේ අපේ හොඳ පැති දිහා. ඒත් ඔහු කැමතියි අපි තුළ තියෙන වැරදි සිතුවිලි හඳුනගෙන අපි ඒවා පාලනය කරගන්නවා දකින්න. මොකද එහෙම කළේ නැත්නම් අපි අතින් වැරදි දෙයක් වෙන්න පුළුවන්.—2 ලේක. 16:9; මතෙ. 5:27-30.

නීතිය නිසා යුක්තිය ඉටු වුණා

12. නීතියෙන් කාවැද්දුවේ මොකක්ද?

12 යෙහෝවා දෙවියන් යුක්තියට ප්‍රිය කරන දෙවි කෙනෙක් කියන දේත් නීතියෙන් කාවැද්දුවා. (ගීතා. 37:28; යෙසා. 61:8) ඊශ්‍රායෙල්වරු දෙවියන් දුන්න නීතියට කීකරු වෙද්දී ඔහු එයාලට ආශිර්වාද කළා. ඒත් එයාලා දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිති ගණන් ගන්නේ නැතුව වැඩ කරද්දී එයාලට දුක් විඳින්න වුණා. ආඥා දහයට ඇතුළත් තවත් ආඥා දෙකක් ගැන බලන්න.

13-14. මුල් ආඥා දෙකෙන් බලාපොරොත්තු වුණේ මොකක්ද? ඒ ආඥා දෙකට කීකරු වෙන එක ඊශ්‍රායෙල්වරුන්ට ප්‍රයෝජනවත් වුණේ කොහොමද?

13 යෙහෝවා දෙවියන්ට විතරක් නමස්කාර කරන්න. ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවියන්ට විතරක් නමස්කාර කරයි කියලත් රූපවලට නමස්කාර නොකරයි කියලත් ආඥා දහයට ඇතුළත් 1වෙනි සහ 2වෙනි ආඥාවලින් දෙවියන් බලාපොරොත්තු වුණා. (නික්. 20:3-6) ඊශ්‍රායෙල්වරු ඒ ආඥා පිළිපදිද්දී ඒකෙන් ප්‍රයෝජන ලැබුණේ දෙවියන්ට නෙමෙයි එයාලටමයි. දෙවියන්ට ළැදිව ඉද්දී එයාලා තෘප්තිමත් ජීවිත ගත කළා. ඒත් වෙනත් ජාතීන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරද්දී එයාලා හුඟක් ප්‍රශ්න අද්දැක්කා.

14 කානානිවරු කියන්නේ රූපවලට නමස්කාර කරපු ජාතියක්. ඒකෙන් එයාලා එයාලවම නින්දාවට පත් කරගත්තා. (ගීතා. 115:4-8) එයාලගේ නමස්කාරයට පිළිකුල්සහගත ලිංගික ක්‍රියාවන්, දරුවන්ව පූජාවන් හැටියට ඔප්පු කරන එක ඇතුළත් වුණා. ඊශ්‍රායෙල්වරු දෙවියන්ගේ ආඥා අමතක කරලා කානානිවරු වගේ රූපවලට නමස්කාර කරන්න පටන්ගත්තාම එයාලත් කානානිවරුන්ගේ තත්වයටම පත් වුණා. එයාලගේ පවුල්වල අයට දරුණු විදිහට සලකන්න පටන්ගත්තා. (2 ලේක. 28:1-4) අධිකාරියක් තිබුණ අය තමන්ගේ අධිකාරිය අයුතු විදිහට පාවිච්චි කළා. අසරණ, දුර්වල අයව පාගලා දැම්මා. (එස. 34:1-4) යෙහෝවා දෙවියන් කියලා තිබුණා අසරණ කාන්තාවන්ට, දරුවන්ට හිරිහැරි කරන අයට දඬුවම් කරනවා කියලා. (ද්වි. 10:17, 18; 27:19) ඒත් ඊශ්‍රායෙල්වරු දෙවියන්ට ළැදිව ඉද්දී, එකිනෙකාට සාධාරණව සලකද්දී දෙවියන් එයාලට ආශීර්වාද කළා.—1 රාජා. 10:4-9.

