Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 29

“මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න”

“මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න”

“ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න.”—මතෙ. 28:19.

ගීතිකාව 60 ගැලවීමේ පණිවිඩේ කියා දෙමු

මේ ලිපියෙන් *

1-2. (අ) මතෙව් 28:18-20 යේසුස් දුන්න ආඥාවට අනුව සැබෑ ක්‍රිස්තියානීන්ගේ ප්‍රධානම වගකීම මොකක්ද? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

නැවත නැඟිටීමෙන් පස්සේ යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා ගලීලයේ තිබුණ කන්දකට එන්න කියලා. ඔහුගේ නියෝජිතයන් එතනට එන්න ඇත්තේ යේසුස් මොනවා කියයිද කියලා ලොකු කුතුහලයකින් වෙන්න ඇති. (මතෙ. 28:16) යේසුස් “සහෝදරයන් පන්සියදෙනෙකුට වඩා වැඩි පිරිසක් ඉදිරියේ පෙනී ඉන්න” ඇත්තේ ඒ අවස්ථාවේ වෙන්න පුළුවන්. (1 කොරි. 15:6) යේසුස් එයාලට එතනට එන්න කිව්වේ ඇයි? ඒ එයාලට ලොකු වගකීමක් භාර දෙන්නයි. ඒ තමයි “ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න” කියන වගකීම.—මතෙව් 28:18-20 කියවන්න.

2 එදා යේසුස් කියපු දේ අහගෙන හිටපු ඒ අය මුල්ම ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් වුණා. එයාලට තිබුණ ප්‍රධානම වගකීම තමයි මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන එක. * අද වෙනකොට සැබෑ ක්‍රිස්තියානීන් ලෝකේ පුරාම ඉන්නවා. ඒ හැමෝටම තියෙන ප්‍රධානම වගකීමත් මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන එකයි. ඒ වගකීම එච්චරම වැදගත් ඇයි? ඒ කාර්යය හොඳින් කරන්න පුළුවන් කොහොමද? ඒ කාර්යයට හැම ක්‍රිස්තියානියෙක්ම හවුල් වෙනවාද? ඒ කාර්යය ඉටු කරද්දී අපිට ඉවසීම ඕනෙ ඇයි? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු.

ඒ වගකීම ගොඩක් වැදගත් ඇයි?

3. යොහන් 14:6 සහ 17:3 අනුව යේසුස්ගේ ගෝලයන් වෙන්න මිනිසුන්ට උදව් කරන වගකීම එච්චරම වැදගත් ඇයි?

3 මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන එක ගොඩක් වැදගත්. ඒ ඇයි? ඒකට හේතුව යේසුස්ගේ ගෝලයන්ට විතරයි දෙවියන්ගේ යාළුවන් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි යේසුස්ව අනුගමනය කරන අයට දැන් හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් වගේම සදාකාලෙටම ජීවත් වෙන බලාපොරොත්තුවත් එයාලට ලැබෙනවා. (යොහන් 14:6; 17:3 කියවන්න.) එහෙම බලද්දී යේසුස් අපිට භාර දීලා තියෙන්නේ බැරෑරුම් වගකීමක්. ඒත් ඒක අපි තනියම කරන කාර්යයක් නෙමෙයි. පාවුල් කිව්වේ “අපි දෙවිගේ හවුල් වැඩකරුවන්” කියලා. (1 කොරි. 3:9) පව්කාරකම උරුම කරගත්ත අපිට යෙහෝවා දෙවියන් සහ යේසුස් දීලා තියෙන්නේ මොන තරම් වටිනා වරප්‍රසාදයක්ද!

