Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 27

විරුද්ධවාදිකම්වලට දැන්ම සූදානම් වෙන්න

විරුද්ධවාදිකම්වලට දැන්ම සූදානම් වෙන්න

“ක්‍රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයන් ලෙස දෙවිට භක්තියක් ඇතුව තම ජීවිතය ගත කිරීමට ආශාවෙන් සිටින සියලුදෙනාටම අනිවාර්යයෙන්ම පීඩා විඳින්න සිදු වෙයි.”—2 තිමෝ. 3:12.

ගීතිකාව 129 දිගටම විඳදරාගමු

මේ ලිපියෙන් *

1. විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕනෙ ඇයි?

තමන්ගේ අනුගාමිකයන් වෙන හැමෝටම අනිත් අයගේ වෛරයට ලක් වෙන්න වෙනවා කියලා යේසුස් කිව්වා. (යොහ. 17:14) අද වෙන කල්ම සැබෑ ක්‍රිස්තියානීන් යෙහෝවා දෙවියන්ට නමස්කාර නොකරන අයගේ විරුද්ධවාදිකම්වලට ලක් වෙනවා. (2 තිමෝ. 3:12) මේ දුෂ්ට සමාජයේ අවසානය ළං වෙන්න වෙන්න අපේ සතුරන් අපිට ගේන පීඩා තව වැඩි කරයි කියලා අපි දන්නවා.—මතෙ. 24:9.

2-3. (අ) බය වෙන එක භයානක ඇයි? (ආ) අපි මේ ලිපියෙන් ඉගෙනගන්නේ මොනවාද?

2 ඉදිරියේදී එන විරුද්ධවාදිකම්වලට සූදානම් වෙන්න දැන් අපිට කරන්න පුළුවන් මොනවාද? අපිට වෙන්න පුළුවන් හැම නරක දෙයක් ගැනම හිතින් මවාගන්න ඕනෙ නැහැ. එහෙම කළොත් අපිට අනවශ්‍ය බයක්, කනස්සල්ලක් දැනෙයි. එතකොට විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්නත් කලින් අපි අධෛර්යය වෙලා දෙවියන්ව අත්හරියි. (හිතෝ. 12:25; 17:22) බයගන්වන එක අපේ “විරුද්ධකාරයා වන යක්ෂයා” පාවිච්චි කරන බලවත් අවියක්. (1 පේතෘ. 5:8, 9) විරුද්ධවාදිකම් එද්දී ඒවා දරාගන්න දැන් අපිට සූදානම් වෙන්න පුළුවන් කොහොමද?

3 යෙහෝවා දෙවියන් එක්ක අපිට තියෙන බැඳීම තව ශක්තිමත් කරගන්නේ කොහොමද කියලත් ඒක දැන්මම කරන එක වැදගත් ඇයි කියලත් අපි මේ ලිපියෙන් මුලින්ම බලනවා. ඊළඟට ධෛර්යය තව වැඩි කරගන්න අපිට පුළුවන් කොහොමද කියලත් මිනිසුන් අපිට වෛර කරද්දී නොසැලී ඒවාට මුහුණ දෙන්න පුළුවන් කොහොමද කියලත් බලමු.

යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න

4. හෙබ්‍රෙව් 13:5, 6 අනුව අපිට ස්ථිර වෙන්න පුළුවන් මොකක් ගැනද? ඒක විශ්වාස කරන එක වැදගත් ඇයි?

