Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 18

ක්‍රිස්තියානි සභාවේදී දෙවියන්ගේ ආදරේ සහ යුක්තිය අද්දකින්න

ක්‍රිස්තියානි සභාවේදී දෙවියන්ගේ ආදරේ සහ යුක්තිය අද්දකින්න

“එකිනෙකාට තනිව දරාගත නොහැකි දේවල් ඉසිලීමට දිගටම එකිනෙකාට උදව් කරන්න. එසේ කිරීමෙන් ක්‍රිස්තුස්ගේ නීතිය ඉටු කරන්න.”—ගලා. 6:2.

ගීතිකාව 12 යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨයි

මේ ලිපියෙන් *

1. අපිට ස්ථිර වෙන්න පුළුවන් මොන දේවල් 2 ගැනද?

යෙහෝවා දෙවියන් ඔහුගේ සේවකයන්ට හුඟක් ආදරෙයි. ඒ ආදරේ කවදාවත් වෙනස් වෙලත් නැහැ. වෙනස් වෙන්නෙත් නැහැ. ඔහු යුක්තියටත් ප්‍රිය දෙවි කෙනෙක්. (ගීතා. 33:5) ඒ නිසා අපිට දේවල් 2ක් ගැන ස්ථිර වෙන්න පුළුවන්. (1) තමන්ගේ සේවකයන් අසාධාරණයකට මුහුණ දෙද්දී ඒක දෙවියන්ට වේදනාවක්. (2) ඔහු අනිවාර්යයෙන්ම යුක්තිය ඉටු කරනවා. මේ ලිපි මාලාවේ 1වෙනි ලිපියෙන් * අපි ඉගෙනගත්තා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට දුන්න නීතිය පදනම් වුණේ ආදරේ මත කියලා. ඒ නීතිය නිසා කිසි හව්හරණක් නැති අයටත් යුක්තිය ඉටු වුණා. (ද්වි. 10:18) යෙහෝවා දෙවියන්ට ඔහුගේ සේවකයන් ගැන තියෙන සැලකිල්ල ඒ නීතියෙන් පැහැදිලි වුණා.

2. අපි බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

2 ක්‍රි.ව. 33දී ක්‍රිස්තියානි සභාවේ ආරම්භයත් එක්කම මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතිය අවලංගු වුණා. ඒ කියන්නේ ආදරේ මත පදනම් වුණ, යුක්තිය ඉටු කරන්න දායක වෙන නීතියකින් ලැබෙන ආරක්ෂාව ක්‍රිස්තියානීන්ට නැහැ කියන එකද? එහෙම කියන්න බැහැ. මොකද ක්‍රිස්තියානීන්ට අලුත් නීතියක් ලැබුණා. ඒ අලුත් නීතිය මොකක්ද කියලා අපි මුලින්ම බලමු. ඊටපස්සේ මේ ප්‍රශ්නවලට උත්තර බලමු. ඒ අලුත් නීතිය පදනම් වෙන්නෙත් ආදරේ මත කියන්නේ ඇයි? ඒකෙන් යුක්තිය ඉටු වෙනවා කියන්නේ ඇයි? ඒ නීතියට අනුව අධිකාරියක් තියෙන අය අනිත් අයට සලකන්න ඕනෙ කොහොමද?

“ක්‍රිස්තුස්ගේ නීතිය”

3. ගලාති 6:2 පෙන්නලා තියෙන විදිහට “ක්‍රිස්තුස්ගේ නීතියට” ඇතුළත් වෙන්නේ මොනවාද?

3 ගලාති 6:2 කියවන්න. ක්‍රිස්තියානීන් ඉන්නේ “ක්‍රිස්තුස්ගේ නීතිය” යටතේ. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට නීති මාලාවක් ලියලා දුන්නේ නැතත් ජීවිතවලට අදාළ කරගන්න ඕනෙ උපදෙස්, ආඥාවන් සහ මඟ පෙන්වීම් ඔහු දුන්නා. “ක්‍රිස්තුස්ගේ නීතියට” යේසුස් උගන්වපු හැම දෙයක්ම ඇතුළත්.

4-5. යේසුස් ඉගැන්නුවේ මොන විදිවලින්ද? කවදාද?

