Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 10

මට දැන් බව්තීස්ම වෙන්න මොකක්ද තිබෙන බාධාව?

මට දැන් බව්තීස්ම වෙන්න මොකක්ද තිබෙන බාධාව?

“ෆිලිප් සහ එම නිලධාරියා වතුරට බැස්සෝය. ෆිලිප් ඔහුව එතැනදී බව්තීස්ම කළේය.”—ක්‍රියා 8:38.

ගීතිකාව 52 කැපවීම

මේ ලිපියෙන් *

1. ආදම් සහ ඒව කරපු තේරීම මොකක්ද? ඒකෙන් එයාලට අහිමි වුණේ මොනවාද?

හරි දේ වැරදි දේ මොකක්ද කියන දේ ගැන ප්‍රමිති පිහිටුවන්න අයිතිය තියෙන්නේ කාට කියලාද ඔයා හිතන්නේ? ආදම් සහ ඒව හොඳ හා නරක හඳුනාගැනීමේ ගහෙන් කාලා එයාලා පෙන්නුවා යෙහෝවා දෙවියන්වත් ඔහු පිහිටවපු ප්‍රමිතිවත් එයාලට වැඩක් නැහැ කියලා. ඒ වෙනුවට හරි දේ වැරදි දේ මොකක්ද කියලා එයාලම තීරණය කරන්නයි එයාලට ඕනෙ වුණේ. (උත්. 3:22) ඒත් ඒ නිසා එයාලට මොන තරම් දේවල් අහිමි වුණාද! දෙවියන් එක්ක තිබුණ බැඳීම එයාලට නැති වුණා. සදාකාලයටම ජීවත් වෙන්න තිබුණ අවස්ථාවත් නැති වුණා. අන්තිමේදී එයාලගෙන් පැවතෙන අයට උරුම වුණේ පාපය සහ මරණය.—රෝම 5:12.

යේසුස් ගැන දැනගත්තාට පස්සේ ඉතියෝපියානු නිලධාරියාට ඕනෙ වුණා ඉක්මනින්ම බව්තීස්ම වෙන්න (2 සහ 3 ඡේද බලන්න)

2-3. (අ) ෆිලිප් දේශනා කළාම ඉතියෝපියානු නිලධාරියා මොකද කළේ? (ආ) අපි බව්තීස්ම වුණොත් අපිට ලැබෙන ආශීර්වාද මොනවාද? අපි බලන ප්‍රශ්න මොනවාද?

2 ආදම් සහ ඒව වැඩ කරපු විදිහයි ඉතියෝපියානු නිලධාරියා වැඩ කරපු විදිහයි ටිකක් බලන්න. යෙහෝවා දෙවියන් සහ යේසුස් එයා වෙනුවෙන් කරපු දේ ඒ නිලධාරියා කොච්චර අගය කළාද කියනවා නම් එයා ඉක්මනටම තීරණය කළා බව්තීස්ම වෙන්න. (ක්‍රියා 8:34-38) අපිත් අපේ ජීවිත දෙවියන්ට කැප කරලා ඒ නිලධාරියා වගේ බව්තීස්ම වෙද්දී පෙන්නන්නේ දෙවියන් සහ යේසුස් අපි වෙනුවෙන් කරලා තියෙන දේ අපි කොච්චර අගය කරනවාද කියලයි. ඒ වගේම අපි යෙහෝවා දෙවියන්ව විශ්වාස කරනවා කියලත් හරි දේ වැරදි දේ ගැන ප්‍රමිති පිහිටුවන්න අයිතිය තියෙන්නේ ඔහුට කියලා අපි පිළිගන්නවා කියලත් ඒකෙන් අපි පෙන්නනවා.