4 යෙහෝවා දෙවියන් ඔයාට ආදරෙයි කියලත් ඔහු කවදාවත් ඔයාව අත්හරින්නේ නැහැ කියලත් විශ්වාස කරන්න. (හෙබ්‍රෙව් 13:5, 6 කියවන්න.) අවුරුදු ගාණකට කලින් පළ වුණ ‘මුරටැඹ’ සඟරාවක මෙහෙම කියලා තිබුණා. “දෙවියන්ව හොඳින්ම දන්න කෙනෙක් තමයි විරුද්ධවාදිකම් එද්දී දෙවියන්ව වැඩියෙන්ම විශ්වාස කරලා වැඩ කරන්නේ.” ඒක ඇත්ත නේද? විරුද්ධවාදිකම් එද්දී නොසැලී ඉන්න නම් අපිට යෙහෝවා දෙවියන් ගැන ලොකු ආදරයක්, විශ්වාසයක් තියෙන්න ඕනේ. ඔහු අපිට ආදරෙයි කියන දේ ගැනත් කිසිම සැකයක් තියෙන්න හොඳ නැහැ.—මතෙ. 22:36-38; යාකො. 5:11.

5. යෙහෝවා දෙවියන් ඔයාට ආදරෙයි කියන දේ ස්ථිර කරගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

5 යෙහෝවා දෙවියන්ට තව කිට්ටු වෙන අදහසින් හැමදාම බයිබලේ කියවන්න. (යාකො. 4:8) ඔයා බයිබලය කියවද්දී දෙවියන්ට ඔයා ගැන කොයි තරම් ආදරයක්, සෙනෙහසක් තියෙනවාද කියලා ඔහු කියපු කරපු දේවලින් තේරුම්ගන්න උත්සාහ කරන්න. (නික්. 34:6) ජීවිත කාලේ පුරාම කාගෙවත් ආදරයක් නොලබපු අයට අමාරුයි දෙවියන් එයාලට ආදරේ කරනවා කියලා විශ්වාස කරන්න. ඔයාටත් එහෙම හැඟෙනවා නම් යෙහෝවා දෙවියන් ඔයාට දයාව, කරුණාව පෙන්නන විදි ගැන හිතලා හැම දවසකම ඒවා සටහන් කරගන්න. (ගීතා. 78:38, 39; රෝම 8:32) දෙවියන්ගේ දයාව, කරුණාව ඔයා පෞද්ගලිකව අද්දැක්ක විදි ගැන හිතද්දී, බයිබලෙන් ඔයා කියවපු දේවල් ගැන හොඳට හිතද්දී දෙවියන් ඔයා වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන දිග ලැයිස්තුවක් ලියන්න ඔයාට පුළුවන් වෙයි. ඔයාගේ හිතේ තියෙන අගය වැඩි වෙද්දී ඔයාට දෙවියන් එක්ක තියෙන බැඳීමත් තව ශක්තිමත් වෙනවා.—ගීතා. 116:1, 2.

6. ගීතාවලිය 94:17-19 කියන විදිහට යාච්ඤා කරන එක ඔයාට උදව් වෙන්නේ කොහොමද?

6 යාච්ඤා කරන එක පුරුද්දක් කරගන්න. තාත්තාගේ තුරුලේ ඉන්න පුතෙක් ගැන හිතන්න. එයාට ලොකු ආරක්ෂාවක් දැනෙනවා. ඒ නිසා එදා දවසේ එයා සතුටු වුණ, දුක් වුණ අවස්ථා ගැන අකුරක් නෑර එයා තාත්තාට කියනවා. ඔයාත් හැමදාම ඔයාගේ හිතේ තියෙන හැම දේම දෙවියන්ට කියනවා නම් ඒ වගේ බැඳීමක් ඔයාට දෙවියන් එක්ක ඇති කරගන්න පුළුවන්. (ගීතාවලිය 94:17-19 කියවන්න.) ඔයාට බයක් දැනෙන හැම දෙයක් ගැනම ඔයාගේ ආදරණීය තාත්තා වන යෙහෝවා දෙවියන්ට කියන්න. (විලා. 2:19) ප්‍රතිඵලය? “දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි.” (ෆිලි. 4:6, 7) හිතේ තියෙන හැම දෙයක්ම දෙවියන්ට කියද්දී ඔයා ඔහුට තව කිට්ටු වෙනවා කියලා ඔයාට දැනෙයි.—රෝම 8:38, 39.

