Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 28

තහනමක් මැද පවා යෙහෝවා දෙවියන්ට සේවය කරන්න

තහනමක් මැද පවා යෙහෝවා දෙවියන්ට සේවය කරන්න

“අප ඇසූ දුටු දේ ගැන කතා කරන එක නතර කරන්න නම් අපට බැහැ.”—ක්‍රියා 4:19, 20.

ගීතිකාව 122 ස්ථිරව නොසැලී සිටිමු

මේ ලිපියෙන් *

1-2. (අ) ආණ්ඩුවෙන් අපේ වැඩකටයුතු තහනම් කළොත් අපි ඒ ගැන පුදුම වෙන්නේ නැත්තේ ඇයි? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොනවාද ගැනද?

2018දී ප්‍රචාරකයන් 2,23,000කට වඩා වැඩිදෙනෙක් ජීවත් වුණේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු තහනම් කරපු හෝ සීමා කරපු රටවල. ඒ ගැන අපි පුදුම වෙන්නේ නැහැ. අපි කලින් ලිපියේ බලපු විදිහට සැබෑ ක්‍රිස්තියානීන්ට අනිවාර්යයෙන්ම විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වෙනවා කියලා අපි දන්නවා. (2 තිමෝ. 3:12) අපි ජීවත් වෙන රට මොකක් වුණත් ආණ්ඩු බලධාරීන් අපි නොහිතන වෙලාවක, හදිසියේම යෙහෝවා දෙවියන්ට අපි කරන නමස්කාරය තහනම් කරන්න ඉඩ තියෙනවා.

2 ඒ වගේ දෙයක් වුණොත් මේ ප්‍රශ්න ඔයාගේ හිතේ ඇති වෙයි. ‘අපිට විරුද්ධවාදිකම් එන්නේ දෙවියන් අපි ගැන අසතුටු නිසාද? ආණ්ඩුවකින් තහනමක් දැම්මොත් යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන එක අපි නවත්තනවාද? කිසිම බාධාවක් නැතුව අපේ වැඩකටයුතු කරගෙන යන්න පුළුවන් වෙනත් රටකට මම යන එකද හොඳම දේ?’ ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු. තහනමක් මැද වුණත් දෙවියන්ට දිගටම නමස්කාර කරන්නේ කොහොමද කියලත් ඒ වගේ වෙලාවකදී අපි මොන දේවලින්ද වළකින්න ඕනෙ කියලත් බලමු.

අපිට විරුද්ධවාදිකම් එන්නේ දෙවියන් අපි ගැන අසතුටු නිසාද?

3. 2 කොරින්ති 11:23-27 පෙන්නන විදිහට පාවුල් මුහුණ දුන්නේ මොන වගේ විරුද්ධවාදිකම්වලටද? එයාගේ අද්දැකීමෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

3 ආණ්ඩුවෙන් අපේ වැඩකටයුතු තහනම් කළොත් අපිට හිතෙයි එහෙම වුණේ යෙහෝවා දෙවියන්ගේ අනුමැතිය අපිට නැති නිසාද කියලා. ඒත් දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරපු පාවුල් ගැන හිතන්න. යෙහෝවා දෙවියන්ගේ අනුමැතිය පාවුල්ට තිබුණා. බයිබලේ පොත් 14ක් ලියන්න දෙවියන් එයාව පාවිච්චි කළා. වෙනත් ජාතීන් අතරට ශුභාරංචිය ගෙනියන්න දෙවියන් පාවුල්ව තෝරගත්තා. ඒ වුණත් එයාට දරුණු විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වුණා. (2 කොරින්ති 11:23-27 කියවන්න.) දෙවියන්ගේ අනුමැතිය තියෙන අයට වුණත් විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වෙනවා කියලා පාවුල්ගේ අද්දැකීමෙන් අපිට ඉගෙනගන්න පුළුවන්.

4. වැඩිදෙනෙක් අපිට වෛර කරන්නේ ඇයි?

