Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 47

ලෙවී කතාව පොතෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම්

ලෙවී කතාව පොතෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම්

‘මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි. එය ප්‍රයෝජනවත්ය.’—2 තිමෝ. 3:16.

ගීතිකාව 98 දෙවිගේ බලයෙන් ලියැවුණ වදන්

මේ ලිපියෙන් *

1-2. ලෙවී කතාව පොතේ තියෙන තොරතුරු ගැන ක්‍රිස්තියානීන් වන අපි උනන්දු වෙන්න ඕනෙ ඇයි?

පාවුල් තරුණ වයසේ හිටපු තිමෝතිට කිව්වා ‘මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි. එය ප්‍රයෝජනවත්ය’ කියලා. (2 තිමෝ. 3:16) ලෙවී කතාව පොතත් ඒ ලියවිල්ලට ඇතුළත්. ඒ පොත ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද? සමහරු හිතනවා ඒක නිකම්ම නීති ඇතුළත් පොතක් නිසා ඒක අදට ගැළපෙන්නේ නැහැ කියලා. ඒත් සැබෑ ක්‍රිස්තියානීන් එහෙම හිතන්නේ නැහැ.

2 ලෙවී කතාව පොත ලිව්වේ මීට අවුරුදු 3,500කට විතර කලින් වුණත් යෙහෝවා දෙවියන් ඒක ආරක්ෂා කරලා තිබ්බා. ඒ ඒකෙන් අපිට යමක් ඉගෙනගන්නයි. (රෝම 15:4) සමහර කාරණා ගැන යෙහෝවා දෙවියන් හිතන්නේ කොහොමද කියලා තේරුම්ගන්න ඒ පොත අපිට උදව් වෙනවා. ඒ නිසා ඒ පොතේ තියෙන තොරතුරු ගැන ඉගෙනගන්න අපි තුළ ආසාවක් ඇති වෙන්න ඕනේ. ලෙවී කතාව පොතෙන් අපිට ගොඩක් පාඩම් ඉගෙනගන්න පුළුවන්. ඒ වගේ පාඩම් 4ක් ගැන දැන් බලමු.

යෙහෝවා දෙවියන්ගේ අනුමැතිය දිනාගන්න නම් . . .

3. අවුරුද්දකට සැරයක් සමඟි වීමේ දවසේදී පූජාවන් ඔප්පු කළේ ඇයි?

3 පළවෙනි පාඩම: යෙහෝවා දෙවියන් අපේ පූජාවන් පිළිගන්න නම් ඔහුගේ අනුමැතිය අපිට තියෙන්න ඕනේ. හැම අවුරුද්දකම සමඟි වීමේ දවසේදී ඊශ්‍රායෙල් ජාතියට අයිති හැමෝම එකට රැස් වුණා. ඊටපස්සේ උත්තම පූජකයා සත්ව පූජා ඔප්පු කළා. ඒ පූජාවන් සෙනඟට මතක් කළා එයාලගේ වැරදිවලට සමාව ලබාගන්න ඕනෙ කියන දේ. එදා ඔප්පු කරන සත්ව පූජාවල ලේ අතිශුද්ධස්ථානයට අරන් යන්න කලින් උත්තම පූජකයා කරන්න ඕනෙ වැදගත් දෙයක් තිබුණා. ඒක සෙනඟගේ පාපවලට සමාව ලබාගන්නවාටත් වඩා වැදගත්.

(4 ඡේදය බලන්න) *

4. ලෙවී කතාව 16:12, 13 අනුව සමඟි වීමේ දවසේදී උත්තම පූජකයා අතිශුද්ධස්ථානයට ගිය මුල්ම අවස්ථාවේදී කළේ මොනවාද? (කවරයේ පින්තූරය බලන්න.)

