Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 44

අවසානය එන්න කලින් මිතුදම් තව ශක්තිමත් කරගන්න

අවසානය එන්න කලින් මිතුදම් තව ශක්තිමත් කරගන්න

“සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි.”—හිතෝ. 17:17.

ගීතිකාව 101 එක්සත්ව සේවය කරමු

මේ ලිපියෙන් *

මහත් පීඩාව කාලේදී අපිට හොඳ යාළුවෝ ඕනෙමයි (2 ඡේදය බලන්න) *

1-2. 1 පේතෘස් 4:7, 8 අනුව අමාරු තත්වයන්වලට මුහුණ දෙන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

අපි “අවසාන කාලයේ” අන්තිම දවස්වල ජීවත් වෙන නිසා අපිට හුඟක් දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න වෙනවා. (2 තිමෝ. 3:1) උදාහරණෙකට අප්‍රිකාවේ රටක ඡන්දයක් පැවැත්තුවාට පස්සේ රටේ නොසන්සුන් වාතාවරණයක් ඇති වුණා. සටන් පැවති ප්‍රදේශවල හිටපු සහෝදරයන්ට මාස හයක් යන කල් නිදහසේ දේවල් කරන්න බැරි වුණා. ඒ අමාරු තත්වයට හොඳින් මුහුණ දෙන්න එයාලට උදව් වුණේ මොකක්ද? සමහරු ආරවුල් අඩුවෙන් තිබුණ ප්‍රදේශවල ජීවත් වුණ සහෝදරයන්ගේ ගෙවල්වල නවාතැන් ගත්තා. එක සහෝදරයෙක් මෙහෙම කිව්වා. “ඒ අමාරු කාලේ මගේ යාළුවෝ එක්ක ඉන්න ලැබුණ එක කොච්චර දෙයක්ද! අපි එකිනෙකාව දිරිගැන්නුවා.”

2 “මහත් පීඩාව” පටන්ගද්දී අපි වටේ අපිට ආදරේ කරන හොඳ යාළුවෝ ඉන්නවා නම් ඒ ගැන අපිට ලොකු සතුටක් දැනෙයි. (එළි. 7:14) ඒ නිසා අපි මේ කාලේ අපේ සහෝදර සහෝදරියන් එක්ක තියෙන මිතුදම් ශක්තිමත් කරගන්න වෑයමක් දරමු. (1 පේතෘස් 4:7, 8 කියවන්න.) යෙරුසලමේ විනාශයට කලින් සිද්ධ වුණ අමාරු දේවලට හොඳින් මුහුණ දෙන්න යෙරෙමියාට එයාගේ යාළුවෝ උදව් වුණා. * අපිට යෙරෙමියාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

යෙරෙමියාගේ ආදර්ශයෙන් ඉගෙනගමු

3. (අ) අනිත් අයගෙන් ඈත් වෙලා ඉන්න යෙරෙමියාට හිතෙන්න ඇත්තේ ඇයි? (ආ) යෙරෙමියා බාරුක්ට කිව්වේ මොනවාද? ඒකේ ප්‍රතිඵලය මොකක්ද?

3 අඩුම ගානේ අවුරුදු 40ක්වත් යෙරෙමියා ජීවත් වුණේ දෙවියන්ට ආදරේ කළේ නැති මිනිසුන් අතරේ. ඒ අයට අනාතොත් නගරයේ වැසියන් සහ එයාගේ නෑදෑයන් ඇතුළත් වෙන්න ඇති. (යෙරෙ. 11:21; 12:6) එහෙමයි කියලා එයා මිනිසුන්ගෙන් ඈත් වෙලා තනියම ජීවත් වුණේ නැහැ. එයා එයාගේ ලේකම් විදිහට සේවය කරපු බාරුක් එක්ක එයාට හිතෙන, හැඟෙන දේවල් ගැන කතා කළා. එයාගේ හැඟීම් වාර්තා කරපු නිසා ඒ ගැන අපිත් දන්නවා. (යෙරෙ. 8:21; 9:1; 20:14-18; 45:1) යෙරෙමියාගේ අද්දැකීම් බාරුක් සටහන් කරද්දී ඒ දෙන්නා අතරේ කිට්ටු මිත්‍රත්වයක් ඇති වුණා. එකිනෙකා ගැන ගෞරවයකුත් ඇති වෙන්න ඇති.—යෙරෙ. 20:1, 2; 26:7-11.

