Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 34

පැවරුමේ වෙනසක් වුණත් දිගටම සතුටින් සේවය කරන්න

පැවරුමේ වෙනසක් වුණත් දිගටම සතුටින් සේවය කරන්න

“ඔබ කළ සේවය හා දෙවිගේ නාමය කෙරෙහි ඔබ පෙන්වූ ප්‍රේමය අමතක කිරීමට තරම් දෙවි අධර්මිෂ්ඨ කෙනෙක් නොවේ.”—හෙබ්‍රෙ. 6:10.

ගීතිකාව 38 දෙවි වේ ඔබේ සවිය

මේ ලිපියෙන් *

1-3. පූර්ණකාලීන සේවකයන්ට එයාලගේ පැවරුම නතර කරන්න වෙන්නේ මොන වගේ හේතු නිසාද?

“අපි දෙන්නා අවුරුදු 21ක් මිෂනාරි සේවය කළා. ඔය අතරේ තමයි අපි දෙන්නාගෙම දෙමාපියෝ හුඟක් අසනීප වුණේ.” එහෙම කිව්වේ රොබට් සහ මේරි ජෝ. “දෙමාපියන්ව බලාගන්න වුණ එක ගැන අපි දුක් වෙන්නේ නැහැ. ඒත් අපි ආසාවෙන් කරපු සේවේ දාලා එන්න වුණ එක ගැන අපිට දැනුණේ ලොකු දුකක්.”

2 “අසනීප තත්වයක් නිසා අපි කරකර හිටපු පැවරුම අත්හරින්න වෙනවා කියලා දැනගත්තාම අපි දෙන්නාම ඇඬුවා. ඉස්සර ඉඳන්ම අපේ ආසාව වුණේ වෙන රටකට ගිහින් සේවේ කරන්න. ඒත් දැන් අපිට ඒක අත්හරින්න වෙනවා.” එහෙම කිව්වේ විලියම් සහ ටෙරි.

3 ඇලෙක්සේ මෙහෙම කියනවා. “අපේ ශාඛා කාර්යාලයේ වැඩකටයුතු නතර කරන්න විරුද්ධවාදීන් උත්සාහ කරනවා කියලා අපි දැනන් හිටියා. ඒත් බෙතෙල් එක වහලා අපිට එහෙන් යන්න වුණාම ඒක දරාගන්න අමාරු වුණා.”

4. අපි මේ ලිපියෙන් බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

4 ඒ හා සමාන හැඟීම් බෙතෙල් පවුලේ සාමාජිකයන් ඇතුළුව පූර්ණකාලීන සේවයේ යෙදුණ තව දහස් ගාණක් අද්දැක්කා. මොකද එයාලගේ පැවරුම්වලත් වෙනසක් වුණා. * එයාලා ආසාවෙන් කරපු පැවරුම අත්හරින්න වුණාම ඒ විශ්වාසවන්ත සහෝදර සහෝදරියන්ට ඒක අභියෝගයක් වෙන්න ඇති. ඒ වෙනසට හුරු වෙන්න එයාලට උදව් වෙන්නේ මොනවාද? එයාලට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද? වෙනස්කම්වලට අපි හැමෝම මුහුණ දෙන නිසා ඒ ප්‍රශ්නවලට උත්තර දැනගන්න එක වැදගත්.

වෙනසට හුරු වෙන්න

පූර්ණකාලීන සේවකයන්ගේ පැවරුමේ වෙනසක් වුණාම ඒක එයාලට අභියෝගයක් වෙන්න පුළුවන් ඇයි? (5 ඡේදය බලන්න) *

5. කරකර හිටපු පැවරුම අත්හරින්න වුණාම ඒක කෙනෙක්ට බලපාන්න පුළුවන් කොහොමද?