4. අයිවන් සහ මැටිල්ඩා යුවළගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

4 කෙනෙක්ට යේසුස්ගේ ගෝලයෙක් වෙන්න උදව් කරද්දී අපිට ලොකු සතුටක් ලබන්න පුළුවන්. කොලොම්බියාවේ ඉන්න අයිවන් සහ මැටිල්ඩා යුවළගේ අද්දැකීම බලන්න. එයාලා ඩේවිය කියන තරුණයාට ශුභාරංචිය කිව්වාම එයා මෙහෙම කිව්වා. “මට ඕනෙ වෙනස් වෙන්න. ඒත් ඒක කරන්න මට බෑ.” ඩේවිය සල්ලිවලට බොක්සිං ගහපු කෙනෙක්. ඒ වෙද්දී එයා මත්ද්‍රව්‍ය ගත්තා. වෙරි වෙන කල් බිව්වා. එයාගේ පෙම්වතිය වුණ එරිකා එක්ක එකට ජීවත් වුණා. අයිවන් මෙහෙම කියනවා. “අපි ඩේවිය එක්ක බයිබල් පාඩමක් පටන්ගත්තා. එයා හිටියේ ගොඩක් දුර ගමක. මඩ පාරවල්වල පැය ගාණක් බයිසිකල් පැදගෙන තමයි අපි එහෙට ගියේ. ඩේවිය එයාගේ ජීවිතේ ටිකෙන් ටික වෙනස් කරගන්නවා දැක්කාම එරිකාත් කැමති වුණා බයිබල් පාඩමට හවුල් වෙන්න.” ටික කාලෙකින් මත්ද්‍රව්‍ය ගන්න එක, බොන එක සහ බොක්සිං ගහන එක ඩේවිය අත්හැරියා. ඊටපස්සේ එයා එරිකාත් එක්ක විවාහ වුණා. මැටිල්ඩා මෙහෙම කියනවා. “ඒ දෙන්නා 2016දී බව්තීස්ම වුණ වෙලාවේ අපිට මතක් වුණේ ‘මට ඕනෙ වෙනස් වෙන්න. ඒත් ඒක කරන්න මට බෑ’ කියලා ඩේවිය කියපු දේ. ඒ වෙලාවේ අපේ ඇස්වලට කඳුළු ආවා.” මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී අනිවාර්යයෙන්ම අපිට ලොකු සතුටක් අද්දකින්න පුළුවන්.

ඒ පැවරුම හොඳින් කරන්න පුළුවන් කොහොමද?

5. ඒ කාර්යය ඉටු කරද්දී අපි කරන්න ඕනෙ මුල්ම දේ මොකක්ද?

5 මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්න නම් අපි මුලින්ම කරන්න ඕනෙ දේ තමයි දෙවියන් ගැන දැනගන්න ආසාවක් තියෙන අයව හොයන එක. (මතෙ. 10:11) අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නම් අපිට හම්බ වෙන හැමෝටම අපි යෙහෝවා දෙවියන් ගැන කියනවා. දේශනා කරන්න කියලා යේසුස් දුන්න ආඥාවට අපි කීකරු වෙද්දී ඒකෙන් ඔප්පු වෙනවා අපි සැබෑ ක්‍රිස්තියානීන් කියලා.

6. අපේ පණිවිඩයට මිනිසුන් සවන් දෙන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?

6 සමහර අයට බයිබලේ තියෙන සත්‍යයන් ඉගෙනගන්න ලොකු ආසාවක් තියෙනවා. ඒත් අපිට හම්බ වෙන වැඩිදෙනෙක්ට මුලින් ඒ වගේ ලොකු උනන්දුවක් නැහැ. අපිට වෙයි එයාලගේ හිතේ ඒ උනන්දුව ඇති කරන්න. ඒකට අපි හොඳින් සූදානම් වෙන්න ඕනේ. මුලින්ම ඔයා සේවය කරන ප්‍රදේශයේ ඉන්න අය උනන්දු වෙන්නේ මොන වගේ කාරණා ගැනද කියලා හිතන්න. ඊටපස්සේ ඒක පාවිච්චි කරලා කෙනෙක් එක්ක සාකච්ඡාවක් පටන්ගන්නේ කොහොමද කියලා හිතන්න.

7. කෙනෙක් එක්ක සාකච්ඡාවක් පටන්ගන්න ඔයාට පුළුවන් කොහොමද? සේවයේ හම්බ වෙන අයට සවන් දෙන එක, එයාලට ගරු කරන එක වැදගත් කියලා ඔයා හිතන්නේ ඇයි?