4. යෙහෝවා දෙවියන් යෙරෙමියාට කරන්න කිව්වේ මොකක්ද? ඒ පැවරුම නිසා යෙරෙමියා සහ බාරුක් අතරේ තිබුණ මිත්‍රත්වය ශක්තිමත් වුණේ කොහොමද?

4 යෙරෙමියා අවුරුදු ගාණක් යෙරුසලමට වෙන්න යන දේ ගැන නිර්භීතව ඊශ්‍රායෙල්වරුන්ට අනතුරු ඇඟෙව්වා. (යෙරෙ. 25:3) පසුතැවිලි වෙන්න කියලා මිනිසුන්ව තව වැඩියෙන් උනන්දු කරමින් යෙහෝවා දෙවියන් කියපු දේවල් ලියවිල්ලක සටහන් කරන්න කියලා දෙවියන් යෙරෙමියාට කිව්වා. (යෙරෙ. 36:1-4) දෙවියන් දීපු ඒ පැවරුම කරන්න යෙරෙමියාටයි, බාරුක්ටයි මාස කීපයක්ම ගත වෙන්න ඇති. ඒ කාලේ පුරාම ඒ දෙන්නා කිට්ටුවෙන් වැඩ කළා. එයාලා කතා කරපු දේවලින් එයාලගේ විශ්වාසය තවත් ශක්තිමත් වුණා.

5. බාරුක් යෙරෙමියාට හොඳ යාළුවෙක් වුණා කියලා අපි දන්නේ කොහොමද?

5 දෙවියන්ගේ පණිවිඩය ලියවිල්ලක සටහන් කළාට පස්සේ ඒකේ සඳහන් දේවල් මිනිසුන්ට ඇහෙන්න කියවන වගකීම යෙරෙමියා භාර දුන්නේ එයාගේ විශ්වාසවන්ත යාළුවා වුණ බාරුක්ට. (යෙරෙ. 36:5, 6) ඒකෙන් ජීවිතේට අනතුරක් වෙන්න ඉඩ තිබුණත් බාරුක් ඒ පැවරුම බය නැතුව කළා. එයා දේවමාලිගාවේ මළුවට ගිහින් ලියවිල්ලේ තිබුණ දේවල් මිනිසුන්ට ඇහෙන්න කියවපු එක ගැන යෙරෙමියාට කොච්චර සතුටක් දැනෙන්න ඇද්ද! (යෙරෙ. 36:8-10) බාරුක් කරපු දේ ගැන යුදෙව් අධිපතීන්ට ආරංචි වුණාම එයාලා බාරුක්ට කිව්වා ලියවිල්ලේ තියෙන දේවල් එයාලටත් ඇහෙන්න කියවන්න කියලා. (යෙරෙ. 36:14, 15) යෙරෙමියාගේ පණිවිඩය යෙහෝයාකිම් රජුට දැනුම් දෙන්න ඒ අධිපතීන් තීරණය කළා. ඊට කලින් එයාලා බාරුක්ට කිව්වා “දැන් ඉක්මනට ගිහින් කිසිවෙකුට සොයාගන්න බැරි තැනක ඔබත් යෙරෙමියාත් හැංගෙන්න” කියලා.—යෙරෙ. 36:16-19.

6. විරුද්ධවාදිකම් එද්දී යෙරෙමියා සහ බාරුක් කළේ මොකක්ද?

