Skip to content

පටුනට යන්න

සත්‍යය හොයාගන්නේ කොහොමද?

සත්‍යය හොයාගන්නේ කොහොමද?

ඕනෑම කාරණයක් ගැන සත්‍යය දැනගෙන ඉන්න එක හරිම වැදගත්. මොකද සත්‍යය දැනගත්තාම ජීවිතේ බේරගන්න වුණත් පුළුවන්. උදාහරණෙකට හිතන්න බෝ වෙන රෝග පැතිරෙන විදිහ හොයාගත්ත නිසා අපේ ජීවිතවලට මොන තරම් ප්‍රයෝජන ලැබිලා තියෙනවාද කියලා.

අවුරුදු දහස් ගාණක් යන කල්ම මිනිසුන් රෝග බෝ වෙන විදිහ දැනගෙන හිටියේ නැහැ. ප්‍රතිඵලයක් විදිහට වසංගත නිසා මිනිසුන් මිලියන ගණනකගේ ජීවිත අහිමි වෙලා තියෙනවා. හැබැයි අන්තිමේදී විද්‍යාඥයන් රෝග බෝ වෙන්නේ කොහොමද කියලා හරියටම හොයාගත්තා. ලෙඩ රෝගවලට මුලපුරන්නේ බැක්ටීරියා, වයිරස් වගේ ක්ෂුද්‍ර ජීවීන් කියලා ඒ අය ඔප්පු කරලා පෙන්නුවා. දැනගත්ත ඒ සත්‍ය තොරතුරු නිසා හුඟක් ලෙඩ රෝග හැදෙන එක වළක්වගන්නත් හොඳ ප්‍රතිකාර ක්‍රම හොයාගන්නත් පුළුවන් වුණා. ප්‍රතිඵලයක් විදිහට බිලියන ගාණක් මිනිසුන්ට ආයු කාලය වැඩි කරගන්නත් නිරෝගී ජීවිත ගත කරන්නත් පුළුවන් වෙලා තියෙනවා.

එහෙනම් ජීවිතයේ අනිකුත් වැදගත් ප්‍රශ්නවලටත් හරි උත්තර හොයාගන්න එක වැදගත් නැද්ද? පහත දැක්වෙන ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු දැනගන්න ලැබුණොත් ඔයාට මොන වගේ ප්‍රයෝජන ලැබෙයිද?

  • සැබෑ දෙවියන් කවුද?

  • යේසුස් ක්‍රිස්තුස් කවුද?

  • දෙවියන්ගේ රාජ්‍යය කියන්නේ මොකක්ද?

  • අනාගතයේ මොනවා වෙයිද?

මිලියන ගාණක් මිනිසුන් ඒ ප්‍රශ්නවලට උත්තර හොයාගෙන තියෙනවා. ඒ නිසා සතුටින් පිරුණු සාර්ථක ජීවිතයක් ගෙවන්න එයාලට පුළුවන් වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නවලට උත්තර දැනගන්න එකෙන් ඔයාටත් ප්‍රයෝජන ලබාගන්න පුළුවන්.

සත්‍යය දැනගන්න ඔයාට පුළුවන්ද?

‘කිසිම දෙයක් ගැන ඇත්ත දැනගන්න පුළුවන්ද’ කියලා ඔයාට හිතෙයි. මොකද අද හුඟක් කාරණා ගැන නිවැරදි තොරතුරු ලබාගන්න එක ලේසි නැහැ. ඒ ඇයි?

ආණ්ඩුවලින්, ව්‍යාපාර ලෝකයෙන් සහ ජනමාධ්‍යයෙන් කියන දේවල් හුඟක් මිනිසුන් විශ්වාස කරන්නේ නැහැ. එයාලා කියන්නේ ඇත්තක්ද නැත්නම් එයාලට හිතෙන දේ කියනවාද, එයාලා සමහර තොරතුරු හංගනවාද නැත්නම් පට්ටපල් බොරු කියනවාද කියලා මිනිසුන්ට හිතාගන්න බැහැ. හුඟක් බොරු තොරතුරු පැතිරිලා තියෙන, කාවවත් විශ්වාස කරන්න බැරි කාලෙක තමන්ට ලැබෙන තොරතුරු ඇත්තද කියන එක ගැනත් ඒ තොරතුරු තමන්ට බලපාන්නේ කොහොමද කියන එක ගැනත් මිනිසුන් අතර කිසි එකඟතාවක් නැහැ.