4 ලෙවී කතාව 16:12, 13 කියවන්න. සමඟි වීමේ දවසේදී වුණ මේ දේ හිතින් මවාගන්න. උත්තම පූජකයා ශුද්ධ කූඩාරමට ඇතුල් වෙනවා. ඒ විශේෂ දවසේදී එයා අතිශුද්ධස්ථානයට තුන් වතාවක් ඇතුල් වෙන්න ඕනේ. මේ පළවෙනි වතාවයි. එයාගේ එක අතක සුවඳ ද්‍රව්‍ය පිරුණු භාජනයක්ද අනිත් අතේ ඇවිළෙමින් තිබුණ ගිනි අඟුරු දාපු සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන රන් භාජනයක්ද තියෙනවා. අතිශුද්ධස්ථානයට ඇතුල් වෙන තැන තියෙන තිරය ළඟ එයා ටිකක් නතර වෙනවා. ඊටපස්සේ එයා ගැඹුරු ගෞරවයක් ඇතුව අතිශුද්ධස්ථානයට ඇතුල් වෙලා ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ හිටගන්නවා. සංකේතවත් අර්ථයෙන් උත්තම පූජකයා දැන් ඉන්නේ යෙහෝවා දෙවියන් ඉදිරියේ. ඊටපස්සේ එයා පරෙස්සමින් සුවඳ ද්‍රව්‍ය අරන් ගිනි අඟුරු තියෙන භාජනයට දානවා. එතකොට මුළු අතිශුද්ධස්ථානයම මිහිරි සුවඳකින් පිරී යනවා. * පස්සේ පාප පූජාවන්ට ඔප්පු කරන සතුන්ගේ ලේ අරන් එයා ආයෙත් අතිශුද්ධස්ථානයට ඇතුල් වෙනවා. උත්තම පූජකයා සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන්නේ සතුන්ගේ ලේ ඔප්පු කරන්න කලින්.

5. සමඟි වීමේ දවසේදී සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරපු එකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

5 සමඟි වීමේ දවසේදී සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරපු එකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? යෙහෝවා දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන් කරන යාච්ඤා සුවඳ ද්‍රව්‍ය වගේ කියලා බයිබලේ කියනවා. (ගීතා. 141:2; එළි. 5:8) උත්තම පූජකයා යෙහෝවා දෙවියන් ඉදිරියට සුවඳ ද්‍රව්‍ය අරන් ගියේ ගැඹුරු ගෞරවයක් ඇතුවයි. ඒ වගේ අපිත් යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරද්දී ඒක කරන්න ඕනෙ ලොකු ගෞරවයකින්. තාත්තා කෙනෙක් එයාගේ පුතාට එයා ළඟට එන්න ඉඩ දෙනවා වගේ මේ මුළු විශ්වයේම නිර්මාතෘ වන යෙහෝවා දෙවියන් යාච්ඤාවෙන් ඔහුත් එක්ක කතා කරන්න, ඔහුට ළං වෙන්න අපිට අවස්ථාව දීලා තියෙන එක අපි කොයි තරම් අගය කරනවාද! (යාකො. 4:8) ඔහු අපිව ඔහුගේ යාළුවන් විදිහට පිළිගන්නවා. (ගීතා. 25:14) අපිට ලැබිලා තියෙන ඒ වරප්‍රසාදය අපි කොච්චර අගය කරනවාද කියනවා නම් ඔහු අසතුටු වෙන කිසිම දෙයක් අපි කරන්නේ නැහැ.

6. උත්තම පූජකයා සතුන්ගේ ලේ ඔප්පු කරන්න කලින් සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරපු එකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

6 උත්තම පූජකයා පූජාවන් ඔප්පු කරන්න කලින් සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන්න ඕනේ. මුලින්ම සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන එකෙන් එයා ස්ථිර කරගත්තා දෙවියන්ගේ අනුමැතිය එයාට තියනවා කියලා. අපිට ඒකෙන් ඉගෙනගන්න පුළුවන් මොකක්ද? තමන්ගේ ජීවිතේ පූජාවක් හැටියට ඔප්පු කරන්න කලින් යේසුස්ට කරන්න වැදගත් දෙයක් තිබුණා. ඒ දේ මිනිසුන්ව පාපයෙන් සහ මරණයෙන් ගලවගන්නවාට වඩා වැදගත් දෙයක්. ඒ මොකක්ද? පොළොවේ ජීවත් වුණ කාලේ පුරාම දෙවියන්ට කීකරු වෙලා තමන් දෙවියන්ට ළැදියි කියලා යේසුස් ඔප්පු කරන්න ඕනේ. එහෙම කළොත් තමයි යෙහෝවා දෙවියන් යේසුස්ගේ ජීවිත පූජාව පිළිගන්නේ. දෙවියන්ට කීකරු වෙන එකෙන් යේසුස් පෙන්නනවා දෙවියන් කියන විදිහට ජීවත් වෙන එක තමයි හොඳම විදිහ කියලා. ඔහු පාලනය කරන විදිහ සාධාරණයි, ඔහුගේ පාලනය තමයි හොඳම පාලනය කියලත් ඒකෙන් ඔප්පු වෙනවා.

