Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 24

දෙවියන් පිළිබඳ දැනුමට විරුද්ධ තර්ක විතර්ක බිඳ දමන්න

දෙවියන් පිළිබඳ දැනුමට විරුද්ධ තර්ක විතර්ක බිඳ දමන්න

“දෙවි පිළිබඳ දැනුමට විරුද්ධව මිනිසුන් ගෙනෙන තර්ක විතර්ක හා ඔවුන් දරන සියලු උඩඟු ආකල්ප අපි බිඳ දමමින් සිටින්නෙමු.”—2 කොරි. 10:5.

ගීතිකාව 124 යෙහෝවා දෙවිට ළැදි වෙමු

මේ ලිපියෙන් *

1. පාවුල් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට දුන්න අනතුරු ඇඟවීම මොකක්ද?

“තවදුරටත් අප ජීවත් වන මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න” කියලා පාවුල් පළවෙනි සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ට කිව්වා. (රෝම 12:2) දෙවියන්ට ජීවිතය කැප කරපු, ඔහුගේ බලයෙන් අභිෂේක ලබපු අයට පාවුල් ඒ වගේ අනතුරු ඇඟවීමක් දුන්නේ ඇයි?—රෝම 1:7.

2-3. අපිව යෙහෝවාගෙන් ඈත් කරන්න සාතන් උත්සාහ කරන්නේ කොහොමද? මනසට කාවැදිලා තියෙන වැරදි ආකල්ප අයින් කරගන්න අපිට පුළුවන් කොහොමද?

2 පාවුල් ඒ අනතුරු ඇඟවීම දුන්නේ සාතන්ගේ පාලනය යටතේ තියෙන දුෂ්ට සමාජය ඉදිරිපත් කරපු දර්ශන සහ මුළා කරවන අදහස්වලට සමහර ක්‍රිස්තියානීන් හසු වෙලා හිටපු නිසයි. (එෆී. 4:17-19) ඒ දේම අපිටත් වෙන්න පුළුවන්. අපිව යෙහෝවාගෙන් ඈත් කරන්න සාතන් විවිධ උපායන් යොදාගන්නවා. උදාහරණෙකට ජනප්‍රිය වෙන්න, අනිත් අය අතරේ කැපීපේන්න අපිට ආසාවක් තියෙනවා නම් සාතන් ඒක පාවිච්චි කරනවා දෙවියන්ගෙන් අපිව ඈත් කරන්න. හැදුණු වැඩුණු පරිසරයෙන්, ලබපු අධ්‍යාපනයෙන්, සංස්කෘතියෙන් අපි ඉගෙනගත්ත දේවල් වුණත් පාවිච්චි කරලා එයා හිතන විදිහට හිතන්න අපිව පොලඹවන්න සාතන් උත්සාහ කරනවා.

3 බලකොටු වගේ ශක්තිමත්ව අපි තුළ ගොඩනැඟිලා තියෙන අදහස් අයින් කරගන්න අපිට පුළුවන්ද? (2 කොරි. 10:4) පාවුල් කියන මේ දේ බලන්න. “දෙවි පිළිබඳ දැනුමට විරුද්ධව මිනිසුන් ගෙනෙන තර්ක විතර්ක හා ඔවුන් දරන සියලු උඩඟු ආකල්ප අපි බිඳ දමමින් සිටින්නෙමු. එලෙසම සිරකරුවෙකුව මෙල්ල කරනවා වගේ අපි මිනිසුන්ගේ සෑම සිතුවිල්ලක්ම මෙල්ල කර ඒවා ක්‍රිස්තුස්ට කීකරු ඔහු සිතන ආකාරයට හැඩගැසුණු සිතුවිලි බවට වෙනස් කරමින් සිටින්නෙමු.” (2 කොරි. 10:5) යෙහෝවාගේ උදව්වෙන් අපි තුළ තියෙන වැරදි අදහස්, ආකල්ප අයින් කරන්න අපිට පුළුවන්. විසක් ශරීරගත වුණාම ඒකෙන් වෙන හානිය නැති කරන්න විස නසන බෙහෙතකට පුළුවන් වගේ දේවවචනයටත් පුළුවන් මේ දුෂ්ට සමාජය නිසා විස වෙලා තියෙන අපේ මනසින් ඒ විස අයින් කරන්න.

“අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වන්න”

4. බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තාම අපි කරගත්ත වෙනස්කම් මොනවාද?