6 ලියවිල්ලේ තිබුණ දේවලට සවන් දුන්නාට පස්සේ යෙහෝයාකිම් රජුට හොඳටම කේන්ති ගිහින් එයා ලියවිල්ල පිච්චුවා. යෙරෙමියාවයි, බාරුක්වයි අත්අඩංගුවට ගන්න කියලත් නියෝග කළා. ඒත් යෙරෙමියා බය වුණේ නැහැ. එයා තවත් ලියවිල්ලක් අරන් බාරුක්ට දීලා කිව්වා දෙවියන්ගේ පණිවිඩය එයා කියද්දී ලියන්න කියලා. බාරුක් ‘යූදාහි රජු වන යෙහෝයාකිම් පුලුස්සා දැමූ ලියවිල්ලේ සඳහන්ව තිබූ සියලු දේ නැවතත් එහි ලිව්වා.’—යෙරෙ. 36:26-28, 32.

7. පැවරුම එකට කරපු එක යෙරෙමියාටයි, බාරුක්ටයි උදව් වෙන්න ඇත්තේ කොහොමද?

7 යම් පීඩාවකට එකට මුහුණ දෙද්දී අපි අතරේ තියෙන බැඳීම තව ශක්තිමත් වෙනවා. යෙහෝයාකිම් රජු විනාශ කරපු ලියවිල්ලේ තිබුණ දේවල් ආයෙත් ලියන්න යෙරෙමියා සහ බාරුක් එකතු වෙලා වැඩ කළා. ඒ කාලේදී ඒ දෙන්නා එකිනෙකාව තව තවත් හොඳින් හඳුනගන්න ඇති. එකිනෙකාට තිබුණ හොඳ ගුණාංග ගැන අගයක් ඒකෙන් ඇති වෙන්න ඇති. ඒ දෙන්නාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

ඔයාට හැඟෙන, හිතෙන දේ යාළුවන් එක්ක කතා කරන්න

8. මිතුදම් ඇති කරගන්න අපිට බාධා වෙන්න පුළුවන් මොනවාද? ඒත් ඒවා ජය ගන්න අපි උත්සාහ කරන්න ඕනෙ ඇයි?

8 කවුරු හරි කෙනෙක් අපේ හිත පාරලා තියෙනවා නම් අපිට හැඟෙන, දැනෙන දේවල් තවත් කෙනෙක් එක්ක බෙදාගන්න අපිට අමාරු ඇති. (හිතෝ. 18:19, 24) එහෙම නැත්නම් අනිත් අයත් එක්ක කිට්ටු මිතුදම් ඇති කරගන්න කාලයක්, ශක්තියක් යොදවන්න අපිට බැහැ කියලා හිතෙන්න පුළුවන්. ඒත් ඒ බාධා ජය ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. දුෂ්කර කාලවල් එද්දී සහෝදරයෝ අපි ළඟින්ම ඉන්නවා දකින්න අපි කැමති නම් එයාලව විශ්වාස කරන්න දැන් ඉඳන්ම අපි ඉගෙනගන්න ඕනේ. විශේෂයෙන්ම අපිට හිතෙන, හැඟෙන දේවල් එයාලත් එක්ක බෙදාගන්න තරම් විශ්වාසයක් අපි එයාලා ගැන ඇති කරගන්න ඕනේ. ඒක මිතුදම් ඇති කරගන්න වැදගත් පියවරක්.—1 පේතෘ. 1:22.

9. (අ) තමන්ගේ යාළුවන්ව විශ්වාස කරනවා කියලා යේසුස් පෙන්නුවේ කොහොමද? (ආ) ඔයාට හැඟෙන, දැනෙන විදිහ ගැන කතා කරන එක කිට්ටු මිතුදම් ඇති කරගන්න උදව් වෙනවා කියන්නේ ඇයි? අද්දැකීමක් කියන්න.