7. යේසුස් ගැන යෙහෝවා දෙවියන් සතුටු වුණේ ඇයි?

7 පොළොවේ ජීවත් වුණ කාලේ පුරාම යේසුස් යෙහෝවා දෙවියන්ට 100%ක්ම කීකරු වුණා. යේසුස්ගේ අධිෂ්ඨානය වුණේ තමන්ගේ පියා පාලනය කරන විදිහ තමයි හොඳම විදිහ කියලා ඔප්පු කරන එක. වරදක් කරන්න ඔහුව පොලඹවන්න හැදුවත් ඔහුට දුෂ්කරතා විඳින්න වුණත් වේදනාකාරී මරණයක් අද්දකින්න වෙනවා කියලා ඔහු දැනන් හිටියත් ඔහුට තිබුණ අධිෂ්ඨානය බිඳින්න ඒ කිසිම දේකට බැරි වුණා. (ෆිලි. 2:8) අමාරු අවස්ථාවලට මුහුණ දෙද්දී ඔහු “බලවත් ලෙස හඬා වැලපෙමින් කඳුළු සලමින්” දෙවියන්ට යාච්ඤා කළා. (හෙබ්‍රෙ. 5:7) අවංක හදවතින් ඔහු කරපු යාච්ඤාවලින් පැහැදිලි වුණා දෙවියන්ට ඔහු ළැදියි කියලා. ඒ යාච්ඤා ඔහුට උදව් වුණා හැම කාරණයකදීම දෙවියන්ට කීකරු වෙන්න. යේසුස් කරපු යාච්ඤා හරියට සුවඳ ද්‍රව්‍යවලින් නැඟුණ මිහිරි සුවඳක් වගෙයි දෙවියන්ට හැඟුණේ. යේසුස් පොළොවේ ගත කරපු ජීවිතේ ගැන යෙහෝවා දෙවියන් හුඟක් සතුටු වුණා වගේම දෙවියන්ගේ පාලනය හොඳම පාලනය කියලා ඒකෙන් ඔප්පු වුණා.

8. යේසුස් ජීවත් වුණ විදිහ ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

8 යෙහෝවා දෙවියන්ට කීකරු වෙලා ඔහුට ළැදිව ජීවත් වෙන්න අපි උපරිම උත්සාහයක් ගන්නවා නම් අපිටත් පුළුවන් යේසුස්ව ආදර්ශයට ගන්න. අපේ විශ්වාසය සෝදිසියට ලක් වෙන අවස්ථාවලදී අපි යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලලා ඔහුට කන්නලව් කරනවා. මොකද අපිට ඕනෙ ඔහු සතුටු වෙන දේ කරන්නයි. එහෙම කරද්දී අපි පෙන්නන්නේ යෙහෝවා දෙවියන් පාලනය කරන විදිහ ගැන අපි සතුටුයි කියලා. ඔහු අකමැති දේවල් අපි කරනවා නම් ඔහු අපේ යාච්ඤා පිළිගන්නේ නැහැ කියලා අපි තේරුම් අරන් ඉන්නවා. ඒත් ඔහු කැමති විදිහට අපි ජීවත් වෙනවා නම් අපේ යාච්ඤා දෙවියන් සලකන්නේ සුවඳ ද්‍රව්‍යවලින් නැඟෙන මිහිරි සුවඳක් වගේ කියලා අපි දන්නවා. අපේ කීකරුකම, ළැදිකම ගැන ඔහු ගොඩක් සතුටු වෙනවා කියලා අපිට නිසැකයි.—හිතෝ. 27:11.

