Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 4

අප ඔහුගේ දරුවන් බව අපට දන්වන්නේ දෙවියන්ගේ බලයයි

අප ඔහුගේ දරුවන් බව අපට දන්වන්නේ දෙවියන්ගේ බලයයි

“එසේ දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වන නිසා අප දෙවිගේ දරුවන් බව අපගේ සිත්වලට නිසැකවම දැනේ.”—රෝම 8:16.

ගීතිකාව 25 දෙවිට විශේෂයෙන් අයිති සෙනඟක්

මේ ලිපියෙන් *

පෙන්තකොස්ත දවසේදී යේසුස්ගේ අනුගාමිකයන් 120දෙනෙක්ට විතර දෙවියන් ඔහුගේ බලය විශේෂ විදිහකින් ලබා දුන්නා (1 සහ 2 ඡේද බලන්න)

1-2. ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේ සිද්ධ වුණ පුදුමාකාර දේ මොකක්ද?

මේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසයි. අද ඉරිදා දවසක්. යේසුස්ගේ අනුගාමිකයන් 120දෙනෙක් විතර උදෙන්ම යෙරුසලමේ තිබුණ උඩුමහල් කාමරයක රැස් වෙලයි ඉන්නේ. (ක්‍රියා 1:13-15; 2:1) මීට ටික දවසකට කලින් යේසුස් එයාලට කිව්වා යෙරුසලමේම නැවතිලා ඉන්න කියලා. මොකද එයාලට විශේෂ තෑග්ගක් ලැබෙන්න යනවා. (ක්‍රියා 1:4, 5) දැන් මොකද වෙන්නේ?

2 එකපාරටම “තද සුළඟක් හමන්නා සේ ශබ්දයක් අහසින් ඇසෙනවා.” ඒ ශබ්දය එයාලා ඉන්න නිවස පුරාම පැතිර යනවා. “ගිනිදලු බෙදී ගොස්” එතන හිටපු අයගේ හිසට ඉහළින් දැල්වෙනවා එයාලට පේනවා. ‘ඒ සියලුදෙනා තුළ දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වෙන්න පටන්ගන්නවා.’ (ක්‍රියා 2:2-4) ඒ පුදුමාකාර සිදුවීමත් එක්ක යෙහෝවා දෙවියන් ඔහුගේ බලය එතන හිටපු හැමෝටම ලබා දුන්නා. (ක්‍රියා 1:8) දෙවියන්ගේ බලයෙන් අභිෂේක ලබපු, * යේසුස් එක්ක ස්වර්ගයේ රජකම් කරන බලාපොරොත්තුව ලබපු මුල්ම පිරිස එයාලයි.

කෙනෙක්ව දෙවියන්ගේ බලයෙන් අභිෂේක කළාම මොකද වෙන්නේ?

3. පෙන්තකොස්ත දවසේ රැස් වුණ අයට තමන්ව දෙවියන්ගේ බලයෙන් අභිෂේක කළා කියන දේ ගැන කිසිම සැකයක් තිබුණේ නැත්තේ ඇයි?

3 ඔයාත් එදා උඩුමහල් කාමරේ රැස් වෙලා හිටපු යේසුස්ගේ අනුගාමිකයෙක් නම් එදා වුණ දේවල් ඔයාට කවදාවත් අමතක වෙන එකක් නැහැ. ගිනි දැල්ලක් හා සමාන දෙයක් ඔයාගේ හිසට ඉහළින් දැල් වෙනවාත් එක්කම ඔයාට විවිධ භාෂාවලින් කතා කරන්න පුළුවන් වෙනවා. (ක්‍රියා 2:5-12) දෙවියන්ගේ බලයෙන් ඔයාව අභිෂේක කරලා කියලා ඔයාගේ හිතේ කිසිම සැකයක් නැහැ. ඒත් දෙවියන්ගේ බලයෙන් අභිෂේක ලබන හැම කෙනෙක්ම එදා අද්දැක්කා වගේ විශේෂ දේවල් අද්දකිනවාද? ඒ හැම කෙනෙක්වම ජීවිතේ එකම කාලෙකද අභිෂේක කරන්නේ? නැහැ. අපි කොහොමද ඒක දන්නේ?

4. මුල් සියවසේදී අභිෂේක ලබපු හැම කෙනෙක්වම අභිෂේක කළේ ජීවිතේ එකම කාලේදීද? පැහැදිලි කරන්න.