4 යේසුස් ඉගැන්නුවේ මොන විදිවලින්ද? ඔහු කියපු දේවල් ඔහු උගන්වපු එක විදිහක්. යේසුස්ගේ ඉගැන්වීම් හරිම ප්‍රබලයි. මොකද ඔහු දෙවියන් ගැන සත්‍යය මිනිසුන්ට කියලා දුන්නා. ජීවිතේ අරමුණ මොකක්ද කියලත් මිනිසුන් අද්දකින හැම ප්‍රශ්නයකටම විසඳුම දේවරාජ්‍යය කියලත් ඔහු පෙන්නලා දුන්නා. (ලූක් 24:19) යේසුස් ඔහුගේ ආදර්ශයෙනුත් ඉගැන්නුවා. ඔහුගේ අනුගාමිකයන් ජීවත් වෙන්න ඕනෙ විදිහ ඔහු ජීවත් වුණ විදිහෙන් පෙන්නලා දුන්නා.—යොහ. 13:15.

5 යේසුස් කවදාද මිනිසුන්ට ඉගැන්නුවේ? ඔහු පොළොවේ සේවය කරපු කාලේ පුරාම මිනිසුන්ට ඉගැන්නුවා. (මතෙ. 4:23) නැවත නැඟිටීමෙන් පස්සේ ඔහු පොළොවේ ගත කරපු පොඩි කාලේ ඇතුළතත් ඔහු ඉගැන්නුවා. උදාහරණෙකට 500කට වඩා වැඩි පිරිසක් ඉදිරියේ පෙනී ඉඳලා “මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න” කියලා ඔහු කිව්වා. (මතෙ. 28:19, 20; 1 කොරි. 15:6) ඔහු ස්වර්ගයට ගියාට පස්සෙත් ඔහුගේ අනුගාමිකයන්ට දිගටම මඟ පෙන්වීම් දුන්නා. උදාහරණෙකට ක්‍රි.ව. 96දී විතර යේසුස් යොහන්ට මඟ පෙන්නුවා ඒ කාලේ හිටපු අභිෂේක ලත් අයට ඕනෙ කරපු දිරිගැන්වීම්, උපදෙස් ලබා දෙන්න.—කොලො. 1:18; එළි. 1:1.

6-7. (අ) යේසුස් උගන්වපු දේවල් සඳහන් වෙන්නේ කොහේද? (ආ) ක්‍රිස්තුස්ගේ නීතියට කීකරු වෙන්න පුළුවන් කොහොමද?

6 යේසුස්ගේ ඉගැන්වීම් සඳහන් වෙලා තියෙන්නේ කොහේද? ඔහු කියපු, කරපු හුඟක් දේවල් සුවිශේෂ පොත් 4 සඳහන් වෙනවා. ග්‍රීක ලියවිල්ලට ඇතුළත් අනිත් පොත්වලිනුත් යේසුස් හිතපු විදිහ තේරුම්ගන්න අපිට පුළුවන්. මොකද ඒ පොත් ලියපු අයට “ක්‍රිස්තුස්ගේ මනස ගැන අවබෝධයක්” තිබුණා වගේම එයාලා ඒවා ලිව්වේ දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීමෙන්.—1 කොරි. 2:16.

7 පාඩම්: ගෙදරදී, පාසැලේදී, රැකියා ස්ථානයේදී සහ සභාවේදී අපි කරන, කියන හැම දේකටම ක්‍රිස්තුස්ගේ නීතිය අදාළ වෙනවා. ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ල කියවලා, ඒ ගැන හොඳට හිතනවා නම් අපිට පුළුවන් ක්‍රිස්තුස්ගේ නීතිය හොඳින් අවබෝධ කරගන්න. ඒවාට අනුව අපි ජීවත් වෙද්දී අපි කරන්නේ ක්‍රිස්තුස්ගේ නීතියට කීකරු වෙන එකයි. ක්‍රිස්තුස්ගේ නීතියට කීකරු වෙද්දී අපි කීකරු වෙන්නේ යෙහෝවා දෙවියන්ටයි. මොකද යේසුස් උගන්වපු හැම දෙයක්ම ඔහු ඉගෙනගත්තේ යෙහෝවා දෙවියන්ගෙන්.—යොහ. 8:28.