හද පිරි අගයෙන්, ආදරෙන් පෙලඹිලයි අපි දෙවියන්ට සේවය කරන්නේ

(9 ඡේදය බලන්න) *

9. හවුල් පූජා ඔප්පු කළේ ඇයි?

9 දෙවෙනි පාඩම: යෙහෝවා දෙවියන් ගැන අපේ හිතේ තියෙන අගය නිසයි අපි ඔහුට සේවය කරන්නේ. ඊශ්‍රායෙල්වරු ඔප්පු කරපු හවුල් පූජා ගැන බලද්දී අපිට ඒ පාඩම තේරුම්ගන්න පුළුවන්. * ඊශ්‍රායෙල් ජාතිකයෙක්ට ‘තම ස්තුතිය දෙවියන්ට ප්‍රකාශ කරන්න’ හවුල් පූජා ඔප්පු කරන්න පුළුවන් කියලා ලෙවී කතාව පොතේ සඳහන් වෙනවා. (ලෙවී. 7:11-13, 16-18) කෙනෙක් හවුල් පූජවක් ඔප්පු කළේ ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ දෙයක් නිසා නෙමෙයි. යෙහෝවා දෙවියන් ගැන එයාට තිබුණ ආදරේ නිසා එයා ඒක ඔප්පු කළේ කැමැත්තෙන්මයි. පූජාවක් විදිහට ඔප්පු කරන සතාගේ මස් ඒක ඔප්පු කරන කෙනා, එයාගේ පවුලේ අය සහ පූජකයන් කෑවා. ඒත් ඒ සතාගේ සමහර කොටස් යෙහෝවා දෙවියන් වෙනුවෙන්ම වෙන් කළා.

(10 ඡේදය බලන්න) *

10. හවුල් පූජා ගැන ලෙවී කතාව 3:6, 12, 14-16 කරලා තියෙන විස්තරයෙන් යේසුස් යෙහෝවා දෙවියන්ට සේවය කරපු චේතනාව පැහැදිලි වෙන්නේ කොහොමද?

10 තුන්වෙනි පාඩම: අපේ හොඳම දේ අපි යෙහෝවා දෙවියන්ට දෙන්නේ ඔහුට අපි ආදරේ නිසයි. යෙහෝවා දෙවියන් සතෙකුගේ තෙල් කොටස් සැලකුවේ ඒ සතාගේ හොඳම කොටස් විදිහටයි. සතෙකුගේ වකුගඩු ඇතුළුව සමහර අවයවයනුත් වටින දේවල් විදිහට සලකනවා කියලා දෙවියන් කිව්වා. (ලෙවී කතාව 3:6, 12, 14-16 කියවන්න.) ඊශ්‍රායෙල් ජාතිකයෙක් කැමැත්තෙන්ම සතෙකුගේ ඒ අවයව සහ තෙල් කොටස් දෙවියන්ට පූජා කරද්දී යෙහෝවා දෙවියන් ඒ ගැන හුඟක් සතුටු වුණා. කෙනෙක් ඒ වගේ පූජාවක් ඔප්පු කළේ හොඳම දේ දෙවියන්ට දෙන්න තිබුණ ආසාව නිසයි. යේසුත් දෙවියන්ට තියෙන ආදරේ නිසා දෙවියන් වෙනුවෙන් ඔහුට කරන්න පුළුවන් හැම දේම කැමැත්තෙන්ම කළා. (යොහ. 14:31) එහෙම කරලා යේසුස් ලොකු සතුටක් ලැබුවා. දෙවියන්ගේ නීතියට ඔහු හදවතින්ම ඇලුම් කළා. (ගීතා. 40:8) යේසුස් කැමැත්තෙන්ම සේවය කරන විදිහ දැක්කාම යෙහෝවා දෙවියන් මොන තරම් සතුටු වෙන්න ඇද්ද!

