Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 23

‘පරෙස්සම් වෙන්න. නැත්නම් ඔබව ගොදුරු කරගනියි’

‘පරෙස්සම් වෙන්න. නැත්නම් ඔබව ගොදුරු කරගනියි’

“ඔබ පරෙස්සම් විය යුතුයි. නැත්නම් සතෙක් ගොදුරක් ඩැහැගෙන යන ආකාරයට යම් කෙනෙක් දර්ශන සහ මුළා කරවනසුලු මෙන්ම හිස් මතිමතාන්තර යොදාගෙන ඔබව ගොදුරු කරගත හැකියි. ඒවාට පදනම සපයන්නේ මිනිසුන්ගේ සම්ප්‍රදායන්ය.”—කොලො. 2:8.

ගීතිකාව 96 දෙවිගේ ලියවිල්ල නිධානයකි

මේ ලිපියෙන් *

1. කොලොස්සි 2:4, 8 අනුව අපි හිතන විදිහ පාලනය කරන්න සාතන් උත්සාහ කරන්නේ කොහොමද?

සාතන්ට ඕනෙ අපිව යෙහෝවාගෙන් ඈත් කරන්නයි. එයාගේ ඒ අරමුණ ඉටු කරගන්න එයා අපි හිතන විදිහ වෙනස් කරලා එයාට ඕනෙ විදිහට අපේ සිතුවිලි පාලනය කරන්න උත්සාහ කරනවා. එයා ඒක කරන්නේ අපි ආස කරන දේවල්ම පාවිච්චි කරලයි.—කොලොස්සි 2:4, 8 කියවන්න.

2-3. (අ) කොලොස්සි 2:8 තියෙන අනතුරු ඇඟවීම අපි හිතට ගන්න ඕනෙ ඇයි? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

2 අපිත් සාතන්ට රැවටෙන්න ඉඩ තියෙනවාද? ඔව්. කොලොස්සි 2:8 තියෙන අනතුරු ඇඟවීම පාවුල් ලිව්වේ දෙවියන්ට නමස්කාර නොකරපු අයට නෙමෙයි. එයා ඒක ලිව්වේ එදා හිටපු අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට. (කොලො. 1:2, 5) එදා එයාලා හිටියේ අනතුරක නම් අද අපි ඉන්නේ ඊටත් වඩා ලොකු අනතුරක. (1 කොරි. 10:12) මොකද සාතන්ව දැන් පොළොවට හෙළලයි තියෙන්නේ. ඒ නිසා එයා වෙන කවරදාකටත් වඩා වැඩියෙන් දෙවියන්ට ළැදි අයව රවට්ටගන්න ලොකු උත්සාහයක් ගන්නවා. (එළි. 12:9, 12, 17) ඒ විතරක් නෙමෙයි අපි ජීවත් වෙන්නේ දුෂ්ට මිනිසුන් සහ ප්‍රෝඩාකාරයන් “තව තවත් නරක අතට හැරෙන” කාලෙක.—2 තිමෝ. 3:1, 13.

3 “මුළා කරවනසුලු මෙන්ම හිස් මතිමතාන්තර” යොදාගෙන සාතන් අපි හිතන විදිහ වෙනස් කරන්න හදන්නේ කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලමු. සාතන්ගේ “උපායන්” හෝ “කපටි ක්‍රියාවන්” 3ක් ගැන අපි බලනවා. (එෆී. 6:11; පාදසටහන.) ඊළඟ ලිපියෙන් අපි බලනවා සාතන්ගේ මුළා කරවන අදහස් යම් විදිහකින් අපේ සිතුවිලිවලට බලපාලා තියෙනවා නම් ඒවා සම්පූර්ණයෙන්ම අයින් කරගන්නේ කොහොමද කියලා. මුලින්ම බලමු ඊශ්‍රායෙල්වරු පොරොන්දු දේශයට ගියාට පස්සේ සාතන් එයාලව රවට්ටගත්තේ කොහොමද සහ ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා.

රූපවලට නමස්කාර කරන්න ඊශ්‍රායෙල්වරුන්ව පෙලඹෙව්වා

4-6. ද්විතීය කතාව 11:10-15 පෙන්නන විදිහට ඊශ්‍රායෙල්වරුන් වගා කටයුතු කරපු විදිහේ සිදු කරගන්න වුණ වෙනස්කම මොකක්ද?