4 කෙනෙක්ව අභිෂේක කරන්නේ කොයි කාලේදීද කියන දේ ගැන බලමු. ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේ දෙවියන්ගේ බලයෙන් අභිෂේක ලැබුවේ උඩුමහල් කාමරේ රැස් වෙලා හිටපු 120දෙනා විතරක් නෙමෙයි. එදාම පස්සේ අවස්ථාවක 3,000කට විතර දෙවියන්ගේ බලය ලැබුණා. ඒ අයව අභිෂේක කළේ එයාලා බව්තීස්ම වුණ වෙලාවෙයි. (ක්‍රියා 2:37, 38, 41) ඒත් ඊටපස්සේ ගත වුණ අවුරුදුවලදී අභිෂේක ලබපු හැමෝවම දෙවියන් අභිෂේක කළේ එයාලා බව්තීස්ම වුණ වෙලාවේදී නෙමෙයි. සමාරියේ වැසියන්ව දෙවියන්ගේ බලයෙන් අභිෂේක කළේ එයාලා බව්තීස්ම වෙලා යම් කාලෙකට පස්සේ. (ක්‍රියා 8:14-17) කොර්නේලියස්ව සහ එයාගේ පවුලේ අයව අභිෂේක කළේ එයාලා බව්තීස්ම වෙන්නත් කලින්. ඒ වගේ දෙයක් ඊට කලින් වෙලා තිබුණේ නැහැ. ඒක විශේෂයි.—ක්‍රියා 10:44-48.

5. 2 කොරින්ති 1:21, 22 අනුව කෙනෙක්ව දෙවියන්ගේ බලයෙන් අභිෂේක කරද්දී මොකද වෙන්නේ?

5 කෙනෙක්ව දෙවියන්ගේ බලයෙන් අභිෂේක කරද්දී මොකද වෙන්නේ කියලා අපි දැන් බලමු. අභිෂේක ලබන සමහරුන්ට දෙවියන් තමන්ව තෝරගෙන තියෙනවා කියන දේ මුලින් පිළිගන්න ටිකක් අමාරු වෙයි. එයාලා හිතනවා ඇති ‘දෙවියන් ඇයි මාව තෝරගත්තේ’ කියලා. තවත් අයට එහෙම හැඟෙන්නේ නැති වෙයි. කෙනෙක්ට ඒ කොහොම හැඟුණත් අභිෂේක ලබන හැම කෙනෙක්ටම වෙන දේ ගැන පාවුල් මෙහෙම විස්තර කරනවා. ‘ඔබට විශ්වාසයක් ඇති වූ පසු දෙවි පොරොන්දු වූ ලෙස තම බලයෙන් ඔබව මුද්‍රා කළේය. * ඒ බලය අපට ඉදිරියේදී උරුම වන දේට සහතිකයකි.’ (එෆී. 1:13, 14) දෙවියන් ඒ අයව තෝරගෙනයි තියෙන්නේ කියන දේ දෙවියන් ඔහුගේ බලය මාර්ගයෙන් ඒ අයට පැහැදිලිවම දන්වනවා. එහෙම බලද්දී දෙවියන්ගේ බලය හරියට “සහතිකයක් සපයන ‘මුද්‍රාවක්’” වගේ. මොකද ඒ බලය මාර්ගයෙන් එයාලට සහතිකයක් දෙනවා එයාලට තියෙන්නේ ස්වර්ගයේ සදාකාලෙටම ජීවත් වෙන බලාපොරොත්තුව කියලා.—2 කොරින්ති 1:21, 22 කියවන්න.

6. ත්‍යාගය ලබාගන්න නම් අභිෂේක ලත් කෙනෙක් කරන්න ඕනෙ මොකක්ද?

6 කෙනෙක්ව දෙවියන්ගේ බලයෙන් අභිෂේක කරනවා කියන්නේ එයා අනිවාර්යයෙන්ම ස්වර්ගයට යනවා කියන එකද? නැහැ. ස්වර්ගයට යන්න එයාව තෝරගෙන තියෙනවා කියන දේ ගැන එයාට සැකයක් නැහැ. ඒත් එයා මේ දේ මතක තියාගන්න ඕනේ. “එහෙයින් සහෝදරයෙනි, ඔබේ කැඳවීමත් තෝරාගැනීමත් ස්ථිර එකක් කරගැනීමට වැඩි වැඩියෙන් උත්සාහ කරන්න. මන්ද ඔබ ඒ දේවල් නොකඩවා කරනවා නම් ඔබ කිසි කලක පාපයට ඇද වැටෙන්නේ නැත.” (2 පේතෘ. 1:10) එහෙමනම් කෙනෙක්ව ස්වර්ගයේ ජීවත් වෙන්න තෝරගෙන තිබුණත් එයාට ඒ ත්‍යාගය ලබාගන්න පුළුවන් වෙන්නේ එයා දිගටම විශ්වාසවන්තව හිටියොත් විතරයි.—ෆිලි. 3:12-14; හෙබ්‍රෙ. 3:1; එළි. 2:10.

