Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 12

අනිත් අයගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙන්න

අනිත් අයගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙන්න

‘සියලුදෙනාම එකිනෙකාට අනුකම්පාව පෙන්වමින් ක්‍රියා කරන්න.’—1 පේතෘ. 3:8.

ගීතිකාව 90 එකිනෙකාව දිරිගන්වමු

මේ ලිපියෙන් *

1. අපේ හැඟීම් ගැන සැලකිලිමත් වෙන අය එක්ක ඉන්න අපි කැමති ඇයි කියලා 1 පේතෘස් 3:8න් පැහැදිලි වෙන්නේ කොහොමද?

අපේ හැඟීම් ගැන සැලකිලිමත් වෙන, අපේ යහපත ගැන හිතන අය එක්ක ඉද්දී අපිට දැනෙන්නේ සතුටක්. ඒ වගේ අය අපි ඉන්න තත්වයට බැහැලා අපි හිතන විදිහ, අපිට හැඟෙන විදිහ තේරුම්ගන්න උත්සාහ කරනවා. අපේ අවශ්‍යතාවන් තේරුම් අරන් අපි උදව් ඉල්ලන්නත් කලින් අපිට උදව් කරන්න එයාලා ඉදිරිපත් වෙනවා. “එකිනෙකාට අනුකම්පාව පෙන්නන” * අයව අපි හුඟක් අගය කරනවා.—1 පේතෘස් 3:8 කියවන්න.

2. එකිනෙකාට අනුකම්පාවෙන් සලකන එක අපිට අභියෝගයක් වෙන්න පුළුවන් ඇයි?

2 ක්‍රිස්තියානීන් විදිහට අපිට ඕනෙ එකිනෙකාට අනුකම්පාව පෙන්නන්න. ඒත් ඒක හැම වෙලේම ලේසි දෙයක් නෙමෙයි. ඒ ඇයි? අපි හැමෝටම පාපය උරුම වෙලා තියෙන එක ඒකට එක හේතුවක්. (රෝම 3:23) ඒ නිසා ගොඩක් වෙලාවට අපි පෙලඹෙන්නේ ආත්මාර්ථකාමී විදිහට වැඩ කරන්න. ඒ වගේම හැදුණු වැඩුණු පසුබිම නිසාත් ජීවිතේ මුහුණ දුන්න සමහර අද්දැකීම් නිසාත් අපෙන් සමහරුන්ට අනිත් අය ගැන අනුකම්පාවක් දැනෙන්නේ නැහැ. 3වෙනි හේතුව තමයි අපි ජීවත් වෙන මේ දුෂ්ට සමාජයේ බලපෑම. මේ අවසාන කාලේ ඉන්න හුඟදෙනෙක්ට අනිත් අයගේ හැඟීම් ගැන කිසිම සැලකිල්ලක් නැහැ. එයාලා හිතන්නේ ‘තමන් ගැන විතරයි.’ (2 තිමෝ. 3:1, 2) ඒ අභියෝග ජය අරන් අනිත් අයට අනුකම්පාවෙන් සලකන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

3. (අ) තව හොඳින් අනිත් අයට අනුකම්පාව පෙන්නන්න අපිට පුළුවන් කොහොමද? (ආ) මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

3 අපි යෙහෝවා දෙවියන්ව සහ යේසුස්ව ආදර්ශයට ගන්නවා නම් තව හොඳින් අනිත් අයට අනුකම්පාව පෙන්නන්න අපිට පුළුවන්. යෙහෝවා දෙවියන් හැම දෙයක්ම කරන්නේ ආදරේ නිසයි. අනිත් අය ගැන සැලකිලිමත් වෙන එක සම්බන්ධයෙන් හොඳම ආදර්ශය තියන්නේ ඔහුයි. (1 යොහ. 4:8) යේසුස් යෙහෝවා දෙවියන්ව 100%ක්ම ආදර්ශයට ගත්තා. (යොහ. 14:9) ඔහු පොළොවේ ඉද්දී පෙන්නලා දුන්නා එකිනෙකාට අනුකම්පාවෙන් සලකන්න පුළුවන් කොහොමද කියලා. මුලින්ම බලමු යෙහෝවා දෙවියන් සහ යේසුස් අනිත් අයගේ හැඟීම් ගැන සැලකිලිමත් වුණේ කොහොමද කියලා. ඊටපස්සේ ඒ දෙන්නාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද කියලා බලමු.