ආදරේ මත ගොඩනැඟුණු නීතියක්

8. ක්‍රිස්තුස්ගේ නීතිය ගොඩනඟලා තියෙන්නේ මොන අත්තිවාරම මතද?

8 ගෙයක් ශක්තිමත් අත්තිවාරමක් මත ගොඩනඟලා තියෙද්දී ඒ ගෙදර අයට ලොකු ආරක්ෂාවක්, සුරක්ෂිතභාවයක් දැනෙනවා. හොඳ අත්තිවාරමක් මත ගොඩනඟලා තියෙන නීතියක් පිළිපදින අයට දැනෙන්නෙත් ඒ විදිහටමයි. ක්‍රිස්තුස්ගේ නීතිය ගොඩනඟලා තියෙන්නේ හොඳම අත්තිවාරමක් මත. ඒ ආදරේ කියන අත්තිවාරම මත. එහෙම කියන්නේ ඇයි?

හැමෝටම ආදරෙන් සලකද්දී අපි “ක්‍රිස්තුස්ගේ නීතියට” කීකරු වෙනවා (9-14 ඡේද බලන්න) *

9-10. යේසුස් දේවල් කළේ ආදරෙන් පෙලඹිලයි කියලා කියන්නේ ඇයි? ඔහුව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

9 (1) යේසුස් කරපු හැම දෙයක්ම ඔහු කළේ ආදරෙන් පෙලඹිලයි. යේසුස් සෙනඟට ඉගැන්නුවේ, අසනීප අයව සුව කළේ, කුසගින්නේ හිටපු අයට කෑම දුන්නේ, මිය ගිය අයට ආයෙත් ජීවිතය දුන්නේ මිනිසුන් ගැන ඔහුට දැනුණ අනුකම්පාව නිසයි. (මතෙ. 14:14; 15:32-38; මාක් 6:34; ලූක් 7:11-15) කෙනෙක්ට අනිත් අය ගැන අනුකම්පාවක් දැනෙන්නේ එයාගේ හිතේ එයාලා ගැන ආදරයක් තියෙන නිසයි. අනිත් අය වෙනුවෙන් දේවල් කරන්න යේසුස්ට සෑහෙන කාලයක්, ශක්තියක් වැය කරන්න වුණත් ඔහු ඒක කළේ කැමැත්තෙන්මයි. යේසුස් ඔහුගේ ආදරේ වැඩියෙන්ම පෙන්නුවේ මිනිසුන් වෙනුවෙන් ඔහුගේ ජීවිතේ දීලයි.—යොහ. 15:13.

10 පාඩම්: අපේ අවශ්‍යතාවන්ට වඩා අනිත් අයගේ අවශ්‍යතාවලට අපි මුල් තැන දෙද්දී අපි ආදර්ශයට ගන්නේ යේසුස්වයි. සේවයේදී හම්බ වෙන අයට තව වැඩියෙන් අනුකම්පාවෙන් සලකන එකෙනුත් අපිට යේසුස්ව ආදර්ශයට ගන්න පුළුවන්. අනුකම්පාවෙන් පෙලඹිලා මිනිසුන්ට දේශනා කරද්දී, උගන්වද්දී අපි කරන්නේ ක්‍රිස්තුස්ගේ නීතියට කීකරු වෙන එකයි.

11-12. (අ) යෙහෝවා දෙවියන් අපි ගැන හුඟක් සැලකිලිමත් කියලා පැහැදිලි වෙන්නේ කොහොමද? (ආ) දෙවියන් පෙන්නපු ආදරේ ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

11 (2) යෙහෝවා දෙවියන්ට මිනිසුන් ගැන තියෙන ආදරේ යේසුස් පෙන්නලා දුන්නා. තමන්ගේ සේවකයන් ගැන යෙහෝවා දෙවියන් හුඟක් සැලකිලිමත් කියලා යේසුස් ඔහුගේ ඉගැන්වීම්වලදී පැහැදිලි කළා. උදාහරණෙකට අපි හැම කෙනෙක්වම දෙවියන්ට හුඟක් වටිනවා කියලා යේසුස් කිව්වා. (මතෙ. 10:31) පසුතැවිලි වෙලා ආයෙත් එන බැටළුවන්ව ආදරෙන් පිළිගන්න දෙවියන් ආසාවෙන් ඉන්නවා කියලා යේසුස් පෙන්නලා දුන්නා. (ලූක් 15:7, 10) තමන්ගේ පුතාව අපි වෙනුවෙන් දීලා අපි ගැන තියෙන ආදරේ දෙවියන් පෙන්නුවා.—යොහ. 3:16.