9 යේසුස් ඔහුගේ යාළුවන් එක්ක විවෘතව කතා කළා. ඒකෙන් ඔහු පෙන්නුවේ ඔහුට එයාලව විශ්වාසයි කියලා. (යොහ. 15:15) අපිත් අපි සතුටු වෙන දේවල් ගැන, කනස්සල්ලක්, අධෛර්යයක් දැනෙන දේවල් ගැන අනිත් අය එක්ක කතා කරනවා නම් යේසුස්ව ආදර්ශයට ගන්න පුළුවන්. කෙනෙක් එයාගේ හිතේ තියෙන දේවල් ඔයා එක්ක කියද්දී එයාට හොඳින් ඇහුම්කන් දෙන්න. එතකොට ඔයාට තේරෙයි ඔය දෙන්නා හිතන විදිහ, ඔයාලට හැඟෙන විදිහ, ඔයාලට තියෙන ඉලක්ක ගොඩක් දුරට සමානයි කියලා. වයස 29ක් වන සින්ඩිගේ අද්දැකීම බලන්න. සින්ඩිට හොඳ යාළුවෙක් හිටියා මාරි ලුයිස් කියලා. එයා වයස 60 ගණන්වල හිටපු පුරෝගාමියෙක්. ඒ දෙන්නා හැම බ්‍රහස්පතින්දාවකම එකට සේවයේ ගියා. එහෙම යද්දී එයාලා දෙන්නා විවෘතව දේවල් ගැන කතා කළා. සින්ඩි මෙහෙම කියනවා. “මගේ යාළුවන් එක්ක වැදගත් දේවල් ගැන කතාබහ කරලා මං ලැබුවේ ලොකු සතුටක්. මොකද ඒකෙන් එයාලව තවත් හොඳින් තේරුම්ගන්න මට පුළුවන් වුණා.” සින්ඩි වගේ ඔයාත් ඔයාට හිතෙන, හැඟෙන දේවල් ඔයාගේ යාළුවන් එක්ක බෙදාගන්න මුල් පියවර ගන්න. එයාලට හොඳින් ඇහුම්කන් දෙන්න. එතකොට ඔයාලා අතරේ තියෙන මිතුදම තව ශක්තිමත් වෙයි.—හිතෝ. 27:9.

එකට සේවය කරන්න

හොඳ යාළුවෝ එකට සේවයේ යනවා (10 ඡේදය බලන්න)

10. හිතෝපදේශ 27:17 අනුව අපි සහෝදර සහෝදරියන් එක්ක එකට සේවය කරද්දී වෙන්න පුළුවන් හොඳ දේවල් මොනවාද?

10 යෙරෙමියා සහ බාරුක් අද්දැක්කා වගේ අපිත් අපේ සහෝදර සහෝදරියන් එක්ක එකට සේවය කරද්දී එයාලට තියෙන ලස්සන ගුණාංග දකින්න අපිට පුළුවන්. එයාලගෙන් දේවල් ඉගෙනගන්නත් එයාලට තව කිට්ටු වෙන්නත් ඒකෙන් අපි පෙලඹෙනවා. (හිතෝපදේශ 27:17 කියවන්න.) ඔයා සේවයේ යද්දී ඔයාත් එක්ක සේවය කරන ඔයාගේ යාළුවා බය නැතුව එයාගේ විශ්වාසයන් ගැන මිනිසුන්ට කියද්දී, යෙහෝවා දෙවියන් ගැනත් ඔහුගේ අරමුණ ගැනත් ලොකු විශ්වාසයකින් කතා කරද්දී ඔයාට කොහොමද හැඟෙන්නේ? කිසිම සැකයක් නැහැ ඔයාට එයා ගැන තියෙන ආදරේ තවත් වැඩි වෙයි.

11-12. අපේ යාළුවන් එක්ක දේශනා සේවයේ හවුල් වෙද්දී අපි අතරේ තියෙන බැඳීම් තව ශක්තිමත් වෙන්නේ කොහොමද කියලා පැහැදිලි වෙන අද්දැකීමක් කියන්න.