යෙහෝවා දෙවියන්ගේ ආදර්ශය

4. යෙහෝවා දෙවියන් ඔහුගේ සේවකයන්ගේ හැඟීම් ගැන සැලකිලිමත් කියලා යෙසායා 63:7-9න් පැහැදිලි වෙන්නේ කොහොමද?

4 යෙහෝවා දෙවියන් ඔහුගේ සේවකයන්ගේ හැඟීම් ගැන හුඟක් සැලකිලිමත්. උදාහරණෙකට ඊශ්‍රායෙල්වරු දුක් විඳිද්දී ඔහුට හැඟුණු විදිහ ගැන බයිබලේ මෙහෙම කියනවා. “ඔවුන් වින්ද සෑම දුකක්ම ඔහුටත් දැනුණා.” (යෙසායා 63:7-9 කියවන්න.) දෙවියන්ගේ සෙනඟට කවුරු හරි කුරිරු විදිහට සලකද්දී ඒ ගැන ඔහුට හැඟෙන්නේ කොහොමද? අනාගතවක්තෘ සෙකරියා මාර්ගයෙන් දෙවියන් මෙහෙම කිව්වා. “යමෙක් ඔබට හිරිහැර කළොත් මා එය සලකන්නේ මාගේ ඇසේ කලු ඉංගිරියාවට අත ගසන්නාක් මෙනි.”—සෙක. 2:8.

ඊජිප්තුවේ වහලුන් වෙලා හිටපු ඊශ්‍රායෙල්වරුන් ගැන දැනුණ අනුකම්පාව නිසා යෙහෝවා දෙවියන් එයාලව බේරගත්තා (5 ඡේදය බලන්න)

5. පීඩා විඳින තමන්ගේ සේවකයන්ට යෙහෝවා දෙවියන් උදව් කරපු අවස්ථාවක් ගැන කියන්න.

5 දුක් විඳින ඔහුගේ සේවකයන් ගැන දෙවියන්ට අනුකම්පාවක් දැනෙනවා විතරක් නෙමෙයි එයාලට උදව් කරන්න ඔහු පියවර ගන්නවා. උදාහරණෙකට ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවේ වහලුන් විදිහට දුක් විඳිද්දී යෙහෝවා දෙවියන්ට එයාලගේ දුක දැනුණා වගේම එයාලා වෙනුවෙන් යමක් කරන්නත් ඔහු පෙලඹුණා. දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. ‘මාගේ සෙනඟ විඳින දුක් ගැහැට මම දුටුවෙමි. ඔවුන් අඬමින් කරන කන්නලව් මට ඇසිණ. ඔවුන් විඳින වේදනාව මට තේරුම්ගත හැකියි. ඒ නිසා මම ඔවුන්ව ඊජිප්තුවරුන්ගේ අතින් ගලවාගන්නෙමි.’ (නික්. 3:7, 8) ඊට සියවස් ගාණකට පස්සේ එයාලා පොරොන්දු දේශයේ ඉද්දී අවට ජාතීන්ගෙන් එයාලට ප්‍රහාර එල්ල වුණා. “සෙනඟ සතුරන් අතින් බොහෝ පීඩා විඳිමින් කන්නලව් කරන විට යෙහෝවා දෙවිට ඔවුන් ගැන මහත් දුකක් ඇති වුණා.” ඒ නිසා ඔහු විනිශ්චයකරුවන් මාර්ගයෙන් සතුරන් අතින් එයාලව බේරගත්තා.—විනි. 2:16, 18.

6. දෙවියන් හිතන විදිහට හිතන්න අපොහොසත් වුණ කෙනෙක් ගැන දෙවියන් සැලකිලිමත් වුණා කියලා පැහැදිලි වෙන්නේ මොන සිද්ධියෙන්ද?