තමාව අභිෂේක කරලා කියලා කෙනෙක් දැනගන්නේ කොහොමද?

7. ස්වර්ගයට යන්න තමන්ව තෝරගෙන තියෙනවා කියලා අභිෂේක ලත් අය දන්නේ කොහොමද?

7 ස්වර්ගයට යන්න තමන්ව තෝරගෙන තියෙනවා කියලා කෙනෙක් දන්නේ කොහොමද? ඒකට උත්තරේ රෝමයේ හිටපු “ශුද්ධ තැනැත්තන් ලෙස කැඳවනු ලැබූ” අයට පාවුල් කියපු මේ වචනවලින් හොයාගන්න පුළුවන්. පාවුල් එයාලට මෙහෙම කිව්වා. “දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වන නිසා අපි තවදුරටත් බියෙන් වෙළී සිටින වහලුන්ගේ තත්වයට පත් වන්නේ නැත. ඇත්තෙන්ම ඒ බලය නිසා අපව දෙවිගේ පුත්‍රයන් ලෙස පිළිගනු ලැබේ. දෙවිට, ‘අබ්බා, පියාණෙනි’ කියා පවසන්න අපට හැකි වී තිබෙන්නේ ඒ බලයේ ක්‍රියාකාරිත්වය නිසාය. එසේ දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වන නිසා අප දෙවිගේ දරුවන් බව අපගේ සිත්වලට නිසැකවම දැනේ.” (රෝම 1:7; 8:15, 16) දෙවියන් ඔහුගේ බලය මාර්ගයෙන් ඒ අයට පැහැදිලිවම දන්වනවා ස්වර්ගයට යන්න එයාලව තෝරගෙන තියෙනවා කියලා.—1 තෙස. 2:12.

8. 1 යොහන් 2:20, 27 අනුව අභිෂේක ලත් අයට එයාලව අභිෂේක කරලා තියෙනවා කියලා වෙන අය කියන්න අවශ්‍ය නැත්තේ ඇයි?

8 ස්වර්ගයට යන්න දෙවියන්ගෙන් ආරාධනයක් ලබන අයගේ හිතේ තමන්ට ඒ ආරාධනය ලැබිලා තියෙනවාද නැද්ද කියන සැකය ඇති වෙන්න යෙහෝවා දෙවියන් ඉඩ තියලා නැහැ. (1 යොහන් 2:20, 27 කියවන්න.) සභාවේ ඉන්න අනිත් හැමෝම වගේ අභිෂේක ලත් අයත් සභාව මාර්ගයෙන් දෙවියන් දෙන පෝෂණය ලබාගන්න ඕනේ. ඒත් එයාලව අභිෂේක කරලයි තියෙන්නේ කියලා වෙන කවුරුත් එයාලට කියන්න අවශ්‍ය නැහැ. මොකද යෙහෝවා දෙවියන් මේ විශ්වයේ තියෙන ප්‍රබලම බලය මාර්ගයෙන් එයාලට පැහැදිලිවම දන්වලා තියෙනවා එයාලව අභිෂේක කරලා තියෙනවා කියලා.

ඒ අය “අලුත් උපතක්” ලබනවා

9. එෆීස 1:18 විස්තර කරලා තියෙන විදිහට කෙනෙක්ව අභිෂේක කළාම එයා අද්දකින්නේ මොන වගේ වෙනසක්ද?