11 සේවයේ එකට හවුල් වෙද්දී එකිනෙකා අතරේ තියෙන බැඳීම් තව ශක්තිමත් වෙනවා කියලා පැහැදිලි වෙන අද්දැකීම් දෙකක් බලන්න. වයස 23ක සහෝදරියක් වන ඇඩලයින් එයාගේ යාළුවෙක් වුණ කැන්ඩිස්ගෙන් ඇහුවා ප්‍රචාරකයන් අඩු පළාතකට සේවය කරන්න යමුද කියලා. “අපිට ඕනෙ වුණේ අපේ උද්‍යෝගය වැඩි කරගෙන සේවයෙන් ලබන සතුට තව වැඩි කරගන්න. දිගටම දෙවියන්ට අපේ උපරිමය දෙන්න දිරිගැන්වීමක් අපි දෙන්නාටම ඕනෙ වෙලයි තිබුණේ” කියලා ඇඩලයින් කිව්වා. එකට කරපු සේවයෙන් ඒ දෙන්නා ප්‍රයෝජන ලැබුවේ කොහොමද? ඇඩලයින් මෙහෙම කියනවා. “මිනිසුන් එක්ක කතා කරද්දී අපිට හැඟුණ විදිහ ගැන, දිරිගැන්වුණ විදි ගැන අපි දෙන්නා හැම දවසක් අවසානයේ කතා කළා. සේවේදී යෙහෝවා දෙවියන් අපිට මඟ පෙන්නනවා කියලා අපිට දැනුණ අවස්ථා ගැනත් අපි කතා කළා. ඒ කතාබහෙන් අපි දෙන්නාම ලොකු සතුටක් ලැබුවා. එකිනෙකාව තව හොඳින් හඳුනගන්නත් ඒක අපිට උදව් වුණා.”

12 ප්‍රංශයේ ජීවත් වෙන ලයිලා සහ මේරිඈන් තනිකඩ සහෝදරියන් දෙන්නෙක්. එයාලා සති පහකට මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවේ අගනුවර වුණ බැන්ගුයිවල සේවය කරන්න ගියා. ලයිලා මෙහෙම කියනවා. “මේරිඈන්ටයි, මටයි අභියෝග තිබුණා. ඒත් අපි දෙන්නා විවෘතව අදහස් හුවමාරු කරගත්තා. එකිනෙකාට ආදරෙන් සැලකුවා. ඒ නිසා අපේ යාළුකම තවත් වැඩි වුණා. මේරිඈන් අලුත් තත්වයන්වලට ඉක්මනින්ම හැඩගැහුණු විදිහ, ඒ රටේ අයට එයා ආදරෙන් සලකපු විදිහ, උද්‍යෝගයෙන් සේවේ කරපු විදිහ දැක්කාම එයා ගැන මට තිබුණ අගය තවත් වැඩි වුණා.” එයාලා ලබපු ප්‍රයෝජන අද්දකින්න ඔයා වෙන රටකට සේවය කරන්න යන්න ඕනෙ නැහැ. ඔයාගේ ප්‍රදේශයේ ඔයා සහෝදරයෙක් හෝ සහෝදරියක් එක්ක සේවයේ යන හැම වතාවකම එයාව තවත් හොඳින් හඳුනගන්නත් ඔයාලා අතරේ තියෙන බැඳීම තව ශක්තිමත් කරගන්නත් ඔයාට අවස්ථාව ලැබෙනවා.

හොඳ දකින්න උත්සාහ කරන ගමන් හදවතින්ම සමාව දෙන්න

13. යාළුවන් එක්ක කිට්ටුවෙන් වැඩ කරද්දී එන අභියෝගය මොකක්ද?