6 සමහර වෙලාවලදී දෙවියන්ගේ සේවකයන් දෙවියන් හිතන විදිහට හිතන්න අපොහොසත් වෙන අවස්ථාවන් තියෙනවා. ඒ වුණත් දෙවියන් එයාලගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙන එක නතර කරන්නේ නැහැ. යෝනා ගැන හිතන්න. නිනිවයේ වැසියන්ට විනිශ්චය පණිවිඩයක් කියන්න කියලා දෙවියන් එයාට කිව්වා. ඒ නගරයේ අය පසුතැවිලි වුණ නිසා දෙවියන් තීරණය කළා එයාලට සමාව දෙන්න. ඒත් ඒ ගැන යෝනා සතුටු වුණේ නැහැ. එයාලා විනාශ වෙනවා කියලා යෝනා කියපු අනාවැකිය ඉටු වුණේ නැති නිසා එයා “බොහෝ සෙයින් කෝප වුණා.” ඒත් යෙහෝවා දෙවියන් හරිම ඉවසීමෙන් යෝනාට උදව් කළා එයා හිතපු විදිහ නිවැරදි කරගන්න. (යෝනා 3:10–4:11) පස්සේ දෙවියන් උගන්වන්න හදපු පාඩම යෝනා තේරුම්ගත්තා. එයා මුහුණ දුන්න අද්දැකීම අපේ ප්‍රයෝජනය සඳහා වාර්තා කරන්න දෙවියන් යෝනාට අවස්ථාව දුන්නා.—රෝම 15:4. *

7. දෙවියන් ඔහුගේ සෙනඟ එක්ක ක්‍රියා කරපු විදිහෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද?

7 යෙහෝවා දෙවියන්ට ඔහුගේ සේවකයන් ගැන ලොකු අනුකම්පාවක් තියෙනවා කියලා ඔහුගේ සෙනඟ එක්ක ඔහු ක්‍රියා කරපු විදිහෙන් පැහැදිලියි. අපි එක් එක් කෙනා අද්දකින වේදනාව දෙවියන් දකිනවා. (2 ලේක. 6:30) අපේ ඇතුළාන්ත හැඟීම් පවා ඔහු දන්නවා. අපේ සීමාවන් ගැනත් ඔහු දන්නවා. දෙවියන් කවදාවත් ‘පීඩාවලින් අපිව සම්පූර්ණයෙන්ම යටපත් වෙලා යන්න ඉඩ දෙන්නේ නැහැ.’ (1 කොරි. 10:13) ඒක අපිට මොන තරම් සහනයක්ද!

යේසුස්ගේ ආදර්ශය

8-10. අනිත් අය ගැන සැලකිලිමත් වෙන්න යේසුස්ට උදව් වෙන්න ඇත්තේ මොන වගේ දේවල්ද?

8 යේසුස් පොළොවේ ඉද්දී අනිත් අය ගැන ලොකු සැලකිල්ලක් පෙන්නුවා. ඔහුට ඒ වගේ සැලකිල්ලක් පෙන්නන්න අඩුම තරමේ දේවල් 3ක්වත් උදව් වෙන්න ඇති. (1) කලින් කිව්වා වගේ යේසුස් ඔහුගේ ආදරණීය තාත්තාව 100%ක්ම ආදර්ශයට ගත්තා. යේසුත් මිනිසුන්ට ආදරේ කළා. යෙහෝවා දෙවියන් නිර්මාණය කරපු හැම දෙයක් ගැනම යේසුස් සතුටු වුණත් ඔහු “බොහෝ සෙයින් ප්‍රිය කළේ මනුෂ්‍ය පුත්‍රයන්ටයි.” (හිතෝ. 8:31) මිනිසුන් ගැන ඔහුට තිබුණ ආදරේ නිසයි එයාලගේ හැඟීම් ගැන ඔහු සැලකිලිමත් වුණේ.

9 (2) යෙහෝවා දෙවියන්ට වගේ යේසුස්ටත් පුළුවන් මිනිසුන්ගේ හිතේ තියෙන දේ දැනගන්න. මිනිසුන්ගේ හිතේ තියෙන චේතනා, හැඟීම් ඔහු තේරුම්ගත්තා. (මතෙ. 9:4; යොහ. 13:10, 11) එයාලා හිතේ වේදනාවෙන් ඉද්දී යේසුස් එයාලා ගැන සැලකිලිමත් වෙලා එයාලව සැනසුවේ ඒ නිසයි.—යෙසා. 61:1, 2; ලූක් 4:17-21.