7 උදාහරණෙකට ඔයාට පුළුවන් කෙනෙක්ගෙන් මෙහෙම අහන්න. “අද අපිට තියෙන ප්‍රශ්නමයි ලෝකේ පුරාම ඉන්න මිනිසුන්ටත් තියෙන්නේ. ඔයා මොකක්ද හිතන්නේ? මේ මුළු ලෝකෙම එකම ආණ්ඩුවකින් පාලනය කළොත් ඒ ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙයිද?” ඊටපස්සේ ඔයාට පුළුවන් දානියෙල් 2:44 එයාත් එක්ක සාකච්ඡා කරන්න. ඔයාට මේ වගේ දෙයක් කියන්නත් පුළුවන්. “දරුවන්ට හොඳ ගතිගුණ පුරුදු කරන්න පුළුවන් හොඳම විදිහ මොකක් කියලාද ඔයා හිතන්නේ?” ඊටපස්සේ ද්විතීය කතාව 6:6, 7 එයාත් එක්ක සාකච්ඡා කරන්න. මොන විෂය තෝරගත්තත් ඔයා කරන්න ඕනෙ වැදගත්ම දේ තමයි ඔයාට සවන් දෙන කෙනා ගැන හිතන එක. බයිබලේ තියෙන සත්‍යයන් දැනගන්න එක එයාට උදව් වෙන්නේ කොහොමද කියලා හිතන්න. කෙනෙක් එක්ක කතා කරද්දී එයාට සවන් දෙන එක වගේම එයාගේ අදහස්වලට ගරු කරන එක හරිම වැදගත්. එතකොට ඔයාට එයාව හොඳින් තේරුම්ගන්න පුළුවන්. එයාත් ඔයා කියන දේ අහන්න පෙලඹෙයි.

8. නැවත බැලීම් කරන්න අපි උත්සාහ කරන්න ඕනෙ ඇයි?

8 කෙනෙක් එක්ක බයිබල් පාඩමක් පටන්ගන්න කලින් ඔයාට වෙයි කීප සැරයක්ම එයාව බලන්න යන්න. මොකද ඔයා එයාව හම්බ වෙන්න ආයෙත් යද්දී සමහරවිට එයා ගෙදර නැති වෙයි. නැත්නම් එයාට මොකක් හරි වැඩක් යෙදෙයි. අනික, කෙනෙක් බයිබල් පාඩමක් කරන්න එකපාරින්ම කැමති වෙයි කියලා හිතන්නත් බැහැ. කීප සැරයක්ම එයාව බලන්න ගියාම තමයි ඔයාත් එක්ක පාඩමක් කරන්න එයාට පහසුවක් දැනෙන්න ඉඩ තියෙන්නේ. පැළයක් හොඳින් වැඩෙන්න නම් නිතිපතාම ඒකට වතුර දාන්න ඕනෙ වගේ කෙනෙක්ගේ හිතේ යෙහෝවා දෙවියන් සහ යේසුස් ගැන තියෙන ආදරේ වැඩි වෙන්න නම් ඔයා එයාත් එක්ක නිතර නිතර බයිබලේ තියෙන දේවල් කතා කරන්න ඕනේ.

ඒ කාර්යයට හැම ක්‍රිස්තියානියෙක්ම හවුල් වෙනවාද?

දෙවියන් ගැන දැනගන්න ආසාවෙන් ඉන්න අයව හොයන කාර්යයට ලෝකේ පුරාම ඉන්න සාක්ෂිකරුවන් හවුල් වෙනවා (9 සහ 10 ඡේද බලන්න) *

9-10. දෙවියන් ගැන දැනගන්න කැමති අයව හොයන්න හැම ක්‍රිස්තියානියෙක්ම හවුල් වෙනවා කියන්නේ ඇයි?

9 දෙවියන් ගැන දැනගන්න කැමති අයව හොයන්න හැම ක්‍රිස්තියානියෙක්ම හවුල් වෙනවා. ඒ කාර්යය අතරමං වුණ දරුවෙක්ව හොයන කාර්යයට සමානයි. මේ සැබෑ සිද්ධිය බලන්න. අවුරුදු 3ක පොඩි පිරිමි දරුවෙක් ගෙදර වත්තේ ඉන්න ගමන් ඈතට ඈතට ඇවිදගෙන ගිහින් අතරමං වුණා. එයාව හොයන්න 500දෙනෙක් විතර ගොඩක් මහන්සි වුණා. ඒ අයගෙන් එක් කෙනෙක් පැය 20කට විතර පස්සේ බඩඉරිඟු වත්තක හිටපු ඒ දරුවාව හොයාගත්තා. දරුවාව හොයාගත්ත එකේ ගෞරවය තමන්ට ගන්නවා වෙනුවට ඒ කෙනා මෙහෙම කිව්වා. “සිය ගාණක් එකා වගේ දරුවාව හොයපු නිසයි එයාව හම්බ වුණේ.”