12 පාඩම්: යෙහෝවා දෙවියන් පෙන්නපු ආදරේ ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? (එෆී. 5:1, 2) අපි අපේ සහෝදර සහෝදරියන් හැම කෙනෙක්වම වටිනා අය විදිහට සලකන්න ඕනේ. ඒ වගේම දෙවියන් වෙතට ආයෙත් එන ‘අතරමං වූ බැටළුවන්ව’ අපි ආදරෙන් පිළිගන්න ඕනේ. (ගීතා. 119:176) සහෝදර සහෝදරියන් වෙනුවෙන් අපේ කාලය, ශක්තිය දීලා අපේ ආදරේ අපිට පෙන්නන්න පුළුවන්. (1 යොහ. 3:17) අපි අනිත් අයට ආදරෙන් සලකද්දී අපි කරන්නේ ක්‍රිස්තුස්ගේ නීතියට කීකරු වෙන එකයි.

13-14. (අ) යොහන් 13:34, 35 යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට දුන්න ආඥාව මොකක්ද? ඒ ආඥාවේ තියෙන විශේෂත්වය මොකක්ද? (ආ) යේසුස් දුන්න ආඥාවට කීකරු වෙන්න පුළුවන් කොහොමද?

13 (3) අනිත් අයට ආදරේ පෙන්නන්න කියලා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ආඥා කළා. (යොහන් 13:34, 35 කියවන්න.) ඒ ආඥාව විශේෂයි. මොකද යේසුස් කිව්වේ ඔහු අපිට පෙන්නුවා වගේ ආදරයක් අපි අපේ සහෝදර සහෝදරියන්ට පෙන්නන්න ඕනෙ කියලා. ඒ වගේ දෙයක් මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතියෙන් බලාපොරොත්තු වුණේ නැහැ. යේසුස් පෙන්නුවා වගේ ආදරයක් පෙන්නන්න නම් අපි හිතන්න ඕනෙ අනිත් අය ගැනයි. * අපි අපිට ආදරේ කරනවාට වඩා වැඩියෙන් අපේ සහෝදර සහෝදරියන්ට ආදරේ කරන්න ඕනේ. එයාලා වෙනුවෙන් අපේ ජීවිතේ වුණත් දෙන්න අපි කැමති වෙන්න ඕනේ.

14 පාඩම්: යේසුස් දුන්න ඒ ආඥාවට කීකරු වෙන්න අපිට පුළුවන් කොහොමද? අපි අපේ සහෝදරයන් වෙනුවෙන් කැප කිරීම් කරනවා නම් අපිට ඒක කරන්න පුළුවන්. එයාලා වෙනුවෙන් ලොකු දේවල් විතරක් නෙමෙයි පොඩි පොඩි විදිවලිනුත් කැප කිරීම් කරන්න අපි කැමති වෙන්න ඕනේ. උදාහරණෙකට මහලු කෙනෙක්ව රැස්වීම් එක්කගෙන යන්න අපිට අමතර වෑයමක් දරන්න වුණත් අපි ඒක නිතිපතා කරනවා නම්, අපි ආදරේ කරන කෙනෙක්ගේ සතුට ගැන හිතලා අපි ආස කරන දෙයක් කැමැත්තෙන්ම කැප කරනවා නම්, රැකියාවෙන් ලැබෙන නිවාඩු දවස් සහන සේවා වැඩ වෙනුවෙන් පාවිච්චි කරනවා නම් අපි ක්‍රිස්තුස්ගේ නීතියට කීකරු වෙනවා. එහෙම කරද්දී සභාවේ හැමෝටම දැනෙයි සභාව කියන්නේ සුරක්ෂිත තැනක් කියලා.