4 බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තාම ඔයා කරගත්ත වෙනස්කම් ගැන හිතන්න. අපෙන් හුඟදෙනෙක් අපි කරපු වැරදි දේවල්, වැරදි පුරුදු අත්හැරියා. (1 කොරි. 6:9-11) නරක දේවල් අත්හරින්න අපිට උදව් කරපු එක ගැන අපි යෙහෝවාට කොච්චර ස්තුති කරන්න ඕනෙද!

5. රෝම 12:2 අනුව අපි කරන්න ඕනෙ දේවල් 2 මොනවාද?

5 අපි දැන් හුඟක් දේවල් වෙනස් කරගෙන තියෙන නිසා තවත් නම් වෙනස්කම් කරගන්න ඕනෙ නැහැ කියලා කවදාවත් හිතන්න එපා. බව්තීස්ම වෙන්න කලින් අපි කරපු බරපතළ වැරදි දැන් අපි අත්හැරලා ඇති. ඒත් ඒවා ආයෙත් කරන්න අපි පෙලඹෙන්න පුළුවන් ඕනෙම දේකින් වළකින්න අපි දිගටම ලොකු වෑයමක් දරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් කොහොමද? පාවුල් මෙහෙම කියනවා. “තවදුරටත් අප ජීවත් වන මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න. ඒ වෙනුවට ඔබේ පෞද්ගලිකත්වය මුළුමනින්ම වෙනස් කරගෙන අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වන්න.” (රෝම 12:2) එතන කියන විදිහට අපි දේවල් 2ක් කරන්න ඕනේ. (1) අපි ‘තවදුරටත් මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න’ ඕනේ. (2) අපි අපේ ‘පෞද්ගලිකත්වය මුළුමනින්ම වෙනස් කරගෙන’ අලුත් ආකාරයකින් හිතන්න පුරුදු වෙන්න ඕනේ.

6. මතෙව් 12:43-45 යේසුස් කියපු දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

6 පෞද්ගලිකත්වය වෙනස් කරගන්න කියද්දී පාවුල්ගේ මනසේ තිබුණේ නිකම්ම අනිත් අයට පේන්න, මතුපිටින් කරගන්න වෙනසක් නෙමෙයි. ( “ඔයා වෙනස් වෙලා තියෙන්නේ මතුපිටින් විතරද” කියන කොටුව බලන්න.) අපි හිතන්න පුරුදු වෙලා හිටපු විදිහ, අපේ ආකල්ප, අපේ හැඟීම්, ආශාවන් ඒ හැම දෙයක්ම වෙනස් කරගන්න ඕනේ. ඒ නිසා අපි අපෙන්ම මෙහෙම අහගමු. ‘මං වෙනස්කම් කරගෙන තියෙන්නේ අනිත් අයට පේන පැතිවලින් විතරද? නැත්නම් මං ඇතුළාන්තයෙන්ම වෙනස් වෙලාද?’ ඒ දෙකේ වෙනස තේරුම්ගන්න එක වැදගත්. අපි කරන්න ඕනෙ මොකක්ද කියලා මතෙව් 12:43-45 යේසුස් කියපු දෙයින් පැහැදිලියි. (කියවන්න.) මනසින් නරක සිතුවිලි අයින් කරගන්නවා වගේම ඒ හිස් තැන දෙවියන් ප්‍රිය කරන සිතුවිලිවලින් අපි පුරවගන්නත් ඕනේ.

‘අලුත් පුද්ගලයන් වී අලුත් ආකාරයකින් සිතන්න’

7. අලුත් ආකාරයකින් හිතන්න නම් අපි වෙනස් කරගන්න ඕනෙ මොනවාද?