10 අද ලෝකේ ඉන්න හුඟදෙනෙක් අතරමං වුණ ඒ දරුවා වගේ. එයාලට කිසි බලාපොරොත්තුවක් නැහැ. එයාලට උදව් ඕනේ. (එෆී. 2:12) ඒ අයව හොයන කාර්යයට අද ලක්ෂ 80කට වඩා වැඩි පිරිසක් හවුල් වෙනවා. සමහරවිට බයිබලේ පාඩම් කරන්න කැමති කෙනෙක්ව ඔයාට හම්බ වෙන එකක් නැහැ. ඒත් ඔයා සේවය කරන ප්‍රදේශයේ සේවයේ හවුල් වෙන වෙනත් ප්‍රචාරකයෙක්ට ඒ වගේ කෙනෙක්ව හම්බ වෙන්න පුළුවන්. එයා යේසුස්ගේ අනුගාමිකයෙක් වෙද්දී එයාව හොයන්න හවුල් වුණ හැමෝටම ඒ ගැන සතුටු වෙන්න පුළුවන්.

11. ඔයා බයිබල් පාඩමක් කරන්නේ නැති වුණත් යේසුස්ගේ ගෝලයෙක් වෙන්න කෙනෙක්ට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?

11 ඔයා දැනට බයිබල් පාඩමක් කරන්නේ නැති වුණත් මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්න ඔයාට පුළුවන්. උදාහරණෙකට අලුතෙන් කෙනෙක් රැස්වීම්වලට ආවාම එයාව ආදරෙන් පිළි අරන් එයාට උදව් කරන්න. ඔයා එයාට ආදරෙන් සලකද්දී අපි සැබෑ ක්‍රිස්තියානීන් කියලා තේරුම්ගන්න ඒක එයාට උදව් වෙයි. (යොහ. 13:34, 35) රැස්වීමේදී ඔයා කෙටියෙන් ඒත් අනිත් අයගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙලා ඔයාගෙම වචනවලින් අදහස් දක්වද්දී ඒ දේම කරන්න අලුත් කෙනෙක් ඉගෙනගන්නවා. අලුත් ප්‍රචාරකයෙක් එක්ක සේවයේ හවුල් වෙන්නත් බයිබල් පද පාවිච්චි කරලා මිනිසුන්ට කතා කරන විදිහ එයාට පුරුදු කරන්නත් ඔයාට පුළුවන්. ඒ විදිහට දේවල් කරද්දී ඔයා කරන්නේ යේසුස්ගේ ගෝලයෙක් වෙන්න එයාලට උදව් කරන එකයි.—ලූක් 10:25-28.

12. යේසුස්ගේ ගෝලයන් වෙන්න මිනිසුන්ට උදව් කරන්න අපිට විශේෂ හැකියාවන් තියෙන්න ඕනෙද? පැහැදිලි කරන්න.

12 යේසුස්ගේ ගෝලයෙක් වෙන්න කෙනෙක්ට උදව් කරන්න විශේෂ හැකියාවන් තියෙන්න ඕනෙ කියලා අපි හිතන්න හොඳ නැහැ. බොලිවියාවේ ඉන්න ෆවුස්ටිනාගේ අද්දැකීම බලන්න. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හම්බ වෙද්දී එයාට අකුරු කියවන්න බැහැ. දැන් එයාට ටිකක් කියවන්න පුළුවන්. එයා දැන් බව්තීස්ම වෙලා අනිත් අයට දෙවියන් ගැන හුඟක් ආසාවෙන් කියලා දෙනවා. එයා හැම සතියකම බයිබල් පාඩම් 5ක් පවත්වනවා. එයා එක්ක බයිබලේ පාඩම් කරන ශිෂ්‍යයන් තරම් හොඳට අකුරු කියවන්න ෆවුස්ටිනාට බැරි වුණත් බව්තීස්මය දක්වා දියුණු වෙන්න එයා හයදෙනෙක්ට උදව් කරලා තියෙනවා.—ලූක් 10:21.

13. කොච්චර කාර්යබහුල වුණත් යේසුස්ගේ ගෝලයන් වෙන්න මිනිසුන්ට උදව් කරද්දී අපි අද්දකින ආශීර්වාද මොනවාද?

