Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 20

අපචාරයට ගොදුරු වුණ අයව සනසමු

අපචාරයට ගොදුරු වුණ අයව සනසමු

“සියලු සැනසිල්ලේ දෙවි ඔහුය. අපගේ සියලු පීඩාවලදී අපව සනසන්නේ ඔහුය.”—2 කොරි. 1:3, 4.

ගීතිකාව 134 දරුවන් දෙවිගෙන් ලද සම්පතක්

මේ ලිපියෙන් *

1-2. (අ) අනිත් අයගෙන් සහනයක් ලබන්න අපි ආසයි වගේම අනිත් අයව සනසන්න අපිට හැකියාවක් තියෙනවා කියලා පැහැදිලි වෙන උදාහරණයක් කියන්න. (ආ) සමහර දරුවන් මුහුණ දෙන වේදනාකාරී දේ මොකක්ද?

අපි හැමෝම අනිත් අයගෙන් සහනය ලබන්න ආසයි වගේම අනිත් අයව සනසන්නත් අපිට තියෙන්නේ පුදුම හැකියාවක්. හිතන්න, පුංචි පුතෙක් සෙල්ලම් කරකර ඉද්දී වැටිලා එයාගේ දණහිස තුවාල වුණා කියලා. එයා අඬාගෙන අම්මා ළඟට යනවා. තුවාලේ සනීප කරන්න අම්මාට බැහැ. ඒත් එයා පුතාව ළඟට අරගෙන, මොකද වුණේ කියලා අහලා, ඇස් දෙකේ කඳුළු පිහදාලා, තුවාලෙට බෙහෙත් දාලා එයාව සනසනවා. ටික වෙලාවකින් පුතා අඬන එක නතර කරලා සමහරවිට ආයෙත් සෙල්ලම් කරන්න යයි. දවසක් දෙකක් යද්දී තුවාලෙත් හොඳ වෙයි.

2 සමහර දරුවන් ඊට වඩා වේදනාකාරී දේවලට මුහුණ දෙනවා. ළමා ලිංගික අපචාරය ඒ වගේ වේදනාකාරී අද්දැකීමක්. දරුවෙක් එක වතාවක් අපයෝජනයට ලක් වුණත් ඒක අවුරුදු ගාණක් පුරා කීප වතාවක්ම සිද්ධ වුණත් ඒකෙන් හිතටත් මනසටත් වෙන හානිය ජීවිත කාලේ පුරාම එයාට බලපාන්න පුළුවන්. දරුවන්ව අපයෝජනය කරන සමහරුන් නීතියෙන් දඬුවම් ලබනවා. තවත් සමහරු කිසිම දඬුවමක් නොලබා ඒකෙන් බේරුණා වගේ පෙනෙයි. ඒත් අපචාරය කරපු කෙනාට දඬුවම් ලැබුණ නිසාම ඒකට ගොදුරු වුණ දරුවාට දැනෙන වේදනාව අඩු වෙනවා කියලා හිතන්න එපා. එයා වැඩිහිටියෙක් වුණාට පස්සෙත් ඒ වේදනාකාරී මතකයන් එක්ක එයාට සටනක් කරන්න වෙයි.

3. 2 කොරින්ති 1:3, 4 කියන විදිහට යෙහෝවා දෙවියන් දකින්න කැමති මොකක්ද? අපි බලන්නේ මොන ප්‍රශ්න 3ද?

3 ළමා කාලේදී ලිංගික අපචාරයට ලක් වුණ සහෝදරයෙක් හෝ සහෝදරියක් තාමත් ඒ වේදනාකාරී මතකයන් එක්ක පීඩා විඳිනවා නම් එයාට සහනයක් ලබන්න පුළුවන් කොහොමද? (2 කොරින්ති 1:3, 4 කියවන්න.) යෙහෝවා දෙවියන්ට ඕනෙ ඔහුගේ බැටළුවන් ආදරේ, රැකවරණය ලබනවා දකින්න. ඒ නිසා අපි මේ ප්‍රශ්න 3ට උත්තර බලමු. (1) ළමා ලිංගික අපචාරයට ගොදුරු වුණ අයට සහනය ඕනෙ ඇයි? (2) එයාලව සනසන්න පුළුවන් කාටද? (3) එයාලව සනසන්න පුළුවන් කොහොමද?