යෙහෝවා දෙවියන් අපිට ආදරෙයි. අපි අයුක්තියකට මුහුණ දෙද්දී ඔහු ඒක දකිනවා (15 ඡේදය බලන්න)

15. යෙහෝවා දෙවියන් ගැන අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

15 පාඩම්: නමට දෙවියන්ගේ සේවකයන් කියලා කියන අය ඔහුගේ ප්‍රමිති කඩලා අනිත් අයට හානියක් වෙන විදිහට වැඩ කරද්දී ඒකට දෙවියන්ට දොස් කියන්න බැහැ. දෙවියන් අපිට හුඟක් ආදරෙයි. අපි අසාධාරණයකට මුහුණ දෙද්දී ඔහු ඒ ගැන දන්නවා. අම්මා කෙනෙක් එයාගේ දරුවාගේ වේදනාව තේරුම්ගන්නවාට වඩා දෙවියන්ට අපේ වේදනාව තේරෙනවා. (යෙසා. 49:15) ඔහු ඒ වෙලාවෙම මැදිහත් වෙලා යමක් කළේ නැතත් අනිත් අයට නපුරු විදිහට සලකපු, ඒ ගැන පසුතැවිලි නොවෙන අයට නියමිත කාලේදී දෙවියන් දඬුවම් කරනවා.

නීතියෙන් දෙවියන් බලාපොරොත්තු වුණ දේ

16-18. මෝසෙස්ට දුන්න නීතිය ජීවිතේ මොන පැතිවලටද අදාළ වුණේ?

16 ඊශ්‍රායෙල්වරු එදිනෙදා මුහුණ දීපු හුඟක් කාරණාවලට අදාළ වුණ නීති මෝසෙස්ට දුන්න නීතියේ තිබුණා. ඒ නිසා වැඩිමහල්ලන් නඩු විභාග කරද්දී ධර්මිෂ්ඨ විනිශ්චයන් දෙයි කියලා දෙවියන් බලාපොරොත්තු වුණා. නමස්කාරයට සම්බන්ධ කාරණා හසුරුවන එක විතරක් නෙමෙයි සෙනඟ අතරේ සිද්ධ වුණ ආරවුල්, අපරාධ විනිශ්චය කරන වගකීම තිබුණේ ඒ වැඩිමහල්ලන්ට. මේ උදාහරණ බලන්න.

17 ඊශ්‍රායෙල්වරයෙක් අතින් කවුරු හරි මැරුණොත් කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව එයාට මරණ දඬුවම දුන්නේ නැහැ. දඬුවම නියම කරන්න කලින් නගරේ වැඩිමහල්ලන් ඒ සිද්ධියට සම්බන්ධ හැම දෙයක්ම හොයලා බැලුවා. (ද්වි. 19:2-7, 11-13) එදිනෙදා ජීවිතේට සම්බන්ධ හුඟක් දේවලුත් වැඩිමහල්ලන් විනිශ්චය කළා. උදහරණෙකට ඉඩම් හබ, විවාහ ජීවිතේ ඇති වුණ ප්‍රශ්න එයාලා විසඳුවා. (නික්. 21:35; ද්වි. 22:13-19) වැඩිමහල්ලන් සාධාරණ විදිහට විනිශ්චයන් කරද්දී, ඊශ්‍රායෙල්වරු නීතියට කීකරු වෙද්දී ඒකෙන් හැමෝම ප්‍රයෝජන ලැබුවා වගේම යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් වුණා.—ලෙවී. 20:7, 8; යෙසා. 48:17, 18.

18 පාඩම්: අපේ ජීවිතේ හැම පැත්තක් ගැනම යෙහෝවා දෙවියන් සැලකිලිමත් වෙනවා. අනිත් අයට අපි ආදරෙන්, සාධාරණව සලකයි කියලා ඔහු බලාපොරොත්තු වෙනවා. අපි තනියෙන් ඉද්දී වුණත් අපි කරන කියන දේවල් ඔහු දකිනවා.—හෙබ්‍රෙ. 4:13.