7 අලුත් ආකාරයකින් හිතන්න අපිට පුරුදු වෙන්න පුළුවන්ද? ඔව්. ඒත් ඒක ලේසි දෙයක් නෙමෙයි. බයිබලේ මෙහෙම කියනවා. “දැන් ඔබ අලුත් පුද්ගලයන් වී අලුත් ආකාරයකින් සිතීමට පුරුදු විය යුතුයි. එලෙසම ඔබ අලුත් පෞද්ගලිකත්වය පැළඳගත යුතුයි. එම පෞද්ගලිකත්වය හැඩගසා ඇත්තේ දෙවිගේ කැමැත්තට එකඟවය. එවැනි පෞද්ගලිකත්වයක් ඇති කෙනෙක් ක්‍රියා කරන්නේ සැබෑ ධර්මිෂ්ඨකමින් සහ පක්ෂපාතකමින්ය.” (එෆී. 4:23, 24) අපි නිකම්ම වැරදි ආශාවන් යටපත් කරගෙන, වැරදි දේවල් නොකර ඉන්න එක විතරක් මදි. අපි හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න ඕනේ. ඒකට අපේ ආශාවන්, අපි හැසිරෙන විදිහ, අපේ චේතනාවන් ඇතුළත්. ඒ දේ අපි අත් නෑර කරන්න ඕනේ.

8-9. අපි හිතන විදිහ වෙනස් කරගන්න එක කොච්චර වැදගත්ද කියලා සහෝදරයෙක්ගේ අද්දැකීමෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

8 කලින් දරුණු ජීවිතයක් ගත කරපු සහෝදරයෙක්ගේ අද්දැකීම බලන්න. එයා වෙරි වෙන කල් බීලා රණ්ඩුසරුවල් කරගත්ත කෙනෙක්. ඒත් එයා බව්තීස්ම වෙන්න කලින් ඒ නරක පුරුදු නවත්තලා ජීවිතේ වෙනස් කරගත්තා. ඒක එයා ජීවත් වුණ පැත්තේ හිටපු අයට හොඳ සාක්ෂියක් වුණා. ඒත් බව්තීස්ම වෙලා වැඩි දවසක් යන්න කලින් එයාට මුහුණ දෙන්න වුණේ නොහිතපු විදිහේ දේකට. හොඳටම බීලා හිටපු කෙනෙක් මේ සහෝදරයාගේ ගෙදරට ඇවිත් එයාත් එක්ක ගහගන්න එන්න කිව්වා. මුලදී ඒ සහෝදරයා එයාවම පාලනය කරගත්තා. ඒත් ඒ කෙනා යෙහෝවාට නින්දා කරන්න පටන්ගත්තාම සහෝදරයාට හොඳටම කේන්ති ගියා. කොච්චරද කියනවා නම් එයා ගිහින් අර පුද්ගලයාට හොඳටම ගැහුවා. එයා එහෙම කළේ ඇයි? කේන්තිය යටපත් කරගෙන ගහගන්නේ නැතුව ඉන්න බයිබලෙන් ඉගෙනගත්ත දේවල් එයාට උදව් වෙලා තිබුණා. ඒත් එයා හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන අලුත් ආකාරයකින් හිතන්න එයාට බැරි වෙලා තිබුණා.

9 ඒ සහෝදරයා වැඩිමහල්ලන්ගේ උදව්වෙන් දිගටම අවශ්‍ය වෙනස්කම් කරගත්තා. (හිතෝ. 24:16) වැඩිමහල්ලෙක් විදිහට සේවය කරන්නත් පස්සේ එයා සුදුසුකම් ලැබුවා. දවසක් නමස්කාර මධ්‍යස්ථානය අසලදී ඊට අවුරුදු ගාණකට කලින් එයා මුහුණ දුන්නා වගේ දේකට ආයෙත් මුහුණ දෙන්න එයාට වුණා. වෙරි වෙන කල් බීලා හිටපු කෙනෙක් වැඩිමහල්ලෙක්ට ගහන්න හදනවා ඒ සහෝදරයා දැක්කා. එයා මොකද කළේ? බීලා හිටපු කෙනා එක්ක එයා සන්සුන්ව කතා කරලා ඒ කෙනාව සන්සුන් කළා. ඊටපස්සේ එයාට ගෙදර යන්නත් උදව් කළා. මේ අවස්ථාවේ ඒ විදිහට වැඩ කරන්න ඒ සහෝදරයාට පුළුවන් වුණේ කොහොමද? එයා හිතපු විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන අලුත් ආකාරයකින් හිතන්න පටන් අරන් තිබුණ. එයා ඇතුළාන්තයෙන්ම සාමකාමී, නිහතමානී කෙනෙක් විදිහට වෙනස් වෙලා තිබුණා. එයා හැසිරුණ විදිහ නිසා යෙහෝවාව ප්‍රශංසාවට පත් වුණා.

10. ඇතුළාන්තයෙන්ම වෙනස්කම් කරගන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?