3 යෙහෝවා දෙවියන්ට සේවය කරද්දි අපිට ලැබෙන ආශීර්වාද ගැන ටිකක් හිතන්න. සදාකාල ජීවිතය ඇතුළුව ආදම් සහ ඒව අහිමි කරගත්ත හැම දේම ලබාගන්න අපිට අවස්ථාව තියෙනවා. අපි යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තියන නිසා දෙවියන් අපේ වැරදිවලට සමාව දෙනවා. නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව ඉන්න ඒ නිසා අපිට පුළුවන්. (මතෙ. 20:28; ක්‍රියා 10:43) දෙවියන්ගේ පවුලේ සාමාජිකයන් වෙන්නත් අපිට අවස්ථාව ලැබෙනවා. (යොහ. 10:14-16) අපි ඉදිරියේ පුදුමාකාර බලාපොරොත්තුවක් තියෙනවා. (රෝම 8:20, 21) එච්චර ආශීර්වාද ලැබෙනවා කියලා දැනදැනත් සැබෑ දෙවියන්ව හඳුනන සමහරු ඉතියෝපියානු නිලධාරියාව ආදර්ශයට ගන්න අදිමදි කරනවා. ඒ මොන වගේ හේතු නිසාද? ඒවා ජය ගන්න පුළුවන් කොහොමද?

සමහරු බව්තීස්ම නොවී ඉන්නේ ඇයි?

බව්තීස්ම වෙන්න සමහරු අදිමදි කරන හේතු

තමන් ගැන විශ්වාසයක් නැති එක (4-5 ඡේද බලන්න) *

4-5. ඒව්රි සහ හැනා කියන යෞවනයන් දෙන්නාට තිබුණේ මොන වගේ අභියෝගද?

4 තමන් ගැන විශ්වාසයක් නැති එක. ඒව්රිගේ දෙමාපියන් සාක්ෂිකරුවන්. හොඳ තාත්තා කෙනෙක් විදිහටත් හොඳ වැඩිමහල්ලෙක් විදිහටත් එයාගේ තාත්තාට හොඳ නමක් තිබුණා. ඒත් බව්තීස්ම වෙන්න ඒව්රි අදිමදි කළා. ඒ ඇයි? එයා මෙහෙම කියනවා. “තාත්තා වගේ දේවල් හොඳට කරන්න මට බැරි වෙයි කියලා මට හිතුණා. ප්‍රසිද්ධියේ යාච්ඤාවක් කරන්න, දේශන දෙන්න, ක්ෂේත්‍ර සේවා කණ්ඩායමක මූලිකත්වය අරන් වැඩ කරන්න මට හැකියාවක් නෑ කියලයි මං හිතුවේ.”

5 හැනාට වයස 18යි. එයාත් තමන් ගැන හුඟක් අඩුවෙන් හිතපු කෙනෙක්. එයාගේ දෙමාපියන් එයා පොඩි කාලේ ඉඳන්ම සාක්ෂිකරුවන් වුණත් දෙවියන්ගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න එයාට බැරි වෙයි කියලා එයා හිතුවා. මොකද තමන් ගැන හිතපු හැම වෙලේම එයාට දැනුණේ ලොකු කලකිරීමක්. සමහර වෙලාවට එයා කොච්චර කලකිරුණාද කියනවා නම් එයා එයාවම තුවාල කරගත්තා. හැනා මෙහෙම කියනවා. “මං ඒ ගැන කාටවත් කිව්වේ නෑ. අඩු තරමේ අම්මලාට කිව්වේවත් නෑ. මට හිතුණේ නෑ යෙහෝවා දෙවියන් කවදාවත් මාව ඔහුගේ සේවකයෙක් විදිහට පිළිගනියි කියලා.”

යාළුවන්ගේ බලපෑම (6 ඡේදය බලන්න) *

6. වැනෙසා බව්තීස්ම වෙන එක කල් දැම්මේ ඇයි?