4 සාතන් හරිම කපටි විදිහට රූපවලට නමස්කාර කරන්න ඊශ්‍රායෙල්වරුන්ව පොලඹවගත්තා. ඒ කොහොමද? කෑම බීම සපයාගන්න ඊශ්‍රායෙල්වරුන්ට තිබුණ අවශ්‍යතාව සාතන් එයාගේ වාසියට යොදාගත්තා. ඊශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයට ඇතුල් වුණාට පස්සේ එයාලට සිද්ධ වුණා එයාලා වගා කටයුතු කරපු විදිහේ වෙනසක් කරගන්න. ඊජිප්තුවේදී වගා කටයුතු කරන්න එයාලා යොදාගත්තේ නයිල් ගඟේ වතුර. ඒත් පොරොන්දු දේශයේ ලොකු ගඟක් තිබුණේ නැති නිසා වගා කටයුතු කරන්න ගොවියන් රඳා හිටියේ නිසි කලට ඇද හැළුණු වැසි ජලය සහ පින්න මතයි. (ද්විතීය කතාව 11:10-15 කියවන්න; යෙසා. 18:4, 5) ඊශ්‍රායෙල්වරුන්ට සිද්ධ වුණා ගොවිතැන් කරන අලුත් ක්‍රම ඉගෙනගන්න. ඒක ලේසි වුණේ නැහැ. මොකද ගොවිතැන් කරලා අද්දැකීම් තිබුණ වැඩිදෙනෙක් පාළුකරයේදී මිය ගිහින් තිබුණා.

ඊශ්‍රායෙල්වරුන් හිතපු විදිහ වෙනස් කරන්න සාතන්ට පුළුවන් වුණේ කොහොමද? (4-6 ඡේද බලන්න) *

5 එයාලගේ තත්වය දැන් කලින්ට වඩා වෙනස් කියලා යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට පැහැදිලි කරලා දුන්නාට පස්සේ මේ අනතුරු ඇඟවීම දුන්නා. “නමුත් කල්පනාකාරී වන්න. ඔබේ සිත ඔබව නොමඟ යවන්න ඉඩ තිබෙනවා. එහෙම වුණොත් ඔබ දෙවිගෙන් ඈත් වී වෙනත් දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටී නමස්කාර කරයි.” (ද්වි. 11:16, 17) ඒ අනතුරු ඇඟවීම වගා කටයුතුවලට කිසිම සම්බන්ධයක් නැහැ වගෙයි පෙනුණේ. එහෙමනම් ඇයි වගා කටයුතු ගැන කතා කරද්දී ඒ අනතුරු ඇඟවීම යෙහෝවා දුන්නේ?

6 වගා කටයුතු කරන අලුත් ක්‍රම ගැන ඉගෙනගන්න ඊශ්‍රායෙල්වරුන් එයාලා අවට හිටපු වෙනත් ජාතීන් ළඟට යන්න පෙලඹෙයි කියලා යෙහෝවා දැනන් හිටියා. ඊශ්‍රායෙල්වරුන්ට වඩා වගා කටයුතු ගැන එයාලට අද්දැකීම් තිබුණ නිසා ප්‍රයෝජනවත් දේවල් එයාලගෙන් ඉගෙනගන්න පුළුවන්කම තිබුණත් ඒකේ අනතුරක් තිබුණා. කානානිවරු නමස්කාර කළේ බාල්ට. එයාලා හිතපු විදිහට, කරපු කියපු දේවලට ඒ ආගමික විශ්වාසයන් බලපාලා තිබුණා. එයාලා විශ්වාස කළා අහසට අධිපති දෙවියන් බාල් කියලා. ඒ නිසා වැස්ස ලබා දෙන්නේ බාල් කියලයි එයාලා හිතුවේ. ඒ බොරු විශ්වාසයන්ට ඊශ්‍රායෙල්වරුන් රැවටෙනවා දකින්න යෙහෝවා කැමති වුණේ නැහැ. ඒත් ඊශ්‍රායෙල්වරුන් නැවත නැවතත් බාල්ට නමස්කාර කළා. (ගණන්. 25:3, 5; විනි. 2:13; 1 රාජා. 18:18) සාතන් ඊශ්‍රායෙල්වරුන්ව එයාගේ පාලනය යටතට ගත්තේ කොහොමද?

