Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 40

වෙහෙස නොබලා මේ අවසාන දවස්වල දෙවියන්ට සේවය කරන්න

වෙහෙස නොබලා මේ අවසාන දවස්වල දෙවියන්ට සේවය කරන්න

‘ස්ථිරව සිටින්න. නොසැලී සිටින්න. ස්වාමීන් වෙනුවෙන් කරන සේවය වෙහෙස මහන්සි නොබලා කරන්න.’—1 කොරි. 15:58.

ගීතිකාව 58 සොයමු සාමයට ළැදි අයව

මේ ලිපියෙන් *

1. අපි ජීවත් වෙන්නේ “අවසාන කාලයේ” කියලා අපිට ස්ථිර ඇයි?

ඔයා 1914ට පස්සේ ඉපදුණ කෙනෙක් නම් ඔයා ඔයාගේ ජීවිත කාලෙම ගත කරලා තියෙන්නේ මේ දුෂ්ට සමාජයේ “අවසාන කාලයේ.” (2 තිමෝ. 3:1) මේ කාලේ වෙනවා කියලා යේසුස් කියපු සිදුවීම් ගැන අපි හැමෝම අහලා තියෙනවා. ඒ සිදුවීම්වලට යුද්ධ, සාගත, භූමිකම්පා, වසංගත, අධර්මිෂ්ඨ ක්‍රියාවල වැඩි වීම සහ යෙහෝවා දෙවියන්ගේ සෙනඟට එන විරුද්ධවාදිකම් ඇතුළත්. (මතෙ. 24:3, 7-9, 12; ලූක් 21:10-12) අවසාන දවස්වල ඉන්න මිනිසුන්ගේ ගතිලක්ෂණ ගැන පාවුල් කියපු අනාවැකිය ඉටු වෙනවත් අපි දකිනවා. (“ අද කාලේ ජීවත් වෙන මිනිසුන්” කියන කොටුව බලන්න.) ඒ හේතු නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අපිට හොඳටම ස්ථිරයි අපි ඉන්නේ “අවසාන කාලයේ” කියලා.

2. අපි උත්තර දැනගන්න ඕනෙ මොන ප්‍රශ්නවලටද?

2 1914 ඉඳන් සෑහෙන කාලයක් ගත වෙලා තියෙන නිසා අපි ඉන්නේ “අවසාන කාලයේ” අන්තිම දවස්වල කියලා කියන්න පුළුවන්. දුෂ්ට සමාජයේ අවසානය අත ළඟටම ඇවිත්! ඒ නිසා අපි මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න ඕනේ. “අවසාන කාලයේ” අන්තිම හරියේ වෙන්නේ මොන සිදුවීම්ද? ඒ දේවල් සිද්ධ වෙන කල් බලන් ඉන්න අතරේ අපි මොනවා කරයි කියලාද යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙන්නේ?

“අවසාන කාලයේ” අන්තිම හරියේ වෙන්නේ මොන සිදුවීම්ද?

3. 1 තෙසලෝනික 5:1-3 සඳහන් අනාවැකියට අනුව ජාතීන් කරන්න යන නිවේදනය මොකක්ද?

3 1 තෙසලෝනික 5:1-3 කියවන්න. පාවුල් එතන “යෙහෝවා දෙවිගේ දවස” ගැන කතා කරනවා. ඒ පදයේ ඒක යොමු දක්වන්නේ “මහ බැබිලෝනිය” කියලා හඳුන්වන අසත්‍යය උගන්වන ආගම්වලට පහර දෙනවත් එක්කම පටන්ගන්න කාලයටයි. ඒ කාලය අවසන් වෙන්නේ හර්–මගෙදොන් යුද්ධයෙන්. (එළි. 16:14, 16; 17:5) ඒ “දවස” පටන්ගන්න ටිකකට කලින් ජාතීන් “සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියලා නිවේදනයක් කරනවා. ලෝක නායකයන් රටවල් අතර තියෙන බැඳීම් තව ශක්තිමත් කරගන්න එක ගැන කතා කරද්දී ඒ හා සමාන යෙදුම් පාවිච්චි කරනවා. * ඒත් බයිබලේ කතා කරලා තියෙන “සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියන නිවේදනය ඊට වඩා වෙනස්. මොකද ඒ නිවේදනය කළාම හුඟදෙනෙක් විශ්වාස කරනවා ලෝක නායකයන් මේ ලෝකෙට සාමය උදා කරලා කියලා. ඒත් ඇත්තටම එයාලා “හදිසි විනාශයකට” මුහුණ දෙන්නයි යන්නේ. ඒත් එක්කම “මහත් පීඩාව” ආරම්භ වෙනවා.—මතෙ. 24:21.