9 කෙනෙක්ව දෙවියන්ගේ බලයෙන් අභිෂේක කළාම වෙන්නේ මොනවාද කියලා දෙවියන්ගේ සේවකයන් හුඟදෙනෙකුට තේරුම්ගන්න අමාරුයි. ඒ ඇයි? මොකද අභිෂේක ලැබුවාම වෙන දේ එයාලා අද්දැකලා නැහැ. යෙහෝවා දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ පොළොවේ සදහටම ජීවත් වෙන්න මිසක් ස්වර්ගයේ ජීවත් වෙන්න නෙමෙයි. (උත්. 1:28; ගීතා. 37:29) ඒත් යෙහෝවා දෙවියන් යම් පිරිසක්ව ස්වර්ගයේ ජීවත් වෙන්න තෝරගෙන තියෙනවා. ඒ නිසා දෙවියන් ඒ අයව අභිෂේක කරද්දී එයාලට කලින් තිබුණ බලාපොරොත්තුව, එයාලා කලින් හිතපු විදිහ දෙවියන් සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. අභිෂේක ලැබුවාට පස්සේ එයාලා ආසාවෙන් බලාගෙන ඉන්නේ ස්වර්ගයේ එයාලට ලැබෙන ජීවිතය ගැනයි.—එෆීස 1:18 කියවන්න.

10. “අලුත් උපතක්” ලබනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (පාදසටහනත් බලන්න.)

10 යේසුස්ගේ අනුගාමිකයෙක්ව දෙවියන්ගේ බලයෙන් අභිෂේක කළාම ඒ කෙනා “අලුත් උපතක්” ලබනවා. * “අලුත් උපතක්” ලබන අය එහෙම නැත්නම් “දෙවිගේ බලය ලබා ඉපදෙන අය” අද්දකින දේ අභිෂේක ලබලා නැති කෙනෙකුට තේරුම් කරලා දෙන්න අමාරුයි කියලා යේසුත් කිව්වා.—යොහ. 3:3-8.

11. කෙනෙක්ව අභිෂේක කළාම එයා හිතන විදිහ වෙනස් වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න.

11 කෙනෙක්ව අභිෂේක කළාම එයා හිතන විදිහේ වෙනසක් වෙන්නේ කොහොමද? යෙහෝවා දෙවියන් කෙනෙක්ව අභිෂේක කරන්න කලින් එයා ආසාවෙන් බලාගෙන හිටියේ මේ පොළොවේ සදහටම ජීවත් වෙන්න. දෙවියන් හැම දුෂ්ට දෙයක්ම අයින් කරලා මේ පොළොව පාරාදීසයක් කරන කාලේ එන කල් එයා ආසාවෙන් බලාගෙන ඉන්න ඇති. මිය ගිය පවුලේ කෙනෙක්, යාළුවෙක් නැවත නැඟිටලා එද්දී එයාව ආදරෙන් පිළිගන්න විදිහ ගැන එයා හිතන්න ඇති. ඒත් එයාව අභිෂේක කළාට පස්සේ ඒ දේවල් ගැන එයා වෙනස් විදිහකට හිතන්න පටන්ගන්නවා. එහෙම වෙන්නේ පොළොවේ සදහටම ජීවත් වෙන එක හොඳ මදියි කියලා එයාට එකපාරටම හැඟුණ නිසා නෙමෙයි. පොළොවේ ජීවත් වෙන්න එයාට තිබුණ ආසාව නැති වෙන්නේ එයා අද්දැක්ක දුෂ්කර දේවල් නිසාත් නෙමෙයි. එයාට එකපාරටම පොළොවේ සදහටම ජීවත් වෙන එක කම්මැළි දෙයක් වෙයි කියලා හිතෙන්නෙත් නැහැ. ඒ වෙනුවට එයා හිතන විදිහේ, එයාට තිබුණ බලාපොරොත්තුවේ වෙනසක් වෙන්නේ යෙහෝවා දෙවියන් ඔහුගේ බලය මාර්ගයෙන් ඒ වෙනස කරන නිසයි.

12. 1 පේතෘස් 1:3, 4 අනුව තමන්ට තියෙන බලාපොරොත්තුව ගැන අභිෂේක ලත් අයට හැඟෙන්නේ කොහොමද?

12 කෙනෙක්ව දෙවියන්ගේ බලයෙන් අභිෂේක කළාම ඒ වටිනා අවස්ථාව ලබන්න තමන් වටින්නේ නැහැ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් යෙහෝවා දෙවියන් එයාව තෝරගෙනයි තියෙන්නේ කියන දේ ගැන එයාට කිසිම සැකයක් නැහැ. ස්වර්ගයේ ජීවත් වෙන්න ලැබුණ බලාපොරොත්තුව ගැන හිතද්දී එයාට දැනෙන්නේ ලොකු සතුටක්, ලොකු අගයක්.—1 පේතෘස් 1:3, 4 කියවන්න.