4 අපි මේ ලෝකේ මිනිසුන්ට සමාන නොවන නිසා විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වෙනවා කියලා යේසුස් කිව්වා. (යොහ. 15:18, 19) විරුද්ධවාදිකම්වලට අපි මුහුණ දෙන්නේ යෙහෝවා දෙවියන්ගේ අනුමැතිය අපිට නැති නිසා නෙමෙයි. ඇත්තටම ඒකෙන් පේන්නේ අපි දෙවියන් සතුටු වෙන දේ කරනවා කියලයි.

තහනමක් දැම්මොත් යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන එක අපි නවත්තනවාද?

5. යෙහෝවා දෙවියන්ට කරන නමස්කාරය නවත්තන්න මිනිසුන්ට බලය තියෙනවාද? උදාහරණ දෙන්න.

5 සියලු බලැති තැනැත්තා වන යෙහෝවා දෙවියන්ට කරන නමස්කාරය සම්පූර්ණයෙන්ම නවත්තන්න විරුද්ධවාදීන්ට බැහැ. හුඟක් අය ඒක කරන්න උත්සාහ කළා. ඒත් එයාලා අසාර්ථක වුණා. 2වෙනි ලෝක යුද්ධ කාලේ වෙච්ච දෙයක් බලන්න. ඒ කාලේ හුඟක් රටවල ආණ්ඩු දෙවියන්ගේ සෙනඟට දරුණු විරුද්ධවාදිකම් එල්ල කළා. සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු තහනම් කළේ ජර්මනියේ නාට්සි ආණ්ඩුව විතරක් නෙමෙයි. ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ සහ තවත් රටවල අපේ වැඩකටයුතු තහනම් කළා. ඒත් ඒකෙන් අපේ නමස්කාර වැඩකටයුතු නතර වුණාද? 1939 යුද්දේ පටන්ගද්දී ලෝකේ පුරාම ප්‍රචාරකයන් හිටියේ 72,475දෙනෙක් විතරයි. ඒත් 1945 යුද්දේ ඉවර වෙනකොට ලෝකේ පුරාම ප්‍රචාරකයන් 1,56,299දෙනෙක් හිටියා. ඒ කියන්නේ ප්‍රචාරකයන්ගේ ගාණ දෙගුණයකටත් වඩා වැඩි වෙලා තිබුණා. එහෙම වුණේ එයාලට දෙවියන්ගේ ආශීර්වාදය තිබුණ නිසයි.

6. විරුද්ධවාදිකම් නිසා මොන වගේ හොඳ ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්ද? අද්දැකීමක් කියන්න.

6 බය නොවී දිගටම දෙවියන්ට සේවය කරන්න අපි තුළ තියෙන අධිෂ්ඨානය තව වැඩි කරගන්න විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන එක අපිට උදව් වෙයි. මේ අද්දැකීම බලන්න. අපේ වැඩකටයුතු එකපාරටම තහනම් කරපු රටක පොඩි පුතෙක් හිටපු යුවළක් හිටියා. බය වෙලා සේවය අඩු කරනවා වෙනුවට ඒ යුවළ ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගත්තා. එහෙම කරන්න බිරිඳ එයා කරකර හිටපු හොඳ රස්සාවෙන් අස් වුණා. තහනම නිසා හුඟක් මිනිසුන්ට සාක්ෂිකරුවන් ගැන තොරතුරු දැනගන්න උනන්දුවක් ඇති වුණා කියලා ඒ සැමියා කිව්වා. ඒ නිසා එයාට ලේසියෙන්ම බයිබල් පාඩම් පටන්ගන්න පුළුවන් වුණා. ඒ තහනම නිසා තවත් හොඳ ප්‍රතිඵල ලැබුණා. වැඩිමහල්ලෙක් කියනවා දෙවියන්ට සේවය කරන එක නවත්තලා හිටිය හුඟදෙනෙක් තහනමෙන් පස්සේ ආයෙත් රැස්වීම් එන්නත් සේවයේ යන්නත් පටන්ගත්තා කියලා.