10 ඒ වගේ වෙනසක් දවසකින් දෙකකින් වෙන්නේ නැහැ. ඒක ඉබේ වෙන්නෙත් නැහැ. කාලයක් තිස්සේ අපි සත්‍යයේ ඉන්න නිසාම අපි තුළ වෙනස්කම් වෙයි කියලා හිතන්න එපා. අපි හිතන විදිහ වෙනස් කරගන්න සමහරවිට අවුරුදු ගාණක් “උපරිම උත්සාහයක් දරන්න” වෙයි. (2 පේතෘ. 1:5) ඒක කරන්න අපිට මූලිකවම උදව් වෙන දේවල් කීපයක් බලමු.

අලුත් ආකාරයකින් හිතන්න උදව් වෙන්නේ මොනවාද?

11. යාච්ඤා කරන එක අලුත් විදිහට හිතන්න අපිට උදව් වෙන්නේ කොහොමද?

11 යාච්ඤාව තමයි පළවෙනි සහ වැදගත්ම පියවර. ගීතිකාකරු වගේ අපිත් දෙවියන්ගෙන් මෙහෙම ඉල්ලන්න ඕනේ. “අනේ දෙවියනි, මට පිරිසිදු හදවතක් ලබා දෙන්න. නොසැලී ස්ථිරව සිටීමට හැකි වන පිණිස මා සිතන ආකාරය නිවැරදි කර, අලුත් සිතක් මට ලබා දෙන්න.” (ගීතා. 51:10) අපි හිතන විදිහ වෙනස් කරගන්න ඕනෙ කියලා පිළි අරන් ඒ වෙනස කරගන්න දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. වෙනස්කම් කරගන්න යෙහෝවා අපිට උදව් කරනවා කියලා අපිට ස්ථිර වෙන්න පුළුවන් කොහොමද? එසකියෙල්ගේ කාලේ හිටපු මුරණ්ඩු ඊශ්‍රායෙල්වරුන්ට යෙහෝවා දුන්න මේ පොරොන්දුව අපිට දිරිගැන්වීමක්. ‘මම ඔවුන්ව එකමුතු සෙනඟක් කරන්නෙමි. මම ඔවුන් සිතන ආකාරය වෙනස් කරන්නෙමි. මම ඔවුන්ට ප්‍රේමයෙන් පිරි හදවතක් දෙන්නෙමි.’ (එස. 11:19) ඒ කියන්නේ යෙහෝවාගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න පෙලඹෙන හදවතක් එයාලට දෙනවා කියන එකයි. ඊශ්‍රායෙල්වරුන්ට වෙනස් වෙන්න උදව් කරන්න යෙහෝවා කැමැත්තෙන් හිටියා නම් ඔහු ඒ දේම අද අපි වෙනුවෙනුත් කරන්නේ නැද්ද?

12-13. (අ) ගීතාවලිය 119:59 කියන විදිහට අපි හොඳින් හිතන්න ඕනෙ මොනවා ගැනද? (ආ) ඔයා ඔයාගෙන්ම අහගන්න ඕනෙ මොන ප්‍රශ්නද?

12 දෙවෙනි වැදගත් පියවර තමයි හොඳට හිතන එක. දිනපතාම බයිබලේ කියවද්දී අපි කාලේ අරන් හොඳට හිතන්න ඕනේ. එතකොට වෙනස් කරගන්න ඕනෙ අපි තුළ තියෙන මොන වගේ සිතුවිලිද, හැඟීම්ද කියලා හඳුනගන්න අපිට පුළුවන්. (ගීතාවලිය 119:59 කියවන්න; හෙබ්‍රෙ. 4:12; යාකො. 1:25) පොඩි හරි විදිහකින් මේ සමාජයේ අදහස් අපිට බලපාලා තියෙනවා නම් අපි ඒවා හඳුනගන්න ඕනේ. අපේ දුර්වල පැති අවංකවම පිළි අරන් ඒවා වෙනස් කරගන්න අපි මහන්සි වෙන්න ඕනේ.