5 අපි බෙතෙල් එකේ සේවය කළත් පූර්ණකාලීන සේවයට අයිති වෙනත් පැවරුමක් කළත් අපිත් එක්ක සේවය කරන අය ගැන වගේම අපි සේවය කරන ප්‍රදේශය ගැන ලොකු ආදරයක් අපිට ඇති වෙනවා. මොනවා හරි හේතුවක් නිසා අපිට පැවරුම අත්හරින්න වුණොත් ඒක අපිට ලොකු දුකක්. දාලා එන සහෝදර සහෝදරියන් නැති පාළුව අපිට තදින්ම දැනෙයි. විරුද්ධවාදිකම් නිසා පැවරුමක් දාලා එන්න වුණොත් ඉතුරු වෙලා ඉන්න සහෝදර සහෝදරියන් ගැන හිතලා අපි කනස්සලු වෙයි. (මතෙ. 10:23; 2 කොරි. 11:28, 29) ඒ විතරක් නෙමෙයි අලුත් ප්‍රදේශයකට යන්න වුණාම එහේ සිරිත් විරිත්වලට හැඩගැහෙන එක ලේසි නැහැ. අපි යන්නේ අපේම ගම් පළාතට වුණත් අපිට සිද්ධ වෙනවා එහෙට ආයෙත් හැඩගැහෙන්න. රොබට් සහ මේරි ජෝ මෙහෙම කියනවා. “අපි සෑහෙන කාලයක් සේවය කළේ වෙන රටක නිසා අපේ රටට ආවාම අපිට දැනුණේ අපි හරියට විදේශිකයන් වගේ. මෙහේ සිරිත් විරිත් දැන් අපිට නුහුරුයි. අපේ භාෂාවෙන් දේශනා කරන්නත් අපිට හුරු නැහැ.” පැවරුමේ වෙනසක් වුණාම සමහරුන්ට කලින් තිබුණේ නැති වියදම් දරන්න සිද්ධ වෙනවා. එතකොට එයාලට මොකක් කරන්නද කියලා හිතාගන්න බැහැ. එයාලට ලොකු අනාරක්ෂිත හැඟීමක් ඇති වෙයි. එහෙමනම් අලුත් තත්වයට හැඩගැහෙන්නේ කොහොමද?

යෙහෝවා දෙවියන්ට ළං වෙන එකත් ඔහු ගැන විශ්වාසය තියන එකත් හරිම වැදගත් (6 සහ 7 ඡේද බලන්න) *

6. යෙහෝවා දෙවියන්ට ළංව ඉන්න පුළුවන් කොහොමද?

6 යෙහෝවා දෙවියන්ට ළං වෙලා ඉන්න. (යාකො. 4:8) ඒක කරන්නේ කොහොමද? ඔහු “යාච්ඤා අසන තැනැත්තාණන්” කියලා විශ්වාස කරන්න. (ගීතා. 65:2) “ඔබේ හදවතේ ඇති සියල්ල දෙවිට පවසන්න” කියලා ගීතාවලිය 62:8 කියනවා. “අප ඉල්ලන ඕනෑම දෙයකට වඩා වැඩියෙනුත් අපට සිතාගත හැකි ඕනෑම දෙයකට වඩා වැඩියෙනුත් දේවල් කරන්න” දෙවියන්ට පුළුවන්. (එෆී. 3:20) ඒ කියන්නේ අපිට හීනෙකින්වත් හිතාගන්න බැරි විදිහට අපි අද්දකින ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න ඔහුට පුළුවන්.

7. (අ) දෙවියන්ට ළං වෙලා ඉන්න අපිට උදව් වෙන්නේ මොකක්ද? (ආ) හෙබ්‍රෙව් 6:10-12 සඳහන් වෙන විදිහට අපි දිගටම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරනවා නම් අපිට ස්ථිර වෙන්න පුළුවන් මොකක් ගැනද?

7 හැමදාම බයිබලේ කියවලා ඒ ගැන හොඳට හිතන එකත් දෙවියන්ට ළං වෙලා ඉන්න අපිට උදව් වෙනවා. කලින් මිෂනාරි සේවය කරපු කෙනෙක් මෙහෙම කියනවා. “කලින් කළා වගේ නිතිපතා පවුලේ නමස්කාරය කරන එක, රැස්වීම්වලට සූදානම් වෙන එක හරිම වැදගත්.” ඔයාගේ අලුත් සභාවේ අය එක්ක දේශනා සේවයේ උද්‍යෝගයෙන් හවුල් වෙන්න. කලින් කරපු තරම් දැන් කරන්න බැරි වුණත් දිගටම විශ්වාසවන්තව සේවය කරන අයව යෙහෝවා දෙවියන් කවදාවත් අමතක කරන්නේ නැහැ.—හෙබ්‍රෙව් 6:10-12 කියවන්න.