යෙහෝවා දෙවියන් ගැනත් ඔහුගේ රාජ්‍යය ගැනත් ලොකු විශ්වාසයක් තියෙනවා නම් ධෛර්යවත්ව වැඩ කරන්න පුළුවන්

ස්ටැන්ලි ජෝන්ස් දේවරාජ්‍යය ගැන තිබුණ විශ්වාසය නිසා නොසැලී හිටියා (7 ඡේදය බලන්න)

7. දේවරාජ්‍යය මාර්ගයෙන් දෙවියන් කරන්න යන දේවල් ගැන ඔයාට ලොකු විශ්වාසයක් තියෙන්න ඕනෙ ඇයි?

7 දේවරාජ්‍යය මාර්ගයෙන් අනිවාර්යයෙන්ම ආශීර්වාද ලැබෙනවා කියන දේ විශ්වාස කරන්න. (ගණන්. 23:19) දෙවියන්ගේ පොරොන්දු ගැන ඔයාට ලොකු විශ්වාසයක් නැත්නම් සාතන්ටත් එයාගේ පැත්තේ ඉන්න අයටත් ලේසියෙන්ම ඔයාව බය කරන්න පුළුවන්. (හිතෝ. 24:10; හෙබ්‍රෙ. 2:15) දේවරාජ්‍යය ගැන ඔයාට තියෙන විශ්වාසය තව ශක්තිමත් කරගන්න දැන් ඔයාට පුළුවන් කොහොමද? දේවරාජ්‍යය මාර්ගයෙන් දෙවියන් කරන්න යන දේවල් ගැනත් ඒවා අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා ඔයාට නිසැක වෙන්න පුළුවන් ඇයි කියලත් හොඳින් අධ්‍යයනය කරන්න. ඒක ඔයාට උදව් වෙන්නේ කොහොමද? සහෝදර ස්ටැන්ලි ජෝන්ස්ගේ අද්දැකීම බලන්න. * එයා යෙහෝවා දෙවියන්ගේ සේවකයෙක් වුණ නිසා අවුරුදු 7ක්ම එයාට හිරේ ඉන්න වුණා. දිගටම විශ්වාසවන්තව ඉන්න එයාට උදව් වුණේ මොකක්ද? එයා මෙහෙම කියනවා. “දේවරාජ්‍යය ගැන, ඒකෙන් කරන්න යන දේවල් ගැන මට පුංචි සැකයක්වත් තිබුණේ නැහැ. ඒ නිසා දෙවියන්ගෙන් මාව ඈත් කරන්න කාටවත් බැරි වුණා.” දේවරාජ්‍යය ගැන ඔයාටත් ඒ වගේ විශ්වාසයක් තියෙනවා නම් දෙවියන් එක්ක ඔයාට තියෙන බැඳීම තව ශක්තිමත් වෙයි. ඔයා කවදාවත් බය වෙලා දෙවියන්ව අත්හරින්නෙත් නැහැ.—හිතෝ. 3:25, 26.

8. අපි රැස්වීම් සලකන විදිහෙන් අපිට අපි ගැන තේරුම්ගන්න පුළුවන් මොකක්ද? පැහැදිලි කරන්න.