ඊශ්‍රායෙල්වරුන්ව තමන් යටතට ගන්න සාතන් පාවිච්චි කරපු උපායන් තුනක්

7. පොරොන්දු දේශයට ඇතුල් වුණාට පස්සේ ඊශ්‍රායෙල්වරුන්ගේ විශ්වාසය සෝදිසියට ලක් වුණේ කොහොමද?

7 වැස්ස ලැබුණොත් වගාවන් සරු වෙන නිසා ඕනෙම ගොවියෙක් ආසයි දේශයට හොඳින් වැස්ස ලැබෙනවාට. ඊශ්‍රායෙල්වරුන් තුළත් ඒ ආසාව තිබුණා. ඒකේ වරදක් නැහැ. ඒත් සාතන් ඊශ්‍රායෙල්වරුන්ව එයාගේ පාලනය යටතට ගන්න කිසි වරදක් නැති ඒ ආසාව පාවිච්චි කළා. ඒක තමයි සාතන්ගේ 1වෙනි උපාය. අප්‍රියෙල් මාසේ අග ඉඳන් සැප්තැම්බර් මාසය වෙන කල් පොරොන්දු දේශයට වැස්ස ලැබුණේ හරිම අඩුවෙන්. වගාවන් සරු වෙලා හොඳ අස්වැන්නක් ලබාගන්න පුළුවන් වුණේ ඔක්තෝබර් මාසේ ඉඳන් හොඳින් වැස්සොත් විතරයි. ඒ වැස්ස ලබා දෙන්නේ එයාලගේ දෙවිවරුන් කියලත් ඒ දෙවිවරුන් වෙනුවෙන් යම් පිළිවෙත් කළොත් විතරයි නිසි කාලෙට වැස්ස ලැබෙන්නේ කියලත් අවට ජාතීන් විශ්වාස කළා. යෙහෝවා ගැන ලොකු විශ්වාසයක් තිබුණේ නැති ඊශ්‍රායෙල්වරුනුත් හිතුවා නියඟයක් ඇති වෙන එක වළක්වගන්න නම් එයාලත් ඒ දේවල් කරන්න ඕනෙ කියලා. එහෙම හිතලා එයාලත් බාල් වෙනුවෙන් පුදපූජා පැවැත්තුවා.

8. සාතන් යොදාගත්ත 2වෙනි උපාය මොකක්ද?

8 සාතන් 2වෙනි උපායකුත් පාවිච්චි කළා. ඒ තමයි ඊශ්‍රායෙල්වරුන් තුළ තිබුණ වැරදි ලිංගික ආශාවන් එයාගේ වාසියට යොදාගත්ත එක. අවට ජාතීන් එයාලගේ දෙවිවරුන්ට නමස්කාර කරද්දී පිළිකුල්සහගත ලිංගික ක්‍රියාවලත් යෙදුණා. එයාලගේ දේවාලවල ගැහැනු වගේම පිරිමි ගණිකාවන් හිටියා. එයාලා සමලිංගික ක්‍රියාවලට සහ වෙනත් පිළිකුල්සහගත ලිංගික ක්‍රියාවන්වලට ඉඩහැරියා වගේම ඒවාවල කිසි වරදක් නැහැ කියලා හිතුවා. (ද්වි. 23:17, 18; 1 රාජා. 14:24) ඒවා දැකලා එයාලගේ දෙවිවරු සතුටු වෙලා දේශය තව තවත් සරුසාර කරයි කියලා එයාලා විශ්වාස කළා. නමස්කාරයත් එක්ක එයාලා සම්බන්ධ කරගත්ත ඒ පහත් ලිංගික ක්‍රියාවන්ට ඊශ්‍රායෙල්වරුන්ගේ හිත් ඇදිලා ගියා. ඒ නිසා එයාලත් ඒ බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගත්තා. ඒකෙන් වුණේ එයාලව පාලනය කරන්න එයාලා සාතන්ට ඉඩ දුන්න එකයි.