19-21. (අ) වැඩිමහල්ලන් සහ විනිශ්චයකරුවන් දෙවියන්ගේ සෙනඟට සලකන්න ඕනෙ වුණේ කොහොමද? (ආ) නීතිය සෙනඟට ආරක්ෂාවක් ලබා දුන්නේ කොහොමද? අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවාද?

19 ඊශ්‍රායෙල්වරුන් වට වෙලා හිටියේ අයුක්තියට ඉඩ දුන්න ජාතීන්ගෙන්. ඒ බලපෑමට ඊශ්‍රායෙල්වරු අහු වෙනවා දකින්න දෙවියන් කැමති වුණේ නැහැ. ඒ නිසයි වැඩිමහල්ලන්ට සහ විනිශ්චයකරුවන්ට ප්‍රශ්න විසඳද්දී පැති නොගෙන නීතිය හැමෝටම එක විදිහට අදාළ කරගන්න කියලා දෙවියන් කිව්වේ. ඒත් සෙනඟට දරදඬු, නපුරු විදිහට සලකන්න එයාලට කිසිම ඉඩක් නැහැ කියලත් දෙවියන් කිව්වා.—ද්වි. 1:13-17; 16:18-20.

20 යෙහෝවා දෙවියන්ට ඔහුගේ සෙනඟ ගැන තියෙන්නේ ලොකු අනුකම්පාවක්. ඒ නිසා කෙනෙක්ට අසාධාරණයක් වෙන එක වළක්වන්න දෙවියන් නීති දීලා තිබුණා. උදාහරණෙකට අපරාධයක් කළා කියලා කෙනෙක්ට බොරු චෝදනාවක් එල්ල කරන්න තිබුණ ඉඩකඩ නීතිය නිසා සීමා වුණා. කෙනෙක් චෝදනාවක් කරනවා නම් විත්තිකරුට අයිතිය තිබුණා තමන්ට චෝදනා කරන්නේ කවුද කියලා දැනගන්න. (ද්වි. 19:16-19; 25:1) ඒ වගේම කෙනෙක් වරදකරු කියලා තීන්දු කරන්න නම් එයා කරපු වරද ගැන අඩුම තරමේ සාක්ෂිකරුවන් දෙන්නෙක්වත් සාක්ෂි දෙන්න ඕනේ. (ද්වි. 17:6; 19:15) කෙනෙක් කරපු වරද දැක්කේ එක් කෙනෙක් විතරයි නම් එයාට වරදෙන් බේරෙන්න පුළුවන්ද? බැහැ. මොකද එයා කරපු වරද දෙවියන් දැක්කා. පවුලක් තුළ යම් ප්‍රශ්න ඇති වුණාම ඒක විසඳන්න තාත්තාට අධිකාරියක් තිබුණා. හැබැයි පවුලේ ඇති වුණ සමහර ආරවුල්වලදී මැදිහත් වෙලා අවසන් තීරණය දෙන වගකීම තිබුණේ නගරේ හිටපු වැඩිමහල්ලන්ට.—ද්වි. 21:18-21.

21 පාඩම්: යෙහෝවා දෙවියන් කවදාවත් අසාධාරණයක් කරන්නේ නැහැ. (ගීතා. 89:14) ඔහුගේ ප්‍රමිතිවලට කීකරු වෙන අයට ඔහු ආශීර්වාද කරනවා. ඒත් කෙනෙක්ට තියෙන අධිකාරිය එයා අයුතු විදිහට පාවිච්චි කරනවා නම් දෙවියන් එයාට දඬුවම් කරනවා. (2 සාමු. 22:21-23; එස. 9:9, 10) නපුරු දේවල් කරන සමහරුන් දඬුවමෙන් බේරුණා වගේ පෙනෙයි. ඒත් සුදුසු වෙලාවේදී දෙවියන් එයාලගේ වැරදි හෙළි කරනවා. (හිතෝ. 28:13) එයාලා පසුතැවිලි වුණේ නැත්නම් “ජීවමාන දෙවිගේ අතින් දඬුවම් ලැබීම මොන තරම් දරුණු දෙයක්ද” කියලා එයාලා දැනගනියි.—හෙබ්‍රෙ. 10:30, 31.

නීතිය විශේෂයෙන්ම ආරක්ෂා කළේ කාවද?

යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟට ආදරෙන්, සාධාරණව සලකන විදිහ ප්‍රශ්න විසඳද්දී වැඩිමහල්ලන් ආදර්ශයට ගන්න ඕනේ (22 ඡේදය බලන්න) *

22-24. (අ) නීතිය විශේෂයෙන්ම ආරක්ෂා කළේ කාවද? යෙහෝවා දෙවියන් ගැන අපි ඉගෙනගන්නේ මොනවාද? (ආ) නික්මයාම 22:22-24 සඳහන් වෙන අනතුරු ඇඟවීම මොකක්ද?

22 නීතිය මාර්ගයෙන් විශේෂයෙන්ම අනාථ දරුවන්ට, වැන්දඹුවන්ට සහ විදේශිකයන්ට ආරක්ෂාව ලැබුණා. ඊශ්‍රායෙලයේ හිටපු විනිශ්චයකරුවන්ට දෙවියන් මෙහෙම කිව්වා. “ඔබ අතරේ සිටින විදේශිකයෙකුටවත් පියා නැති දරුවෙකුටවත් කිසිම අසාධාරණයක් නොකරන්න. වැන්දඹුවකගේ වස්ත්‍රයක් ඇපයට නොගන්න.” (ද්වි. 24:17) කිසි හව්හරණක් නැති අය ගැන යෙහෝවා දෙවියන් ගොඩක් සැලකිලිමත් වුණා. එයාලට හිරිහැර කරපු අයට දෙවියන් දඬුවම් කළා.—නික්මයාම 22:22-24 කියවන්න.

23 පවුලේ අය එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන එක නීතියෙන් තහනම් කරලා තිබුණා. ඒ නිසා ලිංගික අපචාරයට ගොදුරු වෙන එකෙන් පවුලේ අය ආරක්ෂා වුණා. (ලෙවී. 18:6-30) අවට හිටපු ජාතීන් අතර ඒ වගේ දෙයක් වුණාම ඒක එච්චර බරපතළ දෙයක් විදිහට සැලකුවේ නැහැ. ඒත් යෙහෝවා දෙවියන්ගේ සෙනඟ ඒ දිහා බලන්න ඕනෙ වුණේ දෙවියන් ඒ දිහා බලන විදිහටයි. දෙවියන් ඒක සැලකුවේ පිළිකුල්සහගත ක්‍රියාවක් විදිහට.

24 පාඩම්: යෙහෝවා දෙවියන් තමන්ගේ සෙනඟව බලාගන්න පත් කරලා ඉන්න අය එයාලගේ රැකවරණයේ ඉන්න හැම කෙනෙක්වම ආදරෙන් රැකබලා ගනියි කියලා දෙවියන් බලාපොරොත්තු වෙනවා. ලිංගික අපචාරය ඔහු පිළිකුල් කරනවා. හැමෝටම, විශේෂයෙන්ම කිසි හව්හරණක් නැති අසරණ අයට ආරක්ෂාව ලබා දෙන්නයි දෙවියන්ට ඕනේ. එයාලට හිරිහැර කරන අයට සිද්ධ වෙනවා ඒ ගැන දෙවියන්ට වග කියන්න.

නීතිය සැබෑ දෙයෙහි ඡායාවක් පමණි

25-26. (අ) ආදරයයි, යුක්තියයි එකකට එකක් නැතුවම බැරි ගතිලක්ෂණ දෙකක් කියන්නේ ඇයි? (ආ) මේ ලිපි මාලාවේ ඊළඟ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

25 ආදරයයි, යුක්තියයි කියන්නේ එකකට එකක් නැතුවම බැරි ගතිලක්ෂණ දෙකක්. හරියට ජීවිතයයි, හුස්මයි වගේ. දෙවියන් අපිට කවදාවත් අයුක්තියක් කරන්නේ නැහැ කියලා ස්ථිර වෙද්දී ඔහු ගැන අපිට තියෙන ආදරේ තව වැඩි වෙනවා. අපි දෙවියන්ට ආදරේ කරද්දී, ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ඇලුම් කරද්දී අනිත් අයට ආදරෙන්, සාධාරණව සලකන්න අපි පෙලඹෙනවා.