7. (අ) ලෙවී කතාව 26:36, 37 සඳහන් දෙයින් අපි ඉගෙනගන්නේ මොකක්ද? (ආ) අපේ වැඩකටයුතු තහනම් කාළොත් ඔයා මොකද කරන්නේ?

7 සතුරන් අපේ වැඩකටයුතු තහනම් කරන්නේ අපි බය වෙලා දෙවියන්ට කරන නමස්කාරය නවත්තයි කියලා හිතලයි. තහනම් කරලා විතරක් නවතින්නේ නැතුව එයාලා අපි ගැන බොරු තොරතුරු පතුරුවයි. අපේ ගෙවල් සෝදිසි කරන්න නිලධාරීන්ව එවයි. අපිට විරුද්ධව නඩු දායි. අපෙන් සමහරුන්ව හිරෙත් දායි. එයාලා හිතන්නේ අපෙන් ටිකදෙනෙක්ව හිරේ දැම්මාම අපි බය වෙයි කියලා. ඒ දේවල් නිසා අපි බය වුණොත් අපි දෙවියන්ට කරන සේවය අඩු කරයි නැත්නම් නවත්තලාම දායි. ඒත් ලෙවී කතාව 26:36, 37 (කියවන්න.) විස්තර කරලා තියෙන අය වගේ වෙන්න අපෙන් කාටවත් ඕනෙ නැහැ. බය නිසා දෙවියන්ට කරන නමස්කාරය අපි අඩු කරන්නේවත් ඒක නවත්තන්නේවත් නැහැ. ඒ වගේ වෙලාවලදී අපි කලබල නොවී යෙහෝවා දෙවියන් ගැන සම්පූර්ණ විශ්වාසය තියලා වැඩ කරනවා. (යෙසා. 28:16) දෙවියන්ට යාච්ඤා කරලා අපි ඔහුගෙන් මඟ පෙන්වීම් ඉල්ලනවා. ඔහුගේ උදව් අපිට තියෙන නිසා ලෝකේ තියෙන බලවත්ම ආණ්ඩුවටවත් බැහැ අපේ නමස්කාරය නවත්තන්න.—හෙබ්‍රෙ. 13:6.

වෙනත් රටකට යන එකද හොඳම දේ?

8-9. (අ) තමන් වෙනුවෙන්, තමන්ගේ පවුල වෙනුවෙන් එක් එක් කෙනා ගන්න ඕනෙ තීරණය මොකක්ද? (ආ) ඥානවන්ත තීරණයක් ගන්න කෙනෙක්ට උදව් වෙන්නේ මොනවාද?

8 ඔයා ජීවත් වෙන රටේ අපේ වැඩකටයුතු තහනම් කළොත් සමහරවිට ඔයාට හිතෙයි නිදහසේ දෙවියන්ට නමස්කාර කරන්න පුළුවන් රටකට ගියොත් හොඳයිද කියලා. ඒ තීරණය ගන්න ඕනෙ ඔයායි. තීරණයක් ගන්න කලින් කෙනෙක්ට පුළුවන් මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් විරුද්ධවාදිකම්වලට මුහුණ දෙද්දී කරපු දේ ගැන අධ්‍යයනය කරන්න. සතුරන් ස්තේපන්ට ගල් ගහලා මරලා දැම්මාට පස්සේ යෙරුසලමේ හිටපු ක්‍රිස්තියානීන් යුදයේ සහ සමාරියේ පළාත් පුරා විසිරී ගියා. සමහරු ෆිනීෂියාව, සයිප්‍රසය සහ අන්තියෝකිය වගේ ඈත පළාත්වලටත් ගියා. (මතෙ. 10:23; ක්‍රියා 8:1; 11:19) පිට පිට ආපු විරුද්ධවාදිකම්වලට පාවුල් මුහුණ දීපු විදිහ අධ්‍යයනය කරන්නත් කෙනෙක්ට පුළුවන්. පාවුල්ගේ ජීවිතේ අනතුරේ තිබුණත් එයා තීරණය කළේ විරුද්ධවාදිකම් ආපු ප්‍රදේශ අත්හැරලා යන්නේ නැතුව ඉන්නයි. මොකද ඒ ප්‍රදේශවල දිගටම දේශනා කරන්නත් ඒ නගරවල හිටපු ක්‍රිස්තියානීන්ව ශක්තිමත් කරන්නත් එයාට ඕනෙ වුණා.—ක්‍රියා 14:19-23.