යුක්තිය ඉටු කරන නීතියක්

15-17. (අ) යේසුස් කරපු දේවලින් ඔහු යුක්තියට ප්‍රිය කෙනෙක් කියලා පැහැදිලි වුණේ කොහොමද? (ආ) යේසුස්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

15 බයිබලේ “යුක්තිය” ගැන කතා කරද්දී ඒකෙන් අදහස් කරන්නේ දෙවියන් හරියි කියන දේ කරන එක. ඒ ප්‍රමිති හැමෝටම එක වගේ අදාළ කරගන්නත් ඕනේ. ක්‍රිස්තුස්ගේ නීතියෙන් යුක්තිය ඉටු වෙනවා කියන්නේ ඇයි?

අනිත් අය හෙළාදැකපු කාන්තාවන්ට පවා යේසුස් ගෞරවයෙන්, කාරුණිකව සැලකුවා (16 ඡේදය බලන්න) *

16 (1) යේසුස් කරපු දේවලින් ඔහු යුක්තියට ප්‍රිය කෙනෙක් කියලා පැහැදිලි වුණ විදිහ බලන්න. ඒ කාලේ යුදෙව් ආගමික නායකයන් වෙනත් ජාතීන්ට වෛර කළා. යුදෙව් ආගම ගැන දැනුමක් තිබුණේ නැති අයව පහත් කළා. කාන්තාවන්ට ගෞරව කළේ නැහැ. ඒත් යේසුස් ඊට වඩා වෙනස්. ඔහු හැමෝටම එක වගේ සැලකුවා. වෙනත් ජාතීන්වල අය යේසුස් ගැන විශ්වාසය තියද්දී ඔහු ඒ අයවත් පිළිගත්තා. (මතෙ. 8:5-10, 13) දුප්පත් පොහොසත් හැමෝටම ඔහු දේශනා කළා. (මතෙ. 11:5; ලූක් 19:2, 9) ඔහු කාන්තාවන්ට ගෞරවයෙන්, කාරුණිකව සැලකුවා. අනිත් අය පහත් කරලා සලකපු කාන්තාවන්ට පවා ඔහු ගෞරව කළා.—ලූක් 7:37-39, 44-50.

17 පාඩම්: ආගමික පසුබිම, වත්කම් දිහා බලන්නේ නැතුව සවන් දෙන්න කැමති හැමෝටම ශුභාරංචිය ගැන කියනවා නම්, හැමෝටම එක වගේ සලකනවා නම් අපිටත් පුළුවන් යේසුස්ව ආදර්ශයට ගන්න. පුරුෂයෙනි, කාන්තාවන්ට ගෞරවයෙන් සලකන්න. එහෙම කරද්දී අපි ක්‍රිස්තුස්ගේ නීතියට කීකරු වෙනවා.

18-19. යුක්තිය ගැන යේසුස් ඉගැන්නුවේ මොනවාද? ඔහුගේ ඉගැන්වීම්වලින් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවාද?

18 (2) යේසුස් යුක්තිය ගැන උගන්වපු දේවල් ගැන බලන්න. අනිත් අයට සාධාරණව සලකන්න උදව් වෙන මඟ පෙන්වීම් ඔහු ඉගැන්නුවා. රන් අණ ඒකට උදාහරණයක්. (මතෙ. 7:12) අපි හැමෝම කැමතියි අනිත් අය අපිට සාධාරණව සලකනවාට. ඒ නිසා අපිත් අනිත් අයට සාධාරණව සලකන්න ඕනේ. එතකොට අනිත් අයත් පෙලඹෙයි අපිට සාධාරණව සලකන්න. ඒත් අපිට අසාධාරණයක් වුණොත් මොකද කරන්නේ? යේසුස් කිව්වා ‘දිවා රෑ දෙකේම දෙවියන්ට කන්නලව් කරන අය වෙනුවෙන් ඔහු සාධාරණය ඉටු කරනවා’ කියලා. ඒ නිසා දෙවියන් ගැන විශ්වාසය තියන්න කියලා ඔහු කිව්වා. (ලූක් 18:6, 7) ඒක පොරොන්දුවක්. මේ අන්තිම දවස්වල අපි අද්දකින පීඩා දෙවියන් දකිනවා විතරක් නෙමෙයි නියමිත කාලේදී ඔහු යුක්තිය ඉටු කරනවා.—2 තෙස. 1:6.