8. වැදගත් දේවලට දිගටම ජීවිතේ මුල් තැන දෙන්න 1 යොහන් 2:15-17 සඳහන් දේ ඔයාට උදව් වෙන්නේ කොහොමද?

8 වැදගත් දේවලට දිගටම මුල් තැන දෙන්න. මේ දුෂ්ට සමාජයේ තියෙන දේවල් ගැන අනවශ්‍ය විදිහට කරදර වෙලා යෙහෝවා දෙවියන්ට ඔයා කරන සේවය නවත්තන්න එපා. (මතෙ. 13:22) සල්ලි හම්බ කරලා ජීවිතේ සැපවත් කරගන්න කියලා දෙවියන්ට සේවය කරන්නේ නැති අය, සමහරවිට ඔයාගේ යාළුවෝ, නෑදෑයෝ පවා කියයි. ඒත් එයාලට ඇහුම්කන් දෙන්න එපා. (1 යොහන් 2:15-17 කියවන්න.) අපිට අවශ්‍ය දේ “අවශ්‍ය වේලාවේදීම” ලබා දෙනවා කියලා යෙහෝවා දෙවියන් දීලා තියෙන පොරොන්දුව විශ්වාස කරන්න. අපේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්න අවශ්‍ය දේ, හිතේ සාමය වගේම අපිට අත්‍යවශ්‍ය දේවල් ඔහු අනිවාර්යයෙන්ම අපිට ලබා දෙනවා.—හෙබ්‍රෙ. 4:16; 13:5, 6.

9. හිතෝපදේශ 22:3, 7 අනුව අනවශ්‍ය විදිහට ණය නොවී ඉන්න එක වැදගත් ඇයි? ඥානවන්ත තීරණ ගන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

9 අනවශ්‍ය විදිහට ණය වෙන්න එපා. (හිතෝපදේශ 22:3, 7 කියවන්න.) පැවරුමේ වුණ වෙනස නිසා පදිංචිය මාරු කරද්දී ලොකු වියදමක් දරන්න වෙයි. එතකොට ණය වෙන්න පෙලඹෙයි. අත්‍යවශ්‍ය නැති දේවල් ණයට නොගෙන හිටියොත් ණය වෙන එක අඩු කරගන්න පුළුවන්. අපි ලොකු පීඩනයකින් ඉද්දී උදාහරණෙකට අසනීපෙන් ඉන්න පවුලේ කෙනෙක්ව බලාගන්න වෙද්දී හිතන්නේ බලන්නේ නැතුව ණය වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවලදී “යාච්ඤාවෙන් හා කන්නලව්වලින්” දෙවියන්ට ඒ ගැන කියනවා නම් ඥානවන්ත තීරණ ගන්න ඔහු අපිට උදව් කරයි. ඔයාගේ යාච්ඤාවලට උත්තරයක් විදිහට ඔයාගේ “හදවතටත් මනසටත් ආරක්ෂාවක්” වෙන සමාදානය දෙවියන් ඔයාට දෙයි. එතකොට හොඳ තීරණයක් ගන්න ඔයාට පුළුවන්.—ෆිලි. 4:6, 7; 1 පේතෘ. 5:7.

10. අලුත් යාළුවන් හොයාගන්න පුළුවන් කොහොමද?