9 ඒ වාර්තාවලින් අපි ඉගෙනගන්නේ මොනවාද? වෙන රටකට යනවාද නැද්ද කියලා තීරණය කරන්න ඕනෙ පවුලේ මූලිකයා. ඒ තීරණය ගන්න කලින් එයා ඒ ගැන දෙවියන්ට යාච්ඤා කරලා එයාගේ පවුලේ අයගේ තත්වය ගැන හිතන්න ඕනේ. එහෙම ගියොත් ඒකෙන් ලැබෙන හොඳ සහ නරක ප්‍රතිඵල ගැන හිතන්න ඕනේ. ඒ කාරණයේදී තීරණය ගන්න වගකීම තව කෙනෙක්ට පටවන්න බැහැ. (ගලා. 6:5) ඒ වගේම තව කෙනෙක් ගන්න තීරණය විවේචනය කරන්නත් අපිට බැහැ.

තහනමක් මැද දෙවියන්ට දිගටම නමස්කාර කරන්නේ කොහොමද?

10. ශාඛා කාර්යාලය සහ වැඩිමහල්ලන් මොන වගේ මඟ පෙන්වීම් දෙයිද?

10 තහනමක් මැද දිගටම යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න ඔයාට පුළුවන් කොහොමද? විශ්වාසය ශක්තිමත්ව තියාගන්න උදව් වෙන පෝෂණය ලබාගන්න විදිහ ගැන, රැස්වීම් සැලසුම් කරන විදිහ ගැන, දේශනා කරන විදිහ ගැන ශාඛා කාර්යාලයෙන් ඔයාගේ සභාවේ වැඩිමහල්ලන්ට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙයි. වැඩිමහල්ලන්ට තොරතුරු ලබා දෙන්න ශාඛා කාර්යාලයට නොහැකි තත්වයක් උදා වුණොත් දිගටම දෙවියන්ට නමස්කාර කරන්න වැඩිමහල්ලන් ඔයාටත් සභාවේ හැමෝටමත් උදව් කරයි. එයාලා බයිබලය සහ අපේ ප්‍රකාශන පදනම් කරගෙන අවශ්‍ය මඟ පෙන්වීම් ඔයාට ලබා දෙයි.—මතෙ. 28:19, 20; ක්‍රියා 5:29; හෙබ්‍රෙ. 10:24, 25.

11. විශ්වාසය ශක්තිමත්ව තියාගන්න ඕනෙ කරන පෝෂණය හැමදාටම ලැබෙයි කියලා ඔයාට නිසැක වෙන්න පුළුවන් ඇයි? බයිබලය සහ ප්‍රකාශන ආරක්ෂා කරගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

11 තමන්ගේ සෙනඟව නොඅඩුව පෝෂණය කරනවා කියලා යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. (යෙසා. 65:13, 14; ලූක් 12:42-44) ඒ නිසා විශ්වාසවන්තව ඉන්න ඔයාට ඕනෙ කරන හැම දෙයක්ම දෙවියන්ගේ සංවිධානය ලබා දෙයි කියලා ඔයාට නිසැක වෙන්න පුළුවන්. ඒත් ඔයාගේ පැත්තෙනුත් කරන්න දෙයක් තියෙනවා. තහනමක් යටතේ ඉද්දී ඔයාගේ බයිබලය සහ ඔයා ළඟ තියෙන අනිත් ප්‍රකාශන හංගන්න පුළුවන් තැනක් ලෑස්ති කරගන්න. මුද්‍රිත මාධ්‍යයෙන් හෝ ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයෙන් තියෙන ඒ වටිනා දේවල් අපේ සතුරන්ට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් තැනක තියන්න එපා. දිගටම විශ්වාසය ශක්තිමත්ව තියාගන්න අපිට කරන්න පුළුවන් දේ අපි එක් එක් කෙනා කරන්න ඕනේ.