10 (3) මිනිසුන් මුහුණ දුන්න සමහර දුෂ්කර දේවල් යේසුත් අද්දැක්කා. උදාහරණෙකට ඔහු හැදී වැඩුණේ දුප්පත් පවුලක. ඔහු වඩු වැඩ කරපු නිසා කය වෙහෙසලා වැඩ කරන එක කොච්චර අමාරුද කියලා යේසුස් දැනන් හිටියා. (මතෙ. 13:55; මාක් 6:3) පේන විදිහට යේසුස් ඔහුගේ සේවය පටන්ගන්න කාලේ වෙද්දී යෝසෙප් මිය ගිහින්. තමන් ආදරේ කරන කෙනෙක් මැරුණාම දැනෙන දුක යේසුත් අද්දැක්කා. පවුලේ සමහරුන්ගේ ආගමික විශ්වාසයන් වෙනස් වෙද්දී ඇති වෙන අභියෝගවලට යේසුත් මුහුණ දුන්නා. (යොහ. 7:5) ඔහු මුහුණ දීපු ඒ වගේ දේවල් නිසා මිනිසුන් සාමාන්‍යයෙන් අද්දකින අභියෝග, එහෙම වෙලාවලදී එයාලට හැඟෙන විදිහ තේරුම්ගන්න යේසුස්ට පුළුවන් වුණා.

යේසුස්ට බිහිරි මිනිසා ගැන දැනුණ අනුකම්පාව නිසා එයාව සෙනඟගෙන් ටිකක් ඈතට එක්කගෙන ගිහින් සුව කරනවා (11 ඡේදය බලන්න)

11. යේසුස්ට අනිත් අය ගැන තිබුණ සැලකිල්ල විශේෂයෙන්ම පැහැදිලි වුණේ මොන අවස්ථාවලදීද? පැහැදිලි කරන්න. (කවරයේ පින්තූරය බලන්න.)

11 යේසුස් අනිත් අය ගැන කොච්චර සැලකිලිමත් වුණාද කියලා විශේෂයෙන්ම ඔහු ආශ්චර්යයන් කරපු අවස්ථාවලදී පැහැදිලි වුණා. ඔහු ඒවා කළේ දුක් විඳින මිනිසුන් ගැන ඔහුගේ හිතේ “මහත් අනුකම්පාවක් ඇති” වුණ නිසයි. නැතුව නිකම්ම ඒවා කරන්න ඕනෙ නිසා නෙමෙයි. (මතෙ. 20:29-34; මාක් 1:40-42) උදාහරණෙකට බිහිරි මිනිසාව සුව කරන්න කලින් යේසුස් එයාව මිනිසුන්ගෙන් ටිකක් ඈතට අරන් ගියේ එයාගේ හැඟීම් තේරුම්ගත්ත නිසා නෙමෙයිද? වැන්දඹුවගේ එකම පුතාව නැවත නැඟිටුවන්න ඔහු පෙලඹුණෙත් ඒ ස්ත්‍රිය ගැන දුකක් දැනුණ නිසා නෙමෙයිද?—මාක් 7:32-35; ලූක් 7:12-15.

12. යේසුස් මාර්තාටයි, මරියාටයි අනුකම්පාව පෙන්නපු විදිහ යොහන් 11:32-35න් පැහැදිලි වෙන්නේ කොහොමද?

12 යේසුස්ට මාර්තා සහ මරියා ගැන ලොකු අනුකම්පාවක් දැනුණා. එයාලගේ සහෝදරයා වුණ ලාසරුස්ගේ මරණය ගැන එයාලා දුක් වුණ විදිහ දකිද්දී “යේසුස්ගේ දෑස් කඳුළින් පිරී ගියා.” (යොහන් 11:32-35 කියවන්න.) යේසුස් ඒ වෙලාවේ ඇඬුවේ ඔහුගේ කිට්ටුම යාළුවෙක් අහිමි වුණ නිසා නෙමෙයි. ඔහු දැනන් හිටියා ටික වෙලාවකින් ඔහු ලාසරුස්ව නැවත නැඟිටුවනවා කියලා. යේසුස්ට ඇඬුණේ ඔහුගේ යාළුවන් කොයි තරම් වේදනාවකින්ද ඉන්නේ කියලා ඔහු තේරුම්ගත්ත නිසයි. ඒ දුක ඔහුටත් දැනුණා.