13 දෙවියන්ගේ සේවකයන් හුඟදෙනෙක් ගත කරන්නේ හරිම කාර්යබහුල ජීවිත. ඒත් බයිබල් පාඩම් පවත්වන්න එයාලා කොහොමහරි කාලේ හොයාගන්නවා. ඒක එයාලට ලොකු සතුටක්. ඇලස්කාවේ ජීවත් වෙන මෙලනිගේ අද්දැකීම බලන්න. අවුරුදු 8ක දුවව එයා හදා වඩා ගත්තේ තනියම. එයා රැකියාව කරන අතරේ පිළිකාවක් හැදිලා තිබුණ එයාගේ තාත්තාට සාත්තු කරන වැඩවලටත් හවුල් වුණා. එයාගේ නගරේ හිටපු එකම සාක්ෂිකරුවත් එයායි. අධික ශීතලක් තිබුණත් සේවයේ යන්න ශක්තිය දෙන්න කියලා එයා නිතරම දෙවියන්ට යාච්ඤා කළා. මොකද බයිබල් පාඩමක් කරන්න එයාට තිබුණේ ලොකු ආසාවක්. දවසක් එයාට සාරාව හම්බ වුණා. දෙවියන්ගේ නම දැනගන්න ලැබුණාම සාරා ගොඩක් සතුටු වුණා. ටික දවසකින් එයා බයිබල් පාඩමක් කරන්නත් කැමති වුණා. මෙලනි මෙහෙම කියනවා. “සිකුරාදා හවස් වෙද්දී මං හිටියේ හෙම්බත් වෙලා. ඒත් මං දුවත් එක්ක ඒ පාඩමට කොහොමහරි ගියා. ඒකෙන් අපි දෙන්නාටම හුඟක් ප්‍රයෝජන ලැබුණා. සාරා අහපු ප්‍රශ්නවලට අපි උත්තර හෙව්වේ හරිම ආසාවෙන්. එයාට දෙවියන්ගේ යාළුවෙක් වෙන්න උදව් කරන්න පුළුවන් වුණ එක ගැන අපි දෙන්නාටම හුඟක් සතුටුයි.” සාරා එයාට ආපු විරුද්ධවාදිකම්වලට බය නැතුව මුහුණ දුන්නා. එයා පල්ලියෙන් අයින් වෙලා බව්තීස්ම වුණා.

ඒ කාර්යය ඉටු කරද්දී අපිට ඉවසීම ඕනෙ ඇයි?

14. (අ) අපේ කාර්යය ධීවරයෙකුගේ කාර්යයට සමාන වෙන්නේ කොහොමද? (ආ) 2 තිමෝති 4:1, 2 පාවුල් කියපු දේ ඔයාට බලපාන්නේ කොහොමද?

14 දෙවියන් ගැන දැනගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ව තාමත් ඔයාට හම්බ වෙලා නැතත් උත්සාහය අත්හරින්න එපා. මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන කාර්යය යේසුස් ධීවරයෙකුගේ කාර්යයට සමාන කළා මතකද? මාළු අහු වෙන කල් ධීවරයෙකුට සමහරවිට පැය ගාණක් බලන් ඉන්න වෙනවා. ගොඩක් වෙලාවට එයාලා මාළු අල්ලන්න යන්නේ මහ රෑ නැත්නම් පාන්දර. සමහර වෙලාවට එයාලට ඈත මුහුදට යන්නත් වෙනවා. (ලූක් 5:5) අපෙන් සමහරදෙනෙක් අවංක හදවතක් තියෙන අයව හොයන්න පැය ගාණක්, විවිධ ප්‍රදේශවල, විවිධ වෙලාවල සේවයේ හවුල් වෙනවා. වෙහෙස නොබලා සේවයේ යන එහෙම අයට හුඟක් වෙලාවට අපේ පණිවිඩය අහන්න කැමති අයව හම්බ වෙනවා. මිනිසුන් වැඩිදෙනෙක්ව හම්බ වෙයි කියලා හිතන වෙලාවල, තැන්වල දේශනා සේවයේ හවුල් වෙන්න ඔයාටත් පුළුවන්ද?—2 තිමෝති 4:1, 2 කියවන්න.

යෙහෝවා දෙවියන්ව හඳුනගන්න, ඔහුට ආදරේ කරන්න, කීකරු වෙන්න ඔයාගේ බයිබල් පාඩම්වලට ඉවසීමෙන් උදව් කරන්න (15 සහ 16 ඡේද බලන්න) *

15. බයිබල් පාඩම් කරන්න අපිට ඉවසීම තියෙන්න ඕනෙ ඇයි?

