Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 13

සේවයේ හම්බ වෙන අයට අනුකම්පාව පෙන්නන්න

සේවයේ හම්බ වෙන අයට අනුකම්පාව පෙන්නන්න

“ඔහුට ඔවුන් ගැන මහත් අනුකම්පාවක් ඇති විය. එහෙයින් ඔහු ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන්ගත්තේය.”—මාක් 6:34.

ගීතිකාව 70 සුදුස්සන්ව සොයන්න

මේ ලිපියෙන් *

1. යේසුස්ගේ පෞද්ගලිකත්වයේ අපි ආසම කරන ගතිලක්ෂණවලින් එකක් මොකක්ද? පැහැදිලි කරන්න.

පාපය උරුම කරගත්ත මිනිසුන් අද්දකින අභියෝග ගැන තේරුම්ගන්න යේසුස්ට තියෙන්නේ පුදුම හැකියාවක්. ඒක ඔහුගේ පෞද්ගලිකත්වයේ අපි ආසම කරන ගතිලක්ෂණවලින් එකක්. යේසුස් පොළොවේ ඉද්දී ‘ප්‍රීති වන අයත් සමඟ ප්‍රීති වුණා. හඬන අයත් සමඟ හැඬුවා.’ (රෝම 12:15) උදාහරණෙකට ශුභාරංචිය දේශනා කරන්න ගිය ඔහුගේ අනුගාමිකයන් 70දෙනා සතුටින් ආපහු ඇවිත් එයාලා අද්දැක්ක දේවල් කියද්දී ‘දෙවිගේ බලය යේසුස් තුළ ප්‍රබල ලෙස ක්‍රියාත්මක වූ අතර ඔහුට මහත් ප්‍රීතියක් දැනුණා.’ (ලූක් 10:17-21) අනිත් අතට ලාසරුස්ගේ මරණය නිසා එයාට ආදරේ කරපු අය දුකෙන් ඉන්නවා දැකලා “යේසුස්ට මහත් ශෝකයක්, මහත් වේදනාවක්” දැනුණා.—යොහ. 11:33.

2. මිනිසුන් ගැන සැලකිලිමත් වෙන්න යේසුස්ට උදව් වුණේ මොකක්ද?

2 පාපය උරුම කරගත්ත මිනිසුන් එක්ක වැඩ කරද්දී ඒ තරම් දයාවක්, අනුකම්පාවක් පෙන්නන්න පරිපූර්ණ මිනිසෙක් වුණ යේසුස්ට පුළුවන් වුණේ කොහොමද? ඔහුට උදව් වුණ ප්‍රධානම දේ තමයි මිනිසුන් ගැන ඔහුට තිබුණ ආදරේ. ඔහු “බොහෝ සෙයින් ප්‍රිය කළේ මනුෂ්‍ය පුත්‍රයන්ටයි.” (හිතෝ. 8:31) එයාලට තිබුණ ඒ ආදරේ ඔහුව පෙලඹුවා මිනිසුන්ගේ හැඟීම්, එයාලා හිතන විදිහ හොඳින් තේරුම්ගන්න. “යේසුස්ට මිනිසුන්ගේ සිත්වල තිබෙන දේ තේරුම්ගන්න පුළුවන් වුණා” කියලා බයිබලේ කියනවා. (යොහ. 2:25) ඔහුට මිනිසුන් ගැන දැනුණේ දයානුකම්පාවක්. ඔහුගේ හිතේ තිබුණ ආදරේ, අනුකම්පාව මිනිසුන්ට දැනුණා. ඒ නිසයි හුඟක් අය ඔහු කියපු ශුභාරංචියට සවන් දුන්නේ. අපිත් යේසුස් වගේ මිනිසුන් ගැන අපේ හිතේ දයානුකම්පාවක් ඇති කරගද්දී සේවයේදී හම්බ වෙන අයට තව හොඳින් උදව් කරන්න අපිට පුළුවන් වෙනවා.—2 තිමෝ. 4:5.

3-4. (අ) මිනිසුන් ගැන අපිට අනුකම්පාවක් දැනෙනවා නම් දේශනා සේවය ගැන අපිට හැඟෙන්නේ කොහොමද? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොන තොරතුරු ගැනද?