ලෝක නායකයන් “සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියලා නිවේදනය කරද්දී ඒකට රැවටෙන්න එපා (3-6 ඡේද බලන්න) *

4. (අ) “සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියන නිවේදනය ගැන අපි තාම දන්නේ නැත්තේ මොන තොරතුරුද? (ආ) ඒ ගැන අපි දැනටමත් දන්නේ මොනවාද?

4 “සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියන නිවේදනය ගැන අපි යම් තොරතුරු දන්නවා. ඒත් අපි හැම දෙයක්ම දන්නේ නැහැ. ඒ වගේ නිවේදනයක් නායකයන් කරන්නේ මොකක් නිසාද සහ ඒ නිවේදනය කරන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. ඒක එක අවස්ථාවකදී කරන නිවේදනයක්ද නැත්නම් අවස්ථා කීපයකදී කරන නිවේදනයක්ද කියලත් අපි දන්නේ නැහැ. ඒත් අපි දන්නවා ලෝක නායකයන්ට මේ ලෝකෙට සාමය උදා කරන්න බැහැ කියලා. ඒ නිසා ඒකට අපි රැවටෙන්නේ නැහැ. ඒ වෙනුවට අපි තේරුම්ගන්න ඕනෙ සෝදිසියෙන් ඉන්න කියලා බයිබලේ අපිට කියන නිවේදනය ඒකයි කියලා. “යෙහෝවා දෙවිගේ දවස” පටන්ගන්නයි යන්නේ කියන්න ලකුණ ඒකයි.

5. “යෙහෝවා දෙවිගේ දවසට” සූදානමින් ඉන්න නම් අපි මොනවා කරන්න ඕනෙ කියලාද 1 තෙසලෝනික 5:4-6 කියන්නේ?

5 1 තෙසලෝනික 5:4-6 කියවන්න. “යෙහෝවා දෙවිගේ දවසට” සූදානමින් ඉන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද කියලා පාවුල් කියපු දෙයින් තේරුම්ගන්න පුළුවන්. “අපි නිදාගෙන සිටිනවා වෙනුවට අවදිව” ඉන්න ඕනේ. උදාහරණෙකට අපි දේශපාලන කාරණාවලදී පැති නොගෙන ඉන්නත් ඒවාට කිසිම විදිහකින් හවුල් නොවී ඉන්නත් ඕනේ. අපි ඒ දේවලට යම් විදිහකින් හරි හවුල් වුණොත් අපිත් “මේ ලෝකයේ මිනිසුන්ට සමාන” වෙනවා. (යොහ. 15:19) ලෝකෙටම සාමය ඇති කරන්න පුළුවන් දේවරාජ්‍යයට විතරයි කියලා අපි දන්නවා.

6. අපි අනිත් අයට උදව් කරන්න ඕනෙ මොකක් කරන්නද? ඒ ඇයි?

6 අපි අවදිව ඉන්නවා වගේම අපි අනිත් අයටත් උදව් කරන්න ඕනෙ මේ කාලේ සිදු වෙනවා කියලා බයිබලේ සඳහන් වෙන දේවල් ගැන දැනුවත් වෙන්න. මොකද මහත් පීඩාව ආරම්භ වුණාට පස්සේ යෙහෝවා දෙවියන්ට සේවය කරන්න තීරණය කරන්න මිනිසුන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසයි දැන් අපි අපේ ජීවිතවල වැදගත් තැනක් දේශනා සේවයට දෙන්න ඕනේ. *

වෙහෙස නොබලා දිගටම දේශනා කරන්න

දේශනා සේවයේ හවුල් වෙද්දී අපි පෙන්නනවා මේ ලෝකෙට සාමය උදා කරන්න පුළුවන් දේවරාජ්‍යයට විතරයි කියලා (7-9 ඡේද බලන්න)

7. දැන් අපි මොනවා කරයි කියලාද යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙන්නේ?