මේ වගේ වාතාවරණයක් මැද වුණත් ජීවිතයේ වැදගත් ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන්ද? ඔව්. එදිනෙදා ජීවිතේ මතු වෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න ඔයා පාවිච්චි කරන ක්‍රම යොදාගෙන ඒවාට උත්තර හොයාගන්න පුළුවන්.

සත්‍යය මොකක්ද කියලා ඔයා දැනගන්නේ කොහොමද?

ජෙසිකාගේ අද්දැකීම බලන්න. එයා මෙහෙම කියනවා. “මගේ දුවට රටකජු හොඳම නැහැ. බැරි වෙලාවත් රටකජු අංශු මාත්‍රයක් හරි තියෙන කෑමක් කැවුණොත් එයා මැරෙන්න වුණත් ඉඩ තියෙනවා. ඒ නිසා ඕනෙම කෑමක් කන්න කලින් මං මුලින්ම කරන්නේ ඒකේ අඩංගු වෙලා තියෙන්නේ මොනවාද කියලා බලන එක. ඊටපස්සේ මං ඒ කෑම එක ගැන තවත් තොරතුරු හොයලා බලනවා. ඒක හදලා තියෙන ආයතනයටත් කෝල් කරලා මං අහනවා ඒ කෑම එකේ රටකජු ප්‍රෝටීන් අංශු මාත්‍රයක් හරි තියෙනවාද කියලා. ඒ වගේම විශ්වාස කරන්න පුළුවන් වෙනත් ආයතනවලිනුත් මං අහලා බලනවා ඒ ආයතනය ප්‍රමිතියකට අනුව කෑම සකස් කරනවාද කියලා.”

ඔයාට තියෙන ප්‍රශ්නවලට උත්තර හොයාගන්න ජෙසිකාට තරම් උවමනාවක් ඔයාට නැතුව ඇති. ඒත් පහත සඳහන් පියවර අනුගමනය කළොත් ඒ ප්‍රශ්නවලට නිවැරදි උත්තර හොයාගන්න ඔයාට පුළුවන් වෙයි.

  • තොරතුරු එකතු කරගන්න.

  • තොරතුරු තවත් හොඳින් හොයලා බලන්න.

  • තොරතුරු හොයාගත්ත මූලාශ්‍ර විශ්වාසවන්තද කියලා තහවුරු කරගන්න.

ඒ පියවර අනුගමනය කරලා ජීවිතේ වැදගත්ම ප්‍රශ්නවලට උත්තර හොයාගන්නත් ඔයාට පුළුවන්. ඒ කොහොමද?

සත්‍යය අඩංගු අනගි පොතක්

බයිබලයේ තියෙන සත්‍යය දැනගන්න ජෙසිකා යොදාගත්තේ දුවට සුදුසු කෑම හොයන්න අනුගමනය කරපු ක්‍රමයමයි. එයා මෙහෙම කියනවා. “මං තොරතුරු හොඳට කියෙව්වා. ඒ තොරතුරු ගැන තවත් හොයලා බැලුවා. බයිබල් සත්‍යයන් දැනගන්න ඒ දේවල් මට උදව් වුණා.” ජෙසිකාත් තවත් මිලියන ගාණක් අයත් පහත ප්‍රශ්නවලට උත්තර බයිබලයෙන් දැනගෙන තියෙනවා.

  • ජීවිතයේ අරමුණ මොකක්ද?

  • මැරුණාට පස්සේ මොකද වෙන්නේ?

  • මිනිසුන් දුක් විඳින්නේ ඇයි?

  • දෙවියන් දුක් වේදනාවලට නිමාවක් ගේන්නේ කොහොමද?

  • පවුල් ජීවිතය සතුටින් ගත කරන්න පුළුවන් කොහොමද?

බයිබලය කියවනවා නම්, www.pr418.com/si වෙබ් අඩවියෙන් අමතර තොරතුරු හොයලා බලනවා නම් ඒ ප්‍රශ්නවලටත් තවත් ප්‍රශ්නවලටත් නිවැරදි උත්තර දැනගන්න පුළුවන්.