අපේ හොඳම දේ අපි යෙහෝවා දෙවියන්ට දෙන්නේ ඔහුට අපි ආදරේ නිසයි (11 සහ 12 ඡේද බලන්න) *

11. දෙවියන්ට අපි කරන සේවය හවුල් පූජා වගේ වෙන්නේ කොහොමද? ඒක අපිට සහනයක් වෙන්නේ කොහොමද?

11 අපි දෙවියන්ට කරන සේවය හවුල් පූජා වගේ. මොකද අපිට දෙවියන් ගැන හැඟෙන විදිහ ඒකෙන් පේනවා. අපි යෙහෝවා දෙවියන්ට මුළු හදවතින්ම ආදරේ කරන නිසයි අපේ හොඳම දේ ඔහු වෙනුවෙන් දෙන්නේ. ලෝකේ පුරා ඉන්න මිලියන ගාණක් දෙවියන්ට තියෙන ආදරේ නිසාත් ඔහුගේ ප්‍රමිති ගැන තියෙන අගය නිසාත් ඔහුට කැමැත්තෙන්ම නමස්කාර කරනවා දකිද්දී දෙවියන් මොන තරම් සතුටු වෙනවා ඇද්ද! යෙහෝවා දෙවියන් අපි ඔහු වෙනුවෙන් කරන දේවල් වගේම අපි ඒක කරන්නේ ඇයි කියලත් දකිනවා. ඒක අපිට සහනයක්. උදාහරණෙකට ඔයා මහලු කෙනෙක් නම් ඔයා කැමති තරම් සේවයක් කරන්න දැන් බැරුව ඇති. ඔයාගේ තත්වය දෙවියන් තේරුම්ගන්නවා. දෙවියන් වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් පොඩි දෙයක් විතරයි කියලා ඔයාට හිතුණත් ඔයා ඒක කරන්නේ දෙවියන් ගැන ඔයාට තියෙන ආදරේ නිසයි කියලා ඔහු දකිනවා. ඔයාට පුළුවන් උපරිමය ඔයා කරද්දී ඔහු ඒක පිළිගන්නේ හරිම සතුටින්.

12. හවුල් පූජා ගැන යෙහෝවා දෙවියන්ට හැඟුණේ කොහොමද? ඒක අපිට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද?

12 හවුල් පූජාවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? සතෙකුගේ හොඳම කොටස් ගින්නෙන් දැවෙද්දී ඒ දුම ඉහළට නැඟුණා. ඒක යෙහෝවා දෙවියන් සැලකුවේ ප්‍රසන්න දෙයක් විදිහට. ඔයාත් කැමැත්තෙන්ම ඔයාගේ උපරිමය දෙද්දී දෙවියන් සතුටු වෙනවා කියලා ඔයාට නිසැක වෙන්න පුළුවන්. (කොලො. 3:23) යෙහෝවා දෙවියන් ඔයා දිහා සතුටින් බලන් ඉන්න විදිහ හිතින් මවාගන්න. ඔයා දෙවියන් වෙනුවෙන් කරන දේ ලොකු දෙයක් වුණත් පොඩි දෙයක් වුණත් දෙවියන්ට ඒක හුඟක් වටිනවා. ඒක දෙවියන් හැමදාටම මතක තියාගන්නවා.—මතෙ. 6:20; හෙබ්‍රෙ. 6:10.

යෙහෝවා දෙවියන් ඔහුගේ සංවිධානයට ආශීර්වාද කරනවා

13. ලෙවී කතාව 9:23, 24 අනුව පූජකයන් හැටියට පත් කරපු අයව තමන් පිළිගන්නවා කියලා යෙහෝවා දෙවියන් පෙන්නුවේ කොහොමද?