7 යෙහෝවා දෙවියන්ගේ “දවස” පටන්ගන්න කලින් ඉතුරු වෙලා තියෙන මේ කෙටි කාලේ අපි අපේ උපරිමයෙන් දේශනා සේවයේ හවුල් වෙයි කියලා දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි “ස්වාමීන් වෙනුවෙන් කරන සේවය වෙහෙස මහන්සි නොබලා කරමු.” (1 කොරි. 15:58) අවසාන කාලේ වෙන සිදුවීම් ගැන කියද්දී යේසුස් මෙහෙම කිව්වා. “අවසානයට කලින් සියලු ජාතීන්ට ශුභාරංචිය දේශනා කළ යුතුයි.” (මාක් 13:4, 8, 10; මතෙ. 24:14) ටිකක් හිතන්න. ඔයා දේශනා සේවයේ හවුල් වෙන හැම වතාවකදීම ඒ අනාවැකිය ඉටු කරන්න ඔයා දායක වෙනවා.

8. දේශනා සේවය සාර්ථකයි කියන්නේ ඇයි?

8 දේශනා සේවය සාර්ථකයි කියන්නේ ඇයි? හැම අවුරුද්දකම තව වැඩි පිරිසකට ශුභාරංචිය ගැන දැනගන්න ලැබෙනවා. උදාහරණෙකට ලෝකේ පුරාම ප්‍රචාරකයන්ගේ ගාණ මේ අවසාන කාලයේ කොයි තරම් වැඩි වෙලා තියෙනවාද කියලා හිතන්න. 1914දී රටවල් 43ක ප්‍රචාරකයන් හිටියේ 5,155ක් විතරයි. දැන් රටවල් 240ක ප්‍රචාරකයන් ලක්ෂ 85ක් විතර ඉන්නවා. ඒත් අපේ කාර්යය තවමත් ඉවර නැහැ. මිනිසුන් අද්දකින ප්‍රශ්නවලට එකම විසඳුම දේවරාජ්‍යය කියලා අපි දිගටම දේශනා කරන්න ඕනේ.—ගීතා. 145:11-13.

9. අපි අත් නෑර දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන්න ඕනෙ ඇයි?

9 දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන එක නවත්තන්න කියලා යෙහෝවා දෙවියන් කියන කල් අපි ඒ සේවය නවත්තන්නේ නැහැ. යෙහෝවා දෙවියන්ව සහ යේසුස්ව දැන හඳුන ගන්න මිනිසුන්ට තව කොච්චර කාලයක් ඉතුරු වෙලා තියෙනවාද? (යොහ. 17:⁠3) ඒක අපි දන්නේ නැහැ. ඒත් “සදාකාල ජීවනයට මඟ පාදන සත්‍යය පිළිගැනීමට කැමති” ඕනෙම කෙනෙක්ට ශුභාරංචිය පිළි අරන් යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න තීරණය කරන්න මහත් පීඩාව පටන්ගන්න කල් අවස්ථාව තියෙනවා. (ක්‍රියා 13:48) තවමත් අවස්ථාව තියෙන මේ කාලේ මිනිසුන්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

10. මිනිසුන්ට සත්‍යය උගන්වන්න අපිට උදව් කරන්න යෙහෝවා දෙවියන් දීලා තියෙන්නේ මොනවාද?