8 වරද්දන්නේ නැතුව රැස්වීම්වලට යන්න. දෙවියන්ට තව කිට්ටු වෙන්න රැස්වීම් අපිට උදව් වෙනවා. රැස්වීම්වලට දැන් ඔයා ඔයාගේ ජීවිතේ මොන වගේ තැනක්ද දීලා තියෙන්නේ කියන එකෙන් තේරෙනවා විරුද්ධවාදිකම් එද්දී ඔයා ඒවාට බය වෙයිද නැත්නම් ධෛර්යවත්ව ඒවාට මුහුණ දෙයිද කියලා. (හෙබ්‍රෙ. 10:24, 25) එහෙම කියන්නේ ඇයි? දැන් අපි මුහුණ දෙන පොඩි පොඩි ප්‍රශ්න නිසා රැස්වීම් අතපසු කරනවා නම් සහෝදරයන් එක්ක එකට රැස් වෙන එක ඉස්සරහට තහනම් කළොත් අපි රැස්වීම් යයිද? ඒත් වරද්දන්නේ නැතුව රැස්වීම් යන්න දැන් ඉඳන් අපි අධිෂ්ඨාන කරගෙන ඉන්නවා නම් විරුද්ධවාදිකම් එද්දී රැස්වීම් යන එක අපි නවත්තන්නේ නැහැ. රැස්වීම් ගැන හිතේ ලොකු ඇල්මක් දැන් ඇති කරගන්න. එතකොට කිසිම විරුද්ධවාදිකමක් නිසාවත් අඩු තරමේ රජයෙන් දාන තහංචියක් නිසාවත් රැස්වීම් යන එක අපි නවත්තන්නේ නැහැ.—ක්‍රියා 5:29.

බයිබල් පද සහ ගීතිකා දැන් පාඩම් කරගත්තොත් විරුද්ධවාදිකම් එද්දී නොසැලී ඉන්න ඒවා ඔයාට උදව් වෙයි (9 ඡේදය බලන්න) *

9. බයිබල් පද පාඩම් කරගන්න එක වැදගත් ඇයි?

9 ඔයාගේ ආසම බයිබල් පද පාඩම් කරගන්න. (මතෙ. 13:52) බයිබල් පද මතක තියාගන්න එක ඔයාට අමාරු ඇති. ඒත් ඔයා ඒවා පාඩම් කරගන්න උත්සාහ කරනවා නම් දෙවියන්ට පුළුවන් ඔහුගේ බලය දීලා ඔයාට ඒවා මතක් කරගන්න උදව් කරන්න. (යොහ. 14:26) නැඟෙනහිර ජර්මනියේ හුදකලා හිරකුටියක කාලයක් හිටපු සහෝදරයෙක් මෙහෙම කිව්වා. “ඒ වෙද්දී මං බයිබල් පද 200කට වැඩි ගාණක් පාඩම් කරගෙන තිබුණ එක කොච්චර දෙයක්ද! තනියම හිටියත් මං නිතරම ඒ බයිබල් පද ගැන හිතුවා.” ඒක ඒ සහෝදරයාට උදව් වුණා දෙවියන් එක්ක එයාට තිබුණ බැඳීම දුර්වල කරගන්නේ නැතුව, දිගටම විශ්වාසවන්තව විඳදරාගන්න.

(10 ඡේදය බලන්න) *

10. අපි ගීතිකා කටපාඩම් කරගන්න ඕනෙ ඇයි?

10 ගීතිකා සහ jw.org වෙබ් අඩවියේ පළ වෙන අපේ සිංදු කටපාඩම් කරගෙන ගායනා කරන්න. පාවුල් සහ සීලස් ෆිලිප්පියේ හිරකුටියක ඉද්දී එයාලා මතකයෙන් ගීතිකා ගායනා කළා. (ක්‍රියා 16:25) සෝවියට් දේශයේ හිටපු අපේ සහෝදරයන්ව සයිබීරියාවට පිටුවහල් කළාම එයාලගේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්න එයාලට උදව් වුණේ මොකක්ද? සහෝදරි මරියා ෆෙඩන් මෙහෙම කියනවා. “ගීතිකා පොතේ තිබුණ, අපිට මතක හැම ගීතිකාවක්ම අපි ගායනා කළා.” ඒකෙන් හැමෝම දිරිගැන්වුණා කියලත් යෙහෝවා දෙවියන් එයාලා එක්ක ඉන්නවා කියලා එයාලට දැනුණා කියලත් සහෝදරි මරියා කිව්වා. ඔයාටත් ඔයා ආසම ගීතිකා, අපේ සිංදු ගායනා කරද්දී ශක්තියක් දැනෙනවාද? ඒවා කටපාඩමින් ගායනා කරන්න දැන් පුරුදු වෙන්න.—“ මගේ හිතට ධෛර්යය දෙන්න” කියන කොටුව බලන්න.