සහනය ඕනෙ ඇයි?

4-5. (අ) දරුවෙක් වැඩිහිටියන්ට වඩා හුඟක් පැතිවලින් වෙනස් කියලා අපි අවබෝධ කරගන්න ඕනෙ ඇයි? (ආ) දරුවෙක්ව අපයෝජනයට ලක් වුණාම අනිත් අය ගැන එයාට තියෙන විශ්වාසයට ඒක බලපාන්නේ කොහොමද?

4 ළමා කාලේදී අපයෝජනයට ලක් වුණ, දැන් වැඩිහිටි වයසේ ඉන්න සමහරුන්ට තාමත් සහනය ඕනෙ ඇති. ඒ ඇයි කියලා තේරුම්ගන්න අපි මුලින්ම අවබෝධ කරගන්න ඕනෙ දරුවෙක් වැඩිහිටියන්ට වඩා හුඟක් පැතිවලින් වෙනස් කියලා. අපචාරයට ලක් වුණ දරුවෙක්ට ඒක බලපාන විදිහ නරක දේකට මුහුණ දෙන වැඩිහිටියෙක්ට ඒක බලපාන විදිහට වඩා හුඟක් වෙනස්. දරුවෙකුට ඒකෙන් වෙන හානිය කොයි තරම් බරපතළද කියලා ඊළඟ ඡේදවල කතා කරන කරුණුවලින් පැහැදිලියි.

5 දරුවන්ට පුළුවන් වෙන්න ඕනෙ එයාලව බලාගන්න අයට ළං වෙන්න වගේම ඒ අයව විශ්වාස කරන්න. ඒ වගේ බැඳීම් ඇති වෙද්දී දරුවන්ට ආරක්ෂාවක් දැනෙනවා. එයාලට ආදරේ කරන අය ගැන විශ්වාසයකුත් ඒකෙන් ඇති වෙනවා. (ගීතා. 22:9) ඒත් හුඟක් දරුවන් අපයෝජනයට ලක් වෙලා තියෙන්නේ ගෙදරදී, එයාලගේ පවුලේම කෙනෙක් එහෙම නැත්නම් පවුලේ කිට්ටු යාළුවෙක් අතින්. දරුවා විශ්වාසය තියපු කෙනෙක් ඒ විදිහේ දෙයක් කළාම ආයෙත් කෙනෙක් ගැන විශ්වාස තියන්න දරුවෙක්ට අමාරුයි. අපචාරය සිද්ධ වෙලා අවුරුදු ගාණකට පස්සෙත් එයාට අනිත් අය ගැන විශ්වාසය තියන්න අමාරුයි.

6. ලිංගික අපචාරය හානිදායක දෙයක් කියන්නේ ඇයි?

6 තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දේවල් කරන්න දරුවෙක්ට බැහැ. ලිංගික අපචාරය නිසා වෙන්නේ ලොකු හානියක්. විවාහ වුණ දෙන්නෙක් අතරේ සිදු වෙන ලිංගික සම්බන්ධකම් ගැන දරුවෙක්ට අවබෝධයක් නැහැ. ඒ වගේ දේකට එයාගේ ශරීරයත් සූදානම් නැහැ. එයාට අවබෝධයක් නැති, එයා සූදානම් නැති දේකට එයාව බලෙන් හවුල් කරගන්න එකෙන් එයාට වෙන්නේ ලොකු හානියක්. ලිංගික කාරණා ගැන එයාට වැරදි අදහසක් ඇති වෙන්න පුළුවන්. තමන් වටින්නේ නැහැ කියන හැඟීමත් දරුවෙක්ට ඇති වෙනවා.

7. (අ) අපචාරකයන්ට දරුවෙක්ව ලේසියෙන්ම රවට්ටගන්න පුළුවන් ඇයි? දරුවන්ව රවට්ටන්න එයාලා කියන්නේ මොන වගේ බොරුද? (ආ) ඒ වගේ බොරු නිසා දරුවෙක්ට මොකද වෙන්නේ?