3 දේශනා කරන එක තමන්ට පැවරිලා තියෙන වගකීමක් කියලා පාවුල් දැනන් හිටියා. අපිටත් ඒ වගකීම තියෙනවා. (1 කොරි. 9:16) ඒත් අපි සේවය කරන්නේ නිකම්ම වගකීමක් ඉටු කරන්න ඕනෙ නිසා නෙමෙයි. මිනිසුන් ගැන අපේ හිතේ අනුකම්පාවක් තියෙනවා නම් අපි සේවය කරන්නේ එයාලට උදව් කරන අරමුණින්. “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” කියලා අපි දන්නවා. (ක්‍රියා 20:35) මිනිසුන්ට උදව් කරන්න තියෙන කැමැත්ත නිසා සේවයේ හවුල් වෙද්දී සේවයෙන් ලොකු සතුටක් ලබන්න අපිට පුළුවන් වෙයි.

4 සේවයේදී අපිට හම්බ වෙන අයට අනුකම්පාව පෙන්නන්න පුළුවන් කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලනවා. මුලින්ම බලමු මිනිසුන් ගැන යේසුස්ට හැඟුණ විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා. ඊළඟට ඔහුව ආදර්ශයට ගන්න පුළුවන් පැති 4ක් ගැන බලමු.—1 පේතෘ. 2:21.

සේවයේදී හම්බ වුණ අයට යේසුස් අනුකම්පාව පෙන්නුවා

මිනිසුන් ගැන දැනුණ අනුකම්පාව නිසා යේසුස් දේවරාජ්‍යය ගැන පණිවිඩය එයාලට කිව්වා (5 සහ 6 ඡේද බලන්න)

5-6. (අ) යේසුස් අනුකම්පාවෙන් සැලකුවේ කාටද? (ආ) යෙසායා 61:1, 2 කියලා තියෙන විදිහට යේසුස්ට ඔහු දේශනා කරපු මිනිසුන් ගැන අනුකම්පාවක් දැනුණේ ඇයි?

5 යේසුස්ට මිනිසුන් ගැන තිබුණ අනුකම්පාව මේ සිද්ධියෙන් පැහැදිලියි. දවසක් ‘කෑම කන්නවත් විවේකයක් ගන්නේ නැතුව’ එක දිගට ශුභාරංචිය දේශනා කරලා යේසුස් සහ ඔහුගේ ගෝලයෝ හිටියේ මහන්සියෙන්. ඒ නිසා “ටිකකට විවේක ගන්න” හිතාගෙන “විවේක සුවයෙන් සිටිය හැකි පාළු තැනකට” යේසුස් ඔහුගේ ගෝලයන්ව එක්කගෙන ගියා. ඒ වුණත් එයාලා එතනට යන්න කලින් විශාල සෙනඟක් ඒ තැනට ගිහින් එයාලා එන කල් බලන් හිටියා. එතනට ඇවිත් හිටපු ඒ සෙනඟව දැක්කාම යේසුස්ට කොහොමද හැඟුණේ? ඒ මිනිසුන් “එඬේරෙකු නැති බැටළුවන් මෙන් සිටි නිසා ඔහුට ඔවුන් ගැන මහත් අනුකම්පාවක් ඇති විය. එහෙයින් ඔහු ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන්ගත්තා.”—මාක් 6:30-34.

6 යේසුස්ට ඒ සෙනඟ ගැන ඒ තරම් අනුකම්පාවක් දැනුණේ ඇයි? ඔහු දැක්කා එයාලා හරියට “එඬේරෙකු නැති බැටළුවන් වගේ” කියලා. ඒ සෙනඟ අතරේ දුප්පත් අය ඉන්නවා යේසුස් දකින්න ඇති. පවුලේ අයගේ අවශ්‍යතා සපයන්න පැය ගාණක් වෙහෙසිලා වැඩ කරන අයව ඔහු දකින්න ඇති. වියෝදුකින් ඉන්න අයවත් ඔහු දකින්න ඇති. එයාලා අද්දැක්ක අභියෝගය මොකක් වුණත් එයාලගේ තත්වය තේරුම්ගන්න යේසුස්ට පුළුවන් වුණා. මොකද කලින් ලිපියේ බලපු විදිහට ඒ සමහර අභියෝග යේසුත් අද්දැකලා තිබුණා. එයාලා ගැන යේසුස්ට තිබුණ සැලකිල්ල නිසා ඔහුට ඕනෙ වුණා එයාලව සනසන්න.—යෙසායා 61:1, 2 කියවන්න.