10 මිනිසුන්ට සත්‍යය ගැන කියලා දෙන්න අපිට ඕනෙ කරන හැම දෙයක්ම යෙහෝවා දෙවියන් ඔහුගේ සංවිධානය මාර්ගයෙන් අපිට දෙනවා. උදාහරණෙකට සති මැද රැස්වීමෙන් අපිට හොඳ පුහුණුවක් ලැබෙනවා. කෙනෙක්ව මුල්ම වතාවට හම්බ වුණාම සහ නැවත බැලීම්වලදී අපි කියන්න ඕනෙ මොනවාද කියලා ඒ රැස්වීමේදී අපි ඉගෙනගන්නවා. බයිබල් පාඩම් කරන විදිහ ගැනත් ඒකේදී අපි ඉගෙනගන්නවා. ඉගැන්වීම් කට්ටලයකුත් දෙවියන්ගේ සංවිධානය අපිට දීලා තියෙනවා. ඒවා අපිට උදව් වෙනවා . . .

  • සාකච්ඡාවන් පටන්ගන්න,

  • උනන්දුවක් ඇති වෙන විදිහට පණිවිඩය කියන්න,

  • බයිබලය ගැන තව දැනගන්න පියවර ගන්න මිනිසුන්ව පොලඹවන්න,

  • බයිබලය පාඩම් කරන අයට සත්‍යය උගන්වන්න,

  • උනන්දුවක් දක්වන අයට අපේ වෙබ් අඩවියට පිවිසෙන්න සහ අපේ රැස්වීම්වලට ආරාධනා කරන්න.

ඉගැන්වීම් කට්ටලයට අයිති දේවල් අපි ළඟ තිබිලා විතරක් මදි. අපි ඒවා පාවිච්චි කරන්න ඕනේ. * උදාහරණෙකට ඔයා කෙනෙක් එක්ක හොඳ සාකච්ඡාවක් කළාට පස්සේ පත්‍රිකාවක් හෝ සඟරාවක් එයාට දීලා ආවොත් ඔයා ආයෙත් එයාව හම්බ වෙන්න යන කල් එයාට පුළුවන් ඒක කියවන්න. වෙහෙස නොබලා හැම මාසෙකම උපරිමයෙන් දේශනා සේවයේ හවුල් වෙන එක අපි එක් එක් කෙනාගේ වගකීමක්.

11. ‘ඔන්ලයින් බයිබල් පාඩම්’ කියන අංගය සකස් කරලා තියෙන්නේ ඇයි?

11 සත්‍යය ඉගෙනගන්න යෙහෝවා දෙවියන් මිනිසුන්ට උදව් කරන තවත් විදිහක් තමයි jw.org® වෙබ් අඩවියේ පළ වෙන ‘ඔන්ලයින් බයිබල් පාඩම්’ කියන අංගය. ඒක සකස් කරලා තියෙන්නේ ඇයි? හැම මාසෙකම ලෝකේ විවිධ රටවලින් හුඟදෙනෙක් බයිබල් පාඩම් කරන්න පුළුවන් විදි ඉන්ටර්නෙට් එකෙන් හොයනවා. ඒ වගේ අයට බයිබලේ තියෙන සත්‍යයන් ඉගෙනගන්න අපේ වෙබ් අඩවියේ තියෙන ඒ පාඩම් මාලාව හොඳ පටන්ගැන්මක්. සේවයේදී හම්බ වෙන සමහරු කෙනෙක් එක්ක බයිබල් පාඩමක් කරන්න ටිකක් අදිමදි කරන්න පුළුවන්. එහෙම කෙනෙක්ට අපේ වෙබ් අඩවියේ තියෙන මේ අංගය පෙන්නන්න. නැත්නම් ඒකේ ලින්ක් එක එයාට යවන්න. *

12. ‘ඔන්ලයින් බයිබල් පාඩම්’ කියන කොටසෙන් කෙනෙක්ට ඉගෙනගන්න පුළුවන් මොන වගේ දේවල්ද?

12 ‘ඔන්ලයින් බයිබල් පාඩම්’ කියන කොටසේ මේ විෂයන් ගැන කතා කරනවා. “බයිබලය සහ එහි කර්තෘ,” “බයිබලයේ සඳහන් ප්‍රධාන චරිත” සහ “බයිබලයේ සඳහන් වෙන පණිවිඩය.” ඒ විෂයන් අධ්‍යයනය කරද්දී කෙනෙක්ට මේ දේවල් ඉගෙනගන්න පුළුවන්.