10 දෙවියන්ට ආදරේ කරන අයව කිට්ටුවෙන් ඇසුරු කරන්න. ඔයාට හැඟෙන විදිහ, ඔයා අද්දකින දුෂ්කරතා ගැන ඒ හා සමාන දේවලට මුහුණ දුන්න අය එක්ක කතා කරන්න. ඒක ඔයාට සහනයක් වෙයි. (දේශ. 4:9, 10) කලින් පැවරුමේදී ඔයා කිට්ටුවෙන් ආශ්‍රය කරපු අය දිගටම ඔයාගේ යාළුවන් විදිහට ඉඳියි. ඒත් ඔයා අලුත් යාළුවන්ව හොයාගන්නත් ඕනේ. ඒකට මුලින් ඔයා හොඳ යාළුවෙක් වෙන්න ඕනේ. ඒකට කලින් පැවරුමේදී ඔයා ලබපු රසවත් අද්දැකීම් අනිත් අය එක්ක බෙදාගන්න. දෙවියන්ට සේවය කරලා ඔයා කොයි තරම් සතුටක් අද්දැක්කාද කියලා එතකොට එයාලට දැනෙයි. පූර්ණකාලීන සේවයට ඔයා ආස ඇයි කියලා සභාවේ හැමෝම තේරුම්ගන්න එකක් නැහැ. ඒත් ඔයාගේ ආදර්ශය අගය කරන අය ඔයාට ළං වෙයි. කලින් පැවරුමේදී ඔයා කරපු දේවල් ගැන මහ ඉහළින් කතා කරන්නවත් ඒ පැවරුම නැති වුණ නිසා ඔයාට අධෛර්යයක් දැනෙනවා නම් ඒ ගැනම කතා කරන්නවත් එපා.

11. ඔයාගේ විවාහ ජීවිතේ සතුට නැති කරගන්නේ නැතුව ඉන්න පුළුවන් කොහොමද?

11 ඔයාට ඔයාගේ පැවරුම අත්හරින්න වුණේ සැමියාගේ හෝ බිරිඳගේ අසනීප තත්වයක් නිසා නම් ඒ ගැන එයාට දොස් කියන්න එපා. අනිත් අතට පැවරුම නැති වුණේ ඔයාගේ අසනීප තත්වයක් නිසා නම් ඔයාගේ සැමියාට හෝ බිරිඳට පැවරුම නැති වුණේ ඔයා නිසා කියලා හිතලා දුක් වෙන්න එපා. ඔය දෙන්නා “එක් කෙනෙක්.” (මතෙ. 19:5, 6) මොන දේට මුහුණ දෙන්න වුණත් එකිනෙකාව ආදරෙන් බලාගන්නවා කියලා ඔයාලා විවාහ වුණ දවසේ යෙහෝවා දෙවියන්ට පොරොන්දු වුණා. පැවරුම අත්හරින්න වුණේ දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්ත නිසා නම් කලින් පැවරුමට වඩා ඔයාට දරුවාව වටිනවා කියන දේ ඔයා කියන කරන දේවලින් දරුවාට දැනෙන්න සලස්වන්න. එයා දෙවියන්ගෙන් ලැබුණ “තෑග්ගක්” කියලා නිතරම එයාට කියන්න. (ගීතා. 127:3-5) පැවරුම කරපු කාලේ ලබපු අද්දැකීම් දරුවාත් එක්ක බෙදාගන්න. පූර්ණකාලීන සේවය තෝරගන්න ඒක දරුවාට උදව් වෙයි.

උදව් කරන්න අනිත් අයට පුළුවන් කොහොමද?

12. (අ) පූර්ණකාලීන සේවකයන්ට ඒ සේවය දිගටම කරගෙන යන්න උදව් කරන්න අපිට පුළුවන් කොහොමද? (ආ) අලුත් පැවරුමට හුරු වෙන්න එයාලට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

12 පූර්ණකාලීන සේවකයන්ට ඒ සේවය දිගටම කරගෙන යන්න සහෝදර සහෝදරියන් පුළුවන් උපරිමයෙන් උදව් කරනවා. ඒ උදව් තනි තනි පුද්ගලයන් විතරක් නෙමෙයි සභා මට්ටමෙනුත් ලබා දෙනවා. එයාලව දිරිගන්වනවා. එයාලට ඕනෙ කරන දේවල් ලබා දෙනවා. ළඟ නැති එයාලගේ දෙමාපියන්ව බලාගන්න සහය වෙනවා. (ගලා. 6:2) පූර්ණකාලීන සේවකයන්ගේ පැවරුමේ සිද්ධ වුණ වෙනසක් නිසා එයාලා ඔයාගේ සභාවට ආවොත් එයාලව ආදරෙන් පිළිගන්න. එයාලගේ පැවරුම වෙනස් වුණේ එයාලා ඒක හරියට කරපු නැති නිසා හෝ එයාලා අතින් වරදක් වුණ නිසා කියලා හිතන්න එපා. *වෙනුවට වෙනසට හුරු වෙන්න එයාලට උදව් කරන්න. කලින් තරම් සේවය කරන්න දැන් බැරි වුණත් එයාලා කරපු සේවය අගය කරන්න. එයාලව අඳුරගන්න. එයාලගේ දැනුමෙන්, ලබලා තියෙන පුහුණුවෙන්, අද්දැකීම්වලින් ඉගෙනගන්න.