7. යේසුස්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

7 අපිට යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? අද අපි ජීවත් වෙන්නෙත් “එඬේරෙකු නැති බැටළුවන් වගේ” අසරණ වුණ මිනිසුන් ඉන්න සමාජයක. එයාලා ඉන්නේ ප්‍රශ්නවලින් මිරිකිලා. අපි ළඟ තියෙන ශුභාරංචිය එයාලට කොයි තරම් සහනයක් වෙයිද! (එළි. 14:6) අපිත් අපේ ස්වාමියා වගේ ‘අසරණ, දිලිදු අය’ ගැන දැනෙන අනුකම්පාව නිසා එයාලට දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරනවා.—ගීතා. 72:13.

අපේ සැලකිල්ල පෙන්නන්න පුළුවන් කොහොමද?

එක් එක් පුද්ගලයාව තේරුම් අරන් එයාට කතා කරන්න (8 සහ 9 ඡේද බලන්න)

8. සේවයේදී හම්බ වෙන අයට අනුකම්පාවෙන් සලකන්න පුළුවන් එක විදිහක් මොකක්ද? උදාහරණෙකින් පැහැදිලි කරන්න.

8 සේවයේදී හම්බ වෙන අයට අනුකම්පාවෙන් සලකන්න අපිට උදව් වෙන්නේ මොනවාද? අපි එයාලගේ තත්වයට බැහැලා ‘මං ඒ තත්වයේ හිටියා නම් මට හැඟෙන්නේ කොහොමද’ කියලා හිතන්න ඕනේ. ඊටපස්සේ අනිත් අය අපිට කොහොම සලකනවාටද අපි කැමති කියලා හිතලා ඒ විදිහටම එයාලටත් සලකන්න ඕනේ. * (මතෙ. 7:12) ඒක කරන්න පුළුවන් පැති 4ක් දැන් බලමු. (1) එක් එක් කෙනා ඉන්න තත්වය තේරුම්ගන්න. හොඳ වෛද්‍යවරයෙක් එයා ළඟට එන එක් එක් රෝගියාගේ අවශ්‍යතාව ගැන සැලකිලිමත් වෙනවා. රෝගියාගෙන් ප්‍රශ්න අහනවා. රෝගියා තමන්ට දැනෙන දේ විස්තර කරද්දී වෛද්‍යවරයා හොඳට අහගෙන ඉන්නවා. ඉක්මනින්ම එයාට මතක් වෙන බෙහෙත ලියලා දෙනවා වෙනුවට එයා වෙලාව අරන් රෝගියාගේ තත්වය හරියටම දැනගන්න උත්සාහ කරනවා. ඊටපස්සේ රෝගියාට අවශ්‍යම කරන ප්‍රතිකාරය දෙනවා. දේශනා සේවයේදී අපිත් කරන්න ඕනෙ ඒ වගේම දෙයක්. සේවයේදී හම්බ වෙන හැමෝටම එකම හැඳින්වීම යොදාගෙන කතා කරනවා වෙනුවට එක් එක් කෙනාගේ තත්වය සහ එයාලගේ අදහස් තේරුම් අරන් එයාලට ගැළපෙන විදිහට අපේ පණිවිඩය අපි කියන්න ඕනේ.

9. අපි කොහොම හිතන එකෙන්ද වැළකෙන්න ඕනේ? ඒ වෙනුවට අපි මොනවාද කරන්න ඕනේ?