7 දරුවෙක්ට දේවල් කිරලා මැනලා තීරණ ගන්න හෝ අනතුරක් හඳුනගෙන ඒකෙන් වළකින්න පුළුවන් හැකියාව අඩුයි. (1 කොරි. 13:11) ඒ නිසා කෙනෙක්ට ලේසියෙන්ම දරුවන්ව රවට්ටලා අපයෝජනය කරන්න පුළුවන්. අපචාරකයන් දරුවන්ව රවට්ටගන්න කියන බොරු හරිම භයානකයි. උදාහරණෙකට එයාලා කියනවා දරුවා අපයෝජනයට ලක් වෙන්නේ එයාගෙම වරදින් කියලා. ඒක රහසක් විදිහට තියාගන්න කියලත් දරුවා ඒ ගැන කාට හරි කිව්වත් කවුරුත් එයාව විශ්වාස කරන්නේ හෝ එයාට උදව් කරන්නේ නැහැ කියලත් එයාලා කියනවා. එකිනෙකාට තියෙන ආදරේ පෙන්නන්න වැඩිහිටියන් දරුවන් එක්ක ඒ විදිහේ ලිංගික ක්‍රියාවල යෙදනවා කියන බොරුවත් එයාලා කියනවා. ඒ බොරු නිසා දරුවෙකුගේ මනස අවුල් වෙනවා. ඒවා ඇත්ත නෙමෙයි කියලා අවබෝධ කරගන්න දරුවෙක්ට අවුරුදු ගාණක් යන්න පුළුවන්. එහෙම දරුවෙක්ට හැඟෙනවා එයාට කා එක්කවත් අඩුම ගානේ දෙවියන් එක්කවත් හොඳ බැඳීමක් ඇති කරගන්න බැහැ කියලා. තමන් ආදරේ ලබන්න වටින්නේ නැහැ කියලයි එයාට හිතෙන්නේ. එයා වරදක් කළේ නැතත් තමන් අතින් වරදක් වුණා කියන හැඟීම එයාට ඇති වෙනවා.

8. වේදනාවෙන් ඉන්න අයව සනසන්න යෙහෝවා දෙවියන්ට පුළුවන් කියලා අපිට ස්ථිර ඇයි?

8 ලිංගික අපචාරයට ගොදුරු වුණ අය අවුරුදු ගාණක් ගියත් ලොකු දුකක් අද්දකින්නේ ඇයි කියලා ඒ තොරතුරුවලින් පැහැදිලියි. ඒක හරිම කුරිරු අපරාධයක්. ලිංගික අපචාරය ලෝකේ පුරාම වසංගතයක් වගේ පැතිරිලා තියෙන එකෙන් පේනවා අපි ජීවත් වෙන්නේ අවසාන කාලේ කියලා. “දුෂ්ට මිනිසුන් සහ ප්‍රෝඩාකාරයන් තව තවත් නරක අතට හැරෙන” මේ කාලේ ජීවත් වෙන මිනිසුන්ට “තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැහැ.” (2 තිමෝ. 3:1-5, 13) මිනිසුන්ට රිද්දන්න සාතන් යොදලා තියෙන උපායන් හරිම දුෂ්ටයි. සාතන් සතුටු වෙන දේවල් මිනිසුන් කරද්දී ඒක මොන තරම් දුකක්ද! ඒත් සාතන්ට වඩා යෙහෝවා දෙවියන් හුඟක් බලවත්. සාතන්ගේ හැම කූට උපායක් ගැනම දෙවියන් දන්නවා. ඒවා නිසා අපි විඳින වේදනාව දෙවියන් දකිනවා. අපිව සනසන්න ඔහුට පුළුවන්. “සියලු සැනසිල්ලේ දෙවි” වන යෙහෝවාට සේවය කරන්න අපිට ලැබුණ එක මොන තරම් ආශීර්වාදයක්ද! “අපගේ සියලු පීඩාවලදී අපව සනසන්නේ ඔහුයි. දෙවිගෙන් අප ලබන එම සැනසීම තුළින් ඕනෑම ආකාරයක පීඩාවක් විඳින අයව සැනසීමට අපටත් හැකියි.” (2 කොරි. 1:3, 4) දෙවියන් අපිව සනසන්නේ කවුරු මාර්ගයෙන්ද?

