Skip to content

පටුනට යන්න

සාතන්ගේ මේ උගුලට අහු වෙන්න එපා!

සාතන්ගේ මේ උගුලට අහු වෙන්න එපා!

ඊශ්‍රායෙල්වරු යොර්දාන් ගඟ තරණය කරලා පොරොන්දු දේශයට ඇතුල් වෙන්න ඔන්න මෙන්න කියලයි තිබුණේ. ඔය අතරේ එයාලව හම්බ වෙන්න අමුත්තන් පිරිසක් ආවා. එයාලා කාන්තාවන්. හැබැයි එයාලා ඊශ්‍රායෙල් ජාතිකයන් නම් නෙමෙයි. එයාලත් එක්ක උත්සවයකට යන්න එන්න කියලා ඊශ්‍රායෙල් පුරුෂයන්ට එයාලා ආරාධනා කළා. අලුත් යාළුවෝ හොයාගන්න, නටන්න, හොඳ කෑම වේලක් කන්න ඒක නියම අවස්ථාවක් වගෙයි පෙනුණේ. ඒ කාන්තාවන් හවුල් වුණ චාරිත්‍ර, එයාලගේ සදාචාර ප්‍රමිති දෙවියන්ගේ නීතියේ තිබුණ දේවලට වඩා වෙනස් වුණත් සමහර ඊශ්‍රායෙල් පුරුෂයන් හිතන්න ඇති ‘අපි ඒවාට අහු වෙන්නේ නෑ. අපි දන්නවා පරෙස්සම් වෙන්න’ කියලා.

ඒත් මොකද වුණේ? “ඊශ්‍රායෙල් පුරුෂයෝ මෝවබ් ජාතික ස්ත්‍රීන් සමඟ දුරාචාරයේ යෙදෙන්න පටන්ගත්තෝය.” ඇත්තටම ඒ කාන්තාවන්ට ඕනෙ වුණේ ඊශ්‍රායෙල් පුරුෂයන්ව එයාලගේ බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්න පොලඹවගන්නයි. එයාලට ඒක කරගන්න පුළුවන් වුණා. “යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟ සමඟ මහත් සේ උදහස් වුණ” එක අහන්නත් දෙයක්ද!—ගණන්. 25:1-3.

ඒ ඊශ්‍රායෙල් පුරුෂයෝ දෙවියන්ගේ නීති 2ක් කැඩුවා. එකක් තමයි එයාලා රූප ඉදිරියේ වැඳ වැටිලා ඒවාට නමස්කාර කළා. අනිත් එක එයාලා අනාචාරයේ යෙදුණා. දෙවියන්ට අකීකරු වුණ දහස් ගාණක් එදා මිය ගියා. (නික්. 20:4, 5, 14; ද්වි. 13:6-9) එදා එයාලා දෙවියන්ට කීකරු වුණා නම් යොර්දාන් ගඟ තරණය කරලා පොරොන්දු දේශයට යන්න එයාලට අවස්ථාව තිබුණා.—ගණන්. 25:5, 9.

ඒ සිද්ධීන් ගැන කතා කරද්දී පාවුල් මෙහෙම ලිව්වා. “ඔවුන්ට සිදු වූ ඒ දේවලින් අපට පාඩමක් ඉගෙනගත හැක. ඒවා ලියනු ලැබුවේ මේ සමාජයේ අවසාන කාලයේ ජීවත් වන අපට අනතුරු ඇඟවීමක් ලෙසය.” (1 කොරි. 10:7-11) ඊශ්‍රායෙල් පුරුෂයන්ගෙන් සමහරදෙනෙක්ව බරපතළ පාපයකට හසු කරගන්න පුළුවන් වුණ නිසා එයාලට පොරොන්දු දේශය අහිමි වුණ එක ගැන සාතන් හුඟක් සතුටු වෙන්න ඇති. දෙවියන් අපිට දෙන්න යන ලස්සන අනාගතය අපෙන් උදුරගන්නත් සාතන් ඉන්නේ ආසාවෙන්.