6 යාළුවන්ගෙන් එන බලපෑම. වයස 22ක් වන වැනෙසා මෙහෙම කියනවා. “අවුරුදු 10ක් විතර තිස්සේ ආශ්‍රය කරන හොඳ යාළුවෙක් මට හිටියා.” ඒත් බව්තීස්ම වෙන්න වැනෙසාට තිබුණ ඉලක්කය ජය ගන්න සත්‍යයේ හිටියේ නැති ඒ යාළුවාගෙන් එයාට වචනයකින්වත් උදව්වක් ලැබුණේ නැහැ. ඒ ගැන වැනෙසාට දැනුණේ ලොකු දුකක්. එයා මෙහෙම කියනවා. “මට යාළුවෝ හොයාගන්න අමාරුයි. මේ යාළුකම නැවැත්තුවොත් එයා වගේ යාළුවෙක් ආයේ කවදාවත් මට හොයාගන්න බැරි වෙයි කියලා මං හිතුවා.”

වරදක් වෙයි කියන බය (7 ඡේදය බලන්න) *

7. මකෙයිලා බව්තීස්ම වෙන්න බය වුණේ ඇයි? ඒකට හේතුව මොකක්ද?

7 තමන් අතින් වරදක් වෙයි කියන බය. මකෙයිලාගේ අයියාව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරද්දී මකෙයිලාට වයස 5යි. අයියා නිසා අම්මාටයි, තාත්තාටයි කොච්චර දුකක් දැනුණාද කියලා එයා දැක්කා. එයා මෙහෙම කියනවා. “මං බව්තීස්ම වුණොත් මගේ අතිනුත් වරදක් වුණාම මාව සභා සාමාජිකත්වයෙන් අයින් කරයි. එතකොට අම්මලාට ඊටත් වඩා දුකක් දැනෙයි කියලා මට බය හිතුණා.”

විරුද්ධවාදිකම්වලට තියෙන බය (8 ඡේදය බලන්න) *

8. මයෙල්ස්ට තිබුණ බය මොකක්ද?

8 විරුද්ධවාදිකම්වලට තියෙන බය. මයෙල්ස්ගේ තාත්තායි, කුඩම්මායි සාක්ෂිකරුවන් වුණත් එයාගේ අම්මා සාක්ෂිකරුවෙක් නෙමෙයි. මයෙල්ස් මෙහෙම කියනවා. “අවුරුදු 18ක්ම මං හිටියේ අම්මා එක්ක. මට බව්තීස්ම වෙන්න ඕනෙ කියලා අම්මාට කියන්න මං බය වුණා. තාත්තා සාක්ෂිකරුවෙක් වුණාම අම්මාට ගොඩක් කේන්ති ගියා. මං එක්කත් කේන්ති ගනියි කියලා මට හිතුණා.”

බාධා ජය ගන්න ඔයාට පුළුවන් කොහොමද?

9. යෙහෝවා දෙවියන් කොයි තරම් ආදරණීය, ඉවසිලිවන්ත කෙනෙක්ද කියලා තේරුම්ගද්දී ඔයා මොකක් කරන්න පෙලඹෙයිද?

9 ආදම් සහ ඒව දෙවියන්ට සේවය නොකරන්න තීරණය කළේ දෙවියන් ගැන ආදරයක් එයාලා ඇති කරගත්තේ නැති නිසයි. එයාලා අකීකරු වුණත් දරුවන් බිහි කරලා එයාලා කැමති විදිහට ඒ දරුවන් ඇතිදැඩි කරන්න දෙවියන් අවස්ථාව දුන්නා. දෙවියන්ගේ උදව් නැතුව තනියම තීරණ ගන්න එයාලා ගත්ත තීරණය මොන තරම් මෝඩ එකක්ද කියලා වැඩි කල් යන්න කලින් පැහැදිලි වුණා. ඒ දෙන්නාගේ වැඩිමල් පුතා එයාගේ මල්ලිව මරලා දැම්මා. සැහැසිකකම් සහ තමන් ගැන විතරක් හිතලා වැඩ කරන එක මිනිස් සමාජය පුරාම පැතිරිලා ගියා. (උත්. 4:8; 6:11-13) ඒ කොහොමවුණත් ආදම් සහ ඒවගෙන් පැවත ආපු, දෙවියන්ට සේවය කරන්න කැමති හැම කෙනෙක්වම මරණයෙන් ගලවගන්න දෙවියන්ට සැලැස්මක් තිබුණා. (යොහ. 6:38-40, 57, 58) යෙහෝවා දෙවියන් අපි ගැන කොයි තරම් ඉවසීමකින්, ආදරයකින් වැඩ කරනවාද කියලා තේරුම්ගද්දී දෙවියන් ගැන ඔයාගේ හිතේ තියෙන ආදරේ තව වැඩි වෙයි. එතකොට ආදම්, ඒව වගේ නොවී යෙහෝවා දෙවියන්ට ඔයාගේ ජීවිතේ කැප කරන්න ඔයා තීරණය කරයි.