සනසන්න පුළුවන් කාටද?

9. දෙමාපියන් තමන්ගේ වගකීම හරියට ඉටු කරන්නේ නැති වෙද්දී ගීතාවලිය 27:10 කියන විදිහට යෙහෝවා දෙවියන් මොකක්ද කරන්නේ?

9 දෙමාපියන්ගේ රැකවරණය ලැබුණේ නැති නිසා ලිංගික අපචාරයට ලක් වුණ එහෙම නැත්නම් තමන් විශ්වාසය තියපු කෙනෙක් අතින් අපචාරයට ලක් වුණ අයට විශේෂයෙන්ම සහනය ඕනේ. ඕනෙම අවස්ථාවක අපිව සනසන්න යෙහෝවා දෙවියන් සූදානම්. (ගීතාවලිය 27:10 කියවන්න.) තමන්ගෙම පවුලේ අයගේ කුරිරුකම්වලට මුහුණ දුන්න අයට යෙහෝවා දෙවියන් ආදරණීය තාත්තා කෙනෙක් වෙනවා. දෙවියන් එයාලව රැකබලා ගන්නේ කොහොමද? ඔහු ඒක කරන්නේ ඔහුගේ විශ්වාසවන්ත සේවකයන් මාර්ගයෙන්. සභාවේ සහෝදර, සහෝදරියන් හරියට පවුලක සාමාජිකයන් වගේ. යේසුස් කිව්වා යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න ඔහුත් එක්ක එකතු වෙන අයව ඔහු සලකන්නේ ඔහුගෙම පවුලේ අය හැටියට කියලා.—මතෙ. 12:48-50.

10. වැඩිමහල්ලෙක් විදිහට පාවුල්ට තිබුණ කාර්යයට ඇතුළත් වුණේ මොකක්ද?

10 සභාවේ අය පවුලක සාමාජිකයන් වගේ කියලා පාවුල්ගේ ආදර්ශයෙන් පේනවා. එයා වෙහෙස නොබලා වැඩ කරපු විශ්වාසවන්ත වැඩිමහල්ලෙක්. එයා ක්‍රිස්තුස්ව ආදර්ශයට ගත්ත විදිහටම එයාවත් ආදර්ශයට ගන්න කියලා කිව්වා. (1 කොරි. 11:1) වැඩිමහල්ලෙක් විදිහට එයාට තිබුණ කාර්යය ගැන පාවුල් මෙහෙම කිව්වා. “කිරි දෙන මවක් ඇගේම දරුවන්ව ආදරයෙන් රැකබලා ගන්නා සේ අපි ඔබ අතරේ සිටියදී ඔබව ඉමහත් සෙනෙහසකින් රැකබලා ගත්තෙමු.” (1 තෙස. 2:7) බයිබලේ යොදාගෙන වේදනාවෙන් ඉන්න අයව සනසද්දී අද ඉන්න වැඩිමහල්ලන්ටත් පුළුවන් එයාලගේ ආදරේ ඒ අයට දැනෙන විදිහට කතා කරන්න.

අවබෝධයෙන් වැඩ කරන සහෝදරියන් දන්නවා තව කෙනෙක්ව සනසන්නේ කොහොමද කියලා (11 ඡේදය බලන්න) *

11. අනිත් අයව සනසන්න පුළුවන් වැඩිමහල්ලන්ට විතරක් නෙමෙයි කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?