ධෛර්යය වැඩි කරගන්න

11-12. (අ) 1 සාමුවෙල් 17:37, 45-47 අනුව දාවිත්ට ධෛර්යවන්තව වැඩ කරන්න පුළුවන් වුණේ කොහොමද? (ආ) දාවිත්ගෙන් අපි ඉගෙනගන්න වැදගත් පාඩම මොකක්ද?

11 විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න නම් ඔයාට ධෛර්යය තියෙන්නම ඕනේ. ධෛර්යවන්තව වැඩ කරන්න ඔයාට අමාරුයි කියලා හැඟෙනවා නම් මොනවාද කරන්න පුළුවන්? කෙනෙක් උස මහත නිසාම, දක්ෂතාවන් තියෙන නිසාම එයා ධෛර්යවන්ත කෙනෙක් වෙන්නේ නැහැ. දාවිත් ගැන හිතන්න. ගොලියත් එක්ක බලද්දී දාවිත්ගේ ඇඟපත පොඩියි. සටනට ගැළපෙන ආයුධ, අඩු තරමේ කඩුවක්වත් එයාට තිබුණේ නැහැ. ඒත් දාවිත්ට ධෛර්යයේ නම් අඩුවක් තිබුණේ නැහැ. එයා එඩිතරව ගොලියත් එක්ක සටන් කරන්න ගියා.

12 දාවිත් ඒ තරම් ධෛර්යයකින් වැඩ කළේ කොහොමද? යෙහෝවා දෙවියන් එයා එක්කම ඉන්නවා කියලා දාවිත්ට ලොකු විශ්වාසයක් තිබුණා. (1 සාමුවෙල් 17:37, 45-47 කියවන්න.) දාවිත් හිතුවේ එයා එක්ක බලද්දී ගොලියත් කොච්චර ලොකුද කියලා නෙමෙයි යෙහෝවා දෙවියන් එක්ක බලද්දී ගොලියත් කොච්චර දුර්වලද කියලයි. ඒ වාර්තාවෙන් අපි ඉගෙනගන්නේ මොකක්ද? යෙහෝවා දෙවියන් අපි එක්කම ඉන්නවා කියලා අපිට විශ්වාසයි නම්, සියලු බලැති දෙවියන් එක්ක බලද්දී අපේ සතුරන් හරිම දුර්වලයි කියලා අපි නිතරම මතක තියාගන්නවා නම් ධෛර්යවන්තව වැඩ කරන්න අපිට පුළුවන්. (2 ලේක. 20:15; ගීතා. 16:8) ඒත් අපි ධෛර්යය වැඩි කරගන්න ඕනෙ විරුද්ධවාදිකම් එන්න කලින්. ඒක කරන්නේ කොහොමද?

13. අපිට ධෛර්යය වැඩි කරගන්න පුළුවන් කොහොමද? පැහැදිලි කරන්න.

13 දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන එක අපිට උදව් වෙනවා අපේ ධෛර්යය වැඩි කරගන්න. ඒ කොහොමද? සේවයේ යද්දී යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරන්න අපි පුරුදු වෙනවා. මිනිසුන්ට තියෙන බය නැති කරගන්නත් පුළුවන් වෙනවා. (හිතෝ. 29:25) ව්‍යායාම් කරද්දී අපේ මාංශ පේශී ශක්තිමත් වෙනවා වගේ අපි ගෙයින් ගෙට ගිහින්, ප්‍රසිද්ධ තැන්වල, ව්‍යාපාර ස්ථානවල සහ අවිධිමත්ව සාක්ෂි දරද්දී අපේ ධෛර්යයත් වැඩි වෙනවා. දැන් අපි බය නොවී දේශනා කරනවා නම් ආණ්ඩුවලින් අපේ සේවය තහනම් කරපු කාලෙකදී වුණත් අත් නෑර දේශනා කරන්න අපි සූදානම්.—1 තෙස. 2:1, 2.