9 සේවයේදී කෙනෙක්ව හම්බ වුණාම සාමාන්‍යයෙන් මිනිසුන් මුහුණ දෙන දේවලටමයි එයාත් මුහුණ දෙනවා ඇත්තේ කියලා හිතන්න ඉක්මන් වෙන්න එපා. එහෙම නැත්නම් එයාගේ පසුබිම, එයාගේ විශ්වාසයන්, ඒවා එයා විශ්වාස කරන්නේ ඇයි කියලා ඔයා දන්නවා කියලා හිතන්නත් එපා. (හිතෝ. 18:13) ඒ වෙනුවට ප්‍රශ්න අහලා එයාගේ විශ්වාසයන් ගැන දැනගන්න. එයා මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න උත්සාහ කරන්න. (හිතෝ. 20:5) කෙනෙක්ගේ රැකියාව, එයාගේ පවුලේ විස්තර, එයාගේ පසුබිම, එයා දරන අදහස් ගැන අහන එක ප්‍රශ්නයක් නැත්නම් ඒ දේවල් ගැන එයාගෙන් අහන්න. අපි ප්‍රශ්න අහද්දී එයාලා මුහුණ දෙන අභියෝග ගැන අපිට කියයි. එතකොට එයාලගේ අවශ්‍යතා තේරුම් අරන් ඒ අනුව එයාලට උදව් කරන්න අපිට පුළුවන්.—1 කොරින්ති 9:19-23 බලන්න.

ඔයා දේශනා කරන අයගේ ජීවිත මොන වගේ වෙන්න ඇද්ද කියලා හිතන්න (10 සහ 11 ඡේද බලන්න)

10-11. 2 කොරින්ති 4:7, 8ට අනුව අනිත් අයට අපේ සැලකිල්ල පෙන්නන්න පුළුවන් 2වෙනි විදිහ මොකක්ද? අද්දැකීමක් කියන්න.

10 (2) එයාලගේ ජීවිත මොන වගේ වෙන්න ඇද්ද කියලා හිතන්න. සමහර විදිවලින් එයාලගේ තත්වය තේරුම්ගන්න අපිට පුළුවන්. මොකද පව්කාරකම නිසා අපිත් ප්‍රශ්න ගැටලු අද්දකිනවා. (1 කොරි. 10:13) මේ දුෂ්ට සමාජයේ ජීවත් වෙන එක ලේසි නැහැ කියලා අපි දන්නවා. ප්‍රශ්න දරාගන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ යෙහෝවා දෙවියන්ගේ උදව් අපිට ලැබෙන නිසයි. (2 කොරින්ති 4:7, 8 කියවන්න.) ඒත් දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් නැති අය ගැන ටිකක් හිතන්න. ඔහුගේ උදව් නැතුව තනියම ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන එක එයාලට කොයි තරම් අමාරු ඇද්ද! යේසුස්ට දැනුණා වගේ අපිටත් එයාලා ගැන දැනෙන්නේ අනුකම්පාවක්. ඒ නිසා අපි “යහපත් කාලයක් ගැන ශුභාරංචි” එයාලට කියනවා.—යෙසා. 52:7.

11 සර්ජේගේ අද්දැකීම බලන්න. සත්‍යය දැනගන්න කලින් එයා වැඩිය කතාබහ කරන්නේ නැති, ලැජ්ජාශීලී කෙනෙක්. අනිත් අය එක්ක කතා කරන එක එයාට හරිම අමාරු දෙයක්. එයා බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තා. සර්ජේ මෙහෙම කියනවා. “බයිබලේ පාඩම් කරද්දී මං ඉගෙනගත්තා මගේ විශ්වාසයන් ගැන අනිත් අයට කියන එක මගේ වගකීමක් කියලා. මට නම් කවදාවත් ඒක කරන්න බෑ කියලයි මට හිතුණේ.” ඒත් තවමත් ශුභාරංචිය ගැන දන්නේ නැති අය ගැන එයා හිතුවා. දෙවියන් ගැන දන්නේ නැති නිසා ඒ අයගේ ජීවිත කොයි තරම් දුෂ්කර ඇද්ද කියලා එයාට හිතුණා. එයා මෙහෙම කියනවා. “බයිබලෙන් මං ඉගෙනගත්ත දේවල් නිසා මට ලොකු සතුටක්, සමාදානයක් දැනුණා. අනිත් අයත් ඒ දේවල් දැනගන්න ඕනෙ කියලා මට හැඟුණා.” මිනිසුන් ගැන සර්ජේට දැනුණ අනුකම්පාව වැඩි වෙද්දී දේශනා කරන එක ගැන එයාට දැනුණ බය අඩු වුණා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “බයිබලේ තියෙන දේවල් ගැන කතා කරද්දී කලින් මට තිබුණ බය අඩු වෙලා ගියා විතරක් නෙමෙයි මගේ විශ්වාසය තව වැඩි වුණා.” *