19 පාඩම්: යේසුස් උගන්නපු ඒ මඟ පෙන්වීම් අපි අදාළ කරගන්නවා නම් අපි අනිත් අයට අසාධාරණයක් කරන්නේ නැහැ. මේ දුෂ්ට සමාජයේ අපි යම් අසාධාරණයකට මුහුණ දීලා තියෙනවා නම් යෙහෝවා දෙවියන් අපි වෙනුවෙන් අනිවාර්යයෙන්ම යුක්තිය ඉටු කරනවා කියන දේ අපිට ලොකු සහනයක්.

අධිකාරියක් තියෙන අය අනිත් අයට සලකන්න ඕනෙ කොහොමද?

20-21. (අ) අධිකාරියක් තියෙන අය අනිත් අයට සලකන්න ඕනෙ කොහොමද? (ආ) යේසුස් පෙන්නුවා වගේ ආදරයක් පෙන්නන්න ස්වාමිපුරුෂයාට පුළුවන් කොහොමද? තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන්ට සලකන්න ඕනෙ කොහොමද?

20 ක්‍රිස්තුස්ගේ නීතිය යටතේ ඉන්න, අධිකාරියක් තියෙන අය අනිත් අයට සලකන්න ඕනෙ කොහොමද? ඒ නීතිය ගොඩනඟලා තියෙන්නේ ආදරේ මත. ඒ නිසා තමන්ගේ රැකවරණය යටතේ ඉන්න අයට එයාලා සලකන්න ඕනෙ ගෞරවයෙන් සහ ආදරෙන්. යේසුස් ඒක බලාපොරොත්තු වෙනවා කියලා එයාලා මතක තියාගන්න ඕනේ.

21 පවුලේදී. සැමියෙක් බිරිඳට ආදරේ කරන්න ඕනෙ ‘ක්‍රිස්තුස් සභාවට ආදරේ කරපු විදිහටයි.’ (එෆී. 5:25, 28, 29) තමන්ගේ අවශ්‍යතාවන්ට වඩා බිරිඳගේ අවශ්‍යතාවන්ට මුල් තැන දෙද්දී සැමියෙක් පෙන්නන්නේ යේසුස් පෙන්නුවා වගේ ආදරයක්. ඒ වගේ ආදරයක් පෙන්නන එක සමහර පුරුෂයන්ට අභියෝගයක්. මොකද එයාලා හැදිලා වැඩිලා තියෙන්නේ අනිත් අය ගැන ආදරයක්, සැලකිල්ලක් පෙන්නන්නේ නැති පසුබිමක වෙන්න ඇති. ඒ ගති වෙනස් කරගන්න අමාරු වෙයි. ඒත් ක්‍රිස්තුස්ගේ නීතියට කීකරු වෙන්න නම් ඒ වෙනස්කම් එයාලා කරගන්නම ඕනේ. තමන්ට වඩා තමන්ගේ බිරිඳගේ සතුට ගැන හිතන සැමියෙක්ට පුළුවන් වෙනවා බිරිඳගේ ගෞරවය දිනාගන්න. ඒ වගේම තමන්ගේ දරුවන්ට ආදරේ කරන තාත්තා කෙනෙක් කවදාවත් එයා කියන කරන දේවලින් දරුවන්ව රිද්දන්නේ නැහැ. (එෆී. 4:31) ඒ වෙනුවට දරුවන්ට එයා ආදරෙයි කියලත් දරුවන් ගැන එයා සතුටු වෙනවා කියලත් එයා පෙන්නනවා. ඒකෙන් දරුවන්ට දැනෙන්නේ ලොකු සුරක්ෂිතභාවයක්. ඒ වගේ තාත්තා කෙනෙක් දරුවන්ගේ ආදරේ, විශ්වාසය දිනාගන්නවා.

22. 1 පේතෘස් 5:1-3 කියන විදිහට “බැටළුවන්ව” අයිති කාටද? එයාලට කොහොම සලකයි කියලාද යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙන්නේ?