13 හතරවෙනි පාඩම: යෙහෝවා දෙවියන්ගේ සංවිධානයේ පොළොවේ තියෙන කොටසට ඔහු ආශීර්වාද කරනවා. ක්‍රි.පූ. 1512දී සීනයි කන්ද පාමුල ශුද්ධ කූඩාරම හදලා අවසන් වුණාට පස්සේ වුණ දේ බලන්න. (නික්. 40:17) ආරොන්වත් එයාගේ පුතාලවත් පූජකයන් විදිහට පත් කරපු අවස්ථාවේදී මූලිකත්වය අරන් වැඩ කළේ මෝසෙස්. පූජකයන් පළවෙනි වතාවට සත්ව පූජාවන් ඔප්පු කරන විදිහ බලන්න එදා මුළු ඊශ්‍රායෙල් ජාතියම එතනට රැස් වුණා. (ලෙවී. 9:1-5) පූජකයන් විදිහට පත් කරපු අයව තමන් පිළිගන්නවා කියලා යෙහෝවා දෙවියන් පෙන්නුවේ කොහොමද? ආරොන් සහ මෝසෙස් සෙනඟට ආශීර්වාද කළාට පස්සේ යෙහෝවා දෙවියන් ස්වර්ගයෙන් ගින්නක් එවලා පූජාසනය මත තිබුණ පූජාවන් සම්පූර්ණයෙන්ම දවා දැමුවා.—ලෙවී කතාව 9:23, 24 කියවන්න.

14. ආරොන්ව සහ එයාගේ පුතාලව පූජකයන් හැටියට දෙවියන් පිළිගත්ත එක අපිට වැදගත් ඇයි?

14 යෙහෝවා දෙවියන් ස්වර්ගයෙන් එවපු ගින්නෙන් පැහැදිලි වුණේ මොකක්ද? දෙවියන් ඒකෙන් පෙන්නුවේ පූජකයන් විදිහට සේවය කරන්න ඔහු තෝරගත්ත ආරොන්ටයි, එයාගේ පුතාලටයි ඔහුගේ අනුමැතිය තියෙනවා කියලා. ඔහුගේ උදව් එයාලට ලැබෙනවා කියලත් ඔහු ඒකෙන් පෙන්නුවා. දෙවියන්ගේ අනුමැතිය ඒ පූජකයන්ට තියෙනවා කියලා දැක්කාම සෙනඟ තේරුම්ගත්තා එයාලත් පූජකයන්ට සහය දෙන්න ඕනෙ කියලා. ඒක අපිට වැදගත් ඇයි? එදා තිබුණ පූජක පන්තියෙන් ඊට වඩා ශ්‍රේෂ්ඨ පූජක පන්තියක් නියෝජනය වුණා. යෙහෝවා දෙවියන් අපි වෙනුවෙන් වඩා උතුම් උත්තම පූජකයෙකුව පත් කළා. ඒ යේසුස්. ඔහුත් එක්ක 1,44,000දෙනෙක් පූජකයන් සහ රජවරුන් විදිහට ස්වර්ගයේ සේවය කරන්න යනවා.—හෙබ්‍රෙ. 4:14; 8:3-5; 10:1.

යෙහෝවා දෙවියන් ඔහුගේ සංවිධානයට මඟ පෙන්නනවා, ආශීර්වාද කරනවා. අපි ඒ සංවිධානයට උපරිම සහය දෙනවා (15-17 ඡේද බලන්න) *

15-16. “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට” තමන්ගේ අනුමැතිය තියෙනවා කියලා යෙහෝවා දෙවියන් පෙන්නලා තියෙන්නේ කොහොමද?

15 1919දී යේසුස් අභිෂේක ලත් කුඩා පිරිසක්ව “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” විදිහට පත් කළා. දේශනා කිරීමේ කාර්යයේ මූලිකත්වය ගන්නෙත් යේසුස්ගේ අනුගාමිකයන්ට “නියම වේලාවට ආහාර” ලබා දෙන්නෙත් ඒ දාසයා. (මතෙ. 24:45) විශ්වාසවන්ත දාසයාට දෙවියන්ගේ අනුමැතිය තියෙනවා කියන්න සාක්ෂි ඔයා දකිනවාද?