9. හොෂෙයා 2:16, 17 අනුව ඊශ්‍රායෙල්වරුන්ගේ හිතෙන් යෙහෝවාව ටිකෙන් ටික අමතක වෙන්න සාතන් සැලැස්සුවේ කොහොමද?

9 සාතන් 3වෙනි උපායකුත් යොදාගත්තා. ඒ තමයි ටිකෙන් ටික ඊශ්‍රායෙල්වරුන්ගේ හිතෙන් යෙහෝවාව අමතක වෙලා යන්න සලස්වපු එක. අනාගතවක්තෘ යෙරෙමියාගේ කාලේදී දෙවියන් කිව්වා බොරු අනාගතවක්තෘවරු බාල්ට වැඩි අවධානයක් දීලා දෙවියන්ගේ නම ඊශ්‍රායෙල්වරුන්ගේ මතකයෙන් අයින් කළා කියලා. (යෙරෙ. 23:27) අන්තිමේදී ඊශ්‍රායෙල්වරු දෙවියන්ගේ නම පාවිච්චි කරන එක නවත්තලා “අයිතිකරු” හෝ “ස්වාමියා” කියන තේරුම තියෙන බාල් කියන නම පාවිච්චි කරන්න පටන්ගත්තා. ඒකෙන් යෙහෝවා සහ බාල් අතර තියෙන වෙනස හඳුනගන්න ඊශ්‍රායෙල්වරුන්ට අමාරු වුණා. ඒ නිසා බාල්ට කරපු නමස්කාරයේ පිළිවෙත් යෙහෝවාට කරපු නමස්කාරයත් එක්ක එකතු කරන එක වැරදියි කියලා එයාලට දැනුණේ නැහැ.—හොෂෙයා 2:16, 17 සහ පාදසටහන කියවන්න.

සාතන් අද යොදාගන්න උපායන්

10. සාතන් අද යොදාගන්නේ මොන උපායන්ද?

10 සාතන් ඒ උපායන්ම අදත් පාවිච්චි කරනවා. මිනිසුන් තුළ ඇති වෙන සාමාන්‍ය ආසාවන් පාවිච්චි කරලා, අනාචාරයේ යෙදෙන එකේ කිසි වරදක් නැහැ කියලා ප්‍රචලිත කරලා, යෙහෝවාව ටිකෙන් ටික අමතක වෙන්න සලස්වලා සාතන් මිනිසුන්ව එයා යටතට ගන්නවා. අපි මුලින්ම ඒ 3වෙනි උපක්‍රමය ගැන බලමු.

11. මිනිසුන්ට යෙහෝවාව අමතක වෙන්න සාතන් සලස්වලා තියෙන්නේ කොහොමද?

11 මිනිසුන්ට යෙහෝවාව අමතක වෙන්න සාතන් සලස්වනවා. යේසුස්ගේ නියෝජිතයන් මිය ගියාට පස්සේ ක්‍රිස්තියානීන් කියලා කියාගත්ත සමහරු බොරු ඉගැන්වීම් පතුරුවන්න පටන්ගත්තා. (ක්‍රියා 20:29, 30; 2 තෙස. 2:3) ඒ නිසා එකම සෑබැ දෙවියන්ව පැහැදිලිව හඳුනගන්න මිනිසුන්ට අමාරු වුණා. උදාහරණෙකට එයාලා බයිබලේ පිටපත් කරද්දී දෙවියන්ගේ නම තිබුණ තැන්වලින් ඒක අයින් කරලා “ස්වාමීන්” වගේ යෙදුම් පාවිච්චි කළා. ඒකෙන් වුණේ බයිබලේ කතා කරලා තියෙන අනිත් “ස්වාමිවරුන්ට” වඩා යෙහෝවා වෙනස් කියලා තේරුම්ගන්න මිනිසුන්ට බැරි වුණ එකයි. (1 කොරි. 8:5) සත්‍ය ඉගැන්වීම් අත්හැරපු අය “ස්වාමීන්” කියන යෙදුම යෙහෝවාව හඳුන්වන්න වගේම යේසුස්ව හඳුන්වන්නත් පාවිච්චි කළා. ඒ නිසා යෙහෝවා සහ ඔහුගේ පුතා පුද්ගලයන් දෙන්නෙක් කියන දේ තේරුම්ගන්න මිනිසුන්ට අමාරු වුණා. (යොහ. 17:3) අන්තිමේදී බයිබලේ සඳහන් නැති ත්‍රිත්වය කියන ඉගැන්වීම ප්‍රචලිත වුණා. ප්‍රතිඵලයක් විදිහට දෙවියන් ගැන දැනගන්න කාටවත් බැහැ කියලා හුඟදෙනෙක් හිතන්න පටන්ගත්තා.—ක්‍රියා 17:27.