13. අභිෂේක ලත් අයට එයාලා පොළොවේ ගත කරන ජීවිතේ ගැන හැඟෙන්නේ කොහොමද?

13 අභිෂේක ලත් අයට ඕනෙ ඉක්මනින් මිය යන්නද? පාවුල් ඒකට උත්තර දෙනවා. එයා එයාලගේ ශරීරය කූඩාරමකට සමාන කරලා මෙහෙම කියනවා. “ඇත්තෙන්ම මේ කූඩාරමෙහි සිටින අප කනස්සල්ලට පත් වී කෙඳිරිගාමින් සිටින්නේ මේ කූඩාරම ඇඳුමක් ඉවත දමන්නා සේ අහක දැමීමට අපට අවශ්‍ය නිසා නොවේ. ඒ වෙනුවට අපගේ මහත් ආශාව නම් ස්වර්ගික දේ ලබාගැනීමය. එසේ මිය යනසුලු දේ වෙනුවට අපට ජීවනය හිමි වනු ඇත.” (2 කොරි. 5:4) අභිෂේක ලත් අයට එයාලා දැන් ගත කරන ජීවිතේ එපා වෙලාවත් ඉක්මනින් මැරෙන්නවත් ඕනෙ නැහැ. ඒ වෙනුවට එයාලා ජීවිතේ සතුටින් ගත කරනවා. එයාලට ඕනෙ එයාලා ගත කරන හැම දවසක්ම පවුලේ අය, යාළුවෝ එක්ක යෙහෝවා දෙවියන්ට සේවය කරන්න. දැන් එයාලා මොන දේ කළත් එයාලගේ මනසේ හැම වෙලාවේම තියෙන්නේ අනාගතයේදී එයාලට ලැබෙන්න යන වටිනා තෑග්ගයි.—1 කොරි. 15:53; 2 පේතෘ. 1:4; 1 යොහ. 3:2, 3; එළි. 20:6.

යෙහෝවා දෙවියන් ඔයාව අභිෂේක කරලාද?

14. කෙනෙක්ව දෙවියන්ගේ බලයෙන් අභිෂේක කරලා කියලා තීරණය කරන්න බැරි මොන වගේ දේවලින්ද?

14 ‘දෙවියන්ගේ බලයෙන් මාවත් අභිෂේක කරලාද’ කියලා සමහරවිට ඔයා හිතනවා ඇති. එහෙමනම් මේ වැදගත් ප්‍රශ්න ගැන හිතන්න. යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න ඔයාට ලොකු ආසාවක් තියෙනවාද? ඔයා දේශනා සේවයේ හුඟක් උද්‍යෝගයෙන් හවුල් වෙනවා කියලා ඔයාට හිතෙනවාද? බයිබලේ අධ්‍යයනය කරන්න, “දෙවි එළිදරව් කරන ගැඹුරු කාරණා” තේරුම්ගන්න ඔයා ගොඩක් කැමතිද? (1 කොරි. 2:10) දේශනා සේවය සාර්ථකව කරන්න යෙහෝවා දෙවියන් ඔයාට උදව් කරනවා කියලා ඔයාට හැඟෙනවාද? යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න අනිත් අයට උදව් කරන එක ඔයාගේ වගකීමක් හැටියට ඔයා සලකනවාද? දෙවියන් ඔයාට උදව් කළා කියලා නිශ්චිතව කියන්න පුළුවන් අවස්ථා හුඟක් ඔයාගේ ජීවිතේ තියෙනවාද? ඒ හැම ප්‍රශ්නයකටම උත්තරේ ‘ඔව්’ නම් ඒකෙන් ඔප්පු වෙනවාද ස්වර්ගයේ ජීවත් වෙන්න දෙවියන් ඔයාව තෝරගෙන තියෙනවා කියලාද? නැහැ. මොකද අභිෂේක ලත් අයට විතරක් නෙමෙයි දෙවියන්ගේ හැම සේවකයෙකුටම එහෙම හැඟෙන්න පුළුවන්. කෙනෙක්ට තියෙන බලාපොරොත්තුව මොකක් වුණත් දෙවියන්ගේ ඕනෙම සේවකයෙකුට ඒ දේවල් කරන්න අවශ්‍ය කරන බලය දෙන්න දෙවියන්ට පුළුවන්. ඔයාව දෙවියන්ගේ බලයෙන් අභිෂේක කරලාද කියලා ඔයාට සැකයක් තියෙනවා නම් ඒකෙන්ම පැහැදිලියි ඔයාව අභිෂේක කරලා නැහැ කියලා. මොකද දෙවියන්ගේ ආරාධනාව ලැබිලා තියෙන අය තමන්ව අභිෂේක කරලාද නැද්ද කියලා සැකයෙන් ඉන්නේ නැහැ. එයාලා ඒක ස්ථිරවම දන්නවා.