11 වේදනාවෙන් ඉන්න අයව සනසන්න පුළුවන් වැඩිමහල්ලන්ට විතරද? නැහැ. “එකිනෙකාව සනසන්න” අපි හැමෝටම වගකීමක් තියෙනවා. (1 තෙස. 4:18) විශේෂයෙන්ම අවබෝධයෙන් වැඩ කරන සහෝදරියන්ට පුළුවන් දුකෙන් ඉන්න සහෝදරියකව සනසන්න. වේදනාවෙන් ඉන්න අයව සනසන විදිහ ගැන කියද්දී යෙහෝවා දෙවියන් ඔහුව සමාන කළේ පුතෙකුව සනසන අම්මා කෙනෙක්ට. (යෙසා. 66:13) දුකෙන් හිටපු අයව සනසවපු කාන්තාවන් ගැන වාර්තා බයිබලේ තියෙනවා. (යෝබ් 42:11) වේදනාවෙන් ඉන්න සහෝදරියන්ව සනසන්න සෙසු සහෝදරියන් උත්සාහ කරද්දී යෙහෝවා දෙවියන් සතුටු වෙනවා. සමහර අවස්ථාවලදී මානසිකව වැටිලා ඉන්න සහෝදරියකට උදව් කරන්න පුළුවන්ද කියලා සහෝදරියකගෙන් වැඩිමහල්ලන් අහයි. *

සහනයක් වෙන්නේ කොහොමද?

12. අපි වළකින්න ඕනෙ මොකක් කරන එකෙන්ද?

12 කෙනෙක්ට උදව් කරන්න හදද්දී එයා කියන්න අකමැති දේවල් හාරා අවුස්සලා දැනගන්න හදන්න එපා. (1 තෙස. 4:11) සහනය ඕනෙ කරන අය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් මොනවාද? බයිබලෙන් කරුණු 5ක් බලමු.

13. 1 රාජාවලිය 19:5-8 සඳහන් වෙන විදිහට දේවදූතයා එලියා වෙනුවෙන් කළේ මොකක්ද? ඒ දේවදූතයාව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

13 වේදනාවෙන් ඉන්න කෙනාට උදව් වෙන දෙයක් කරන්න. තමන්ව මරන්න හොයන අයගෙන් පලා යද්දී එලියා කොච්චර මානසිකව වැටිලා හිටියාද කියනවා නම් මැරුණා නම් හොඳයි කියලා එයාට හිතුණා. අධෛර්යය වෙලා හිටපු එලියා ළඟට යෙහෝවා දෙවියන් දේවදූතයෙක්ව එව්වා. දේවදූතයා එලියාට රස්නෙන් කෑමක් දීලා කිව්වා ඒක කන්න කියලා. ඒ වෙලාවේ එලියාට ඕනෙම කරලා තිබුණ දේ ඒකයි. (1 රාජාවලිය 19:5-8 කියවන්න.) තව කෙනෙක් වෙනුවෙන් අපි කරන පුංචි දේකින් වුණත් එයාට ලොකු දිරිගැන්වීමක් ලැබෙයි කියන පාඩම ඒ සිද්ධියෙන් අපි ඉගෙනගන්නවා. එයා වෙනුවෙන් කරන පොඩි දෙයින් වුණත් අපේ ආදරේ, සැලකිල්ල පෙන්නන්න පුළුවන්. උදාහරණෙකට එයාට කෑමක්, පොඩි තෑග්ගක්, දිරිගන්වන වචන කීපයක් ලියපු කාඩ් එකක් දෙන්න පුළුවන්. වේදනාකාරී අද්දැකීම් ගැන තව කෙනෙක් කියද්දී ඒකට සවන් දෙන්න ඔයාට අමාරුයි නම් එයා දිරිගැන්වෙයි කියලා හිතෙන දෙයක් එයා වෙනුවෙන් කරලා ඔයාගේ සැලකිල්ල පෙන්නන්න.