13. යේසුස් මිනිසුන් ගැන සැලකිලිමත් වුණා කියලා දැනගද්දී ඒක අපිට සහනයක් වෙන්නේ ඇයි?

13 යේසුස් මිනිසුන් ගැන සැලකිලිමත් වුණා කියලා දැනගද්දී ඒක අපිට ලොකු සහනයක්. ඔහු මිනිසුන්ට සලකපු විදිහ නිසා අපිට ඔහු ගැන දැනෙන්නේ ලොකු ආදරයක්. (1 පේතෘ. 1:8) ඔහු දැන් දේවරාජ්‍යයේ රජ. ඔහු ළඟදීම අපිව දුකට පත් කරන හැම දෙයක්ම නැති කරනවා. යේසුස් මිනිසෙක් විදිහට ජීවත් වුණ නිසා සාතන්ගේ පාලනය යටතේ මිනිසුන් අද්දකින වේදනාකාරී දේවල් ගැන ඔහු හොඳින්ම දන්නවා. ඒ වේදනාකාරී දේවලින් ගොඩ එන්න මිනිසුන්ට උදව් කරන්න පුළුවන් හොඳම කෙනා යේසුස්. ‘අපගේ දුර්වලකම් ගැන අනුකම්පාවක් දැනෙන’ පාලකයෙක් අපිට ලැබුණ එක කොයි තරම් දෙයක්ද!—හෙබ්‍රෙ. 2:17, 18; 4:15, 16.

යෙහෝවා දෙවියන්ව සහ යේසුස්ව ආදර්ශයට ගන්න

14. එෆීස 5:1, 2 පෙන්නන විදිහට අපි තුළ පෙලඹීමක් ඇති වෙන්නේ මොකක් කරන්නද?

14 යෙහෝවා දෙවියන් සහ යේසුස් අනිත් අයට අනුකම්පාව පෙන්නලා තියෙන විදිහ ගැන හිතද්දී අනිත් අයට අනුකම්පාවෙන් සලකන්න අපි තුළත් පෙලඹීමක් ඇති වෙනවා. (එෆීස 5:1, 2 කියවන්න.) ඒ දෙන්නා වගේ අපිට අනිත් අයගේ හිතේ තියෙන දේ දකින්න බැහැ. ඒත් අපිට පුළුවන් අනිත් අයගේ හැඟීම්, එයාලගේ අවශ්‍යතා තේරුම්ගන්න උත්සාහ කරන්න. (2 කොරි. 11:29) ආත්මාර්ථකාමී මිනිසුන්ගෙන් පිරුණු සමාජයක අපි ජීවත් වුණත් අපි උත්සාහ කරන්න ඕනෙ ‘අපේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහි පෞද්ගලික සැලකිල්ල දක්වන්න.’—ෆිලි. 2:4.

(15-19 ඡේද බලන්න) *

15. විශේෂයෙන්ම අනිත් අයට අනුකම්පාව පෙන්නන්න ඕනෙ කවුද?

15 විශේෂයෙන්ම වැඩිමහල්ලන් අනිත් අයට අනුකම්පාව පෙන්නන්න ඕනේ. යෙහෝවා දෙවියන්ගේ බැටළුවන්ව බලාගන්න විදිහ ගැන එයාලා දෙවියන්ට වග කියන්න ඕනෙ කියලා වැඩිමහල්ලන් දන්නවා. (හෙබ්‍රෙ. 13:17) සභාවේ අයට උදව් කරන්න නම් වැඩිමහල්ලන්ට පුළුවන් වෙන්න ඕනෙ ඒ අය ඉන්න තත්වය හොඳින් තේරුම්ගන්න.

16. අනිත් අය ගැන සැලකිලිමත් වෙන වැඩිමහල්ලෙක් කරන්නේ මොනවාද? එහෙම කරන එක වැදගත් ඇයි?