ඒ අභියෝග ජය ගන්න ඔයාට පුළුවන් කොහොමද?

(9-10 ඡේද බලන්න) *

10. ගීතාවලිය 19:7 සඳහන් දේ ගැන හොඳට හිතන එක යෙහෝවා දෙවියන්ට සේවය කරන්න ඔයාට උදව් වෙන්නේ කොහොමද?

10 දිගටම යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න. ඔයා යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න තරමට ඔහුට සේවය කරන්න ඔයාට පුළුවන් කියන විශ්වාසය තව වැඩි වෙනවා. කලින් සඳහන් කරපු ඒව්රි මෙහෙම කියනවා. ගීතාවලිය 19:7 (කියවන්න.) තියෙන පොරොන්දුව ගැන හොඳට හිතද්දී මට මං ගැන විශ්වාසයක් ඇති වුණා.” ඒ පොරොන්දුව දෙවියන් ඉටු කරන විදිහ ඒව්රි අද්දකිද්දී ඔහු ගැන එයාට තිබුණ ආදරේ තව වැඩි වුණා. දෙවියන් ගැන ආදරයක් ඇති වෙද්දී ඔහුට සේවය කරන්න අපිට පුළුවන් කියන විශ්වාසය ඇති වෙනවා වගේම ඔහු අකමැති දේවල් නොකර ඉන්න අපි පෙලඹෙනවා. ඔහුට සේවය කරන්න ලොකු ආසාවකුත් අපි තුළ ඇති වෙනවා. හැනා මෙහෙම කියනවා. “බයිබලේ කියවලා හොඳට අධ්‍යයනය කරද්දී මට තේරුණා මං මාවම රිද්දවගද්දී මං දෙවියන්වත් රිද්දනවා කියලා.” (1 පේතෘ. 5:7) හැනා තීරණය කළා ‘දෙවිගේ වදන් පිළිපදින්න.’ (යාකො. 1:22) “දෙවියන්ට කීකරු වෙද්දී මට ප්‍රයෝජන ලැබෙන විදිහ මං අද්දැක්කා. ඒකෙන් මට ඔහු ගැන ලොකු ආදරයක් ඇති වුණා. මට උදව් ඕනෙ වෙලාවලදී ඔහු මට උදව් කරනවා කියලා දැන් මට විශ්වාසයි” කියලා හැනා කියනවා. එයාවම තුවාල කරගන්න එක එයා නැවැත්තුවා. හැනා එයාගේ ජීවිතේ යෙහෝවා දෙවියන්ට කැප කරලා බව්තීස්ම වුණා.