  • බයිබලේ තියෙන තොරතුරු ජීවිතේට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

  • යෙහෝවා, යේසුස් සහ දේවදූතයන් කවුද?

  • දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ ඇයි?

  • දුක් වේදනා සහ දුෂ්ටකම් තියෙන්නේ ඇයි?

ඒ වගේම යෙහෝවා දෙවියන් . . .

  • දුක් වේදනා සහ මරණය නැති කරන්නේ කොහොමද

  • මිය ගිය අයට ආයෙත් ජීවිතේ දෙන්නේ කොහොමද සහ

  • අසාර්ථක මිනිස් ආණ්ඩු අයින් කරලා දේවරාජ්‍යයේ පාලනය යටතට මේ පොළොව ගන්නේ කොහොමද කියලා ඉගෙනගන්නත් පුළුවන්.

13. ‘ඔන්ලයින් බයිබල් පාඩම්’ මාලාව අවසන් කරන කෙනෙක් සාක්ෂිකරුවන් එක්කත් බයිබල් පාඩමක් කරන්න ඕනෙද? පැහැදිලි කරන්න.

13 ‘ඔන්ලයින් බයිබල් පාඩම්’ මාලාව සාක්ෂිකරුවෙක් එක්ක බයිබල් පාඩමක් කරන සැලැස්ම වෙනුවට ඇති කරපු එකක් නෙමෙයි. මිනිසුන්ට යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න උදව් කරන වරප්‍රසාදය යේසුස් අපිට දීලා තියෙනවා. ‘ඔන්ලයින් බයිබල් පාඩම්’ සකස් කරලා තියෙන්නේ උනන්දුව දක්වන අය ඒවා අධ්‍යයනය කරද්දී ඒවා ගැන ආසාවක් ඇති වෙලා තවත් ඉගෙනගන්න කැමැත්තක් ඇති වෙන විදිහටයි. එහෙම වුණොත් සමහරවිට එයාලා සාක්ෂිකරුවන් එක්ක බයිබල් පාඩමක් කරන්න කැමති වෙයි. හැම පාඩමක් අවසානයේදී ඒක කියවන කෙනාගෙන් අහනවා කෙනෙක් එක්ක බයිබල් සාකච්ඡාවක් කරන්න එයා කැමතිද කියලා. අපේ වෙබ් අඩවිය හරහා හැම දවසකම සාමාන්‍යයක් විදිහට 230කට වඩා වැඩිදෙනෙක් විවිධ රටවලින් බයිබල් පාඩම් ඉල්ලුම් කරනවා. කෙනෙක් ‘ඔන්ලයින් බයිබල් පාඩම්’ මාලාව අවසන් කළත් සාක්ෂිකරුවෙක් එක්ක බයිබල් පාඩමක් කරන එක වැදගත් දෙයක්.

යේසුස්ගේ ගෝලයන් වෙන්න මිනිසුන්ට දිගටම උදව් කරන්න

14. යේසුස් මතෙව් 28:19, 20 දුන්න මඟ පෙන්වීමට අනුව අපි මොකක් කරන්නද උත්සාහ කරන්න ඕනේ? ඒ ඇයි?

14 මතෙව් 28:19, 20 කියවන්න. අපි බයිබල් පාඩම් කරද්දී ‘මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න වගේම ඔහු අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න ඔවුන්ට උගන්වන්න’ ඕනේ. යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්නත් දේවරාජ්‍යයට සහය දෙන්නත් තීරණය කරන එක එයාලගේ ජීවිතේට කොච්චර වැදගත්ද කියලා තේරුම්ගන්න අපි මිනිසුන්ට උදව් කරන්න ඕනේ. ඒ කියන්නේ එයාලා බයිබලෙන් ඉගෙනගන්න දේවල් ජීවිතේට අදාළ කරගෙන එයාලගේ ජීවිත යෙහෝවා දෙවියන්ට කැප කරලා බව්තීස්ම වෙන්න අපි එයාලට උනන්දු කරන්න ඕනේ. එහෙම කළොත් විතරයි එයාලට විනාශ නොවී බේරෙන්න පුළුවන් වෙන්නේ.—1 පේතෘ. 3:21.