16 අනිත් අය ගැන සැලකිලිමත් වෙන වැඩිමහල්ලෙක් සභාවේ අය එක්ක කාලේ ගත කරනවා. එයාලා ඉන්න තත්වය තේරුම්ගන්න ප්‍රශ්න අහලා එයාලට හොඳට ඇහුම්කන් දෙනවා. විශේෂයෙන්ම කෙනෙක්ට එයාගේ හිතේ තියෙන දේ කියන්න ලොකු වුවමනාවක් තිබුණත් ඒක කියන්නේ කොහොමද කියලා එයාට තේරෙන්නේ නැති වෙලාවලදී හොඳින් ඇහුම්කන් දෙන එක ගොඩක් වැදගත්. (හිතෝ. 20:5) වැඩිමහල්ලන් කැමැත්තෙන්ම සභාවේ අය එක්ක කාලය ගත කරද්දී සභාවේ අයට එයාලා ගැන විශ්වාසයක් ඇති වෙනවා. එයාලව යාළුවන් හැටියට සලකන්න පටන්ගන්නවා. එතකොට ආදරේ තව වැඩි වෙනවා.—ක්‍රියා 20:37.

17. ගොඩක් සහෝදර සහෝදරියන් වැඩිමහල්ලන්ට තියෙන මොන ගුණාංගයද වැඩියෙන්ම අගය කරන්නේ? අද්දැකීමක් කියන්න.

17 වැඩිමහල්ලන් අනිත් අයගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙද්දී සහෝදර සහෝදරියන් ඒක හුඟක් අගය කරනවා. එක සහෝදරියක් මෙහෙම කියනවා. “වැඩිමහල්ලන් ඔයාව තේරුම්ගන්නවා කියලා දන්න නිසා එයාලත් එක්ක කතා කරන්න බයක් දැනෙන්නේ නැහැ. ඔයා කතා කරද්දී එයාලා අහගෙන ඉන්න විදිහෙන් ඔයාට තේරුම්ගන්න පුළුවන් එයාලා ඔයා ගැන සැලකිලිමත් කියලා.” එක සහෝදරයෙක් කිව්වේ මෙහෙමයි. “මගේ ප්‍රශ්නය ගැන කියද්දී ඒක අහගෙන හිටපු වැඩිමහල්ලගේ ඇස්වලට කඳුළු ආවා. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.”—රෝම 12:15.

18. අනිත් අයට අනුකම්පාවෙන් සලකන්න පුළුවන් කොහොමද?

18 අනිත් අයට අනුකම්පාවෙන් සලකන්න ඕනෙ වැඩිමහල්ලන් විතරක් නෙමෙයි. අපි හැමෝම ඒක කරන්න ඉගෙනගන්න ඕනේ. ඒ කොහොමද? පවුලේ අය, සභාවේ අය මුහුණ දෙන අමාරු තත්වයන් තේරුම්ගන්න උත්සාහ කරන්න. සභාවේ ඉන්න යෞවන අය ගැන, අසනීපෙන් ඉන්න අය ගැන, මහලු අය ගැන, වියෝදුකෙන් ඉන්න අය ගැන ඔයා සැලකිලිමත් කියලා පෙන්නන්න. එයාලට කොහොමද කියලා අහලා එයාලා හැඟෙන විදිහ ගැන කියද්දී හොඳට අහගෙන ඉන්න. එයාලා ඉන්න තත්වය ඔයා තේරුම්ගන්නවා කියලා එයාලට දැනෙන්න ඕනේ. ඕන උදව්වක් දෙන්න ඔයා ලෑස්තියි කියලා කියන්න. අපේ හිතේ තියෙන ආදරේ ක්‍රියාවෙන් පෙන්නන්න එතකොට අපිට පුළුවන්.—1 යොහ. 3:18.

19. අපි අනිත් අයට උදව් කරද්දී එක් එක් කෙනාගේ තත්වයට අනුව හැඩගැහෙන එක වැදගත් ඇයි?