(11 ඡේදය බලන්න) *

11. හොඳ යාළුවන්ව හොයාගන්න වැනෙසා කළේ මොකක්ද? ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

11 හොඳ මිතුරන් තෝරගන්න. කාලයක් යද්දී වැනෙසා තේරුම්ගත්තා දෙවියන්ට සේවය කරන්න එයාගේ යාළුවා එයාට බාධාවක් කියලා. ඒ නිසා එයා ඒ යාළුකම නැවැත්තුවා. සභාවෙන් අලුත් යාළුවෝ හොයාගන්නත් එයා ලොකු වෑයමක් දැරුවා. නෝවාගෙයි, එයාගේ පවුලේ අයගෙයි ආදර්ශය ගැනත් වැනෙසා හිතුවා. එයා මෙහෙම කියනවා. “එයාලා වටේම හිටියේ යෙහෝවා දෙවියන්ට ආදරේ කළේ නැති අය. ඒ අයව ආශ්‍රය කරනවා වෙනුවට එයාලා කිට්ටුවෙන් ආශ්‍රය කළේ පවුලේ අයව.” වැනෙසා බව්තීස්ම වුණාට පස්සේ පුරෝගාමි සේවය පටන්ගත්තා. එයා දැන් මෙහෙම කියනවා. “පුරෝගාමි සේවේ කරද්දී මගේ සභාවෙන් විතරක් නෙමෙයි වෙන සභාවලිනුත් හොඳ යාළුවෝ හොයාගන්න මට පුළුවන් වුණා.” දෙවියන් අපිට භාර දීලා තියෙන කාර්යයේ අපි පුළුවන් උපරිමයෙන් හවුල් වෙනවා නම් ඔයාටත් පුළුවන් හොඳ යාළුවෝ හොයාගන්න.—මතෙ. 24:14.

(12-15 ඡේද බලන්න) *

12. ආදම් සහ ඒවට තිබුණේ නැත්තේ මොන වගේ බයක්ද? ඒ නිසා මොකද වුණේ?

12 අනවශ්‍ය බය නැති කරගන්න. සමහර දේවල් ගැන බයක් තියෙන එක හොඳයි. උදාහරණෙකට දෙවියන්ව අසතුටු කරන්න අපි තුළ බයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දෙවියන් ගැන අපිට ගරුබියක් තියෙන්න ඕනේ. (ගීතා. 111:10) ආදම් සහ ඒවට දෙවියන් ගැන ගරුබියක් තිබුණා නම් එයාලා දෙවියන්ට විරුද්ධව කැරලිගහන්නේ නැහැ. ඒත් එයාලා කැරලිගැහුවා. ඊටපස්සේ එයාලා දෙන්නාගෙම ඇස් ඇරුණා. ඒ කියන්නේ තමන් පව්කාරයන් කියලා එයාලට තේරුණා. එයාලගෙන් පැවතෙන අයට උරුමයක් හැටියට එයාලට දෙන්න පුළුවන් වුණේ පාපය සහ මරණය විතරයි. ඒක තේරුම්ගත්තාම එයාලට එයාලා ගැනම ලැජ්ජාවක් ඇති වෙලා කොළ අතුවලින් එයාලගේ නග්නභාවය වහගත්තා.—උත්. 3:7, 21.

13-14. (අ) 1 පේතෘස් 3:21ට අනුව මරණය ගැන අපි අනවශ්‍ය විදිහට බය වෙන්න ඕනෙ නැත්තේ ඇයි? (ආ) යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න අපිට තියෙන හේතු මොනවාද?

13 යෙහෝවා දෙවියන්ව අසතුටු කරන්න අපි තුළ බයක් තියෙන එක හොඳ දෙයක්. ඒත් මරණය ගැන අනවශ්‍ය විදිහට බය වෙන එක හොඳ දෙයක් නෙමෙයි. අපිට සදාකාලෙටම ජීවත් වෙන්න අවස්ථාව දෙන්න යෙහෝවා දෙවියන් මඟ විවෘත කරලයි තියෙන්නේ. අපි අතින් වරදක් වුණත් ඒ ගැන අපි අවංකවම පසුතැවෙනවා නම් දෙවියන් අපිට සමාව දෙනවා. ඔහු අපිට සමාව දෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාව ගැන අපිට තියෙන විශ්වාසය නිසයි. විශ්වාසය ක්‍රියාවෙන් පෙන්නන්න පුළුවන් ප්‍රධානම විදිහක් තමයි අපේ ජීවිත දෙවියන්ට කැප කරලා බව්තීස්ම වෙන එක.—1 පේතෘස් 3:21 කියවන්න.