13 යාළුවෝ එක්ක කිට්ටුවෙන් වැඩ කරද්දී එයාලගේ දුර්වල පැති අපි දකිනවා. එයාලා අතින් අඩුපාඩු වුණත් දිගටම එයාලගේ කිට්ටු යාළුවන් වෙලා ඉන්න අපිට පුළුවන් කොහොමද? යෙරෙමියාගේ ආදර්ශය අපි ආයෙත් බලමු. යාළුවන් අතින් වුණ අඩුපාඩුකම්වලට සමාව දීලා එයාලගේ හොඳ පැති දකින්න එයාට උදව් වුණේ මොකක්ද?

14. යෙහෝවා දෙවියන් ගැන යෙරෙමියා ඉගෙනගත්තේ මොනවාද? ඒක එයාට උදව් වුණේ කොහොමද?

14 යෙරෙමියා පොතත් බොහෝදුරට 1වෙනි සහ 2වෙනි රාජාවලිය පොත් දෙකත් ලිව්වේ යෙරෙමියා. ඒවා ලියද්දී පාපය උරුම කරගත්ත මිනිසුන්ට යෙහෝවා දෙවියන් කොයි තරම් දයාවක් පෙන්නුවාද කියලා යෙරෙමියා තේරුම්ගන්න ඇති. උදාහරණෙකට ආහබ් රජ එයා කරපු වැරදි ගැන පසුතැවුණ නිසා දෙවියන් එයාගේ පවුල පිටට ගෙනාපු විපත එයාගේ ජීවිත කාලෙදී ගෙනාවේ නැහැ කියලා යෙරෙමියා දැනන් හිටියා. (1 රාජා. 21:27-29) යෙරෙමියා දැනන් හිටියා ආහබ්ටත් වඩා බරපතළ වැරදි මනස්සේ රජු කළා කියලා. ඒත් එයා පසුතැවුණ නිසා යෙහෝවා දෙවියන් එයාට සමාව දුන්නා. (2 රාජා. 21:16, 17; 2 ලේක. 33:10-13) යාළුවෝ එක්ක වැඩ කරද්දී යෙහෝවා දෙවියන් වගේ ඉවසීමෙන් සහ දයානුකම්පාවෙන් එයාලට සලකන්න ඒ වාර්තා යෙරෙමියාට උදව් වෙන්න ඇති.—ගීතා. 103:8, 9.

15. බාරුක්ගේ අවධානය වෙන පැත්තකට යොමු වුණාම යෙරෙමියා එයාත් එක්ක ඉවසීමෙන් වැඩ කළේ කොහොමද?

15 එක අවස්ථාවක බාරුක් එයා කරකර හිටපු පැවරුමට වඩා වෙන දේවලට වැඩි අවධානයක් දෙන්න පටන්ගත්තා. ඒ වෙලාවේ යෙරෙමියා හිතුවේ නැහැ ‘බාරුක් ආයෙත් නම් එයාගේ පැවරුමට අවධානය දෙන එකක් නැහැ’ කියලා. ඒ වෙනුවට දෙවියන් බාරුක්ට ආදරෙන් ඒත් ඍජුව දුන්න උපදෙස් යෙරෙමියා එයාට කිව්වා. (යෙරෙ. 45:1-5) ඒ සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

හොඳ යාළුවෝ කැමැත්තෙන්ම සමාව දෙනවා (16 ඡේදය බලන්න)

16. හිතෝපදේශ 17:9 පෙන්නන විදිහට මිතුදම් දිගටම රැකගන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?