යෙහෝවා දෙවියන් ආබ්‍රහම්, සාරා, දාවිත්, යොහන් බව්තීස්ත වගේ අයට පුදුමාකාර දේවල් කරන්න බලය දුන්නත් ස්වර්ගයේ ජීවත් වෙන්න එයාලව තෝරගන්න දෙවියන් ඔහුගේ බලය යොදාගත්තේ නැහැ (15 සහ 16 ඡේද බලන්න) *

15. දෙවියන්ගේ බලය ලැබෙන හැම කෙනෙක්වම ස්වර්ගයට යන්න තෝරගෙන නැහැ කියලා අපි දන්නේ කොහොමද?

15 දෙවියන්ගේ බලය ලැබුණ හුඟක් විශ්වාසවන්ත අය ගැන බයිබලේ සඳහන් වෙනවා. ඒ වුණත් එයාලට ස්වර්ගයට යන බලාපොරොත්තුව තිබුණේ නැහැ. දාවිත් ඒ වගේ කෙනෙක්. එයාට දෙවියන්ගේ බලයෙන් මඟ පෙන්වීම් ලැබුණා. (1 සාමු. 16:13) යෙහෝවා දෙවියන් ගැන ගැඹුරු කාරණා තේරුම්ගන්න, බයිබලේ සමහර කොටස් ලියන්න එයාට දෙවියන්ගේ බලය ලැබුණා. (මාක් 12:36) ඒත් “දාවිත් ස්වර්ගයට ගියේ නැහැ” කියලා පේතෘස් කිව්වා. (ක්‍රියා 2:34) යොහන් බව්තීස්ත තුළත් ‘දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වුණා.’ (ලූක් 1:13-16) යොහන් බව්තීස්තට වඩා උතුම් කෙනෙක් නැහැ කියලා යේසුස් කිව්වා. ඒත් ඊළඟට ඔහු කිව්වා යොහන් දේවරාජ්‍යයේ පාලනයට හවුල් වෙන්නේ නැහැ කියලා. (මතෙ. 11:10, 11) යෙහෝවා දෙවියන් පුදුමාකාර දේවල් කරන්න ඒ අයට බලය දුන්නත් ස්වර්ගයේ ජීවත් වෙන්න එයාලව තෝරගන්න දෙවියන් ඔහුගේ බලය යොදාගත්තේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ ස්වර්ගයේ රජවරු විදිහට පාලනය කරන්න තෝරගෙන තියෙන අයට තියෙනවා වගේ විශ්වාසයක් එයාලට තිබුණේ නැහැ කියන එකද? නැහැ. ඒ වෙනුවට ඒකෙන් අදහස් කරන්නේ යෙහෝවා දෙවියන් එයාලව පාරාදීසයේදී නැවත නැඟිටුවනවා කියලයි.—යොහ. 5:28, 29; ක්‍රියා 24:15.

16. අද ඉන්න දෙවියන්ගේ සේවකයන් වැඩිදෙනෙක්ට තියෙන බලාපොරොත්තුව මොකක්ද?

16 අද පොළොවේ ඉන්න දෙවියන්ගේ සේවකයන් වැඩිදෙනෙක්ට ස්වර්ගයේ ජීවත් වෙන බලාපොරොත්තුව නැහැ. අතීතයේ හිටපු ආබ්‍රහම්, සාරා, දාවිත්, යොහන් බව්තීස්ත සහ තවත් හුඟදෙනෙක් වගේ එයාලත් ආසාවෙන් බලාගෙන ඉන්නේ දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරන කාලේ ජීවත් වෙන්නයි.—හෙබ්‍රෙ. 11:10.

17. අපි ඊළඟ ලිපියෙන් බලන්නේ මොන ප්‍රශ්න ගැනද?