14 යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න අපිට ඕනෙ තරම් හේතු තියෙනවා. හැම දවසකම ඔහු අපිට යහපත් දේවල් සපයනවා විතරක් නෙමෙයි ඔහු ගැනත් ඔහුගේ අරමුණු ගැනත් අපිට උගන්වනවා. (යොහ. 8:31, 32) අපිට මඟ පෙන්නන්න, උදව් කරන්න ක්‍රිස්තියානි සභාව පිහිටුවලා තියෙනවා. එදිනෙදා අපි මුහුණ දෙන ප්‍රශ්න දරාගන්න ඔහු අපිට උදව් කරනවා වගේම අනාගතයේදී පාරාදීසයක සදහටම ජීවත් වෙන බලාපොරොත්තුව දෙවියන් අපිට දීලා තියෙනවා. (ගීතා. 68:19; එළි. 21:3, 4) අපි වෙනුවෙන් තියෙන ආදරේ නිසා දෙවියන් දැනටමත් කරලා තියෙන දේවල් ගැන හොඳට හිතද්දී ඔහු ගැන අපිට ලොකු ආදරයක් ඇති වෙනවා. අපි දෙවියන්ට ආදරේ කරද්දී අනවශ්‍ය දේවලට බය වෙනවා වෙනුවට දෙවියන් ගැන ගරුබියක් ඇති කරගන්න අපිට පුළුවන්.

15. තමන් අතින් වරදක් වෙයි කියන බයෙන් ගොඩ එන්න මකෙයිලාට පුළුවන් වුණේ කොහොමද?

15 යෙහෝවා දෙවියන් සමාව දෙන විදිහ තේරුම්ගත්තාම මකෙයිලාට තිබුණ බය නැති වුණා. එයා මෙහෙම කියනවා. “අපි පව්කාරයන් නිසා අපි අතින් වැරදි වෙයි. ඒත් යෙහෝවා දෙවියන් අපිට හුඟක් ආදරෙයි. ඒ නිසා යේසුස්ගේ ජීවිත පූජාව පදනම් කරගෙන ඔහු අපිට සමාව දෙනවා කියලා මං තේරුම්ගත්තා.” යෙහෝවා දෙවියන් ගැන එයාට තිබුණ ආදරේ නිසා එයා දෙවියන්ට කැප වෙලා බව්තීස්ම වුණා.

(16ඡේදය බලන්න) *

16. විරුද්ධවාදිකම් ගැන මයෙල්ස්ට තිබුණ බය නැති කරගන්න එයාට උදව් ලැබුණේ කොහොමද?

16 අම්මා විරුද්ධ වෙයි කියලා හිතලා බව්තීස්ම වෙන්න බයෙන් හිටපු මයෙල්ස්, චාරිකා සේවක එක්ක ඒ ගැන කතා කළා. මයෙල්ස් මෙහෙම කියනවා. “චාරිකා සේවකගෙත් තාත්තා විතරයි සත්‍යයේ ඉඳලා තියෙන්නේ. බව්තීස්ම වෙන්න ගත්ත තීරණය තාත්තාගේ බලපෑම නිසා ගත්ත එකක් නෙමෙයි ඒක මගේම කැමැත්තෙන් ගත්ත තීරණයක් කියලා අම්මාට පැහැදිලි කරන්න මට පුළුවන් කොහොමද කියලා හිතන්න එයා මට උදව් කළා.” හිතුවා වගේම මයෙල්ස්ගේ අම්මා එයා ගත්ත තීරණය ගැන සතුටු වුණේ නැහැ. මයෙල්ස්ට සිද්ධ වුණා ගෙදරින් යන්න. ඒත් බව්තීස්ම වෙන්න ගත්ත තීරණය එයා වෙනස් කළේ නැහැ. එයා මෙහෙම කියනවා. “දෙවියන් මං වෙනුවෙන් මොන තරම් දේවල් කරලා තියෙනවාද කියලා දැනගද්දී ඔහු ගැන මට ලොකු ආදරයක් ඇති වුණා. යේසුස්ගේ ජීවිත පූජාව ගැන හිතද්දී මට තේරුණා යෙහෝවා දෙවියන් මට කොච්චර ආදරේද කියලා. දෙවියන්ට ජීවිතේ කැප කරලා බව්තීස්ම වෙන්න මං තීරණය කළේ ඒ නිසයි.”