භයානක උගුලක්

සාතන් අද ඉන්න ක්‍රිස්තියානීන්ව එයාගේ ගොදුරක් කරගන්න එයා කලින් පාවිච්චි කරලා සාර්ථක වුණ උගුල් ආයෙත් පාවිච්චි කරනවා. එදා ඊශ්‍රායෙල්වරුන්ව අල්ලගන්න එයා පාවිච්චි කළේ අනාචාරය කියන උගුල. ඔහු අදටත් ඒ උගුල පාවිච්චි කරනවා. අනාචාරයට අපි ලේසියෙන්ම වැටෙන්න පුළුවන් එක විදිහක් තමයි අසභ්‍ය දර්ශන බලන එක.

අද හරිම ලේසියෙන්, කාටත් හොරා අසභ්‍ය දර්ශන බලන්න පුළුවන්. මීට දශක කීපයකට කලින් නම් කෙනෙක්ට අසභ්‍ය දර්ශන බලන්න ආසාවක් ඇති වුණොත් එයාට වෙනවා අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් වෙන් වුණ චිත්‍රපටි පෙන්නන සිනමා ශාලාවකට යන්න. එහෙම නැත්නම් අසභ්‍ය පොත් විකුණන පොත් සාප්පුවකට ගිහින් ඒවා මිල දී ගන්න. ඒ වගේ තැනක ඉන්නවා කවුරු හරි දකියි කියන බය නිසා හුඟක් අය ඒ වගේ තැන්වලට යන්න අදිමදි කළා. ඒත් අද නම් කෙනෙක්ට ඉන්ටර්නෙට් පහසුකම් තියෙනවා නම් රැකියා ස්ථානයේ හෝ ගෙදර ඉඳන්ම අසභ්‍ය දර්ශන බලන්න පුළුවන්කම තියෙනවා.

ෆෝන්, ටැබ් වගේ දේවල් නිසා දැන් අසභ්‍ය දර්ශන බලන එක මිනිසුන්ට තවත් ලේසි වෙලා. පාරේ ඇවිදගෙන යද්දී, බස් එකේ හෝ කෝච්චියේ ගමනක් යද්දී වුණත් දැන් මිනිසුන්ට ඒවා බලන්න පුළුවන්.

ලේසියෙන්ම, අනිත් අයට හොරෙන් අසභ්‍ය දර්ශන බලන්න පුළුවන් වෙලා තියෙන නිසා කලින්ට වඩා දැන් හුඟදෙනෙක් ඒ උගුලට අහු වෙලා. පුරුද්දක් විදිහට අසභ්‍ය දර්ශන බලන හුඟක් අයගේ පවුල් ජීවිත අවුල් වෙලා. එයාලට එයාලා ගැනම හොඳ හැඟීමක් නැහැ. එයාලගේ හෘදය සාක්ෂිය එයාලට වධ දෙනවා. භයානකම දේ ඒකෙන් දෙවියන් එක්ක එයාලට තියෙන බැඳීම නැති වෙන්න පුළුවන්. ඒවා බලන අයගේ සිතුවිලිවලට වෙන නරක බලපෑම සෑහෙන කාලයක් සමහරවිට ජීවිත කාලෙටම වුණත් තියෙන්න පුළුවන්.

සාතන්ගේ ඒ උගුලට අහු නොවී ඉන්න යෙහෝවා අපිට උදව් කරනවා. දෙවියන්ගේ උදව් ලබන්න නම් අපි ඔහුගේ “සෑම වචනයකටම කීකරු” වෙන එක අත්‍යවශ්‍යයි. (නික්. 19:5) එදා ඊශ්‍රායෙල්වරුන් කරන්න අපොහොසත් වුණේ ඒ දේයි. අසභ්‍ය දර්ශන ගැන යෙහෝවාට තියෙන්නේ ලොකු පිළිකුලක් කියන දේ අපි තේරුම්ගන්න ඕනේ. ඒ ඇයි?