17 අභිෂේක ලත් අයගෙන් සමහරදෙනෙක් තවමත් අපි අතරේ ඉන්න නිසා අපේ හිතේ මේ වගේ ප්‍රශ්න මතු වෙන්න පුළුවන්. (එළි. 12:17) අභිෂේක ලත් අයට තමන් ගැන හැඟෙන්න ඕනෙ කොහොමද? ඔයාගේ සභාවේ කෙනෙක් සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්නවා දැක්කොත් ඔයා එයාට සලකන්න ඕනෙ කොහොමද? අභිෂේක ලත් අයගේ ගාණ එන්න එන්නම වැඩි වෙනවා නම් මොකද කරන්නේ? ඔයා ඒ ගැන කරදර වෙන්න ඕනෙද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි ඊළඟ ලිපියෙන් බලමු.

^ 5 ඡේ. ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේ ඉඳන් මේ වෙන කල් යෙහෝවා දෙවියන් සමහර ක්‍රිස්තියානීන්ට පුදුමාකාර බලාපොරොත්තුවක් දීලා තියෙනවා. ඒ ඔහුගේ පුතා එක්ක ස්වර්ගයේ රජකම් කරන බලාපොරොත්තුවයි. ඒ සඳහා දෙවියන් තමන්ව තෝරගෙන තියෙනවා කියලා ඒ ක්‍රිස්තියානීන් දන්නේ කොහොමද? කෙනෙක්ට ස්වර්ගයේ ජීවත් වෙන්න දෙවියන් ආරාධනාවක් දුන්නාම මොකද වෙන්නේ? ඒ ප්‍රශ්නවලට උත්තර මේ ලිපියේ කතා කරනවා. මේ ලිපිය පදනම් වෙලා තියෙන්නේ 2016 ජනවාරි ‘මුරටැඹ’ සඟරාවේ පළ වුණ තොරතුරු මතයි.

^ 2 ඡේ. පැහැදිලි කිරීමක්: දෙවියන්ගේ බලයෙන් අභිෂේක ලබනවා කියන්නේ යෙහෝවා දෙවියන් ඔහුගේ බලය මාර්ගයෙන් යේසුස් එක්ක ස්වර්ගයේ රජකම් කරන්න කෙනෙක්ව තෝරගන්නවා කියන එකයි. දෙවියන් ඔහුගේ බලය මාර්ගයෙන් ඒ කෙනාට අනාගතය ගැන පොරොන්දුවක් හෝ ‘ඉදිරියේදී එයාට උරුම වෙන්න යන දේට සහතිකයක්’ ලබා දෙනවා. (එෆී. 1:13, 14) දෙවියන්ගේ බලය ඒ අය තුළ ක්‍රියාත්මක වෙන නිසා තමන්ට තියෙන්නේ ස්වර්ගයේ ජීවත් වෙන බලාපොරොත්තුව කියලා ඒ අයගේ ‘සිත්වලට නිසැකවම දැනෙනවා.’—රෝම 8:16.

^ 5 ඡේ. පැහැදිලි කිරීමක්: මේ අවස්ථාවේ කරන මුද්‍රාව ස්ථිර කරන්නේ විශ්වාසවන්තව ඉන්න අභිෂේක ලත් කෙනෙක් මිය යන්න කලින් නැත්නම් මහත් පීඩාව ආරම්භ වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දියි.—එෆී. 4:30; එළි. 7:2-4; 2016 අප්‍රියෙල් ‘මුරටැඹ’ කලාපයේ පළ වුණ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” බලන්න.

^ 10 ඡේ. අලුත් උපතක් ලබනවා කියද්දී අදහස් වෙන්නේ මොකක්ද කියන දේ ගැන වැඩි විස්තර දැනගන්න 2009 අප්‍රියෙල් 1 ‘මුරටැඹ’ කලාපයේ 3-12 පිටු බලන්න.

ගීතිකාව 27 දෙව්ගේ පුත්‍රයන්ව එළිදරව් කරයි

^ 57 ඡේ. පින්තූරයේ අදහස: අපේ විශ්වාසයන් නිසා අපිව සිරගත කරලා හිටියත් බයිබලේ තියෙන සත්‍යයන් දේශනා කරන්න, උගන්වන්න අපිට නිදහස තිබුණත් අපි හැමෝටම පුළුවන් දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරන කාලේ ජීවත් වෙන බලාපොරොත්තුවෙන් ඉන්න.