නැන්සි යුඑන් ශුභාරංචිය දේශනා කරන එක කොහොමටවත් නැවැත්තුවේ නැහැ (14 ඡේදය බලන්න)

14-15. නැන්සි යුඑන් සහ වැලන්ටීනා ගාර්නොෆ්ස්කියාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

14 ධෛර්යයෙන් වැඩ කරපු විශ්වාසවන්ත සහෝදරියන් දෙන්නෙක්ගේ ආදර්ශ බලන්න. සහෝදරි නැන්සි යුඑන්ගේ උස අඩි 5ක් විතර ඇති. * ඒත් එයාව ලේසියෙන් බයගන්වන්න කාටවත් බැරි වුණා. ශුභාරංචිය දේශනා කරන එක එයා කොහොමටවත් නැවැත්තුවේ නැහැ. ඒ නිසා චිනයේ අවුරුදු 20කට වැඩි කාලයක් හිරේ ඉන්න එයාට සිද්ධ වුණා. එයාව ප්‍රශ්න කරපු නිලධාරීන් කිව්වේ “රටේ ඉන්න මුරණ්ඩුම කෙනා මෙයා” කියලා.

වැලන්ටීනා ගාර්නොෆ්ස්කියා යෙහෝවා දෙවියන් එයා එක්ක ඉන්නවා කියලා විශ්වාස කළා (15 ඡේදය බලන්න)

15 සෝවියට් දේශයේ හිටපු සහෝදරි වැලන්ටීනා ගාර්නොෆ්ස්කියාට අවස්ථා 3කදී හිරදඬුවම් විඳින්න වුණා. එයා හිරේ හිටපු මුළු කාලය අවුරුදු 21කට කිට්ටුයි. * එයාව හිරේ දැම්මේ ඇයි? ඒ දේශනා සේවය අත්හරින්න එයා අකමැති වුණ නිසයි. නිලධාරීන් එයාව හැඳින්නුවේ “දරුණු අපරාධකරුවෙක්” විදිහට. ඒ සහෝදරියන් දෙන්නාට ඒ තරම් ධෛර්යයක් ලැබුණේ කොහොමද? යෙහෝවා දෙවියන් එයාලා එක්ක ඉන්නවා කියලා එයාලට ලොකු විශ්වාසයක් තිබුණා.

16. ධෛර්යයෙන් වැඩ කරන්න පුළුවන් කොහොමද?

16 අපි ඉගෙනගත්ත විදිහට ධෛර්යය වැඩි කරගන්න අපිට පුළුවන් වෙන්නේ අපේ ශක්තිය, අපේ හැකියාවන් ගැන විශ්වාසය තියලා වැඩ කරන එකෙන් නෙමෙයි. ඒ වෙනුවට යෙහෝවා දෙවියන් අපි එක්ක ඉන්නවා කියලත් අපි වෙනුවෙන් සටන් කරන්නේ ඔහුයි කියලත් අපිට ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. (ද්වි. 1:29, 30; සෙක. 4:6) ධෛර්යයෙන් වැඩ කරන්න අපිට පුළුවන් වෙන්නේ එතකොටයි.

මිනිසුන් වෛර කරද්දී නොසැලී ඉන්න

17-18. යොහන් 15:18-21 යේසුස් දුන්න අනතුරු ඇඟවීම මොකක්ද? පැහැදිලි කරන්න.