13. පැවරුමේ වෙනසක් වුණ අයට උදව් කරන්න පුළුවන් මොන වගේ විදිවලින්ද?

13 පැවරුමේ වුණ වෙනසක් නිසා කෙනෙක් ඔයාගේ සභාවට ආවම එයාට ඉන්න තැනක් හොයාගන්න, රස්සාවක් හොයාගන්න, අවශ්‍ය වෙනත් දේවල් ලබාගන්න ඔයාගේ උදව් ඕනෙ වෙයි. ‘අනේ පව් එයා’ කියලා හිතනවා වෙනුවට එයාට උදව් කරන්න. එක්කෝ එයා නැත්නම් එයාගේ පවුලේ කෙනෙක් ඉන්නේ අසනීපයෙන් වෙන්න ඇති. සමහරවිට එයා ඉන්නේ වියෝදුකෙන් වෙන්න ඇති. * එයා කිව්වේ නැති වුණාට සමහරවිට දාලා ආපු සහෝදර සහෝදරයන් නැති පාළුව එයාට දැනෙනවා ඇති. වෙනසකට මුහුණ දුන්නාම හැඟෙන දැනෙන විදිහ සමහරවිට ඒකට මුහුණ දුන්න කෙනාටම තේරුම්ගන්න බැහැ. ඒ හැඟීම්වලින් ගොඩ එන්න එයාට කාලයක් යයි.

14. සහෝදරියකට එයාගේ අලුත් පැවරුමට හුරු වෙන්න සභාවේ අය උදව් කළේ කොහොමද?

14 පැවරුමේ වෙනසක් අද්දැක්ක අයත් එක්ක සේවයේ යද්දී, එයාලට හොඳ ආදර්ශයක් වෙද්දී ඒක එයාලට දිරිගැන්වීමක්. වෙනත් රටක අවුරුදු ගාණක් සේවය කරපු සහෝදරියක් මෙහෙම කියනවා. “මගේ කලින් පැවරුමේදී මට හැමදාම බයිබල් පාඩම් තිබුණා. ඒත් දැන් මං සේවය කරන පැත්තේ ගෙදරකට ගිහින් බයිබල් පදයක් පෙන්නන්න, වීඩියෝ එකක් පෙන්නන්න හරිම අමාරුයි. සභාවේ අය එයාලගේ නැවත බැලීම්වලට, බයිබල් පාඩම්වලට මාව එක්කගෙන ගියා. එයාලා විශ්වාසවන්තව, වෙහෙසක් දරලා බයිබල් පාඩම් කරන විදිහ දැක්කාම සේවය කරන ප්‍රදේශය ගැන හොඳ හැඟීමක් තියාගන්න ඒක මට උදව් වුණා. සාකච්ඡාවන් පටන්ගන්න මාත් ඉගෙනගත්තා. ආයෙත් සතුටින් සේවය කරන්න ඒ හැම දේම මට උදව් වුණා.”

දිගටම පුළුවන් උපරිමයෙන් සේවය කරන්න

ඔයාගෙම රටේදී වුණත් වැඩිපුර සේවයක් කරන්න පුළුවන් විදි බලන්න (15 සහ 16 ඡේද බලන්න) *

15. අලුත් පැවරුම හොඳින් කරන්න පුළුවන් කොහොමද?