22 සභාවේදී. “බැටළුවන්” තමන්ට අයිති නැහැ කියලා වැඩිමහල්ලන් මතක තියාගන්න ඕනේ. (යොහ. 10:16; 1 පේතෘස් 5:1-3 කියවන්න.) “දෙවිගේ රැළ,” “දෙවිට අයිති අය” කියන එකෙන් තේරෙන්නේ බැටළුවන්ව අයිති යෙහෝවා දෙවියන්ට කියලා. ඔහුගේ බැටළුවන්ව ආදරෙන්, සෙනෙහසින් වැඩිමහල්ලන් රැකබලා ගනියි කියලා දෙවියන් බලාපොරොත්තු වෙනවා. (1 තෙස. 2:7, 8) එඬේරුන් විදිහට තමන්ට තියෙන වගකීම් වැඩිමහල්ලන් ආදරෙන් ඉටු කරද්දී දෙවියන්ගේ අනුමැතිය එයාලට ලැබෙනවා වගේම සහෝදර සහෝදරියන්ගේ ආදරයත්, ගෞරවයත් ලැබෙනවා.

23-24. (අ) සභාවේ කෙනෙක් අතින් බරපතළ වරදක් වුණාම වැඩිමහල්ලන්ට තියෙන වගකීම මොකක්ද? (ආ) ඒ වගේ කාරණා විනිශ්චය කරද්දී වැඩිමහල්ලන් මතක තියාගන්න ඕනෙ මොනවාද?

23 බරපතළ වරදක් කරපු කෙනෙක් එක්ක කටයුතු කරද්දී වැඩිමහල්ලන්ට තියෙන වගකීම මොකක්ද? එයාලට තියෙන වගකීම මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතිය යටතේ හිටපු විනිශ්චයකරුවන්ට සහ වැඩිමහල්ලන්ට තිබුණ වගකීමට වඩා වෙනස්. එදා හිටපු වැඩිමහල්ලන්ට නමස්කාරයට සම්බන්ධ කාරණා වගේම සෙනඟ අතරේ සිද්ධ වුණ ආරවුල් සහ අපරාධ විනිශ්චය කරන වගකීමත් තිබුණා. ඒත් ක්‍රිස්තුස්ගේ නීතිය යටතේ ඉන්න වැඩිමහල්ලන්ට ඒ වගකීම නැහැ. අද සභාවේ කෙනෙක් අතින් බරපතළ වරදක් වුණොත් ඒ වරද සභාවට සහ දෙවියන් එක්ක එයාට තියෙන බැඳීමට බලපාන විදිහ විතරයි වැඩිමහල්ලන් විනිශ්චය කරන්නේ. නීති විරෝධී දෙයක් හෝ අපරාධයක් කෙනෙක් අතින් වුණොත් ඒක විනිශ්චය කරන වගකීම දෙවියන් රජයේ නිලධාරීන්ට දීලා තියෙනවා කියලා වැඩිමහල්ලන් තේරුම් අරන් ඉන්නවා. වරද කරපු කෙනාට දඬුවම් දෙන්න ඒ කියන්නේ වන්දි නියම කරන්න හෝ සිරගත කරන්න නිලධාරීන්ට අයිතියක් තියෙනවා කියලා වැඩිමහල්ලන් දන්නවා.—රෝම 13:1-4.

24 සභාවේ කෙනෙක් අතින් බරපතළ වරදක් වුණාම වැඩිමහල්ලන් ඒ කාරණය විනිශ්චය කරන්නේ කොහොමද? එයාලා දේවල් කිරලා මැනලා බලන්නෙත් තීරණ ගන්නෙත් බයිබලේ තියෙන මඟ පෙන්වීම්වලට අනුවයි. ක්‍රිස්තුස්ගේ නීතිය ගොඩනඟලා තියෙන්නේ ආදරේ මතයි කියන දේ එයාලා නිතරම මතක තියාගන්නවා. ඒ ආදරේ එයාලව පොලඹවනවා සිද්ධ වෙලා තියෙන බරපතළ වරද නිසා සභාවේ දුක් විඳින අයට උදව් කරන්න පුළුවන් පැති ගැන හිතන්න. වරද කරපු කෙනා ඇත්තටම පසුතැවෙනවාද කියලත් දෙවියන් එක්ක එයාට තිබුණ බැඳීම දැන් බිඳිලා නිසා ඒක ආයෙත් ඇති කරගන්න එයාට උදව් කරන්න පුළුවන්ද කියලා හිතන්නත් ඒ ආදරේ වැඩිමහල්ලන්ව පොලඹවනවා.