ඔයාත් ඒක පිළිකුල් කරන්න

එදා ඊශ්‍රායෙල්වරුන්ට දෙවියන් දුන්න නීති ඒ කාලේ හිටපු අනිත් ජාතීන්ට තිබුණ නීතිවලට වඩා හුඟක් වෙනස්. ඒ නීති හරියට විශාල පවුරක් වගේ ඊශ්‍රායෙල්වරුන්ව ආරක්ෂා කළා. අවට ජාතීන් කරපු පහත්, පිළිකුල්සහගත ක්‍රියාවලින් එයාලා වළකින්න ඕනෙ කියලා නීති මාර්ගයෙන් දෙවියන් එයාලට ඉගැන්නුවා. (ද්වි. 4:6-8) යෙහෝවා දුරාචාරය පිළිකුල් කරනවා කියලා ඒ නීතිවලින් පැහැදිලි වුණා.

අවට ජාතීන් කරපු පිළිකුල්සහගත දේවල් ගැන කතා කළාට පස්සේ යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කිව්වා. ‘මා ඔබව ගෙන යන කානාන් දේශයෙහි වැසියන් මෙන් ක්‍රියා නොකරන්න. ඔවුන්ගේ දේශයද අපවිත්‍ර වී ඇත. ඔවුන්ගේ අයුතුකම් නිසා මා දේශය පිටට විනාශය පමුණුවන්නෙමි.’ යෙහෝවා කානානිවරුන් ජීවත් වුණ විදිහ කොච්චර පිළිකුල් කළාද කියනවා නම් එයාලගේ දේශයත් ඔහු සැලකුවේ අපවිත්‍ර තැනක් විදිහට.—ලෙවී. 18:3, 25.

යෙහෝවා කානානිවරුන්ට දඬුවම් කළත් තව හුඟදෙනෙක් දිගටම දුරාචාරයේ යෙදුණා. අවුරුදු 1,500කට වඩා වැඩි කාලයකට පස්සේ ක්‍රිස්තියානීන් ජීවත් වුණ සමාජය ගැන පාවුල් විස්තර කළේ මෙහෙමයි. “කිසිම හැඟීමක් දැනීමක් නැති ඔවුහු නින්දිත ක්‍රියාකලාපයකට සම්පූර්ණයෙන්ම වහල් වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුහු කෑදරකමින් යුතුව සියලු ආකාරයේ අපවිත්‍ර ක්‍රියාවල නිරත වූහ.” (එෆී. 4:17-19) අද ඉන්න හුඟක් අයත් කිසිම ලැජ්ජාවක් නැතුව දුරාචාර ජීවිත ගත කරනවා. එයාලගේ පහත් ක්‍රියා දිහා බලන එකෙන් අපි වළකින්න ඕනේ.

අසභ්‍ය දර්ශන කියන්නේ යෙහෝවාව අගෞරවයට පත් කරන දෙයක්. දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ ඔහුගේ ගතිලක්ෂණ ඇතුව නිසා දෙයක් හරිද වැරදිද කියලා හඳුනගන්න පුළුවන් හැකියාව අපිට තියෙනවා. ලිංගික සම්බන්ධකම් පවත්වන්න පුළුවන් විවාහ වුණ දෙන්නෙක්ට විතරයි කියලා දෙවියන් නීතියක් දුන්නා. (උත්. 1:26-28; හිතෝ. 5:18, 19) ඒත් අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ, පොත් පත් නිර්මාණය කරන හෝ ඒවා මිනිසුන් අතර ප්‍රචාරය කරන අය කරන්නේ දෙවියන් දීලා තියෙන ඒ උසස් සදාචාර ප්‍රමිති කිසි ගාණකට ගන්නේ නැති එකයි. එයාලා යෙහෝවාට අගෞරව කරනවා. දෙවියන්ගේ ප්‍රමිති පැත්තකට දාලා වැඩ කරන ඒ වගේ අයව දෙවියන් අනිවාර්යයෙන්ම විනිශ්චය කරනවා.—රෝම 1:24-27.