15 අලුත් පැවරුම හොඳින් කරගෙන යන්න ඔයාට පුළුවන්. ඔයාගේ පැවරුම වෙනස් වුණේ ඔයා ඒ පැවරුම හොඳින් කළේ නැති නිසා කියලවත් දැන් ඔයාගේ වටිනාකමක් නැහැ කියලවත් හිතන්න එපා. යෙහෝවා දෙවියන් දැන් ඔයාට උදව් කරන විදි ගැන හිතන්න. අත් නෑර දේශනා සේවයේ හවුල් වෙන්න. මුල් සියවසේ හිටපු විශ්වාසවන්ත ක්‍රිස්තියානීන්ව ආදර්ශයට ගන්න. එයාලා “ගිය ගිය තැන්වල දෙවිගේ පණිවිඩය ඇතුළත් ශුභාරංචිය ප්‍රකාශ කළා.” (ක්‍රියා 8:1, 4) ඔයාත් දිගටම උද්‍යෝගයෙන් සේවයේ හවුල් වුණොත් හොඳ ප්‍රතිඵල ලැබෙයි. එක රටක හිටපු පුරෝගාමීන් පිරිසක්ව ඒ රටෙන් පිටුවහල් කළාම ළඟ තිබුණ වෙනත් රටකට එයාලා ගියා. එහේ එයාලගේ භාෂාව කතා කරන හුඟක් අය හිටියා. ඒ අයට දේශනා කරපු එකේ ප්‍රතිඵලයක් විදිහට මාස කීපයක් ඇතුළත අලුත් කණ්ඩායම් කීපයක්ම පිහිටුවන්න පුළුවන් වුණා.

16. අලුත් පැවරුම සතුටින් කරන්න පුළුවන් කොහොමද?

16 “යෙහෝවා දෙවි දෙන ප්‍රීතිය ඔබට බලකොටුවක් මෙන් වෙයි.” (නෙහෙ. 8:10) අපේ පැවරුමට අපි කොච්චර ආස වුණත් අපේ සතුට රැඳිලා තියෙන්නේ ඒ පැවරුම මත නෙමෙයි. අපි වැඩියෙන්ම සතුටු වෙන්න ඕනෙ යෙහෝවා දෙවියන් එක්ක අපිට තියෙන බැඳීම ගැනයි. සතුටින් දිගටම සේවය කරන්න නම් දෙවියන්ට ළංව ඉන්න. ප්‍රඥාව, මඟ පෙන්වීම් සහ උදව් ඔහුගෙන් ඉල්ලන්න. ඔයා කලින් පැවරුම ඒ තරම් ආසාවකින් කළේ අනිත් අයට උදව් කරන්න ඔයාට තිබුණ කැමැත්ත නිසයි. ඒ වගේම කැමැත්තක් ඔයාගේ අලුත් පැවරුම ගැනත් ඇති කරගන්න. එතකොට දැන් පැවරුම ආසාවෙන් කරන්න යෙහෝවා දෙවියන් උදව් කරන විදිහ ඔයා අද්දකියි.—දේශ. 7:10.

17. දැන් අපි කරන පැවරුම ගැන මතක තියාගන්න ඕනෙ මොකක්ද?

17 අපි යෙහෝවා දෙවියන්ට කරන සේවය සදාකාලිකයි. ඒත් අපි දැන් මොන පැවරුම කළත් ඒක තියෙන්නේ කෙටි කාලෙකට විතරයි. පාරාදීසයේදී අපි දැන් කරනවාට වඩා වෙනස් පැවරුමක් අපිට ලැබෙයි. ඇලෙක්සේ කියනවා දැන් එයාගේ පැවරුමේ වුණ වෙනස්කම් අනාගතයේ වෙන්න තියෙන වෙනස්කම්වලට හැඩගැහෙන්න පුහුණුවක් කියලා. “යෙහෝවා දෙවියන් ගැනවත් පාරාදීසය ගැනවත් මට කිසිම සැකයක් තිබුණේ නැහැ. ඒත් ඔහු මං ළඟින්ම ඉන්නවා කියලවත් පාරාදීසය අත ළඟයි කියලවත් මට දැනුණේ නැහැ. දෙවියන් මං ළඟින්ම ඉන්නවා කියලා දැන් මට දැනෙනවා. පාරාදීසය අත ළඟයි කියලත් මට දැනෙනවා” කියලා ඇලෙක්සේ කියනවා. (ක්‍රියා 2:25) අපේ පැවරුම මොකක් වුණත් අපි දිගටම දෙවියන්ට ළංව ඉමු. ඔහු කවදාවත් අපිව අත්හරින්නේ නැහැ. අපි කොහේ හිටියත් ඔහුගේ සේවයේ අපිට කරන්න පුළුවන් දේ අපි කරනවා නම් ඒක සතුටින් කරන්න ඔහු අනිවාර්යයෙන්ම අපිට උදව් කරයි.—යෙසා. 41:13.