14. එලියා ගැන සඳහන් වාර්තාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

14 වේදනාවෙන් ඉන්න කෙනාට පහසුවක් දැනෙන, සුරක්ෂිත හැඟීමක් ඇති වෙන විදිහට දේවල් කරන්න. එලියාගේ සිද්ධියෙන් අපිට තවත් දෙයක් ඉගෙනගන්න පුළුවන්. යෙහෝවා දෙවියන් දේවදූතයා මාර්ගයෙන් දුන්න උදව් නිසා එලියාට පුළුවන් වුණා හොරෙබ් කන්ද දක්වාම පයින් යන්න. හුඟක් ඈතින් තිබුණ, සියවස් ගාණකට කලින් යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟ එක්ක ගිවිසුමක් ඇති කරගත්ත ඒ තැන සුරක්ෂිතයි කියලා එලියාට දැනෙන්න ඇති. එයාව මරන්න හොයපු අයගෙන් දැන් එයා ඉන්නේ හුඟක් ඈතින් කියලා එයාට හැඟෙන්න ඇති. ලිංගික අපචාරයට ගොදුරු වුණ කෙනෙක්ට උදව් කරන්න නම් එයාට තවදුරටත් හානියක් වෙන්නේ නැහැ කියන හැඟීම මුලින්ම අපි එයා තුළ ඇති කරන්න ඕනේ. උදාහරණෙකට වේදනාවෙන් ඉන්න සහෝදරියකට එයාට හැඟෙන විදිහ පහසුවෙන් කියන්න පුළුවන් වෙන්නේ මොන වගේ වටපිටාවක කතා කළොත්ද කියලා වැඩිමහල්ලන් හිතන්න ඕනේ. සමහරවිට නමස්කාර මධ්‍යස්ථානයේ කතා කරනවාට වඩා එයාගේ ගෙදර, තේ එකක් බොන ගමන් කතා කරන එක එයාට පහසු වෙයි. හැබැයි තවත් කෙනෙක් කැමති වෙයි නමස්කාර මධ්‍යස්ථානයේ කතා කරන්න.

ඉවසීමෙන් සවන් දෙන එකෙන්, යාච්ඤා කරන එකෙන්, සහනයක් ගේන විදිහට කතා කරන එකෙන් වේදනාවෙන් ඉන්න කෙනාට සුවයක් දැනෙයි (15-20 ඡේද බලන්න) *

15-16. හොඳින් සවන් දෙන කෙනෙක් මොනවාද කරන්නේ?

15 හොඳ සවන් දෙන්නෙක් වෙන්න. “සෑම මිනිසෙක්ම ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි” කියලා බයිබලේ කියනවා. (යාකො. 1:19) තව කෙනෙක්ට හොඳින් සවන් දෙනවා කියන්නේ මුකුත් නොකියා එයා දිහා බලන් ඉන්න එකට නෙමෙයි. ඒකට ඊට වඩා දෙයක් ඇතුළත්. උදාහරණෙකට එලියා එයාට හැඟුණ විදිහ ගැන කියද්දී දෙවියන් හොඳින් සවන් දුන්නා. එලියා ඉන්නේ බයෙන් කියලත් එයාට හැඟෙන්නේ එයා තනි වෙලා කියලත් එයා කරපු කිසිම දේකින් වැඩක් නැහැ කියලා එයා හිතනවා කියලත් යෙහෝවා දෙවියන් තේරුම්ගත්තා. එයාව අධෛර්යය කරපු ඒ හැම හැඟීමකින්ම ගොඩ එන්න දෙවියන් එයාට උදව් කළා. ඒකෙන් පැහැදිලියි දෙවියන් ඇත්තටම එලියාට සවන් දුන්නා කියලා.—1 රාජා. 19:9-11, 15-18.

16 දුකෙන් ඉන්න කෙනෙක්ට ඇහුම්කන් දෙද්දී එයාට අනුකම්පාව පෙන්නන්න පුළුවන් කොහොමද? එයාව තේරුම් අරන් එයාට ආදරෙන් කතා කරද්දී ඔයාට එයා ගැන තියෙන අනුකම්පාව එයාට දැනෙයි. උදාහරණෙකට “ඔයාට වෙච්ච දේ ගැන මට හුඟක් දුකයි. කිසිම දරුවෙක්ට ඒ වගේ දෙයක් වෙන්න හොඳ නැහැ” කියලා කියන්න ඔයාට පුළුවන්. එයාව තව හොඳින් තේරුම්ගන්න මේ වගේ ප්‍රශ්න ඔයාට එයාගෙන් අහන්න පුළුවන්. “ඔයා කියපු දේ හොඳින් තේරුම්ගන්න මට තව පොඩ්ඩක් විස්තර කියන්න පුළුවන්ද?” නැත්නම් “ඔයා කියපු දෙයින් මට තේරුණේ . . . මං තේරුම්ගත්ත විදිහ හරිද?” ඔයා කියන, අහන ඒ වගේ දේවල් නිසා ඔයා ඇත්තටම එයාට සවන් දෙනවා කියලත් එයාව තේරුම්ගන්න ඔයා උත්සාහ කරනවා කියලත් එයාට දැනෙයි.—1 කොරි. 13:4, 7.