ගත්ත තීරණයට එකඟව ජීවත් වෙන්න

යෙහෝවා දෙවියන් අපි වෙනුවෙන් කරලා තියෙන දේවල් අපි අගය කරනවා කියලා පෙන්නන්න අපිට පුළුවන් (17 ඡේදය බලන්න)

17. අපිට ලැබිලා තියෙන අවස්ථාව මොකක්ද?

17 කන්න එපා කියපු ගහේ පලතුර කාපු වෙලාවේ ඒව පෙන්නුවා එයාට එයාගේ තාත්තාගෙන් වැඩක් නැහැ කියලා. ඒවට එකතු වෙලා ආදම් පෙන්නුවේ යෙහෝවා දෙවියන් එයා වෙනුවෙන් කරපු කිසිම දෙයක් ගැන එයාට අගයක් නැහැ කියලයි. අපි ආදම් ඒව වගේ නෙමෙයි යෙහෝවා දෙවියන් අපි වෙනුවෙන් කරලා තියෙන හැම දෙයක්ම අපි හුඟක් අගය කරනවා කියලා පෙන්නන්න අපි හැමෝටම අවස්ථාව ලැබිලා තියෙනවා. බව්තීස්ම වෙද්දී අපි පෙන්නනවා හරි දේ සහ වැරදි දේ ගැන ප්‍රමිති පිහිටුවන්න අයිතිය තියෙන්නේ යෙහෝවා දෙවියන්ට කියන දේ අපි පිළිගන්නවා කියලා. අපි අපේ ආදරණීය තාත්තාට ආදරෙයි කියලත් ඔහුව අපිට විශ්වාසයි කියලත් අපි ගන්න ඒ තීරණයෙන් ඔප්පු වෙනවා.

18. දිගටම යෙහෝවා දෙවියන්ට හොඳින් සේවය කරන්න ඔයාට පුළුවන් කොහොමද?

18 බව්තීස්ම වුණාට පස්සෙත් අපි දිගටම අපිට ඕනෙ විදිහට නෙමෙයි දෙවියන්ගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්න ඕනේ. ඒක අභියෝගයක්. ඒත් දෙවියන්ගේ සේවකයන් මිලියන ගාණක් ඒක කරනවා. ඔයාටත් ඒක කරන්න පුළුවන්. බයිබලේ ගැන ඔයාට තියෙන අවබෝධය තව වැඩි කරගන්නවා නම්, දිගටම ඔයාගේ සහෝදර සහෝදරියන් එක්ක කිට්ටුවෙන් ආශ්‍රය කරනවා නම්, ඔයාගේ ආදරණීය තාත්තා ගැන ඔයා ඉගෙනගන්න දේවල් අනිත් අය එක්ක කතා කරනවා නම් ඔයාට ඒක කරන්න පුළුවන්. (හෙබ්‍රෙ. 10:24, 25) තීරණ ගන්න වෙද්දී බයිබලය සහ ඔහුගේ සංවිධානය මාර්ගයෙන් දෙවියන් දෙන මඟ පෙන්වීම්වලට සවන් දෙන්න. (යෙසා. 30:21) එතකොට ඔයා කරන හැම දේම සාර්ථක වෙයි.—හිතෝ. 16:3, 20.