වැරදි ලිංගික ආශාවන් ඉටු කරගන්න මිනිසුන්ව පොලඹවන්න සාතන් අසත්‍යය උගන්වන ආගම් පාවිච්චි කරලා තියෙන්නේ කොහොමද? (12 ඡේදය බලන්න) *

12. දෙවියන් ගැන අසත්‍යය උගන්වන ආගම් අනුබල දෙන්නේ මොනවාටද? රෝම 1:28-31 පැහැදිලි කරලා තියෙන විදිහට ඒකේ ප්‍රතිඵලය මොකක්ද?

12 වැරදි ලිංගික ආශාවන් සාතන් එයාගේ වාසියට යොදාගන්නවා. ඊශ්‍රායෙල්වරුන්ගේ කාලේදී අනාචාරය කියන උගුලට එයාලව අල්ලගන්න සාතන් යොදාගත්තේ අවට ජාතීන් අදහපු ආගම්. අදත් එයා කරන්නේ ඒකමයි. අද තියෙන අසත්‍යය උගන්වන ආගම් අනාචාරයට ඉඩ දෙනවා විතරක් නෙමෙයි ඒකේ කිසි වරදක් නැහැ කියලත් කියනවා. ඒ නිසා දෙවියන්ට සේවය කරනවා කියලා කියන හුඟදෙනෙක් සදාචාරය ගැන දෙවියන් දීලා තියෙන ප්‍රමිතිවලට කීකරු වෙන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵල ගැන පාවුල් රෝමවරුන්ට ලියපු ලිපියේ විස්තර කරලා තියෙනවා. (රෝම 1:28-31 කියවන්න.) එතන සඳහන් වෙන “නොහොබිනා දේවලට” සමලිංගික ක්‍රියා ඇතුළුව අනාචාරයට සම්බන්ධ හැම දේම ඇතුළත්. (රෝම 1:24-27, 32; එළි. 2:20) බයිබලේ සඳහන් පැහැදිලි ඉගැන්වීම්වලට කීකරු වෙන එක කොච්චර වැදගත්ද!

13. සාතන් යොදාගන්න තවත් උපායක් මොකක්ද?

13 මිනිසුන් තුළ ඇති වෙන සාමාන්‍ය ආසාවන් සාතන් පාවිච්චි කරනවා. අපේ පවුලේ අයට අත්‍යවශ්‍ය දේවල් සපයන්න අපි හැමෝම ආසයි. ඒ නිසයි ආදායම් මාර්ගයක් හදාගන්න උදව් වෙන හැකියාවන් දියුණු කරගන්න අපි කැමති. (1 තිමෝ. 5:8) හුඟක් වෙලාවට ඒ හැකියාවන් දියුණු කරගන්න පාසැල් අධ්‍යාපනය අපිට උදව් වෙනවා. ඒත් අපි පරෙස්සම් වෙන්න ඕනෙ පැත්තකුත් තියෙනවා. හුඟක් රටවල තියෙන අධ්‍යාපන ක්‍රමයෙන් කරන්නේ දරුවන්ට තියෙන හැකියාවන් දියුණු කරගන්න උදව් කරන ගමන් මිනිසුන්ගේ අදහස් සහ දර්ශන එයාලට උගන්වන එකයි. දෙවි කෙනෙක්ගේ පැවැත්ම ගැන සැක කරන්නත් බයිබලේට ගරු නොකරන්නත් පාසැල් අධ්‍යාපනය දරුවන්ව දිරිගන්වනවා. එයාලා උගන්වන්නේ බුද්ධිමත් හැම කෙනෙක්ම විශ්වාස කරන්නේ ජීවය ආරම්භ වුණේ පරිණාමයෙන් කියලයි. (රෝම 1:21-23) ඒ වගේ ඉගැන්වීම් “දෙවිගේ ප්‍රඥාවට” හාත්පසින්ම වෙනස්.—1 කොරි. 1:19-21; 3:18-20.