17. අපි “කතා කිරීමට ප්‍රමාද වෙන්න” ඕනෙ ඇයි?

17 ඒත් “කතා කිරීමට ප්‍රමාද වෙන්න” කියන උපදෙස මතක තියාගන්න. එයා කතා කරද්දී ඒකට බාධා කරන්නවත් එයා හිතන විදිහ නිවැරදි කරන්නවත් හදන්න එපා. ඉවසීමෙන් අහගෙන ඉන්න. එලියා එයාට හැඟුණ විදිහ යෙහෝවා දෙවියන්ට කියද්දී එයා කතා කළේ ගොඩක් දුකෙන්. දෙවියන් එයාව ශක්තිමත් කළාට පස්සෙත් එලියා ආයෙත් කලින් කියපු දේවල්ම කිව්වා. (1 රාජා. 19:9, 10, 13, 14) ඒකෙන් අපි ඉගෙනගන්නේ මොකක්ද? සමහර වෙලාවට වේදනාවෙන් ඉන්න කෙනා එයාට හැඟෙන විදිහ ගැන ආයේ ආයේ කියයි. දෙවියන් වගේ අපිත් ඉවසීමෙන් සවන් දෙන්න ඕනේ. ඉක්මන් වෙලා විසඳුම් දෙනවා වෙනුවට එයාට දයානුකම්පාවෙන් සලකන්න.—1 පේතෘ. 3:8.

18. වේදනාවෙන් ඉන්න කෙනෙක් එක්ක යාච්ඤා කරන එක එයාට සහනයක් වෙන්නේ කොහොමද?

18 වේදනාවෙන් ඉන්න කෙනාත් එක්ක යාච්ඤා කරන්න. මානසිකව වැටිලා ඉන්න කෙනෙක්ට හැඟෙයි එයාට යාච්ඤා කරන්න බැහැ කියලා. දෙවියන් එක්ක කතා කරන්න තරම් තමන් වටින්නේ නැහැ කියලා එයාට හිතෙයි. එහෙම කෙනෙක්ව සනසන්න පුළුවන් විදිහක් තමයි එයාත් එක්ක යාච්ඤා කරන එක. එයාගේ නම කියලා යාච්ඤා කරන්න. එයාව අපිටත් සභාවටත් ගොඩක් වටිනවා කියලා යාච්ඤාවේදී කියන්න. එයාව යෙහෝවා දෙවියන්ට හුඟක් වටින නිසා එයාගේ හිතට සාමය, සහනය දෙන්න කියලා දෙවියන්ට කන්නලව් කරන්න. එහෙම කරද්දී එයාට ලොකු සහනයක් දැනෙයි.—යාකො. 5:16.

19. කෙනෙක්ව සනසන්න කලින් අපි කරන්න ඕනෙ මොනවාද?

19 සුවයක්, සහනයක් ගේන විදිහට කතා කරන්න. දෙයක් කියන්න කලින් හිතන්න. හිතන්නේ බලන්නේ නැතුව කතා කරද්දී අනිත් කෙනාට ඒක වේදනාවක්. කෙනෙක්ව තේරුම් අරන් කතා කරද්දී ඒක එයාට සහනයක්. (හිතෝ. 12:18) ඒ නිසා සහනයක් දැනෙන විදිහට කතා කරන්න ඔයාට උදව් කරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන්න. තව කෙනෙක්ව සනසන්න බයිබලේ සඳහන් දෙවියන්ගේ වදන්වලට වඩා ප්‍රබල දෙයක් තවත් නැහැ කියලා අමතක කරන්න එපා.—හෙබ්‍රෙ. 4:12.

20. අපචාරයට ලක් වුණ සහෝදර සහෝදරියන්ට තමන් ගැන කොහොම හැඟෙන්න පුළුවන්ද? අපි එයාලට මතක් කරලා දෙන්න ඕනෙ මොකක්ද?