13 ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ‘මගේ හිතේ තව කෙනෙක් ගැන පුංචි හරි ඊර්ෂ්‍යාවක් තියෙනවාද?’ (1 පේතෘ. 2:1) ‘මගේ පසුබිම, ලබපු අධ්‍යාපනය, වත්පොහොසත්කම් නිසා මං අනිත් අයට වඩා උසස් කියලා මට හිතෙනවාද?’ (හිතෝ. 16:5) ‘මට තියෙනවා වගේ දේවල් නැති අය, වෙනත් ජාතියක අය මට වඩා පහත් කියන හැඟීම මට තියෙනවාද?’ (යාකො. 2:2-4) ‘මේ දුෂ්ට සමාජය ඉදිරිපත් කරන දේවල්වලට මං ආසයිද?’ (1 යොහ. 2:15-17) ‘අනාචාරය සහ සැහැසියාව ඇතුළත් දේවල් කියවලා, බලලා මං සතුටක් ලබනවාද?’ (ගීතා. 97:10; 101:3; ආමො. 5:15) ඒ ප්‍රශ්න ඔයාගෙන්ම අහද්දී ඔයාට තේරෙයි ඔයා හදාගන්න ඕනෙ මොන පැතිද කියලා. බලකොටු වගේ ශක්තිමත්ව අපි තුළ ගොඩනැඟිලා තියෙන වැරදි අදහස්, හැඟීම් වෙනස් කරගද්දී අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා හුඟක් සතුටු වෙනවා.—ගීතා. 19:14.

14. හොඳ යාළුවන් තෝරගන්න එක හුඟක් වැදගත් ඇයි?

14 අපි කරන්න ඕනෙ තුන්වෙනි දේ හොඳ යාළුවන්ව තෝරගන්න එක. අපි හිතන විදිහට, හැසිරෙන විදිහට ලොකු බලපෑමක් කරන්න අපි ආශ්‍රය කරන අයට පුළුවන්. (හිතෝ. 13:20) වැඩ කරන තැන හෝ පාසැලේ අපි වැඩියෙන්ම වට වෙලා ඉන්නේ දෙවියන් හිතන විදිහට හිතන්න අපිට උදව් කරන අයගෙන් නෙමෙයි. ඒත් ඇසුරු කරන්න පුළුවන් හොඳම අයව අපිට අපේ රැස්වීම්වලදී හම්බ වෙනවා. “ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට” අපිව පොලඹවන්න පුළුවන් අය ඉන්නේ එතනයි.—හෙබ්‍රෙ. 10:24, 25.

“සත්‍ය ඉගැන්වීම් මත ස්ථිරව පිහිටා සිටින්න”

15-16. අපි හිතන විදිහ වෙනස් කරන්න සාතන් උත්සාහ කරන්නේ කොහොමද?

15 බයිබලේ සඳහන් තොරතුරුවලට අනුව අපි අපේ සිතුවිලි වෙනස් කරගෙන තිබුණත් ඒවා අපේ මනසින් අයින් කරලා ඒ වෙනුවට එක එක විදිහේ අදහස්, තර්ක අපේ මනසට දාන්න සාතන් නිතරම උත්සාහ කරනවා.

16 එදා ඒදන් උයනේදී සාතන් ඒවගෙන් අහපු ප්‍රශ්නය අදත් සාතන් අහනවා. ඔහු ඒවගෙන් ඇහුවේ ‘ගස්වලින් කන්න එපා කියලා දෙවියන් ඇත්තටම කිව්වාද’ කියලයි. (උත්. 3:1) අපේ විශ්වාසයන් ගැන අපේ හිතේ සැකයන් ඇති කරන්න පුළුවන් මේ වගේ ප්‍රශ්න අද සමාජයෙන් අපිට නිතරම වගේ අහන්න ලැබෙනවා. ‘දෙවියන් ඇත්තටම සමලිංගික විවාහය අනුමත කරන්නේ නැද්ද? නත්තල, උපන්දිනය සමරනවාට දෙවියන් ඇත්තටම අකමැතිද? ඔයා ලේ නොගෙන ඉඳියි කියලා ඔයාගේ දෙවියන් ඇත්තටම ඔයාගෙන් බලාපොරොත්තු වෙනවාද? ඔයා ආදරේ කරන කෙනෙක්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළාම ඔයා එයාත් එක්ක ඇසුරු නොකර ඉඳියි කියලා ආදරණීය දෙවි කෙනෙක් ඇත්තටම බලාපොරොත්තු වෙයිද?’

17. අපේ විශ්වාසයන් ගැන හිතේ සැකයන් ඇති කරන අරමුණින් කෙනෙක් ප්‍රශ්න අහද්දී අපි කරන්න ඕනෙ මොනවාද? එහෙම කරද්දී කොලොස්සි 2:6, 7 කියන විදිහට ලැබෙන ප්‍රතිඵලය මොකක්ද?