යෙහෝවා දෙවියන් අපිට උදව් කරන නිසා රැස්වීම් පවත්වන්න අපි බය වෙන්නේ නැහැ (12 ඡේදය බලන්න) *

12. අනිත් අයගේ අවධානයට ලක් නොවෙන විදිහට රැස්වීම් සැලසුම් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?

12 සතිපතා පවත්වන අපේ රැස්වීම් සැලසුම් කරන්නේ කොහොමද? විරුද්ධවාදීන්ගේ අවධානයට ලක් නොවෙන විදිහට රැස්වීම් පවත්වන්න වැඩිමහල්ලන් සැලසුම් කරයි. සමහරවිට පොඩි පොඩි කණ්ඩායම් විදිහට රැස් වෙන්න කියලා එයාලා මඟ පෙන්නයි. රැස්වීම් පවත්වන තැන, වෙලාව එයාලා නිතර නිතර වෙනස් කරයි. රැස්වීම්වලට යද්දී එද්දී අනිත් අයගේ ආරක්ෂාව ගැන හිතලා වැඩිය හයියෙන් කතාබහ කරන්න එපා. රැස්වීම් යද්දී සාමාන්‍යයෙන් ගමනක් බිමනක් යද්දී අඳින විදිහට ඇඳගෙන යන්න ඔයාට වෙයි.

ආණ්ඩුවෙන් අපේ වැඩකටයුතු තහනම් කළත් අපි දේශනා කරන එක නවත්තන්නේ නැහැ (13 ඡේදය බලන්න) *

13. සෝවියට් දේශයේ හිටපු අපේ සහෝදරයන්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

13 දේශනා සේවය සම්බන්ධයෙන් කරන සැලසුම් රට, ප්‍රදේශය අනුව වෙනස් වෙයි. ඒත් අපි යෙහෝවා දෙවියන්ට ආදරේ නිසා ඔහුගේ රාජ්‍යය ගැන අනිත් අයට කියන්න කොහොමහරි ක්‍රමයක් හොයාගන්නවා. (ලූක් 8:1; ක්‍රියා 4:29) සෝවියට් දේශයේ හිටපු සාක්ෂිකරුවන්ගේ සේවය ගැන අදහස් දක්වන ඉතිහාසඥ එමලි බාන් මෙහෙම කියනවා. “ආණ්ඩුවෙන් සාක්ෂිකරුවන්ට කිව්වාම දේශනා කරන්න එපා කියලා එයාලා අසල්වාසීන්ට, එකට වැඩ කරන අයට සහ යාළුවන්ට එයාලගේ විශ්වාසයන් ගැන කතා කළා. එහෙම කරපු නිසා එයාලව සිරගත කළාම එයාලා සිරකරුවන්ට දේශනා කළා.” සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු තහනම් කරලා තිබුණත් සෝවියට් දේශයේ හිටපු අපේ සහෝදරයන් දේශනා කරන එක නැවැත්තුවේ නැහැ. ඔයා ඉන්න රටෙත් දේශනා සේවය තහනම් කළොත් ඔයා එයාලව ආදර්ශයට ගනියි කියලා අපි හිතනවා.

අපි පරෙස්සම් වෙන්න ඕනෙ මොනවා ගැනද?

නිහඬව ඉන්න ඕනෙ මොන වෙලාවෙද කියලා අපි තේරුම්ගන්න ඕනේ (14 ඡේදය බලන්න) *

14. ගීතාවලිය 39:1 කියන විදිහට අපි පරෙස්සම් වෙන්න ඕනෙ මොකක් ගැනද?