15. මොන දේ කරන්නද අපිට කාලේ නැත්තේ? ඒ ඇයි?

15 මේ දුෂ්ට සමාජය අවසන් වෙන්න තව තියෙන්නේ ටික දවසයි. ඒ නිසා ජීවිතේ වෙනස්කම් කරගෙන තමන් යෙහෝවා දෙවියන්ට සේවය කරන්න කැමතියි කියලා පෙන්නන්නේ නැති අය එක්ක දිගින් දිගටම බයිබලේ පාඩම් කරකර ඉන්න අපිට කාලයක් නැහැ. (1 කොරි. 9:26) මොකද ශුභාරංචියට ඇහුම්කන් දෙන්න අවස්ථාව ලැබිලා නැති තව හුඟදෙනෙක් ඉන්නවා. ඉතුරු වෙලා තියෙන මේ කෙටි කාලේ අපි යොදවන්න ඕනෙ ඒ වගේ අයව හොයන්නයි.

අසත්‍යය උගන්වන ආගම්වලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න

16. එළිදරව් 18:2, 4, 5, 8 අනුව අපි හැමෝම කරන්න ඕනෙ මොකක්ද? (පාදසටහනත් බලන්න.)

16 එළිදරව් 18:2, 4, 5, 8 කියවන්න. යෙහෝවා දෙවියන් ඔහුට නමස්කාර කරන අයගෙන් බලාපොරොත්තු වෙන තව දෙයක් ඒ පදවල පෙන්නනවා. ඒ තමයි අසත්‍යය උගන්වන ආගම්වලට එයාලා කිසිම විදිහකින් සම්බන්ධ නොවී ඉඳියි කියන එක. කෙනෙක් සත්‍යය ඉගෙනගන්න කලින් අසත්‍යය උගන්වන ආගමක සාමාජිකයෙක් වෙලා ඉන්න ඇති. එයා ඒ ආගමික වතාවන්වලට, ඒකේ ක්‍රියාකාරකම්වලට හවුල් වෙන්න ඇති. එහෙම නැත්නම් එයා ඒ වගේ සංවිධානයකට මුදල්වලින් ආධාර කරලත් ඇති. බයිබලේ පාඩම් කරන කෙනෙක් බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් විදිහට සේවය කරන්න කැමති නම් ඊට කලින් එයා අසත්‍යය උගන්වන ආගම්වලින් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න ඕනේ. එයා අයිති වෙලා හිටපු පල්ලියේ හෝ වෙනත් ආගමික සංවිධානයක සාමාජිකත්වයෙන් තමන් ඉවත් වෙනවා කියලා ලියුමක් මාර්ගයෙන් දැනුම් දෙන්න ඕනේ. *

17. සැබෑ ක්‍රිස්තියානීන් සම්බන්ධ නොවී ඉන්න ඕනෙ මොන වගේ රැකියාවන්වලටද? ඒ ඇයි?

17 සැබෑ ක්‍රිස්තියානියෙක් තමන් කරන රැකියාව අසත්‍යය උගන්වන ආගම්වලට කොයිම විදිහකින්වත් සම්බන්ධ නැහැ කියලා ස්ථිර කරගන්න ඕනේ. (2 කොරි. 6:14-17) උදාහරණෙකට එයා පල්ලියෙන් කෙළින්ම ගෙවීමක් කරන රැකියාවක් කොහොමටවත් කරන්නේ නැහැ. ඒ වගේම යම් ආයතනයක් ආගමික වැඩකටයුතු සඳහා පාවිච්චි කරන ගොඩනැඟිල්ලක විශාල නඩත්තු වැඩක් භාරගත්තොත් ඒ ආයතනයේ රැකියාව කරන සැබෑ ක්‍රිස්තියානියෙක් ඒ වැඩේට සහභාගි වෙන්නේ නැහැ. තමන්ගෙම ව්‍යාපාරයක් කරන ක්‍රිස්තියානියෙක් කොහොමටවත් මහ බැබිලෝනියට සම්බන්ධ ගොඩනැඟිල්ලක ඉඳි කිරීම් කරන්න ටෙන්ඩර් ඉදිරිපත් කරන්නේවත් ඒක භාරගත්ත වෙන කෙනෙක්ට කොන්ත්‍රාත් පදනම යටතේ වැඩ කරන්නේවත් නැහැ. අපි ඒ ස්ථාවරයේ ඉන්නේ ඇයි? යෙහෝවා දෙවියන් අපවිත්‍රයි කියලා සලකන ආගම්වල ඉගැන්වීම්වලටවත් පිළිවෙත්වලටවත් කිසිම විදිහකින් සම්බන්ධ වෙන්න අපිට ඕනෙ නැහැ.—යෙසා. 52:11. *