කෙනෙක්ට සත්‍යය පිළිගන්න කාලයක් යන්න පුළුවන් (12 සහ 13 ඡේද බලන්න)

12-13. අපි උගන්වන අය ඉක්මනින් වෙනස්කම් කරගන්න ඕනෙ කියලා හිතන්න හොඳ නැත්තේ ඇයි? විස්තර කරන්න.

12 (3) ඔයා උගන්වන අය ඉක්මනින් වෙනස්කම් කරගන්න ඕනෙ කියලා හිතන්න එපා. අපි හොඳින් දන්න සමහර බයිබල් සත්‍යයන් ගැන එයාලා මීට කලින් කවදාවත් හිතලා නැතුව ඇති. ඒ වගේම හුඟදෙනෙක්ට එයාලා දැනටමත් විශ්වාස කරන දේවල් ගැන තියෙන්නේ ලොකු භක්තියක්. පවුලේ එක්සත්කම රැකිලා තියෙන්නේ එයාලා අදහන ආගම නිසයි කියලා සමහරු හිතනවා. ඒක එයාලා හැදුණු වැඩුණු පරිසරයේ, සමාජයේ කොටසක් හැටියටයි එයාලා සලකන්නේ. ඒ අයට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

13 ගරාවැටුණු පාලමක් ගැන හිතන්න. ඒක වෙනුවට දැන් අලුත් පාලමක් හදන්න ඕනේ. හුඟක් වෙලාවට අලුත් පාලම හදන්නේ පරණ පාලම තියෙද්දිමයි. අලුත් එක හැදුවාට පස්සේ පරණ එක කඩලා දාන්න පුළුවන්. ඒ වගේ තමයි අපිත් එක්ක පාඩම් කරන අය හුඟක් භක්තියෙන් සලකන එයාලගේ විශ්වාසයන් එකපාරටම කඩන්න හදිසි වෙන්න එපා. ඒ වෙනුවට එයාලා ඉගෙනගන්න අලුත් බයිබල් සත්‍යයන් ගැන එයාලගේ හිතේ ලොකු ඇල්මක්, අගයක් ඇති කරගන්න එයාලට උදව් කරන්න. එතකොට එයාලගේ පරණ විශ්වාසයන් අයින් කරන්න එයාලා පෙලඹෙයි. මිනිසුන්ට ඒ වගේ වෙනස්කම් කරගන්න යම් කාලයක් ගත වෙන්න පුළුවන්.—රෝම 12:2.

14-15. පාරාදීස පොළොවේ සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ගැන දන්නේ නැති අයට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද? එක සහෝදරයෙක් කොහොමද ඒක කරන්නේ?

14 සේවයේදී හම්බ වෙන අය ගැන අපිට අනුකම්පාවක් තියෙනවා නම් බයිබල් සත්‍යයන් පළවෙනි සැරේම එයාලා තේරුම්ගනියි හෝ ඒවා පිළිගනියි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපි කාලේ අරන් ඒවා ගැන තර්කානුකූලව හිතන්න එයාලට උදව් කරනවා. උදාහරණෙකට පාරාදීස පොළොවේ සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ගැන තේරුම්ගන්න කෙනෙක්ට උදව් කරන්න පුළුවන් කොහොමද කියලා හිතන්න. හුඟක් අය ඒ ඉගැන්වීම ගැන දන්නේ නැති තරම්. තවත් අය හිතන්නේ කෙනෙක් මැරුණාම ආයේ කවදාවත් එයාට ජීවත් වෙන්න බැහැ කියලයි. හොඳ මිනිසුන් හැමෝම ස්වර්ගයට යනවා කියලා හිතන අයත් ඉන්නවා. එයාලට උදව් කරන්න පුළුවන් කොහොමද?