16 විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කරන කාර්යය නවත්තන්න සාතනුත් එයාට සහය දෙන අයත් එයාලට පුළුවන් හැම දේම කරනවා. යෙහෝවා දෙවියන්ගේ උදව් දාසයාට ලැබුණේ නැත්නම් එයාලගේ කාර්යය එයාලට කොහොමටවත් කරන්න බැහැ. ලෝක මහා යුද්ධ දෙකකට මිනිසුන් මුහුණ දුන්නා. ලෝකේ පුරාම ආර්ථික අර්බුද තියෙනවා. දිගින් දිගටම දෙවියන්ගේ සෙනඟට විරුද්ධවාදිකම් එල්ල වෙනවා. එයාලට අසාධාරණ විදිහට සලකනවා. ඒ හැම දේම මැද දාසයා කිසිම අඩුවක් නැතුව යේසුස්ගේ අනුගාමිකයන්ට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා. කිසිම අය කිරීමක් නැතුව, භාෂා 900කට වැඩි ගාණකින් දාසයා අපිට කොයි තරම් ප්‍රකාශන ප්‍රමාණයක් දීලා තියෙනවාද! යෙහෝවා දෙවියන්ගේ උදව් දාසයාට තියෙනවා කියන්න ඒක ප්‍රබල සාක්ෂික්! එයාලට දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙනවා කියන්න තියෙන තවත් සාක්ෂියක් තමයි දේශනා කිරීමේ කාර්යය. ශුභාරංචිය “ජනාවාස වූ මුළු පොළොව පුරාම” දේශනා කරනවා. (මතෙ. 24:14) යෙහෝවා දෙවියන් ඔහුගේ සංවිධානයට මඟ පෙන්නනවා කියලත් ඒකට ආශීර්වාද කරනවා කියලත් පැහැදිලිව පේන්න තියෙනවා.

17. යෙහෝවා දෙවියන් යොදාගන්න සංවිධානයට අපේ සහය දෙන්න පුළුවන් කොහොමද?

17 ‘යෙහෝවා දෙවියන්ගේ සංවිධානයේ පොළොවේ තියෙන කොටසේ සාමාජිකයෙක් වෙන්න ලැබුණ එක මම අගය කරනවාද’ කියලා අපි හිතලා බලමු. අතීතයේදී යෙහෝවා දෙවියන් ස්වර්ගයෙන් ගින්නක් එවලා පෙන්නුවා ඔහු පත් කරපු අයට ඔහුගේ අනුමැතිය තියෙනවා කියලා. ඒ වගේ ඔහුගේ සංවිධානයට ඔහුගේ අනුමැතිය තියෙනවා කියලා යෙහෝවා දෙවියන් පැහැදිලිව පෙන්නලා තියෙනවා. (1 තෙස. 5:18, 19) යෙහෝවා දෙවියන් යොදාගන්න සංවිධානයට අපේ සහය දෙන්න පුළුවන් කොහොමද? අපේ ප්‍රකාශන, රැස්වීම් සහ සමුළු හරහා බයිබලෙන් අපිට ලැබෙන මඟ පෙන්වීම් අදාළ කරගන්නවා නම්, ශුභාරංචිය දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ කාර්යයේ උපරිමයෙන් හවුල් වෙනවා නම් සංවිධානයට සහය දෙන්න අපිට පුළුවන්.—1 කොරි. 15:58.

18. ඔයාගේ අධිෂ්ඨානය මොකක්ද?

18 ලෙවී කතාව පොතෙන් ඉගෙනගත්ත වටිනා පාඩම් ජීවිතේට අදාළ කරගන්න අපි අදිටන් කරගමු. අපිට ඕනෙ අපේ පූජාවන් දෙවියන් පිළිගන්නවා දකින්න. අපි යෙහෝවා දෙවියන්ට සේවය කරන්නේ ඔහු ගැන අපේ හිතේ තියෙන අගය නිසයි. අපේ හොඳම දේ අපි දිගටම ඔහුට දෙන්නේ මුළු හදවතින්ම ඔහුට ආදරේ කරන නිසයි. අපිට ඕනෙ දෙවියන්ගේ ආශීර්වාදය තියෙන ඔහුගේ සංවිධානයට සහය දෙන්නයි. ඒ හැම දේකින්ම අපි පෙන්නන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට ඔහුට සේවය කරන්න ලැබුණ වරප්‍රසාදය අපි හුඟක් අගය කරනවා කියලයි.