26 නීතිය මාර්ගයෙන් ඇති කරගත්ත ගිවිසුම ඊශ්‍රායෙල්වරුන්ට උදව් කළා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න. ඒත් යේසුස් ඔහුගේ ජීවිතේ පූජා කළාට පස්සේ මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතිය අවලංගු වුණා. ඊට වඩා උසස් දෙයක් ඒකේ තැන ගත්තා. (රෝම 10:4) ඒ නිසයි පාවුල් නීතිය ගැන මෙහෙම කිව්වේ. ‘නීතිය සැබෑ දෙයෙහි ඡායාවක් පමණි. එය අපට දෙනු ලැබුවේ ඉදිරියේදී පැමිණෙන වඩාත් හොඳ දේවල් පිළිබඳ යම් අදහසක් අපට ලබා දීම සඳහාය.’ (හෙබ්‍රෙ. 10:1) ඒ වඩා හොඳ දේවල් කීපයක් ගැන මේ ලිපි මාලාවේ ඊළඟ ලිපියෙන් කතා කරනවා. ඒ වගේම ක්‍රිස්තියානි සභාවේදී ආදරේ සහ යුක්තිය අද්දකින එක කොයි තරම් වැදගත්ද කියලත් අපි බලමු.

ගීතිකාව 109 හද පත්ලෙන් නැඟෙනා ප්‍රේමය

^ 5 ඡේ. යෙහෝවා දෙවියන් අපි ගැන සැලකිලිමත් කියන දේ ගැන අපිට නිසැක වෙන්න පුළුවන් ඇයි කියලා විස්තර කරන ලිපි 4ක් ඇතුළත් ලිපි මාලාවක 1වෙනි ලිපිය මේකයි. අනිත් ලිපි තුන 2019 මැයි ‘මුරටැඹ’ කලාපයේ පළ වෙනවා. ඒ ලිපිවල ක්‍රිස්තියානි සභාවේදී දෙවියන්ගේ ආදරේ සහ යුක්තිය අද්දකින්න පුළුවන් විදි ගැන කතා කරනවා. ඒ වගේම වැඩිමහල්ලන් සභාව ආරක්ෂා කරගන්න කරන දේවල් ගැනත් ලිංගික අපචාරයෙන් දරුවන්ව ආරක්ෂා කරගන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද කියලත් තව ලිපියක කතා කරනවා. අන්තිම ලිපියෙන් ලිංගික අපචාරයට ගොදුරු වුණු අයට සහනයක් වෙන්න අපිට පුළුවන් කොහොමද කියලා බලනවා.

^ 2 ඡේ. පැහැදිලි කිරීමක්: දෙවියන් මෝසෙස් මාර්ගයෙන් නීති 600කට වඩා ඇතුළත් නීති මාලාවක් ඊශ්‍රායෙල්වරුන්ට දුන්නා. “නීතිය,” “මෝසෙස් මාර්ගයෙන් දුන් නීතිය,” “ආඥා,” විදිහට හඳුන්වලා තියෙන්නේ ඒ නීති මාලාවයි. ඊට අමතරව බයිබලේ මුල් පොත් පහත් (උත්පත්ති සිට ද්විතීය කතාව) නීතිය විදිහට හඳුන්වලා තියෙනවා. සමහර වෙලාවලදී හෙබ්‍රෙව් ලියවිල්ල හඳුන්වන්නත් නීතිය කියන වචනය පාවිච්චි කරනවා.

^ 60 ඡේ. පින්තූරයේ අදහස: කෑම පිළියෙල කරන ගමන් ඊශ්‍රායෙල් මවක් දුවලත් එක්ක කතාබහ කරනවා. තාත්තා බැටළුවන්ව බලාගන්න පුතාට කියලා දෙන විදිහ පසුබිමේ පේනවා.

^ 64 ඡේ. පින්තූරයේ අදහස: නුවරේ දොරටු ළඟ ඉන්න වැඩිමහල්ලන් වෙළෙන්දෙකුගේ වංචාවට ලක් වුණ වැන්දඹුවකට සහ එයාගේ පුතාට උදව් කරනවා.