19 අපි අනිත් අයට උදව් කරද්දී එක් එක් කෙනාගේ තත්වයට අනුව හැඩගැහෙන එක වැදගත්. ඒ ඇයි? ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන විදිහ එක් කෙනාගෙන් එක් කෙනාට වෙනස්. සමහරු එයාලගේ ප්‍රශ්න ගැන කතා කරන්න කැමති වුණත් තවත් අය අනිත් අය එක්ක ඒවා ගැන කතා කරන්න කැමති නැහැ. අපි එයාලට උදව් කරන්න ඉදිරිපත් වුණත් එයාලා අපහසුතාවට පත් වෙන විදිහට ඕනෑවට වඩා ප්‍රශ්න අහන්න හොඳ නැහැ. (1 තෙස. 4:11) සමහරු එයාලට හැඟෙන විදිහ ගැන කියද්දී ‘එහෙම වෙන්නේ කොහොමද’ කියලා අපිට හිතෙයි. ඒත් මතක තියාගන්න එයාලා කියන්නේ එයාලට හැඟෙන විදිහ ගැනයි කියලා. ඇහුම්කන් දෙන්න ඉක්මන් වුණත් කතා කරන්න ප්‍රමාද වෙන එක හරිම වැදගත්.—මතෙ. 7:1; යාකො. 1:19.

20. අපි ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

20 සභාවේ අයට අනුකම්පාවෙන් සලකනවා වගේම සේවයේදී හම්බ වෙන අයටත් අපි අනුකම්පාවෙන් සලකන්න ඕනේ. මිනිසුන්ට යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න උදව් කරද්දී එයාලට අනුකම්පාව පෙන්නන්න පුළුවන් කොහොමද? ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 130 සමාව දෙන්න

^ 5 ඡේ. යෙහෝවා දෙවියන් සහ යේසුස් අනිත් අයගේ හැඟීම් ගැන හුඟක් සැලකිලිමත්. ඒ ගැන ඒ දෙන්නාගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා අපි මේ ලිපියෙන් බලනවා. අපි අනිත් අයට අනුකම්පාවෙන් සලකන්න ඕනෙ ඇයි කියලත් ඒක කරන්න පුළුවන් කොහොමද කියලත් බලමු.

^ 1 ඡේ. පැහැදිලි කිරීමක්: මේ ලිපියේ සහ ඊළඟ ලිපියේ කතා කරලා තියෙන විදිහට ‘එකිනෙකාට අනුකම්පාවෙන්’ සලකන කෙනෙක් අනිත් කෙනාගේ තත්වයට බැහැලා ‘මං මේ තත්වයේ හිටියා නම් මට කොහොම හැඟෙයිද’ කියලා හිතනවා. (රෝම 12:15) ඒ වගේම වේදනාවෙන් ඉන්න අය හෝ අනිත් අයගේ නපුරුකම්වලට මුහුණ දෙන අය ගැන එයා ගොඩක් සැලකිලිමත්. එයාලට උදව් කරන්න තමන්ට පුළුවන් හැම දේම කරනවා. මේ ලිපියේ අනිත් අය ගැන සැලකිලිමත් වෙන කෙනෙක් කියන්නෙත් අනුකම්පාව පෙන්නන කෙනෙක්ටයි.

^ 6 ඡේ. අධෛර්යය වුණ එහෙම නැත්නම් බයෙන් හිටපු තවත් විශ්වාසවන්ත සේවකයන් දෙවියන්ගේ අනුකම්පාව අද්දැක්කා. හන්නා (1 සාමු. 1:10-20), එලියා (1 රාජා. 19:1-18), සහ ඒබෙද්-මෙලෙක් (යෙරෙ. 38:7-13; 39:15-18) ගැන වාර්තා කියවලා බලන්න.

^ 65 ඡේ. පින්තූරයේ අදහස: රැස්වීම්වලදී එකිනෙකාට අනුකම්පාවෙන් සලකන්න අපිට හුඟක් අවස්ථා ලැබෙනවා. මේ පින්තූරෙන් අපිට පේනවා (1) වැඩිමහල්ලෙක් පොඩි වයසේ ඉන්න ප්‍රචාරකයෙක් සහ එයාගේ අම්මා එක්ක කතාබහ කරමින් ඉන්නවා, (2) තාත්තායි, දුවයි මහලු වයසේ ඉන්න සහෝදරියකට කාර් එක ළඟට යන්න උදව් කරනවා, (3) සහෝදරියක් වැඩිමහල්ලන් දෙන්නෙක් එක්ක කතා කරද්දී එයාලා හොඳින් ඇහුම්කන් දෙනවා.