අසභ්‍ය දේවල් කියවන, බලන සමහරු හිතනවා ඒක විනෝදයට කරන දෙයක් නිසා ඒකෙන් හානියක් නැහැ කියලා. ඒත් එයාලා කරන්නේ දෙවියන්ගේ ප්‍රමිති පැත්තකට දාලා වැඩ කරන අයට සහය දෙන එකයි. එයාලා ඒ අදහසින් නෙමෙයි වෙන්න ඇති අසභ්‍ය දර්ශන බලන්නේ. ඒත් එයාලා කරන්නෙත් දෙවියන්ට අගෞරව කරන එක. සැබෑ දෙවියන්ට නමස්කාර කරන අය අසභ්‍ය දේවල් පිළිකුල් කරන්න ඕනෙ කියලා බයිබලේ පැහැදිලිවම කියනවා. බයිබලේ කියන්නේ “යෙහෝවා දෙවිට ප්‍රේම කරන්නෙනි, නපුරට ද්වේෂ කරන්න” කියලයි.—ගීතා. 97:10.

අසභ්‍ය දර්ශන බලන එකෙන් වළකින්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ට වුණත් ඒක කරන එක ලේසි නැහැ. මොකද පාපය උරුම කරගත්ත අය විදිහට වැරදි ලිංගික ආශාවන් අපේ හිතට එන්න පුළුවන්. ඒවාට විරුද්ධව ලොකු සටනක් කරන්න අපිට වෙයි. ඒ විතරක් නෙමෙයි අපේ රැවටිලිකාර හිත අපිට කියයි අසභ්‍ය දේවල් නරඹන එකේ වරදක් නැහැ කියලා. (යෙරෙ. 17:9) ඒත් දෙවියන්ට සේවය කරන හුඟදෙනෙක්ට ඒ සටන ජය ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔයාත් ඒ වගේ සටනක් කරන කෙනෙක් නම් ඒක ජය ගන්න ඔයාට පුළුවන්. සාතන්ගේ ඒ උගුලට අහු නොවී ඉන්න ඔයාට උදව් කරන්න දේවවචනයට පුළුවන් කොහොමද?

වැරදි සිතුවිලි පෝෂණය කරන්න එපා

ඊශ්‍රායෙල්වරු එයාලගේ හිතේ වැරදි ආශාවන් දිගින් දිගටම වර්ධනය වෙන්න ඉඩහැරිය නිසා වුණේ ලොකු විනාශයක්. අදත් ඒකම වෙන්න පුළුවන්. යාකොබ් ඒ ගැන මෙහෙම කියනවා. “කෙනෙක් නොමඟ ගොස් වරදට පෙලඹෙන්නේ ඒ තැනැත්තා තුළ තිබෙන නුසුදුසු ආශාවන් නිසාය. ඒ ආශාවන් පාලනය කරගන්නේ නැත්නම් ඔහු තුළ පව් කිරීමට පෙලඹීමක් ඇති වෙයි.” (යාකො. 1:14, 15) කෙනෙක් වැරදි ආශාවන්ට වර්ධනය වෙන්න ඉඩහැරියොත් එයා අතින් බරපතළ පාපයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා වැරදි ආශාවක් හිතට ආව ගමන්ම ඒ ගැන හිතන එක නතර කරන්න. ඒක තවත් පෝෂණය කරන්න එපා.

වැරදි ලිංගික ආශාවන් ගැන ඔයා දිගින් දිගටම හිතනවා කියලා ඔයාට තේරුණොත් ඉක්මනින්ම පියවර ගන්න. යේසුස් මෙහෙම කිව්වා. ‘ඔබේ අත නිසා හෝ ඔබේ පය නිසා හෝ ඔබ වරදක් කරන්න පෙලඹෙනවා නම් එය කපා අහකට විසි කරන්න. ඔබේ ඇස නිසා ඔබ වරදක් කරන්න පෙලඹෙනවා නම් එයද උගුලා අහකට විසි කරන්න.’ (මතෙ. 18:8, 9) යේසුස් අදහස් කළේ අපි අපේ ශරීරයට හානියක් කරගන්න ඕනෙ කියලා නෙමෙයි. ඒ වෙනුවට ඔහු අදහස් කළේ වැරදි ලිංගික ආශාවන් ගැන අපි දිගින් දිගටම හිතන්න පෙලඹෙන හේතුව හඳුනගෙන ඉක්මනින්ම අවශ්‍ය වෙනස්කම් කරගන්න ඕනෙ කියලයි.