15 එක සහෝදරයෙක් කරන දේ බලන්න. මුලින්ම එයා උත්පත්ති 1:28 නිවැසියාට ඇහෙන්න කියවනවා. ඊටපස්සේ එයා අහනවා “දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ කොහේ ජීවත් වෙන්නද? එයාලා මොන වගේ ජීවිතයක් ගත කරනවාටද දෙවියන් කැමති” කියලා. “පොළොවේ, හොඳ ජීවිතයක් ගත කරනවාටයි දෙවියන් කැමති” කියලා හුඟක් අය උත්තර දෙනවා. ඊළඟට ඒ සහෝදරයා යෙසායා 55:11 කියවලා නිවැසියාගෙන් අහනවා “දෙවියන්ගේ අරමුණ වෙනස් වෙලාද” කියලා. ගොඩක් වෙලාවට එයාලා කියන්නේ “නැහැ” කියලයි. අන්තිමට ගීතාවලිය 37:10, 11 කියවලා එයා අහනවා “මිනිසුන්ට තියෙන බලාපොරොත්තුව මොකක්ද” කියලා. ඒ විදිහට ඒ සහෝදරයාට පුළුවන් වෙලා තියෙනවා පාරාදීස පොළොවේ සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ගැන මිනිසුන් හුඟදෙනෙකුට තේරුම් කරලා දෙන්න.

අනුකම්පාවෙන් පෙලඹිලා අපි කරන පුංචි ක්‍රියාවක් නිසා ගොඩක් හොඳ ප්‍රතිඵල ලැබෙයි (16 සහ 17 ඡේද බලන්න)

16-17. හිතෝපදේශ 3:27 මනසේ තියාගන්නවා නම් මිනිසුන් ගැන සැලකිලිමත් කියලා අපිට පෙන්නන්න පුළුවන් මොන වගේ විදිවලින්ද? අද්දැකීමක් කියන්න.

16 (4) ඔයා එයාලා ගැන සැලකිලිමත් කියලා පෙන්නන්න පුළුවන් විදි ගැන හිතන්න. උදාහරණෙකට අපි ගෙදරකට ගියේ නිවැසියාට අපි එක්ක කතා කරන්න අමාරු වෙලාවකද? එහෙමනම් එයාගෙන් සමාව ඉල්ලලා එයාට පහසු වෙලාවක එන්නම් කියලා කියන්න. සමහර වෙලාවලදී ඔයාට තේරෙයි නිවැසියාට මොකක් හරි උදව්වක් ඕනෙ කරලා තියෙනවා කියලා. එහෙම නැත්නම් බරපතළ අසනීපයක් හෝ මහලු වයස නිසා ගෙදරින් එළියට යන්න බැරි තත්වයක ඉන්න නිවැසියෙක්ට කඩේකින් බඩුවක් ගෙන්න ගන්න ඕනෙ ඇති. ඒ වගේ අවස්ථාවලදී එයාලට උදව් කරන්න.—හිතෝපදේශ 3:27 කියවන්න.

17 මේ සිද්ධිය බලන්න. එක පවුලක අලුත උපන් දරුවා මිය ගිහින් තිබුණා. ඒක දැනගත්ත අපේ සහෝදරියකට එයාලා ගැන ලොකු අනුකම්පාවක් දැනුණා. ඒ නිසා එයා එයාලව සනසවන්න බයිබල් පදත් ඇතුළත් කරලා ලියුමක් යැව්වා. ඒ පවුලේ අයට ඒ ලියුම උදව් වුණාද? වියෝදුකින් හිටපු අම්මා මෙහෙම කියනවා. “ඊයේ මං හිටියේ හැම දේම එපා වෙලා. ඔයා එවපු ලියුම අපිට පුදුම සහනයක් වුණා. ඒ ලියුම එවපු එක ගැන ඔයාට කොහොම ස්තුති කරන්නද කියලා මට හිතාගන්නවත් බැහැ. මං ඒ ලියුම අඩුම ගාණේ 20 වතාවක්වත් කියෙව්වා. ඒකේ තිබුණ කාරුණික, දිරිගන්වන වචන මට ගොඩක් උදව් වුණා. ලියුමට ගොඩක් ස්තුතියි.” වේදනාවෙන් ඉන්න අයව හම්බ වුණාම අපිත් එයාලගේ තත්වය තේරුම් අරන් එයාලට උදව් කරනවා නම් අපිටත් හොඳ ප්‍රතිඵල ලැබෙයි.