ගීතිකාව 96 දෙවිගේ ලියවිල්ල නිධානයකි

^ 5 ඡේ. ලෙවී කතාව පොතේ තියෙන්නේ යෙහෝවා දෙවියන් අතීතයේ හිටපු ඊශ්‍රායෙල්වරුන්ට දුන්න නීති. ක්‍රිස්තියානීන් වන අපි ඒ නීති පිළිපදින්න අවශ්‍ය නැතත් ඒ නීතිවලින් අදටත් ඉගෙනගන්න දේවල් තියෙනවා. ලෙවී කතාව පොතෙන් අපිට ඉගෙනගන්න පුළුවන් වටිනා පාඩම් ගැන මේ ලිපියෙන් බලමු.

^ 4 ඡේ. ශුද්ධ කූඩාරමේ ඔප්පු කරපු සුවඳ ද්‍රව්‍ය සැලකුවේ ශුද්ධ දෙයක් විදිහට. අතීතයේ හිටපු ඊශ්‍රායෙල්වරුන් යෙහෝවා දෙවියන්ට කරපු නමස්කාරයේදී විතරයි ඒවා පාවිච්චි කළේ. (නික්. 30:34-38) මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් නමස්කාරය සඳහා සුවඳ ද්‍රව්‍ය ඔප්පු කළා කියලා වාර්තා වෙන්නේ නැහැ.

^ 9 ඡේ. හවුල් පූජා ගැන තව විස්තර දැනගන්න 2012 ජනවාරි 15 ‘මුරටැඹ’ කලාපයේ 19 පි. 11 ඡේ. සහ Insight on the Scriptures පොතේ දෙවෙනි වෙළුමේ 526 පි. බලන්න.

^ 54 ඡේ. පින්තූරයේ අදහස: සමඟි වීමේ දවසේදී උත්තම පූජකයා සුවඳ ද්‍රව්‍ය සහ ගිනි අඟුරු අරන් අතිශුද්ධස්ථානයට ඇතුල් වුණාම මිහිරි සුවඳකින් අතිශුද්ධස්ථානය පිරී යනවා. පස්සේ පාප පූජාවන් සඳහා ඔප්පු කරන සතුන්ගේ ලේ අරන් එයා ආයෙත් අතිශුද්ධස්ථානයට යනවා.

^ 56 ඡේ. පින්තූරයේ අදහස: ඊශ්‍රායෙල් ජාතිකයෙක් යෙහෝවා දෙවියන් ගැන එයාටත් එයාගේ පවුලේ අයටත් තියෙන අගය නිසා බැටළුවෙකුව හවුල් පූජාවක් විදිහට ඔප්පු කරන්න පූජකයාට භාර දෙනවා.

^ 58 ඡේ. පින්තූරයේ අදහස: යේසුස් පොළොවේ සේවය කරපු කාලේදී දෙවියන්ගේ ආඥාවලට කීකරු වෙලා, ඒවාට කීකරු වෙන්න ඔහුගේ අනුගාමිකයන්ට උදව් කරලා යෙහෝවා දෙවියන්ට ඔහු ආදරෙයි කියලා පෙන්නුවා.

^ 60 ඡේ. පින්තූරයේ අදහස: මහලු වයසේ සහෝදරියක් අසනීප තත්වයේ හිටියත් ලිපි මාර්ගයෙන් සාක්ෂි දරලා එයාට පුළුවන් හොඳම දේ දෙවියන්ට දෙනවා.

^ 62 ඡේ. පින්තූරවල අදහස: පාලක මණ්ඩලයේ සේවය කරන සහෝදර ගෙරිට් ලෝෂ් සංශෝධනය කරපු ‘නව ලොව පරිවර්තනය’ ජර්මන් භාෂාවෙන් 2019 පෙබරවාරි මාසයේදී මුදාහැරියා. ජර්මනියේ ඉන්න ප්‍රචාරකයන් හැමෝම මේ සහෝදරියන් දෙන්නා වගේ ලොකු අගයක් ඇතුව ළඟදී මුදාහැරපු බයිබලය සේවයේදී පාවිච්චි කරනවා.