හදිසියේවත් ඔයා අසභ්‍ය දර්ශනයක් දැක්කොත් ‘ඒක එච්චර දෙයක් නෙමෙයි’ කියලා හිතන්න එපා. ඉක්මනින්ම අහක බලන්න. ඒක දැක්කේ රූපවාහිනියෙන්, කොම්පියුටර් හෝ ෆෝන් එකෙන් නම් ඒ වෙලාවේම ඒක නිවන්න. හොඳ දෙයක් ගැන හිතන්න. වැරදි ආශාවන්ට වර්ධනය වෙන්න ඉඩ නොදී ඉන්න එතකොට ඔයාට පුළුවන්.

අතීත මතකයන් මනසට ආවොත්?

අසභ්‍ය දර්ශන බලන පුරුද්ද අත්හැරියත් සමහර වෙලාවලදී ඔයා කලින් බලපු දර්ශන මතකයට එනවා ඇති. මොකද ඒ වගේ දේවල් කෙනෙක්ගේ මනසේ සෑහෙන කාලයක් රැඳිලා තියෙන්න පුළුවන්. ඒවා එකපාරටම මතකයට එනවා. එහෙම වුණාම ස්වයංවින්දනයේ යෙදෙන්න ලොකු පෙලඹීමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ නරක සිතුවිලි එකපාරටම හිතට එන්න පුළුවන් කියලා මතක තියාගන්න. ඒවාට විරුද්ධව සටන් කරන්න ලෑස්ති පිට ඉන්න.

දෙවියන් කැමති විදිහට හිතන්න, වැඩ කරන්න ඔයාට තියෙන අධිෂ්ඨානය වැඩි කරගන්න. පාවුල් එයාගේ ‘ශරීරයට දැඩි ලෙස පහර දෙමින් වහලෙකුව ඇදගෙන යන්නා සේ ඒක එයාගේ පාලනයට යටත් කරගත්තා.’ (1 කොරි. 9:27) වැරදි ආශාවන්ට ඔයාව පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඒ වෙනුවට “ඔබේ පෞද්ගලිකත්වය මුළුමනින්ම වෙනස් කරගෙන අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වන්න. එසේ කිරීමෙන් දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ සම්පූර්ණ කැමැත්ත කුමක්ද කියා හොඳින් වටහාගැනීමට ඔබට හැකි වනු ඇත.” (රෝම 12:2) දෙවියන් කැමති විදිහට හිතන්න, වැඩ කරන්න උත්සාහ කරද්දී දැනෙන සතුට නරක ආශාවන්ට ඉඩ දීලා ලබන සතුටට වඩා වැඩියි.

දෙවියන් කැමති විදිහට හිතන්න, වැඩ කරන්න උත්සාහ කරද්දී දැනෙන සතුට නරක ආශාවන්ට ඉඩ දීලා ලබන සතුටට වඩා වැඩියි

සමහර බයිබල් පද මතක තියාගන්න. වැරදි ආශාවක් හිතට ආවාම ඒ ගැන හිතනවා වෙනුවට ඒ බයිබල් පද ගැන හිතන්න. ගීතාවලිය 119:37; යෙසායා 52:11; මතෙව් 5:28; එෆීස 5:3; කොලොස්සි 3:5; 1 තෙසලෝනික 4:4-8 වගේ බයිබල් පද ඔයාට උදව් වෙයි අසභ්‍ය දර්ශන ගැන යෙහෝවාට හැඟෙන විදිහ තේරුම්ගන්න. ඔයා මොන වගේ පියවරක් ගත්තොත්ද දෙවියන් සතුටු වෙන්නේ කියලත් ඔයාට තේරෙයි.