16 සහෝදර සහෝදරියන් හැම දෙයක්ම හරියටම කරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා අපි කෙනෙක් එක්ක කිට්ටු යාළුකමක් ඇති කරගත්තාම ඒ යාළුකම දිගටම තියාගන්න අපේ පැත්තෙන් වෑයමක් දරන්න ඕනේ. යාළුවන් අතින් වරදක් වුණොත් බයිබලේ යොදාගෙන ආදරෙන් එයාලව නිවැරදි කරන්න ඕනේ. (ගීතා. 141:5) එයාලා අපේ හිත රිදෙන දෙයක් කළොත් අපි එයාලට සමාව දෙන්න ඕනේ. සමාව දුන්නාට පස්සේ ඒ වරද ගැන ආයේ ආයේ එයාලා එක්කවත් වෙන අය එක්කවත් කතා නොකර ඉන්න ඕනේ. (හිතෝපදේශ 17:9 කියවන්න.) අපි අපේ සහෝදර සහෝදරියන්ගේ අඩුපාඩුකම්වලට අවධානය දෙනවා වෙනුවට එයාලගේ හොඳ පැතිවලට වැඩි අවධානයක් දෙන එක කොච්චර වටිනවාද! එහෙම කරද්දී අපිට එයාලා එක්ක තියෙන යාළුකම තව ශක්තිමත් කරගන්න පුළුවන්. ඒක දැන්ම කරන එක හුඟක් වැදගත්. මොකද මහත් පීඩාව කාලෙදී අපිට කිට්ටු යාළුවන් ඕනෙමයි.

සදා නොමියන ආදරයක් ඇති කරගන්න

17. යෙරෙමියා හොඳ යාළුවෙක් කියලා අමාරු අවස්ථාවලදී ඔප්පු කළේ කොහොමද?

17 තමන් හොඳ යාළුවෙක් කියලා අමාරු කාලවලදී යෙරෙමියා ඔප්පු කරලා පෙන්නුවා. උදාහරණෙකට යෙරෙමියාව මඩ පිරුණු ළිඳකට දාලා මැරෙන්න ඇරලා තියෙද්දී රජමාලිගාවේ සේවය කරපු ඒබෙද්-මෙලෙක් එයාව බේරගත්තා. ඒ නිසා අධිපතීන් තමන්ට හානියක් කරයි කියලා ඒබෙද්-මෙලෙක් හිටියේ බයෙන්. ඒ ගැන දැනගද්දී යෙරෙමියා හිටියේ හිරේ. ඒත් එයා හිතුවේ නැහැ ‘ඒබෙද්-මෙලෙක්ට උදව් කරන්න මට කරන්න දෙයක් නෑ. එයා ඒ පීඩාව කොහොමහරි දරාගනියි’ කියලා. ඒ වෙනුවට යෙරෙමියා යෙහෝවා දෙවියන් දීලා තියෙන පොරොන්දුව ගැන කියලා ඒබෙද්-මෙලෙක්ව සැනසුවා.—යෙරෙ. 38:7-13; 39:15-18.

හොඳ යාළුවෝ සහෝදර සහෝදරියන්ට උදව්වක් ඕනෙම කරන වෙලාවලදී එයාලට උදව් කරන්න ඉදිරිපත් වෙනවා (18 ඡේදය බලන්න)

18. යාළුවෙක් දුෂ්කර දේකට මුහුණ දෙද්දී හිතෝපදේශ 17:17 අනුව අපි කරන්න ඕනෙ මොකක්ද?