18. සහෝදරයෙක් රැකියාව සම්බන්ධ කාරණයේදී බයිබල් ප්‍රතිපත්තිවලට කීකරු වුණේ කොහොමද?

18 අවුරුදු කීපයකට කලින් තමන්ගෙම ව්‍යාපාරයක් කරපු වැඩිමහල්ලෙක්ගෙන් කොන්ත්‍රාත්කරුවෙක් ඇහුවා එයාලගේ ටවුමේ තිබුණ පල්ලියේ පොඩි වඩු වැඩක් කරලා දෙන්න පුළුවන්ද කියලා. ඒ සහෝදරයා පල්ලිවල වැඩ භාරගන්නේ නැහැ කියලා කොන්ත්‍රාත්කරු දැනන් හිටියා. ඒත් මේ අවස්ථාවේ ඒ වැඩේ කරගන්න කොන්ත්‍රාත්කරුට වෙන කෙනෙක් හොයාගන්න බැරුවයි හිටියේ. අපේ සහෝදරයා දිගටම බයිබල් ප්‍රතිපත්තිවලට කීකරු වුණා. ඊළඟ සතියේ ඒ පල්ලියේ කුරුසයක් හයි කරමින් ඉන්න වඩුවෙකුගේ ෆොටෝ එකක් පුවත්පතක පළ වුණා. අපේ සහෝදරයා බයිබල් ප්‍රතිපත්ති පාවා දීලා ඒ වැඩේ භාරගත්තා නම් පත්තරේ වැටෙන්නේ එයාගේ ෆොටෝ එක. එහෙම වුණා නම් සහෝදරයන් අතරේ එයා දිනාගෙන තිබුණ හොඳ නමට මොකක් වෙයිද? යෙහෝවා දෙවියන්ට ඒ ගැන කොහොම හැඟෙයිද?

අපි ඉගෙනගත්තේ මොනවාද?

19-20. (අ) මේ වෙන කල් අපි ඉගෙනගත්තේ මොනවාද? (ආ) තව අපිට ඉගෙනගන්න තියෙන්නේ මොනවාද?

19 බයිබල් අනාවැකිවලට අනුව ඊළඟට වෙන්න තියෙන ප්‍රධානම සිදුවීම “සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියලා ලෝක නායකයන් කරන නිවේදනයයි. යෙහෝවා දෙවියන් අපිට උගන්වලා තියෙන දේවලින් අපි දන්නවා ලෝක නායකයන්ට මේ ලෝකෙට සාමය උදා කරන්න බැහැ කියලා. ඒ නිවේදනයත් එක්කම එන හදිසි විනාශයට කලින් අපි වෙහෙස නොබලා දේශනා සේවයේ හවුල් වෙයි කියලත් තව වැඩිදෙනෙක්ට යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න උදව් කරයි කියලත් යෙහෝවා දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙනවා. එහෙම කරන අතරේ අපි අසත්‍යය උගන්වන ආගම්වලින් සම්පූර්ණයෙන්ම අයින් වෙලා ඉන්න ඕනේ. ඒකට ඒ ආගම්වල සාමාජිකත්වයෙන් ඉවත් වෙන එකත් ඒ ආගම්වලට සම්බන්ධ කිසිම රැකියාවකට හවුල් නොවී ඉන්න එකත් ඇතුළත්.