17 අනිත් අය අපිට හොඳින් සලකනවාට අපි කැමතියි. ඒත් මිනිසුන් අපිට අකමැතියි කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ අපේ කිසිම වටිනාකමක් නැහැ කියලා. යේසුස් මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රයා නිසා මිනිසුන් ඔබට වෛර කරයි. ඔබව කොන් කරයි. ඔවුන් ඔබට නින්දා කර ඔබ ගැන අගුණ කියමින් ඔබේ හොඳ නමට අගෞරව කරයි. ඔබට එවැනි දේවල් සිදු වුණත් ඔබ සන්තෝෂවත්.”—ලූක් 6:22.

18 අනිත් අයගේ වෛරයට ලක් වෙන්න ක්‍රිස්තියානීන් කැමතියි කියලා යේසුස් ඒකෙන් අදහස් කළේ නැහැ. ඒ වෙනුවට ඔහු දුන්නේ ඇත්තටම අපිට මුහුණ දෙන්න වෙන දේ ගැන අනතුරු ඇඟවීමක්. අපි මේ සමාජයේ මිනිසුන්ට සමාන නැහැ. අපි යේසුස්ගේ ඉගැන්වීම් අපේ ජීවිතවලට අදාළ කරගන්නවා. ඔහු දේශනා කරපු පණිවිඩය අපි දේශනා කරනවා. ඒ නිසා මේ සමාජය අපිට වෛර කරනවා. (යොහන් 15:18-21 කියවන්න.) අපිට ඕනෙ යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න. මිනිසුන් අපිට වෛර කරන්නේ අපි දෙවියන්ට ආදරේ කරන නිසා නම් ඒ ගැන අපි දුක් වෙන්නේ නැහැ.

19. නියෝජිතයන්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

19 මිනිසුන් කියන කරන දේවල් නිසා ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කියලා කියන්න කවදාවත් බය වෙන්න එපා. (මීකා 4:5) නියෝජිතයන්ගේ ආදර්ශය ගැන හිතන එක මිනිසුන්ට තියෙන බයෙන් ගොඩ එන්න අපිට උදව් වෙනවා. යුදෙව් ආගමික නායකයන් එයාලට කොච්චර වෛර කරනවාද කියලා නියෝජිතයන් දැනන් හිටියා. (ක්‍රියා 5:17, 18, 27, 28) ඒත් එයාලා හැමදාම දේවමාලිගාවට ගිහින් දේශනා කළා. ඒ නිසා එයාලා යේසුස්ගේ අනුගාමිකයන් කියලා හැමෝම දැනගත්තා. (ක්‍රියා 5:42) අපිත් රැකියා ස්ථානයේදී, පාසැලේදී සහ අසල්වැසියන්ට අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා කියනවා නම් මිනිසුන්ට තියෙන බය නැති කරගන්න අපිට පුළුවන්.—ක්‍රියා 4:29; රෝම 1:16.

20. මිනිසුන් නියෝජිතයන්ට වෛර කළත් එයාලා සතුටින් හිටියේ ඇයි?

20 නියෝජිතයන් සතුටින් හිටියේ ඇයි? මිනිසුන් එයාලට වෛර කරන හේතුව එයාලා දැනන් හිටියා. යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන නිසා පීඩා විඳින්න ලැබෙන එක එයාලා සැලකුවේ ගෞරවයක් විදිහට. (ලූක් 6:23; ක්‍රියා 5:41) පේතෘස් මෙහෙම කිව්වා. “ඔබ ධර්මිෂ්ඨ දේ කරන නිසා ඔබ දුක් වින්දත් ඔබට ඒ ගැන සතුටු විය හැකියි.” (1 පේතෘ. 2:19-21; 3:14) මිනිසුන් අපිට වෛර කරන්නේ අපි හරි දේ කරන නිසයි කියලා තේරුම්ගත්තාම මිනිසුන්ට බය වෙලා දෙවියන්ට කරන සේවය අපි කොහොමටවත් නවත්තන්නේ නැහැ.