14 අනිත් අය එක්ක බෙදාගන්න තොරතුරු ගැන පරෙස්සම් වෙන්න. තහනමක් යටතේ ඉද්දී ‘නිහඬව ඉන්න ඕනෙ’ මොන වෙලාවෙද කියලා අපි තේරුම්ගන්න ඕනේ. (දේශ. 3:7) අපේ සහෝදර සහෝදරියන්ගේ නම්, අපි රැස් වෙන තැන්, සේවය කරන ක්‍රම සහ අපිට ප්‍රකාශන ලැබෙන විදිහ වගේ තොරතුරු අපි රහසිගතව තියාගන්න ඕනේ. ඒ තොරතුරු අපි ආණ්ඩු බලධාරීන්ට කියන්නේ නැහැ. අපේම රටේ හෝ වෙනත් රටක ඉන්න අපේ යාළුවන්, නෑදෑයන් එක්කවත් අපි ඒ තොරතුරු බෙදාගන්නේ නැහැ. එයාලා සාක්ෂිකරුවන් වුණත් නැතත් අපි ඒ දේ මතක තියාගන්න ඕනේ. ඒ කාරණය සම්බන්ධයෙන් අපි පරෙස්සම් නොවුණොත් අපේ සහෝදර සහෝදරියන්ගේ ජීවිත අපි අනතුරේ දායි.—ගීතාවලිය 39:1 කියවන්න.

15. සාතන් මොකක් කරන්න උත්සාහ කරයිද? ඒ උගුලට අහු නොවී ඉන්න අපිට පුළුවන් කොහොමද?

15 අපි අතරේ බෙදීම් ඇති කරන්න පොඩි පොඩි ප්‍රශ්නවලට ඉඩ දෙන්න එපා. යම් පිරිසක් අතරේ බෙදීම් තියෙනවා නම් එයාලට කිසිම දෙයක් හොඳින් කරන්න බැහැ කියලා සාතන් දන්නවා. (මාක් 3:24, 25) ඒ නිසා අපි අතරේ බෙදීම් ඇති කරන්න සාතන් නිතරම උත්සාහ කරයි. එයා බලාපොරොත්තු වෙන්නේ අපි එයාට විරුද්ධව සටන් කරන එක නවත්තලා අපේ සහෝදර සහෝදරියන්ට විරුද්ධව සටන් කරයි කියලා.

16. සහෝදරි ගර්ටෘඩ් පොඑට්සිඟර් තිබ්බ හොඳ ආදර්ශය මොකක්ද?

16 පරෙස්සම් වුණේ නැත්නම් සාතන්ගේ ඒ උගුලට අපෙන් ඕනෙම කෙනෙක් අහු වෙන්න පුළුවන්. ගර්ටෘඩ් පොඑට්සිඟර් සහ එල්ෆ්‍රිඩෙ ලෝර් කියන අභිෂේක ලත් සහෝදරියන් දෙන්නාගේ අද්දැකීම බලන්න. එක කාලෙක ඒ දෙන්නායි, තවත් සහෝදරියන් කීපදෙනෙකුයි හිටියේ නාට්සි ගාල් කඳවුරක සිරගත කරලා. සහෝදරි එල්ෆ්‍රිඩෙ කඳවුරේ හිටපු සහෝදරියන්ව දිරිගන්වලා දේශන දෙනවා දැක්කාම සහෝදරි ගර්ටෘඩ්ට ඊර්ෂ්‍යාවක් දැනුණා. එහෙම හැඟුණ එක ගැන පස්සේ එයාට ලැජ්ජා හිතුණා. ඒ හැඟීම් නැති කරගන්න එයාට උදව් කරන්න කියලා එයා දෙවියන්ට යාච්ඤා කළා. සහෝදරි ගර්ටෘඩ් මෙහෙම කිව්වා. “අනිත් අයට අපිට වඩා හැකියාවන් තියෙද්දී, වගකීම් ලැබෙද්දී ඊර්ෂ්‍යා කරනවා වෙනුවට ඒවා අගය කරන්න අපි ඉගෙනගන්න ඕනේ.” එයා සහෝදරි එල්ෆ්‍රිඩෙගේ හොඳ ගුණාංග ගැන වැඩියෙන් හිතන්න පටන්ගත්තා. ඒ නිසා එයාට පුළුවන් වුණා ආයෙත් එල්ෆ්‍රිඩෙගේ කිට්ටු යාළුවෙක් වෙන්න. ගාල් කඳවුරේ හිටපු කාලේ පුරාමත් පොළොවේ ගත කරපු ජීවිතේ අවසන් වෙන කල්මත් ඒ දෙන්නාම දෙවියන්ට විශ්වාසවන්තව හිටියා. අපේ සහෝදර සහෝදරියන් එක්ක ඇති වෙන ප්‍රශ්න ඉක්මනින්ම විසඳගන්නවා නම් අපි අතරේ බෙදීම් ඇති කරන්න සාතන්ට බැහැ.—කොලො. 3:13, 14.