20 “අවසාන කාලයේ” අන්තිම දවස්වල සිදු වෙන්න නියමිත තවත් සිදුවීම් තියෙනවා. ඒ වගේම අපි කරයි කියලා දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන තව දේවලුත් තියෙනවා. ඒ මොනවාද? ළඟදීම වෙන්න යන ඒ දේවලට සූදානම් වෙන්න අපිට පුළුවන් කොහොමද? ඒ ගැන ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 71 අප දෙවිගේ සේනාවයි

^ 5 ඡේ. “සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියලා ලෝක නායකයන් කරන නිවේදනය ළඟදීම අපිට අහන්න ලැබෙනවා. මහත් පීඩාව පටන්ගන්නයි යන්නේ කියන්න ඒක ලකුණක්. ඒ නිවේදනය කරන කල් අපි මොනවා කරයි කියලාද යෙහෝවා දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ? ඒකට උත්තර මේ ලිපියෙන් බලමු.

^ 3 ඡේ. උදාහරණෙකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල වෙබ් අඩවියේ කියන්නේ එයාලා “ජාත්‍යාන්තර සාමය සහ සුරක්ෂිතභාවය පවත්වගෙන යනවා” කියලයි.

^ 10 ඡේ. ඉගැන්වීම් කට්ටලයේ තියෙන දේවල් සේවයේදී හොඳින් පාවිච්චි කරන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න 2018 ඔක්තෝබර් ‘මුරටැඹ’ කලාපයේ පළ වුණ “සත්‍යය උගන්වන්න” කියන ලිපිය බලන්න.

^ 11 ඡේ. ‘ඔන්ලයින් බයිබල් පාඩම්’ දැනට තියෙන්නේ ඉංග්‍රීසි සහ පෘතුගීසි භාෂාවලින් විතරයි. ඉදිරියේදී තවත් භාෂාවලට ඒක පරිවර්තනය කරනවා.

^ 16 ඡේ. අසත්‍යය උගන්වන ආගම්වලට සම්බන්ධ සංවිධානවලින් උදාහරණෙකට තරුණ ක්‍රිස්තියානි සංගමය (YMCA), තරුණ කාන්තා ක්‍රිස්තියානි සංගමය (YWCA) වගේ සංවිධානවලින් සැලසුම් කරන වැඩමුළු, යොවුන් කඳවුරු සහ තරුණ හමුවන් වගේ දේවලටත් අපි හවුල් නොවී ඉන්න ඕනේ. ඒ වගේ සමහර සංවිධාන විනෝදය සඳහා විවිධ පහසුකම් සපයනවා. ක්‍රීඩා පුහුණු ස්ථාන පවත්වගෙන යනවා. අපි ඒ කිසිම දේකට සම්බන්ධ නොවී ඉන්න ඕනේ. සමහරවිට ඒ සංවිධාන කියයි එයාලා දේවල් කරන්නේ ආගමක් මුල් කරගෙන නෙමෙයි කියලා. ඒත් ආගමකට සම්බන්ධ අදහස් එයාලා ප්‍රචලිත කරනවා. ඒ සංවිධාන පිහිටුවලා තියෙන අරමුණ ඒකයි.

^ 17 ඡේ. ආගමික සංවිධානවලට සම්බන්ධ රැකියාවන් ගැන බයිබලේ සඳහන් ප්‍රතිපත්ති ගැන තවත් හොඳින් තේරුම්ගන්න 1999 අප්‍රියෙල් 15 ‘මුරටැඹ’ කලාපයේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” බලන්න.

^ 83 ඡේ. පින්තූරයේ අදහස: කඩේකට ඇවිත් ඉන්න මිනිස්සු TV එකේ විශේෂ පුවත් යටතේ “සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියන නිවේදනය දෙනවා දකිනවා. සේවය ටිකකට නතර කරලා තේ එකක් බොන්න ඇවිත් ඉන්න යුවළක් ඒ නිවේදනය අහලා රැවටෙන්නේ නැහැ.