20 බාල වයසේදී අපචාරයට ලක් වුණ සහෝදරයෙක්ට හෝ සහෝදරියකට හිතෙන්න පුළුවන් එයා අපවිත්‍රයි, එයාගෙන් කිසිම වැඩක් නැහැ, කවුරුත් එයාට ආදරේ කරන්නේ නැහැ, ආදරේ ලබන්න එයා වටින්නේ නැහැ කියලා. ඒත් ඒක බොරුවක්. බයිබලේ පාවිච්චි කරලා එයාට මතක් කරලා දෙන්න යෙහෝවා දෙවියන් එයාට ගොඩක් ආදරෙයි කියලා. (“ දෙවියන්ගේ වදන්වලින් සහනයක් ලබන්න” කියන කොටුව බලන්න.) දුර්වල වෙලා හිටපු දානියෙල්ව දේවදූතයෙක් ආදරෙන් ශක්තිමත් කරපු විදිහ මතකද? යෙහෝවා දෙවියන්ට ඕනෙ වුණේ දානියෙල්ව දෙවියන්ට හුඟක් වටිනවා කියලා එයාට මතක් කරන්න. (දානි. 10:2, 11, 19) දුකෙන් ඉන්න අපේ සහෝදරයන්වත් යෙහෝවා දෙවියන්ට ඒ වගේම වටිනවා.

21. පසුතැවිලි නොවන හැම කෙනෙක්ටම මොකද වෙන්නේ? අසාධාරණකම්වලට මුහුණ දුන්න අය වෙනුවෙන් අපි කරන්න ඕනෙ මොනවාද?

21 අනිත් අයව සනසද්දී අපි කරන්නේ දෙවියන් එයාලට ආදරෙයි කියලා එයාලට මතක් කරන එකයි. යෙහෝවා දෙවියන් යුක්තිය ඉටු කරන දෙවි කෙනෙක් කියලත් අපි අමතක කරන්න හොඳ නැහැ. කවුරු දැක්කේ නැතත් අපචාරයට ලක් වෙන හැම කෙනෙක් ගැනම දෙවියන් දන්නවා. අපචාරය වගේ පහත්, බරපතළ වරදක් කරලා පසුතැවිලි නොවන හැම කෙනෙක්ටම දෙවියන් අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා. (ගණන්. 14:18) ලිංගික අපචාරයට ලක් වුණ අයට අපේ ආදරේ පෙන්නන්න අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම දැන් අපි කරමු. සාතන් සහ ඔහු යටතේ තියෙන මේ දුෂ්ට සමාජය නිසා අපි අද්දැක්ක වේදනාවන් දෙවියන් සදහටම නැති කරනවා. ඒක අපිට ලොකු සහනයක්! අපේ වේදනාකරී මතකයන් ආයේ කවදාවත් මතක් වෙන්නේ නැති කාලයක් ළඟදීම එනවා.—යෙසා. 65:17.

ගීතිකාව 109 හද පත්ලෙන් නැඟෙනා ප්‍රේමය

^ 5 ඡේ. ළමා කාලේදී ලිංගික අපචාරයට ගොදුරු වුණ අය සමහරවිට අවුරුදු ගාණක් යන කල් වුණත් අභියෝගවලට මුහුණ දෙනවා. ඒ ඇයි කියලා තේරුම්ගන්න මේ ලිපිය අපිට උදව් වෙනවා. ඒ වගේ අයව සනසන්න පුළුවන් කාටද කියලත් එයාලව සනසන්න පුළුවන් මොන විදිවලින්ද කියලත් අපි බලමු.

^ 11 ඡේ. වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න ඕනෙද නැද්ද කියන තීරණය ගන්න ඕනෙ අපචාරයට ලක් වුණ පුද්ගලයායි.

^ 76 ඡේ. පින්තූරයේ අදහස: සහෝදරියක් වේදනාවෙන් ඉන්න සහෝදරියකව සනසනවා.

^ 78 ඡේ. පින්තූරයේ අදහස: වැඩිමහල්ලන් දෙන්නෙක් දුකෙන් ඉන්න සහෝදරියව හම්බ වෙන්න ගිහින්. ඒ සහෝදරිය එයාව සනසන්න ඉදිරිපත් වුණ සහෝදරියටත් එන්න කියලා.