14. මිනිසුන්ගේ අදහස්, දර්ශන කෙනෙක්ට බලපාන්නේ කොහොමද?

14 මිනිසුන්ගේ අදහස්, දර්ශන ගොඩනැඟිලා තියෙන්නේ දෙවියන්ගේ උසස් ප්‍රමිති සැලකිල්ලට අරන් නෙමෙයි. ඒවා දෙවියන්ගේ අදහස්වලට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. දෙවියන්ගේ බලය මාර්ගයෙන් ඇති වෙන ගුණාංග වර්ධනය කරගන්න මිනිසුන්ගේ ප්‍රඥාවෙන් ගොඩනැඟුණු ඉගැන්වීම් කෙනෙක්ට උදව් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඒවාවලින් කරන්නේ “පව්කාර ආශාවන්” පෝෂණය කරන එකයි. (ගලා. 5:19-23) උඩඟු විදිහට හිතන්න ඒ ඉගැන්වීම් නිසා කෙනෙක් පෙලඹෙනවා. ඒ නිසයි තමන් ගැන විතරක් හිතන සමාජයක් අද බිහි වෙලා තියෙන්නේ. (2 තිමෝ. 3:2-4) උඩඟුකම කියන්නේ දෙවියන් ඔහුගේ සේවකයන් තුළ දකින්න ආසම නැති ගුණාංගයක්. (2 සාමු. 22:28) විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න තීරණය කරපු සමහර ක්‍රිස්තියානීන් මේ ලෝකේ අදහස්වලට අනුව හිතන්න පටන් අරන් තියෙනවා. ඒක පැහැදිලි වෙන අද්දැකීමක් බලමු.

මිනිසුන්ගේ අදහස් අපේ සිතුවිලිවලට බලපාන්න පුළුවන් කොහොමද? (14-16 ඡේද බලන්න) *

15-16. සහෝදරියකගේ අද්දැකීමෙන් අපි ඉගෙනගන්නේ මොකක්ද?

15 අවුරුදු 15කට වැඩි කාලයක් පුරා පූර්ණකාලීනව සේවය කරන සහෝදරියක් මෙහෙම කියනවා. “බව්තීස්ම වුණ කෙනෙක් විදිහට මං දැනන් හිටියා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන එකේ තියෙන අනතුරු ගැන. ඒත් ඒවා මට අදාළ නැහැ කියලයි මං හිතුවේ.” ඒකෙන් මොකද වුණේ? එයා මෙහෙම කියනවා. “පාඩම් වැඩවලට සෑහෙන කාලයක් යොදවපු නිසා කලින් වගේ කාලේ අරන් යාච්ඤා කරන්න මට වෙලාවක් තිබුණේ නැහැ. මට දැනුණ වෙහෙස නිසා සේවේ යන්න, රැස්වීම්වලට හොඳින් සූදානම් වෙන්න මට බැරි වුණා. උසස් අධ්‍යාපනය පස්සේ යන එකෙන් වෙන්නේ යෙහෝවා එක්ක මගේ බැඳීම අඩු වෙන එකයි කියලා තේරුම්ගත්තාම මං ඒක අත්හැරියා.”