18 අද අපේ සහෝදර සහෝදරියන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙනවා. හුඟක් අය ස්වාභාවික විපත්වලට මුහුණ දෙනවා. නැත්නම් ත්‍රස්තවාදී ප්‍රහාර, අපරාධ, යුද්ධ වගේ දේවල් නිසා දුෂ්කරතා අද්දකිනවා. ඒ වගේ දේවලට මුහුණ දෙන සහෝදරයන්ට නවාතැන් දෙන්න අපෙන් සමහරුන්ට පුළුවන්. තවත් අයට පුළුවන් මුදල්වලින් එයාලට උදව් කරන්න. ඒත් අපි හැමෝටම පුළුවන් අපේ සහෝදර සහෝදරියන්ට උදව් කරන්න කියලා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්න. සහෝදරයෙක් හෝ සහෝදරියක් අධෛර්යය වෙලා කියලා අපිට දැනගන්න ලැබුණාම එයාට කියන්නේ මොනවාද, කරන්නේ මොනවාද කියලා සමහරවිට අපිට හිතාගන්න බැරි වෙයි. ඒත් එයාට උදව් කරන්න අපි හැමෝටම පුළුවන්. උදාහරණෙකට අපිට පුළුවන් එයා එක්ක කාලේ ගත කරන්න. එයා හිතේ තියෙන දේවල් කියද්දී එයාට ඇහුම්කන් දීලා එයාව තේරුම්ගන්න අපිට පුළුවන්. අපිට සහනයක් වුණ බයිබල් පදයක් එයාත් එක්ක බෙදාගන්නත් පුළුවන්. (යෙසා. 50:4) වැදගත්ම දේ තමයි ඔයාගේ යාළුවාට උදව් ඕනෙම කරන වෙලාවේ එයාට උදව් කරන්න ඔයා ලෑස්ති පිට ඉන්න එක.—හිතෝපදේශ 17:17 කියවන්න.

19. මේ කාලේ කිට්ටු මිතුදම් ඇති කරගන්න එක අනාගතයේදී අපිට උදව් වෙන්නේ කොහොමද?

19 අපේ සහෝදර සහෝදරියන් එක්ක කිට්ටු බැඳීම් ඇති කරගෙන ඒවා දිගටම රැකගන්න දැන් අපි අදිටන් කරගමු. මොකද අපේ සතුරන් බොරු කටකතා, වැරදි තොරතුරු පතුරුවලා අපි අතරේ බෙදීම් ඇති කරන්න උත්සාහ කරයි. අපිට අපේ සහෝදර සහෝදරියන් ගැන තියෙන විශ්වාසය කඩන්න හදයි. ඒත් එයාලා සාර්ථක වෙන්නේ නැහැ. අපේ යාළුවෝ ගැන අපිට තියෙන ආදරේ නැති කරන්න එයාලට බැහැ. එයාලා කරන කිසිම දෙයක් නිසා අපි අතරේ තියෙන මිතුදම් කැඩෙන්නේ නැහැ. මේ දුෂ්ට සමාජය අවසන් වුණත් අපි අතරේ තියෙන මිතුදම් සදහටම පවතිනවා.

ගීතිකාව 24 එන්න දෙවිගේ කන්දට

^ 5 ඡේ. අවසානයට දවසින් දවස ළං වෙන මේ කාලේ සහෝදර සහෝදරියන් එක්ක තියෙන මිතුදම් අපි ශක්තිමත් කරගන්න ඕනේ. ඒ ගැන යෙරෙමියාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලත් අනිත් අය එක්ක තියෙන බැඳීම් තව ශක්තිමත් කරගන්න එක දුෂ්කර කාලවලදී අපිට උදව් වෙන්නේ කොහොමද කියලත් බලමු.

^ 2 ඡේ. යෙරෙමියා පොතේ සිද්ධීන් ලියලා තියෙන්නේ ඒවා සිද්ධ වුණ අනුපිළිවෙළට නෙමෙයි.

^ 57 ඡේ. පින්තූරවල අදහස: මේ පින්තූරයෙන් පෙන්නන්නේ “මහත් පීඩාව” අතරතුරේ වෙන්න පුළුවන් දෙයක්. සහෝදර සහෝදරියන් කීපදෙනෙක් ගෙදරක පොඩි කාමරේක ආරක්ෂාකාරීව ඉන්නවා. එයාලා හොඳ යාළුවන් නිසා ඒ අමාරු කාලේදී එකිනෙකාව සනසන්න එයාලට පුළුවන්. මේ අවස්ථා තුනෙන් පෙන්නන්නේ ඒ සහෝදර සහෝදරියන් එයාලා අතරේ තියෙන මිතුදම් ශක්තිමත් කරගෙන තියෙන්නේ මහත් පීඩාව පටන්ගන්න කාලෙකට කලින් කියලයි.