17. දෙවියන්ගේ සංවිධානයෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට අපි හැම තිස්සේම කීකරු වෙන්න ඕනෙ ඇයි?

17 ලැබෙන මඟ පෙන්වීම්වලට හැම තිස්සේම කීකරු වෙන්න. විශ්වාසවන්ත, වගකීම් දරන සහෝදරයන්ගෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට අපි කීකරු වෙනවා නම් අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන එක වළක්වගන්න අපිට පුළුවන්. (1 පේතෘ. 5:5) මේ උදාහරණේ බලන්න. අපේ වැඩකටයුතු තහනම් කරලා තියෙන රටක වගකීම් දරන සහෝදරයන් ප්‍රචාරකයන්ට මඟ පෙන්වීමක් දීලා තිබුණා සේවයේදී මුද්‍රිත ප්‍රකාශන බෙදා දෙන්න එපා කියලා. ඒත් එක පුරෝගාමි සහෝදරයෙක් ඒ මඟ පෙන්වීමට කීකරු වුණේ නැහැ. මොකද වුණේ? ඒ සහෝදරයාත් එයාත් එක්ක හිටපු අනිත් අයත් අවිධිමත්ව සාක්ෂි දරලා ඉවර වෙනවාත් එක්කම එතනට රජයේ නිලධාරීන් ඇවිත් එයාලගෙන් ප්‍රශ්න කරන්න පටන්ගත්තා. පේන විදිහට ඒ නිලධාරීන් එයාලා පස්සෙන් ගිහින් එයාලා බෙදා දුන්න සඟරා රජයේ භාරයට අරගෙන. ඒ සිද්ධියෙන් අපි මොනවාද ඉගෙනගන්නේ? ලැබෙන මඟ පෙන්වීමක් ගැන අපි ඒ තරම් සතුටු නැති වුණත් අපි ඒකට කීකරු වෙන්න ඕනේ. අපි අතරේ පෙරමුණ අරන් වැඩ කරන්න යෙහෝවා දෙවියන් පත් කරලා ඉන්න අය එක්ක අපි සහයෝගයෙන් වැඩ කරද්දී ඔහු අනිවාර්යයෙන්ම සතුටු වෙනවා.—හෙබ්‍රෙ. 13:7, 17.

18. අනවශ්‍ය නීති දාන එකෙන් අපි වළකින්න ඕනෙ ඇයි?

18 අනවශ්‍ය නීති දාන්න එපා. වැඩිමහල්ලන් අනවශ්‍ය විදිහට නීති දැම්මොත් ඒක සහෝදරයන්ට ලොකු බරක් වෙයි. කලින් චෙකොස්ලෝවේකියාව හැටියට හඳුන්වපු රටේ අපේ වැඩකටයුතු තහනම් කරලා තිබුණ කාලේ වෙච්ච දෙයක් ගැන සහෝදර යූරෙයි කමින්ස්කි මෙහෙම කියනවා. “වැඩිමහල්ලන් හුඟදෙනෙක්ව අත්අඩංගුවට ගත්තාට පස්සේ පෙරමුණ අරන් වැඩ කරන්න හිටපු සහෝදරයන් ප්‍රචාරකයන් කරන්න ඕනෙ මොනවාද නොකරන්න ඕනෙ මොනවාද කියලා එයාලට ඕනෙ ඕනෙ විදිහට නීති දැම්මා.” සහෝදරයන් වෙනුවෙන් තීරණ අරන් එයාලට නීති දාන්න යෙහෝවා දෙවියන් අපි කාටවත් අධිකාරියක් දීලා නැහැ. අනවශ්‍ය විදිහට නීති දාන කෙනෙක් උත්සාහ කරන්නේ සහෝදරයන්ව ආරක්ෂා කරන්න නෙමෙයි එයාලගේ විශ්වාසයට බලපෑම් කරන පාලකයෙක් වෙන්නයි.—2 කොරි. 1:24.