17 අපේ විශ්වාසයන් ගැන අපිට ලොකු නිසැකකමක් තියෙන්න ඕනේ. අපි විශ්වාස කරන දේවල් ගැන සමහරු ප්‍රශ්න කරද්දී අපි ඒවාට උත්තර හොයන්නේ නැතුව හිටියොත් ඒ ගැන අපිටත් සැකයන් ඇති වෙන්න පුළුවන්. කාලයක් යද්දී ඒක අපේ සිතුවිලිවලට බලපාලා අන්තිමේදී දෙවියන් ගැන අපිට තියෙන විශ්වාසය නැති වෙන්න පුළුවන්. එහෙමනම් අපි මොනවාද කරන්න ඕනේ? බයිබලේ කියන්නේ අපි අලුත් ආකාරයකින් හිතන්න පුරුදු වෙද්දී “දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ සම්පූර්ණ කැමැත්ත කුමක්ද කියා හොඳින් වටහාගන්නනැත්නම් ඒවා අපිටම තහවුරු කරගන්න පුළුවන් කියලයි. (රෝම 12:2) අපි නිතරම බයිබලේ සහ අපේ ප්‍රකාශන අධ්‍යයනය කරද්දී බයිබලෙන් අපි ඉගෙනගත්ත සත්‍යයන් අපිටම තහවුරු කරගන්න පුළුවන්. ඒ වගේම යෙහෝවා දීලා තියෙන ප්‍රමිති හොඳම ප්‍රමිති කියලත් අපිට ස්ථිර වෙයි. එතකොට හොඳින් මුල් ඇදලා තියෙන ගහක් ස්ථිරව පිහිටලා තියෙනවා වගේ අපි “විශ්වාස කරන සත්‍ය ඉගැන්වීම් මත ස්ථිරව පිහිටා සිටින්න” අපිට පුළුවන්.—කොලොස්සි 2:6, 7 කියවන්න.

18. මේ දුෂ්ට සමාජය නිසා විස වෙලා තියෙන අපේ මනසින් ඒ විස අයින් කරන්න උදව් වෙන්නේ මොනවාද?

18 ඔයා විශ්වාස කරන සත්‍ය ඉගැන්වීම් මත ස්ථිරව පිහිටලා ඉන්න ඔයා වෙනුවෙන් වෙන කෙනෙක්ට බැහැ. ඒක ඔයාම කරන්න ඕනෙ දෙයක්. ඔයා හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන අලුත් ආකාරයකින් හිතන්න දිගටම වෑයම් කරන්න. අත් නෑර දෙවියන්ගේ බලයේ උදව් ඉල්ලන්න. හොඳින් හිතන්න කාලේ ගන්න. නිතරම ඔයාගේ සිතුවිලි, චේතනාවන් සෝදිසි කරලා බලන්න. හොඳ යාළුවන්ව තෝරගන්න. දෙවියන් හිතන විදිහට හිතන්න ඔයාට උදව් කරන අයව ඔයාගේ කිට්ටු යාළුවන් කරගන්න. එහෙම කරද්දී සාතන්ගේ මේ දුෂ්ට සමාජය නිසා විස වෙලා තියෙන ඔයාගේ මනසින් ඒ විස අයින් කරගන්නත් “දෙවි පිළිබඳ දැනුමට විරුද්ධව මිනිසුන් ගෙනෙන තර්ක විතර්ක හා ඔවුන් දරන සියලු උඩඟු ආකල්ප බිඳ දමන්නත්” ඔයාට පුළුවන් වෙයි.—2 කොරි. 10:5.

ගීතිකාව 50 කැපවීමේ යාච්ඤාව

^ 5 ඡේ. අපි ඇතිදැඩි වුණ පසුබිම, සංස්කෘතිය, අපි ලබපු අධ්‍යාපනය අපේ සිතුවිලිවලට බලපානවා. සමහරවිට අපිට තේරෙයි වැරදි අදහස්, ආකල්ප අපි තුළ මුල් බැහැලා තියෙනවා කියලා. ඒ වගේ වැරදි සිතුවිලි, ආකල්ප අයින් කරගන්න පුළුවන් කොහොමද කියලා මේ ලිපියේ කතා කරනවා.