25. අපි ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

25 ක්‍රිස්තුස්ගේ නීතිය යටතේ ඉන්න ලැබුණ එක අපිට කොයි තරම් දෙයක්ද! ඒ නීතියට කීකරු වෙන්න අපි හැමෝම වෑයමක් දරද්දී සභාවේ හැමෝටම දැනෙයි එයාලා වට වෙලා ඉන්නේ එයාලට ආදරේ කරන, එයාලව වටින අය විදිහට සලකන අයගෙන් කියලා. සභාව කියන්නේ සුරක්ෂිත තැනක් කියලත් එයාලට දැනෙයි. ඒත් අපි ජීවත් වෙන්නේ ‘දුෂ්ට මිනිසුන් තව තවත් නරක අතට හැරෙන’ සමාජයක. (2 තිමෝ. 3:13) ඒ නිසා අපි කල්පනාකාරීව ඉන්න ඕනේ. ළමා ලිංගික අපචාරයක් සිදු වුණොත් දෙවියන් ඒ කාරණය දිහා බලන විදිහ තේරුම් අරන් වැඩ කරන්න සභාවට පුළුවන් කොහොමද? ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් ලබමු.

ගීතිකාව 15 දෙවිගේ කුලුඳුල් පුත්‍රයාට ප්‍රශංසාව දෙන්න!

^ 5 ඡේ. යෙහෝවා දෙවියන් ආදරණීය, යුක්තියට ප්‍රිය දෙවි කෙනෙක් කියලා අපිට ස්ථිර වෙන්න පුළුවන් ඇයි කියලා සාකච්ඡා කරන ලිපි මාලාවට මේ ලිපියත් ඊළඟ ලිපි 2ත් ඇතුළත්. දෙවියන්ට ඕනෙ ඔහුගේ සෙනඟට යුක්තිය ඉටු වෙනවා දකින්නයි. ඒත් මේ දුෂ්ට සමාජය නිසා සමහරු අයුක්තිසහගත දේවලට මුහුණ දෙනවා. ඒ අයව දෙවියන් සනසනවා.

^ 1 ඡේ. 2019 පෙබරවාරි ‘මුරටැඹ’ කලාපයේ පළ වුණ “ඊශ්‍රායෙල් සෙනඟ දෙවියන්ගේ ආදරේ සහ යුක්තිය අද්දැක්කා” කියන ලිපිය බලන්න.

^ 13 ඡේ. පැහැදිලි කිරීමක්: යේසුස් පෙන්නුවා වගේ ආදරයක් පෙන්නන කෙනෙක් තමන්ගේ අවශ්‍යතාවන් දෙවෙනි තැනට දාලා අනිත් අයගේ යහපත වෙනුවෙන් දේවල් කරනවා. තව කෙනෙක් වෙනුවෙන් තමන් ආස කරන දෙයක් වුණත් කැප කරන්න එයා ලෑස්තියි.

^ 61 ඡේ. පින්තූරයේ අදහස: වැන්දඹුවකගේ එකම පුතා මිය ගිහින් කියලා දැක්කාම යේසුස්ට ඒ අම්මා ගැන දැනුණ අනුකම්පාව නිසා ඒ තරුණයාව නැවත නැඟිටුවනවා.

^ 63 ඡේ. පින්තූරයේ අදහස: සීමොන් කියන පරිසිවරයාගේ ආරාධනය පිළි අරන් යේසුස් එයාගේ නිවසට යනවා. කාන්තාවක් ඇවිත් යේසුස්ගේ පාද එයාගේ කඳුළුවලින් හෝදලා එයාගේ කොණ්ඩෙන් පිහදාලා පාදවලට තෙල් ආලේප කරනවා. බොහෝදුරට එයා ගණිකාවක් වෙන්න ඇති. ඒ නිසා සීමොන් එයාව පහත් කරලා සලකනවා. ඒත් යේසුස් එයා වෙනුවෙන් කතා කරනවා.