යෙහෝවා දෙවියන්ට කරන නමස්කාරය කවදාවත් නවත්තන්න එපා

19. සාතන් මොනවා කළත් 2 ලේකම් 32:7, 8 කියන විදිහට අපි අධෛර්යය වෙන්න ඕනෙ නැත්තේ ඇයි?

19 අපේ ප්‍රධාන සතුරා වන සාතන් යෙහෝවා දෙවියන්ගේ සෙනඟට හිංසා පීඩා කරන එක නවත්තන්නේ නැහැ. (1 පේතෘ. 5:8; එළි. 2:10) සාතන් සහ ඔහුගේ පැත්තේ ඉන්න අය දෙවියන්ට අපි කරන නමස්කාරය නවත්තන්න උත්සාහ කරයි. අපේ වැඩකටයුතුවලට තහනමක් හෝ තහංචි දාද්දී අපිට බයක් දැනෙයි. ඒත් අපි කවදාවත් දෙවියන්ට කරන නමස්කාරය නවත්තන්නේ නැහැ. (ද්වි. 7:21) මොකද යෙහෝවා දෙවියන් අපිත් එක්ක ඉන්නවා. ඔහු දිගටම අපිට උදව් කරනවා කියලා අපිට නිසැකයි.—2 ලේකම් 32:7, 8 කියවන්න.

20. ඔයාගේ අධිෂ්ඨානය මොකක්ද?

20 මුල් සියවසේ හිටපු අපේ සහෝදරයන් එදා හිටපු බලධාරීන්ට මෙහෙම කිව්වා. “දෙවිට සවන් දෙනවාට වඩා ඔබට සවන් දීම දෙවි ඉදිරියෙහි හරිද කියා ඔබම තීරණය කරන්න. නමුත් අප ඇසූ දුටු දේ ගැන කතා කරන එක නතර කරන්න නම් අපට බැහැ.” (ක්‍රියා 4:19, 20) අපේ අධිෂ්ඨානයත් ඒකමයි.

ගීතිකාව 73 දෙනු මැන නිර්භීතකම

^ 5 ඡේ. සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු අපි ජීවත් වෙන රටේ ආණ්ඩුවෙන් තහනම් කළොත් අපි මොනවාද කරන්න ඕනේ? ඒ වගේ අවස්ථාවකදීත් අත් නෑර දෙවියන්ට නමස්කාර කරන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද නොකරන්න ඕනෙ මොනවාද කියලා මේ ලිපියේ කතා කරනවා.

^ 59 ඡේ. පින්තූරයේ අදහස: හැම පින්තූරයකම පෙන්නන්නේ අපේ වැඩකටයුතු තහනම් කරපු රටවල සාක්ෂිකරුවන් නමස්කාර වැඩවලට හවුල් වෙන විදිහයි. මේ පින්තූරයේ පොඩි කණ්ඩායමක් සහෝදරයෙකුගේ ගබඩා කාමරයක රැස්වීම් පවත්වනවා.

^ 61 ඡේ. පින්තූරයේ අදහස: සහෝදරියක් (වම් පැත්තේ) කාන්තාවක් එක්ක මිත්‍රශීලීව කතා කරන ගමන් ශුභාරංචිය කියන්න අවස්ථාවක් ලැබෙයිද කියලා බලනවා.

^ 63 ඡේ. පින්තූරයේ අදහස: සහෝදරයෙක්ව පොලීසියෙන් ප්‍රශ්න කළත් එයාගේ සභාව ගැන තොරතුරු එයා කියන්නේ නැහැ.