අසභ්‍ය දේවල් බලන්න හෝ ඒවා ගැන හිතන්න එන පෙලඹීම ඔයාට පාලනය කරගන්න බැහැ කියලා හිතෙනවාද? එහෙමනම් යේසුස්ව කිට්ටුවෙන් අනුගමනය කරන්න උත්සාහ කරන්න. (1 පේතෘ. 2:21) යේසුස් බව්තීස්ම වුණාට පස්සේ සාතන් ඔහුව වරදට හසු කරගන්න කීප සැරයක්ම උත්සාහ කළා. ඒ වෙලාවේ යේසුස් බයිබල් පද පාවිච්චි කරලා සාතන් ගෙනාපු හැම වැරදි පෙලඹීමක්ම එකහෙළාම ප්‍රතික්ෂේප කළා. ඔහු ස්ථිරව “සාතන්, අහකට යන්න” කියද්දී සාතන් ඔහුව අත්හැරලා ගියා. (මතෙ. 4:1-11) යේසුස් සාතන්ට විරුද්ධව කරපු සටන අත්හැරියේ නැහැ. ඔයාත් ඒ සටන අත්හරින්න එපා. ඔයාගේ මනස වැරදි ලිංගික ආශාවලින් පුරවන්න සාතන් සහ මේ සමාජය දිගින් දිගටම උත්සාහ කළත් ඒවාට විරුද්ධව සටන් කරන එක අත්හරින්න එපා. අසභ්‍ය දර්ශනවලින් සම්පූර්ණයෙන්ම වළකින්න ඔයා කරන සටන දෙවියන්ගේ උදව්වෙන් ඔයාට ජය ගන්න පුළුවන්.

දෙවියන්ට යාච්ඤා කරන්න. ඔහුට කීකරු වෙන්න

දිගටම යාච්ඤා කරලා යෙහෝවාගේ උදව් ඉල්ලන්න. පාවුල් මෙහෙම කිව්වා. ‘ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එවිට ක්‍රිස්තුස් යේසුස් තුළින් දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වේ.’ (ෆිලි. 4:6, 7) දෙවියන් ලබා දෙන සමාදානය නිසා වැරදි ආශාවන්ට විරුද්ධව අත් නෑර සටන් කරන්න ඔයාට පුළුවන්. ඔයා දෙවියන්ට ළං වුණොත් “ඔහුත් ඔබට ළං වෙයි.”—යාකො. 4:8.

මේ විශ්වයේ බලවත්ම තැනැත්තා වන යෙහෝවා එක්ක අපිට ශක්තිමත් බැඳීමක් තියෙනවා නම් සාතන්ගේ උගුල්වලින් බේරෙන්න අපිට පුළුවන්. යේසුස් මෙහෙම කිව්වා. “ලෝකයේ පාලකයා එනවා. නමුත් මාව යටත් කරගන්න ඔහුට කිසි බලයක් නැහැ.” (යොහ. 14:30) ඒ තරම් විශ්වාසයකින් යේසුස්ට එහෙම කියන්න පුළුවන් වුණේ ඇයි? එක අවස්ථාවකදී ඔහු මෙහෙම කිව්වා. “මාව එවූ තැනැත්තා මා සමඟ නිරතුරුවම සිටියි. මගේ එකම ආශාව ඔහුට ප්‍රසන්න දේවල් කිරීමයි. ඒ නිසා ඔහු මාව අත්හරින්නේ නැහැ.” (යොහ. 8:29) ඔයා කරන හැම දේකදීම යෙහෝවා සතුටු වෙන විදිහට වැඩ කළොත් දෙවියන් කවදාවත් ඔයාව අත්හරින්නෙත් නැහැ. අසභ්‍ය දර්ශන කියන උගුලෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න. එතකොට ඔයාව ගොදුරු කරගන්න සාතන්ට බැහැ.