15 බයිබල් පාඩම් කරන්න අපිට ඉවසීම තියෙන්න ඕනෙ ඇයි? ඒකට එක හේතුවක් තමයි අපි එක්ක පාඩම් කරන කෙනාට අපි උදව් කරන්න ඕනෙ බයිබලේ සඳහන් ඉගැන්වීම් තේරුම් අරන් ඒවාට ඇලුම් කරන්න. හැබැයි ඒ විතරක් මදි. බයිබලේ කර්තෘ වන යෙහෝවා දෙවියන්ව හොඳින් දැන හඳුන ගෙන ඔහුට ආදරේ කරන්නත් අපි එයාට උදව් කරන්න ඕනේ. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා උගන්වනවාට අමතරව ඒවා ජීවිතේට අදාළ කරගන්නේ කොහොමද කියලත් එයාට උගන්වන්න ඕනේ. අපි හුඟක් ඉවසීමෙන් බයිබලේ තියෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න එයාට උදව් කරන්නත් ඕනේ. සමහරුන්ට මාස කීපයක් ඇතුළත එයාලා හිතන විදිහ, එයාලගේ පුරුදු වෙනස් කරගන්න පුළුවන් වුණත් තවත් අයට ඒකට කාලයක් යනවා.

16. රාවුල්ගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොකක්ද?

16 බයිබල් පාඩම් කරන අයට ඉවසීමෙන් උදව් කරද්දී හොඳ ප්‍රතිඵල ලැබෙනවා කියලා පේරූවල මිෂනාරි සේවකයෙක් අද්දැක්කා. එයා මෙහෙම කියනවා. “මං රාවුල් එක්ක පොත් 2ක් ඉවර වෙන කල්ම පාඩම කළා. ඒත් එයාට තව හුඟක් වෙනස්කම් කරගන්න තිබුණා. එයා බිරිඳ එක්ක නිතරම රණ්ඩු වුණා. කතා කරද්දී නරක වචන පාවිච්චි කළා. එයා හැසිරුණ විදිහ නිසා එයාගේ දරුවෝ එයාට පොඩ්ඩක්වත් ගරු කළේ නෑ. ඒත් එයා වරද්දන්නේ නැතුව රැස්වීම් ආවා. ඒ නිසා මං දිගටම එයාලගේ ගෙදර ගිහින් එයාටයි, එයාගේ පවුලේ අයටයි උදව් කළා. ඔය විදිහට අවුරුදු 3කට පස්සේ එයා බව්තීස්ම වෙන්න සුදුසුකම් ලැබුවා.”

17. අපි ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

17 යේසුස් අපිට කිව්වේ “ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න” කියලයි. ඒ ආඥාව ඉටු කරන්න නම් අපිට වෙනවා වෙනස් විදිහට හිතන මිනිසුන්ටත් ශුභාරංචිය ගැන කියන්න. ඒ අය අතරේ ආගමක් අදහන්නේ නැති, දෙවි කෙනෙක්ව විශ්වාස කරන්නේ නැති අයත් ඉන්න පුළුවන්. ඒ වගේ අයට ශුභාරංචිය කියන්නේ කොහොමද? ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 68 රාජ්‍යයේ බීජ වපුරමු

^ 5 ඡේ. සැබෑ ක්‍රිස්තියානීන්ගේ ප්‍රධානම වගකීම තමයි මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන එක. ඒ වගකීම ඉටු කරන්න උදව් වෙන යෝජනා මේ ලිපියේ කතා කරනවා.

^ 2 ඡේ. පැහැදිලි කිරීමක්: යේසුස්ගේ ගෝලයෙක් නිකම්ම යේසුස් උගන්වපු දේවල් ඉගෙනගන්න කෙනෙක් විතරක් නෙමෙයි. එයා ඒ දේවල් ජීවිතේට අදාළ කරගන්නවා. එයා උත්සාහ කරන්නේ පුළුවන් උපරිමයෙන් යේසුස්ගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරන්නයි.—1 පේතෘ. 2:21.

^ 52 ඡේ. පින්තූරයේ අදහස: නිවාඩුවකට යන කෙනෙක් ගුවන් තොටුපොළක තියෙන අපේ කාට් එකකින් පත්‍රිකාවක් ගන්නවා. නිවාඩුවට ගිය රටේදී පොදු සේවයේ හවුල් වෙන සාක්ෂිකරුවන්ව එයා දකිනවා. එයා ආයෙත් ගෙදර ආවාම සාක්ෂිකරුවන් එයාගේ ගෙදරට සේවයේ ඇවිත්.

^ 54 ඡේ. පින්තූරයේ අදහස: ඒ කෙනා බයිබල් පාඩමක් කරන්න කැමති වෙලා. කාලයක් ගියාට පස්සේ එයා බව්තීස්ම වෙනවා.