ගීතිකාව 90 එකිනෙකාව දිරිගන්වමු

^ 5 ඡේ. සමහර අවස්ථාවලදී පූර්ණකාලීන සේවයේ යෙදිලා ඉන්න අයට එයාලගේ පැවරුම තවදුරටත් කරන්න බැරි තත්වයන්වලට මුහුණ දෙන්න වෙනවා. නැත්නම් එයාලගේ පැවරුමේ වෙනසක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී එයාලා මුහුණ දෙන අභියෝග ගැනත් වෙනසට හැඩගැහෙන්න එයාලට උදව් වෙන්නේ මොනවාද කියලත් මේ ලිපියේ කතා කරනවා. එයාලව දිරිගන්වන්න සහ එයාලට උදව් කරන්න අනිත් අයට පුළුවන් කොහොමද කියලත් වෙනස්කම්වලට මුහුණ දෙන්න අපි හැමෝටම උදව් වෙන ප්‍රතිපත්ති ගැනත් මේ ලිපියේ කතා කරනවා.

^ 4 ඡේ. ඒ වගේම යම් වයසකට ආවාම තමන් කලින් කරපු වගකීම් තරුණ සහෝදරයන්ට භාර දෙන්න හුඟක් සහෝදරයන්ට වුණා. 2018 සැප්තැම්බර් ‘මුරටැඹ’ කලාපයේ පළ වුණ “මහලු සහෝදරයෙනි, ඔයාලගේ ළැදිකම දෙවිට වටිනවා” කියන ලිපියත් 2018 ඔක්තෝබර් ‘මුරටැඹ’ කලාපයේ පළ වුණ “මනසේ සාමය නැති කරගන්න එපා” කියන ලිපියත් බලන්න.

^ 12 ඡේ. එයාලා කලින් සේවය කරපු සභාවේ වැඩිමහල්ලන් පරක්කු නොකර එයාලා ගැන විස්තර ඇතුළත් කරලා ලිපියක් එයාලා දැන් සේවය කරන සභාවට යවන්න ඕනේ. එතකොට කල් දාන්නේ නැතුව පුරෝගාමියෙක්, වැඩිමහල්ලෙක් නැත්නම් සහායක සේවකයෙක් හැටියට අලුත් සභාවෙත් සේවය කරන්න එයාලට පුළුවන්.

^ 13 ඡේ. 2018 අංක 3 ‘පිබිදෙව්!’ කලාපයේ පළ වුණ “වියෝදුකට සහනයක්!” කියන ලිපි මාලාව බලන්න.

^ 57 ඡේ. පින්තූරයේ අදහස: මිෂනාරි සේවය අත්හැරලා එන්න වුණ යුවළක් හරිම දුකෙන් එයාලගේ සභාවෙන් සමුගන්නවා.

^ 59 ඡේ. පින්තූරයේ අදහස: ඒ යුවළ එයාලගේ රටේදී මුහුණ දෙන අභියෝග ජය ගන්න දෙවියන්ගෙන් උදව් ඉල්ලලා යාච්ඤා කරනවා.

^ 61 ඡේ. පින්තූරයේ අදහස: යෙහෝවා දෙවියන්ගේ උදව්වෙන් ඒ යුවළ ආයෙත් පූර්ණකාලීන සේවය පටන් අරන්. මිෂනාරි සේවයේදී එයාලා ඉගෙනගත්ත භාෂාව කතා කරන, එයාලගේ රටට ඇවිත් ඉන්න කෙනෙක්ට එයාලා දේශනා කරනවා.