19. ඔයා නිතරම හිතන්න ඕනෙ මොකක් ගැනද? ඒ ඇයි?

19 යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම් නිසා ඔයාට කොච්චර ප්‍රයෝජන ලැබෙනවාද කියලා ඔයා හිතන්න හිතන්න දෙවියන් ගැන ඔයාට තියෙන ආදරෙත් ඔහුගේ ප්‍රමිති ගැන තියෙන අගයත් තව වැඩි වෙයි. එතකොට දෙවියන්ට ඔයා කරන සේවය නවත්තන්න සාතන් මොන දේ ඉදිරිපත් කළත් ඔයා ඒවාට අහු වෙන එකක් නැහැ. තව අවුරුදු දාහකට පස්සේ ඔයා ගත කරන ජීවිතේ ගැන හිතන්න. එදාට ඔයාගේ ජීවිතේ දිහා ආපහු හැරිලා බලද්දී බව්තීස්ම වෙන්න ඔයා ගත්ත තීරණය තමයි ඔයා ගත්ත හොඳම තීරණය කියලා ඔයාට හිතෙයි.

ගීතිකාව 28 දෙව්ඳුන් හා මිත්‍රත්වයෙන් බැඳීම

^ 5 ඡේ. බව්තීස්ම වෙනවාද නැද්ද කියන තීරණය තමයි ඔයාට ඔයාගේ ජීවිතේ ගන්න තියෙන වැදගත්ම තීරණය. ඇයි ඒක එච්චරම වැදගත් තීරණයක් කියන්නේ? ඒකට උත්තර මේ ලිපියේ කතා කරනවා. ඒ වගේම බව්තීස්ම වෙන එක ගැන හිතහිත හිටියත් ඒක පස්සට දාන්න කෙනෙක්ට හේතු වෙන අභියෝග ජය ගන්න විදිහ ගැනත් බලමු.

^ 56 ඡේ. පින්තූරවල අදහස: තමන් ගැන විශ්වාසයක් නැති එක: හොඳින් අදහස් දක්වන්න තමන්ට හැකියාවක් නැහැ කියලා යෞවනයෙක් හිතනවා.

^ 58 ඡේ. පින්තූරවල අදහස: යාළුවෝ: දෙවියන්ට ආදරේ කරන්නේ නැති යාළුවෙක්ගේ බලපෑම නිසා යෞවන සහෝදරියක් තව සහෝදරියන් දෙන්නෙක්ව දැකලා ලැජ්ජා වෙනවා.

^ 60 ඡේ. පින්තූරවල අදහස: වරදක් වෙයි කියන බය: අයියාව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළාට පස්සේ එයා ගෙදරින් ගියාම තමන් අතිනුත් වරදක් වෙයි කියන බයෙන් ඉන්න යෞවනියක්.

^ 62 ඡේ. පින්තූරවල අදහස: විරුද්ධවාදිකම්: යෞවනයෙක් සත්‍යයේ නැති අම්මා ඉස්සරහා යාච්ඤා කරන්නේ ටිකක් බයෙන්.

^ 65 ඡේ. පින්තූරවල අදහස: තමන් ගැන විශ්වාසයක් නැති එක: යෞවනයෙක් තව හොඳින් පෞද්ගලික අධ්‍යයනයේ යෙදෙනවා.

^ 67 ඡේ. පින්තූරවල අදහස: යාළුවෝ: යෞවනියක් තමන් සාක්ෂිකරුවෙක් කියලා බය නැතුව පෙන්නනවා.

^ 69 ඡේ. පින්තූරවල අදහස: වරදක් වෙයි කියන බය: යෞවනියක් දෙවියන් එක්ක බැඳීමක් ඇති කරගෙන බව්තීස්ම වෙනවා.

^ 71 ඡේ. පින්තූරවල අදහස: විරුද්ධවාදිකම්: යෞවනයෙක් බය නැතුව එයාගේ විශ්වාසයන් ගැන අම්මාට කියනවා.