දැන්ම සූදානම් වුණොත් ප්‍රයෝජන ලැබෙයි

21-22. (අ) විරුද්ධවාදිකම්වලට දැන්ම සූදානම් වෙන්න මොන වගේ දේවල් කරන්නද ඔයා තීරණය කළේ? (ආ) අපි ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

21 දරුණු විරුද්ධවාදිකම්වලට කවදා අපිට මුහුණ දෙන්න වෙයිද කියලවත් බලධාරීන් අපේ සේවය කවදා හරි තහනම් කරයිද කියලවත් අපි දන්නේ නැහැ. ඒ වුණත් අපි එක දෙයක් දන්නවා. ඒ තමයි ඉදිරියේදී එන්න පුළුවන් විරුද්ධවාදිකම්වලට දැන් අපිට සූදානම් වෙන්න පුළුවන් කියන දේ. දෙවියන් එක්ක තියෙන බැඳීම අපි තව ශක්තිමත් කරගෙන, ධෛර්යය වැඩි කරගෙන, මිනිසුන් අපිට වෛර කරද්දී නොසැලී ඒවාට මුහුණ දීලා ඒ දේ කරන්න අපිට පුළුවන්. අපි දැන් හොඳින් සූදානම් වුණොත් තමයි විශ්වාසවන්තව ඉන්න අපිට පුළුවන් වෙන්නේ.

22 අපේ සේවය තහනම් කළොත් අපි මොකද කරන්නේ? තහංචි මැද දිගටම යෙහෝවා දෙවියන්ට සේවය කරන්න අපිට උදව් වෙන ප්‍රතිපත්ති කීපයක් ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 118 “විශ්වාසය තවත් ශක්තිමත් කරන්න”

^ 5 ඡේ. අනිත් අයගේ වෛරයට ලක් වෙන්න අපි කවුරුත් කැමති නැහැ. ඒත් කොයි වෙලාවක හරි දරුණු විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න අපි හැමෝටම සිද්ධ වෙනවා. ඒ විරුද්ධවාදිකම්වලට ධෛර්යයෙන් මුහුණ දෙන්න දැන්ම සූදානම් වෙන්න මේ ලිපිය උදව් වෙයි.

^ 7 ඡේ. 1965 දෙසැම්බර් 15 ‘මුරටැඹ’ කලාපයේ 756-767 පිටු බලන්න. (සිංහලෙන් නැහැ.)

^ 14 ඡේ. 1979 ජූලි 15 ‘මුරටැඹ’ කලාපයේ 4-7 පිටු බලන්න. (සිංහලෙන් නැහැ.) JW බ්‍රෝඩ්කාස්ටිං එකේ තියෙන ‘යෙහෝවා දෙවිගේ නම හැමෝටම දැනගන්න ලැබෙයි’ කියන වීඩියෝ එකත් බලන්න. අද්දැකීම් සහ සම්මුඛ සාකච්ඡා යටතේ බලන්න.

^ 15 ඡේ. 2009 අප්‍රියෙල් 15 ‘මුරටැඹ’ කලාපයේ 9-10 පි. ඡේ. 10-11 බලන්න; 2008 ‘වාර්ෂික පොතේ’ 191-192 පිටු බලන්න. (සිංහලෙන් නැහැ.)

^ 67 ඡේ. පින්තූරවල අදහස: පවුලේ නමස්කාරයේදී බයිබල් පද ලියපු කාඩ් පාවිච්චි කරලා ඒ බයිබල් පද පාඩම් කරගන්න දෙමාපියන් දරුවන්ට උදව් කරනවා.

^ 70 ඡේ. පින්තූරවල අදහස: කාර් එකේ රැස්වීම් යන අතරතුරේ පවුලක් ගීතිකා කියන්න පුරුදු වෙනවා.