වර්ධනය දෙන්නේ යෙහෝවා දෙවියන්

18. 1 කොරින්ති 3:6, 7ට අනුව සේවයේදී අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?

18 සේවයේදී අපි මතක තියාගන්න ඕනෙ දේකුත් තියෙනවා. ඒ තමයි දෙවියන් ගැන දැනගන්න මිනිසුන්ට උදව් කරන්න අපිට පුළුවන් වුණත් එයාලව සත්‍ය මාර්ගයට ගන්න අපිට බැහැ කියන දේ. (1 කොරින්ති 3:6, 7 කියවන්න.) දෙවියන් ගැන දැනගන්න මිනිසුන්ගේ හිතේ ආසාවක් ඇති කරන්නේ යෙහෝවා දෙවියන්. (යොහ. 6:44) කෙනෙක් ශුභාරංචිය පිළිගන්නවාද නැද්ද කියන දේ තීරණය වෙන්නේ එයාගේ හදවතේ තත්වය අනුවයි. (මතෙ. 13:4-8) හොඳම ගුරුවරයා වුණ යේසුස් දේශනා කරද්දීත් හුඟදෙනෙක් ශුභාරංචිය පිළිගත්තේ නැහැ. ඒ නිසා අපි උදව් කරන්න හැදුවත් වැඩිදෙනෙක් අපේ පණිවිඩය පිළිගන්න අකමැති වෙද්දී අපි අධෛර්යය වෙන්න ඕනෙ නැහැ.

19. සේවයේදී හම්බ වෙන අයට අනුකම්පාවෙන් සලකද්දී ලැබෙන ප්‍රයෝජන මොනවාද?

19 සේවයේදී හම්බ වෙන අයට අනුකම්පාවෙන් සලකද්දී හුඟක් ප්‍රයෝජන ලැබෙනවා. දේශනා සේවයෙන් ලොකු සතුටක් ලබන්න අපිට පුළුවන් වගේම දීමෙන් ලැබෙන සතුට අද්දකින්නත් අපිට පුළුවන් වෙනවා. අපි මිනිසුන්ට අනුකම්පාවෙන් සලකද්දී “සදාකාල ජීවනයට මඟ පාදන සත්‍යය පිළිගන්න” එයාලට පහසුයි. (ක්‍රියා 13:48) ඒ නිසා ‘අපට ප්‍රස්තාව ලැබෙන සෑම අවස්ථාවකදීම සියලුදෙනාටම යහපත් දේවල් කරමු.’ (ගලා. 6:10) එතකොට ස්වර්ගයේ ඉන්න අපේ ආදරණීය දෙවියන්ව ගෞරවයට පත් කරන්න අපිට පුළුවන් වෙනවා.—මතෙ. 5:16.

ගීතිකාව 64 ප්‍රීතියෙන් අස්වැන්න නෙළීමට සහභාගි වන්න

^ 5 ඡේ. සේවයේදී හම්බ වෙන අයට අපි අනුකම්පාවෙන් සලකද්දී අපිට සතුටක් ලැබෙනවා වගේම හුඟක් අය අපේ පණිවිඩයට ඇහුම්කන් දෙන්නත් පෙලඹෙනවා. එහෙම වෙන්නේ ඇයි? ඒ ගැන යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලත් සේවයේදී හම්බ වෙන අයට අනුකම්පාවෙන් සලකන්න පුළුවන් පැති 4ක් ගැනත් මේ ලිපියෙන් බලමු.

^ 8 ඡේ. 2014 මැයි 15 ‘මුරටැඹ’ කලාපයේ පළ වුණ “දේවසේවයේදී රන් අණ අදාළ කරගමු” කියන ලිපිය බලන්න.