16 උසස් අධ්‍යාපනය ඒ සහෝදරියගේ සිතුවිලිවලට බලපෑවේ කොහොමද? එයා මෙහෙම කියනවා. “කියන්නත් ලැජ්ජයි, උසස් අධ්‍යාපනය මාව පුරුදු කළේ අනිත් අයගේ වැරදි දකින්න. ඒ නිසා සභාවේ අයගේ අඩුපාඩු දකින්නත් එයාලගෙන් ඕනෑවට වඩා දේවල් බලාපොරොත්තු වෙන්නත් මං පටන්ගත්තා. එයාලට ළං වෙන්න මං අදිමදි කළා. මං හිතපු විදිහ වෙනස් කරගන්න මට සෑහෙන කාලයක් ගියා. අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා ඔහුගේ සංවිධානය මාර්ගයෙන් දෙන අනතුරු ඇඟවීම් ගණන් නොගෙන ඉන්න එක හරිම භයානකයි කියලා ඒ අද්දැකීමෙන් මං තේරුම්ගත්තා. මට වඩා හොඳට යෙහෝවා මං ගැන දන්නවා. මට තිබුණේ කලින්ම යෙහෝවාට ඇහුම්කන් දෙන්නයි.”

17. (අ) අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද? (ආ) අපි ඊළඟ ලිපියෙන් බලන්නේ මොකක් ගැනද?

17 සාතන් යටතේ තියෙන මේ දුෂ්ට සමාජය ඉදිරිපත් කරන “දර්ශන සහ මුළා කරවනසුලු මෙන්ම හිස් මතිමතාන්තරවලට” හසු නොවී ඉන්න අධිෂ්ඨාන කරගන්න. ඔයාව රවට්ටන්න සාතන්ට කිසිම ඉඩක් දෙන්න එපා. (1 කොරි. 3:18; 2 කොරි. 2:11) යෙහෝවා කවුද කියන දේත් ඔහුගේ උසස් ප්‍රමිතිත් ඔයාට අමතක කරවන්න සාතන් උත්සාහ කරයි. ඒකට ඉඩ දෙන්න එපා. දෙවියන්ගේ උසස් සදාචාර ප්‍රමිතිවලට දිගටම කීකරු වෙන්න. යෙහෝවා දෙන උපදෙස් ගණන් නොගෙන ඉන්න සාතන් ඔයාව පොලඹවන්න හැදුවත් රැවටෙන්න එපා. ඒත් සාතන්ගේ මුළා කරවන අදහස් යම් විදිහකින් ඔයාගේ සිතුවිලිවලට බලපාලා කියලා තේරුණොත් ඔයා කරන්න ඕනෙ මොකක්ද? ඒ අදහස් බලකොටු වගේ ශක්තිමත් වුණත් ඒවා වෙනස් කරගන්න දේවවචනය අපිට උදව් වෙන්නේ කොහොමද කියලා අපි ඊළඟ ලිපියෙන් බලමු.—2 කොරි. 10:4, 5.

ගීතිකාව 49 දෙවිගේ හදවත සතුටු කරමු

^ 5 ඡේ. මිනිසුන්ව රවට්ටන්න සාතන් අතිදක්ෂයෙක්. එයා කොච්චර දක්ෂද කියනවා නම් මිනිසුන් හුඟදෙනෙක්ව එයාගේ පාලනය යටතට ගත්තත් එයාලා හිතන්නේ එයාලා නිදහස් අය කියලයි. මිනිසුන්ව රවට්ටගන්න සාතන් පාවිච්චි කරන උපක්‍රම කීපයක් ගැන මේ ලිපියේ කතා කරනවා.

^ 48 ඡේ. පින්තූරයේ අදහස: බාල්ට නමස්කාර කරන්නත් අනාචාරයේ යෙදෙන්නත් ඊශ්‍රායෙල්වරුන්ව කානානිවරුන් පොලඹවනවා.

^ 51 ඡේ. පින්තූරයේ අදහස: සමලිංගික ක්‍රියාවන්ට ඉඩ දෙන පල්ලියක දැන්වීමක්. දැන්වීමේ තියෙන පාටවලින්ම ඒක තේරෙනවා.

^ 53 ඡේ. පින්තූරයේ අදහස: සහෝදරියක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න තීරණය කරලා. විද්‍යාව සහ තාක්ෂණයට මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියන මතය මහාචාර්යවරියක් ඉදිරිපත් කරද්දී ඒ සහෝදරියයි, පන්තියේ අනිත් අයයි ඒක පිළිගන්නවා. පස්සේ අවස්ථාවක රැස්වීමකට සහභාගි වෙන ඒ සහෝදරිය ඒකේ උගන්වන දේවල් ගැන කිසි උනන්දුවක් දක්වන්නේ නැහැ.